(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

bingungamage88@gmail.com , tharindudld@gmail.com

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරිපාලන වශයෙන් අර්බුදයකට පත්ව ඇති ආකාරයත් එහි මව් ආයතනය වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට ඇති දේශපාලන අතපෙවීම් ගැනත් මීට පෙර අවස්ථා දෙකකදී අපි අනාවරණය කළෙමු. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි (MA 03 iii ශ්‍රේණිය) තනතුරට පත්වීම් ප‍්‍රදානයේදී අදිසි හස්තයක් සුදුසුකම්ලාභී උපාධිධාරින් 116 දෙනෙකු සමඟ සිදුකරන දේශපාලන කෙළිසෙල්ලමද කරුණු සහිතව පෙන්වා දුන්නෙමු. අනාවරණයෙන් මාස දෙකක් ඉක්මගිය තැන අද වනවින තත්ත්වය තවත් නරකය. රාජ්‍ය පරිපාලන යාන්ත‍්‍රණයත් ඊට අදාළ නීතී රීතිත් අභියෝගයට ලක් කිරීමට තරම් දේශපාලන අතකොලූ සවිමත් වන්නේ කෙසේද යන්නට මෙය මාහැඟි උදාහරණයකි. දැයක දරුවන් සමඟ කරන මේ සෙල්ලම ගැන නවතම කරුණු අනාවරණය කරන්නේ ඒ අනුවය.

2017 වසරේ මැයි 28 වැනිදා පළ කළ පුවත්පත් දැන්වීමකින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප‍්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි (MA 03 iii ශ්‍රේණිය)  තනතුර සඳහා සුදුසුකම් ලත් උපාධිධාරින්ගෙන් අයැදුම්පත් කැඳවා විධිමත් සම්මුඛ පරීක්ෂණ මගින් ඉහළම ලකුණු ලබා ගත් 116 දෙනෙකු තනතුරට තෝරාගත්තේ පසුගිය දෙසැම්බර් 14 වැනිදාය. එහෙත් එදින පටන් මාස පහමාරකට අධික කාලයක් ගතවන තුරුත් ඔවුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානයක් සිදු නොවූ අතර ඊට ප‍්‍රමුඛව බලපෑවේ 66 දෙනෙකුගේ නම් සහිත දේශපාලන ලැයිස්තුවක් රිංගවීමට යාමය. අධිකාරියේ හිටපු සභාපතිනි මරිනි ද ලිවේරා හා ඇමැති චන්ද්‍රාණි බණ්ඩාර අතර වූ ගැටුම වර්ධනය වූයේ ඉන්පසුවය. අදාළ නම් ලැයිස්තුවට හිටපු සභාපතිනියගේ කැමැත්ත ලබාගැනීමට ඇමැතිවරිය කළ උත්සාහයක් ගැන අභියාචනාධිකරණය හමුවේ WRIT /39/2018 යන රිට් පෙස්සමේ කරුණු අන්තර්ගතය. එහෙත් ලියුම්කරුවන් මේ ගැන දිගින් දිගටම විමසද්දී බලධාරින් පැවසුවේ 116 දෙනාගේ පත්වීම් ප‍්‍රදානය කිරීමට ගියේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී බැවින් එය මැතිවරණ කොමිසමේ මගපෙන්වීම්වලට විරුද්ධවීමක් දැයි සොයා බැලිය යුතු බවය. එහිදී ප‍්‍රශ්නයක් නැත්නම් පත්වීම් ජුනි මාසයේ මුලම ප‍්‍රදානය කරන බව අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා කීවේය. අමාත්‍යංශ ලේකම්වරිය පැවැසුවේ ද අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීමේ ප‍්‍රශ්නය නිමා කරගත් සැණින් ප‍්‍රශ්නය විසඳෙන බවය. එහෙත් ඉන්පසුව ද කටයුතු සිදුවුණේ සුදුසුකම්ලාභීන් 116 දෙනා දිගින් දිගටම රවටන පිළිවෙතක් අනුගමනය කිරීමයි. ඒ, සුදුසුකම්ලාභීන් තේරූ ක‍්‍රමවේදය ගැන  විමර්ශනයක් කරන්නට යාමෙනි.

