රජය සමඟ එළඹීමට යෝජනා වී ඇති ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා අප රට තුළට ප්‍රවේශවීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් රටේ බරපතළ ව්‍යාකූලත්වයක් සහ අවිශ්වාස සහගත තත්ත්වයක් ගොඩනැඟෙමින් පවතින බව රහසක් නොවේ. පසුගිය 31 වැනි දින මහනුවර අස්ගිරි මහා විහාරයේදී අති පූජ්‍ය මහානායකවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික සභාවේ පූජකතුමන්ලා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම කාරණය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අත්සනින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වීමෙන් ඒ වනවිට රට පුරා පැවැති අතිශයින් දැවෙනසුළු තත්ත්වය තරමක් දුරට හෝ සමනය වීම සියලු දෙනාගේම අස්වැසිල්ලට හේතු වී ඇත.

රටේ ඉහළම පූජ්‍ය පක්ෂයේ මැදිහත්වීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් තම නිලය දරන තාක් කිසිම විදේශ හමුදාවකට රට තුළ ක්‍රියාත්මක වීමට තමන් ඉඩ නොදෙන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් අප්‍රමාදව නිකුත් කිරීමෙන් සනාථ කර ඇත. එනිසා මෙම අතිශයින් ව්‍යාකූල හා අවිනිශ්චිත අවස්ථාවේදී අපගේ ආගමික නායකයන්ගේ මැදිහත්වීම ඉතාමත් කාලෝචිත මෙන්ම උදාර ජාතික මෙහෙවරක් ඉටු කිරීමක් හැටියට සැලකිය යුතුව ඇත. වාර්තා වී තිබෙන තොරතුරුවලට අනුව අස්ගිරි මහ නාහිමියෝද මල්වතු පාර්ශ්වය වෙනුවෙන් ගෞරවනීය අනුනාහිමිවරු කතෝලික අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් උතුමාද වෙනත් සංඝ පීතෘන් වහන්සේලා කීප නමක් සමගින් මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත්තාහ. මෙය අතිශයින් වැදගත් ඓතිහාසික අවස්ථාවක් ලෙසින් අපගේ ඉතිහාසයට එක්වනු ඇත.
2017දී අලුත් කරන ලද ඇමරිකාව සමඟ කලින් ගිවිස ගෙන තිබූ අත්පත් කර ගැනීමේ හා අන්තර් සේවා (ACSA) ගිවිසුමද, යෝජිත (SOFA) හමුදා ස්ථානාගත කිරීමේ බලතල ඇතුළත් ගිවිසුමද පිළිබඳව රටේ ජනතාව අතර බලවත් කලකිරීමක් උද්ගත වී තිබිණ.

්ක්‍ී් යනුවෙන් හඳුන්වන ගිවිසුම් මගින් රටවල් දෙකක් අතර වරාය, ගුවන් තොටුපොළ භාවිතය සම්බන්ධයෙන් තිබිය යුතු මිලිටරි (හමුදාමය) සබඳතාද අන්‍යොන්‍ය වශයෙන් එක් එක් රට විසින් සපයනු ලබන හා ලබා ගන්නා සේවා සහ සංවිධාන සහයෝගය පිළිබඳව එකඟත්වද ඇතිකර ගනු ලැබේ. මෙබඳු ගිවිසුම්වල ආරම්භය දෙවන ලෝක යුද්ධයෙන් පසුව උතුරු අත්ලාන්තික් කලාපයේ මිත්‍ර රාජ්‍ය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ නිදහස් ලෙසින් යුද හා මිලිටරි කටයුතුවල යෙදීමට ඉඩකඩ සලස්වා ගනු ලැබීම දක්වා දිවයන අතර පසුකාලීනව ඇමරිකාව එම පහසුකම් සඳහා වෙනත් රාජ්‍ය සමඟද අවබෝධතා ඇතිකර ගන්නා ලදී. ශ්‍රී ලංකාව සමඟද කලින් අතිකරගෙන තිබුණේ එබඳු අවබෝධතා ගිවිසුමකි. එය 2017දී වැඩිදියුණු කළ ලිහිල් කිරීම් ඇතුළත්ව නැවත අලුත් කරගෙන ඇත. සත්‍ය වශයෙන්ම මෙම සේවා ලබාගැනීමේ පහසුකම් මගින් අපගේ වැනි කුඩා රටවලට ලැබෙන වාසිදායක තත්ත්වය ඉතාමත් සුළු හා අවම වන අතර ඇමෙරිකාව වැනි ප්‍රබල රාජ්‍යයකට මෙබඳු ගිවිසුම් මගින් සලස්වා ගත හැකි ඉඩකඩ ඔවුනට අතිශයින්ම වාසිදායක වන බවට සැකයක් නැත. ඔවුන්ට එමගින් යුද්ධෝපාය සඳහා මෙන්ම ආර්ථික කටයුතු සඳහාද ප්‍රබල වාසිදායක තත්ත්වයක් උදාකර ගත හැකිය.

