වසන්ත ප්‍රිය රාමනායක

ඕනෑම මොහොතක ස්වාභාවික විපතක් අප කරා යොමුවීමේ ඉඩකඩ වෙනදාටත් වඩා වර්තමානයේ දක්නට ලැබේ. ඊට හේතුව ශ්‍රී ලංකාව ද යම් අවදානම් කලාපයකට ඇතුළු වෙමින් පැවතීමයි. මේ නිසා ශ්‍රී ලංකාව ස්වාභාවික හා දේශගුණික විපත්වලින් තොර රටක් ලෙසින් හඳුන්වා දීම හා අපම හඳුනාගැනීම දැන් අතීතයට අයත් කාර්යයකි.

එසේම ඕනෑම ස්වාභාවික විපතකදී ජනතාව නිතැතින්ම සුපුරුදු දේශපාලන මතිමතාන්තරවලින් ඈත්වේ. ඊට හේතුව ඒවා හිස මත දරාගෙන තමන් වෙත කඩා වැටෙන විපතින් බේරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන හෙයිනි. අනෙක් අතට තමන් වෙත දේශපාලන මතිමතාන්තර පටවන්නන් බොහෝවිට හමුවන්නේ සියල්ල සිදුවී හමාර වීමෙන් පසුවය. එහිදී ද ඔවුන් සූදානම් වන්නේ එම විපත පවා සිය දේශපාලන වාසියට හරවා ගැනීමටය.

මෙහිදී විපතට පත් ජනතාවට පිහිට වන ඉහළම රාජ්‍ය මැදිහත්වීම ක්ෂණිකව සිදුවන්නේ ආරක්ෂක හමුදා මගිනි. එය දකුණට පමණක් නොව උතුරට ද පොදුය. ආපදාවකදී බොක්කෙන්ම වාගේ වැඩට බහින්නේ නැතිනම් විපතේ ගැඹුරට පනින්නේ ත්‍රිවිධ හමුදාවය. මෙය ඔවුනට ගෞරවයක් පිණිස කියන කතාවක් පමණක් නොව යථාර්ථය ද එයමය.

මේ ඊයේ පෙරේදා (වසර අවසානයේ) උතුරට බලපෑ අස්වාභාවික වර්ෂාපතනය මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාව ලක්ෂ ගණනින් අනාථ කඳවුරුගත කිරීමට තරම් ප්‍රබල විය. කිලිනොචිචියේ ඉරණමඩු ඇතුළු මහවැව් හා අමුණු වාන් දැමීම නිසා දක්නට ලැබුණේ ගම් බිම් ගෙවල් දොරවල් මහසයුර මෙන් යටකර ගෙන පිටාර ගැලූ වතුර යායවල්ය. වර්ෂා ජලය එම ප්‍රදේශවල ජනතාවගේ වගා බිම් පමණක් නොව ගෙවල් දොරවල් රැස්කර ගත් බඩු මුට්ටු පවා විනාශ කිරීමට හේතු විය.

මෙම හදිසි දේශගුණික විපතේ දී එම ප්‍රදේශවල ජනතාවගේ පිහිටට පැමිණියේ අවට හමුදා කඳවුරුවල සිටි ආරක්ෂක හමුදා සෙබළුන් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සමඟම නැවතත් අපට යුද සමයේ පැවැති මානුෂික මෙහෙයුම සිහිගන්වන දසුන් දක්නට ලැබුණි. එසේම විපතට පත් ප්‍රදේශවල ජීවත්වන ජනතාව හමුදාවේ සානුකම්පිත සහන වැඩ පිළිවෙළ ඉහළින්ම අනුමත කළේය. මේ නිසා විපතකදී අපේ හමුදාවල මැදිහත්වීම දකුණට පමණක් නොව පොදුවේ මුළු රටටම සමානය යන මතය පහළ මට්ටමේ ජනසමාජය තුළ තහවුරු වෙමින් පවතී. උතුරේ සිදුවූ දේශගුණික විපතේ දී ද උතුරු පළාත් සභාව, පළාත් පාලන ආයතන, රාජ්‍ය ආයතන හා දේශපාලන නායකත්වය යන සියල්ලටම පෙර හමුදා කඳවුර ඒ අසල පිහිටි ගමේ විපතට මැදිහත් විය.

