ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණය හා සහතිකකරණය පිළිබඳව ලාංකේය ජනතාවගේ දැනුවත්භාවය සමස්තයක් ලෙස ගත් විට ඉතා අඩු ප්‍රවණතාවයක පවති.

ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණයේ  හා සහතිකරණයේ ස්වභාවය කෙබඳුද?  යන්න පිළිබඳව ප්‍රජා අවබොධයක් ඇතිකරලීම  මෙම ලිපියේ අරමුණයි.  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ  කෘෂි ව්‍යාපාර කළමනාකාර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය සමඟ කළ කතාබහක් ඇසුරින් සැකසෙන මෙම ලිපිය කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණය හා සහතිකකරණය පිළිබඳ බොහෝ දෙනාගේ දැනුවත් භාවයට හේතුවන  නිසැකය.  

කාබනික ගොවිතැන නැතිනම් රසායනික භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තය නූතන ලෝකයේ  වඩාත් ජනප්‍රිය වෙමින් පවතින හා දියුණු වෙමින් පවතින සංකල්පයකි. කාබනික ගොවිතැන යනු, පසේ, පරිසර  පද්ධතියේ හා මිනිසුන්ගේ සෞඛ්‍යවත් පැවැත්ම  තිරසාර කරන නිෂ්පාදන ක්‍රියාවලියකි. පර්යේෂණ ප්‍රතිඵල අනුව පසුගිය දශකය තුළ ලෝකයේ කාබනික නිෂ්පාදන හා කාබනික ආහාරවලට පවතින ඉල්ලුම වැඩි වෙමින් පවතී. මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සාමාන්‍ය ගොවිතැනෙන් නිපදවන ආහාර වලට වඩා කාබනික ගොවිතැනෙන් නිපදවන ආහාර වඩාත්  හිතකර හා සෞඛ්‍ය ආරක්ෂිත බවට  මිනිසුන් අතර පවතින විශ්වාසයයි.

කාබනික ආහාර යනු, කිසිඳු රසායනික  ද්‍රව්‍යයක භාවිතයකින් තොරව නිෂ්පාදනය කරනු ලබන හා සකසනු ලබන ආහාරයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලෙය් 2017 වර්ෂයේ දත්තවලට අනුව ඇමරිකාව, කැනඩාව හා යුරෝපය තුළ කාබනික ආහාර වෙළෙදාම සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. වගකිවයුතු පාර්ශ්වයන් සඳහන් කරන පරිදි 2025 වනවිට ලෝකයේ කාබනික ආහාර සඳහා පවතින වෙළඳ පොළ හා ඉල්ලුම ඇ. ඩො. බි. 320.5 ක් පමණ වන බව ගණනය කර තිබේ.

ශ්‍රී ලංකාව යනු  සහලින් හා අනෙකුත් බෝග වගාවලින් ස්වයංපෝෂිත, අතිතයේදී "ආසියාවේ ධාන්‍යාගාරය" නමින් හඳුන්වනු ලැබූ, සම්ප්‍රදායික ගොවිතැන හා බැඳුණු අවුරුදු 2500 ක් පමණ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රටකි. වර්තමානයේ පවා බොහෝ ආගමික ස්ථාන වල විශේෂයෙන්ම බෞද්ධ ආගමික ස්ථානවල භාවිත කරන පුස්කොළ පොත් හා ඒවායේ අන්තර්ගත සම්ප්‍රදායික වට්ටෝරු,  ශ්‍රී ලංකාවේ  එවකට සිට කාබනික ගොවිතැන පැවති බව කියා පායි. ඒ අනුව කාබනික ගොවිතැන ශ්‍රී ලංකාවට නව සංකල්පයක් නොවන බව පැහැදිලිය.

