පසුගිය බ්‍රහස්පතින්දා දහවල් වන විට මට මිතුරන් කිහිප දෙනකුගෙන් දුරකතන ඇමතුම් ලැබිණ. ඒ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් එදින (සැප්තැම්බර 05) පස්වරුවේ කොළඹට පැමිණීමට තිබූ “ජනබලය කොළඹට” විරෝධතාවය සම්බන්ධයෙනි. “මොකද්ද බං උඹ මේ බෝ කරපු ලෙඬේ? අදත් දවසම ඉවරයිනෙ” එක් අයෙක් නෝක්කාඩු කීවේය. තවකෙකු කීවේ “මහින්දට උඹ පාද යාත්‍රා පුරුදු කරලා එයා වෙන දෙයක් දන්නේ නෑ” කියා ය. “එයාට විතරක් නෙවෙයි. රනිල්ටත් ඉගැන්නුවා. එයාට ඒවා ඉගෙන ගන්න බෑ” යැයි මම විහිළුවට කීවෙමි. ඒ හැම කතාවකම දේශපාලනයක් ඇත. මහින්ද රාජපක්ෂ පෙරටුකර සංවිධානය කෙරුණු “කතරගම පාද යාත්‍රාව” හා පසුව එ.ජා.පයේ විශේෂයෙන් ගාමිණි අතුකෝරල හා රාජිත සේනාරත්න ප්‍රමුඛව දියත් කළ “ජනබල මෙහෙයුමට” වඩා මෙවර ඒකාබද්ධ විපක්ෂය සහභාගි වූ නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වය වෙනුවෙන් බෞතීස්ම කෙරුණු “ජනබලය කොළඹට” විරෝධතාව වෙනස් ය.

මේ විරෝධතා ත්‍රිත්වයම එකිනෙකට වෙනස් වූ දේශපාලන වටපිටාවන්හි ජනතාවගේ ඒකාබද්ධ බලය ආණ්ඩුවේ දේශපාලන හයිය සමග කේවල් කිරීමට යොදා ගත් උත්සාහයෝය. කතරගම පාද යාත්‍රාව සංවිධානය කෙරුණේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සිය බලය උපරිමයෙන් තහවුරු කරගත් පසුබිමකය. එය තීන්දු කෙරුවේ 1991 නොවැම්බරයේදී ය. ඒ වන විට ජනාධිපති ප්‍රේමදාස ඔහුට විරුද්ධව ඉදිරිපත් කෙරුණු මෙරට ඉතිහාසයේ ප්‍රථම සහ එකම දෝෂාභියෝගය පරාජය කර ආණ්ඩුවේ පමණක් නොව, පක්ෂයේ ද බලය මුළුමනින් අතට ගෙන සිටියේය. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු ප්‍රධානීන් ගණනාවක් ඔහු විසින් පක්ෂයෙන් නෙරපා දමනු ලැබූහ. ඔවුහු “රාජාලියා” යැයි දේශපාලන කණ්ඩායමක් හදා ගත්හ. එහෙත් එයට එතරම් ලොකු ගමනක් යා නොහැකි විය.

ඒ අතරතුර, අසනීප තත්ත්වය හේතුවෙන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මඳක් ඉවත්ව සිටි බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී.ල.නි.ප. නායකත්වය වෙනත් කෙනෙකුට පැවරීමට සූදානම් නොවූවාය. එබැවින් ජාතික සංවිධායක ලෙස අනුර බණ්ඩාරනායක හා මව අතර නොහොඳ නෝක්කාඩු ඇති විය. ප්‍රතිඵලය වූයේ ශ්‍රී.ල.නි.ප. කාණ්ඩ දෙකකට බෙදීමය. සාමාන්‍යයෙන් ඕනෑම පක්ෂයක් දෙකඩ වන විට, තෙවන නිහඬ කාණ්ඩයක් ද හැදෙන්නේය. එබැවින් 1991 වසරේ අඩක් ගතවන විට, බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ ලේකම් ධූරයෙන් සූරියප්පෙරුම ඉවත්කර ධර්මසිරි සේනානායක පත් කළාය. බෙදීම් හේතුවෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම මාස කිහිපයක්ම රැස්කර ගැනීමට නොහැකි විය. ඒ අතරට චන්ද්‍රිකා කුමාරණතුංග රැගෙන එන්නට මැතිනිය සමඟ ගනුදෙනුවක් ආරම්භවී තිබුණි. පක්ෂයේ එය ආරවුලක් විය. මේ අක්කා මලෝ දෙදෙනා ඔවුන්ගේ ආරවුල වෙල්ලාවට ගත්තේ ප්‍රධාන මාධ්‍යයෙහිය. එවැනි දේශපාලන අවුලක සමාජ මතය බවට පත්ව තිබූයේ “ප්‍රේමදාස ජනාධිපතිව දැන් නම් හොලවන්නටත් බැහැ” යන්නය.

