ජනපති සිරිසේන මහතා දැඩි අවධානය යොමුකර තිබෙන තවත් කාරණයක් වන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපයයි. පසුගිය අගහරවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා  සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා, ජයසුන්දර සමස්ත පොලිසියටම නරක නාමයක් ගෙන දී තිබෙන බව පවසමින්, මෙයා මහ ජෝකර් කෙනෙක් යැයි කීවේය. 

ජයසුන්දර මහතා තවදුරටත් පොලිස්පතිධූරයේ නොසිටිය යුතු පුද්ගලයෙක් බවත්, ඔහුගේ ක්‍රියාකලාපය නිසා ජනතාවගෙන් දොස් ඇසීමට සිදුව තිබෙන්නේ තමාට සහ අගමැතිවරයාට බවත් ජනපති සිරිසේන මහතා පැවසුවේය. 
එහෙත්, ඉතාම පුදුම සහගත ලෙස, අගමැතිවරයා හෝ එකම කැබිනට් අමාත්‍යවරයෙක් හෝ ජනපතිවරයාගේ අදහස් දැක්වීමට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. පූර්ණ නිහැඩියාවක් පැවතිණ. 

පොලිස්පතිවරයා හා පොලිසිය රටේ අපරාධ අඩු කිරීමට සහ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට අනර්ඝ මෙහෙයක් සිදුකර ඇතැයි අගමැති වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පතිවරයාව පසසන ලද්දේ ඊට දිනකට පෙරය. එය එසේ වුවත්, අර්ජුන් ඇලෝසියස්ගේ පවුලේ ව්‍යාපාරයක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ සේවකයින්ගෙන් සාක්කි ලබාගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අනුගමනය කරමින් සිටින දැඩි පිළිවෙත ඔහුගේ විවේචනයට ලක්විය. තමන් මහ බැංකු බැදුම්කර වංචාවට ඈඳීමට ඔවුන් උත්සාහ කරමින් සිටින්නේයැයි ද අගමැතිවරයා චෝදනා කළේය.

ඊට අමතරව, නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මන්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැදවමින් පොලිසියේ වටිනාකම් පිළිබදව ප්‍රශංසා මුඛයෙන් අදහස් පළකළේය. පැවසෙන තරමේ ගැටලුකාරී තත්ත්වයක් රටේ නීතිය හා සාමය පිළිබඳ වාතාවරණය සැළකීමේ දී නොමැති බව ඔහුගේ අදහස විය. 

මෛත්‍රී - මහින්ද සාකච්ඡා හමුවේ සභාග රජයේ සාමාජිකයෝ තිරය පසුපස සිට ව්‍යංගයෙන් යුද ප්‍රකාශ කර තිබෙන්නේ මේ ආකාරයටය. 

ව්‍යවස්ථාව ප්‍රකාරව රටේ පොලිස්පතිවරයා තෝරාගැනීම ව්‍යවස්ථා සභාව සිදුකරතත් ඔහු හෝ ඇය තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන අවසරයක් හෝ සඳහනක් නොමැත. 

2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ පණත යටතේ අවශ්‍ය නම් එය කළ හැකි බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගයක් පෙන්වා දුන්නේය. ඒ සදහා අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් වන ගැටලුව පාර්ලිමෙන්තුවේ සාකච්ඡා කර, අනතුරුව ඔහුව හෝ ඇයව ඉවත් කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට පත් කෙරෙන විමර්ෂණ කමිටුවක සාමාජිකයන් බහුතරයකගේ අනුමැතියද හිමිකර ගත යුතු වේ. පත් කෙරුණු පසු, එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු විමසීමට සහ එම තොරතුරු වාර්තා කිරීමට කමිටුවට ව්‍යවස්ථාමය අවසරයක් හිමි වේ. මෙනිසාවෙන්ම පොලිස්පති තනතුර දේශපාලඥයින්ගේ වුවමනා හා එපාකම්වලින් යම් තරමකින් හෝ ආරක්ෂිත බව කිව හැකිය.
නමුත් අදාළ නිලධාරියාට මානසික හෝ ශාරීරික දුර්වලතාවයන් ඇති අවස්ථාවල දී මෙම තත්ත්වය වෙනස් වේ. එවන් අවස්ථාවල දී පණතෙහි දැක්වන ආකාරයට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ජනපතිවරයා දක්වන අදහස් පදනමේ සිට තීරණයක් ගත හැකිය. 

