මහනුවර දිගන ප්‍රදේශයේ දෙපිරිසක් අතර හටගත් ගැටුම්කාරි තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට පත් වෙමින් තිබේ. ඉතා සුළු ගැටුමක් මහා විශාල ප්‍රශ්නයක් වන තරමට දුරදිග යන තෙක් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගත් බවට පිරිසක් චෝදනා කරති. එම පිරිස විපක්‍ෂයේ දේශපාලනඥයෝය. එහෙත් ආණ්ඩුව වක්‍රව චෝදනා කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයන් මෙම ගැටුම පිටපස සිටින බවය. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙක්ම ඒ බවට ඒකාබද්ධ විපක්‍ෂයට චෝදනා කළහ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය.

“මේ ආණ්ඩුවේ ජයග්‍රහණයට සුළු ජන කොටස්වල විශාල දායකත්වයක් හිමිවුණා. ප්‍රශ්න ඇති කරලා මේ පිරිස ආණ්ඩුව කෙරෙහි කලකිරවන්න තමයි මේ වැඩ කරන්නේ” යැයි ආණ්ඩුව කරන චෝදනාවය. එහෙත් විපක්‍ෂයේ පිළිතුර වෙනස්ය.“අපි එකාබද්ධ විපක්‍ෂය මේ වනවිට බහුතර සිංහල ජනතාවගේ ඡන්දය දිනාගෙන ඉවරයි. අපට අවශ්‍ය සුළුජන කොටස් දිනා ගැනීමයි. ඒ නිසා අපට සුළු ජනකොටස් තරහ කරගන්න අවශ්‍යද? ඒවගේ මෝඩකමක්අපි කරනවාද?” යැයි ඒකාබද්ධ විපක්‍ෂය පැහැදිලි කරන්නේය. මේ අතර කුලියාපිටියේ සිද්ධියක් ගැනද ඒකාබද්ධ මන්ති්‍රීහු කියන්නට වූහ. එයින් ඇඟිල්ල දික්කෙරුණේ එජාප දේශපාලනඥයකුට එරෙහිවය.

මේ දේශපාලකයා මුස්ලිම් ජාතික වෙළෙඳසලකට හානි පමුණවීමට සම්බන්ධවූ බව කැමරාවලින්ද කියැවෙන බව
ප්‍රකාශිතය. මේ අතරම පොහොට්ටු පක්‍ෂයට ද චෝදනා එල්ල වී තිබේ. වෙළෙඳසැල්වලට හානි කරද්දි පොහොට්ටු ලාංඡනය තිබූ වෙළෙඳ සලක් මඟහරවා විනාශය කළ බවට ප්‍රකාශිතය.

 

එම පිරිසට පැවිදි පක්‍ෂය ද සහභාගි වූ බව කියැවේ. තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩුවට චෝදනා නැගෙන්නේ තත්ත්වය පාලනය කරන්නට කටයුතු නොකළ බවටය. එසේත් නැතිනම් ආණ්ඩුව ප්‍රමාද වූ බවටය. මහනුවර සිද්ධිය වාර්තාවූ දින පාර්ලිමේන්තුව රැස්වූයේය. අග්‍රාමාතවරයාගෙන් උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටරයක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට යවා තිබිණ. ඒ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් පිරිසක් මහනුවරට රැගෙන යාමටය. මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් මහනුවර ප්‍රධාන පල්ලිවලට ගොස් පූජකවරු සමඟත් ජනතාවත් සමඟත් සාකච්ඡා කළහ.