මින් ලබා දෙන පණිවුඩය බාල ජාතිවාදී දේශපාලනයට වඩා ප්‍රබලය. එසේම මානුෂිකවාදීය. ගාම්භීරය. අවාසනාව නැවත වතුර බැස ගිය පසු ආරක්ෂක හමුදාවල සහයෝගයෙන් ආපදා කඳවුරුවල ජීවත් වූ මේ අසරණ ජනතාව තම ගෙවල් දොරවල පදිංචියට ගිය පසු නැවතත් අවස්ථාවාදී දේශපාලනඥයන් මේ ජනතාවගේ ඔළු විනාශ කිරීමට පැමිණීමය. එය උතුරට පමණක් නොව දකුණට ද පොදුය. පසුගිය සමයේ උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කර ගන්නැයි සමහර අන්තවාදී දේශපාලනඥයන් හඬ නඟන විට පසුගියදා විපතට පත් ජනතාවගෙන් අසන්නට ලැබුණේ එය එසේ නොකරන මෙන් කෙරුණු කාරුණික ආයාචනයකි. දේශපාලන පීඩනයෙන් පමණක් නොව උතුරේ පවතින දැඩි කුල පීඩනය නිසා සමහර ජන කොටස් අසරණ වූ පසුද තම ජනවර්ගයේම කුලීනයෝ ඔවුන් ගැන නොබලති. ඒ තැන්වලටද පැමිණෙන්නේ ආරක්ෂක හමුදා බව විපතට පත් පීඩිත කුලවල ජනතාව පවසති. අප ජීවත්වන්නේ කොතරම් සංකීර්ණ අසාධාරණ සමාජයක ද යන්න මින් පැහැදිලි වේ.

දේශපාලනඥයන් අතර මෙන් පොදු මහජනතාව තුළ මේ බෙදුම්වාදී යක්ෂයා හිතන තරම් කළු නැත. එය උතුරටත්, දකුණටත් පොදුය. සාමාන්‍ය ජනයාට අවැසි වන්නේ තමන්ගේ මූලික ප්‍රශ්න විසඳාගෙන ඒකීය රටක නිවී සැනසිල්ලේ ජීවත්විය හැකි රටකි. සමාජයකි. ඒ සමඟ යුද්ධයට පෙර හා පසු මෙන්ම නිදහසට පෙර සිටම උතුරු නැගෙනහිරට විශේෂ වූ ප්‍රශ්න ද දක්නට ලැබේ. එය සංවර්ධනය පැත්​ෙතන් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී, මානුෂිකවාදී හා ආකල්පමය වශයෙන් ද ඓතිහාසිකවද ඇති වූවකි.

යම් ජනකොටසක් එක් ප්‍රදේශයක ස්ථානගතවීමේ දී ද මේවා දක්නට ලැබීම ස්වාභාවිකය. විසඳුමක් ඉදිරිපත් විය යුත්තේ එම ප්‍රශ්නවලටය. එය මහජාතියේ බලහත්කාරීකම උපයෝගී කර ගනිමින් යටපත් කිරීම ජනවාර්ගික ප්‍රශ්නයකට හේතුවිය හැකිය. අපේ රටේ අවස්ථාවාදී පක්ෂ දේශපාලනය කතා නොකරන්නේම මේ ගැනය. එසේම උතුර හා දකුණ බෙදුම්වාදය උපයෝගී කර ගනිමින් බලයට ඒමට හා බලය රඳවා තබා ගැනීමට උත්සාහ කරන්නේ ද මෙම කාරණා හරහාය. මීට විසඳුම ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනඟා ගැනීම බව අමුතුවෙන් කිවයුතු නැත. නිදහසින් පසු වසර 70ක් ගිය පසුව වුවද අපට ‘ශ්‍රී ලාංකීය ජාතිය’ ගොඩනගා ගැනීමට නොහැකිව තිබේ. ඒ පිළිබඳව කතිකාවතක් මතුවෙමින් පැවැතිය ද ඊට දේශපාලන අනුග්‍රහයක් නොලැබේ.

නව වසරක් උදාවීමත් සමඟ උතුරට බලපෑ දේශගුණික විපර්යාසය පදනම් කරගෙන වුවද උතුරේ ජනතාව හා ආරක්ෂක හමුදා අතර යම් සංහිඳියාවක් ඇතිවිය. එහෙත් ඒ සමඟම දකුණේ දක්නට ලැබෙන්නේ නැවත වතාවක් බෙදුම්වාදය, හා ෆෙඩරල්වාදය පදනම් කරගෙන ඉස්මතු කිරීමට සූදානම්වන ජාතිවාදී රැල්ලකි. එසේ අස්වාභාවික ආකාරයට වුවද මතුකරනු ලබන ජාතිවාදය මගින් නැවත බලයට ඒමේ හැකියාවක් ඇතැයි විපක්ෂයේ කොටස් කල්පනා කරන බව පෙනේ. එය මුළාවකි. නැවත වැඩේ වරද්දා ගැනීමකි.