 මේ අතර හමුදා ස්ථානගත කිරීමේ බලතල සම්බන්ධයෙන් එළඹෙන SOFA ගිවිසුම් අනිවාර්යයෙන්ම විදේශීය හමුදා වෙනත් රටක ස්ථානගත කිරීමේදී ලබාගත යුතු පහසුකම්, අවසරය හා අනුමැතිය ලබාගැනීම් පදනම් කරගත් ඒවා වේ. එම ගිවිසුම් මගින් අන්‍යොන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන ප්‍රමුඛතාවට වැඩි සැලකිල්ලක් දක්වනු ලබන්නේ රට තුළට පැමිණෙන විදේශීය මිලිටරි හමුදාවලට සලසා ගත යුතු අයිතීන් හා වරප්‍රසාද පිළිබඳවය. ජාත්‍යන්තර නීතියට අනුව SOFA ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වන කිසිවක් හමුදා අත්පත් කර ගැනීමක් යටතේ සිදුවන ක්‍රියාදාමයක් ලෙසට නොසැලකේ.

SOFA ගිවිසුම් මගින් විදේශීය හමුදාවලට වෙනත් රටක් තුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලැබෙන ආකාරය පැහැදිලි කරයි. මෙහිදී හමුදා කඳවුර පවතින ස්ථාන සහ ඒවාට ප්‍රවේශ වීමේ පහසුකම් යනාදිය පිළිබඳව වෙනත් ගිවිසුම් මගින් එකඟත්වයට පත්වන අතර SOFA ගිවිසුම්වලින් හමුදා භටයන් හා ඔවුන්ගේ අයිතිය හා දේපළ පිළිබඳව බලපවත්නා නීතිමය තත්ත්වය පැහැදිලි කරයි. ඒවාට අයත් වන්නේ රට තුළට ඇතුළුවීම රටෙන් පිටවී යාම බඳු කොන්දේසි තැපැල් සේවා සහ ආගන්තුක රටේ වැසියන් වෙතින් ලබාගන්නා සේවා සඳහා බලපවත්නා නීති හා කොන්දේසි යනාදියයි. එසේ වුවද මෙබඳු ගිවිසුම් පිළිබඳව බලවත් විවාදකාරී ස්වභාවයක් ගෙන ඇත්තේ යුද කඳවුරු සහ හමුදා භටයන් සම්බන්ධයෙන් අදාළ වන සිවිල් හා අපරාධ නීති පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙනි.

සිවිල් කාරණාවලදී හමුදා විසින් සිදුකරනු ලබන සිවිල් අලාභ හා හානි සඳහා හානිපූරණය හා ගෙවීම් කළ යුත්තේ කෙසේද යන්න SOFA ගිවිසුම්වලට ඇතුළත් වේ. එසේ වුවද සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් තත්ත්වය මෙයට වඩා වෙනස් වේ. බොහෝ විට ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇතිකර ගන්නා SOFA ගිවිසුම්වලදී දක්නට ලැබෙන්නේ හමුදා භටයෙකු හෝ වෙනත් සේවා නියුතුවකු විසින් තමන් එබඳු අයෙක් සමග කෙරෙන හෝ හමුදා භටයකු හෝ සේවා නියුතු වූවකු සිය රාජකාරි ඉටුකරන අවස්ථාවේදී සිදුකෙරෙන අපරාධයකදී ඇමරිකානු අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. අනිකුත් අපරාධ සම්බන්ධයෙන් ආගන්තුක රාජ්‍යයේ නීතිය බලපැවැත්වේ. මෙම ජාත්‍යන්තරව පිළිගත් න්‍යායවලින් ඉතා හොඳින් පැහැදිලි වන කාරණය වන්නේ ීධත්‍් ගිවිසුම් මගින් ඉටු කරන්නේ වෙනත් රටක හමුදා තවත් රටකට ඇතුළුවීම නීතිගත කිරීමක් බවය.

