සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ

මහින්ද රාජපක්ෂගේ පුනරාගමනය, පොහොට්ටුවේ ජය, ජ.වි.පෙ මැතිවරණ ප්‍රතිපලය, විපක්ෂනායකත්වය හිමි කාටද, කාන්තා නියෝජන අවුල, දේශපාලන අරාජිකත්වය හා කැබිනට් සංශෝධන පිළිතුර ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතායි.

ප්‍රශ්නය:- 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මහින්දට යළි දේශපාලනයේ ඉඩක් නැතැයි කියලයි. ඒ අනාවැකිය ගැන අද මොකද හිතෙන්නේ?
පිළිතුර:- අප පරාජය කිරීමට උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතය පමණක් නෙවෙයි. ඒ කියන්නේ අපේ රටේ ජනතාවගේ දේපල බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කිරීම, දූෂිතයන් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම හා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යමින් තිබූ ඔහු විසින් ගොඩනගන ලද සමස්ත දේශපාලන ක්‍රියාවලියයි. ජ.වි.පෙ උත්සාහයේ සංකේතය ජනාධිපතිවරණයේදී ඔහු ලද පරාජයයි. ජවිපෙත් ලක්ෂ 62ක ජනතාවත් එය කළාට පසු එම දේශපාලනය පරාජය කිරිමේ වගකීම පැවැරෙන්නේ බලය ලබාගත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවටයි. හැබැයි ඔවුන් ඒක කළේ නෑ. අප විසින් අපේක්ෂා කළ දේශපාලන වෙනස්කම් කිරීමට බලයට පත් පාලකයන් කටයුතු නොකිරීම ඊට ප්‍රධාන හේතුවයි.


ප්‍රශ්නය:- මේ තත්ත්වය තුළ විපක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂට දිය යුතු යැයි චම්පික රණවක ඇමැතිවරයාම යෝජනා කරනවා. යෝජනාව පිළිගන්නවද?
පිළිතුර:- සමහර විට ඒක ඔහු වෙනත් දේශපාලන තුරුම්පුවක් ඔ`ඵවෙ තියාගෙන කිව්වා වෙන්න පු`ඵවන්. මේ පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නේ පක්ෂ හයකින්. එයින් පක්ෂ තුනක්ම පහුගිය වසර තුන හිටියෙ ආණ්ඩුව තුළයි. විපක්ෂයේ සිටින ටී.එන්.ඒ, ජේ.වී.පී හා ඊ.පී.ඩී.පී පක්ෂවලින් වැඩිම ආසන ගණන හිමි ටී.එන්.ඒ සංවිධානයට විපක්ෂ නායකත්වය හිමි වුණා. විපක්ෂයෙන් වැඩිම ඡන්ද ජ.වි.පෙට හිමි වුණත් ආසන ගණන වැඩි ටී.එන්.ඒ එකටයි. එතකොට විපක්ෂ නායකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඕනෑ නම් ආණ්ඩුවෙ ඉන්න පිරිස අයින් වෙලා සම්පූර්ණ කණ්ඩායමම විපක්ෂයේ වාඩිවෙන්න ඕනෑ. එහෙම අනෙක් කණ්ඩායම ගලාවගත්තත් සන්ධාන නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා විපක්ෂ නායක විය යුත්තේ කවුදැයි තීරණය කරන්නේ ඔහුයි.


ප්‍රශ්නය:- වෙනස්වීමක් වුණොත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයටත් බලපාන්නේ නැද්ද?
පිළිතුර:- මහින්ද රාජපක්ෂත් විපක්ෂනායකත්වය ඉල්ලනවා මම දැක්කා. හැබැයි ඔවුන් ඡන්දය කළේ අගමැති ධූරය ලබාගන්නයි. එළියෙ මාධ්‍ය ඉදිරියේ කතන්දර කිව්වාට තවමත් විපක්ෂ නායක ධූරයට හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරලා නෑ. මේ දේශපාලන රංගනයක් පමණයි. වැඩි නියෝජනය සහිත ඕනෑම පක්ෂයකට සංවිධායක ධූරය දෙන්න අපි සූදානම්. මොකද අපි මේක ඉල්ලලා ගත්ත එකක් නෙවෙයි.


