(වසන්තපි‍්‍රය රාමනායක)

මේ වනවිට පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් වී අවසානය. එය වත්මන් යහපාලන රජය මුහුණ දෙන ප‍්‍රථම මැතිවරණය ද වනු ඇත. කුමන විධියේ විග‍්‍රහ ඉදිරිපත් වුවද ජනතාවට වත්මන් රජය යටතේ මැතිවරණයක් ලැබෙන්නේ වසර තුනකට පසුවය. පූර්ව මැතිවරණ සමයේ ආකර්ෂණීය දේශපාලන කතිකාව වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ඡාවයි.

තනි කණ්ඩායමක් වශයෙන් මෙම මැතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න තේරුම් බේරුම් කර ගැනීම මෙම සාකච්ඡා කි‍්‍රයාදාමයේ අරමුණයි. මේ වන විට එය තාවකාලිකව හෝ අසාර්ථක වී ඇත. අදාළ පාර්ශව දෙක කණ්ඩායම් දෙකක් ලෙසින් මැතිවරණයේ දී තරග වැදීමට සූදානම් වන බව පෙනේ.

අදාළ කණ්ඩායම් දෙක මේ දිනවල ලහිලහියේ සූදානම් වන්නේ ‘බුලත් කොළය’ යටතේ හා ‘පොහොට්ටුවෙන්’ තරග වැදීමටය. බුලත් කොළයට නායකත්‍වය දෙන්නේ ජනාධිපති මෛතී‍්‍රය. පොහොට්ටුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේය. මේ දෙදෙනාම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි එම පක්ෂයේ හොඳම නිෂ්පාදන දෙකකි.

පසුගිය ජනාධිපතිවරණයේදී එකිනෙකාට පසමිතුරුව තරග වදිමින් ජය පරාජය බෙදා හදා ගත්තේද මේ දෙදෙනාමය. ඒ අනුව පුරා වසර 25ක් මේ රටේ අඛණ්ඩවම විධායක ජනාධිපති ධුරය හිමිකරගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයන් බව පෙනේ.

පසුගිය ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පි.යේ හා ජේ.වී.පි.යේ සහායෙන් ”හංස සමාගමෙන්” තරග වැදුණු මෛතී‍්‍ර නැවත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්‍වය බාර ගනීවි යැයි ඔහුට සහාය දුන් කිසිවෙක් නොසිතන්නට ඇත. එය සිදුවන්නේද තමා විසින්ම පරාජයට පත්කරන ලද හිටපු ජනාධිපති වරයාගේද එකඟතාව මතය.

අර්බුදය මතුවන්නේ එම ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීය. මෙවර කිසිදු පක්ෂයකට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි විය. එවන් අවස්ථාවක් 1994දී ද උදාවිය.

එහෙත් මෙදා සිදුවූයේ ජනාධිපති මෛතී‍්‍රගේ නායකත්වයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකේම සහායෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවීමයි. මෙය අපේ රටේ දේශපාලනයට මෙන්ම යූ.ඇන්.පී. ශී‍්‍ර ලංකා පසමිතුරු දේශපාලනයට ද පටහැනිය. එහෙත් ජනාධිපතිවරයා නව අත්හදා බැලීමක් හා නව දේශපාලන සම්ප‍්‍රදායක් ඇරඹූ බව පෙනේ. එය මේ වන විට කොතරම් සාර්ථක දැයි වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. ඊට ඔහුගේම පක්ෂයේ කණ්ඩායමක් විරුද්ධ විය. එම පිරිස ඒකාබද්ධ විපක්ෂය ලෙසින් විපක්ෂයට එක් වූහ.

එදා පක්ෂයේ තීරණයට විරුද්ධ වූ කණ්ඩායමට දඬුවමක් නොලැබුණු අතර ආණ්ඩුවට එක් වූ අයට මැති ඇමැතිකම් ලැබුණි. සමහරුන් කීවේ මැති ඇමැතිකම්වලටත් වඩා ජනාධිපතිවරයා අපේ නිසා එතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට යූ.ඇන්.පී. නායකයා නායකත්‍වය දෙන ආණ්ඩුවට සම්බන්ධ වූ බවයි. එසේම පක්ෂ දෙකම එකට එක්වී ඉටුකරගතයුතු ජාතික වශයෙන් වැදගත් ප‍්‍රතිපත්තිමය කාරණා ඉටුකර ගැනීමට වසර 2කට සීමා වූ තාවකාලික සන්ධානයක් ලෙසින් ද මේ යහපාලන එකමුතුව හැඳින්වුණි.