තත්ත්වය පාලනය කරන්නට පියවර ගත්තේය. එහෙත් යම් යම් හේතූන් මත ඇතැම් සිදුවීම් පාලනය වී නොතිබිණ. මේ අතර ඉකුත් අඟහරුවාදා සුපුරුදු පරිදි කැබිනට රැස්වීමට සහභාගී වීම සඳහා ඇමතිවරු කොළඹ ජනාධිපති කාර්යාලයට පැමිණියහ. එහෙත් කැබිනට් මණ්ඩලය රැස්වීම නොපැවැත්විණි. ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුන් ජනාධිපති කාර්යාලයේ උඩු මහලට කැඳවීය. රටේ පවතින තත්ත්වය පිළිබඳව එහිදී දිගින් දිගටම සාකච්ඡා කළේය. ඇමතිවරුත් විවිධ කරුණු කියමින් හා යෝජනා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූහ. අවසානයේ දී රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරිණ. එතැනින් නොනැවතුණ ආණ්ඩුව සමාජ ජලා මාධ්‍යයට ද තහනමක් පැනවීය.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ මුහුණු පොත හරහා ඇතැම් පිරිස් ගිනි අවුලුවා තිබෙන බවය. ඇතැම් පූජකවරුන් පවා මුහුණු පොත හරහා වෛරී ප්‍රකාශක පතුරුවා ඇති බවට මේ වනවිට ආරක්‍ෂක අංශ කරුණු අනාවරණය කරගෙන ඇත.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහුගේ මුහුණු පොත ඔස්සේ යම් යම් ප්‍රකාශ සටහන් කර ඇති බවත් ඒ අනුව මහනුවර නොසන්සුන්වීමට ඉන් අවකාශ සැලසී ඇති බවටත් චෝදනා එල්ලවී තිබේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය මැදිහත්වී සිදු කෙරෙන සොයාබැලීම්වල
දී යම් යම් කරුණු තහවුරු වී තිබෙන බවද ආණ්ඩුවේ ඇමතිවරු සඳහන් කරති.

කෙසේ වෙතත් අවසානයේ දී සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කිරීමට ආණ්ඩුව තීන්දුවක් ගත්තේය. දේශපාලන විචාරකයන්ගේ අදහසට අනුව සමාජ මාධ්‍ය ජාලා සහ ආණ්ඩුව අතර ඇත්තේ ඉතා දැඩි සබඳතාවයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍යජාලා ඔස්සේ තරුණ ප්‍රජාව විශාල ප්‍රචාරණයක් ගෙන ගියේය. රැල්ලක් ලෙස පැතිර ගිය එම ප්‍රචාරණය නිසාම ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේනට සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් හිමිවී තිබිණ.

එහෙත් බලයට පැමිණ වසරක් යෑමට පෙර සමාජ මාධ්‍ය ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රකාශවලටත් ආණ්ඩුවේ කටයුතුවලටත් විවේචන එල්ල කරන්නටත් පහර දෙන්නටත් පටන් ගත්තේය. වැඩිපුරම කලබලයට පත්වූයේ ජනාධිපතිවරයාය. සමාජ ජාලා මාධ්‍යයට හා ඒවා මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව ජනාධිපතිවරයා විවේචන ඉදිරිපත් කළේය. මුලසිටම සමාජ ජාලා මාධ්‍ය කෙරෙහි සැලකිල්ලෙන් පසුවූ ජනාධිපතිවරයා අවශ්‍ය හොඳම අවස්ථාවේ දී ඒවා
තහනම් කිරීමට පියවර ගත්තේය.ආණ්ඩුව ප්‍රකාශ කළේ තාවකාලික පියවරක් ලෙස එවැන්නක් කරන බවය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කළේ වෛද්‍ය සමන් වීරසිංහය. ඔහුගේ වසර දෙකක සේවා කාලය නිම වී තිබෙන අතර ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියට අනුව දේශපාලනික පත්වීම් ලබාදෙන තානාපතිවරයකුගේ නිල කාලය වසර දෙකකට සීමාවේ.

එම කාලය දීර්ඝ කෙරෙන්නේ නම් ඒ සුවිශේෂි හේතූන් මතම පමණි. කෙසේ වෙතත් විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ විදේශ සේවයේ නිලධාරියකු රුසියාවේ නව තානාපතිවරයා ලෙස ඉදිරියේ දී රාජකාරි ආරම්භ කරනු ඇති බවය. රුසියාව හා ශ්‍රී ලංකාව අතර ඉකුත් කාලයේ පැවැති ආර්ථික හා දේශපාලනික කටයුතුවල දී වෛද්‍ය සමන් වීරසිංහ විශාල සේවාවක් කළේය. ශ්‍රී ලංකා තේ සම්බන්ධයෙන් හටගත් කුරුමිණි ගැටලුවේදි ද හෙතෙම විශාල මැදිහත්වීමක් කර තිබිණ. ඒ අනුව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ තවදුරටත් වෛද්‍ය වීරසිංහගෙන් රටට ප්‍රයෝජනයක් ගැනීමටය.

