අද වනවිට රටේ විශාල වශයෙන් සමාජවිරෝධී ක්‍රියා ගැන අසන්නට ලැබෙන අතර ඒ බොහෝ සිදුවීම් පසුපස මත්ද්‍රව්‍ය වෙළෙඳාම ද ගැටගැසී තිබේ. මත්පැන් පානයටත් වඩා මත් උවදුර මුළු මහත් සමාජයම වෙළාගෙන තිබෙන්නේ බිහිසුණු ලෙසය. විශේෂයෙන්ම පසුගිය දින කීපය පුරා මත්ද්‍රව්‍ය තොග ගණනින් අත්අඩංගුවට ගැනීම් ජනමාධ්‍යයේ ප්‍රධාන පුවත් බවට පත්විය. 

ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මේ අතර ඇතැම් විග්‍රහ සිදුවේ. මෙයින් හෙළිදරව් වන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම දිනෙන් දිනම වර්ධනය වී ඇති බව නොවේද? මත්ද්‍රව්‍ය වෙළෙඳාමට වැරැදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන සමාජ සංවාදයක් හටගෙන තිබෙන්නේ මේ අතරය. පොදු ජනතාව මෙම තත්ත්වයට කෝපයෙන් ආවේගයෙන් යුතුව ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ එල්ලා මැරීම කළ යුතු කාරියක් බවය. සැබැවින්ම පොදු ජනතාව මෙසේ ආවේගශීලීවීම ස්වාභාවික සංසිද්ධියකි. මන්දයත් ව්‍යසනයට වින කටින පිරිස සුළුතරයක් වුව ජන සමාජයක නිසල බව අපේක්ෂා කරන මිනිසුන්ට එය මහත් හිරිහැරයක් වීම නිසාය.

අප මේ ප්‍රශ්නය සලකාබැලිය යුත්තේ වරදකට දඬුවම් දීමේ ක්‍රියාවලියේ කොටසක් හැටියට එය හොඳද නරක ද කියනවාට වඩා එය ක්‍රියාත්මක කළහොත් එයින් අපරාධ රැල්ල අඩු කිරීමට යම්කිසි රුකුලක් ලැබේද කියාය.