මේ අතර (වත්මන්) නව රජය පසුගිය සමයේ ඇතිවූ දේශපාලන කුණාටුව සමඟින් වඩාත් සුළු ජාතික පක්ෂවලට නැඹුරුතාවක් දක්වන දේශපාලනයකට හා රාජ්‍ය පාලනයකට යොමුවෙමින් සිටී. එය විපක්ෂය දකින්නේ බෙදුම්වාදයට, ෆෙඩරල්වාදයට යන ගමනක් ලෙසිනි. මෙමඟින් දකුණේ සිංහල බෞද්ධ ජනයා තුළ රට කැඩෙනවා, රටට ෆෙඩරල් දෙන්න යනවාය යන මතය ජාතිවාදී අයුරින් රෝපණය කරමින් සිටී.

පසුගිය වසරේ අවසාන භාගයේ දින 50ක් තිස්සේ ඇරඹි දේශපාලන අර්බුදය රාජ්‍ය පාලනය වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදුවූවකි. එහි ජාතිවාදයක් නොමැත. එය බෙහෙවින්ම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජනාධිපතිවරයා දියත් කළ සටනක් වාගේය. වසර තුනක සන්ධාන පාලනය (යූ.ඇන්.පී. හා ශ්‍රී ලංකා) ඊට හේතුවූ ප්‍රතිපත්තිමය පරස්පරතා තිබේ. එය පුද්ගලයන් දෙදෙනකුගේ ද්වන්ද සටනකට වඩා ආණ්ඩුවේ අභ්‍යන්තරය තුළින්ම පුපුරාගිය ප්‍රතිපත්තිමය අරගලයක ප්‍රතිඵලයක් වාගේය. එහෙත් මෙය දේශපාලන කරළිය තුළ දක්නට ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා ඊට එරෙහිව මතු වූ අරගලයක් වශයෙනි. ඊට හේතුව ජනාධිපති බලතල අදාළ පෙරළියට උපයෝගී කරගැනීම දැයි කියන්න දන්නේ නැත.

එක්සත් ජාතික පෙරමුණ සිවිල් සමාජ සංවිධාන උපයෝගී කර ගනිමින් අදාළ සටන් පාඨය තුළ සිය දේශපාලනය මෙහෙයවීමට පටන් ගත්තේය. ද්‍රවිඩ සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ තීරණාත්මක මැදිහත්වීම නිසා එම සටන වත්මන් රජය පැත්තෙන් සාර්ථක වූ බව පෙනේ. එහෙත් ජනාධිපතිවරයාගේ උත්සාහය වී තිබුණේ පසුගිය තෙවසර තුළ ඔහු විශ්වාස කරන පරිදි බිඳ වැටෙමින් පැවැති යහපාලන පිළිවෙත් ජනාධිපති බලය හරහා යළි නඟාසිටුවීමටය. ඒ සඳහා ඔහු තෝරාගත් මෙවලම වූයේ එක්සත් ජාතික පෙරමුණට විකල්පව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙනු ලබන දේශපාලන ධාරාවයි. ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලබන්නේ ද ක්ෂණිකව බව රටට පෙනුණි.

ඒ කියන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන්ද?

පිළිතුර ඔව් යන්නයි.

අවසාන සටනේ දී මේ සඳහා උපයෝගී කරගත් ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධී ලේබලය යටතේ නොපිට හරවා යැවීමට උතුරේ පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන සමඟින් අත්වැල් බැඳගනිමින් එක්සත් ජාතික පෙරමුණ සමත් විය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණ බෙහෙවින්ම ඉවහල් වූ බව පෙනේ.

චේතනා පිරිසුදු වුවත් පෙම්සටන් ජයගන්නේ නැති අවස්ථා තිබේ. දේශපාලනයටද එය පොදුය. අවසානයේ මේ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්ව දිස්නය අඩු වූවාද යන ප්‍රශ්නය දේශපාලන ලෝකයේ විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් අතරේ කතාබහට ලක් වෙමින් පවතී. ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින කුමාර වෙල්ගම වැනි මන්ත්‍රීවරුන් තුළින් මෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි හිමිවරුන් තුළින් ද මතුවී ආවේ සිදුවූ පෙරළිය සම්බන්ධයෙන් විවේචනයකි. කවුරුන් කෙසේ කීවද එජාප විරෝධී ජනමනසේ හා එම කඳවුර තුළ තවමත් වීරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමය.

මෙම දේශපාලන අර්බුදය අවසන් වූයේ නැවත එක්සත් ජාතික පෙරමුණු රජයක් උතුරේ ද්‍රවිඩ සන්ධානයේ ද සහායෙන් නව වසරේ ස්ථාපිත වෙමිනි. එහි ඇති අනෙක් සුවිශේෂත්වය මෙතෙක් විපක්ෂයේ පක්ෂයක් ලෙසින් උතුරට සීමාවෙමින් පැවැති ද්‍රවිඩ සන්ධානය එක්සත් ජාතික පෙරමුණට නිල නොවන අයුරින් නැතිනම් රජයට සම්බන්ධ නොවී සහාය දැක්වීමයි. එය වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාට අනුව නම් කසාද නොබැඳ හොර අඹුවක් ලෙසින් දීගකෑමකි.

