ඒ. ඩී. රන්ජිත් කුමාර

මීට වසර 30 කට පමණ ඉහත මා සරසවිය පුවත්පතේ උප කතුවරයකුව සිටි අවදියේ මීගමුවේ සිට පැමිණි කඩවසම් තරුණයෙක් නිතර අප හමුවීමට පැමිණියේය. බූසියක් වැනි කොණ්ඩයක් ඇති වෛවාරණ කමිසයකින් සැරැසී පැමිණෙන ඔහු සතියකට වරක් දෙවරක් අපට නොවරදවාම හමුවෙයි.

“අයියා, මම තකහනියෙම ආවේ අද සරසවියේ තිබුණා සුනිල්සෝම පීරිස්ගේ ෆිල්ම් එකක් පටන් ගන්නවා කියලා. බැරිද මට රඟපාන්න චාන්ස් එකක් ගන්න. ඕගොල්ලෝ කිව්වොත් සලකලා බලාවි.”

“හොඳයි රන්ජන්, අපි කියලා බලන්නම්.” සරසවිය කර්තෘ මාණ්ඩලිකයෝ බොහෝ විට ඇඟ බේරා ගෙන කියති.

සතියක් ඉක්ම ගිය පසු රන්ජන් පැමිණි බව විමසීම් කවුළුවේ සිටින්නා සරසවිය කට්ටියට සිනා සෙමින් පවසා සිටින්නේ “අන්ත අර යාළුවා ඇවිත්” කියමිනි.

අපි බොහෝ විට ඇඟ බේරාගෙන රන්ජන් හමුවීමට යවන්නේ සරසවියේ චිත්‍රපට තොරතුරු ලියන (අකාලයේ මියගිය) සුනිල් හොරේෂස්ය. සුනිල් ගියා ගියාමය. ඔහු නැවත ආපසු එන්නේ රන්ජන් සමඟ කොටුව හොස්පිටල් පාරේ කරක් ගසාය.

“අනේ පව් අහිංසක කොල්ලා, ෆිල්ම් එකක චාන්ස් එකක් අරන් දෙන්න ඕනෑ මිනිහාගේ තියෙන උත්සාහය අගය කරලා.” සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා කියයි.

කර්තෘ මාණ්ඩලිකයන් වූ අනුර බණ්ඩාර රාජගුරු, කැමිලස් පෙරේරා, දීප්ති ෆොන්සේකා, නෙළුම් විමලරත්න මෙන්ම කැමරා ශිල්පී උපාලි ෆොන්සේකා ඇතුළු අපි ඔහු ගැන සුභවාදීව සිතුවෙමු. උදව් කිරීමට සිතුවෙමු.

ඔහු තරම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පිටුපස ගිය තරුණයකු අප දැක තිබුණේ නැත. ඔහු නිතර පැළඳි සුදු සපත්තු දෙක අද ඇත්නම් ඔබට ඒ ගැන සාක්ෂි කියනු නොඅනුමානය. ඔහුට තිබූ පසු නොබසිනා උත්සාහය, උට්ඨාන වීර්යය සුළු පටු නොවේ. ඔහුට තිබුණේ චිත්‍රපට නළුවෙකු වීමේ සිහිනය පමණි. වරෙක ඔහු විල්ප්‍රඞ් සිල්වා නම් අධ්‍යක්ෂවරයා සොයා කොට්ටාවටද, ධර්ම ශ්‍රී කල්දේරා සොයා පාමංකඩට ද, යසපාලිත නානායක්කාර සොයා කොහුවලටද සුනිල් සෝම පීරිස් සොයා මහරගමටද, ලෙස්ටර් ජේම්ස් පීරිස් සොයා ඩික්මන් පාරටද ගොස් රස්තියාදු වී පැමිණි බවට නිවැරැදි සාක්ෂි සපයන්නේද අර සුදු සපත්තු යුවළ පමණි.

සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අපොන්සු නොහොත් වර්තමානයේ රන්ජන් රාමනායකගේ ජීවිත කතාව ඇරැඹුණු හැටියි මේ.