ප්‍රශ්නය:- හිටපු ජනාධිපතිවරයාගේ අස්සනින් විශේෂ නිවේදන පවා නිකුත් කරමින් මැතිවරණ කාලයේදී ඒකාබද්ධ විපක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රහාරාත්මක ප්‍රචාරණයක් දියත් වුණා. ජවිපෙ ඡන්ද ප්‍රතිපලයට එයත් බලපෑවා ද?
පිළිතුර:- අපි හිතන්නේ නෑ. මොකද ගමේ ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කරලා තිබෙන්නේ කොට්ඨාශයට නියෝජනයක් ගැනීමට හෝ ගම හදාගැනීමට නෙවෙයි. මේක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කරපු ඡන්දයක්. එතැනදි ඔවුන් විසින් නගන ලද අවලාද ප්‍රමාණයක් ජනතාව පිළිගෙන තිබෙනවා. නමුත් ජ.වි.පෙ ආණ්ඩුවට සම්බන්ධ කරලා කියපු කතා ඒ තරම් පිළිගැනීමට ලක්වුණා යැයි මම හිතන්නේ නෑ. හැබැයි එහෙම නිවේදන දාපු මේ අය දැන් විලිලැජ්ජාවක් නැතිව ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන්න අපිට ආරාධනා කරනවා. මෙයින් කියැවෙන්නේ මොකද්ද? ඒ වෙලාවෙ කොහොමහරි ඡන්ද ටික කඩාගන්න බොරු සහ විකෘති කරන ලද කරුණු කිව්වා කියන එකයි. ඒවාට තිබෙන්නේ කෙටිකාලීන ජය මිසක් දිගුකාලීන ජය නෙවෙයි.


ප්‍රශ්නය:- වෘත්තියවේදීන් සමඟ ජ.වි.පෙ වැඩට බහිද්දී බන්දුල ගුණවර්ධන කිව්වා වගේ මහින්ද වෙනුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනන තත්ත්වයක් ආවේ ඇයි? උපාය උපක්‍රම අතින් සාර්ථක ඒකාබද්ධ විපක්ෂය ද?
පිළිතුර:- කෙටිකාලීනව ඇත්තටම ඔවුන්ගේ උපක්‍රමය සාර්ථක වෙලා තියෙනවා. ඔවුන් කොට්ඨාශයෙ අපේක්ෂකයා හංඟලා මහින්ද රාජපක්ෂ වෙනුවෙනුයි ඡන්දය ඉල්ලුවේ. ඔවුන්ගේ අවසාන ප්‍රචාරණ ව්‍යාපෘතියෙදි අපේක්ෂකයාගෙ නම තියා රූපයවත් යොදා නොගෙන මහින්ද වෙනුවෙන් ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියා. මේක එක්තරා අන්දමක විකෘතියක්. මොකද මේ ඡන්ද ක්‍රමය ගෙනආවේ ජනතා අපේක්ෂාවක් වූ කොට්ඨාශයට ගමට මන්ත්‍රීවරයෙක් හදාගන්නයි. හැබැයි අවසානයේදී තමන් පත්කරන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද මනුස්සයෙක්ද කියලාවත් දන්නේ නැතිව ජනතාව ඡන්දය පාවිච්චි කළා. ඒකෙන් ඡන්ද ක්‍රමයටත් යම් හානියක් වුණා. කොහොම නමුත් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු 6.5% ඡන්ද ප්‍රමාණය ප්‍රමාණයට වඩා ගුණාත්මකව වටිනා කියන ඡන්ද ප්‍රමාණයක්. ඒකෙ ඇතුලේ අපේ රටේ උගත් බුද්ධිමත් වෘත්තියභාවයක් ඇති මිනිසුන්ගේ ඡන්ද විශාල පංගුවක් තිබෙනවා. එය ජ.වි.පෙ ඡන්ද ව්‍යාපාරයේ ගුණාත්මක හැරවුමක්. අපි බලාපොරොත්තු වෙන්නේත් රැල්ලට යට නොවන සබුද්ධික ජනතාව සමඟ ඉදිරි පියවර තබන්නයි. මේක ඉතාම ශක්තිමත් හා ස්ථාවර පදනමක්.


ප්‍රශ්නය:- සම්මත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සංඛ්‍යාත්මක ජයත් ඉතාම වැදගත්. බැසිල් රාජපක්ෂගේ සංවිධාන යාන්ත්‍රණය තුළින් ඒකාබද්ධ විපක්ෂය ලැබූ 45% පංගුවේ උගත් බුද්ධිමත් ඡන්ද නෑ කියලද කියන්නේ?
පිළිතුර:- තමන් පොහොට්ටුවෙන් පත්කළ අපේක්ෂකයාත් ඡන්දය ලබා නොදී ගෙදර නතර කළ අනෙක් අපේක්ෂකයාත් අතර වෙනස බලාගැනීමට දැනටමත් අපේ රටේ පුරවැසියාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. පුංචි ඡන්දයක් වෙලත් ප්‍රතිපලයෙන් පසුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම දැන් මාධ්‍ය මගින් රටම දකිනවා. මිනිස්සුන්ට පහර දෙනවා. දේපළ ගිනිතියනවා. පරාජිතයන්ගේ නිවාසවලට රතිඤ්ඤා දමමින් විරුද්ධවාදීන්ගේ අත පය කඩනවා. කොල්ලකෑම්වලට, අල්ලස්ගැනීම්වලට ගිහින් පොලිසියේ අත්අඩංගුවට පත්වෙනවා. මේක ඔවුන් පරීක්ෂා කිරීමට ජනතාව ලැබූ අවස්ථාවක්. පොල් ලෙල්ලක් දැම්මත් ඡන්ද ලැබෙනවා යැයි කී බන්දුල ගුණවර්ධන කියන්නේ බැසිල්ගේ ව්‍යාපාරයේ තීරණාත්මක වැඩ කොටසක් කළ කෙනෙක්. ඇත්තටම ඔහු ඒක දැනුම්වත්ව කළ ප්‍රකාශයක්. පොල් ලෙලිවලට කරන්න පුඵවන් මොනවද කියලා සහ පොල් ලෙලිවලින් වෙන්නේ මොකද්ද කියලා ඉදිරි වසරවලදි බලාගන්න පුඵවන්.


