එම්.එස්.එම්. අයුබ්

යහපාලන ආණ්ඩුව, ජාතික ආණ්ඩුව හා සම්මුතිවාදී ආණ්ඩුව ආදී වශයෙන් හැඳින්වෙන වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ සැක ඇති කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පක්ෂය විවේචනයට ලක් කරමින් පසුගිය මාස ගණනාවක් තිස්සේ විටින් විට බැරෑරුම් ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

2015 පෙබරවාරි මාසයේ සිදුවූ මතභේදකාරී මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ තමන් විවේචනය කළ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම සඳහන් නොකොට ඉකුත් නොවැම්බර් මාසයේදී ඔහු බරපතළ අනතුරු ඇඟවීමක් කළේය. මෙය ඔහු ප්‍රසිද්ධියේ එජාපයට එල්ල කළ පළමු හා පැහැදිලි ප්‍රහාරයයි.

ඊට පෙර ඔහු එජාපයේ නායකයන් විවේචනය කළද ඒ ප්‍රසිද්ධ වේදිකාවලදී නොව කැබිනට් රැස්වීම් වැනි එජාප නායකයන් සමඟ පැවැති රැස්වීම්වලදීය.

ජනවාරි 3 වැනිදා ජනාධිපතිවරයා තමන් වෙත භාර දෙන ලද බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳව රටට විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු එවැනි ප්‍රකාශයක් කළ යුතු දැයි එජාපයට සිතෙන්නට ඇත්තේ එමගින්ද එජාප නියෝජ්‍ය නායක රවි කරුණානායක මහතා ඇතුළු කිහිප දෙනකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කොමිසම නිර්දේශ කර ඇතැයි ඔහු ප්‍රකාශ කිරීම නිසාය.

ජනවාරි 16 වැනිදාද ඔහු තවත් වැදගත් ප්‍රකාශයක් කළේය. ඒ වනවිටත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර හා එස්. එම්. මරික්කාර් යන අය ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන කර තිබූ ප්‍රහාරාත්මක හා අවලාදාත්මක ප්‍රකාශ ගැන සඳහන් කරමින් කැබිනට් මණ්ඩලයේදී දැඩි හා ආවේගාත්මක කතාවක් කළ ජනාධිපතිවරයා මේ විධියට යන්න පුළුවන්ද ඔබලාම සිතා බලන්නැයි කියමින් ඇමැති මණ්ඩල රැස්වීමෙන් නැඟිට ගොස් තිබිණි.

ඉන් දින දෙකකට පසු කොස්ගම ප්‍රදේශයේ පැවැති රැස්වීමක් ඇමතූ ජනාධිපති සිරිසේන මහතා තමන් බලයෙන් ඉවත් වන්නේ කවදාදැයි ඇතැමුන් ප්‍රශ්න කරන බවත් සියලුම දූෂිත දේශපාලනඥයන් අවීචි මහා නරකාදියට යැවීමෙන් පසු තමන් බලයෙන් ඉවත්වන බවත් දැඩි හඬින් කියා සිටියේය.

සෙනසුරාදා ඔහු තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. කෑගල්ලේ පැවැති රැස්වීමක් ඇමතූ ඔහු 2015 සිට ගතවූ වසර තුන තුළ රටේ ආර්ථිකය හැසිරවූයේ එක්සත් ජාතික පක්ෂය බවත් මේ වසරේ සිට තමන් එය භාර ගන්නා බවත් පැවැසීය. ඔහු එම ප්‍රකාශය කළේ දූෂිතයන් ආරක්ෂා කරන බවට මාස ගණනාවක් තිස්සේ එජාපයට චෝදනා කිරීමෙන් පසුවය.

එම චෝදනාවම යළිත් වරක් නඟමින් ජනාධිපතිවරයා පසුගිය සඳුදාද වැඩි දෙනකුගේ අවධානය ඇද ගත් ප්‍රකාශයක් කර තිබිණි. මහනුවර පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකදී එම ප්‍රකාශය කළ ඔහු පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ හා තමන් බලයට පත්වූ පසු සිදුවූ දූෂණ ගැන සඳහන් කරමින් දූෂණ පිටු දැකීමට තමන්ට සහාය වන ලෙසත් ඊට බාධා නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.