FIBL (ජර්මන් කාබනික කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ප්‍රතිඵල ) දත්ත අනුව, 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනින් වගාකෙරුණු බිම් ප්‍රමාණය හෙක්ටයාර 19,191 ක්(මුළු වගා බිම් ප්‍රමාණයෙන් 0.8%) වූ අතර, 2016 දී එම ප්‍රමාණය හෙක්ටයාර 96,318 ක් (එනම් මුළු වගා බිම් ප්‍රමාණයෙන් 3.5% ක්) පමණ වීමෙන් ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනේ සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකිය.

එසේ වුවත්, කාබනික ගොවිතැනේ වර්ධනයත් එහි ඇති වැදගත්කමත්  නිසා, බොහෝ නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් පාරිභෝගිකයා නොමග යවා ලාබ ඉපයීමට උත්සහ දැරීම සිදු වේ. එම නිසා වෙළඳපොලේ තුළ ව්‍යාජ නොවන කාබනික නිෂ්පාදන හදුනා ගැනිමේදී විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල පාරිභෝගිකයන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වේ.

එබැවින් ප්‍රමිතිකරණ ක්‍රම මොනවාද? කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණයේදී  මුහුණ පෑමට සිදුවන අභියෝග හා ගැටලු මොනවාද සහ ප්‍රමිතිකරණය පිළිබඳව කාබනික නිෂ්පාදන නිපදවන්නන්ගේ දැනුම කොපමණද යන්න දැනගැනීම කාලීන අවශ්‍යතාවක්ව පවතී.

කාබනික නිෂ්පාදන සහතිකකරණය යනු කුමක්ද?

කාබනික නිෂ්පාදන සහතිකකරණය යනු, කිසියම් විශේෂිත නිෂ්පාදනයක් සඳහා ස්වාධීන තුන්වෙනි පාර්ශවයක් මගින් ප්‍රමාණවත් විනිශ්චයක් සහ සහතිකයක් ලබාදීමට සිදුකරනු ලබන හඳුනාගත් ක්‍රියාවලියකි.

ලෝකයේ කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණයේ හා සහතිකකරණයේ ස්වභාවය

කාබනික නීති හා රේගුලාසීවල පර්යේෂණ ආයතනයේ සමීක්ෂණයකට අනුව, 2017 වනවිට ලෝකයේ  රටවල් 87ක්  පමණ කාබනික නිෂ්පාදන සඳහා ප්‍රමිතිකරණය භාවිත කරන අතර,  තවත් රටවල් 18ක් පමණ ඒ සඳහා අවශ්‍යය රෙගුලාසි සකස් කරමින් පවතී.

කාබනික සහතිකකරණය භාවිත කරන බොහෝ රටවල් ආර්ථික වශයෙන්  ඇමරිකාව, කැනඩාව,  නවසීලන්තය වැනි රටවල්ය.මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම දියුණු රටවල මිනිසුන්ගේ උසස් අධ්‍යාපනය හා සෞඛ්‍යයට හිතකර ආහාර  පිළිබඳ  ඔවුන්  තුළ ඇති මනා අවබෝධය හා අවධානයයි.

සමීක්ෂණ වාර්තා සඳහන් කරනු ලබන ආකාරයට කාබනික නිෂ්පාදන සහතික කිරීමට අදාළ  කමිටු ගොඩනැගීමේ සීඝ්‍ර වර්ධනයක් ලෝකයේ විවිධ රටවල සිදුවුවත්, ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ රටවල, ඇමරිකාව, ජපානය වැනි රටවල PGS  ක්‍රමය, එනම් සහභාගිත්ව සහතිකකරණය (Participatory Guaranteed  System)  නම් සහතික කිරීමේ ක්‍රමය භාවිතයේ සීඝ්‍ර වැඩිවීමක් පවතී. PGS ක්‍රමයේදී නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් විසින්ම නිෂ්පාදන තත්ත්ව හා ක්‍රියාවලි පවත්වාගෙන යන අතර ඔවුන් විසින්ම නිරීක්ෂණය හා නිෂ්පාදන  සත්‍යය වශයෙන්ම කාබනික නිෂ්පාදනදැයි තහවුරු කරගැනීම සිදුවේ. මෙම ක්‍රමය වඩාත් ඵලදායි, අඩු වියදම් වන අතර කාබනික ආහාර, පාරිභෝගිකයාට වඩාත් ළඟාකර ගතහැකි සහ දැරිය හැකි තත්වයට පත් කරනු ලැබේ.

