‘රෝ’ ඔත්තු සේවය පිළිබඳ අදහස් දැක්වීමට ප්‍රථමයෙන් ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ පූර්ණ සංවර්ධනය මැයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් පිළිබද සාකච්ඡා කරමිනි. මෑතක දී සංවර්ධනය කෙරුණු කොළඹ දකුණ වරායේ ගැඹුරු බහාලුම් පර්යන්තයක් නොමැති බැවින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම වරායේ සංවර්ධන කටයුතු සදහා පමණක් ඩොලර් ලක්ෂ 3750 ක මුදලක් වැය කර තිබෙන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.
 
“බහාලුම් ප්‍රවාහනය සම්බන්ධයෙන් මෑත කාලීනව මතුව තිබෙන අවශ්‍යතා සැළකිල්ලට ගත යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය භාරයේ තිබෙන නොගැඹුරු දිය පර්යන්තයන් මේ වන විට ඒවායේ උපරිම ධාරිතාවයෙන් යුතුවයි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ නිසාම දකුණු වරායේ පර්යන්තයක් නොමැතිව ශ්‍රී ලංකා වරාය අධිකාරියට එහි මෙහෙයුම් පුලුල් කිරීමට හැකියාවක් නැහැ” යයි ඔහු කීවේය.
නැගෙනහිර බහාලුම් පර්යන්තය (ඊසීටී) ගැඹුරු දිය පර්යන්තයක් ලෙස ගොඩනඟන්නට සැළසුම් කර තිබෙනවා. නැගෙනහිර - බටහිර මුහුදු මාර්ගයේ යොදවා තිබෙන අති විශාල ප්‍රමාණයේ බහාලුම් ප්‍රවාහන නෞකා (අල්ට්‍රා ලාජ් කන්ටේනර් කැරියර්ස් - යූඑල්සීසී) වලට පහසුකම් සැළසීම තමයි නැගෙනහිර බහාලුම් පර්යන්තයේ අරමුණ. මහා පරිමාන සමාගම් 14 ක් අද නෞකා බහාලුම් ක්ෂේත්‍රය යටත් කරගෙන සිටිනවා. මේ සමාගම් 14 ක්‍රියාත්මක වන්නේ වෙන් වෙන්ව පිහිටුවාගත් සන්ධානයන් 4ක් යටතේ. 
 
ප්‍රධාන මුහුදු මාර්ගවල ප්‍රවාහනය කැරෙන බහාලුම්වලින් 90්‍ර කටම වගකියන්නේ මෙම සන්ධානයි. ඔවුන් මේ වන විට ‘යූඑල්සීසී’ ගණයේ නෞකාවන් නැගෙනහිර - බටහිර මුහුදු මාර්ගයේ ප්‍රවාහන කටයුතුවලට යොදවා තිබෙනවා.
 
පහත නිර්දේශ සදහා පිටු 4 කින් යුතු වූ තම කැබිනට් පත්‍රිකාවෙන් සමරසිංහ මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණ.
 
අන්තර්ජාතික තරගකාරී ලංසු තැබීමේ ප්‍රතිපත්තිය යටතේ, ඉල්ලුමට වහා සැපයුම ලබා දීම සදහා, නැගෙනහිර බහාලුම් පර්යන්තයේ පළමු අදියරේ භාවිතයට ගත හැකි, ‘යූඑල්සීසී’ වර්ගයේ නෞකා හා අදාළවන පරිදි බහාලුම් හැසිරවිය හැකි දොඹකරයන්, ගොඩබිමට ප්‍රවාහනය කිරීම සදහා කෙටි කාලීනව (වසර 2කට) නෞකා 5ක් කල්බදු පදනම යටතේ ලබාගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම.
 
අන්තර්ජාතික තරගකාරී ලංසු තැබීමේ ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියට, නියම පරිමාවෙන් යුතු බහාලුම් හැසිරවීම සදහා වන දොඹකර සහ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ පළමු අදියර සදහා යෙදවීමට ගැන්ටි්‍ර දොඹකර 5 ක් ගොඩබිමට ගෙන්වා ගැනීමට මෙන්ම නෞකා 5ක් ලබාගැනීම සදහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම.
 
කල්බදු ක්‍රමය යටතේ භාණ්ඩ ලබාගැනීම සදහා කැබිනට් අනුමැතිය යටතේ ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම.
 