කොළඹ මැද පන්තියෙන් හැදුණු ඒ මතවාදය අභිබවා යෑමේ හැකියාවක් ග්‍රාමීය සමාජයේ තිබූ බැව් අතුරුදන් වූවන් ගැන හා මානව හිමිකම් උල්ලංඝන ගැන කටයුතු කළ මහින්ද රාජපක්ෂත් මාත් විශ්වාස කෙරුවකි. කතරගම පාද යාත්‍රාව තීන්දු කෙරෙන්නේ ඒ විශ්වාසය ඇතිවය. එයට අත්දැකීමක් වූයේ ඉන්දියාවේ දියලුණු සඳහා සුදු පාලකයන් බදු අය කිරීමට විරුද්ධව මහත්මා ගාන්ධි “ඩන්ඩි” වෙරළට ගිය පා ගමනය. එහිදී එක් දේශපාලන සත්‍යයක් වූයේ ප්‍රේමදාස ආණ්ඩුවේ පැවැත්මට අභියෝග කළ හැකි තරමට මෝරා වැඩුණු දේශපාලන පසුබිමක් නොතිබීමය. ප්‍රේමදාස ආණ්ඩුව එතරම්ම පිරිහී නොතිබුණි. එනිසා අපට සිදුවූයේ කතරගම සිට කොළඹට පැමිණීමට නොව, කොළඹ සිට කතරගමට යෑමටය. කොළඹට පැමිණීම යනු රාජ්‍ය බලයට අභියෝග කිරීමකි. ඒ සඳහා කැඩී බිඳී තිබුණු ශ්‍රී.ල.නි.පට හැකියාවක් නොවුණි. එවැනි අභියෝගයක් බාර ගත හැකි යැයි සමාජය විශ්වාසය තබන්නාවූ ජාතික නායකත්වයක් ද නොවුණි. කතරගම පාද යාත්‍රාවෙහි දේශපාලනය වූයේ ප්‍රේමදාස ආණ්ඩුවට අභියෝග කළ හැකි යැයි සමාජ මතයක් විශ්වාසයක් සමාජයේ තහවුරු කිරීමය. එය එසේ වූයේ යැයි ඔප්පු කෙරුණේ ඉන් මාස කිහිපයකට පසු පැවති බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් සභා 03ම ප්‍රේමදාස ආණ්ඩුව පරාජය වීමෙනි. එයට අමතරව ශ්‍රී.ල.නි.ප. ග්‍රාමීය ඡන්ද පදනමෙහි අලුත් ආකර්යෂණීය නායකයකු ලෙස මහින්ද රාජපක්ෂ ඉස්මතු විය.

අනෙක් ජනතා විරෝධතා දෙකම ජනතා අප්‍රසාදයට පත්වූ ආණ්ඩුවලට විරුද්ධව සංවිධානය කෙරුණු විරෝධතාය. එ් වගේම විපක්ෂයේ තනි බලයකට වගකිව හැකි දේශපාලන පක්ෂ විසින් මෙහෙය වූ විරෝධතාය. චන්ද්‍රිකා ජනාධිපතිගේ ආණ්ඩුව 2001 වන විට පසු වූයේ එවැනි දුබල පසුබිමක ය. ජ.වි.පෙ. සමග 2001 දී “පරිවාස” ආණ්ඩුවක් හැදීමෙන් ඇයගේ බලය හීන වන්නේ යැයි ප්‍රදර්ශනය විය. එබැවින් මහ මැතිවරණයක් ඉල්ලා කොළඹ වටකළ හැකි යැයි ගාමිණි අතුකෝරල හා රාජිත සේනාරත්න සමඟ කළ සාකච්ඡාවක දී මගේ අදහස විය. 2001 සැප්තැම්බරයේ කොළඹට එන ප්‍රධාන මාර්ග 05 කින් කොළඹ නගරයට පා ගමන් සංවිධානය කෙරුණේ ඒ අනුවය. එයද මාසයක පමණ කාලයක් සංවිධානය කෙරුණු කොළඹ වැටලූ ඉතා සාර්ථක විරෝධතාවක් විය. පෙරේදා පැවති “ජනබලය කොළඹට” විරෝධතාවයට මෙන් නොව, එදා “ජනබල මෙහෙයුමට” ජනාධිපති චන්ද්‍රිකා යටතේ පොලිස් ප්‍රහාර දියත් කෙරිණ. නුගේගොඩ දී පෙළපාළිකරුවන්ට පොලීසිය වෙඩි තැබූයෙන් කිහිප දෙනෙකු තුවාල ලැබූහ. මෝදර හා කොටහේන විරෝධතාවලට වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මිය ගියහ. ඒ සියලු අවාසි 2001 දෙසැම්බර මහ මැතිවරණයේ දී විඳින්නට සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකාගේ ආණ්ඩුවටය. රනිල් වික්‍රමසිංහට කිසි දිනක මැතිවරණයක් දිනන්නට නොහැකි යැයි කියූවත් ඔහු අගමැති වූ එ.ජා.ප. ආණ්ඩුවක් දෙසැම්බරයේ දී ඡන්දයෙන් බලයට පත් විය. අවාසනාවකට කතරගම පාද යාත්‍රාවෙන් මහින්ද රාජපක්ෂ මතු වූ අයුරු ඒ ආණ්ඩුව පවත්වා ගැනීමට හැකි ශක්තිමත් ආකර්ෂණීය නායකත්වයක් ජනබල මෙහෙයුමෙන් එ.ජා.පයේ බිහි නොවුණි. වඩාත් අවාසනාවන්ත සාධකය වූයේ දේශපාලන තීන්දු වහා නොබියව ගැනීමේ පරිණත නායකයකු වූ ගාමිණි අතුකෝරල මිය යෑමය.