දීපව්‍යාප්තව සිදුවන පළාත් පාලන මැතිවරණයකට දින නියම වී තිබෙන්නේ මෙවන් දේශපාලන වටාපිටාවකය. මෙහිදී ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එම ආණ්ඩුවේම ප‍්‍රධාන කණ්ඩායම වන එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ මැතිවරණයේදී තරග වැදීමට සූදානමින් සිටි.

එතකොට ආණ්ඩුව සමඟ එකට ඉන්නවා වෙනම තරග කරනවා.

ඒ වැඩෙත් ටිකක් අමුතුය.

ඒ සමඟම ඔවුහු (ශී‍්‍ර.ල.නි.ප.ය) ආණ්ඩුවේ පතුරු අරින ඒකාබද්ධ විපක්ෂයේ තම සගයන්ටද ආරාධනා කරති.

නුඹලා ආණ්ඩුවේ සිටිමින්ම තරග කරන්නේ නම් අප එකතුවන්නේ කෙසේදැයි එම සගයෝ (පොහොට්ටුවේ) ආණ්ඩුවේ තම මිතුරන්ගෙන් ප‍්‍රශ්න කරති. අප ආණ්ඩුවේ කොටසක් වුණත් යූ.ඇන්.පී. ප‍්‍රතිපත්තිවලට අකැමැති නිසා මෙසේ ඔවුන්ට එරෙහිව තරඟ කිරීමට සූදානම් වනබව තොපට තේරෙන්නේ නැද්දැයි ශී‍්‍ර.ල.නි.ප.ය ඒකාබද්ධයෙන් ප‍්‍රශ්න කරයි. යූ.ඇන්.පී.යේ ප‍්‍රතිපත්ති පිළිගන්නේ නැත්නම් උන් සමඟ ආණ්ඩු කරන්නේ අහවල් රෙද්දකට දැයි නැවත පොහොට්ටු කාරයෝ බුලත්කොළ කාරයන්ගෙන් විමසති.

පසුගිය දිනවල දිගින් දිගටම අපට ඇසෙන්නේ මේ සංවාදයයි. මේ සංවාදය ගමේ මිනිසාට නම් ටිකක් අපබ‍්‍රංශයකි. එහෙත් දේශපාලනය ගැන දන්නා අයට නම් රට වශයෙන් ගත් කල මේ අත්හදා බැලීමේද යම් අරුතක් තිබෙන බව පෙනේ. එනම් එකට එක්වී විසඳා ගත යුතු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලපාන ප‍්‍රශ්න හා ප‍්‍රතිපත්තිමය කාරණා කීපයක් උදෙසා තාවකාලිකව මේ එකතුවීම වැදගත්වීමයි. විදුලි පුටුව අතුරුදන් කර, ආර්ථික සම්බාධක වළක්වාගෙන, අපේ රණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියෙන් මුදවා ගනිමින් ජිනීවා තොණ්ඩුව ජය ගැනීමට මේ එකමුතුව ඉවහල් වූ බව පෙනේ. එසේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හා වෙනත් සුළු කාරණා කීපයක් හැරෙන්න ජාතික වශයෙන් ජනතාවට ඇඟට දැනෙන යමක් සිදුවුණාද යන්න ද ප‍්‍රශ්නයකි.

ඒ වෙනුවට ඇසෙන්නේ රට විකිණීම වැනි කාරණා යැයි සමහරු තර්ක කරති. පොදු එකඟතාවකින් වැඩ නොකිරීම, ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රශ්න එළිපිට සංවාද කිරීම, බැඳුම්කර හොරකම ඇතුළු දුෂිත හා නාස්තිකාර කි‍්‍රයා පැරණි පාලනයට බැණ වදිමින් මේ පාලනය යටතේ සිදුවීම ආණ්ඩුවේ යහපාලනය ‘චකබ්ලාස්’ වීමට හේතු වී තිබෙනවා වාගේය.

ඒකාබද්ධ විපක්ෂය නායකත්වය දෙන්නේ මෙම පාලනයට එරෙහිවය. ඊට අමතරව ජාතිවාදය ද ඔවුනට ගොඩයෑමට හොඳ සාධකයක් කරගෙන තිබේ. එය නම් කැතවැඩක් බව කිව යුතුය. එහෙත් සමස්තයක් වශයෙන් ඔවුහු යහපාලනය ”බුදුසරණ වේවා”  යනුවෙන්  බැනරයක් ගැසූ හොර හරක් ලොරියකට සමාන කරති.