මරණ දඬුවම අවසාන වරට ක්‍රියාත්මක වුණේ 1976 දීය. ඒ ඇඩ්ලින් විතාරණ නඩුවේදී ජයලාල් ආනන්දගොඩ නමැත්තාටය. වැරැදිකරු එල්ලා මැරීමට අස්සන යෙදුවේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාය. ඉන්පසුව ගත වූ වසර හතළිස් දෙකක කාලයේදී කිසිවෙක් එල්ලා මරා නැත. නිදහසින් පසුව වාම බලවේග මුසු වූ බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව විසින් 1956 දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තහනම් කරනු ලැබිණි. බුද්ධජයන්ති සැමරුමෙන් හටගත් ශාසනික වටපිටාව ද ඊට බලපෑවේය. ලංකාවේ සභ්‍යත්වයට පදනම් වූ බෞද්ධ දර්ශනයත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කර පෝෂණය කිරීමේ රජයේ යුතුකම සලකා බලා මරණ දඬුවම ඉවත් කළ යුතු යැයි බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ රජය විශ්වාස කළේය. එහෙත් එසේ මරණ දඬුවම ඉවත් කිරීමට මුල් වූ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාම ඉන් වසර තුනක ඇවෑමෙන් 1959 සැප්තැම්බර් 25 වැනිදා රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිය නිවෙසේදීම ඝාතනයට ලක්විණි. ඒ උත්ප්‍රාසජනක ලෙස සිවුරු පොරවාගත් පුද්ගලයකුගේම වෙඩි ප්‍රහාරයකිනි. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය නැවත තීරණයක් ගත්තේ බණ්ඩාරනායක ඝාතනයෙන් පසුවය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරන ලද තල්දූවේ සෝමාරාම එල්ලා මරණ ලැබිණ. කැලණි විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත අපරාධ අභියාචනාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. ඊට හේතු වූයේ මරණ දඬුවම ස්ථාපනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන විට මිනීමැරීමට කුමන්ත්‍රණය හා අනුබල දීම යනාදියට එල්ලුම් ගහ අදාළ නොකිරීම නිසාය. බුද්ධරක්ඛිතට ලැබුණු දඬුවම නිසා විශාල ජන ඝෝෂාවක් ඇති වූ අතර ඒ නිසා මිනී මැරීමට කුමන්ත්‍රණය හා අනුබල දීමටත් මරණ දඬුවම නියම කිරීමට රජය සූදානම් විය. එහෙත් රජයේත් විරුද්ධ පක්ෂයේත් ඇතැම් මන්ත්‍රීවරුන් නීති විශාරදයන් හා මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අවධාරණය කළේ බුද්ධරක්ඛිත ඉලක්ක කර ආපස්සට ක්‍රියාත්මක වන පරිදි නීති පැනවීමට යාම යුක්තියට පටහැනි බවය. එනිසා එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හැත්තෑ ගණනක එල්ලා මැරීම දඬුවමක් ලෙස භාවිත කෙරේ. බ්‍රිතාන්‍යය ඇතුළු තවත් රටවල් එකසිය ගණනක ක්‍රියාත්මක නොවේ. ශ්‍රී ලංකාවේදී ද එල්ලා මැරීමේ දඬුවම නියම කළ හැකි නමුත් එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා අස්සන යෙදීමෙන් පසුය. දැන් සාකච්ඡාව වී තිබෙන්නේ එල්ලා මැරීම දඬුවමක් හැටියට යොදාගැනීමෙන් අපරාධ අඩු කළ හැකිද කියාය. ඊට මගේ සෘජු පිළිතුර වන්නේ ඔව් යන්නය. මත්ද්‍රව්‍ය වෙළෙඳාමට විපාකදායී දඬුවමක් හැටියට එල්ලා මැරීම ක්‍රියාත්මක කළහොත් මෙම මාෆියාව තැතිගැන්මට ලක්වීම සැක නැත. එනිසා අනිවාර්ෙ‌යන්ම මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ සැලකිය යුතු පහළ වැටීමක් මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපට දැකගත හැකිය. දකුණේ සේයා දැරියගේ මෙන්ම උතුරේ විද්‍යා දැරියගේ කෲරතර ඝාතනවලදී ද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පොදු ජන සමාජයෙන්ම ප්‍රකට විය. තිරශ්චීන ක්‍රියා සම්බන්ධයෙන් දැඩි දඬුවම් පැමිණ විය යුතුය යන්න මගේ ද පෞද්ගලික අදහසයි. මේ අතරම මරණ දඬුවම නිසා මත්ද්‍රව්‍ය වෙළෙඳාම නතර කළ හැකිය හෝ බරපතළ අපරාධ නතර කළ හැකිය යන නිගමනයට මම අවතීර්ණ නොවෙමි. එහෙත් ඒවායේ පැහැදිලි අඩුවක් දැකගැනීමට එමගින් හැකි බව නොපැකිළව කියමි.