රාජ්‍ය - පෞද්ගලික සබදතාවක් පදනම යටතේ 2016 වසරේ පැනවූ උනන්දුව ඇති පාර්ශවයන් කැදවීම සහව්‍යාපෘතිය පිළිබද මූලික තතු ප්‍රසිද්ධ කිරීම, යන්න අහෝසි කිරීම.
 
කැබිනට් තීරණයකට එළැඹීමට ප්‍රථමයෙන් අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබෙන කැබිනට් නිර්දේශ හා මුල්‍යමය කරුණු අදාළ වන්නේ නම් එම කරුණු සම්බන්ධයෙන් මුලින්ම මුදල් අමාත්‍යංශය අදහස් දැක්වීම එදා සිටම පැවත එන පිළිවෙතකි. ඒ අනුව ඉදිරිපත්ව තිබෙන කැබිනට් නිර්දේශ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළේ ය. 
 
උනන්දුව ඇති පාර්ශවයන් කැඳවීම සහ ව්‍යාපෘතිය පිළිබද මූලික තතු ප්‍රසිද්ධ කිරීම අහෝසි කළ හැකි බවට ඔහුද එකඟ විය. නමුත් ඊට අමතරව ඔහු තවත් නිර්දේශ 5ක් එකතු කළේ ය. ඒවා පහත පරිදිය.
 
නැගෙනහිර බහාලුම් පර්යන්තය හා සම්බන්ධයෙන් වන අමාත්‍ය කමිටුව නැවත බලාත්මක කිරීම.
 
ජාතික සම්පතක් ලෙස නැගෙනහිර පර්යන්තය පවත්වාගත යුතුවීමේ කැබිනට් තීරණයට ප්‍රමුඛත්වය දෙනු ඇති මෙම කමිටුව, ජපානයේ සහ ඉන්දියාවේ රජයයන් සමග සෘජු සංවාදයක නියැළෙමින් මූලෝපායික ලෙස වැදගත් වන පාර්ශවකරුවන් හදුනාගැනීමේ නිරත වනු ඇති අතර, තෝරා ගන්නවුන්ට රාජ්‍ය - පෞද්ගලික පදනමක් යටතේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ පාලනයෙන් කොටසක් හිමිකර දෙන අතරවාරයේ, ඉදිකිරීම - මෙහෙයුම් දියත් කිරීම - පවරා දීම - යන සංරචකයන් පදනමේ සිට නැගෙනහිර බහාලුම් පර්යන්තය වසර 35ක කාලයකට බදු දීම සිදුවනු ඇත.මෙම කටයුතු දියත් කැරෙනු ඇත්තේ දැනට කොළඹ වරායේ ක්‍රියාත්මක රාජ්‍ය - පෞද්ගලික සබදතා හා සමානවමය.
 
නැගෙනහිර බහාලුම් පර්යන්තයට අවශ්‍ය දොඹකර මිල දී ගැනීම සදහා ජපාන රජය පිරිනැමීමට නියමිත අරමුදල් සම්බන්ධයෙන් මෙම අමාත්‍ය කමිටුව සාකච්ඡා ආරම්භ කරනු ඇත.
 
රාජ්‍ය - පෞද්ගලික ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන විධිවිධානයන් අනුව කටයුතු කිරීම සදහා අවශ්‍ය ආධාර අනුබල අමාත්‍ය කමිටුවට ලබාදීමටත්, නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනත් පාර්ශවයකට බදු දීම සදහා වන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාගත හැකි උපරිම කොටස් ප්‍රමාණය සහ ආදායම් උත්පාදන මාර්ගයන් දිනා ගැනීම සදහා වන සාකච්ඡාවල නිරත වීමටත්, සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම.
 
සංශෝධනය කැරන ලද කොන්දේසි යටතේ ආසියානු සංවර්ධන බැංකුව සමග නැවත සාකච්ඡා මේසයට පිවිසීමට අමාත්‍ය කමිටුව කටයුතු කරනු ඇත.
 
නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමගත්, ජපානය සමගත්, එකඟතා ඇති කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබූ බව දන්නා කරුණකි. ඉතිරිව තිබූයේ එම එකඟතා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමත්, නිල වශයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමත්ය. 
 
පසුගිය බ්‍රහස්පතින්දාට යෙදුණු අගමැතිවරයාගේ නවදිල්ලි සංචාරය හමුවේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව තිබූ තත්ත්වයට තවත් වැදගත් බවක් ආරූඪ විය. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැති සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් වූයේ මෙම ත්‍රෛපාර්ශවීය එකගතාවයයි. සීනි නිශ්පාදනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අක්කර 15,000ක බිම් කොටසක උක්ගස් වගාකිරීම සදහා වන ඉන්දියානු ආයෝජනයක් සම්බන්ධයෙන්ද දෙදෙන සාකච්ඡා කළහ.
 