ආසියාව තුළ කාබනික සහතිකකරණය

මුළු ලොවම කාබනික වගාව සඳහා යොමුවීමේදී ආසියාව ඉන් බැහැරව ක්‍රියාත්මක විය නොහැක. ආසියාවේ, මැලේසියාව, ඉන්දියාව වැනි දියුණු වෙමින් පවතින රටවල් පවා මේ වනවිට කාබනික සහතිකකරණය ආරම්භ කර තිබේ. විවිධ කාබනික සහතිකකරණ ක්‍රම අතුරින් ලෝකයේ අනෙකුත් කලාපවලට වඩා  ආසියානු  කලාපය තුල PGS ක්‍රමයේ වැඩි භාවිතයක් පවතී. ලෝකයේ PGS  ක්‍රමය වඩාත්ම භාවිත කරන රට වන්නේ ඉන්දියාවයි.

ආසියාතික  රටක්  වශයෙන් චීනය කාබනික නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානයක සිටියි. පර්යේෂකයන්ට අනුව චීනයේ මේ වනවිට කාබනික ආහාරවලින් පරිපූර්ණ රටක් වශයෙන් ගොඩනැගීම සඳහා විශාල වශයෙන් කාබනික නව  නිපැයුම් කෙරෙහි යොමුවෙමින් පවතී. ඔවුන් බලපොරොත්තු වන අන්දමට, එරට සම්පුර්ණ වගා බිම් ප්‍රමාණයෙන් 1/3 ක් පමණ කාබනික ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති අතර ඒ සමඟම චීනය ලෝකයේ විශාලතම කාබනික ආහාර නිෂ්පාදකයා බවට පත් වේ.

ශ්‍රී ලංකාවේ කාබනික සහතිකකරණය හා ප්‍රමිතිකරණය

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් කාබනික සහතිකකරණය ආරම්භ වූයේ 1970 දීය. නමුත් එම ක්‍රමය යටතේ සහ පසුව පැමිණි විවිධ සහතිකකරණ ක්‍රම වල පැවති බොහෝ අඩුපාඩු නිරවුල් කරමින් 2008 දී ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය(SLIS)  මඟින් කාබනික නිෂ්පාදන සඳහා ජාතික ප්‍රමිතිකරණයක් ඉදිරිපත් කළේය.  මෙය කාබනික නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බිහි වූප්‍රථම ජාතික මට්ටමේ ප්‍රමිතිකරණයයි.

කෙසේ වුවද, පර්යේෂණ වලට අනුව තවමත් ශ්‍රී ලංකාව තුල විධිමත් ජාතික කාබනික ප්‍රමිතිකරණ හා සහතිකකරණ ක්‍රමයක් හා ඊට අදාළ කමිටුවක අවශ්‍යතාවය පවතී.

ආහාර කර්මාන්තය, කාබනික ගොවිතැන ලෙස පරිවර්තනය වීමේදී සාමාන්‍ය සාම්ප්‍රදායික වගා ක්‍රම භාවිතයෙන් ඉවත් වේ. බොහෝ පර්යේෂකයින්ට අනුව ශ්‍රී ලංකාව කාබනික ප්‍රමිතිකරණයේ  හා සහතිකකරණයේ ඉදිරියට ගෙනයාමට වඩාත් සුදුසුම ක්‍රමය ලෙස සඳහන් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් හා පිළිගැනීමක් ඇති තුන්වන පාර්ශ්වයක සහතිකයක් ලබා ගැනීමයි.

කාබනික සහතිකකරණය ජාත්‍යන්තර වෙළඳපොල සඳහා සහතිකකරණය සහ දේශීය වෙළෙඳපොල සඳහා සහතිකකරණය වශයෙන් අංශ දෙකකින්  මෙරට කාබනික සහතිකරණය ලක්වෙයි.

