ජනවාර්ගික ගැටලුවට විසඳුමක් දීම යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවකි. එහෙත් අද වනවිට එම කරුණ ගැන සංයුක්ත කතාවක් දකින්නට නැත. ඊට මූලිකවම බලපා තිබෙන්නේ ආණ්ඩුවට අවංක දේශපාලන අභිලාශයක් මෙන්ම ඊට අවශ්‍ය නිසි සැලැස්මක් ද නැතිවීමය. ආණ්ඩුව පසුගිය කාලයේ වැඩි සැලකිල්ලක් දැක්වූයේ ජාතික ගැටලුවට වඩා ඊළඟ මැතිවරණය ගැනය. සුළු ප්‍රතිසංස්කරණ කීපයකට සීමා වී දැවැන්ත දේශපාලන පරිවර්තනයකට යන්නට ආණ්ඩුවට නොහැකි වූයේද එහෙයිනි. ජාතික ප්‍රශ්නය මෙන්ම විධායක ජනාධිපති ධූරය පිළිබඳ කතාව ද සිරවීමක ඇති බවක් අපට පෙනෙන්නේ එහෙයිනි. ඇත්ත වශයෙන්ම දකුණේ දේශපාලනයේදී මෙම කතිකා සිදුවුණේ අවංක අභිලාෂයෙන් යැයි මම නොසිතමි. ඒ දේවල් මැතිවරණ දේශපාලනයේ සටන් පාඨ පමණකි. 

මේ ආණ්ඩුව සංයුක්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙනි. ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමෙන් පසු මේ දෙපාර්ශවයටම ජාතිවාදය පරාජය කිරීමට වුවමනාවක් තිබුණේ නැත. ඔවුන් සිතුවේ ජාතිවාදය පරාජය කිරීමට ගොස් තමන්ගේ ඡන්ද ගොඩ නැතිවේ යැයි කියාය. ජාතිවාදයට එරෙහිව මේ ආණ්ඩුව තුළ ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ අතලොස්සකි. එසේ කතා බහ කරන පිරිස ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ සිටියදී ද සිය මතවාදය වෙනුවෙන් පෙනී සිටියෝය. නොඑසේව ජාතිවාදය පරාජය කිරීමට 2015 දී දුන් මැතිවරණ පොරොන්දු නිසා ඉදිරියට විත් කතා බහ කරන ජන වරම වෙනුවෙන් පෙනී සිටින නායකයන් අපට දකින්නට නැත.

සිවිල් යුද්ධයක් පවතිද්දී ඊට පක්ෂ මතවාදයට මෙන්ම විරුද්ධ මතවාදයට ද සමාජයෙහි කිසියම් ශක්තියක් තිබේ. එහෙත් යුද්ධය අවසන් කළ පරිසරයෙහි ඒවා ආමන්ත්‍රණය කිරීම වෙනස්ය. යුද්ධයක් අවසන් වූ පසුව එවැනි දේ බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු යැයි ජන සමාජය සිතන්නේ නැත. යුද්ධය පැවැති සමයේදී සිංහල සමාජයෙන් ද ඊට විරුද්ධව යම් ශක්තිමත් අදහසක් තිබුණේය. භෞතික වශයෙන් එමගින් තමන්ට ඇති බලපෑම ඊට ප්‍රධාන හේතුවයි. එහෙත් ජනවාර්ගික ප්‍රශ්නය මුල්කරගෙන ජාතිවාදය පරාජය කිරීම වැනි දෘෂ්ටිමය කාරණයකදී සිංහල ජන සමාජයෙන් එම තල්ලුව එන්නේ නැත. එනිසා අද වනවිට ජාතිකවාදී ධාරාව දේශපාලනයේදී වඩා ශක්තිමත් වී ඇත. විශේෂයෙන්ම යුදවිරෝධී මතවාදය ප්‍රචලිත කරමින් ජනතාව දැනුම්වත් කිරීමේ නියැළි රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් කලෙක අපේ රටේ පැවැතියේය. අද වනවිට ඒවා තිබෙන්නේ අතිශය නිශ්ක්‍රීය මට්ටමේය. ජාතික ප්‍රශ්නය නමැති කාරණයේදී ඔවුන්ගේ බිම් මට්ටමේ තබා ජාතික මට්ටමේ මැදිහත්වීම් හෝ අද අපට දකින්නට නැත. ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කිරීම, විසඳුම් දීම ආණ්ඩුවේ වැඩක්ය යන අදහස මතුවීම ද මේ නිශ්ක්‍රීයභාවයට තවත් හේතුවකි. එනිසා ජන සමාජයේ බහුජන මතයෙහි වෙනසක් නොකොට ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම තබා ඊට අවශ්‍ය සංවාදයකට ප්‍රවේශය සකස්කරගැනීම පවා මේ මොහොතේ පහසු කරුණකැයි මම නොසිතමි.