මෙවර කොළඹට පැමිණි ජනබලය ද ඒ හා සමාන වටපිටාවක මහ මැතිවරණයක් ඉල්ලා ජනතාව කැඳවූ විරෝධතාවකි. මේ ආණ්ඩුව ඉතා ශීඝ්‍රයෙන් අප්‍රසාදයට පත්වූ දෙබිඩි ආණ්ඩුවකි. මෙය පැහැදිලි දේශපාලන නායකත්වයක් නොමැති ආණ්ඩුවකි. එය මුහුණ දෙන බරපතළම අර්බුදය ඇත්තේ මහ පරිමාණ දූෂණ හා වංචා සමඟින්ය. 2015 ජනවාරි ජනාධිපතිවරණය වෙනුවෙන් 2014 දෙසැම්බරයේ දී රට හමුවේ තැබූ විශාලම පොරොන්දුව වූයේ රාජපක්ෂ පාලන සමයේ සියලු යෝධ දූෂණ වංචා හෙළිදරව් කර ඒවා සම්බන්ධ පරීක්ෂණ පවත්වා ලොකු පුංචිකම් නොබලා දඬුවම් කිරීමත් රාජපක්ෂලාගේ එවැනි අති දූෂිත යෝධ චීන ව්‍යාපෘති සියල්ල නවතා දමන බවත් ය. ආණ්ඩු බලය ලබාගෙන අවුරුදු 03ටත් වැඩි කාලයකට පසු රාජපක්ෂලාගේ “ජනබලය කොළඹට” එන දිනය ළඟා වන විට, එය සංවිධානය කෙරෙන්නේ රාජපක්ෂලාගේ හොරකම් වසා ගැනීමට යැයි ද රාජපක්ෂ යුගයේ ඇමෙරිකානු ඩොලර දස ලක්ෂ 1,800 ක් ඔවුන් සොරකම් කර ඇතැයි ද මංගල සමරවීර ඇමතිවරයා මාධ්‍යයට කීවේය. ඒ කිසිදු සොරකමක් සම්බන්ධව මේ ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි වූවා පමණක් නොව, මේ ආණ්ඩුව ආරම්භ වන්නේද ඉතිහාසගත හොරකමක් සමගින්ය. ජනාධිපති සිරිසේන මේ වසරේ ජනවාරි 03 වන දින රූපවාහිනියෙන් ජනතාව අමතා කීවේ රුපියල් දස ලක්ෂ 11,145 (ඩොලර් දස ලක්ෂ 74) ක මහ බැංකු බැඳුම්කර වංචාවේ වරදකරුවන්ට දඬුවම් කිරීමට තමන් කිසි විටෙක පසුබට නොවන බවය. මහ බැංකු බැඳුම්කර වංචා 02ක් සම්බන්ධව ඒ දිනවල වාර්තා වූවත් දෙවැන්න ගැන තවමත් කිසි පරීක්ෂණයක් නැත. ඊට අමතරව තව බොහෝ මහ පරිමාණ දූෂණ වංචා මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නමට බැරවී ඇත.