මෙම නව ප්‍රවණතාව රටේ ජාතික සමඟිය ගොඩනැඟීමේ පැත්තෙන් නම් එක්තරා දුරකට යහපත්ය. ඊට හේතුව අප පිළිගත්තත් නැතත් තවමත් උතුර හා නැගෙනහිර ගෙඩියපිටින්ම නියෝජනය කරන්නේ ද්‍රවිඩ සන්ධානය වීම නිසාය. දෙවැන්න එම සන්ධානය රටේ ජාතික පක්ෂ සමඟ සම්බන්ධවී පොදු කාරණා උදෙසා සටන්වැදීමය.

මෙහි දක්නට ලැබෙන අනෙක් අවාසනාව ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ අන්තවාදී කොටස් මෙම එ.ජා.පෙ. - ද්‍රවිඩ සන්ධාන සම්බන්ධය ඉදිරියේ දකුණේ පෙර නොවූ විරූ ජාතිවාදී රැල්ලක් නිර්මාණය කිරීමට උපයෝගී කර ගැනීමට මානබැලීමය. එය බලය බෙදීම, ෆෙඩරල් වාදය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන කාරණා ඔස්සේ දේශපාලන කරළියට ගෙන එමින් පවතී. මෙය සිදුවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අන්තවාදී කොටස් එම පෙරමුණ යටකර ගැනීම හරහා බව පෙනේ. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතෙක් දුරට යටවෙනවාද නැද්ද යන්න තුළ අදාළ ජාතිකවාදී රැල්ලේ නැඟීම හා බැසීම තීරණය වේ.

මේ අන්තවාදීන්ට අනුව අපේ රටේ දේශපාලනය තුළ දක්නට ලැබෙන්නේ අරුම පුදුම ප්‍රතිපත්තියකි. ද්‍රවිඩ සන්ධානයේ නැගෙනහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයකු එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වූවිට ඔහු දේශප්‍රේමීය. බෙදුම්වාදී නොවේය. ෆෙඩරල් නොවේය. ඒ ඕනෑම කෙනකු එ.ජා.ප.ය සමඟ හෝ ජනතා විමුක්ති පෙරමුණ සමඟ හෝ තමන්ට විකල්ප වූ බලවේගයක් සමඟ එක්වූ විට සූත්‍රගත වන්නේ ඔවුන් දේශද්‍රෝහීන් ලෙසය. ප්‍රතිගාමීන් ලෙසය. බෙදුම්වාදීන් ලෙසය. ෆෙඩරල්වාදී රට දෙකඩ කරන්නන් ලෙසය. මේ අවස්ථාවාදී මෝඩ දේශපාලන බෙදීම අපේ ජනතාව තුළ ‘ලේ’ ගත කිරීම රටට කොතරම් හානිකරදැයි මේ කිසිවෙක් කල්පනා කරන්නේ නැත.

මෙවන් දේශපාලන වටාපිටාවක් තුළ ජනාධිපතිවරයා සිටගන්නේ කොතැනද? ඔහුට සිටගැනීමට සිදුවී තිබෙන්නේ කොතැනද යන කාරණය එතුමාට තීරණාත්මකය. ඔහු මේ වනවිට උතුරේ ජනතාව වැඩි වශයෙන්ම දිනාගෙන සිටින සිංහල බෞද්ධ නායකයා වශයෙන් ප්‍රකටය. ප්‍රායෝගිකව ද ඔහුගේ ක්‍රියාකලාපය, උතුරේ සංවර්ධනයට මැදිහත්වීම, සිරකරුවන් හා ඉඩම් නිදහස් කිරීම ආදී කාරණාවලින් පිළිබිඹු වේ. මේ සියල්ල හෙට දවසේ ගඟට කැපූ ඉනි සේ අතුරුදන් වේද? යන්න පිළිබඳව අද දවසේ නිගමනයක් දීම අපහසුය. එහෙත් ඔහුට දේශපාලනය කිරීමට සිදුවී තිබෙන්නේ අර අන්තවාදීන් ද සිටින පෙරමුණකය.

උතුරේ කාලගුණය සමඟින් එම ජනතාව හා ආරක්ෂක හමුදා පෙන්නුම් කළ සංහිඳියාවවත් ආදර්ශයට ගැනීමට අපේ රටේ දේශපාලනය කරන අය දැන්වත් සූදානම්ද? එසේනම් ජාතිවාදය දේශපාලනයට ඈඳාගෙන බලයට ඒමට සූදානම් වීම හෝ බලය රැකගැනීමට සූදානම් වීම අත්හළ යුතුය.