ඒ. ඩී. රන්ජිත් කුමාර

පන්තියේ ඉගෙන ගන්න අතරෙ සින්දුවක් කීමේ වරදට ශිෂ්‍යයකුට අව්වේ දණ ගසා ඉන්න නියම කළ ගුරුවරියත්, එම ශිෂ්‍යයාත් සමඟ වසර ගණනකට පසු එකම වේදිකාවේ සම්මාන ලැබීම පුදුමයට හේතුවක් නොවේද?

ගුරුවරියගේ නම ට්‍රිලීෂියා අබේකෝන්ය. ශිෂ්‍යයාගේ නම මිල්ටන් මල්ලවආරච්චිය. පාසල කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයයි.

ගුරුවරිය ද කුඩා කාලයේ ගුවන් විදුලියේ ‘ළමා පිටියේ’ ගායිකාවකි. 1939 වසරේ පස් හැවිරිදි වියේ ‘සුරතල් නංගියෙ අපේ අම්මා’ නම් ගීතය ඩබ්ලිව්.ඒ. විජේපාලත්, සිරි අයියාත් සමඟ ගැයූ ට්‍රිලීෂියා ‘මනමේ’ නාට්‍යයේ කුමාරිකාව වූවාය. ‘ගම්පෙරළිය හා කලියුගය’  චිත්‍රපටවල අනුලා වූවාය. ඇය කලා ලෝකයේ වඩාත් ප්‍රකට වූයේ ට්‍රිලීෂියා ගුණවර්ධන නමිනි.

මිල්ටන් ‘ඔරුවක පාවෙන, මධු මල ලෙස, සිතුම් පැතුම් පොදි ආදරේ, ගමනේ ගිම් නිවූ එදා, පියාපත් සලා, සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්, පායා ආ සඳ, ඔබ වෙනුවෙන් මා ගැයූ ගී, ඔබයි මමයි මැවූ සිහින, සුළඟේ පාවී ඈ වෙත යාවී, අවසර නැත මට ඔබ අත ගන්නට ආදී ජනප්‍රිය ගී ගැයූ ගායකයාය. ඔහු චිත්‍රපට පසුබිම් ගායනයටද පසුව එක්විය.

1984 සරසවි සම්මාන උළෙල ජූලි 21 වනදා  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාවේදී ගුරුතුමිය ට්‍රිලීෂියා ගුණවර්ධන වසරේ හොඳම සහාය නිළිය ලෙස ‘කලියුගය’ චිත්‍රපටයේ අනුලාගේ චරිතය සඳහා සරසවිය සම්මානය ලබන විට ශිෂ්‍යා වූ මිල්ටන් මල්ලවආරච්චි වසරේ හොඳම ගායකයා ලෙස ‘ඈතින් ඈතට’ චිත්‍රපට  ‘කැන්දන්  යන්නම් රන් මල් මාලා දාලා’ ගීතයට සරසවි සම්මාන ලැබීය. එදා වේදිකාවේදී ගුරුතුමිය  ශිෂ්‍යායටත්, ශිෂ්‍යයා ගුරුතුමිටත් සුබ පැතූහ.

‘ඔබතුමියට මතකද? මම පන්තියේ ඩෙක්ස් එකට  තට්ටු කර කර තාලාද් මෙහෙමුද්ගේ හින්දි සින්දුවක් කිය කියා ඉන්නකොට ඔබතුමිය ඇවිත් මාව පැය එකහමාරක කට්ට අව්වේ දණ ගහල හිටවල තිබ්බා. මට තාමත් ඒ වේදනාව දැනෙනවා’ මිල්ටන් කීවේ සිනාසෙමිනි.

‘ඔයාට මම ඒ දඬුවම දුන්නේ ඔයා සින්දු කිය කිය ඉගෙනීම කඩාකප්පල් කර ගනී කියලා මට දුකක් ඇතිවුණු නිසා. නැත්නම් මමත් පුංචි කාලේ ඉඳළම රේඩියෝ සිලෝන් එකේ සින්දු කියපු කෙනෙක්. අද ඔයාව මටත් වඩා කලා ලෝකය අඳුනනවා. මමත් කැමතියි  ඔයාගේ සින්දුවලට. ටි්‍රලීෂියා ගුරුතුමිය කීවාය.