එවැනි පසුබිමක මේ ආණ්ඩුව ආරම්භ කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ගැන සමාජයේ කතා වන්නේ නැත. පසුගිය වසරක හමාරක කාලයේ මේ සමාජයේ පොදු මතය බවට පත් වන්නට වූයේ “මහින්ද හොරකම් කෙරුවේ මොනවා හරි වැඩක් කරලා. මේගොල්ලො නිකම් ඉඳන්නෙ හොරකම් කරනවානෙ” යන්නය. ඒ අතරට මන්ත්‍රී වරප්‍රසාද, දීමනා වැඩි කර ගැනීම්ද ඇත. ආණ්ඩුව සහ ජනාධිපති අතර ගැටුම්ද ඉහළ යන්නේ රුපියල පහත වැටෙන වේගයෙනි. රාජපක්ෂලාට නැවත පාරට බහින්නට හැකි වන්නේ ඒ හේතු සියල්ලේ එකතුව මේ ආණ්ඩුවට එරෙහි විශාල ජනතා අප්‍රසාදයක් වූයෙනි.

“ජනබලය කොළඹට” පැමිණියේ විශාල ජන බලයක් සමගින් බැව් මේ ආණ්ඩුව අකමැත්තෙන් වුව පිළිගත යුත්තකි. දේශපාලන වශයෙන් ආණ්ඩුවට හා රටට වැදගත් වන්නේ ඔවුන් අතර පැහැදිලි තනි මතයක් තිබුණාද? නැතිද? යන්න හෝ මැයි රැලියට තරම් සෙනඟක් මෙයට සහභාගි කරවා ගැනීමට නොහැකි වූවාය යන්න නොවේ. මැයි රැලියට එකතු කළ හැකි සංඛ්‍යාව ආණ්ඩුවට අභියෝග කෙරෙන විවෘත විරෝධයකට සහභාගි කරවා ගත නොහැක. දේශපාලන වශයෙන් වඩාත් වැදගත් වන්නේ ඔවුන්ට කොළඹ ජන ජීවිතය මහ මැතිවරණයක් ඉල්ලා සහමුලින් මෙන් දවසක් පුරා ඇණහිටුවා තැබීමට තිබූ ජනතා ශක්තියෙහි ය. එවැන්නක් මීට ඉහතින් සිදුවූ එකම අවස්ථාව වූයේ 1952 අගෝස්තු 12 වන දින හර්තාලයේදී ය. එදින බස්නාහිර පළාත සම්පූර්ණයෙන් අකර්මණ්‍ය විය. හර්තාලය එක දිනකින් නිමා කෙරුණේ සමසමාජ පක්ෂයේ ඉතා පැහැදිලි දේශපාලන තීන්දුවක් අනුවය. “ජනබලය කොළඹට” ඉන් එහාට ගෙන යා නොහැකි වූයේ ජනතාවගේ නුසූදානමකට වඩා රාජපක්ෂලාගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ආධුනික මැනීම් හා සංවිධානය කිරීමේ අවුල් නිසාවෙනි.

එහෙත් ඉගෙන ගන්නවා නම් ආණ්ඩුවට මෙහි බරපතළ පාඩමක් ඇත. මේ වසරේ ජනවාරියේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන්වලට එරෙහිව මොරටුව සහ ගංගොඩවිල අධිකරණ තහනම් නියෝග දෙකක් පොලීසියේ ඉල්ලීමට ලබා දුනි. ඉන් මාස 08 කට පසු එවැනිම පොලීසියේ ඉල්ලීම් 03ක් මේ විරෝධයට ලබාදීම අධිකරණය මෙවර ප්‍රතික්ෂේප කළේය. ඉන් එක් ඉල්ලීමක් වූයේ ජනාධිපති නිල නිවස වැටලීමට ඉඩ ඇතැයි වූ ඉල්ලීමකි. අධිකරණයේ ඒ වෙනස ආණ්ඩුව තේරුම්ගත යුත්තකි. ඕනෑම සමාජයක ජනතා පෙළ ගැසීම් අධිකරණයට ද දැනෙන්නේය. සියලු අඩුපාඩු, මෝඩකම් සමඟින් වූවත් මේ රාජපක්ෂලාගේ කොළඹට පැමිණි විරෝධය ආණ්ඩුව අඩුවෙන් තක්සේරු නොකළ යුත්තකි. පිරිහෙමින් යන ආණ්ඩුවකට මෙවැනි ජනතා විරෝධතා අඩු ලන්සුවෙන් සැලකීමේ අවසරයක් නැති හෙයින්ය.