වත්මන් ජනාධිපතිවරයා දැඩි ලෙසම අවධානයෙන් සිටින තවත් කාරණයක් වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැර තිබීමත්, ඉන්ධන මිලෙහි ඉහළ යාම යන කරුණු හමුවේ ජනතාව මත දිනෙන් දිනම පැටවෙමින් තිබෙන ජීවන වියදම ඉහළ යාමේ ගැටලුවට විසඳුමක් සොයා ගැනීමත්ය. ඒ සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනුගමනය කරමින් සිටින ප්‍රවේශය වන ජීවන වියදම ඉහළ යාමට ඉඩ හැර රුපියලට නිදහසේ පාවීමට අවස්ථාව සළසා දී තිබීම, සම්බන්ධයෙන් ජනපතිවරයා සිටියේ අමනාපයෙන්ය. 

අඟහරුවාදා රැයේ තමන් ප්‍රධානීත්වය දරන ජාතික ආර්ථික කවුන්සියලේ හමුවක් කැඳවීමට ජනපති සිරිසේන මහතා කටයුතු කළ අතර, ඔහුගේ ඉල්ලීම පරිදි පාර්ශවකරුවෝ රැසක් එයට එක්ව සිටියහ. සමරවීර මහතාත්, විශ්ව විද්‍යාලයන්හි ආර්ථික විද්‍යාව විෂයේ උගතුන්, ව්‍යාපාර සභාවල නියෝජිතයන් සහ මහ බැංකුවේ නිලධාරීහුද ඔවුන් අතර වූහ. 

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා කරුණු පැහැදිලි කරමින් රුපියල ශක්තිමත් කිරීම සදහා විදේශ සංචිතවලින් ඩොලර් මිලියන 180 ක් වෙළදපලට මුදා හැරීමට පියවර ගත් බව පැවසුවේය. පෙර අවස්ථාවකදී, මුදල් අමාත්‍ය සමරවීර මහතා අවධාරණය කර කියා සිටියේ රුපියල ශක්තිමත් කිරීමට යැයි විදෙස් සංචිත යොදා ගැනීම කිසිසේත්ම නොකළ යුතු බවය. මේ වන විට විදෙස් සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 7.2 ක් බවද නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් කීවේය. 

පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයක් දෙපළක් වූ හැරී ජයවර්ධන සහ මොහාන් පතිරගේ මහත්වරු අදහස් දක්වමින් ව්‍යාපාරිකයන් ලෙස ඔවුන්ට මුහුණදෙන්නට සිදුව තිබෙන තත්ත්වය විස්තර කළහ. මෙම අවස්ථාවට සහභාගීව සිටි අමාත්‍ය මහින්ද සමරසිංහ පසුව මාධ්‍ය අමතමින්, උද්ගතව තිබෙන තත්ත්වය ජනපතිවරයාගේ දැඩි අවධානයට ලක්ව තිබෙන බවත් ඒ නිසාම සියලු කරුණු ඉතාම සැළකිලිමත්ව අධ්‍යනය කෙරෙමින් පවතින බවත් කීවේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයක් ඇති කිරීම - රැකියා උත්පාදනය සහ සංවර්ධන ව්‍යායාමය, නමින් වූ වැඩසටහනකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ජනපති සිරිසේන මහතා සමත් විය. 2019 සිට 2021 වසර දක්වා වසරකට රුපියල් බිලියන 50 බැගින් මෙම වැඩසටහනට වෙන් කිරීම සදහාද අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි විය. ජාතික ආර්ථික කවුන්සිලය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

සිය කැබිනට් පත්‍රිකාවෙන් වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය විස්තර කර තිබෙන ජනාධිපතිවරයා, ගෙවීමට සිදුව තිබෙන ණය ප්‍රමාණය, සාපේක්ෂව අඩු මට්ටමකින් සිදුවන ආර්ථික වර්ධනය, ඉහළ යන ජීවන වියදම, ආදායම් ලැබීමේ අසමානතා, ග්‍රාමීය මට්ටමින් සිදුවන සංවර්ධනයේ අසමානතා, තරුණයින් අතර විරැකියාව, උසස් ජීවන තත්ත්වයක් කරා ළගාවීමට ජනතාවගේ ඇති අපේක්ෂාවන්, යනාදිය සැළකීමේ දී රටේ ආර්ථිකය මීට වඩා සීඝ්‍රයෙන් සංවර්ධනය විය යුතුව තිබෙන බව පෙන්වා දී තිබේ.

ආර්ථික නිදහස ජනතාව වෙත දිනා දීමේ වැදගත් පියවරක් වන්නේ රැකියා උත්පාදනය බව ද ජනාධිපතිවරයා විස්තර කර ඇත.