ඒ අනුව ඔහු ඉදිරියේ දී රුසියාවේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිතයකු ලෙස පත්කරනු ඇතැයි ද පැවසේ. මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි නිලධාරියකු වෙනත් රටකට පත් කර නැති අතර එවැනි පත්වීමක් කළහොත් එය ප්‍රථම අවස්ථාව වන ඇති බවද විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයකු වූ විට එම නිලධාරියාට අදාළ රට සමඟ සෘජුව ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට වගකිව යුතු වන බවද පැවසේ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට නියෝජිතයන් පත්කිරීම වසර දෙකකට ආසන්න කාලයක් ඇදි ඇදී තිබිණ. කෙසේ හෝ යම් යම් හේතූන් මත ඊට නියෝජිතයන් පත් කැරුන ද ඇතැම් පුද්ගලයන් සම්බන්දයෙන් විපක්‍ෂයේ දේශපාලනඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට විය. එහෙත් ආණ්ඩුව ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මේ අතර ඉකුත් බදාදා විශේෂ හමුවක් පැවැත්විණ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයෝ එදින පාර්ලිමේන්තුවට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය හමුවූහ. ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබිණ. එහිදී කතානායකවරයා සඳහන් කළේ අතුරුදන්වූ තම සමීපතමයන් පිළිබඳ චේදනා විඳිමින් තවදුරටත් අපේක්‍ෂාවෙන් සිටින පවුල් වෙනුවෙන් සත්‍ය සොයා දීම මෙම කාර්යාලයේ වගකීම බවය. ජාති ආගම් භේදවලින් තොරව ජාතික යුග මෙහෙවරක් කරන ලෙස ද  කතානායකවරයා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. විපක්‍ෂනායක ආර්.

සම්පන්දන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නියෝජිතයන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඒ.ටී. ආරියරත්න, සිබ්ලි අශීස්ද ඒ අවස්ථාවට එක්ව තිබිණ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා පහසුකම් සලසා ගැනීම සඳහා පියවර ගන්නැයි ඒ අවස්ථාවේ කතානායකවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ මහා භාණ්ඩාගාරයට දැනුම් දීමක් ද කළේය.

හනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පිළිබඳව අදහස් දැක්වීමේදී ඇමතිවරු කිහිප දෙනෙක්ම අතීත කතා සිහිපත් කළහ. එස්.බී දිසානායක කීවේ “මේ වගේ සිද්ධියක් එදා 1965 දීත් වුණා.

බර්ගර් මිනිස්සුන්ට ඔය වගේ තර්ජන ගර්ජන කීවා. අන්තිමට බර්ගර්වරුන් විශාල පිරිසක් ඕස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචියට ගියා. දැන් ඒ අය ඉතා හොඳට ජීවත් වෙනවා. ඒ නිසා ලංකාවට විශාල ජනකොටසක් අහිමි වුණා. යැයි එස්.බී. කීවේය. සරත් අමුණුගම කීවේ තවත් කතාවකි.

“ එදා සිංහල රජකාලේ මුස්ලිම් පිරිමි විතරයි ලංකාවට ආවේ. ඒ අයට ලංකාවේ පදිංචි වෙන්න ඕන වුණා. රජතුමාට කිව්වා කාන්තාවන් ඕනේ කියලා. එතකොට රජ්ජුරුවො උපදෙස් දුන්නේ ඔය පෙරහරවල් බලන්න ගියාම සිංහල
කාන්තාවන් හාද කරගන්නා ලෙසයි. එදා ඉදන් මුස්ලිම් මිනිස්සු සිංහල කාන්තාවන් විවාහ කරගෙන ජීවත් වුණා.

“අපේ දෙපිරිස අතර ඉතා හොඳ සැබැඳියාවක් තිබෙනවා. කබීර් හෂිම් ද තවත් කතාවක් මතක් කර තිබිණි. “එදා සිංහල රජවරුන්ට ඉතා විශ්වාසවන්ත ලෙස කටයුතු කළේ මුස්ලිම් මිනිස්සු. ඒ අය පන්සල් හා පූජා භූමි අවට පදිංචි කරවන්න රජතුමා පියවර ගත්තා”යැයි කබීර් කීවේය.