විවිධ තැනැත්තෝ මරණ දඬුවම ගැන විවිධ අර්ථකථන කරති. එහෙත් මා මේ ගැන කතා කරන්නේ හුදු අපරාධ විද්‍යාත්මක ප්‍රවේශයකින් මිස දේශපාලන කෝණයකින් නොවේ. වසර හතළිස් එකක නීතිඥ වෘත්තිය ජීවිතයක් ඇති අයකු හැටියට මෙන්ම නීති විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු හැටියට ද නීති කථිකාචාර්යවරයකු හැටියට ද අපරාධ රැල්ල මැඬලීමට විපාකදායී දඬුවම් තිබිය යුතු යැයි මම නිර්භයව කියමි. ඇතැම් අපරාධකරුවන් මානසික විකෘතිවලින් පෙළිය හැකිය. එහෙත් අපරාධකරුවන් පුනරුත්ථාපනය හෝ ප්‍රතිශෝධනය මගින් පමණක් අපරාධ අඩු කළ හැකි යැයි කීම වැරැදිය. මරණ දඬුවම පිළිබඳ මේ විවාදයේ පටලවාගැනීම සිදුවන්නේ කේන්ද්‍රීය තර්කයෙන් පිට පැනීමෙනි. අප අවධාරණය කළ යුත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ නතර කළ හැකිය යන්න නොව අඩු කළ හැකිය යන්නය. ඕනෑම සමාජයක නීතිවිරෝධී ක්‍රියා කිසියම් සංඛ්‍යාවක් සිදුවේ. හරියට රථ වාහන ඇති ඕනෑම සමාජයක රිය අනතුරු සිදුවන පරිද්දෙනි. අපරාධ යනු අපරාධ විද්‍යාඥයන්ට හෝ සමාජ විද්‍යාඥයන්ට හෝ නීතිය පසිඳලන විනිසුරන්ට හෝ නීති සකසන මන්ත්‍රීවරුන්ට පමණක් අදාළ වන කරුණක් නොවේ. පොදු ජන සමාජයටම අදාළ කරුණකි. එනිසා පොදු ජන සමාජයම ඒ ගැන කතා කිරීම සිදුවිය යුත්තකි.

මත්ද්‍රව්‍ය වෙළෙඳාමට දඬුවම් ලබා සිපිරිගෙයි සිටින අතරේ පවා සිය ජාවාරම අත්නොහැර සිදු කරන අපරාධකරුවන් ගැන මාධ්‍යයෙන් දිගින් දිගටම වාර්තා විය. ජනාධිපතිවරයා පසුගියදා අවධාරණය කළේ ඔවුන් ගැනය. සැබැවින්ම වරක් වැරැදිකරු වී දඬුවම් ලබා සිටියදීත් මෙම අපගාමී ක්‍රියාවලිත් බැහැරවීමට ඔවුන්ට නොහැකි නම් එවැන්නන්ට මරණ දඬුවම දීම වරදක්ද? කිසිසේත් නැත. සංවිධානාත්මක අපරාධ පසුපස දේශපාලන හස්ත ඇති බව කතා වෙන්නේ කලක් තිස්සේය. ඉතින් එවැනි හස්ත විනාශ කිරීමට නම් සංවිධානාත්මක මහජන මතයක් ද අවශ්‍යය. ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය ඝාතනය කළ සික් ජාතිකයා සම්බන්ධයෙන් ද ඉන්දියාව තුළ මෙවැනිම විවාදයක් හටගත්තේය. වසර ගණනාවක් තිස්සේ විවාදය ඇදී ගිය ද නීතියට අනුව ඔහුට මරණ දඬුවම නියම විය. ඇගේ පුත් රාජිව් ගාන්ධි මහතාගේ ඝාතනයට වගකිව යුතු වූ එල්.ටී.ටී.ඊ සාමාජිකාවට ද අත්වූයේ එම ඉරණමමය. බ්‍රිතාන්‍යය යනු අපට මානව හිමිකම් උගන්වන රටකි. එහෙත් උතුරු අයර්ලන්තයේ අයර්ලන්ත ගරිල්ලන් රජ පවුලේ පිරිස් මරාදැමූ විට බ්‍රිතාන්‍ය පවා සිය අපරාධ නීතිය සංශෝධනය කරන තැනට තල්ලු විය. ලොව පුරාම නීති සංශෝධන සිදුවන්නේ මෙපරිදිය. එය අලුත් දෙයක් නොවේ.

