( හේමලතා ඩී හේවගේ)

වළං කර්මාන්තය සඳහා ප්‍රචලිතව පවතින බිංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඌරාපොත්ත ප්‍රදේශය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ ගම්මානයකි.

අනෙක් සෑම කර්මාන්තයකටම ඇති ප්‍රශ්න සේම  මෙම ගම්මානයේ වැසියෝ ද ප්‍රශ්න ගණනාවකට මුහුණපාමින් මෙම කර්මාන්තයේ නියැලෙන අතර ඔවුහු මේ වනවිට වළං සෑදීමට ගන්නා ප්‍රධාන අමු ද්‍රව්‍ය වන මැටි හිඟයට පිළියමක් සෙවීමට වෙහෙසෙති.  

මැටි බඳුන් නිර්මාණය සඳහා යොදාගන්නා මැටි ගුලියේ සිට වළං පිළිස්සිමට යොදාගන්නා පොල් පිත්තේ, ලෙල්ලේ සිට දහයියා පොත්ත දක්වාම මිල අධික වීමත්, මැටි හිඟවීමත් මැටි කර්මාන්තය කරගෙන යෑමට බාධාවක්ව ඇති බව බිංගිරිය -ඌරාපොත්ත කුඹල් ගම්මානයේ වැසියෝ පෙන්වා දෙති.

අද වනවිට ඔවුන්ට අත්ව ඇති ඉරණම පිළිබඳව  පැවසූ දුක්බර කතාවයි මේ.

 විදුලි  සකපෝරුව භාවිතා කරමින් මුට්ටියක් සාදන අතරවාරයේ  ජේ.ඒ අමරාවති මහත්මිය අප සමඟ මෙසේ පැවැසුවාය.

අපි පරම්පරාවෙන් මේ කර්මාන්තය කරන්නේ. පායන කාලයටයි වැහි කාලයටයි මේ කර්මාන්තය කරන්න ගොඩක් අමාරුයි. අනික හැම මැටි වර්ගයෙන් ම මේ කර්මාන්තය කරන්න බෑ. අවුරුදු කාලේටයි නත්තල් කාලයටයි තමයි අපි හදන මැටි භාණ්ඩ අලෙවි කරගන්නත් පහසු. අනෙක් කාලවලට මැටි භාණ්ඩ අලෙවි කරගන්න අමාරුයි. මේ වෙද්දි අපිට මැටි හොයාගන්නත් අමාරුයි. අපිට මැටි ගන්න දීලා තියෙන කොටසේ මැටි ඉවරයි. අපිට මැටි ගන්න තැනක් දෙනවා නම් ඉතින් හොඳයි. දර කෑල්ලේ ඉඳලම ඉතින් අපි සල්ලිවලට ගන්න ඕන. මිනිස්සු හරි අමාරුවෙන් දැන් මේ කර්මාන්තය කරගෙන යන්නේ.

ඩබ්ලිව්.ඒ.පුංචිහාමි මහත්මියද වසර 45 ක කාලයක සිට වළං කර්මාන්තයේ නිරත වන්නියකි. වළං කර්මාන්තයට අත්ව ඇති ඉරණම පිළිබඳ ඇය මෙසේ පැවැසුවාය.

අපි ඉතින් බොහොම දුක සේ තමයි ජීවත් වෙන්නේ.මම මේ රැකියාව කරන්නේ අවුරුදු 45 ක වෙලේ ඉඳලා.මගේ මහත්තයා මැරුණට පස්සේ මේ රැකියාවෙන් තමයි දරුවෝ තුන්දෙනෙක් උස් මහත් කෙරුවේ. අපිට මැටි ලබාගන්න තමයි මේ වෙද්දි ගැටලු ඇතිවෙලා තියෙන්නේ. අපිට දැනට මැටි ගන්න දීලා තියෙන හරියේ මැටිවලින් වළං හැදුවම වළං බිඳෙනවා. පාලමෙන් අනිත් පැත්තේ මැටි අරන් යනවා උළු හදන්න. ඒ වගේ මැටි අපිටත් දෙනවා නම් හොඳයි. නැත්නම් අපිට වළං හදන්න සුදුසු තත්ත්වයේ මැටි තියෙන තැනකින් මැටි කපාගන්න දෙනවා නම් ලොකු උදව්වක්. අපිට මැටි අඹරගන්න යන්ත්‍ර නෑ. අපේ ගමට මැටි අඹරන යන්ත්‍රයක් දෙන්න පුළුවන් නම් ඒක අපි හැමෝටම ලොකු උදව්වක් සහනයක් වෙනවා .

අයි.මාලනි මහත්මිය ද මැටි කර්මාන්තයේ නිරතවන්නියකි. මේ ඇය පැවසු කතාවයි

මේ ගම මැටි කර්මාන්තයේ නිරත පාරම්පරික ගමක්. දර කෑල්ලේ ඉඳලම සල්ලිවලට අරන් අපි මැටි භාණ්ඩ හදන්නේ. අපිට වෙන මහන්සියේ හැටියට ලොකු ආදායමක් ලැබෙන්නේ නෑ. දැනට අපි මැටි පෝච්චි හදන්නේ ඕකිඩ් පැලවලට හරියන්න. ඉස්සර වගේ ලොකු ආදායමක් අද මැටි කර්මාන්තයෙන් හොයන්න අමාරුයි. පොල් ලෙලි ගණන්, දර ගණන් ඒ හින්දා අපිට මේ වෙනුවෙන් යන වියදම ටිකක් වැඩිවෙලා තියෙනවා. අපිට හොඳ මැටි ලබාගන්න තැනක් දෙනවා නම් ගොඩක් හොඳයි. එදිනෙදා ආදායමක් හොයාගන්න තමයි ගොඩක් දුරට දැන් අපි මේ කර්මාන්තය කරන්නේ. අනික් අතට වයස අපිට දැන් වෙන කරන්න කර්මාන්තෙකුත් නෑ.