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ගැටලුවට ජනාධිපතිවරයා මැදිහත්වී අවසන් විසඳුමක් ලබාදුන් බවක් ප්‍රකාශ විය. එහෙත් එය තවත් ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බවද දේශපාලන තුරුම්පුවක් ලෙස ව්‍යාජ අවසන් විසඳුමක් ප්‍රකාශයට පත්වූ බවටද ඇතැම් පිරිස් චෝදා කරති. සර්ජෝන් කොතලාවල ඔහුට අයත් දේපොල සිය අවසන් කැමැති පත්‍රයෙන් ලියාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් පමණක් භාවිත කිරීමට බවක් පැවසේ. සර් ජෝන් කොතලාවලගේ අවසන් කැමති පත්‍රයේ සඳහනට අනුව එම දෙපළ වෙනත් කටයුතු සඳහා යොදාගත නොහැකි බවද යම් හෙයකින් අධිකරණමය ක්‍රියාවලියකින් ඒ පිළිබඳව තීන්දුවක් ගතහැකි බවද සයිටම් සිසුන්ගේ මවුපියෝ පවසති. සයිටම් සිසුන් කොතලාවල ආරක්‍ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කළ පසුව අන්තවාදී අදහස් දරන පිරිසක් මැදිහත්වී එම සිසුන්ට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු විය නොහැකි බවට වන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකි බවට ද එසේ වුවහොත් දෙවැනි වතාවටත් තම දරුවන් අසරණ බව ද සයිටම් මවුපියෝ කියති.

ඒ වනවිට යම් හෙයකින් සයිටම් වෛද්‍ය පීඨය වසා දමා තිබුණහොත් ප්‍රශ්නයට කිසියම් හෝ විසඳුමක් නොලැබෙනු ඇති බවටද මවුපියෝ බිය පළකරති. ඒ අනුව සයිටම් ගැටලුවට අවසන් විසඳුමක් ප්‍රකාශයට පත්වූ බවක් කියවුණා ද එය තව තවත් නූල්බෝලයක් මෙන් පටලැවෙනු ඇතැයි පැවසේ.

හනුවර හා ඇතැම් තැන්වල ඇතිවන යම් යම් සිද්ධීන් නිසා මුස්ලිම් ප්‍රජාවට විශාල ගැටලුවක් මතුව ඇති බවත් ඔවුන් අසාධාරණයකට ලක්ව ඇති බවටත් දේශපාලන නායකයන් වෙත ලැබෙන චෝදනා යෝජනා හා පැමිණිලිවලින් ඉකුත් දිනවල කිසිදු අඩුවක් නොවීය. ඉකුත් බදාදා පස්වරුවේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමුවීමට කොළඹ විජේරාම නිවසට පැමිණියහ. එහිදී සිය දුක්ගැනවිල්ල ඔහු මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ. හිටපු ජනාධිපතිවරයා කීවේ අවශ්‍ය මැදිහත්වීම් සිදුකර ප්‍රශ්නයට කෙසේ හෝ විසඳුමක් සොයා දෙන බවටය. මේ අතර මුස්ලිම් මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පෞද්ගලිකවම මුණගැසී අදහස් දක්වා තිබිණ.


නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධූරයට කෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කඹ ඇදිලි-චෝදනා යෝජනා ගැන පසුගිය දින කීපය පුරාම සාකච්ඡාවලට බදුන් විය. එජාපය නොයෙක් වර ඊට ඇමැති සරත් ෆොන්සේකා පත්කළ යුතු යැයි යෝජනා කළේය.

ඒ අතර රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයාට ද සාමය හා නීතිය ඇමැති ධුරය බාරගන්නැයි එජාප ඉහළ තැන්වලින්
ආරාධනා කෙරිණි. ඔහු ඒ අවස්ථාවල ඊට කැමැත්තක් දැක්වූයේ නැත. කෙසේ වුවද රංජිත් බණ්ඩාර මහතා ඊයේ උදයේ එම දුරයේ දිවුරුම් දුන්නේය. එතෙනින් ප්‍රශ්නය නිමාවට පත්වීය. කෙසේ වෙතත් රංජිත් මදදුමබණ්ඩාර යහපාලන ආණ්ඩුවේ හතරවැනි පොලිස් ඇමැතිවරයා වීමද විශේෂයකි.

