හස් කුස සුනිලය. සයුරු දිය ද සුනිලය. දිය මත පතිත හිරු රැස් පමණක් චණ්ඩය. බැලූ බැලූ අත සුදු මිනිස්සුය. ඒ, දියත පතළ කොරල්පරය හා වෙරළ තීරයේ චමත්කාරජනක දසුනින් නෙතත් සිතත් පිනවීමේ අපේක්ෂා පෙර දැරිවය. වනජීවී සංරක්ෂණ අධිකාරි කාර්යාලය පෙනෙන මානයේම අතින් කටින් යමක් එල්ලා ගත් අයෙක් මුහුදු දියට නැඹුරු වෙයි. දිය රැලිති රළ නගයි. සුදු මිනිස්සු ඔහු වටා රොක්වෙති. මින් රළ විත් ගං වෙරළට රැස් වුණේ ගුත්තිල කාව්‍යයේය. මෙතැන ද එයමය. ඒත් මේ නම් වීණා නාදය ඇසීමට නොවේ. පාන් කන්නටය. හික්කඩු වෙරළේ සුලභ දසුනක් වූ විචිත‍්‍ර මත්ස්‍යයෝ දස දහස් ගණනින් මේ පොරකන්නේ පාන් කන්නටය. අපි ඔහු සමඟ කතාවට වැටුණෙමු.

”අයියලා ටුවරිසම් වගේ? ”

”දන්නවනේ ඉතින්. පාන්වලට මාළු ගොඩක්  කැමැතියි” ඔහුගේ උත්තරය කෙලින් නැත.

”ඔයාලා දවසෙම ඉන්නවද?”

”නෑ.. අපේ මේ හට් දෙකක් තියෙනවා. ඒකයි.”

ඔහු හට් යනුවෙන් හැඳින්වූයේ ස්නෝකලින් හෙවත් කොරල් හා මසුන් නිරීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ කුලියට ලබාදෙන වෙළෙඳසල්ය. ලොව නන් දෙසින් හික්කඩුවට පැමිණෙන සංචාරකයන්ට ඇස් හා මුව ආවරණත් ජීවිතාරක්ෂක කබා සහ දිය යටට ජංගම දුරකථන ගෙනයා හැකි පරිදි යොදන කවර ඇතුලූ එකී මෙකී නොකී දේ මෙම හට්වලින් මිලට ගත හැකිය. ”හෙලෝ මැඩම්.. සර්.. ” යන සාම්ප‍්‍රදායික ආමන්ත‍්‍රණය ප‍්‍රමාණවත් නැති ගානය. වෙළෙන්ඳු මත්සයන්ට පාන් විසිකරන්නේ සංචාරක ඇස සිය වෙළෙදාමට වැඩි වැඩියෙන් ඇදගැනීමටය.

  (අලංකාර මසුන්)

එහෙත් කොරල් ආශ‍්‍රිතව වාසය කරන මේ සමනල මත්ස්‍ය වර්ගවලට ඉන් සිදුවන හානිය ඔහු දන්නේ නැත. කොටින්ම එයින් කොරල් පද්ධතියට වන හානිය පවා ඔහු දන්නේ නැත. හානිය පාන් දැමීමකට ද සීමා නොවේ. කොරල් හා සමනල මත්ස්‍ය වර්ග නරඹනු වස් දියට වන් සංචාරකයෝ බොහෝ දෙනා නතර වන්නේ කොරල් මතය. දිය මත සිට කොරල් නැරඹීමෙන් නතර නොවී කොරල් මත ඇවිදයන ඔවුන් වළක්වන්නට ද කිසිවෙක් නැත. 