හාස්‍යෝත්පාදක කරුණ නම් අදාළ විමර්ශනය කරන බව ඇමැතිවරියගේ පෞද්ගලික ලේකම්වරයකු වන රංජිත් කුලසිංහ නමැත්තා මාධ්‍යට කියද්දී එවැන්නක් ගැන ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා තබා අමාත්‍යංශ ලේකම්වරියවත් නැතිව සිටීමය. ඒ අනුව ප‍්‍රතිපත්ති තීන්දු ගන්නේ කවුදැයි පැහැදිලිය. අධිකාරියටත් අමාත්‍යංශයටත් මුලදී දැවෙන ප‍්‍රශ්නය වී තිබුණේ පළාත් පාලන ඡන්දය කාලයේ මෙම පත්වීම් ලබාදීමට ගියේ මැතිවරණ කොමිසමේ මගපෙන්වීම්වලට පිටින්ද කියා නම් ඔවුන්ගේ සැක දුරු කිරීමට අපට හැකිය. ඒ හිටපු සභාපතිනිය අදාළ පත්වීම් ප‍්‍රදානයට මැතිවරණ කොමිසමෙන් අවසර ඉල්ලා සිටි සහ ඊට අනුමැතිය ප‍්‍රදානය කළ ලේඛන අප සතු බැවිනි. එමෙන්ම අධිකාරිය මෙන්ම අමාත්‍යංශයත් නොදන්නේ යැයි පසුගිය වතාවේ පැවැසූ 66 දෙනාගේ නම් ලැයිස්තුව ද ඉදිරිපත් කිරීමට අපට හැකිය. එමතු ද නොව මේ හැට හය දෙනාගේ ලැයිස්තුව හා ඇමැතිනියගේ පෞද්ගලික ලේකම්වරයකු වන රංජිත් කුලසිංහ නමැත්තාට ඇති සම්බන්ධය හෙළි කිරීමට අවශ්‍ය සාක්ෂි ද සැපයිය හැකිය.

අමාත්‍යංශය හෝ ළමාරක්ෂක අධිකාරිය මෙම පත්වීම් ප‍්‍රදානය පමාවට ඉදිරිපත් කළ තවත් තර්කයක් වූයේ පැවැති සම්මුඛ පරීක්ෂණ නිසියාකාරව සිදුවීදැයි සෙවීමය. මේ ආයතන දෙකම මේ තර්කය මතුකරන විට තේරුම් නොගන්නා දෙය වන්නේ මෙවැනි කරුණක් මගින් ඇඟිල්ල දිගු කරන්නේ තමන්ටම වන බවය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය නියෝජනය කළෝ කවරහු ද? කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ළමාරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ප‍්‍රධානතම ආයතනවල නිලධාරීහුය. සම්මුඛ පරීක්ෂණ නිසියාකාරව පවත්වා නැත්නම් එය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල ප‍්‍රශ්නයකි. එවිට සම්මුඛ පරීක්ෂණ මණ්ඩල නියෝජනය කළ නිලධාරින්ට ද මේ ප‍්‍රශ්නයෙන් අත පිසදා ගත නොහැකිය. එහෙත් ලියුම්කරුවන් මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී නම හෙළි නොකිරීමේ පොරොන්දුව පිට අදහස් දැක් වූ නිලධාරින් කීප දෙනෙකුම අවධාරණය කළේ සමස්ත සම්මුඛ පරීක්ෂණ ක‍්‍රියාවලිය නිසියාකාරවත් කිසිඳු අත පෙවීමකින් තොරවත් සිදුකළ බවය. ඒ අනුව මේ තර්ක වලින් අමාත්‍යංශය එකක් කඩතොලු වසාගන්නට ගොස් සියක් කඩතොලූ හදාගනිමින් වැටෙන්නට යන්නේ ඉඳුරුවේ ආචාරියාගේ තත්ත්වයට වග නම් ඉඳුරාම පැහැදිලිය.