දූෂණය රටින් තුරන් කිරීමේ “පරම පවිත්‍ර චේතනාවෙන්” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය පෙරළා දැමීමට එක්වූ යහපාලන ආණ්ඩුවේ නිර්මාතෘවරුන් දූෂණය මුල්කර ගෙනම එකිනෙකා සමඟ දබර කර ගන්නා තත්ත්වයක් ඇතිවීම එක්තරා අතකට සරදම්කාරී තත්ත්වයකි.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම දූෂණයට” හවුල්වීම සම්බන්ධයෙන්ද පසුගිය පාලනයේ මහා පරිමාණ දූෂණවලට එරෙහි පරීක්ෂණවලට බාධා කිරීම හා ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා තම ගමන් සගයා වන එජාපයට චෝදනා කරන්නේ ඒ අනුවය. පසුගිය නොවැම්බර් මාසයේදීද ජනාධිපතිවරයා මේ චෝදනාව කළේය.

එජාප ඇමැතිවරයකු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නායකයින්ට එරෙහි පරීක්ෂණ ප්‍රමාද කරන්නට හා නවතා දැමීමට කටයුතු කරන බවට ඔහු ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශකොට තිබිණි. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කොට තිබිණි.

තවත් අපූරු තත්ත්වයක් නම් මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ ඒ චෝදනා සමාජගතවීම ද හේතුවක් බවට පත්වී බලයෙන් ඇද වැටුණු හිටපු ආණ්ඩුවේ නායකයින් වත්මන් ආණ්ඩුවේ නායකයන්ද සොරුන් යැයි කීමයි. අද රටේ ගෙයක් පාසා කතාබහට ලක්වී ඇති බැඳුම්කර වංචාව යොදාගෙන තමන්ට එරෙහි චෝදනා යටපත් කිරීමට ඔවුන් දක්ෂවී සිටින බව ද පිළිගත යුතු සත්‍යයකි.

මෙය සොරකු තවත් සොරකුට සොරායැයි කීමට සමාන වුවද ඔවුන් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා කිරීමේදී සිටින්නේ ශක්තිමත් පදනමකය. ඒ බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ විස්තර ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වී ජනතාවගේ මුදල් රුපියල් කෝටි 800 කට වැඩි මුදලක් 2015 පෙබරවාරි මස සිදුවූ බැඳුම්කර ගනුදෙනුව මඟින් වංචා කරනු ලැබ ඇති බව රටට හෙළිවී ඇති නිසාය. අනෙක් අතට බැඳුම්කර කොමිසම මෙම වංචාව සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයකට චෝදනා කොට නැති වුවද මෙම ගනුදෙනුව පිළිබඳ ආන්දෝලනය ආරම්භවූ දා සිටම එහිදී වංචාවක් සිදුවී නැතැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින්ද පසුව එම සිදුවීම් වසං කරමින්ද එජාපය තම ප්‍රතිරූපය විනාශ කරගෙන සිටී.

පක්ෂයක සිටින පුද්ගලයකු හෝ එහි ආධාරකරුවකු වරදක් කළ හැකිය. එහෙත් පක්ෂය එය තමන්ගේ ප්‍රශ්නයක් කරගත යුතු නැත. එජාපය කළේ ඒ වරදයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 18 වැනිදා ජාතිය ඇමැතීමේදී නම් වෙනස් ස්ථාවරයක් පෙන්නුම් කළේය. එජාප ඇමැතිවරුන් බැඳුම්කර කොමිසමට දොස් පවරද්දී වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශයේදී පැවැසුවේ ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම පත් කළේ තමන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවත් කොමිසමේ වාර්තා හමස් පෙට්ටියට නොදමන බවත්ය.

කොමිසම පත් කිරීමේදී අනුගමනය කළ මේ තත්ත්වය රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නොදැන සිටියේද? නැත්නම් ඔහු මෙම කොමිසම පත් කිරීම එජාපයට එරෙහි කුමන්ත්‍රණයකැයි පවසා “අඬන්න සූදානම් වෙන්න එපා” යැයි ජනාධිපතිවරයාගෙන් අසා ගත්තේ කුමක් නිසාද?

වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 2015 දී ඇති කර ගන්නා ලද ගිවිසුම කල් ඉකුත්වීම නිසා වත්මන් අමාත්‍ය මණ්ඩලය නීති විරෝධී යැයි විපක්ෂය හඬ නඟන තත්ත්වයක් යටතේ ජනාධිපතිවරයා හා එජාපය අතර මෙම ගැටුම් උත්සන්න වෙමින් තිබේ. මෙය වත්මන් යහපාලන ආණ්ඩුව කොතරම් “බිඳෙන සුළු” තත්ත්වයේ පවතින්නක්දැයි කදිමට පෙන්වන්නකි.

