ගියවර ‘කිවිදා දැක්මෙහි’ ‘දූෂණයට අල්ලස් දීම’ නම් වූ ලිපියෙහි කෙළවර අපගේ පාඨක ජනයාට මා කළ ආරාධනය වූයේ අප නැවත පනහ හැට හැත්තෑව සහ අසූව දශකවල පරම්පරාව වෙළාගෙන සිටි ජනරජවාදී නැතහොත් සමුහාණ්ඩුවාදී ජන සංස්කෘතියකට පසු බැස ඉන් උගෙන මේ විනාශයෙන් රට ගලවා ගනිමු යන්නය. 

පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට ආ චෝදනාව සහ ඊට පිළිතුරු වශයෙන් ඔහු  කළ එකසිය දහඅටේ හෙළිදරව්ව ඒ ආරාධනය දෙස යළි යළිත් මෙරට පොදු ජන සමාජයේ අවධානය යොමු විය යුතුය යන්න  තහවුරු කරන්නකි. අගමැතිකම අහිමි වී තම ඇඳුම් සහ බඩු මුට්ටු ටික ට්‍රන්ක පෙට්ටියක දමාගෙන ගාලු යෑමට බසයක් එනතුරු අරලිය ගහ මන්දිරය ඉදිරිපිට බස් නැවතුමේ සිටි විජයානන්ද දහනායකලාගේ සදාචාරය දේශපාලනයෙන් අතුරුදන් වී බොහෝ කල් බව ඇත්තය. මැදවච්චියේ සිට පාර්ලිමේන්තුවටත් ආපහු මැදවච්චියටත් කෝච්චියෙන් ගිය කතානායක කේ.බී. රත්නායකලාගේ දේශපාලන සදාචාරය සහ පෞරුෂය මතකයටවත් නොඑන තැනකට අලුත් පාලක පරම්පරාව තල්ලු වී බොහෝ කල් ය. කොසොල් රජු දුටු ගොම රිටි මතුවී තිරිවානා ගල් යට යන සිහිනයේ පලාපල අත්විඳින මොහොතකට සමස්ත සමාජයම ගොදුරුවී ඇත.

ඔස්කා අමෙරින්ජර් (ධිජ්ර ්පැරසබටැර) යනු 1870 සහ 1943 අතර කාලයේ ජීවත් වූ ජර්මන්-ඇමරිකන් සමාජවාදී බුද්ධිමතෙකි. දේශපාලන ක්‍රියාකාරිකයෙකි. දේශපාලනය පිළිබඳ ඔහු ඉදිරිපත් කළ අර්ථ විවරණය ලොව කොතැනටත් වඩා අද අප රටේ පාර්ලිමේන්තු පාලක දේශපාලනය හැඳින්වීම සඳහා මනාව ගැළපේ යැයි සිතමි. අමෙරින්ජර් ට අනුව දේශපාලනය යනු එකෙකුගෙන් අනෙකෙකු ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින්, ධනවතුන්ගෙන් ප්‍රචාරක අරමුදල් සහ දුප්පතුන්ගෙන් ඡන්දය ලබාගන්නා ක්‍රමානුකූල කලාවකි.

දයාසිරි ජයසේකර ගේ හෙළිදරව්ව අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් එකසිය දහඅට දෙනෙකුම ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස්ලාගෙන් මුදල් ලබාගෙන ඇත. සමහරු ගෙවල් ද ලබාගෙන ඇත. දයාසිරි ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහාත් රුපියල් දශලක්ෂයක් ලබා ගෙන ඇතිමුත් පොදියක් ලෙස නොව චෙක්පතක් මගින් ලබාදුන් නිසා ඒවා කළු සල්ලි නොව සුදු සල්ලි ය. එමෙන්ම දසලක්ෂයක් යනු ඔහුට අනුව ඉතා ම සුර්‍ළු ගණනකි. මැතිවරණ වියදම් සඳහා ඒ ආකාරයෙන් ධනවතුන්ගෙන් මුදල් ලබාගෙන නැති කෙනෙක් වෙත් නම් කට අරින ලෙස ඔහු විවෘත අභියෝගයක් ද ඉදිරිපත් කරයි. පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් මැතිවරණ ප්‍රචාරක වියදම් ලබා නොගත් ඉතිරි එකසිය හත්දෙනා කාගෙන්, කී දෙනෙක්ගෙන් මුදල් කුට්ටි ලබා ගත්තාද නොගත්තාද කියන එක ඒ තරම් වැදගත් නොවන්නේ කරනලද හෙළිදරව්ව කාගෙ කාගේත් පැටිකිරිය තේරුම් ගැනීමට ප්‍රමාණවත් නිසාය. රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඒ තරමටම හෙලු. නැතහොත් මුළු පාර්ලිමේන්තුවම ‘හොරු සමඟ හෙලුවෙන්’ ය.