අප රටට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වාම කිසිම විදේශීය ආක්‍රමණයකට මුහුණදීමට සිදුවී නැත. අවසන් වූ L.T.T.E යුද්ධයේ අති උච්චතම අවස්ථාවේදී පවා එය (විදේශීය මුල්‍ය ආධාර සහිතව ක්‍රියාත්මක වූ බවට සැක පහළ කිරීමට කරුණු තිබුණද) කෙළින්ම විදේශීය ආක්‍රමණයකට භාජන වූ අවස්ථාවක් නොවීමත්, අප රටේම සංවිධානය වූ පිරිසක් ගෙනගිය සන්නද්ධ ව්‍යාපාරයක් පමණක් බවත්ය. ඉතා මෑතකදී අප මුහුණ දුන් ප්‍රහාරය ISIS සංවිධානයේ මෙහෙයවීමෙන් දේශීය පිරිසක් ලවා සිදුකළ එකක් බව විශ්වාස කළද ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත්තේ මක්නිසාද යන්න අපැහැදිලිය. කෙසේ වුවද එම ප්‍රහාරයද කෙළින්ම සිදුකළ විදේශික ආක්‍රමණයක් වශයෙන් සැලකිය නොහැකිය.

එම නිසා අපට පැනනැඟෙන ප්‍රශ්නය වන්නේ මේ අවස්ථාවේදී දීර්ඝ කාලීන ගිවිසුමකට යටත් වී ඇමරිකානු යුද හමුදාව අපගේ භූමිය තුළට වැද්දගැනීමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි. සේවා සහ සැපයීම්වලට සීමා වූ SOFA  ගිවිසුමකින් ඔබ්බට යන හමුදා ස්ථානගත කිරීමක් අපේක්ෂා කරන්නේ මක්නිසාද යන්නයි. එම නිසා අපගේ ස්වෛරීත්වය හා පුරවැසියන්ගේ නිදහසට එබඳු පියවරක් නිසා අත්විය හැකි අභියෝගාත්මක අනතුර පිළිබඳ සැක සංකා පහළවීම බෙහෙවින්ම යුක්ති යුක්ත හා සාධාරණ තත්ත්වයකි.

SOFA ගිවිසුම පිළිබඳ කරුණු පැහැදිලි කර දීමටත් ඒ සඳහා කේවල කිරීමටත් ඇමරිකානු තානාපතිවරිය අපගේ බෞද්ධ ආගමික නායකයන් සහ කාදිනල් හිමිපාණන් බැහැදැකීමට යාමෙන් පෙනීයන්නේ ඇමරිකාවට මෙම ගිවිසුමට එළඹීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බවයි. ISIS මෙහෙයවීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි උපද්‍රව්‍යයන් නිසා එබඳු ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාවක් අපගේ ආරක්ෂක අංශවලට නොපෙනනුද පසුගිය දිනවල උද්ගත වූ අනපේක්ෂිත තත්ත්වය පදනම් කර ගනිමින් ඒ සඳහා බලවත් පෙළඹවීමක් දෙසට අප රට යොමු කරමින් සිටින බව නම් ඉතා පැහැදිලිය.

සාමය හා ආරක්ෂාව සඳහා ඇමරිකානු හමුදා ඇතුළු වූ බොහෝ විදේශීය රාජ්‍ය බලවත් ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වූ බවත් අවසානයේදී එම රටවල පවතින ගැටුම්, නිරන්තරව පවතින ගැටුම් බවට පරිවර්තනය වූ බවත් ජාත්‍යන්තර අත්දැකීම් අපට ඔප්පු කර ඇත. බොහෝ අවස්ථාවලදී ස්ථානගතව සිටින ඇමරිකානු හමුදාවලට එල්ල කරන ප්‍රහාරවලට ගොදුරු වන්නේ අහිංසක රටවාසීන්ය.

මෙවන් පසුබිමක් තුළ මෙම තීරණාත්මක අවස්ථාවේදී රැස්වූ මහා නාහිමිවරුන් සහ කාදිනල් තුමාණන් ප්‍රධාන ආගමික නායකයන් සිය ප්‍රකාශනය මගින් යට දැක්වෙන කරුණු අවධාරණය කර ඇත.

“නිදහසින් පසුව රටේ ඇති වූ පක්ෂ දේශපාලන ක්‍රමය තුළ රට පාලනය කිරීම නිසා තම තමන්ගේ පක්ෂ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් පැවැති ස්වෛරීභාවයට හා ස්වාධිපත්‍යයට කිසියම් අභියෝගයක් එල්ල වී ඇති බව අපේ හැඟීමයි.