ගතවූ දින කිහිපයේ ජනපතිවරයාගේ අවධානය යොමුව තිබූ තවත් කාරණයක් වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී ඔහු කළ දේශනයයි. 

නව මානකින් ශ්‍රී ලංකාව දෙස බැලීමට අන්තර්ජාතික ප්‍රජාව කටයුතු කළ යුතුව තිබෙන බවත්, ස්වාධීන රාජ්‍යයක් ලෙස කිසිදු විදේශ බලයකට නතුවීමට කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත්, ඔහු එහිදී අවධාරණය කළේය. ජනපතිවරයා එයින් අදහස් කර සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලට ඉදිරිපත්ව තිබෙන යෝජනාවලියයි. 

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින ගැටලුවලට විසදුම් සොයා ගැනීමට අවකාශය සළසා දී ගැටලුවලට පිළියම් සොයා ගැනීමට ශ්‍රී ලංකා ජනතාවට ඇති අයිතියට ගෞරව කරන ලෙස ද ජනපති සිරිසේන මහතා ඉල්ලා සිටියේය. ඔහුගේ අදහස් දැක්වීම හමුවේ ගැටලු රැසක් පැන නැගී තිබෙන අතර, ඉන් ප්‍රධාන වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග සභාග රජය පිහිටුවාගෙන තිබූ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව ඇති ද යන්නය.

ජනපතිවරයාගේ ප්‍රකාශය හමුවේ ලන්ඩනය පදනම්ව ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය කෝපයට පත්ව සිටින අතර, ඔවුන් මේ වන විටත් බටහිර රටවල ජනපතිවරයාගේ ප්‍රකාශයට එරෙහි ව්‍යාපාරයක් ආරම්භ කර අවසන්ය. මැතිවරණයට පෙර ශ්‍රී ලංකා රජය තමන්ට දුන් පොරොන්දු ඔවුන් දැන් කඩකර දමා ඇතැයි එම සංසදය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කරවන බවට බටහිර රටවල් කිහිපයක්ම ගෝලීය දෙමළ සංසදය වෙත දැනුම් දී තිබේ.

ජනපතිවරයා ලෙස පත්ව සති කිහිපයකට පසු 2015 මාර්තු මස 15 වැනිදා, ජනපති සිරිසේන මහතා සහ ගෝලීය දෙමළ සංසදයේ දූත පිරිසක් අතර හමුවක් ලන්ඩනයේ පාර්ක් ලේන් හි පිහිටි හිල්ටන් හෝටලේ ජනපති කාමර සංකීර්ණයේ දී පැවැත්විණ. කිරි තේ, කිරි බත්, සීනි සම්බෝල, ආප්ප, ඉදි ආප්ප, මාලු  සහ වෙනත් ව්‍යංජනවලින් සැදුම්ලත් ආහාර වේලක රස විදින අතරේ උතුරේ ඇති ඉඩම් නැවත දෙමළ ජනතාව වෙත පවරා දීම සම්බන්ධයෙන් ජනපතිවරයා ගෝලීය දෙමළ සංසදයේ දූත පිරිස හා සාකච්ඡා කළේ ය. 

අන්තර්ජාතික ප්‍රජාවට ලබා දී තිබෙන පොරොන්දු කිසිවක් ශ්‍රී ලංකාව පැහැර හැර නොමැති බවත් ඒ නිසාම එක්සත් ජාතීන් වෙත ලබා දී තිබෙන සහතිකයන් මත ඉතාම දැඩිව පිහිටා කටයුතු කරන බවත් එම අවස්ථාවේ දී ඔහු අවධාරණය කළේය. එවක විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාත් පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාත් ජනපතිවරයා සමග මෙම හමුවට සහභාගීව සිටියහ.  

ගෝලීය දෙමළ සංසදය 2016 වසරේ බර්ලිනයේදීද, 2018 වසරේ නැවත වරක් ලන්ඩනයේදීද, බැගින් තවත් අවස්ථා දෙකක දී ජනපතිවරයා හමුවිය. එම්මානුවෙල් පියනම මේ වන විට යාපනයේ පදිංචිව සිටී.

මෙම පිටුවේ පළව තිබෙන ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජනපති සිරිසේන ගෝලීය දෙමළ සංසදයේ නිර්මාතෘවරයා වන එස්. ජේ. එම්මානුවෙල් පියනම පිළිගන්නා ආකාරයයි.