එසේ වුවද එජාපයටත් ශ්‍රීලනිපයටත් පාර්ලිමේන්තුවේ ඇති ශක්තිය අනුව ඒ දෙපාර්ශ්වයට එක්ව සිටීම හැර අන් විකල්පයක් නැත. ඔවුන් වෙන් වුවහොත් ඇති වන්නේ කිසිවක් කළ නොහැකි සුළුතර ආණ්ඩුවකි. මන්දයත් කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානය එජාපයට සහාය නොදෙනු ඇති හෙයිනි. දෙමළ සන්ධානය කටයුතු කරන්නේ රට තුළ හා ඩයස්පෝරාවේ අන්තවාදීන්ගේ දැඩි බලපෑම් මැදය.

දූෂිතයන් අවීචි මහා නරකාදියට යැවීමේ ජනාධිපතිවරයාගේ තර්ජනය ප්‍රශ්න දෙකක් මතුකරයි.
පළමුවැන්න ජනතාවගේ ධනය කොල්ලකෑ දේශපාලඥයන් දඬු කඳේ ගසන බවට ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දුවට පසුගිය වසර තුන තුළ සිදුවූයේ කුමක්ද යන්නයි.

දූෂිතයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා 2015 ජනවාරි 9 වැනිදා කටුනායක ගුවන් තොටුපළ වසා දමන බවට පවා ඔහු මැතිවරණ සමයේදී පැවැසීය. එහෙත් සිදුවූයේ දූෂිතයන් කටුනායක ගුවන් තොටුපළෙන්ම රටින් පලායාම පමණක් නොවේ. හිටපු ආණ්ඩුවේ සිටි දූෂණ චෝදනාවලට ලක්වූ ඇතැමුන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වීමෙන්ද පසු ආණ්ඩුවට ඇතුළු වීමය.

ඔවුන්ගෙන් ඇතැමෙක් 2015 අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ආණ්ඩුව අත්හැර “මහ ගෙදරටම” ගියහ. ඇතැමෙක් තවමත් ආණ්ඩුවේම සිටිති.

අතට ලැබුණු ආණ්ඩු බලය පවත්වා ගෙනයාම සඳහා ජනාධිපතිවරයාට එම පිරිස ආණ්ඩුවට එක් කර ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව සැබෑය. එහෙත් තමන්ට පොරොන්දු වූ පරිදි දූෂණ වැළැක්වීමට නොහැකිවීම ගැන එජාපයට දොස් නඟන ජනාධිපතිවරයාද එම තත්ත්වයට දායකවී ඇති තරම ඉන් පෙනේ.

දූෂණ නැති කරන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා ඒ කටයුත්ත එජාපයේ ඇමැතිවරුන්ට භාරදී සිටියේය.

සොරුන් ඇල්ලුවා දැයි විවිධ පාර්ශ්වවලින් ප්‍රශ්න නැඟුණු විට මුල් කාලයේදී ආණ්ඩුවේ ඇමැතිවරුන් කීවේ රාජපක්ෂ පාලනයේදී මෙන් මිනිසුන් එක්වරම කුදලාගෙන යා නොහැකි බවත් පරීක්ෂණ පවත්වා සාක්ෂි සහිතව සොරුන්ට දඬුවම් දියයුතු බවත්ය. අවසානයේදී 2015 අවසාන භාගයේදී ජනාධිපතිවරයාම පවසා තිබුණේ පසුගිය ආණ්ඩුවේ නායකයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රමාදවීමේ හේතුව තමන්ට ද නොවැටහෙන බවය.

එහෙත් 2016 දී ජනාධිපතිවරයා මේ කටයුතුවල ප්‍රමාදය සම්බන්ධයෙන් එජාපයේ ඇතැමුන් සැක කරන්නට පටන්ගත් බව පෙනේ. එක් අවස්ථාවකදී එනම් 2016 ඔක්තෝබර් මාසයේදී ඔහු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බොහෝ දෙනකුට වටහා ගැනීමට ද නොහැකි විය.