ජාත්‍යන්තර වෙළෙඳපොල සඳහා කාබනික නිෂ්පාදන සහතිකකරණයේදී, IFOAM (Inter National Federation of Organic agri Moment ) හා Codex Aliment Arius මඟින් ඊට අදාළ රෙගුලාසි හා මුලික ප්‍රමිතීන් නියම කරනු ලබයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා කාබනික නිෂ්පාදන සහතිකකරණයේ යෙදෙන නියෝජිත ආයතන 07ක් ක්‍රියාත්මක වන අතර දේශීය වෙළෙඳපොළේ කාබනික නිෂ්පාදන සහතිකකරණය සඳහා සංවිධාන 04ක් පමණක් ක්‍රියාත්මකය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා කාබනික නිෂ්පාදන සහතිකකරණයේ යෙදෙන නියෝජිත ආයතන 07 වන්නේ, The Institute for Market Ecology (IMO,ස්විට්සර්ලන්තය) NASAA (ඕස්ට්‍රේලියා), Naturland (ජර්මනිය), EcoCert (ජර්මනිය), Demeter and Bio Suisse (ස්විට්සර්ලන්තය), කාබනික ගොවීන් හා නිෂ්පාදකයින්ගේ සමාගම (Organic Farmers and Growers Ltd එක්සත් රාජධානිය, and Control Union (SKAL, නෙදර්ලන්තය).

වසර ගණනාවක් තිස්සේ මෙරටින් කාබනික නිෂ්පාදන රැසක් අපනයනය කෙරෙයි. ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර වෙළඳපොල සඳහා කාබනික නිෂ්පාදන ලෙස තහවුරු කරන ලද හා සහතික කරන ලද තේ හා කුරුඳු හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ශ්‍රී ලංකාවයි. මේ වන විට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යුරෝපා සංගමයේ තුන්වෙනි ලෝකයේ රටක් ලෙස ලියාපදිංචි වීම සඳහා සහ එමඟින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය පාලනය කිරීම සඳහා  අධිකාරියක් පිහිටුවීමට සැලසුම් සකස් කරමින් සිටියි. මෙම  ක්‍රියාවලිය මෙරට කාබනික නිෂ්පාදන සහතිකකරණය සඳහා වැයවන වියදම අඩු කිරීමටත්, කාබනික නිෂ්පාදනවලට යුරෝපිය වෙළඳපොළට පිවිසීමටත් උපකාරී වේ.ප්‍රධාන වශයෙන්ම කාබනික නිෂ්පාදන අපනයනයේදී බලපාන තීරුබදු ගැටලු අවම කිරීමටත්, එතුළින් දේශීය අපනයනකරුවන්ට නිෂ්පාදන සඳහා උපරිම මිලක් සමඟ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීම දිරිගැන්වීමත් සිදු වේ.

මෙරට දේශීය වෙළඳපොළ තුළ කාබනික නිෂ්පාදන සහතිකකරණය සඳහා The  Control Union, PGS, SLSI හා SriCert යනුවෙන් සහතිකකරණ පද්ධති 4ක් ක්‍රියාත්මකය. මෙම ක්‍රම අතුරින් වඩාත් ප්‍රශස්ත පරීක්ෂණ තත්ත්ව යටතේ පාලනය වන The  Control Union හා SLSI යන ක්‍රම වඩාත් පිළිගත් ක්‍රම ලෙස සැලකේ. SriCert යනු ශ්‍රී ලංකා රජයට සම්බන්ධ නොවූ පෞද්ගලික සහතිකකරණ ක්‍රමයක් වන අතර,. PGS ක්‍රියාවලිය අඩු විශ්වාසදායීවුවත් එය නිෂ්පාදකයන්ට හා පාරිභෝගික ප්‍රජාවට වඩාත් සමීප හා ප්‍රයෝගික වූත් ක්‍රමයකි.

