(සටහන අමල් වික්‍රමරත්න)

1960-2000 යුගවලදී සිනමා ක්ෂේත්‍රයේ සියලුම අංශ නියෝජනය කළ  සිනමාවේ සියලු දෙනාගේම සිත් සතන්වල ජීවත්වූ ඒ අපුරු රංගධරයානෝ රෝයි ද සිල්වා මහතා  ඊයේ (30) මැදියම් රැයේ අප සියලු දෙනාම හැරගියේය. චිත්‍රපට සංස්ථාව පිහිටුවන්නට පුරෝගාමී වූ ඔහු වෙනුවෙන් පළවන ලිපියකි.

එකදහස් නමසිය තිස් හතේ (1937 ) අගෝස්තු 30 වැනිදා මෙලොව එළිය දුටු චතුර රත්න දේවාදිත්‍ය ගාර්දියවසම් ලිදමුලගේ රෝයි ඇලෝසියස් ෆීලික්ස් ද සිල්වා නම්වූ ඔහු සිනමාවට රෝයි ද සිල්වා විය.කුඩා කල සිටම සිනමා අධ්‍යක්ෂකවරයකු වීමේ සිහිනයෙන් පෙළුණු ඔහු මූලික අධ්‍යාපනය ලැබූවේ යටවත්ත සිංහල පාඨශාලාවෙනි. නොබෝ කලකින්ම මොරටුව ශාන්ත සෙබෙස්තියන් විදුහලට ඇතුළත්වූ රෝයි උසස් පෙළ හැදෑරීම සදහා  නැවත කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළත් විය.

1964 වසර වනවිට දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ කාර්මික ශිල්පීන් මෙරටට පැමිණ චිත්‍රපට තැනු යුගයකි. මෙකල රෝයිගේ වයස අවුරුදු 27කි.  ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි පලනියාන්දී නීලකාන්තන් සිනමා අධ්‍යක්ෂවරයාට ඔහු සෙවූ ලාංකීය එම්.ජී.ආර්. හමුවිය. හේ අනෙකෙකු නොව රෝයි  ද සිල්වා නමැති අපූරු තරුණයාය. රෝයිට නීලකාන්තන් හමුවීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බව පසු කලෙක මාධ්‍යට පවසා තිබිණි. 1964 දී නීලකාන්තන්ගේ අධ්‍යක්ෂණයෙන් සිනමා රූප ගතකළ සුජාගේ රහස චිත්‍රපටයෙන් රෝයි ආරම්භ කළ සිනමා දිවිය නළුවෙකු නළුකමට පමණක් කොටුකිරීමට දෛවය ඔහුට ඉඩදුන්නේ නැත.

නීලකාන්තන්ගේ ඇරයුමින් ඉන්දියාවට යාමට තිබු අවස්ථාව මගහරිමින් ලාංකීය සිනමාවේ කටයුතු කිරීමට ඔහුට අවශ්‍ය විය. සිනමාව තුළ එතෙක් තිබු ඉන්දීය ආභාසය ටිකෙන් ටික මගහරිමින් සිනමාවට ලාංකීය අනන්‍යතාවක් ගොඩ නැගීමට ඔහුට අවශ්‍ය විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් රේකාව තැනීමට චිත්‍රාගාරවලින් එළියට බැසීමත් සමගම ලාංකීය සිනමාවට ලැබුණු නවමු අත්දැකීමත් සමගම අපේ චිත්‍රපට කලාවක් ආරම්භ විය යුතු බවට සියලු දෙනාම තැන තැන කතාකළහ. ‘‘අපට අපේම නිර්මාණ කරගැනීමේ උනන්දුව ඇතිවුණා. අපි සියලුදෙනාම එකතු වෙන්නයි නළු නිළි හවුල හැදුවේ. 1968 බිහි වුණ පළමු නළු නිළි හවුලේ මමත් සාමාජිකයෙක්. ඒක සංවිධානය කළේ ගාමිණී ෆොන්සේකා. එදා හිටපු නළු නිළියන් එකතු කරගෙන රත්මලානේ ගාමිණී ෆොන්සේකාගේ නිවසේ තමයි පළමු රැස්වීම තිබ්බේ. කාරක සභාවට මාවත් පත් කරලා තිබුණා. මම එතකොට චිත්‍රපට දෙකක විතර රඟපාපු ආධුනික නළුවෙක්. ඔය සංගමේ සභාපති වුණේ එඩී ජයමාන්න. ඩොමී ජයවර්ධන, හියුගෝ ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණයෝ රැසක් සම්බන්ධ වෙලා හිටියා. අපි කතිකා කරගත්තා අපේ නිර්මාණ ස්වාධීනව කරන්න අපට ශක්තියක් නැති නිසා චිත්‍රපට සංස්ථාවක් හදමු කියලා. මේ යෝජනාවට ගාමිණී ටිකක් පස්ස ගැහුවා. ඒකට හේතුව වුණේ ඒ කාලේ ඔහු සිනමාස් සමාගමත් සමඟ දිගින් දිගටම වැඩ කරපු නිසා. ඒ නිසා අපි කට්ටිය ගියා එවකට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මුණ ගැහෙන්න. එතුමාට චිත්‍රපට සංස්ථාවක් දාන්න කතා කළාම ඊට වඩා වැඩ තියෙනවා කියලා අපව ගණන් ගත්තේ නෑ.“