ජීවිත 116 ක මානසික පීඩාව

අද වනවිට මෙම සුදුසුකම්ලාභී උපාධිධාරින් 116 දෙනා සිටින්නේ දැඩි මානසික පීඩනයකිනි. තමන්ට සිදු ව ඇති නස්පැත්තිය ගැන කියා යුක්තිය පතා ඔවුන් ලියූ ලියුම් ගණනින් අතිවිශාලය. කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර, එම අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත, හිටපු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ඒ අතර විය. පත්වීම් දෙන්නේ යැයි කී ජුනි මාසයේ මුල් සති දෙක ද ගෙවී යද්දී නැවත වරක් අපේක්ෂාභංග වූ උපාධිධාරිහු ත්‍රෛනිකායික මහා සංඝරත්නයට පවා සිය දුක කියන්නට කටයුතු කළහ. ඉන්පසුව ඔවුන් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට ද පැමිණිල්ලක් කළ අතර ඊට අදාළව විමර්ශනයක් ආරම්භ කිරීමට ඔම්බුඩ්ස්මන්වරයා පියවර ගත්තේය. මෙහිදී විධිමත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් තෝරා ගනු ලැබූ 116 දෙනාගේ ලැයිස්තුවත් දේශපාලන හස්තයක් මගින් යොමු කර තිබූ 66 දෙනාගේ ලැයිස්තුවත් ඔම්බුඞ්ස්මන් කාර්යාලයට ලබාදීමට පැමිණිලිකරුවෝ කටයුතු කළහ. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා ද මේ ගැන කාන්තා හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හා අගමැතිවරයාට පැමිණිලි කළේ මේ අතරේය. කාන්තා හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනිය වන්නේ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුසිතා විජේමාන්නය. මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ලට අදාළව වහාම පිළිතුරු සපයන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාවේ ලේකම් ඉන්දිරා දිසානායක මහත්මියගේ අස්සනින් යුතු ලිපියක් ජූලි 5 දාතමින් යුතුව අමාත්‍යංශ ලේකම් අශෝකා අලවත්ත මහත්මියට නිකුත් වුණේ ඒ අනුවය. 116 කණ්ඩායම මෙවැනි මැදිහත්මක් කරද්දී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය ද වගකිව යුතු ආයතනවලට ඔවුන්ගේ මට්ටමින් ද මේ ගැන දැනුම් දී තිබිණ.

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතින් ආයතනය පිහිටුවද්දී පාර්ලිමේන්තුවේ අවධාරණය කෙරුණු ප‍්‍රධාන කරුණක් වූයේ කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස එය ක‍්‍රියාත්මක වීමය. එහෙත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ පැහැදිලි වන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත පය බැඳ දමන්නට දේශපාලන හෙංචයින්නට හැකිව ඇති බවය. එය  ඕනෑවටත් වඩා ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි මේ ගැන ස්වාධීන විමර්ශනයක් කරන ආයතනයකට ඉදිරිපත් කිරීමට ලියුම්කරුවන්ට හැකිය. විශේෂයෙන්ම ඇමැතිවරිය නොදන්නේ යැයි කියන ළමාරක්ෂක අධිකාරිය ද නොදන්නේ යැයි කියන හැට හය දෙනාගේ කණ්ඩායමේ ඇතැමුන් හා ඇමැතිවරියගේ පෞද්ගලික ලේකම්වරයා අතර හුවමාරු වන අදහස් මේ විමර්ශකයන්ට ඉතා වැදගත් වනු ඇතැයි අපි සිතමු. තවද මේ කතානායකයා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවතක්සේරු කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් හෑල්ලූ කරමින් අධිකාරිය ගැන දෙන අර්ථකතනත් රාජ්‍ය සේවයේ රැකියාවක් ලබාගන්නා නිවැරැදි මග ගැන සුදුසුකම්ලාභීන්ට දෙන උපදෙස් ද අදාළ විමර්ශනයේදී වැදගත් වනු ඇත.