අර ඉහත කී ආකාරයෙන් ලබා ගන්නා මුදල් යොදවා පාලකයන් හැමවිටම උත්සාහ ගන්නේ අහසින් සහ ගොඩින් දියත් කරන ඇති දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාර හරහා තමන්ලාගේ දේශපාලනය මහජනයා වෙනුවෙන් කරන්නක් බව හුවා දැක්වීමට ය. ඒ රැවටීම හරහා ජනයාගේ කැමැත්ත උදුරා ගැනීමටය. පාලකයන් අතර භේද, මවා ගත් ඒවා නොව සත්‍ය ප්‍රතිපත්තිමය, මුලධාර්මික වෙනස්කම් මත සිදුවන්නක් බව පෙන්වීමට ය. එසේම තමන්ලා දේශපාලනය කරන්නේ සියලු_ ආකාරයේ පීඩාවලින් සහ පීඩකයන්ගෙන් ජනයා ආරක්ෂා කිරීමට බව පෙන්වීමටය. එහෙත් එතැන මහා ගැටලු. එනම් ජනයා පීඩාවට පත්වන්නේ ධනපතීන්ගෙන්, ජාවාරම්කරුවන්ගෙන් සහ අපරාධකරුවන්ගෙන් නම් ඒ අයගෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබන පාලකයන් එකී පීඩකයන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙසේද යන්න ඒ ගැටලු නැතහොත් උභතෝකෝටිකය ය.

ඉතා ක්‍රමානුකුලව පාලකයන් සිදුකරන්නේ කුමක්ද? ජනයාගෙන් ඔබ ආරක්ෂා කොට වහං කොට හිතූ හිතූ ආකාරයට ජාවාරම් කිරීමට ඉඩ දෙනවාය යන පොරොන්දුව පිට ඉහතකී පීඩකයන්ගෙන් දශලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් ලබා ගැනීම ය. එසේම ඒ මුදල් යොදවන අති දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාර යොදා ගනිමින්, ජාවාරමුන්ගෙන් අප ඔබව ආරක්ෂා කරනවාය යන ව්‍යාජ පොරොන්දු දෙමින් මහ ජනයාගේ ඡන්ද ලබා ගැනීම ය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාවාරමුන්ට කළගුණ සැලකීම සහ ඊ ළඟ මැතිවරණය තෙක් ඔවුන් හා එකමුතුව ජනයා පීඩාවට පත් කිරීමය. ඉතින් ඔස්කා අමරින්ජර් ගේ දේශපාලනය පිළිබඳ අර්ථ විවරණය මෙරට පාලක දේශපාලනයට කොතරම් නම් ගැළපෙනවාද යන්න දැන් ඔබට වැටහෙනු ඇත.