හෙක්ටයාර 102 කින් සමන්විත හික්කඩුව ජාතික උද්‍යානය මෙරට ප‍්‍රථම සාගරික ජාතික උද්‍යානයයි. 1979 මැයි 18 වැනිදා අභය භූමියක් බවට එය පත්වන්නේ කොරල් නිර්මාණකරුවන් වන බුහුබාවා නමැති සාගරික ජීවියා වනජීවී සංරක්ෂණයට බාර කරමිනි. වෙරළට සමීප නොගැඹුරු සාගර ප‍්‍රදේශයන්හි පිහිටන ගැටි කොරල්පර (fringing reef) රැසක් එහිදී දැකිය හැකිය. එහෙත් දිය නෑම, කොරල්පර නිරීක්ෂණය හා වීදුරු පතුල් බෝට්ටු ධාවනය ආදී මානව ක‍්‍රියාකාරකම් හමුවේ කොරල්පරයට සිදුවන හානිය එන්න එන්නම වැඩි වූයේය. 1988 දී එය ස්වභාව රක්ෂිතයක් හැටියට නම් කෙරෙන්නේ එහි සංරක්ෂිත තත්ත්වය වැඩිවර්ධනයට යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවම පවසයි. 

එහෙත් 1998 පැවැති එල්නිනෝ තත්ත්වය සමඟ කොරල්පර බොහෝමයක් අවර්ණ වෙමින් මිය යෑම සිදුවිය. හික්කඩුව කොරල්පරයට සිදුවූ විශාලතම හානිය එයයි. 2002 සැප්තැම්බරයේදී හික්කඩුව ජාතික උද්‍යානයක් හැටියට නම් කරමින් නීති දැඩිවූයේ මේ අතරේය. ඉන්පසුව නැවතත් වැඩිම හානියක් වුණේ 2004 සුනාමි අවස්ථාවේදීය. සුනාමිය සමඟ සයුරු රළ මතින් ගසාගෙන ආ වැලි, පස්, මඩ කොරල් මත පතිත වීම හානිකර විය. එයින් වැඩිම හානියක් වුණේ බොනවිස්ටා කොරල් පරයටය. එය නැවත වගාව හා සිටුවීම ආදියෙන් හානිය අවම කරගැනීමට පරිසරවේදීන් විවිධ උත්සාහ ගත්ත ද ඒවා සාර්ථක වුණේ නැත.

 

’’ධීවර ආරක්ෂක කලාපයක් ලෙස තිබූ හික්කඩුව අභය භූමියක් ලෙස නම් කළේ කොරල් ජීවීන් හා මුහුදු ජීවීන් බහුල නිසයි. අක්කර 250ක වර්ග ප‍්‍රමාණයක පැතිරී ඇති එහි බ‍්‍රාන්ච්, බ්‍රේක් , ස්ටෑන්කෝක්,ප්ලේට්, ලෙදර් යනාදී වශයෙන් වර්ග රැසක කොරල් පිහිටා තිබෙනවා. හික්කඩුවෙ වැඩි වශයෙන් ව්‍යාප්තව තිබෙන්නේ අතුමොරා නමැති විශේෂයයි. වැඩිම වර්ධන වේගයක් දක්වන මෙම කොරල් විශේෂය වසරකට මීටර 2-3 අතර ප‍්‍රමාණයකින් වර්ධනය වෙනවා. දෙවැනි ස්ථානය හිමිකරගන්නා ප්ලේට් කොරල් වර්ධනය වන්නේ වසරකට සෙන්ටිමීටරයක් තරම් කුඩා ප‍්‍රමාණකින්. ලංකාව නිවර්තන කලාපයේ පිහිටි දුපතක් නිසා කොරල් නිර්මාණයට අවශ්‍ය සාගරික පරිසරක් තිබෙනවා. අම්බලන්ගොඩ, තංගල්ල , මඩකලපුව , ත‍්‍රිකුණාමලය , පේදුරු තුඩුව, මන්නාරම , මහා රාවණා හ කුඩා රාවණා ප‍්‍රදේශවල කොරල් බහුල ලෙස දැකගන්නට පුළුවන් ’’ යැයි ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

සැබැවින්ම සංචරණය කර්මාන්තයක් සේ ප‍්‍රවර්ධනය කිරීම රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නම් සංචාරක ආගමනය වර්ධනය වීම ද අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. එසේ පැමිණෙන ඔවුනට සමුද්‍ර ජාතික වනෝද්‍යානයක හැසිරිය යුතු ආකාරය ගැන දැනුම්වත් කිරීම ද බලධාරින්ගේ රාජකාරියේ කොටසකි. ස්නෝකලින් හෙවත් කොරල් පර නැරඹීමේදී අනුගමනය කළ යුතු පියවර මෙන්ම නොකළ යුතු දේ ගැන ද ඔවුන්ට උපදේශනයක් දීම එහිදී අනිවාර්යය.