අල්ලස් කොමිසමේත්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේත්, රහස් පොලිසියේත් දූෂණ පිළිබඳ පරීක්ෂණ දේශපාලනීකරණය වී ඇතැයි ඔහු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය. එසේම මින් මතු හිටපු හමුදාපතිවරුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නම් තමන් දැනුවත් කළ යුතු යැයිද කීවේය.

මෙය දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වන එම ආයතනවලට කළ අයුතු බලපෑමකැයි ජනාධිපතිවරයාට සහාය දුන් සිවිල් සමාජ සංවිධාන චෝදනා කළ විට ජනාධිපතිවරයා පැවැසුවේ තමන් එසේ පැවැසුවේ එම ආයතන පසුගිය ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ පිළිබඳව පරීක්ෂණ නොකිරීම නිසා බවය. එසේම එම ආයතන තමන්ට හිතවත් අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි වැන්නන්ගේ සුළු ප්‍රශ්න පසුපස හඹා යන බවය.

පසුගිය ජුලි මාසයේදී දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය දීර්ඝ කිරීමේ ප්‍රශ්නය ඇමැති මණ්ඩලයට ආ විට එම කාර්යාලයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා මෙතෙක් හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පවුලේ අයට එරෙහිව කිසිදු නඩුවක් පවරා නැතැයි පවසා ඔවුනට එරෙහි චෝදනා පිළිබඳ පරීක්ෂණ ප්‍රමාද කිරීමට හා නතර කිරීමට එජාපය කටයුතු කරන බවට චෝදනාකොට තිබිණි. එම ආණ්ඩුවේ නායකයන්ට එරෙහි ඇතැම් චෝදනාවල සැර බාල කරනු ලැබ ඇති බවටද ඔහු චෝදනා කොට තිබිණි. එහිදී වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කොට තිබුණේ නීතිපති  දෙපාර්තමේන්තුව හා පොලිසිය තමන් යටතේ තිබේනම් මාස තුනකින් සියලු වැරැදිකරුවන් අල්ලා ගන්නා බවය.

ඉන් මාසයකට පසු එජාප පාක්ෂිකයකු වූ එවකට අධිකරණ ඇමැතිව සිටි විජයදාස රාජපක්ෂ මහතාද දූෂණ පිළිබඳ පරීක්ෂණ ඉදිරියට ගෙන නොයෑමේ චෝදනාව ලැබ එම තනතුරෙන් ඉල්ලා අස්විය. දැන් ජනාධිපතිවරයා දූෂිත දේශපාලනඥයන් අවීචියට යැවීමට තමන් කරන කටයුතුවලට බාධා නොකරන ලෙස  අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින විට මේ අතීතයද ඉතා වැදගත්ය.

දූෂිතයින් අවීචියට යැවීමේ උත්සාහයේදී මතුවන අනෙක් ප්‍රශ්නය නම් ඉදිරියේදී ජනාධිපතිවරයා කටයුතු කරන්නට යන්නේ කෙසේද කා සමඟද යන්නයි.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව දුන් තීන්දුව අනුව ඔහුට මෙසේ සිටිය හැක්කේ තවත් වසර දෙකක් පමණි. මෙතෙක් කටයුතු කෙරුණු ආකාරය අනුවත්, ජනාධිපතිවරයාට ආණ්ඩුව තුළ ඇති සහයෝගයේ තරම අනුවත් ඔහුට මේ වසර දෙක තුළ දූෂිතයන් අවීචියට යැවීමට හැකි වේ යැයි කොහෙත්ම සිතිය නොහැකිය.

ඒ අනුව තමන් බලයෙන් ඉවත්ව යන්නේ දූෂිතයන් අවීචියට යැවීමෙන් පසුව යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය බැරෑරුම්ව කළ එකක් නම් ඔහු ඒ සඳහා අඩු ගණනේ තවත් වාරයක් ජනාධිපති ධුරය දැරිය යුතු වනු ඇත. තමන්ට වසර හයක් බලයේ සිටිය හැකිදැයි ජනාධිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසුමෙන්ද තමන් ඊළඟ ජනාධිපතිවරණයට තරග කරනවාද නැද්ද යන්න ගැන තමන් තවමත් තීරණය කොට නැතැයි ඊයේ ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ කීමෙන්ද කියැවෙන්නේ ජනාධිපතිවරයාට වැඩි කාලයක් බලයේ සිටීමට අවශ්‍යවී ඇති බවයි.