ගුරුතුමිය 1999 වසරේදී ද ශිෂ්‍යයා 1998 වසරේදී ද ජීවිතයෙන් සමු ගත්හ. මිල්ටන් මියගොස් මාර්තු 10 දිනට විසි වසරකි.

සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් වැඩිමලා වූ මිල්ටන් 1944 අප්‍රේල් 07 වැනිදා කෝට්ටේදී උපත ලැබීය. ඔහුගේ ළමා කාලය කටුක එකක් බව අපට පවසා තිබුණි. ඔහුගේ එකම ආසාව තිබුණේ අනාගතයේ ගායකයකු වීමටය. හතරවන පන්තියේදී ගායනා තරගයකින් මුල්තැන දිනූ මේ පුංචි ගායකයා රාෆි, මුකේෂ්, තලාත්, ගැයූ හින්දි ගීතවලට පෙම් බැන්දේය. ඒ ගීත ඔහු මුවින් මුමුන මුමුනා මිතුරන් සතුටු කළේය. පසුව ඔහුගේ හැකියාවන් තේරුම් ගත් අර දඬුවම් දුන් ගුරුතුමිය විසින්ම නිෂ්පාදනය කළ ‘කැඩුණු කරත්තය’ විදුර යන පාසලේ නාට්‍යවලදී ගී ගැයීමට ඉඩ හසර ලබා දුන්නාය. ඔහුගේ තවත් ආසාවක් වූයේ චිත්‍රපට බැලීමය. සිංහල හා හින්දි චිත්‍රපට එකක් නෑර නැරඹීමය.

මම සංගීතයට කොයිතරම් ආසා කළාද කිව්වොත් ඒ කාලේ තිබුණු මගුල් ගෙවල් හොයාගෙන ගිහින් සින්දු කිව්වා. ඩොලැක් වාදනය කළා. මේ කාලයේ මට අතහිත දුන්නේ හර්බට් රන්ජිත් පීරිස්. (පසුව චිත්‍රපට අධ්‍යක්ෂ) එයාට තිබුණා ‘ශාක්‍යයන්ස්’ කියලා සංගීත කණ්ඩායමක්. ඒකෙ ප්‍රමුඛ ගායකයා මම. කියන්නේ ජනප්‍රිය හින්දි ගීත. දෝස්ති, ගීත්, අර්සු, සාති, ලව් ඉන් ටෝකියෝ, බ්‍රහ්මචාරි, චිත්‍රපටවල ගීත විශේෂයි. මේ සංගීත කණ්ඩායමේ නිහාල් කුමාර පතිරණ, ජූඞ් පද්මපෙරුම, දයා කුමාර පතිරණ, ජෝ අබේශිකා, ලෙනාඞ් පෙරේරා පස් දෙනකුත් හිටියා. ඊට පස්සේ නොයෙල් රණසිංහගේ ‘ලා සිලනියන්ස්’ ගායක කණ්ඩායමට එකතු වුණා. ඒ විතරක් නොවෙයි ජෝති, මිල්ටන්, ලන්ත්‍රා, සිසිර ගී ගයනකොට ඩොලැක්  ගැහැව්වා. මිල්ටන් තම ගායන ජීවිතය පටන් ගත් ආකාරය විස්තර කළේය.