එහෙත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඊට අදාළව කිසිදු වැඩපිළිවෙලක් යොදා නැති බව මේ සංචාරයේදී අපට හොඳින්ම තහවුරු විය. කොරල් නැරඹීම සඳහාම සැකැසූ වීදුරු පතුල් බෝට්ටු කොරල් සමීපයටම යාම නිසා ගැටීමෙන් ඒවාට සිදුවන හානිය සුළුපටු නැත. තවද ඒවායෙන් නිකුත් වන ඉන්ධන කොරල් පද්ධතියට මෙන්ම ඒ ආශ‍්‍රිතව වාසය කරන මත්ස්‍යන්ට ගෙනදෙන්නේ අවාසනාවන්ත අවසානයකි.

 

1978 දී ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ඔස්සේ හමා ගිය දරුණු කුණාටුව, 1998 එල්නිනෝ තත්ත්වය මෙන්ම කොරල් විනාශයට පාර කැපූ ස්වාභාවික ව්‍යසනයක් විය. කොරල්පරවල වෙසෙන බුහුබාවන් තාරකා මසුන් විසින් උරාබොනු ලැබීම ද එම ස්වාභාවික හානි වර්ගයට වැටේ. එවැනි දේ අපේ පාලනයෙන් බැහැරය. එහෙත් පාලනය කළ හැකි දේ නොකරන්නේ මන්ද? දෙසැම්බරය යනු විදේශීය සංචාරකයන් සිය දහස් ගණනින් මෙරටට ඇදෙන සමයකි. ඔවුන්ගෙන් සැළකිය යුතු පිරිසක එක් නවාතැනක් වන්නේ හික්කඩුවය. ඔවුන් බොහෝවිට එහි පැමිණෙන්නේ සතියේ දිනවලය.

 

මේ අතරේ සති අන්ත දිනවල දී හික්කඩුව පිරී ඉතිරී යන්නේ දේශීය සංචාරකයන්ගෙනි. සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලසීමාවේදී ඇතැම් දිනවල සංචාරකයන් නන්වා ගත් බෝට්ටුවල ගමන් වාර සියය ඉක්මවයි. වසරක් පුරාවට අඟලක් තරම් ඉතා කුඩා ප‍්‍රමාණයකින් වර්ධනය වන කොරල්පර මේ දිනවල කැඞී බිඳී යන්නේ අඟල් ගණනින් නොවේ. විශේෂයෙන්ම මතක සටහන් වශයෙන් කොරල් කඩාදැමීම සිදුවන්නේම නොදැනුවත්කම නිසාය. මේ නම් කොතරම් අපරාධයක් ද?

හික්කඩුව ජාතික උද්‍යානය සම්බන්ධයෙන් එහි සිටි විදේශිකයන්ගෙන් යම් අදහස් විමසීමක් කිරීමට අපි කටයුතු කළෙමු. එහෙත් ඒ කිසිවෙකුත් එය ජාතික උද්‍යානයක් බව දැන සිටියේ නැත. ඇත්තය. ඔවුන්ට මග කියන්නට රජය නියෝජනය කරන වගකිවයුත්තෙක් පේන මානයේ නැත. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය තිබෙන්නේ ඈලියාවට ගොස්ය. මනුස්ස පුළුටක් පේන්නට නැති කාර්යාල පරිශ‍්‍රය විදේශීය සංචාරකයන්ට තබා ස්වදේශිකයන්ටවත් කිසිදු මිත‍්‍රශීලී පිවිසුමක් ප‍්‍රදර්ශනය නොකරන්නකි. කවුන්ටරයේ සිටි නිලධාරියා අප යනවිටත් ගයිඞ් කෙනෙකු සමඟ රේස් කොලය පරීක්ෂාවේය. මෙම දසුන දකින  ඕනෑම අයෙකුට සිතෙන්නේ සංචාරක කර්මාන්තය කෙසේ වෙතත් පවතින නීති යටතේ හෝ මේ පරිසරය රැකෙන්නේ කොහෙන්දැයි කියාය.