“වත්මන් රජය මගින් ඉතා අත්තනෝමතික ලෙස විවිධ රටවල් සමඟ ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම් හේතුවෙන් තවදුරටත් අපගේ නොබැඳි පිළිවෙතට හා ස්වෛරීත්වයට විශාල තර්ජනයක් ඇති වී තිබේ.

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යය හා ස්වෛරීත්වයට අහිතකර ලෙස බලපාන පරිදි වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකා මාතෘභූමිය තුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට අවකාශ සලසන හා ශ්‍රී ලංකා භූමිය විදේශිකයන්ට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකි වන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට අපි තරයේ විරුද්ධ වෙමු.

“රට වඩාත් අස්ථාවර භාවයට පත් නොකොට තිරසාර සාමයක් ඇති කිරීම පිණිස ආගමික අන්තවාදී සංවිධාන තහනම් කරමින් රට තුළ පොදු නීතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම මේ මොහොතේ රජයේ වගකීම වේ.

“රටේ ස්වාධීනත්වයට බලපාන කිසියම් හෝ ගිවිසුමකට එළඹිය යුත්තේ පොදු මහජන මතය විමසීමකින් පසුව පමණකි.

ඇතැම් දේශපාලන නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශවලින්ද පෙනීයන්නේ ඉක්මනින් SOFA ගිවිසුමකට එළඹීමට ඔවුන්ට උඩගෙඩි දෙමින් සිටින බවයි. ඔවුන්ගේ ක්‍රියා හා ප්‍රකාශවලින් ඒ බව සනාථ වේ. මෙබඳු වාතාවරණයක් තුළ අපගේ ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන්, විදේශ හමුදා රට තුළට වැද්දගැනීමේ ක්‍රියාවලිය හෙළාදකිමින් හෙළිදරව් කිරීම මුළුමහත් රටවාසීන්ම අගය කළ යුතු සහ කෘතඥභාවය පළ කළ යුතු කාරණයකි. දේශපාලකයන් පෙන්වා දෙන ආකාරයට රටට සිදුකළ හානිය පිළිසකර කර ගැනීම ඔවුන්ගේද අභිප්‍රාය නම් ඒ සඳහා දැවැන්ත හමුදා බලවේග රට තුළට වැද්දගැනීමේ අවශ්‍යතාවක් නැති බව අපගේ ආගමික නායකයන් විසින් ඉතා පැහැදිලි ලෙස පෙන්වා දී ඇත.

සංවර්ධන දායකත්වය හා ආරක්ෂාව තර කිරීමේ මුවාවෙන් රටට ඇතුළු වී එහි සම්පත් නිර්දය ලෙසින් කොල්ලකෑමට භාජන කිරීමටත්, අපගේ ස්වෛරීභාවයත් නිදහසත් යටපත් කිරීමටත් ඉඩ ලබා නොදිය යුතුවාක් මෙන්ම ආසියානු කලාපය තුළ ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බටහිර බලය යළි ස්ථාපිත කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙසින් ශ්‍රී ලංකාව බල කඳවුරක් කර ගැනීමේ වෑයම පරාජය කළ යුතුව ඇත.

අපගේ බුද්ධ පුත්‍රයන් හා යතිවරුන් පෙන්වා දී ඇති ආකාරයට වසර 2500 කටත් වැඩි දීර්ඝ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ඉතිහාසයක් අප සතුව තිබෙන බැවින් අපගේ එම අනභිබවනීය උරුමකම් හා පුරුදු තුළින් විවිධ ඇදහීම් හා ජාතික සිරිත්වලින් සමන්විත එක රටක එක ජාතියක් ලෙසින් තවදුරටත් පැවතීමේ හැකියාව අප සතුව ඇත. ඒ සඳහා විදේශ රාජ්‍යවල මැදිහත්වීමක් අවශ්‍ය නොවේ.

එම ප්‍රකාශනයේ අඩංගු මෙම කාරණා රටවාසීන් හැටියට ඉත සිතින් අනුමත කරමින් ඒවා ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සහයෝගය සෑම කෙනකු විසින්ම ලබාදිය යුතු කාලය උදා වී ඇත. දේශපාලකයන්ගේ බලපෑම් හා උසිගැන්වීම්වලින් තොරව ජාතිමාමක හැඟීම් මුල් කරගෙන එළඹී ඇති මෙම තීරණ අගය කරමින් ඒවායේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට සියලු දෙනාම කැප විය යුතුය.

ටී. රුසිරුපාල විසිනි