එහෙත් ජනාධිපතිවරයා මේ අතරින් සෙමෙන් සෙමෙන් යහපත් ගමනක නිරතව සිටින බවද දක්නට ලැබේ. මහ පොළොවේ ආණ්ඩු විරෝධී හා යූ.ඇන්.පී. විරෝධී බලවේග ගොඩනැඟී තිබෙන්නේ මෙවන් පසුබිමකය. මේ වනවිට ජනාධිපති මෛතී‍්‍ර මේ ආණ්ඩුව තුළ සිටින ජනපි‍්‍රයම චරිතය බවට පත්ව ඇත.

එය හෙට අනිද්දා වන විට තවත් වැඩිවීමට ඉඩතිබේ. ඔහුගේ උත්සාහය කණ්ඩායම් දෙකම එකතු කරගෙන මෙම මැතිවරණයට ඉදිරිපත් වීමය. අගමැතිවරයා පසුගියදා තම කණ්ඩායමට (එ. ජා. ප) කළා යැයි සඳහන් ප‍්‍රකාශයක් මාධ්‍යවල පළවිය. එහි සඳහන් වූයේද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමඟ කරනු ලබන සාකච්ඡා ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් සිදුවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බණ්ඩාරනායකලා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැරදා වෙනත් පක්ෂ පිහිටුවා ගන්නා විටද, එක්සත් ජාතික පක්ෂයට එක්වන විටද ශී‍්‍ර.ල.නි.ප. යේ රැඳී සිටිමින් එම පක්ෂය රැකගත් නායකයෙකි. ජනාධිපති මෛතී‍්‍ර ද ඩාර්ලි පාරේ පක්ෂ කාර්යාලයේ පත්තර පිටු මත සැතපී අතේ පිච්චිය නොමැතිව පාගමන්වල යෙදෙමින් පක්ෂය වෙනුවෙන් පූර්ණ කාලීනව කැප වූ නායකයෙකි.

පසුගිය ජනාධිපතිවරණයට තරග වැදීමට වුවද ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ නැත. ඒ නිසා මේ දෙදෙනාම පක්ෂය වෙනුවෙන් සංවේදීය. මේ නිසා දෙදෙනාටම වෙන් වී තරග කරමින් කණ්ඩායම් දෙකක් මෙහෙයවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු නැත.

”මම ඉතා වගකීමෙන් කියනවා. මොවුන් දෙදෙනාම (මෛතී‍්‍ර හා මහින්ද) ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ දැනට ඉතිරි වී සිටින ශක්තිමත්ම නායකයන් දෙපළයි. මේ දෙදෙනා තුළ ගැබ්ව පවතින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියයි.” ”මේ සාකච්ඡාව සඳහා අප දෙපාර්ශ්වයෙන් හය දෙනෙකු සහභාගි වෙනවා. අපි හය දෙනාගේම අරමුණ මේ රට නැවත ගොඩ ගැනීමට ශී‍්‍ර. ල. නි. ප ය නැවත එකතුකර ගැනීමයි. (03.12.2017 මාධ්‍ය)

මෙය මහින්ද පිලෙන් සාකච්ඡා සඳහා නම් කර සිටින සී.බී. රත්නායක මන්තී‍්‍රවරයා කියන කතාවය.

”අපට සතුටුවිය හැකි තැනකට ආණ්ඩුව ඇවිත් නැහැ.

ආණ්ඩුව සමඟ දිගට ඉන්න  ඕන කියන තැනක අපි නැහැ.’’ (03.12.2017 මාධ්‍ය)

මෙය මෛතී‍්‍ර පිලේ ජ්‍යෙෂ්ඨ ශී‍්‍ර.ල.නි.ප නායකයකු වන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න කියන කතාවය. එසේ නම් මේ දෙපාර්ශ්වයටම එකතුවීමට ප‍්‍රතිවිරුද්ධ සේ පෙනෙන විෂයමූල කාරණා නැතිනම් ප‍්‍රතිපත්තිමය කාරණා ඇති බවක් නොපෙනේ. විෂය මූල කාරණා නොමැති නම් මනෝ මූල කාරණා තිබිය හැකි ද? තිබිය හැකිය. එහෙත් එ්වායින් ජනතාවටත්, රටටත්, පක්ෂයටත් පලක්වන්නේ නැත. දේශපාලන තීන්දු  ගැනීමේදී මනෝමූල කාරණා පදනම් කරගැනීම නම් බොළඳය.

මේ දෙකටම අමතරව මෙතෙක් පැමිණි ගමනේ ආපස්සට හැරිය නොහැකි දේශපාලනික හා වෙනත් කාරණා නම් දෙපාර්ශ්යටම තිබිය හැකිය.

එ් කියන්නේ එකතුවීමට සිදු වී තිබෙන්නේ රෙද්දක් ඇඳගෙන ද නැතුවද?