මීගමුවේ කොච්චිකඬේ උපන් රන්ජන් මුලින්ම මොන්ටිසෝරියට ගියේ මීගමුවේ. ආවේ මරියා ගර්ල්ස් ස්කූල් එකටය. ඉන්පසු මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයට ගියේය. ඔහුගේ පාසල් මිතුරන් වූයේ ක්ලීටස් මෙන්ඩිස් (පසුව චිත්‍රපට නළු) හා රන්ජන් මෙන්ඩිස් (අපේක්ෂා, සසරක පැතුම්, පළඟැටියෝ චිත්‍රපට රඟ පෑ ඔහු අකාලයේ මිය ගියේය) දෙදෙනාය. මේ තිදෙනාම පාසල් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමද විශේෂයකි.

“මම චිත්‍රපට නළුවෙක් වීමට හිතුවේ මගේ ළඟම ඥාතියකු වූ විජය කුමාරතුංග නිසා. විජයගේ තාත්තා බෙන්ජමින් රාලහාමිත්, මගේ ආච්චි (අම්මගේ මව) වූ ලිලියන් කුමාරතුංග අයියයි නංගියි. මගේ තාත්තා සයිමන් අපොන්සු දුම්රිය දෙපාර්තමේන්තුවේ ෆෝමන් කෙනෙක්. අම්මා බ්‍රිජට්, අල්පොන්සු ගුරුවරියක්. මට අක්කා එකම අක්කා රමණී විවාහවෙලා දැන් පදිංචි ඕස්ටේ්‍රලියාවේ. මම උපන්නේ මීගමුවේ දිසානායක පෞද්ගලික රෝහලේ. සිංහල සිනමාවේ විශිෂ්ට සිනමා කෘතියක් වූ “සත් සමුදුර” නිෂ්පාදනය කළ දොස්තර ලීනස් දිසානායකට අයිති රෝහලේ. මෙහි ඉපදීමට ලැබීමම වාසනාවක් කියලා අද මම හිතන්නෙ.” රන්ජන් තම වතගොත පවසමින් කීවේය.

රන්ජන් “විජය මාමා” මුල්වරට දැක ගන්න කොට වයස අවුරුදු 6ක් පමණවීලු. තම මවගේ සොහොයුරාගේ පුතා වූ ලලිත් කුමාරතුංගගේ විවාහ දිනයේ සීදුවේ නිවසකදීය. එදා කළු කමිසයක් හා කළු කළිසමකින් සැරැසී පැමිණි විජය මාමාට තිබූ ආකර්ෂණය රන්ජන්ට කියා නිම කිරීමට බැරිය. විජය පැමිණියේ චිත්‍රපට නිළි ශ්‍යාමා අල්ගම සමඟය. “අර ඉන්නේ බි්‍රජට්ගේ පුතා රන්ජන්” යයි කවුදෝ ඈත සිට විජයට කියනු රන්ජන්ට යාන්තම් මතකය. විජය මාමා මාලිනි ෆොන්සේකා සමඟ රඟ පෑ “තුෂාර” චිත්‍රපටය නැරැඹූ දා සිට රන්ජන්ගේ ප්‍රියතම නළු නිළි යුවළ වී ඇත්තේ “විජය හා මාලිනි” යුවළය. එතැන් සිට ඔහු මේ දෙදෙනා සිටි සියලුම චිත්‍රපට බැලීමට අමතක නොකළේය. එපමණක් නොව ඔහුට මේ නිසාම රඟපෑමේ උණ හට ගත්තේය. සරසවිය පත්‍රයේ සිනමා ප්‍රවෘත්ති බලා අලුතින් චිත්‍රපට හදන අධ්‍යක්ෂවරුන් සොයා යමින් රන්ජන් දුෂ්කර ක්‍රියා කළේය. වරක් ඔහු කොළඹ පැමිණ දෙමටගොඩ වජිරඥාණ මාවතේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කාර්යාලයේදී විජය මාමා මුණ ගැසිණ.

“මාමේ....... මම චිත්‍රපටයක රඟපාන්න ආසයි.”
“චිත්‍රපට නළුවෙක් වෙන්න හිතන තරම් ලේසි නෑ පුතා, අපි උත්සාහ කර බලමු.” විජය කියා ඇත.