 (සංචාරකයන් මත්ස්‍යයන්ට කෑම දෙන අයුරු)

පිටිවැල්ල මත හිරු රැස් සිඹින සුදු ළන්ඳු එක පෙළටය. ළඟම සිටි මිතුරිය සමඟ අපි කදේට වැටුණෙමු.

”මම ජර්මානුවෙක්. ලංකාවට ආවේ පළමු වතාවට. ඊයෙ තමයි හික්කඩුවට ආවේ. අපි කැස්බෑවෝ දැක්කා. මෙතැන ජාතික උද්‍යානයක් කියලා දැනගෙන හිටියේ නෑ. කොරල් උඩ නැගීමෙන් වළකින්න කියලා යම් දැනුවත්වීමක් කළෙත් සංචාරයට ආපු අයමයි. වනජීවී කාර්යාලය ගැන අපට අදහසක් නෑ. කොහොම වුණත් කොරල් පරය ආරක්ෂා කරගැනීමට නම් මීට වඩා සැළකිය යුතු දෙයක් කිරීම අත්‍යවශ්‍යයයි.

අඩුම ගානේ සංචාරකයන්ට පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් කටවුට් කීපයක්වත් මේ අවට ප‍්‍රදර්ශනය කරන්න  ඕනෑ. වනජීවී දෙපාර්තමේන්තුවේ අදාළ අමාත්‍යංශයේ වෙබ් අඩවිය එහි සඳහන් කිරීමෙන් සංචාරකයන්ට පහසුවෙන්ම වැඩි විස්තර දැනගැනීමටත් පුළුවන්. ”

ඇය මේ ඉල්ලීම කරන්නේ සමස්ත සංචාරකයන් වෙනුවෙනි. මෙවැනි ඉල්ලීමකටවත් සවන් යොමු කර අඩුපාඩු හදාගන්නට බලධාරින්ට හැකි නම් ඉතා අගේය. නොඑසේව එතැනට සුදු අලියකු බඳු හුදු කාර්යාලයක් අවැසි නොවේමය.

 (කොරල්පර උඩ සිට ගෙන දිය යට කිමිදෙමින්)

”හික්කඩුවට කොරල් බලන්න සුද්දෝ ආවේ ඉස්සර. දැන් තාක්ෂණය දියුණු නිසා ඒ අය එන්න කලින් ඉඳලාම ඉන්ටනෙට් ගිහින් හොඳට අප්ඬේට් වෙලා එන්නෙ. සමහරු අපිටත් වඩා හික්කඩුව ගැන දන්නවා. දැන් නම් ගොඩක් වෙලාවට එන්නේ නාන්න. රැල්ල අඩුකමයි නිල් පාට වතුරයි තමයි දැන් මාකට් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ. දැන් හික්කඩුවේ කොරල් පරයක් නෑ කියලා එයාලා දන්නවා. වනජීවී එකට මේවා කන්ට්‍රොල් නෑ. අනෙක් අතට සජීවී කොරල් පර කොච්චර ප‍්‍රමාණයක් තියෙනවාද කියලාවත් හරියට ගණන් හිලව් නෑ.. ”

සංචාරක හෝටල් හිමිකරුවකු වන අමිල තරංග කොළඹ සරසවියේ භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිධාරියෙකි. ඔහුගේ අවසන් වසර නිබන්ධය තේමා වී තිබුණේ ද කොරල් පර ගැන බැවින් ඔහුට ඒ ගැන යම් ප‍්‍රාමාණික දැනුමක් ද විය. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තයෙහි නියැලෙන්නන්ගේ මෙන්ම විදේශිකයන්ගේ ද අදහස් විමසූ විට පැහැදිලි වූයේ හික්කඩුව ජාතික උද්‍යානය අද බෝඞ් ලෑල්ලකට සීමා වූ බවකි.