මේ හරහා කෙලෙසී ඇත්තේ දේශපාලනය සහ දේශපාලකයා පිළිබඳව වූ විශ්වාසය සහ ගෞරවය නම් ඒ මෑතක සිට නොව ඉතා දිගු කාලයක සිටය. ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ සහෝදරයා මෑතක දී ප්‍රකාශ කොට තිබුණේ මේ රට යටත් විජිතවාදයෙන් ගැලවී ජනරජවාදයකට පැමිණ නැවත යටත්විජිත වාදයකට ගොදුරු වී ඇති බවකි. එහෙත් දයාසිරි හෙළිදරව් කරන ඔහුත් ඇතුළු එකසිය දහඅටේ කතාවෙන් පෙනී යන්නේ විවෘත යටත්විජිත වාදයකට එහා ගිය චෞර සහ ජාවාරම්කාර භූ ගත යටත් විජිතවාදයකට මුළු රටම නතු වී ඇති බවය.    

ක්‍රිකට් තරගවල ජය පරාජය තීරණයවීම හෝ තීරණය කර පරාජය වීම ක්‍රීඩකයන්ගෙන් ගැලවී ක්‍රීඩා පිටිය සකසන්නන්ගේ සහ ඔට්ටුකරුවන්ගේ අතට මාරු වන්නේද එවැනි පසුබිමකය. ක්‍රීඩාව ක්‍රීඩාවෙන් ගැල වී සූදුවක් බවට පත් වී ඇත. දේශපාලනය දේශපාලනයෙන් ගැලවී ජාවාරමක් බවට පත් වී ඇත. ඒවා උදාහරණ දෙකක් පමණක් වන්නේ අනෙකුත් සෑම අංශයක්ම ජාවාරම් සහ ජාවාරම්කරුවන්ගේ තිප්පොළවල් බවට පත් වී ඇති හෙයිනි. නියම ක්‍රීඩාවත් ජනතාවාදී දේශපාලනයත් දැන් උඩු සුළඟේ ගසාගෙන ගොස් ය. ඒවා කොහේ නැවතී ඇත්දැයි දන්නේ ‘දෙවියන්’ පමණි. එවැනි තත්ත්වයක සෑහෙන කාලයක සිට මේ රටේ ජනයා පිළිසරණක් අයදින්නේ, තම ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටින්නේ මේ ජාවාරම්කාරයන්ගෙන් නම් වැරැද්ද ජනයාගේ මිස පාලකයන්ගේ නොවේ ය. සඳ ගිනි ගෙන ඇවිළෙන මොහොතක හිරු ගෙන් සිසිල පැතිය හැකි ද?

“මේ වන විට අල්ලස සහ දුෂණය රාජ්‍ය පාලන මූලධර්මයක් බවට පත් වී ඇත. දේශපාලන පරම අර්ථයක් වී ඇත. එසේම එය පෙනෙන, එනම් දෘශ්‍යමාන ආර්ථික ක්‍රමය හසුරුවන බලගතු භූ ගත ආර්ථික ක්‍රමයක් ය. ඒ ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාධරයෝ වන්නෝ දේශපාලකයෝ, ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ සහ බලගතු නිලධාරිනුය. ඒ සංස්කෘතියට එරෙහිවීම යනු සියතින් ගෙළ සිඳ ගැනීමක් බව වටහා ගන්නා අලුතින් පත්වන සහ අලුතින් පාලන තන්ත්‍රයට එකතුවන පාලකයන් සහ නිලධාරීන් කළේ සහ කරන්නේ ද ඒ සංස්කෘතියේ මුර බල්ලන් සහ කොටස්කරුවන් බවට පත්වී පොදුජන දේපළ සහ සම්පත් අවභාවිත කිරීමය. ඒ හරහා ඉතා පහසුවෙන් එළඹිය හැකි නිගමනය වන්නේ මේ රටේ ඇති බහුතරයක්  පාලකයන්, නිලධාරීන්, ව්‍යාපාරිකයන්, පුරවැසියන් සහ  ඒ සියල්ලන්ගේ අව භාවිතා ඔහේ ඉවසා සිටින පොදු ජනයින් අල්ලසට සහ දුෂණයට මුලධාර්මිකව විරුද්ධ නැත යන්නය” (පසුගිය ලිපියෙන්).