එදා මිල්ටන් සමඟ මරදානේ ගාමිණී හා බොරැල්ලේ රිට්ස් සිනමාහලේ එකම චිත්‍රපටය කිහිපවරක්ම නැරඹු සගයකු වූයේ ආනන්ද ගනේගොඩය. ඔවුන් ගජ මිතුරන් වූයේ චිත්‍රපට බැලීමේ උමතුව දෙදෙනාටම තිබූ නිසාය. ආනන්ද පවසන්නේ අවංක නිහතමානී ගතිගුණ ඇති මිල්ටන් තමාගේ ප්‍රියතම ගායකයා වූ නිසා තමාගේ ‘සින්ග් ලංකා’ සමාගම මගින් මිල්ටන් ගී ගැයූ  කැසට් හා සංගීත තැටි කිහිපයක්ම නිෂ්පාදනය කළ බවය.

1969 වසරේ මා ‘සරසවිය’ පුවත්පතට සම්බන්ධ වූ කාලයේ සිටම මිල්ටන් හඳුනාගෙන තිබුණි. පසුව වඩාත් සමීප වූයේ නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ කලාකරුවන්ගේ තෝතැන්නක් වූ පී.බී.ගේ (ඉරිදා ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ පී.බී. ඉලංගසිංහ)  චමරියේදීය. ගීත රචක කේ.ඩී.කේ. ධර්මවර්ධනගේ නිවස වූයේ මේ චමරියේ යාබද නිවසය. මිල්ටන්ට වැඩිම ගීත ගණනක් රචනා කළේ ඔහුය. විජය කුමාරතුංග, කාලෝ ෆොන්සේකා, ධර්මසේන පතිරාජ, වික්ටර් රත්නායක, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි, සිරිල් වික්‍රමගේ, දයා අල්විස්, සෝමසිරි දෙනිපිටිය, ආර්.ආර්. සමරකෝන් විජය රාමනායක ඇතුළු පිරිසක් මේ චමරියට නිතර ආව ගියෝය. ඇතැම් හඳ ඇති රාත්‍රියක චමරියේ පිටුපස එළිමහනේ දිග ලෑලි බංකුවල ඉඳ මල් පැණි බොමින් මිල්ටන් පැරණි හින්දි ගීත ගයනා අවස්ථාවලට මටද සහභාගී වීමට ලැබුණේය. වික්ටර් ද මිල්ටන් සමඟ ගැයු හින්දි ගීත ඇසීමට අපි සෑදී පැහැදී සිටියෙමු.

මිල්ටන්ට හාපුරා කියා ගීතයක් ගැයීමට අවස්ථාව ලැබෙන්නේ අහම්බෙනි. ‘ලා සිලනියන්ස්’ ගායක කණ්ඩායමට එක්වූ මිල්ටන් ගැයූ ගීතයක් පටිගත කරන අවස්ථාවේ ඔහුගේ ගායන කෞෂල්‍ය දුටු මෙරට සිටි විශිෂ්ටම ශබ්ද පරිපාලකයා වූ මර්වින් රුද්‍රිගු, ගෞරි කෝපරේෂන් අධිපති පැටි්‍රක් කොරේරාට අනාවැකියන් කීවේය.

‘පැට්රික්, මේ කොල්ලාගේ කටහඬ හොඳයි අවස්ථාවක් දුන්නොත් ලංකාවේ ජීම් රිව්ස් කෙනෙක් බිහි වේවි.
මුල්වරට ගී තැටියක් සඳහා මිල්ටන්ට පැට්රික් අවස්ථාව සලසා දුන් අතර ගී හතරක් කරුණාරත්න අබේසේකර ලවා ඔහු රචනා කරවා ගත්තේය. මිල්ටන් කරු ලියූ ‘ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ’ ගීතය රැගෙන සංගීතඥ මොහොමඞ් සාලි වෙත ආ දින දක්ෂ තබ්ලා වාදකයකු වූ රංජිත් බෝගොඩට මතකය.

එදා මම සාලි මාස්ටර් ගාව හිටියෙ මොකක්ද වැඩකට. මිල්ටන් කරුගේ පදමාලාව සාලි මාස්ටර්ට දුන්නා. පදමාලාව මට දුන්නා. එයා සිංහල අකුරු දන්නෙ නැති නිසා. මම කිව්වා මේක ඔරුවක කතන්දරයක් තියෙන්නේ කියලා.