“මම චිත්‍රපට නළුවෙක් වෙන්න හිතාගෙන කොච්චිකඬේ ලාසරස් ස්ටුඩියෝවට ගිහින් සුදු කළු ඡායාරූප 10 ක් අරන් බස් එකේ නැගලා ලේක්හවුස් එනවා. කොළඹ සුදර්ශියේ චිත්‍රපට අධ්‍යක්ෂ පතිරාජ එල්.එස්. දයානන්දගේ රංගන පාඨමාාව හදාරලා චිත්‍රපටයක රඟපාන්න අම්මගෙන් බොහොම අමාරුවෙන් රුපියල් 450ක් ඉල්ලගෙන ආවේ. පස්සේ “ඔමරිලතා කියලා චිත්‍රපටයක් පටන් අරන් රංජිත් සුරංග හයසින්ත් විජේරත්නත් එක්ක මම රඟපාන්න හිටියට ඒක හිටියතැන ලොප් වුණා. රඟපෑමත් ඉවරයි, සල්ලිත් ඉවරයි. ඇලරික් ලයනල් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “ක්‍රිස්තු චරිතය” සමූහ දර්ශනයක රඟපාන්න මම ගියා. ශේෂා පලිහක්කාර මට වෙස් ගැන්නුවා. මම දර්ශන තලයට ගිහින් ක්‍රිස්තු තුමා හැටියට රඟපාන විජය මාමාත් මමත් අතර සම්බන්ධය අවට අයට පෙන්වන්න මට ඕනෑ කළා. එතකොට දවල් ආහාරයට ෂූටිං නවත්වල.
“විජේ මාමා ...” මම ඈත සිටින ඔහුට කෑ ගැහැව්වා.

“රන්ජන් පුතා කෑවද?” විජය මාමා ඈත ඉඳන් ඇහැව්වා.” මට ඒකත් සැපයි.

මම සමූහ දර්ශනයට හිටියා. චිත්‍රපටය පස් වතාවක් විතර බැලුවා. මම තවම හොයනවා මම හිටියේ කොහේද කියලා. මම තැන් තැන්වල රස්තියාදු වෙවී චිත්‍රපටවල රඟපාන්න හොයන බව ආරංචු වූ විජය මාමා මට දවසක් කිව්වා.

“රන්ජන්, මට ආරංචි වුණා ඔයා එක එක ෆිල්ම් ඩිරෙක්ටස්ලාගේ පස්සෙ යනවා කියලා. ඇයි? කොළඹ ආවාම එක එක තැන ඉන්නේ. ඇවිත් ආච්චිලගෙ ගෙදර (විජයගේ මව) නවතින්න.” කියලා.

“මම නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ ආච්චිලගේ ගෙදර නැවතුනා. මහ පාරේ ඉඳලා මේ පාර දිගේ එනකොට ලස්සන ගැහැනු ළමයෙක් මාත් එක්ක හිනා වෙනවා. මාත් හිනා වෙනවා. එයා මම ගෙදර අසලින් යන කල් බලා ඉන්නවා. අපි ලියුම් ලියන්නත් පටන් ගත්තා. ඒ ගැහැනු ළමයා එතකොට ඉස්කෝලෙ ගිහිල්ලා නැවතිලා චන්න විජේවර්ධනගේ නැටුම් පන්තියට යනවා. විජය මාමා හිටියේ පොල්හේන්ගොඩ අලුත් ගෙදර. එයා එතැන ඉඳලා අම්මා බලන්න පයින්ම තලකොටුවේ අම්මගේ ගෙදර එන්නේ. දවසක් විජය මාමා ඇවිදගෙන එනකොට අර ගෑනු ළමයා විජය මාමාව නවත්තල මෙහෙම කියලා තියෙනවා.

“විජය අයියා, මට පුංචි උදව්වක් කරනවද? රන්ජන්ට මේ පොත කරුණාකරලා දෙනවද?”
විජය මාමා නවකතා පොතක් මට ගෙනල්ල දුන්නා අර අහවල් ගෙදර ඉන්න ගැහැනු ළමය දුන්නා කියලා. ඒකෙ ඇතුළේ තිබුණ ලියුම මාමා දැකලත් ඇති. විජය මාමා කිසිදාක අනුන්ගේ ලියුම් කියවන්නේ නැහැ. මේ කතාව අහල ආච්චි මට හොඳටම බැන්නා. ඒක ඇති වී නැති වී ප්‍රේමයක්. යොවුන් වියේ ඇති වූ අහිංසක ආදරයක්. අද මේ ගැහැනු ළමයා ජනප්‍රිය සම්මාන ලාභී නිළියක්. එපමණක් නෙවෙයි. එයා මාත් එක්ක චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත රඟපෑවා.”