චිත්‍රපට සංස්ථාව ආරම්භවුණු හැටි වරෙක ඔහු පැවසුවේ ඒ ආකාරයට. ඒ ආරම්භකයන් අතර රෝයි අවසන් පුරුකද යන්නත් සැක සහිතයි.

මේ කාලයේ රෝයි සිය සහකාරිය ලෙස සිනමා තරුවක්වූ  සුමනා අමරසිංහ තෝරාගැනීමට තීරණය කර තිබිණි. සුමනාත් රොයිට ගහට පොත්ත මෙන් සිනමා හවුලේ කටයුතු කළාය. මේ අතරතුර දේශපාලන පක්ෂ මතබේද මත සිනමා හවුල දෙකඩ විය.  එක පිලකට හයිය දුන්නේ රෝයි ද සිල්වාය. එවකට විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තරග වැදී සිටි අවධියයි. රෝයි සිරිමාවෝ මැතිනිය සමග චිත්‍රපට සංස්ථාවේ අවශ්‍යතාව ගැන කතා කළ අතර එයට මැතිවරණ පොරොන්දුවක් ලෙස සිරිමාවෝ මැතිණිය කැමැත්ත පළකර ඇත. ජයග්‍රහණයෙන් අනතුරුව චිත්‍රපට සංස්ථාව බිහිකළ බව රෝයි වරෙක පැවසීය.

‘‘නිහාල් සිංහ මහත්මයා සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වුණාම සිනමාවේ දියුණුවට විවිධ ප්‍රතිපත්ති සැලසුම් සකස් කළා. ඒ කාලේ හැමෝටම හිතපු හැටියෙන් අධ්‍යක්ෂවරු වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. හැමෝටම තිබුණා පරීක්ෂණයක්. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න නම් ඒ පරීක්ෂණය සමත් වෙන්න ඕනෑ. අඩි 1000 ක් නෙගටිව් නොමිලේ දෙනවා. කැමරා අධ්‍යක්ෂවරයකුත් දෙනවා. ඒකෙන් කෙටි චිත්‍රපටයක් කරලා පෙන්වන්න ඕනෑ. ඊට පස්සේ චිත්‍රපටයක් කරන්න ණය මුදලකුත් දෙනවා. රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය අනුව ප්‍රදර්ශනය වන දිනයකුත් දෙනවා. මමත් අධ්‍යක්ෂවරයෙක් ලෙසට දොරට වැඩියේ එහෙම තමා. මට තාමත් මතකයි මගේ ඒ කාලේ මගේ අධ්‍යක්ෂ අංකය 139.‘‘

මේ අතරතුර රෝයි සිය සිනමා දිවියේ නිම්වළලු පුළුල් කර ගනිමින් අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු,නළුවකු, තිර රචකයකු වශයෙන් ජනතා ආකර්ෂණයට පාත්‍රව සිටියේය. මේ වනවිට රෝයිට සිනමාව ජීවිතය වී තිබිණි. රෝයි නිසා ගොඩගිය නිෂ්පාදකවරුන් රැසකි. වාර්තා පිට වාර්තා බිහිවුවද රෝයි හම්බකළ සියලුදේ වියදම් කළ පුද්ගලයෙකි. ඔහුගේ අධ්‍යක්ෂණයට මුදල් ලැබුණා මිස චිත්‍රපට ප්‍රදර්ශනය වීමෙන් වාර්තාගත ලෙස මුදල් ඉපවුවත් ඔහුට ලැබුණු මුදලක් නැත.ඔහු කවදාවත් ඒ මුදල්වලට අාශාකළෙත් නැත. ඒ මගේ හැටි යැයි රෝයි වරෙක පැවසීය.     