‘ඕ.... ඊද්එ එකක කතාවක්. මේක වෙන්නේ ‘භසටයඑ  ද හුඟාක් භසටයඑ ද?
මම ඔව් කියන කොටම තබ්ලා වාදක ටොම් රම්ලාත් එතනට ආවා. මිනිහට හොඳට සිංහල අකුරු තේරෙනවා. ටොම් සාලි මාස්ටර්ට කරුගේ ගීතයේ වචන පැහැදිලි කළා. සාලි මාස්ටර් සර්පිනාව ළඟට ගිහින් අපූරු තනුවක් නිර්මාණය කළා. මිල්ටන් මේ සියල්ල බලන් ඉඳලා තනුව අගේට ගැයුවා. මේ ගීතය තමයි මිල්ටන්ගේ මුල් ගීය. එය ගුවන් විදුලියේ වෙළඳ සේවයේ ඔදච ්‍යසඑ එකක් වුණා. මිල්ටන් උපන්නේ ඒ ගීයෙන්.

මිල්ටන්ගේ වඩාත් ජනප්‍රිය වූ ගීත දෙක වූ ‘මධු මල ලෙස මුදු මගේ පියාදර මිහිරාවිය වෙතටයි’ ගීතය. (රචනය කරුණාරත්න අබේසේකර. තනු නිර්මාණය  එම්.කේ. රොක්සාමි) සහ පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ (ගීත රචනය සිරි කුලරත්න, තනු නිර්මාණය ඇම්.කේ. රොක්සාමි) මිල්ටන්ගේද ප්‍රියතම ගීත දෙක බව අපට පවසා ඇත.

මිල්ටන්ගේ ජනප්‍රිය ගීත කිහිපයකම තනු ඔහුගේම වීම තවත් විශේෂත්වයකි. කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන ඇතුළු පිරිසක් ඔහුට ප්‍රේමාන්විත ගීත රැසක් ලියා දුන්නේය. ක්ලැරන්ස් විජේවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, අජන්තා රණසිංහ, සෝමපාල ලීලානන්ද, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ යන ගීත රචකයෝද මෙන්ම රොක්සාමි, සාලි ක්ලැරන්ස්, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක, වික්ටර් රත්නායක ඇතුළු පිරිසක් ඔහුට අපූරු තනු නිර්මාණය කර දුන්හ.

මිල්ටන්ගේ අතිශයින් සමීප චරිතය වී ඇත්තේ අම්මා වූ ඇග්නස් වික්‍රමාරච්චි මහත්මියයි. කුඩා කාලයේ කටුක අත්දැකීම් රැසකට මුහුණ දුන් ඔහුට ජීවිතයේ වීරවරිය වූයේ අම්මාය. අම්මා මියගිය පසු සෑම වසරකම ඇය සිහිකොට පිරිනමන මහා පුණ්‍යකර්මය හා දානය ඔහු සැලසුම් කරන්නේ මාස 06කට පෙර සිටය. එය වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම අංගසම්පූර්ණ දානයකි. මේ සඳහා නෑයෝ, මිතුරෝ, හිතවත්තු, අසල්වැසියෝ අනිවාර්යෙන්ම සහභාගි වෙති.

මිල්ටන් මුදල් ඉපැයීමට මෙන්ම සකසුරුකමින්  වියදම් කිරීමට සූරයෙකි. එහෙත් අවශ්‍ය තැනට ඔහු තරාතිරම නොබලා වියපැහැදම් කරයි. අනුන්ට උදව් කරයි. ජීවිතයේ කිසි දිනක මිල්ටන් පිටරටකට ගොස් නැත. කොටින්ම ඔහු අහසින් යාමට බය විය. ජනප්‍රියත්වය හා ගීත ඇසීමට තිබූ ඇල්ම නිසා එතෙර සිටින රසිකයන් ඔහුගේ ගී ප්‍රසංග සංවිධානය කිරීමට කොතෙක් උත්සාහ ගත්තද ඔහු ඒවා බැහැර කළේ කාරුණිකවය. වරක් මම ඔහුගෙන් මේ ගැන විමසීය.