හික්කඩුවෙන් පසුව අප නිරීක්ෂණය කළේ ගාල්ලේ සොබා සොඳුරු බව රජයන නිල් ගිරි හිස රූමස්සල අභියස ඇති බොනවිස්ටා කොරල් පරයයි. එහි තතු හික්කඩුවට ද වඩා ශෝචනීයය. අප එහි යනවිටත් විශාල කොරල් පර කොටස් රැගෙන යන සංචාරකයන් ඉන් පිටවූයේ කිසිදු වැළැක්වීමකින් තොරවය. හික්කඩුව සමුද්‍ර ජාතික වනෝද්‍යානය මෙන්ම බොනවිස්ටාව ද  ඕනෑම අයෙකුට රිසි සේ හානිකර ක‍්‍රියාවල නිරතවීමට තෝතැන්නක් වී තිබේ.

මිය ගිය කොරල් වුවද මුහුදේම පවතින්නට ඉඩහරින්නේ නම් කොරල් බුහුබාවන් ඒවා මත වර්ධනය වී නැවත වගාවට ඉඩ ප‍්‍රස්ථාවක් තිබේ. එහෙත් දැන් සිදුවන මානව ක‍්‍රියාකාරකම් නිසා එම අවස්ථාව ද අහිමිවීම කණගාටුවට කරුණකි. බොනවිස්ටාවට වාණිජ අරමුණින් පැමිණෙන ඇතැම් බෝට්ටු නැංගුරම දමන්නේ ද කොරල් පරයටය. නැවත නැංගුරම ගැනීමේදී බොහෝවිට කොරල් පරය කැඞී යයි. තවද ඒවායෙන් මුහුදට නිකුත් කෙරෙන ඉන්ධන කොරල් පරයට අන්තිම නරකය. 

රූමස්සල කන්ද පාමුල පිහිටි ජංගල් බීච් නමින් හැඳින්වෙන වෙරළ තීරය දැන් ඉතා ප‍්‍රකටය. එහෙත් මීට වසර ගණනාවකට ඔබ්බෙන් එය තිබුණේ මනුස්ස ඇසට යම් පමණෙකින් නිරාවරණය නොවී නොඉඳුලේ මෙනි. තොරතුරු තාක්ෂණයේ බලමහිමයෙන් එය ද අද වනවිට මහා පරිමාණයෙන් සංචාරකයන් පැමිණෙන වෙරළ තීරයකි. ධවල වර්ණයෙන් බැබලෙමින් තිබූ පිටි වැල්ල මත අඩි ගණනක් උසට ගොඩගැසී තිබූ කුණු ගොඩ ඊට කදිම සාක්ෂියක් විය.

විස්කෝතු ඇසුරුම්වල සිට බියර් කෑන් දක්වා අපද්‍රව්‍යයන්ගෙන් පිරුණු එය ඉවත් කිරීමට එතැන සංචාරක වෙළෙඳසැල් හිමියන්වත් කටයුතු කර නැත. එහෙත් අලි කඹවලින් ගැට ගසන ලද ලී කණු වෙරළ තීරය දිගේ මුහුද දෙසට එක පෙළට සිටුවා තිබුණේ නම් වෙළෙදාමේ අයිතිය කියන්නට මෙනි. මේ බොහෝ තැන්වලදී දකින්නට තිබුණේ බාගෙන කෑම වෙනුවට ඉහගෙනම කෑම පිළිවෙත කරගත් සංචාරක කර්මාන්තයයි.

 

  • වනජිවිය නිදි
  • සංචාරකයන් දැනුම්වත් කරන උපදෙස් පත්‍රිකාවක් වත් නෑ
  • නොමිනිසුන් අතින් වැනසෙන හික්කඩුවේ කොරල්පර

 

කොරල් පරයක් යනු ආර්ථික, සමාජීය හා පාරිසරිකව වැදගත් වන මුහුදු ශාක විශේෂයකි. නොඑසේව සත්ත්ව විශේෂයක් විසින් නිර්මාණය කරනු ලබන දෙයකි. එය එක්තරා ආකාරයකට මත්සයන්ට අභිජනන මධ්‍යස්ථානයකි. සංචාරක ආකර්ශනයට ලක් වන කොරල් පර රටක විදෙස් විනිමය වැඩිකිරීමට ද තුඩු දේ. කොරල් පරිසර පද්ධතියක් යනු ජෛව විවිධත්වයෙන් අනූන මුහුදු පරිසරයකි. පාරිසරික වටිනාකම මෙන්ම සුන්දරත්වය වර්ධනයට අවශ්‍ය සියලූ සාධක මෙහි ඇත. පසුගිය දශක ගණනාවක් පුරා සිමෙන්ති ඇතුලූ වෙනත් නිෂ්පාදන සඳහා මෙම කොරල් පර හුණු ලෙස කඩා ඉවත් කෙරුණි.