ඒ තරම් ග‍්‍රාමීයව මෙම ප‍්‍රශ්නය කතා බහ කරගැනීම වැරැදිය. කලක් තිස්සේ ජව වේගයෙන් ආණ්ඩු විරෝධයක් ගොඩනැඟූ කණ්ඩායමක් ඊට ජනතාවද සූදානම් කළ පසු ආණ්ඩුවෙන් ඉවත් නොවන තම සගයන් සමඟ එකතුව තරග කිරීමේ අර්බුදයකට ඒකාබද්ධ විපක්ෂය මුහුණ දෙනවාදැයි කියන්න දන්නේ නැත.

”කරුණාකරල දෙසැම්බර් 31 වැනි දා වෙන කොටවත් ආණ්ඩුවෙන් ඉවත්වන බව කියන්න. අය වැයට විරුද්ධව ඡුන්දය දීලවත් පෙන්වන්න.”

මහින්ද පාර්ශ්වයේ සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වන මහින්ද යාපා අබේවර්ධන මන්තී‍්‍රවරයා සඳහන් කරන්නේ එහෙමය.

”ආණ්ඩුවෙන් ඉවත්වීමේ කොන්දේසි ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂය මස් රාත්තලම ඉල්ලනවා.’’

අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ එකතු වීමට ඒක කොන්දේසියක් කරගන්න එපා කියලාය. ඉන් අනියමින් සඳහන් කරන්නේ මස් රාත්තලින් කොටසක් දැනට ගෙන ඉතිරි ටික පසුව ගනිමු කියලා වාගේය. මේ අතර ජනවාරි 8 වැනිදා ජයග‍්‍රහණයත් සමඟ ජනතාවට පොරොන්දු වූ කාරණා සමඟ, එදා තමා සමඟ පැමිණි යූ.ඇන්.පී. නොවන බලවේග අමනාප කර ගනිමින් සහායට සිටින තම කණ්ඩායම ක්ෂණිකව ආණ්ඩුවෙන් ඉවත්කරවා ගැනීම ජනාධිපතිවරයාටද පහසුවන්නේ නැත. මේ සඳහා ක‍්‍රමානුකූල කාල සටහනක් අවැසි බව පෙනේ. මෛතී‍්‍ර වෙනුවෙන් ඊට සවන් දීමට ඒකාබද්ධ සූදනම් ද?

එහෙත් ඔහු නැවතත් හංසයන් පස්සේ යෑමට නම් සූදානම් නැත. යූ.ඇන්.පීය සමඟ යෝජිත බේරුවල ක‍්‍රමයට (එකලැයිස්තුවකින්)  ඡන්දය නොඉල්ලන්නේ ඒ නිසාය. මෙමගින් ඔහු ක‍්‍රමයෙන් සමීප වෙමින් සිටින්නේ යූ.ඇන්.පී. විරෝධී ඉසව්වටය. එවැන්නක් තම පාක්ෂිකයනට ඒත්තු ගැන්වීමට ජනාධිපතිවරයා වටා සිටින ශී‍්‍ර.ල.නි.ප. නායකයන් පසුගිය සමයේ එතරම් උනන්දුවක් දැක් වූ බවක් නොපෙනේ. ඒ වෙනුවට සමහරුන් අනුගමනය කළේ දිවා කාලේ මෛතී‍්‍ර සමඟ ද රාතී‍්‍ර කාලයේ මහින්ද සමඟද සිටින දවල් මිගෙල් ? දනියෙල් පිළිවෙතකි.

මේ සියලූ තත්ත්වයන් යටතේ ආණ්ඩුව සමඟ 2020 දක්වා ගමන්කර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ”සිරිකොතේ” ඩාලිරෝඩ් ශාඛාව කර ගැනීමට කාට අවශ්‍ය වුවද ජනාධිපතිවරයාට නම් අවශ්‍යතාවක් ඇතිබවක් නොපෙනේ. ඒ නිසා ඔහු කිසිවකු නොහිතන තීන්දු තීරණ ගැනීමටද ඉඩ තිබේ. ඒ කියන්නේ මැතිවරණය අතරතුර තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්කර ගනීද? එහෙම නැත්නම් බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත්වීමත් සමඟ ඉන්දියාවේ අන්නා හසාරේලා හා නවදිල්ලි මහ ඇමැති ගෙජ්ජාවාර්ලා මෙන් යහපාලනික දුෂණ විරෝධී අලූත් ශී‍්‍ර ලංකාවක් හා නව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක් ගොඩනැඟීමේ මැතිවරණ ව්‍යාපාරයකට නායකත්වය දීමද? එකනම් කියන්න දන්නේ නැත.