රන්ජන් තම ප්‍රථම ප්‍රේමය පුදකළ ගැහැනු ළමයා හිටියේ ගමේය. මීගමුවේ ආවේ මරියා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ ඇය පැමිණ ඇත්තේ බක්කි කරත්තයකිනි. මුලින් මේ බක්කි කරත්තය මාරිස්ටෙලාවට එන්නේ ඇගේ මල්ලිව ඇරලීමටය. ඇය හරියට සරත් මදූගේ “දේදුණු කැළුම්” චිත්‍රකතාවේ එන දේදුණු වගේ යයි කියන රන්ජන්ට ඇය පිළිබඳ සිතක් ඇති විය. දිලන්ති නම් ඇය යන බක්කි කරත්තය පසුපස බෝලවලානේ ඇගේ ගෙදර ගාවටම රන්ජන් දිව්වේය. ඔහුගේ හදවතින් පිරිනැමුණු සිනාව ඇය පිළිගෙන ඇත්තේ ඔරොවමිනි. එහෙත් රන්ජන් තම උත්සාහය අත්හැර නැත. දිනක් රන්ජන්ගේ මිතුරෙක් මේ සිද්ධිය දැක ඔහුට කියා ඇත්තේ තමා ඒ ගැහැනු ළමයා හොඳින් දන්නා නිසා කෙසේ හෝ ඇය යාළුකර දෙමියි පොරොන්දුව ද දෙමිනි.

දින කිහිපයකට පසු මිතුරා මුතුවැනි අකුරින් ලියූ ආදර හසුනක් රන්ජන්ට ගෙනැවිත් දුන්නේය. එදා ඔහුට නින්ද ගියේ නැත. තමා තරහෙන් ඔරවා ගෙන යන්නේ බක්කි කරත්තය පදවන තම සීයා නිසා බවද ලිපියේ සඳහන් කර තිබුණි. එය පිළිගත් රන්ජන් ආදර හසුන් ලියා මිතුරා අත යැවීය. රන්ජන් දකින ඇය තරහෙන් ඔරවන එක සීයා නැති විටත් දිගටම සිදුවිය. ඔහු තාත්තාගේ කමිස සාක්කුවේ මුදල්ද අම්මාගේ ගෙදර වියදමට තියෙන මුදල්ද රැගෙන ඔහු පෙම්වතියට තෑගි දුන්නේය. මිතුරා ඒවා ගෙන ගියත් පෙම්වතිය ගෙන් නම් යහපත් ප්‍රතිචාරයක් නොවීය. පසු ඔහුට දැන ගන්නට ලැබුණේ ලියුම් ලිව්වේද තෑගි ලැබුවේද මේ මිතුරා බවය.

“මම ඒ දවස්වල හිටියෙ ගිනි අරගෙන වගේ. කොටින්ම මම දේව්දාස් වගේ පරාජිත පෙම්වතෙක් වගේ හිටියේ. මම පාසල් යන කාලේ ගැහැනු ළමයි කිහිප දෙනෙකුට ආදර කළාට ඒ අය මගේ ආදරේ පිළිගත්තේ නැහැ. ඇතැම් කෙල්ලන් මා ඒ අයට ආදරේ කළ බවවත් දැන හිටියෙ නැහැ. මට තිබුණේ කෙහෙතගේ අපලෙ. ගෙවල් ළඟම ලස්සන කෙල්ලක් හිටියා. ඇය මට කැමැති බව දැන හිටියත් මම ආදරේ ප්‍රකාශ කිරීමට බය වුණා” රන්ජන් ප්‍රේම පුරාණය හෙළි කරමින් කීවේ තමාට සිනාසෙමිනි.