 

උත්ප‍්‍රාසජනක කාරණය නම් ගාල්ලේ අභිමානය ලෙසින් හැඳින්වෙන ලන්දේසි කොටු පවුර නිර්මාණයට ටොන් ගණනින් කොරල් පර කඩනු ලැබ තිබීමය. එසේ බලද්දී ලංකාදීපය වටා තවත් සෞන්දර්ය දීපයක් මැවූ කොරල් පර මහා පරිමාණයෙන් විනාශවීම ආරම්භ වී තිබෙන්නේ 16 වැනි සියවස තරම් ඈතක සිටය. සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට කොරල් පර නැතිවම බැරි සාධකයකි. සංචාරකයෝ ජෛව විවිධත්වයට වැඩි මනාපයක් දක්වති. එනිසා රටට ආර්ථික වශයෙන් වාසිදායක වන්නේ කොරල් පර ආරක්ෂා කරගැනීමට විධිමත් ආයතනික පියවර ගැනීමය.

 (සංචාරකයන් කොරල්පර රැගෙන යන අයුරු)

ශ‍්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 65 000 ක් වුවද සාගරික ප‍්‍රදේශය වර්ග කිලෝ මීටර් දෙලක්ෂය ඉක්මවයි. එහෙත් දියෙන් සැඟව ඇති නිසාදෝ එහි අයිතිය ගැන වැඩි වශයෙන් වද වෙන බවක් පරිසර හිතකාමී ප‍්‍රජාව අතරේ ද නොපෙනේ.

සාගරික පරිසර කලාපයේ නීතිවිරෝධී ක‍්‍රියා වර්ධනය වීමට ද මේ පිළිවෙත බලපා තිබේ. මෙම සාගරික උද්‍යාන විනාශයේ හොඳම උදාහරණය හැටියට හික්කඩුව හැඳින්විය හැකිය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව එහි ශේෂව ඇත්තේ සජීවී කොරල් ඉතා සුළු ප‍්‍රමාණයකි. හිටපු වනසංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහතා පවසන පරිදි වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියකු විසින් නිකුත් කරන ලද බලපත‍්‍රයක් නොමැතිව ඊට ඇතුලූවීම පවා නීතිවිරෝධීය.

වනසත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත අනුව මෙවැනි ප‍්‍රදේශයක මසුන් මැරීමට, ආහාර දැමීමට හෝ කොරල් පර කඩා ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නැත. එහෙත් එම නීති තඹ දොයිතුවකට මායිම් නොකරමින් මිනිසුන් වැඩ කරන්නේ එළිපිටමය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වැඩ ටිකවත් නතර කරගැනීමට බැරිය.

මේ නිසා කනගාටුවෙන් වුවද කියන්නට තිබෙන්නේ අද දවසේ රූමස්සල බොනවිස්ටා කොරල් පරයට අත්ව ඇති ඉරණම හෙට දවසේදී හික්කඩුවටත් අත්වීමට නියමිත බවය. තිරසර නීති කිසිවක් දණින් පහළට මායිම් නැති භූමියක් බවට අද වන විට හික්කඩුව පත්ව තිබේ. හික්කඩුව වෙරළට යන  ඕනෑම අයෙකුට මේ දුක්ඛ සත්‍ය පහසුවෙන් සම්මුඛ වනු ඇත.

එහෙත් ඒ, වනාන්තර විනාශයක් සිදුවන මුහුණුවරින් නොවේ. ප‍්‍රසිද්ධියේ ඔබ ද සහභාගී කරගන්නා ගරිල්ලා මාකටින් ඇතුළේය. ටුවරිසම් සීතාම්බරයට මුවාවෙමිනි. විල්පත්තු වන විනාශය තරම්ම එය දරුණුය.

 

(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

(bingungamage88@gmail.com,tharindudld@gmail.com)

විශේෂ ස්තුතිය- ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාට