තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
bingungamage88@gmail.com, tharindudld@gmail.com

ඇතැම් බලධාරීන් ‘හරක් වැඩ’ කරන බවට ජනතාව චෝදනා කරන්නේ කලක පටන්ය. ‘හරක් වැඩ’ යනුවෙන් ඔවුන් එදා අදහස් කළේ වැරදි යමක් කරනවා යන්නය. එහෙත් මේ කියන්නට යන්නේ සැබැවින්ම හරක් වැඩක් ගැනය. මේ හරක් වැඬේ නිසා රජයට පමණක් නොව දේශීය අයෝජකයන් සහ කිරි ගොවීන් විශාල පිරිසකට අත්වූයේ ශෝකජනක ඉරණමකි.

පෞද්ගලික අංශය සමඟ එක්ව කිරි ගවයන් ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව 2006 වසරේ සිට පැවතුණු බවට පැරණි කැබිනට් පත්‍රිකා මෙන්ම වෙනත් ලිපි ලේඛන අනුව  පෙනී යයි. දේශීයව කිරි නිෂ්පාදනය දියුණු කිරීම 2006 වසරේ දී ප්‍රකාශිත රජයේ ප්‍රතිපත්තිවල ද සඳහන් විය. 

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් යැයි කියමින් කිරි ගවයන් ආනයනය කිරීම ඇතුලු යම් යම් කාරණා සම්බන්ධයෙන් 2007 වසරේ සිට 2017 වසර දක්වා ඒ ඒ වකවානුවේ සිටි අමාත්‍යවරුන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආමාත්‍යවරුන් වන සී බී රත්නායක, බැසිල් රාජපක්ෂ සහ තොන්ඩමන් යන අමාත්‍යවරු ද ඒ අතර වෙති. කිරි ගවයන් ගෙන්වීම සම්බන්ධයෙන් එම කාලවකවානුවේ පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබිනි.  2007 වසරේ දී කිරිගවයන් ආනයනය කිරීමට කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු විය. 

කෙසේ වෙතත් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රථම කොටස ලෙස 2012 වසරේ මාර්තු මාසයේ දී කිරි ගවයින් 500ක් ද, 2013 වසරේ ජනවාරි මාසයේ දී කිරිගවයන් 1500ක් ද ආනයනය කර තිබේ. එම ගවයන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බෝපත්තලාව, මැණික්පාලම හා ඩයගම යන ගොවිපොළවල් තුනට බෙදා දී තිබිණි.  දෙවැනි අදියර ලෙස 2015 දී කිරි ගවයන් 2495ක් ආනයනය කර හම්බන්තොට පිහිටි පශු සම්පත් මණ්ඩලයේ රිදියගම ගොවිපොළට බාර දී ඇත. දේශගුණික අතින් නුසුදුසු හම්බන්තොට රිදියගම ගොවිපොළ වෙත කිරිදෙනුන් ලබා දී තිබුණේ ශඛ්‍යතා අධ්‍යයනයකින් තොරවය. 2007 වසරේ සිට 2015 වසර දක්වා කිරිගවයන් ආනයනයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා ද එකිනෙකට පරස්පර වී ඇති බව වරෙක විගණකාධිපතිවරයා ද නිරීක්ෂණය කර තිබිණි. මෙම ව්‍යාපෘති නිසා රජයට පාඩු වී තිබුණු අතර ප්‍රශ්න සහගත අවස්ථා රැසකට මුහුණ දීමට නිලධාරීන්ට සිදු විය.  

කෙසේ වෙතත්  ව්‍යාපෘතියේ තුන් වැනි අදියර ලෙස වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට කිරිගවයන් 20,000ක් ආනයනය කර ගොවීන් අතර බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවකට 2004 වසරේ ජනවාරි මස 13 වැනි දා අනුමැතිය ලැබිණි. කිරි ගවයන් ආනයනය කිරීමට නෙදර්ලන්ත බැංකුවකින් ණය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබුණු අතර අදාළ බැංකුව සමඟ ණය ගිවිසුම් අත්සන් කිරීමට   කැබිනට් පත්‍රිකාවෙන් අවසර ඉල්ලා තිබුණේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.   2014 ජුනි මස 05 වැනි දා තම කැබිනට් පත්‍රිකාව අනුව මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 73.95කි.  

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අතරමඟ නැවතුනේ 2015 වසරේ දී ආණ්ඩු පෙරළියත් සමඟය. 2015 වසරේ දී වර්තමාන රජය බලයට පත්වූයේ රාජපක්ෂ රජයේ දූෂණ වංචාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කියමිනි. බරපතල ලෙස චෝදනා එල්ල වූ කිරිගවයන් ගෙන්වීමේ ව්‍යාපෘතිය අතරමඟ නතර කර වැරදි සොයනවා ඇතැයි ඇතැමුන් සිතුව ද එම ව්‍යාපෘතිය යළිත් ආරම්භ විය. 

යළිත් වරක් කිරි ගවයන් 20000ක් ආනයනය කිරීමේ කතාව කරළියට එන්නේ 2017 වසරේදීය. ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කිරි ගවයන් 20000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය අපේක්ෂාවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ 2017 මාර්තු මාසයේදී ය. ඊට මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද ලබා ගන්නා අතර 2017 අප්‍රේල් අගදී කැබිනට් අනුමැතිය ලැබිණි.  පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව කිරි ගවයන් 5000ක් ගෙන්වීමටත් එහි සාර්ථකත්වය මත ඉතිරි 15,000 ගෙන්වීමටත් එකඟත්වයක් පැමිණ තිබුණු අතර එහි මුල් අදියර ලෙස කිරිගවයන් 2000ක් ආනයනය කිරීමට කටයුතු සැලසුම් කළේය. 

කිරිගවයන් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුව කොන්ත්‍රාත්කරුවකුට බාර දිය යුත-ු වුවත් සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. හරක් ගෙන්වීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බල්ලාට දමමින් 2007 වසරේ දී එනම් වසර 10කට පෙර ඩෙන්ඩර් කැඳවා කිරි ගවයන් ආනයනයට බාර දීමට තෝරාගත් කොන්ත්‍රාත්කරුටම ඩෙන්ටර් කැඳවීමකින් තොරව යළි කොන්ත්‍රාත්තුව බාරදීමට අමාත්‍යංශය පියවර ගත්තේය. 

කිරි ගවයන් 20,000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2014 ජුනි 05 දිනැති කැබිනට් තීරණය අනුව ආනයනික ගවයන් 
නිරෝධායනය සඳහා හුදෙකලා ප්‍රදේශවල පශු වෛද්‍ය සුපරීක්ෂණය යටතේ මාසයක කාලයක් තැබිය යුතු විය. ආනයනික සතුන් සෘජුවම ගොවිපොළ වෙත ලබා නොදී රජයේ ගොවිපොළවල් භාරයේ තබාගෙන  දෙවැනි පරම්පරාව ගොවීන් වෙත බෙදා දීම ද එදා කැබිනට් තීරණය විය. 

මෙම වැඩසටහනට අදාළව කිරි එළදෙනුන් ලබා ගැනීමට කැමැත්ත පළ කරන අයට අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් දින දෙකක දී පුවත්පත් දැන්වීම් දෙකක් පළ කළේය. ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් 2017 ජනවාරි මාසයේ 08 වැනි දා ඉංග්‍රීසි සහ දෙමළ බසින් ද 2017 ජනවාරි මස 15 වැනි දා සිංහල බසින් ද ප්‍රසිද්ධ දැන්වීම් පළ කළේය.  කිරි දෙනුන් 10කට වැඩියෙන් ලබා ගැනීමට කැමැත්තක් දක්වන ව්‍යවසායකයන්ගේ යෝජනා අයදුම්පත්‍රයක් සමඟ එවන ලෙස එහි දක්වා තිබිණි. ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තෝරා ගන්නා පිළිවෙළ හෝ ක්‍රමවේදය ගැන පැහැදිලි විස්තරයක් නොතිබුණු අතර කිරිදෙනුන් ලබා දෙන්නේ නොමිලයේද එසේත් නැතිනම් සහනාධාර මතද යන්න එම දැන්වීම් අන්තර්ගත කර තිබුණේ නැත. අඩු තරමේ අයදුම්පත් එවිය යුත්තේ ලියාපචිංචි තැපෑලෙන් ද, සාමාන්‍ය තැපෑලෙන්ද, ගෙනැවිත් බාරදිය යුතුද යන්නවත් එහි සඳහන් කර නොතිබිනි. 

අයදුම්කරුවන්ට ලියාපදිංචි විය හැකි බව දන්වා  තිබුණු අතර අමාත්‍යංශය වෙත අයදුම්පත් 1106ක් ලැබුණු බව අමාත්‍යංශයේම ඇතැම් ලේඛනවල සඳහන් කර තිබිණි. මේ ගැන කළ විගණනයක දී අයදුම්පත්‍ර 1823ක් ලැබුණු බව සනාථ කරගෙන ඇත. එයින් කියැවෙන්නේ අයදුම්පත් ලැබීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයකට කටයුතු කර නැති බවයි.  අයදුම්පත් අතුරෙන් සුදුස්සන් තෝරාගත් ක්‍රමවේදය ද බරපතල ගැටලු සහගතය. සුදුස්සන් තෝරා ගනිද්දී කිරි ගවයන් 1-0ට අඩුවෙන් ඉල්ලූ පිරිස සහ ඔවුන් අපේක්ෂා කළ දිස්ත්‍රික්කවලට පිටින් අයදුම් කළ පිරිසේ අයදුම්පත් නොසලකා හැරි බව අමාත්‍යංශය පැත්තෙන් ප්‍රකාශ කරයි.  