රන්ජන් තම නළු සිහිනය ඉටුකර ගැනීමට විජය මාමාගේ නිවසට ගියේ හරියට කාර්ය බහුල නළුවකු මෙන් දින පොතක්ද රැගෙනය. මට මතකයි යසපාලිත, සුනිල්සෝම, සෙල්ලප්පෙරුම, විජය මාමා හමුවෙන්න එනවා.
“මේ රන්ජන්, මගේ පුතෙක් වෙනවා.” කියලා විජය මාමා ඒ අයට අඳුන්වල දුන්නත් ඔවුන් මා ගැන තැකීමක් කළේ නෑ. අනිත් අයගෙන් සුනිල්සෝම මනමාලයකු ලෙස රඟපෑමට මට අවස්ථාව දුන්නත් යසපාලිත මාව ගත්තේම නෑ. මොකද පුතාල දෙන්න නළුවෝ නිසා. දවසක් වික්ටර් මාන්නගේ කියන නව අධ්‍යක්ෂවරයා විජය මාමා හම්බවෙන්න ආවා. ඔහුගේ “හිත හොඳ සූරයා” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විජය මාමා.

“අනේ, විජය මහත්තයෝ, මට දවස් 5ක් දෙන්න මම ඔක්කොම සීන් ටික ඉවර කරන්නම්.”
“වික්ටර්, මම මේ ටිකේ දේශපාලන වැඩ. අලුත් කෙනෙක්ව දාගෙන වැඬේ ඉවර කරගන්න. ඇයි මේ රන්ජන් ඉන්නේ.”

“අපෝ මෙයාව නං එපා. මම විජය මහත්තයා දේශපාලන වැඩ ඉවරවෙලා එනකං ඉන්නම්” වික්ටර් කිව්වේ මා දිහා අමුතු විදිහකට බලලා.

මම ඔක්කොම ඉවසගෙන හිටියා.
රන්ජන් අපොන්සු නම් නළුවා රන්ජන් රාමනායක වූයේ මා “සරසවිය” පුවත්පතේ සිටියදීය. ඒ කතාව මෙසේය. එකල නවක චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තමන් අමාරුවෙන් නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා ප්‍රචාරය ලබා ගැනීමට “සරසවියට” පැමිණෙති. ඉන් කෙනෙකි සෝමරත්න රාමනායක. ඔහු “ජය කොතනද” චිත්‍රපටය අරඹා එහි ප්‍රධාන නිළියට සනෝජා බිබිලේ තෝරාගෙන තිබුණි. එහෙත් ප්‍රධාන නළුවා නැත. ඔහු මේ ගැන අපට කීවේ සිත්වේදනාවකිනි. නවකයෙකුට උපකාර කිරීමට සැදී පැහැදී සිටි අපට රන්ජන් අපොන්සු මතක් විය.

“සෝමරත්න, මීගමුවේ පැත්තේ අලුත් කොල්ලෙක් ඉන්නවා. අපි ඌට තැනක් දෙමුද? උත්සාහවන්ත කොල්ල.” අපිත් පත්තරෙන් සපෝට් එක දෙන්නම්.”

රාජගුරු, කැමිලස්, උපාලි, දීප්ති යන උපකතුවරුන් මේ අදහසට පෝර දැමූහ.
“මම කැමැතියි.” සෝමරත්න කීය.

රන්ජන්ට චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබිණ. තමාව සිනමාවට හඳුන්වා දුන් සෝමරත්න රාමනායකගේ “රාමනායක” නම රන්ජන් තම නමට ඈඳාා ගත්තේ ඔහුට කළගුණ සැළකීමටය. සරසවිය කතුවරයා, රන්ජන් හා සනෝජා වර්ණ ඡායාරූපයක් “සරසවිය” පත්‍රයේ පසුපිටෙහි පළ කොට ඔහුට අතහිත දුන්නේය. රන්ජන්ගේ පටන්ගැන්ම එතැනය.

දැන් රන්ජන් ජනප්‍රිය චිත්‍රපට නළුවෙකි. දිනක් මා සොයා පැමිණි රන්ජන් කියා සිටියේ තමා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑමට ආසාවෙන් පසුවන බවය. මේ කාලයේ මම ලෙස්ටර්ගේ “අවරගිර” චිත්‍රපටයේ සම්බන්ධීකරණ කටයුතුවල නියැලී සිටියෙමි. මම ලෙස්ටර් මහතාට රන්ජන් ගැන හොඳ රෙකමදාරුවක් දුනිමි. ඔහුට තමා හමුවන ලෙස ලෙස්ටර් මහතා කීවේය. රන්ජන්ට මා මේ බව කී විට අන්ද මන්ද විය. සතුට දෝර ගියේය.