‘අනේ මචං උඩදී ප්ලේන් එකට දෝෂයක් ඇති වුණොත් මොන දෙයියන්ට කියන්නද? මොකද කාර් එකක් වාගේ පාරේ අයින් කර ගන්නද?’ මෙසේ කියා ඔහු සිනාසුණේය.

ඕනෑම ප්‍රසංගයකදී මිල්ටන් ඉද්ද ගැසුවා මෙන් සිරුර කෙළින් කර ගෙන කටපාඩමෙන් ගී ගැයුවේය. යොවුන් හදවතට ගී ගැයූ ඔහු කොතරම් යුවතියන් පෙම් හසුන් දහස් ගණන් එව්වත් ඔහු ආදරය කළේ 1973 දෙසැම්බර් 29 වැනිදා විවාහ වූ ස්වර්ණමාලි මාලතීට පමණි. හාපුරා රැකියාවක් කරන කාලේ ඔහුට හද බැඳි යුවතියක් සිටින්නට ඇත. මේ මියුරු හඬට පෙම් නොකරන්නේ කොයි යුවතියද?

මිල්ටන් මල්ලවාරච්චි නම් ගායකයා මුල්වරට චිත්‍රපට පසුබිම් ගායකයකු හඳුන්වා දෙන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙනි. වික්ටර් රත්නායකගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය යටතේ 1969 වසරේ මිල්ටන් සතිස්ට හඳුන්වා දෙනු ලැබුවේද වික්ටර් විසින්මය. ‘රන් දේදුණු රන් පාටින් නම්’ මිල්ටන් ගැයූ ඒ ගීතයට සහාය ගායනයෙන් එක් වූයේ එවකට රජයේ සංගීත විද්‍යාලයේ අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන් වූ රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි  මෙන්ම ලක්ෂ්මන් රුද්‍රිගුය. මේ ගීතයේ තවත් විශේෂයක් නම් මිල්ටන්ගේ ගී හඬට පළමුව තිරයේ රඟපෑ නළුවා වනුයේ සතිස්චන්ද්‍ර වීමය.

වරක් මා සුනිල් සාන්තයන් 1978 ජා-ඇල දෙහියාගාතේ නිවසේදී ‘සරසවිය’ පුවත්පත සඳහා කළ සංවාදයකදී අනාගතයේ හඬ පෞරුෂයෙන් කැපී පෙනෙන ගායකයා මිල්ටන් බව සඳහන් කළේය. එපමණක් නොව මහගමසේකරයන්ද 1976 මිය යාමට දෙමසකට පමණ පෙර මා සමඟ සරසවිය පුවත්පතට  කළ සංවාදයේ දී ද තමා අගය කරන මිල්ටන්ට ගීතයක් රචනා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව පැවසුවේ ඔහු ඉතා ඉහළින් අගය කරමිනි. මේ ලිපි දෙකම සරසවියේ පළ වී ඇත. සිංහල චිත්‍රපටයක හින්දි ගීයක් ගැයූ ප්‍රථම ගායකයා ද මිල්ටන්ය. එය ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ අතර එහි සංගීතය ඇම්.කේ. රොක්සාමි ගෙනි. ගීත රචනය රවිලාල් විමලධර්මගෙනි.

තමාගේ ජීවිතයේ ඇසුණු මිහිරිම වදන්වැල ගැන සඳහන් කළ මිල්ටන් අපට  කියා  සිටියේ මෙසේය.
‘දවසක් මම ගව්රි කෝපරේෂන් එකේ ලොක්කා පැට්රික් කොරේරා එක්ක එයාගේ කාර් එකේ යනවා. මම හින්දි  සිංදුවක් හෙමිහිට ගය ගයා යන්නේ.