පිළිගත් ක්‍රමවේදයන්ට පිටින් ගොස් කිරි ගවයන් 2500ක් ආනයනය කිරීමට කටයුතු කළ අතර 2017 මැයි 14 වැනි දා ලංකාවට ගෙනාවේ කිරිගවයන් 1994 දෙනකු පමණි. ඉතිරි හය දෙනාට වූ දේ ගැන නිසි සඳහනක් නැත. ඇතැමුන් කියනුයේ ඔවුන් ගෙන එන අතරතුර මිය ගිය බවයි. එලෙස ගෙන ආ සතුන් 1911ක් එදිනම අයදුම්කරුවන් අතුරෙන් තෝරාගත් පිරිසට බෙදා හැරීමට කටයුතු කළේය. ඒ පෙර සඳහන් කළ පරිදි කොන්දේසි කඩකරමිනි.  ඉතිරි 83 දෙනා මැණික්පාලම ගොවිපොළේ රඳවා තබාගෙන 2017 ජුනි 13 වැනි දා සහ 2017 ජූලි 28 වැනි දා බෙදා හැර තිබුණි. එම එක් කිරිගවයකු ආනයනික වටිනාකමට ගෙන එමේ පිරිවැය, එන්නත් කිරීම හා රෝග සඳහා පරීක්ෂා වියදම් එකතු කළ විට ගොවිපොළ දක්වා රැගෙන යන තෙක් ගවයකු සඳහා වියදම රුපියල් 520228කි. ඉන් ලක්ෂ දෙකක් කිරිගොවීන්ගෙන් අය කර ගත් අතර ඉතිරිය රජය විසින් දරනු ලැබීය. ඒ අනුව කිරි දෙනුන් 1994 දෙනා සඳහා මූලික වියදම රුපියල් 1,037,334,632කි. එනම් රුපියල් කෝටි 103.73කි.  

කිරි ගවයන් බෙදාදීමේ ව්‍යාපෘතියේ හාස්‍යජනක තැන් අපමණ තිබිණි. එක් විශේෂත්වයක් වන්නේ මෙතරම් මුදලක් වියදම් කර ගෙන්වූ කිරිගවයන් ලබා දෙන ගොවිපොළවල් සම්බන්ධයෙන් හරි නිරීක්ෂණයක් නොමැති වීමයි. එය ඔප්පු වූයේ 2017 ඔක්තෝබර් 18 වැනි දා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපොළවල් පරීක්ෂාවට ගිය අවස්ථාවේදීය. කිරිගවයන් බෙදා දුන් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයේ කිරිගවයන් 20ක් ලබා දුන් බවට සඳහන් එක් ස්ථානයකට ගිය විට එම ලිපිනයේ ගොවිපොළක් තිබී නැත. ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය පිහිටා තිබුණේ එම ලිපිනයේ ය. 

ආනයනය කළ කිරි ගවයන්ගෙන් සැලකිය යුතු පිරිසකට ගොවිපොළ වෙත බාර දෙන අවස්ථාව වන විටත් මැක්ස්ටයිටීස් නම් රෝගය වැළඳී තිබිණි. රට තුලට ගෙන ඒමේදී එම සතුන් පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙනීම නිසා රෝගය අනිත් සතුන් අතර සීග්‍රයෙන් පැතිරී ගියේය. 

දිනකට එක් දෙනකගෙන් කිරි ලීටර 15ක් ලබා ගත හැකි බව රජය පැත්තෙන් මුලින් කීව ද ඇතැම් සතුන්ගෙන් කිරි කඳුලක්වත් ලබා ගැනීමට නොහැකි විය. ඒ ඔවුන් රෝගී තත්ත්වයේ සිටි නිසාය. ගොවිපොළ වෙත බෙදා හැරුණු කිරිදෙනුන්ගෙන් සැලකිය යුතු ගණනකගේ පුඩු මැරී හෝ කිරි ගැනීමට නොහැකි තත්ත්වයේ තිබිණි. 

ගැබ් කිරි දෙනුන් යැයි කියමින් ආනයනය කළ මෙම කිරි දෙනුන් අතර ගැබ් නොගත් සතුන් සහ ගැබ මළ දෙනුන් ද සිටි අතර ඇතැම් පැටවුන් බිහිවීමෙන් පසු ලේ පාචනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් මිය ගොස් තිබේ.  

පළපුරුද්ද සමඟ තම කර්මාන්තය සාර්ථකව කරගෙන ගිය කිරි ගොවීහු ආනයනික කිරි ගවයන් මිලදී ගැනීම නිසා කෝටි ගණනක ණය කන්දක පැටලී සිටිති. ණය ගෙවීමට නොහැකිව ඇතැම් ගොවීන් ගෙවල් දොරවල් පවා සින්නවන තරමට ප්‍රශ්නය දුර ගොස් ඇති බව කිරිගොවීහු කීප දෙනෙක් කීහ. 

එයින් මට්ටු වූයේ නැත. අමාත්‍යංශය තවත් පියවරක් ඉදිරියට තබමින් ව්‍යාපෘතියේ තුන් වැනි අදියරේ දෙවැනි පියවරට පා තබමින් තවත් කිරි ගවයන් 3024ක් ආනයනය කළේය. ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙන්නේ එතැන් සිටය.

කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වැනි අදියරේ දෙවැනි පියවර ගැන වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.