රෝයි මෙරට සිනමාවට චිත්‍රපට 40කට වැඩි ප්‍රමාණයක්  දායාද කළ අපූරු නිර්මාණකරුවෙකි. මේ සා විශාල චිත්‍රපට ගණනාවකින් ඔහු මෙරට සිනමා කර්මාන්තයට දායාද කළ, හඳුන්වා දුන් නළු නිළි කැල ද අති විශාලය. වර්තමානයේ ඔවුන් සිනමා ක්ෂේත්‍රයේ සුපිරි තරු ලෙසින් බැබලෙමින් සිටීම සැබවින්ම ආඩම්බරයකි. ඔහු මේ සියල්ල සිදු කළේ කිසිදු පෞද්ගලික ලාබ අපේක්ෂාවකින් තොරවය. හුදෙක් කර්මාන්තය වෙනුවෙන් තමන්ගෙන් ඉටු විය යුතු යුතුකමක් ලෙසිනි. එපමණක් නොව එක්තරා වකවානුවක දේශීය සිනමා කර්මාන්තය බිඳ වැටී ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් ඉවතට ඇදෙද්දී යළිත් ප්‍රේක්ෂකාගාර සෙනඟින් පුරවන්න සමත් නිර්මාණ බිහි කළේ ඔහුය.

‘‘1990 දශකය වෙනකොට දේශීය සිනමා කර්මාන්තය කිසියම් පිරිහීමකට ලක් වී තිබුණා. ප්‍රේක්ෂකයෝ සිනමාවෙන් ඈත් වෙමින් හිටියා. සමහරු මේ හිඩැස වහන්න කාමුක චිත්‍රපට හැදුවා. හැබැයි මම ඒ වෙනුවෙන් චිත්‍රපට 07 ක් හදලා බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, ලව් 94, ඔක්කොම කණපිට, රෑ ඩැනියෙල් දවල් මිගෙල් - 1, 2, සූරයන් අතර විරයා මේ චිත්‍රපට. මේ ඔක්කොම ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා. ඒ කාලේ සිනමා ශාලා අයිති අය කිව්වා රෝයි නිසා සිනමා ශාලාවල තීන්ත ගෑවා. අලුත්වැඩියා කළා‘‘ යැයි ඔහු වරෙක කීය.

නමුත් රෝයි සහ සිනමාව ආරක්ෂා කරන්නට මහන්සි වූ  හෙළ හවුල එදා දිනාගත්දේ මේවනවිට වෙනස් වී ඇත. දැනට  නිර්මාණයවී  ඇත්තේ ද  එදා රෝයි සටන්කර දිනාගත් දේමය. නැවතත් සිනමා කර්මාන්තයේ නියමුවන් ඉල්ලනේ චිත්‍රපට සංස්ථාවයි. අද රෝයි වැන්නන් අවශ්‍යම මොහොතක රෝයි අප අතරින් වෙන්ව ගොස් ඇත..

ටොම් පචයා - තණ ගිරවි - සුදු පිරුවට - හිත හොඳ පුතෙක් - හිත හොඳ කොල්ලෙක් - කඩවුණු පොරොන්දුව - ගෙදර බුදුන් අම්මා - තාත්ති මං ආදරෙයි - ජීවන් මල්ලී - පෙම් කැකුල - චෙරියෝ ඩොක්ටර් - චෙරියෝ කැප්ටන් - චෙරියෝ ඩාලිං - අනේ මාස්ටර් - සුමිතුරෝ - රඹා සහ මධු - ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් - ඉට්ස් අ මැටර් ඔෆ් ලව් - ක්ලීන් අවුට් - සැපට දුකට සනී - සූරයන් අතර වීරයා - සිනහ ගඟුල - රැජින මමයි - විජේ සහ අජේ - සදා ආදර ජෝති - ජොන්සන් ඇන්ඩ් ගොන්සන් - ඔක්කොම කනපිට - එක මවකගේ දරුවෝ - සොඳුරු වසන්තය - සිහින ලොවක් සොයා රෝයිගේ නිර්මාණවලින් අතලොස්සකි.

රෝයි ද සිල්වා සිනමාවේදියාණෙනි, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔබ කළ විශිෂ්ට සේවාව තවදුරටත් අවශ්‍යම මොහොතක ඔබ අප අතරින් වෙන්ව යාම  ප්‍රේක්ෂක ජනතාවගේත් සිනමා කර්මාන්තයේත් අභාග්‍යයකි. ඔබට නිවන් සුව !!!

(පොත පත ඇසුරිනි)