කැබිනට් රැස්වීමේ සාකච්ඡාවේදී තම කැබිනට් පත්‍රිකාවේ සදහන් නිර්දේශ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා දිගින් දිගටම විස්තර කළේය. ත්‍රෛපාර්ශවීය එකගතාවයට පක්ෂව එම නිර්දේශ සකස් කර තිබූ බව පැහැදිලි විය. එම අවස්ථාව වන විට වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සිය කැබිනට් පත්‍රිකාව පිළිබඳ පැහැදිලි කිරීම අවසන් කොට තිබුණි. නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා මත ගැටුමක පැටළුනේ මෙහිදීය.
 
“මේක කාටවත් දෙන්න බැහැ” ඔහු දැඩිව කියා සිටියේය.
 
ඒ අතරවාරයේම ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනපති මයික් පෙන්ස් පසුගිය 4 වැනිදා මාධ්‍ය හමුවේ දක්වා තිබූ අදහස්ද සිහිපත් කළ ජනපති සිරිිසේන මහතා, “ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය කවදා හෝ චීනයේ නාවික හමුදාවේ කඳවුරක් බවට පත්වනු ඇති” ය කියා ඔහු එම වාර්තාවල කියා තිබුණා, යැයි පැවසුවේ ය.
 
“මම කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය පිටස්තර පාර්ශවයකට දෙන්නේ නැහැ. අපට ලෝකයෙන් මේ වගේ අවධානයක් ගන්නට වුවමනාවක් නැහැ. මේක කොහෙත්ම වෙන්නේ නැහැ” යැයි ජනපති සිරිසේන මහතා අවධාරණය කළේය. මෙම ප්‍රකාශයත් සමගම කැබිනට් මණ්ඩලයේ අතිශය උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
 
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෂින්සෝ අබේ මේ සදහා එකඟත්වය පළකර තිබෙන බවට මුදල් අමාත්‍ය සමරවීර දක්වා සිටි අදහස් ගෙනහැර දැක්වූ ජනපතිවරයා ඒවා වැරදි බව කියා සිටියේය. පසුගියදා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවේදී මේ සම්බන්ධයෙන් ඉන්දියා අගමැතිවරයා හා අදහස් හුවමාරු කරගත් බවත්, එහිදී නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට ලබාදිය නොහැකි බව තමා ඔහු සමග කියා සිටි බවත්, ජනපති සිරිසේන මහතා පැවසුවේය.
 
“ඒකේ ගැටළුවක් නැහැ. ඒක අපට දෙන්න යෝජනා කළේ ඔබේ රජයේම එක් පාර්ශවයක්” යැයි ඉන්දියා අගමැතිවරයා තමන් හා පැවසූ බවද ජනපතිවරයා කීවේ ය. 
 
අගමැති වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින්, නැගෙනහිර බහාලුම් පර්යන්තය ප්‍රතිනැව් ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගැනෙනු ඇති බවත් විශේෂයෙන් ඉන්දියාවේ වරාය බලා යන නෞකා සදහා එය වැඩිවශයෙන් භාවිතා වනු ඇති බවත් පැහැදිලි කළේය. නැගෙනහිර බහාලුම් පර්යන්තයට එනු ඇති නෞකාවලින් 80්‍ර ක්ම ඉන්දියාව බලා යන නෞකා බව පෙන්වා දුන් අගමැතිවරයා, මෙම පර්යන්තය මේ ආකාරයට සංවර්ධනය කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව පැවසුවේය. 
 
ව්‍යාපෘතිය ත්‍රෛපාර්ශවීයව ක්‍රියාත්මක කෙරෙන බවට තමා ඉන්දියා අගමැතිවරයාටත්, ජපාන අගමැතිවරයාටත්, පොරොන්දු වූ බවද අගමැති වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය. 
 
රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන්ට අනුව නවදිල්ලියේ දී ඉන්දියානු අගමැතිවරයා හමුවේත්, ගෙවුණු මාර්තු මාසයේ දී ජපානයේ ටෝකියෝ නුවර දී ජපාන අගමැතිවරයා හමුවේත්, ජනපති සිරිසේන මහතාද සැළසුම් කරගෙන තිබෙන ආකාරයටම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව පවසා තිබේ. නමුත් ජනපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කළේ එවැන්නක් සිදුව නොමැති බවය.
 
මතු සම්බන්ධයි