සැබැවින්ම මෙම කුණු ගඳ ගසන සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක් කිරීමට හොඳින්ම හැක්කේ ඔම්බුඞ්ස්මන්වරයාට මෙන්ම කාන්තා හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවටය. මන්දයත් ඇමැතිනියගේ පෞද්ගලික ලේකම්වරයා කතානායකයා වන්නා වූ මේ ගඳ ගසන සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක් කිරීමට අමාත්‍යංශයට කිසිදු ලෙසකින් හැකියාවක් නැති බැවිනි.

රංජිත් කුලසිංහ

දේශපාලන ලැයිස්තු කතාව ගැන පසුගිය ලිපියෙන් අනාවරණය කරද්දී එම සිදුවීම ගැන මතය විමසීමට අපි විෂය බාර චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිනිය දුරකතනයෙන් සම්බන්ධ කරගත්තෙමු. එහෙත් අඳෝමැයි. ඇයගේ ප‍්‍රතිචාරය වූයේ තමා නියෝජනය කරමින් පිළිතුරු දීමේ අවස්ථාව චෝදනා එල්ල වන තම පෞද්ගලික ලේකම්වරයකු වන රංජිත් කුලසිංහ නමැත්තාට යොමු කිරීමය. 116 දෙනා තෝරාගෙන තිබෙන්නේ නිසි අවසරයකින් බව ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා අපට තහවුරු කරද්දී ඊට නිසි අවසරයක් නැතැයි කීවේ මේ කුලසිංහ නමැත්තාය. එවිට අප එය පිළිගත යුත්තේ ඇමැතිනියගේ වචන හැටියට ද?  66 ලැයිස්තුවක් ගැන තමා නොදන්නේ යැයි කී හෙතෙම ඒ ගැන විමර්ශනයක් කරන බව කීව ද (පසුගිය ලිපිය පළවූයේ මැයි 30 වැනිදාය) ඒ වගක් අමාත්‍යංශ ලේකම්වරියවත් දැන සිටියේ නැත. එවිට අමාත්‍යංශයේ විමර්ශන බලය දැන් තිබෙන්නේ අමාත්‍යංශ ලේකම්ට ද පෞද්ගලික ලේකම්ට දැයි යන සාධාරණ සැකය මතු වේ. ඇමැතිවරිය නොදන්නවා වුණාට 66 ක නම් ලැයිස්තුවක් ගැන හිටපු සභාපතිනිය අභියාචනාධිකරණයට අනාවරණය කර තිබේ. ඒ නම් අතිශය බහුතරයක අයිතිකරුවන් ඇමැතිවරිය නියෝජනය කරන අනුරාධපුර දිස්ත‍්‍රික්කය වාසභූමිය කරගත් අය වීම අහඹුවක් විය නොහැකිය. ඔම්බුඩ්ස්මන්වරයා හා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව කරන විමර්ශනයට දැන් අවශ්‍ය නම් රංජිත් කුලසිංහට ද ඇමැතිවරියට ද සහාය විය හැකිය. එවිට 116 හා 66 අතර ඇති නිත්‍යනුකූලභාවයේ වෙනසත් හොර පාරෙන් ගනුදෙනු වීද නැද්ද යන්නත් රටටම දැනගත හැකිය.