‘මිල්ටන් මම ඔයාට සින්දු හතරක් තනිවම සින්ග් කරන්න බාර දෙනවා. ඔයා ඒක බාර ගන්නවද?
මාව ගල් වුණා. අන්දමන්ද වුණා. හිතේ මලක් පිපුණා වගේ වුණා. ඒ තමයි මම ජීවිතේ ඇසූ මිහිරි වදන.
මම කැමතියි මිස්ටර් කොරේරා.

‘මම මුලින් ගුවන් විදුලි සේවයෙන් යුග ගීතයක් ගැයුවේ අමිතා වැදිසිංහ (පසුව දළුගම) සමඟ ඇගේ සරල ගී වැඩසටහනකින්.’ මිල්ටන් වරක් අපට පවසා තිබුණි.

මිල්ටන් පදිංචිව සිටියේ උඩහමුල්ල ජය මාවතේය. ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහල ද සිටියේ මිල්ටන්ගේ නිවස අසලය. නිතර එහි ගිය ලූෂන් මිල්ටන්ට අපූරු ගීයක් ලියා දුන්නේය. තැලුවේ නුඹටයි රිදුනේ මටමයි වේවැල කැඩුවේ මමයි, මින් එක ගීතයකි. ලුෂන් කියන ආකාරයට මිල්ටන්ගේ හොඳම මිතුරා වූ වයි.ආර්. සිල්වා  බවය. මිල්ටන්ගේ ක්‍රිකට් රසිකත්වය කොපමණ ද කිවහොත්  ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන විට ලක්ෂයක් දෙනවා කීවත් කිසිම ප්‍රසංගයක් භාර නොගන්නා බව ඔහුගේ ගේ අසලම පදිංචිව සිටි ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ අපට පැවසීය. ඔහුගේ ප්‍රථම  කැසට්පට මෙන් ලංකාවේ ප්‍රථම කැසට් පටයකට ගී ගැයූ ප්‍රථම ගායකයා මිල්ටන් බව පවසන කුලරත්න එදා විජය රාමනායක තරංගා ලේබලය යටතේ නිෂ්පාදනය කළ ඵසකඑදබ ්බහඑසපැ ්බහ අයැරු කැසට් එක ඉතා වාර්තා ගත අලෙවියක් වූ බව පැවසීය. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, රෝයි ඩයස්, ඩුලිප් මෙන්ඩිස්, අරවින්ද සිල්වා, මුරලිදරන් ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට මිල්ටන් ආදරය කළ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් ඔහු බැලීමට නිවසට පැමිණ ඇති බව ලූෂන් හා කුලරත්නට මතකය.
මිල්ටන් අභිමානවත් මිනිසෙකි. තමාට කියා ගෙයක් කාර් එකක් ගත් ඔහු සැලැස්මක් අනුව වැඩ කළ චරිතයකි. ප්‍රසංග වේදිකාවේ මුලින්ම ගී ගයා ලබාගත් රුපියල් පනහෙන් රුපියල් 10ක් ඉතිරි කළ බව තමාද දන්නා බව කුලරත්න කීවේ මිල්ටන්ගේ ජීවිතයේ අරපිරිමැස්ම  අගය කරමිනි. ආර්ථික විද්‍යාව නොදනිතත් මිල පාලනයට ඔහු තරම් සූරයකු නැති බවද ඔහු කීවේය.

මිල්ටන් කිසිදා හින්දි ගීත අනුකරණ ගී නොගැයූ බව අභිමානයෙන් අපට කියා ඇත. සැදැහැවත් බෞද්ධයකු වූ මිල්ටන් දිනපතා පන්සිල් ගත් අතර සංඝයාවහන්සේ සමීපව ඇසුරු කළ බෞද්ධ මහෝපාසයෙක්ද විය. ගංගොඩවිල සෝම හිමියන් කුඩා කල සිට සමීප ඇසුරු කළ මිල්ටන්ගේ ඒ හිමියන් දැකීමට මහරගම  ධර්මායතනයට නිතර ගොස් ඇත.