2017 හා 2018 වර්ෂ වලදී රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් අහඹු ලෙස තෝරාගත් ගොවින් 300 දෙනෙකු යොදාගෙන කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කාබනික නිෂ්පාදන සහතිකකරණය පිළිබඳ දැනුමක් ඇත්තේ සාපේක්ෂව 7%ක් පමණ ගොවින් පිරිසකට පමණි.

මෙරට දේශීය වෙළඳපොළ තුළ  ක්‍රියාත්මක වන කාබනික සහතිකකරණ ක්‍රම 04 අතුරින් PGS හා SriCert ක්‍රම භාවිත කරන ප්‍රතිශත පිළිවෙලින් 2.4%ක් හා 1.3%ක් වේ.  බොහොමයක් ගොවීහු (49.4%ක් පමණ දෙනා) සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මිදී කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමට හා කාබනික නිෂ්පාදන සහතිකකරණයට යොමු වීමට කැමැත්තක් දක්වති.

 නමුත්,කාබනික ගොවිතැනේදී සිදුවන අස්වනු හා අදායම අඩුවීම, කාබනික නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළ තුළ දැනට පවතින අඩු ඉල්ලුම, සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳ පවතින අඩු දැනුවත්කම සහ සහතිකකරණ ක්‍රියාවලියේ ඇති සංකීර්ණතාව හා ඒ සඳහා යන වියදම වැනි  හේතු ඔවුන්ගේ එම තීරණයට බාධක වශයෙන් පවතී.

පර්යේෂණයේදී ගොවීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වන කරුණක්  වන්නේ, කාබනික සහතිකකරණය ශ්‍රී ලංකාවේ ගොවින් අතර එතරම් ජනප්‍රිය නොවන සංකල්පයක් බවයි.මෙරට බොහොමයක් ගොවි ජනතාවගේ අඩු අධ්‍යාපන මට්ටමත්,බොහොමයක් ගොවින් දේශීය වෙළඳපොළ සඳහා පමණක් නිෂ්පාදනය කරන කුඩා පරිමාණ ගොවින් වීමත් මෙම තත්වයට හේතු වී තිබේ.

තුන්වන පාර්ශ්වයක් මගින් සහතිකයක් ලබාගැනීමේදී අවශ්‍ය කරන ලියකියවිලි සඳහා වැයවන අධික වියදම කුඩා පරිමාන ගොවීන්ට දරාගත නොහැකි මට්ටමක පවතී. එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයේදී ඇතිවන අපහසුතා, ආදායම අඩු කිරීමට හේතුවන අඩු අස්වැන්න, අඩු වෙළඳපොල අවස්ථා යන කරුණු ගොවින් කාබනික ගොවිතැන සඳහා යොමු වීම වළක්වාලමින් තිබේ.

එබැවින් ගොවීන්ට පහසු හා අඩු පිරිවැය සහතිකකරණ ක්‍රියාවලියක් ඇති කිරීම, එම සහතිකකරණ ක්‍රියාවලි පිළිබඳව ගොවින් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම, කාබනික සහතිකකරණයට අවශ්‍ය  වටපිටාව ගොඩනැගීම හා සහතික කරන ලද කාබනික නිෂ්පාදන සඳහා වඩා හොඳ වෙළඳපොළ අවස්ථා නිර්මාණය කිරීම යන කාරණා මඟින් කාබනික නිෂ්පාදන සහතිකකරණ ක්‍රියාවලිය සඳහා ගොවින්  යොමුවීම දිරිගැන්විය හැකිය.

ඉහත සියලු කරුණු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය ගොඩනැංවීම උදෙසා ගොවියා හෝ නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පාරිභෝගිකයා තුළද කාබනික සහතිකකරණය පිළිබඳ අවබෝධය ඇති කිරීම, කාබනික ආහාර මිලදී ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීම හා කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණය වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කිරීමද අත්‍යවශ්‍ය වේ.

සටහන  ප්‍රින්ස් රත්නායක