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ කාබන් කොපියකි. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය යනු යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ මැකෝලි සාමිවරයාගේ මූලිකත්වයෙන් සම්පාදනය කළ එකකි. එය ශ්‍රී ලංකාවට ගැළපුණ ද කාලානුරූපීව අවස්ථානුකූලව වෙනස්වීමට භාජනය විය යුතුය. දඬුවම් දීමේ න්‍යාය ගැන කතා කරන විට මෙම පසුබිම ද සාකච්ඡාවට ලක් කළ යුතුය. සීතල යුරෝපාකරයේ මිනිසුන්ට වඩා පෙරදිග සමකාසන්න රටවල ජනයා වහා කිපෙනසුළුය යන ප්‍රවාද ද සැලකිල්ලට ගනිමින් මෙම නීති සම්පාදනය කළේ යැයි ඇතැම්හු කියති. එය කෙසේ වුව අපරාධ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනය කරද්දී මත්ද්‍රව්‍යට අදාළව මෙවැනි නිගමනවලට එළැඹීම අපහසුය. මත්ද්‍රව්‍ය භාවිතයේදී සීත හෝ උෂ්ණ පෙදෙස් යැයි වෙනසක් නැති තරම්ය. සැබැවින්ම මත්ද්‍රව්‍යට ජාතියක් ආගමක් කුලයක් පෙදෙසක් කියා වෙනසක් නැත. ඊට බලපාන්නේ ඇබ්බැහියයි. එනිසා උද්ගතවී ඇති තත්ත්වය කුමක්දැයි අවංකව තේරුම් ගැනීමට සියලු පාර්ශ්ව උත්සාහ කළ යුතුය.

මත්ද්‍රව්‍ය යනු මේ වනවිට කෙටි කලෙකින් ධනවතකු වීමේ මඟකි. මත්ද්‍රව්‍ය නිසා අද වන විට බිහිව සිටින්නෝ මිලියනපතියන් නොව බිලියනපතියෝය. දැන් එය පාලනය කළ නොහැකි තැනකට පැමිණ ඇතැයි ඇතැම්හු කියති. මේ අතර අප දකින්නේ සිර ගෙදර හා මත්ද්‍රව්‍ය අතර ඇති පුදුම බැඳීමයි. මෙවැනි පසුබිමෙක සිර ගෙවල් බිඳගෙන මේ කියන සිරකරුවන් පොදු සමාජයට පැන ගතහොත් නිර්මාණයවනු ඇත්තේ කවර තත්ත්වයක් ද? මානව හිමිකම් සම්බන්ධයෙන් අපට ගුරු උපදේශ දෙන ඇත්තන් මේ ගැනත් කතා කළ යුතුය. රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ආධාර ලබමින් නිවේදන නිකුත් කරන්නන්ට මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය ගැන වැඩක් නැත.

ඔවුන්ගේ චින්තනය සකස්වී ඇත්තේ සිය හාම්පුතුන්ගේ චින්තන රටාව අනුවය. මරණ දඬුවමට එරෙහිව කෑ ගසන ඇතැමුන්ගේ විරෝධය පදනමේ තිබෙන්නේ මේ චින්තන ප්‍රශ්නයයි. ශ්‍රී ලංකාද්වීපයේ සුබසිද්ධිය පතන සියලු නීතිගරුක පුරවැසියන්ගේ අභිලාෂය වන්නේ නීතිගරුක සමාජයක් බිහිකිරීමයි. අප සිටින්නේ බෞද්ධ දර්ශනයෙන් හා සංස්කෘතියෙන් ඔප් නැංවූ රටක බව අමතක කළ යුතු නොවේ. මේ රටේ මිනිස්සු වනාහී මනුෂ්‍යයන් මතු නොව තිරිසන් සතුන්ට පවා ආදරය කළ ජාතියක සිට පැවැතෙන පිරිසකි. එවැනි ගතිගුණවලින් සමාජයක් සමන්විත වන්නේ මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම හොඳින්ම දන්නා නිසාය. එය අහඹු ආචාර ධාර්මික පැවැත්මක් නොවේ. එනිසා අපට අනන්‍ය වූ ශිෂ්ටාචාරයක් පවතිද්දී කළ යුත්තේ කුමක්දැයි බලපෑම් කිරීමට විදේශික බලවේගවලට අයිතියක් නැත. කාදිනල්තුමන් පවා අවධාරණය කළේ එයයි. අවස්ථානුකූලව කාලානුරූපීව අපේ අපරාධ නීතිය සංශෝධනය කර ගැනීමට අපට හැකියාව ඇත. එනිසා තෝරාගත් වැරැදිවලට මරණ දඬුවම නියම කළාට වරදක් නැත.

- සටහන බිඟුන් මේනක ගමගේ