සමහරු අල්ලස් ගන්නේ මැති ඇමැතීන් සහ බලගතු නිලධාරීන් වූ පසුවය. එහෙත් සමහර දේශපාලකයන් අල්ලස් ගන්නේ මැති ඇමැතීන් වීමටත් පෙරය. එනම් පසු ගෙවීම් ක්‍රමය යටතේය. අල්ලස් දෙන්නෝ එය කරන්නෝ බොහෝ අනාගතවාදී බලාපොරොත්තු සහිතව පෙර ගෙවීම් ක්‍රමය යටතේ ය. බලයට පත් වූ පසු මේ අල්ලස්කාරයන් සමඟ සන්ධානගතවන බොහෝ දේශපාලකයන්  ජනතාව ට බිය නැත. මන්ද මැතිවරණ දේශපාලන ක්‍රියාවලිය තුළදී නැවත  ජනයාව මුළාවේ දැමීම සඳහා ආයෝජනය කළ හැකි මට්ටමේ ධනස්කන්ධයක් සහ වැඩවසම් සම්බන්ධතා ජාලයක් ඔවුන් සතුව පවතින හෙයිනි. එසේම මැද පාන්තික ජනයාගේ, තමන්ගේ වැඩක් බලාකියාගෙන සිටින අති දරුණු පුද්ගලවාදය නිසා ම ඇතිවී තිබෙන දේශපාලනික කම සහ දේශපාලනික අඥානකම අර ආකාරයේ පාලකයන්ට මනා ගොදුරු බිමක් සපයන නිසා ය. 

අසූව දශකයේ මුල සිට වර්ධනය වී විශේෂයෙන්ම මේ මොහොතේ කුටප්‍රප්තියට පැමිණ ඇති මෙරට දේශපාලනයේ සුවිශේෂී තත්ත්වයක් වන්නේ දේශපාලකයකු විසින් තවත් දේශපාලකයකුට හොරෙක් යැයි හෝ මිනීමරුවෙක් යැයි හෝ දුෂිතයෙක් යැයි හෝ චෝදනා කළ විට ඊට එරෙහිව නිදහසට කරුණු කීම නොකොට  චෝදනා කළ තැනැත්තාගේ  සහ ඒ පිලේ අයගේ හොරකම්, අල්ලස් ගැනීම්, මිනීමැරුම් සහ දුෂණ ලයිස්තු පිටින් හෙළිදරව් කිරීමය. පසුගිය විශ්වාස භංග විවාදයේදී ද දයාසිරි ගේ හෙළිදරව්වේ දී ද සිදු වූයේ ඒ දේ මය. ඉන් පෙනී යන්නේ පිරිසුදු එක මිනිසකුවත් මේ පාර්ලිමේන්තුව තුළ නොමැති බවද? එසේ නොමැති නම් ජනයා ගත යුතු මඟ කුමක්ද යන්න පිළිබඳ සංවාදයක් අත්‍යවශ්‍යම මොහොත එළඹ ඇති බව අප තේරුම් ගත යුතුය.

ඒ තේරුම් ගැනීම මත පදනම්ව පළමුව කළ යුත්තේ පාර්ලිමේන්තුවේ අධිකාරිය තම අණසකට යටත්කරගෙන සිටින පොල්මඃකාරයන්ගෙන් එය නිදහස් කර ගැනීමය. ඒ සඳහා ජනයා විසින් තම පුරවැසිකම පිළිබඳ චින්තනය රැඩිකල් වෙනසකට ලක් කරගත යුතුය. හික්මවිය නොහැකි පාලකයන් නොව ජනයාට මෙහෙයවිය හැකි නියෝජිතයන් ට පාර්ලිමේන්තුවේ බලය සහ අයිතිය ලබා දීමට ක්‍රියා කළ යුතුය. ඒ මගින් නව ජනරජවාදයක් නැතහොත් ජන සමුහාණ්ඩුවාදයක් රට තුළ ස්ථාපිත කර ගැනීම හැර මේ ව්‍යසනවලින් ගැලවීමට වෙන මඟක් නම් නැත. දයාසිරිලාගේ එකසිය දහඅටේ පාඩමෙන් අප උගත යුත්තේ එය ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ 
ධම්ම දිසානායක