ලෙස්ටර් මහතාගේ නිවසට ගිය රන්ජන් මුලින් කියා ඇත්තේ “සර් මම රඟපාලා පෙන්වන්නද” කියාය.
“එපා රන්ජන්, ඔයා දැන් කරන රඟපෑමෙන්ම හිතුවා අවරගිරේ ප්‍රියංකර සැකිගලට තෝරාගන්න.”
“ඇත්තද? සර්”

ගේට්ටුව ගාවට ගිය රන්ජන් නැවත හැරී ලෙස්ටර් මහතා හමුවීමට ගියේ දෙගිඩියාවෙනි.
“සර්ගේ හිත වෙනස් වෙයිද දන්නේ නැහැ.”

“නැහැ ළමයෝ, හෙට ඇවිත් අපේ සහාය අධ්‍යක්ෂක උපාලි පෙරේරාව හම්බවෙන්න.”
දැන් රන්ජන්ගේ සිතට සනීපය. ඔහු පොත්හලකට ගොස් ජී.බී. සේනානායකගේ “අවරගිර” නවකතාව මිලදී ගත්තේ එහි එන ප්‍රියංකර සැකිගල හඳුනා ගැනීමටය. එදා මා කළ උපකාරය ගැන රන්ජන් පුවත්පතකට සිය කෘතඥතාව පළ කිරීමට කාරුණික විය. චිත්‍රපටය බැලූ මම ඔහුටත් වඩා ඔහු ගැන ආඩම්බර වූයෙමි.

රන්ජන් ගැන බොහෝ රසකතා, නොකී කතා තිබේ. ඒවා ලිවීමට ඉඩකඩ මදිය. ඇතැම් සිද්ධි ලිවීමට බැරිය. එතරම්ම ත්‍රාස ජනකය. රන්ජන් අද දේශපාලනඥයෙකි. නියෝජ්‍ය ඇමැතිවරයෙකි. එහෙත් ඔහු තවමත් තනිකඩයකි. ඒ ගැන ඇසූ විට ඔහු කී පිළිතුරෙන් මම මේ ලිපිය අවසන් කරමි.

“මම ක්‍රියාකාරී දේශපාලනය කරන්නෙක්. මම විවාහවෙලා ඉන්නේ මගේ ආදරණීය ඡන්ද දායකයෝ එක්ක. මගේ තනිකඩ ජීවිතය ශක්තියක්. මට අද පවුල් බර නැහැ. බැඳීම් නෑ. මට ලොකු පරපුරක් හිටියනං මට හොරකම් කරන්න වෙනවා. මම විවාහ වෙලා හිටිය නන් බිරිඳ පුද්ගලික ලේකම්වරිය කර ගන්න වෙනවා.

ඊළඟට එයත් පාර්ලිමේන්තුවට රිංගන්න හදනවා. නැත්නම් පළාත් සභාවේ මහ ඇමැතිකම ඉල්ලයි. මස්සිනාට මාධ්‍ය ලේකම්කම දෙන්න වෙනවා. ඒ අතින් කොතරම් මම වාසනාවන්තයි. එතකං ඔහොම යං ඩඞ්ලි සේනානායක, විජයානන්ද දහනායක, නරේන්ද්‍ර මෝදි, අබ්දුල් කලාම් වැනි ශ්‍රේෂ්ඨයන් මගේ පරමාදර්ශ චරිත. ඔවුන් අවිවාහයෙකයෝ. මට මේ වෙලාවේ සිසිර සේනාරත්න ගයපු ගීතයක කොටසක් සිහිවෙනවා.” (ඔහු ගයා පෙන්වයි)

“තනිකම වගේ සුවයක් ලොවේ
මිනිසත් බවේ තවත් නොවේ
මනසින් ලබන්න හැකි සුවේ
අප ළං වුණොත් දුරස් වෙතේ”