පුරවැසියනට අසාධාරණයක් සිදුවද්දී යුක්තිය කඩිනමින් ඉටුකරන යාන්ත‍්‍රණයක් තිබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යක ලක්ෂණයකි. යහපාලන ගුණදමකි. එහෙත් මේ ප‍්‍රශ්නය මේ සා කුණු වන තැනට තල්ලූ වීමට ප‍්‍රධාන සාධකයක් වූයේ සුදුසුකම්ලාභී උපාධිධාරින්ගේ හඬට සවන් දෙන්නට රාජ්‍ය යාන්ත‍්‍රණය අපොහොසත් වීමය. හිමි පත්වීම නොලැබී යාමෙන් නොනැවතී ඒ ගැන යුක්තිය පතා ලියූ ලියුම් ද කුණු බක්කියට වැටුණේ ඔවුන් කබලෙන් ලිපට ඇද දමමිනි. එක් අවස්ථාවක ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට පවා සිය දුක කියන තැනට ඔවුන් තල්ලූවීමෙන් ඔවුන්ගේ අපේක්ෂාභංගත්වයේ දිග පළල සිතාගත හැකිය. ඔම්බුඩ්ස්මන්වරයාගේත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේත් විමර්ශන ආරම්භ නොවන්නට මෙම දුෂිත කතාව යට ගැසෙන්නට ඉඩ නොතිබුණේ යැයි කාට නම් කිව හැකිද?  ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම පමාවීමෙන් මේ ප‍්‍රශ්නය ආමන්ත‍්‍රණය කිරීමේ සඛ්‍යතාව එහි නිලධාරින්ට ද අහිමි බවක් ප‍්‍රකාශ කෙරිණි. පසුගියදා ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් එය ද පත් වූ බැවින් මෙම සිදුවීමට ප‍්‍රමුඛතාවය දී අධිකාරියේ ගෞරවය බේරාගැනීමේ වගකීම ද දැන් අධ්‍යක්ෂ මණ්ඩලය සතුය.

රාජ්‍ය සේවය ඡුන්ද බැංකු ක‍්‍රමයක් වී ඇතැයි ද නිස්සන් යට ගොස් පුස්සන් ඉස්මතු වීමට මේ ජරා දේශපාලන ක‍්‍රමය හේතු වී ඇතැයි ද චෝදනා නැගෙන්නේ දැන් කලෙක පටන්ය. විරැකියාව විසින් ඇතිකරන ලද අපේක්ෂාභංගත්වය විසින් තරුණ පරපුරක් ආසන්න කැරැලි දෙකකට තල්ලූ කරනු ලැබීමේ පසුබිමේ ද මේ චෝදනා විය. තරුණ අසහන කමිටු පත්කර එකී වාර්තාවල අන්තර්ගත නිර්දේශ ද රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී නිර්ණායක බවට පත්කර ගත්තේ ඒ අනුවය. යහපාලන ආණ්ඩුවේ ප‍්‍රමුඛ දේශපාලන පොරොන්දුවක් වූයේ ද ලියුම් කරදහිවලට යට නොවී තරඟ විභාග හා විධිමත් සම්මුඛ පරීක්ෂණ අවසානයේ පාරදෘෂ්‍යභාවයෙන් යුතුව ප‍්‍රදානය කෙරෙන පත්වීම්ය. දේශපාලන හෙංචයියන් සිය අණසක පෙන්වමින් ක‍්‍රීඩා කරන්නේ හුදු ජීවිත 116 ක් සමඟ මතු නොව ජන වරමක් සමඟ යැයි අප කියන්නේ ඒ හෙයිනි.

විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබූ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ කාර්ය පටිපාටියක් තිබේ. මේ බඳවා ගැනීම් කර ඇත්තේ ඊට අනුවය. පසුගිය අනාවරණයේදී අප ඇසුවේ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලැබූ එකසිය දාසයක් යට යවන්නට තරම් ප‍්‍රබල මේ හැට හය දෙනා කාගේදැයි කියාය. එහෙත් මෙවර අපි එකම ප‍්‍රශ්නය නැවත නොඅසමු. ඒ, ඊට අදාළ සාක්ෂිමය කරුණු අප සතු නිසාය.

 

‘‘සවිස්තරාත්මක කරුණු දැක්වීමක් කළා’’

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය

‘‘ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම සිදුවීම ගැන අපෙන් තොරතුරු විමසා සිටියා. ඒ අනුව අදාළ සිදුවීම මනාව අධ්‍යයනය කර ඊට අදාළව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් ලිඛිතව කිරීමට මා කටයුතු කළා. එහි පිටපතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතාට යොමු කළා’’

 

 

 

(උපාධිධාර‍ීන් 116 පත්වීම්වලට ලබා දුන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය)

(පත්වීම් ප්‍රධානයට අවසර ඉල්ලා මැතිවරණ කොමිසමට යැවු ලිපිය)

(මැතිවරණ කොමිසමෙන් පත්වීම් වලට අනුමැතිය දීමේ ලිපිය)