මිල්ටන්ගේ ජීවිතයේ කටුක පැත්ත ඔහු සරසවිය  පත්‍රය සඳහා අනුර බණ්ඩාර රාජගුරුට හා මට 1994 නොසඟවා පවසා තිබුණි.

මගේ පියා මම කිසි දිනක දැක නැහැ. නමුත් ඔහු කොතැන හෝ ජීවත් වන බව පමණක් දන්නවා. මේ හේතුව නිසා අම්මා මා ජීවත් කිරීමට ගෙන ගිය සටන වචනයෙන් කියන්න බැහැ. මාව ජීවත් කරන්න අම්මා සමාගමක වැඩ කළා. එතෙක් මාව බලා ගත්තේ ආච්චි. දෙවෙනි ලෝක සංග්‍රාමය කාලේ උග්‍ර කිරිපිට හිඟයක් තිබුණාලු. මට දෙන්න කිරිපිටි නැති වුණාම අම්මා  මාව  තුරුල් කර ගෙන නුගේගොඩ දුම්රිය පොළගාව හිටියාලු. අම්මාව දුටු සුදු ජාතික කාන්තාවක් කරුණාබර සිතින් අපේ ප්‍රශ්නය තේරුම් අරන් ආහාර බලපත්‍ර නිකුත් කිරීමට උදව් කළ හැටි අම්මා හැඬු කඳුලින් මට පසුකලෙක කීවේ ඒ සුදු නෝනාට පිං දෙමින්. මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඉගෙන ගන්න යන කාලේ අපිට අඟහිඟකම් වැඩි වුණා. උදේ රැයින් පිබිදෙන අම්මා ඉඳිඅප්පන් සාදා කඩවලට යැව්වා. ඒ සඳහා පෙර දින අම්මාට පිටි කොටා දුන්නේ මම. අවට ගෙවල් තමන්ට අවශ්‍ය අඩුම කුඩුම කඩෙන් ගෙන ඒමට පවරන්නේ මට. ඒවා ගෙනත් දෙනවට මට ශත දහයක් ලැබෙනවා. අම්මා කදුළු සඟවා ගෙන මාව හැදුවේ. මාමාලගේ යොජනාවක් අනුව බාප්පා කෙනෙක් අපේ ගෙරදට ආවා. බාප්පා මට සෙනෙහස දැක්වූවා. රංජිත් සහ ඇල්ටන් යන සහෝදරයන් දෙදෙනකුගේත් අනුලා නම් සොහොයුරියගේත්  වැඩිමහල් අයියා වුණේ මම.

මිල්ටන්ගේ ජීවිත කතාව ඇසූ මට සිහිපත් වුණේ මැක්සිම් ගෝර්කිගේ කතාවකි.

මිල්ටන් මේවා පත්තරේට ලියන එක හොඳද? ඔයා ජනප්‍රිය ගායකයෙක්. ඔයාගේ 50 වැනි උපන් දිනය සිහි කරලා උත්සවයක් කරන අවස්ථාවක මම කීවෙමි.

ඕවා ලියන්නම ඕනෑ. මම රත්තරන් හැන්දක් අරන් ඉපදුණු මිහිනෙක් නෙවෙයි. මට වඩා දුක්විඳපු අය කොපමණ ලෝකයේ ඇද්ද? මේ නිහතමානී නිර්ව්‍යාජ මිනිසා අපට කීය. අනුර රාජගුරු බණ්ඩාර ඔහුගේ අපූරු විචිත්‍ර ශෛලියෙන් 1994.04.28 සරසවියට දිගු ලිපියක් මේ කරුණු ඇසුරෙන් ලිවීය.

 මේ නිහතමානී ක්‍රිකට් ලෝලී, හින්දි ගී රසිකයා තරුණ හදවත් උන්මාදයට පත් කළ පෙම් ගී කුරුල්ලා මීට හරියටම වසර 20කට පෙර 1998 මාර්තු 10 වැනිදා  ගී ලොවින් සමුගත්තේය.