ප්‍රශ්නය:- මැතිවරණ ප්‍රතිපලය අනුව ආණ්ඩුව අස් විය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂය කියනවා. ජනතා විමුක්ති පෙරමුණ ඊට එකඟ ද?
පිළිතුර:- ඇත්තටම මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. නමුත් ඒ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල නිසා නෙවෙයි. මේක 2015 ජනවාරියේ තමන් ලද ජන වරමට මු`ඵමනින් පිටුපාලා කටයුතු කරන ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ ප්‍රධානතම පොරොන්දුව වුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමයි. හැබැයි දැන් ඔවුන්ගේ උත්සාහය වී තිබෙන්නේ විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවත්වාගෙන යෑමයි. මේක පොදු අපේක්ෂකයා බිහිකිරීමේ පළමු ගඩොලම විනාශ කරගත් ආණ්ඩුවක්. ඔවුන්ගේ ඊළඟ පොරොන්දුව වුණේ දූෂිතයන්ට දඬුවම් පමුණුවමින් වංචා දූෂණ මැඩලීමේ යාන්ත්‍රණයක් සැකැසීමයි. දඬුවම් දීපු එක හොරෙක්වත් නෑ. ඒ මදිවාට හොරු අල්ලන්න ආපු අය මහ බැංකු හොරකම, මධ්‍යම අධිවේග හොරකම් ආදී මහා පරිමාණ හොරකම්වලට දායක වුණා. ඒ නිසා පහුගිය අවුරුදු තුනේ ජනවරමට පිටු පා ගිය ආණ්ඩුවේ කල්ක්‍රියාවෙන්ම ආණ්ඩුව අස් විය යුතුයි. නමුත් දැන් මේ පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ඝෝෂාව නගන්නේ ව්‍යවස්ථාව නොදැනීම නිසා හෝ ව්‍යවස්ථාව විකෘති කිරීමේ මුග්ධ ඉලක්කයකින්. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පවා පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේ 2020 පෙබරවාරියෙන් පසුවයි. නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින්. ඒ අනුව මේ ප්‍රකාශය අපි දකින්නේ රටේ දේශපාලනය හා ජන මනස අවුල් කිරීම අරමුණු කරගත් එකක් හැටියටයි.


ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් වෙනුවෙන් තමන් මැදිහත් වුණේ රට අරාජිකවීමෙන් වැලැක්වීමට යැයි ඒකාබද්ධ විපක්ෂය කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ අරාජිකත්වය අතරේ මැදිහත්වීම් කළේ නැද්ද?
පිළිතුර:- ව්‍යවස්ථාවට අනුව රටේ කලින් කලට මැතිවරණ පැවැත්වෙනවා. ඉතින් මේ සෑම මැතිවරණයකට පස්සේ මතුවන දේශපාලන තත්ත්වය උඩ ඉදිරි මැතිවරණ තුනම කැඳවන්න ඕනෑ යැයි කියනවා නම් ඒක රටක පැවැත්මට හානිකරයි. එහෙම නම් අප කළ යුත්තේ ජනාධිපතිවරණයත්, මහමැතිවරණයත්, පළාත් සභා හා පළාත් පාලන යන මැතිවරණ හතරම එකවර පවත්වා නියෝජිතයන් පත්කරගැනීමයි. ලෝකයේ එවැනි සම්ප්‍රදායනුත් තිබෙනවා. මේ අරාජිකත්වය නිර්මාණය කළේ කවුද? මේක ජනතාව විසින් නිර්මාණය කළ අරාජිකත්වයක් නෙවෙයි. පළාත් පාලන ඡන්දයකින් පසුව මේ ආකාරයට ජනතාවගේ ඇස් නිලංකාර කරන සංදර්ශනයක් නිර්මාණය කරනු ලැබුවේ ජනාධිපති හා අගමැති විසින්. මැතිවරණ ප්‍රතිපලයක් නිකුත් වී දින දහයක් යද්දිත් ජනතාවට සිදුවුණේ ජනාධිපති මැදුරට, අරලියගහ මැදුරට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසට යන එන වාහන දිහා බලාගෙන ඉන්නයි. මේ රටේ ජනතාවගේ ජීවන වියදම, බඩු මිල, විරැකියාව, යුක්තිය මෙවැනි උනන්දුවකින් කටයුතු නොකරන අයත් ව්‍යවස්ථාමය ගැටපද විවරණය කරමින් අගමැති පත්කිරීම අරභයා ලොකු සංදර්ශනයක් කළා. අවසානයේදි නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. රනිල් වික්‍රමසිංහ අගමැති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති.