කුත් කාලයේ ඇතිවූ පොහොර හිඟය හේතුවෙන්  ආණ්ඩුවට ගොවිජනතාවගේ ඡන්දය අහිමි වූ බවට දේශපාලන කතා බහවලින් කියැවිණි. පොහොර හිඟයනිසිලෙස කළමනාකරණය නොකළ බවට චෝදනා එල්ල වූයේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකටය. බොහෝ දෙනා දුමින්ට ද ඇඟිලි දිගු කිරීම නිසා ඔහු ඉකුත් දිනවල විවෘත ප්‍රකාශයක් ද කළේය. ‘මම පක්ෂයේ මහ ලේකම්. ඒ නිසාම පරාජයේ වගකීම තනිව මට බාර ගන්න බැහැ. මැතිවරණ මෙහෙයුම් කමිටු තිබුණා. ඒවා බාරදීපු අය හිටියා. කවුරු හරි ප්‍රශ්න කරනවා නම් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ඒ ගැන අපි විවෘතව කතා කරමු’ යැයි දුමින්ද කීවේ අතන මෙතන කතා වලින් පළක්  නැති බවද කියමිනි.

කෙසේ වෙතත්  පොහොර සහනාධාරයට මුදල් ලබාදීම අසාර්ථක බවටද ඇතැම් පාර්ශ්ව ආණ්ඩුවට කරුණු ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව දුමින්ද දිසානායක ඇමැතිවරයා කල්පනා කර තිබුණේ ඉකුත් කාලයේදී මෙන් පොහොර මිටි නැවත ගොවීන්ට ලබාදීමටය. ඒ සඳහා ඔහුට විශාල අරගලයක්  කරන්නට සිදුවූයේය. මහාභාණ්ඩාගාරය කිසිසේත් ඊට එකඟ වූයේ නැත. දුමින්ද දිසානායක ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇමති කාර්යාලයට නිලධාරීන් කැඳවීය.

ඇමැතිවරුන් වන සරත් අමුණුගම, ඉරාන් වික්‍රමරත්න සහ ගයන්ත කරුණාතිලක ද පැමිණ සිටියහ. ‘මේක කොහොම හරි කරන්න ඕනේ. අපි පොහොර දෙමු. ගොවීන්ට මුදල් දුන්නොත් තවදුරටත් වැඬේ අවුල් වෙනවා. මට තොරතුරු ඇවිත් තිබෙනවා ඇතැම් ගොවීන් මේ සල්ලි අරක්කු බොන්නත් ගන්නවා කියලා’ යැයි ආදි වශයෙන් ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය. එහෙත් මහාභාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ පොහොර නොදී ගොවීන්ට මුදල් දීමෙන් ආණ්ඩුවට රුපියල් මිලියන 12ක පමණ මුදලක් ඉතිරි වන බවය. ‘එහෙම කියන්න බැහැ. 

පොහොර දුන්නෙ නැත්නම් මේ කෘෂිකර්ම ඇමැතිකම මට වැඩක් නැහැ. මම ඉල්ලා අස්වෙනවා. ලාබ පාඩුවලින්ම ට වැඩක් නැහැ’ යැයි දුමින්ද කීවේය.

‘හොඳයි ඇමැතිතුමා කියනවා නම් අපි අද හවස මේ ගැන කැබිනට් මණ්ඩලයට කියමු. එතන දී තීන්දුවක් ගන්න පුළුවන්’ යැයි රාජ්‍ය ඇමැති එරාන් කීවේය. ඒ අනුව එදින රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට පොහොර යෝජනාව ඉදිරිපත් කරමින් දුමින්ද කරුණු පැහැදිලි කළේය. තවත් කැබිනට් ඇමැතිවරුන්  කිහිප දෙනෙකුගෙන්ම දුමින්දට සහාය ලැබිණ. පොහොර මිටි යළිත් ගොවීන්ට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ ඉන් පසුවය.

රන්ජන් 

 

rankasthuri@gmail.com