ප්‍රශ්නය:- මැතිවරණ ප්‍රතිපල සමඟ පළාත් පාලන සභික ධූර ගණන සැලකිය යුතු ලෙස ඉහළ යද්දී කාන්තා නියෝජනය අවුලක් බව මැතිවරණ කොමිසමේ සභාපතිම කියනවා. මේ අවුල දේශපාලන නියෝජිතයන් කලින් දැක්කේ නැද්ද?
පිළිතුර:- මේ මැතිවරණ ක්‍රමයට කිසිවෙක් පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණේ නෑ. ඔය ඒකාබද්දෙ අය පවා විරුද්ධ වුණේ සමෘද්ධි ගොවි නියාමකයන්ට තමන් නියෝජනය කරන කොට්ඨාශයෙන්ම ඡන්දය ඉල්ලීමට තිබෙන අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් පමණයි. මෙතැන මැතිවරණ ක්‍රමයේ ගැටලුවකට වඩා මැතිවරණ ප්‍රතිපලය විසින් නිර්මාණය කරන ලද තාක්ෂණික අඩුපාඩු කිසියම් ප්‍රමාණයක් තිබෙනවා. සාමාන්‍ය ප්‍රතිපලයක් ලැබුණා නම් මේ අඩුපාඩු බොහෝදුරට මගහැරෙන්න තිබුණා. මහින්ද රාජපක්ෂගෙ පොහොට්ටුව වටා ඇති කරන ලද උන්මාදනීය රැල්ල විසින් මැතිවරණ ක්‍රමයටත් බලපෑමක් කරලා තිබෙනවා. අපි දැන් තීරණය කරන්න ඕනේ කාන්තා නියෝජනය, කොට්ඨාශයට මන්ත්‍රීවරයකු බිහිකිරීම ආදී ඉදිරිගාමී යෝජනා පැත්තක තියලා පැරැණි ක්‍රමයට යනවද කියලයි. ජ.වි.පෙ නම් කියන්නේ මේ මැතිවරණ ක්‍රමය ඉදිරියට ගෙනියමු කියලයි. දරුවා නාවලා බේසමේ වතුර ටික වීසි කරනවාද දරුවාත් එක්කම වීසි කරනවාද කියලා තීරණය කරන්න ඕනෑ.


ප්‍රශ්නය:- දේශපාලන අරාජිකත්වය ජයගැනීමට කිසියම් ආකාරයක කැබිනට් සංශෝධනයක් සිදුවුණා. මෙවැනි වෙනසකින් ඉදිරි වසර දෙක ජයගැනීමට ආණ්ඩුවට හැකි වේවිද?
පිළිතුර:- මොනව කළත් මේ ඔ`ඵ ගෙඩි ටික නම් එහෙට මෙහෙට හුවමාරු වෙන්නේ අලුත් ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න බෑ. නීතිපති බාර අධිකරණ අමාත්‍යවරියගේ හෝ පොලිසිය බාර නීතිය හා සාමය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් නිසා හොරු නෑල්ලෙනවා නෙමෙයි. ඒ සඳහා සමස්ත කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයායි. බොහෝ දෙනෙකුට අමතක වුණාට තවමත් මේ රටේ සිටින්නේ පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයෙක්. ඔහුට සියලු දේ කළ හැකියි. පොඩි අමාත්‍යංශයක් දීලා හොරාකන්න බැරි වූ කෙනෙකුට ලොකු අමාත්‍යංශයක් දීලා හොරාකන්න අවස්ථවක් දීම විතරයි සිදුවෙන්නේ. ඇත්තවශයෙන්ම දැන් රටට ඕනෑ කරලා තිබෙන්නේ ඇමැති අගමැති ජනපති මාරුවකට වඩා මේ රට යන ක්‍රමයේ මාරුවක්. 2015 ජන වරම ආරක්ෂා කරන සැබෑ මාරුවක්. ඒකට ජනතාව තීන්දුවක් නොගන්නා තාක් කල් රට මෙහෙමම තිබේවි.