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම හිමිවූයේ පාර්ලිමේන්තුවට අදාළ ව්‍යවස්ථානුකූල විධිවිධාන අනුවය. විපක්ෂනායකත්වය දැරීමකට වඩා ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේදී ඔවුන් පෙනීසිටින්නේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවීමටය. දෙමළ ජනතාව ද පෙරළා ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ එයමය. විපක්ෂ නායකත්වය හිමිවීමේදී දෙමළ ජාතික සන්ධානයට වාසිදායක වූයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව නමැති තාක්ෂණික කරුණයි. එසේ හිමි වූ පමණින් දෙමළ ජාතික සන්ධානයට මුළු රටේම ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් නැත. ඒ සඳහා වූ ධාරිතාව හෝ සැලසුම් ඔවුනට නැත. නොඑසේව එය හිමි විය යුතුව තිබුණේ ජාතික වශයෙන් රට පුරා සක්‍රීය දේශපාලන ව්‍යාපාරයකට යැයි මම පෞද්ගලිකව සිතමි. අඩුම තරමින් දෙමළ මුස්ලිම් ජනතාවට ඇති මූලික ගැටලු ගැන සිංහල සමාජයට සන්නිවේදනය කිරීමටවත් දෙමළ ජාතික සන්ධානයට හැකි නොවීම කනගාටුවට කරුණකි. ආර් සම්බන්ධන් මහතාට සිංහල සමාජයෙන් චෝදනා එල්ලවන්නේ රටේ ජාතික ප්‍රශ්න ආමන්ත්‍රණය නොකරන බවටය. ඒ හා සමඟම උතුරේ දෙමළ ජනතාව චෝදනා කරන්නේ සිය මූලික ප්‍රශ්න කතා නොකර ආණ්ඩුව සමඟ සහයෝගිතා දේශපාලනයක නිරත වන බවටය. එසේ බලද්දී දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන පමණක් සම්බන්ධන් මහතා කරන්නේ යැයි නැගෙන තර්කය සාධාරණ නැත. අනෙක් අතට විපක්ෂනායක ධූරය යනු ආණ්ඩුව ක්‍රියාත්මක කරන සියලුම රාජ්‍ය ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හෝ ගෙන එන සියලුම පනත්වලට විරුද්ධ වීම හෝ නොවේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ තිබිය යුත්තේ ප්‍රතිපත්තිමය විවේචනාත්මක බවය. එහෙත් දෙමළ ජාතික සන්ධානයට එවැනි ප්‍රවේශයකට රටේ සෙසු ප්‍රශ්න ගැන අවශ්‍ය සමීප නිරීක්ෂණයක් නැත. උතුරු නැගෙනහිර දෙපළාත මුල් කරගත් දේශපාලනයේ සීමාසහිත බව ඊට හේතුවයි.

දෙමළ ජාතික සන්ධානය මා දකින හැටියට ද සිටින්නේ ආණ්ඩුව සමඟ කිසියම් සහයෝගී දේශපාලනයකය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට දේශපාලනික වශයෙන් විවේචන එල්ල කරන දෙමළ දේශපාලනය ප්‍රධාන පාර්ශ්ව දෙකක් හැටියට හඳුනාගත හැකිය. එක් පාර්ශ්වයක් පැවැති රාජපක්ෂ ආණ්ඩුව සමඟ හිතෛෂී දේශපාලනයක නිරත වූවෝය. අනෙක් කණ්ඩායම තරමක් රැඩිකල් ප්‍රවේශයක් ගත් පිරිසකි. එහෙත් මේ දෙවැනි කී කණ්ඩායම දෙමළ ජාතික සන්ධානයේ වැරැදි දේශපාලන ගමනට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරනු අපට නොපෙනේ. අඩුම තරමින් ජාතික ගැටලුවට සංයුක්ත දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරනු හැකි නම් වටී. නොඑසේව සාම්ප්‍රදායික දේශපාලනයේ තොරොම්බල් කළ දෙමළ ඊළම, ස්වයං නීර්ණ අයිතිය වැනි වචන පුනරුච්චාරණය කිරීමෙන් යහපතක් වන්නේ නැත. කෙසේ වෙතත් කවර සීමාසහිතකම් මධ්‍යයේ වුව ද අදටත් වැඩි මහජන බලයක් උතුරේ තිබෙන්නේ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයටය. දෙමළ ජාතික සන්ධානය තුළ වැඩි නියෝජනයක් ඇති එයට ජනාධිපතිවරණයකදී මහජන ඡන්දය ලැබෙන්නේ දකුණේදී අත්වැල් බැඳගන්නා දේශපාලන බලවේගය මතම නොවේ. ඊටම අනන්‍ය වූ ජනතා බැඳීමක් නිසාය. සරලව කිවහොත් ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කරනු ලබන්නේ දකුණ විසිනි. දෙමළ ජනතාව ඡන්දය දෙන්නේ කාටදැයි තීරණය වන්නේ දෙමළ ජාතික සන්ධානය මතය. එසේ බලද්දී තවමත් දෙමළ ජන මනස හැසිරවීමේ ශක්‍යතාව දෙමළ ජාතික සන්ධානය සතුව ඇති බව කිව යුතුය. 

පළාත් සභාව ද පාර්ලිමේන්තුව ද දේශපාලන වේදිකාය. පාර්ලිමේන්තුවේදී රටේ විවිධ දිශාවල මහජන නියෝජිතයන් සම්මුඛ වූව ද පළාත් සභාවේදී මුණගැසෙන්නේ ඒ ඒ පළාත්වල පුද්ගලයන්ය. පළාත් සභාව හැදුවේ ද පළාත සංවර්ධනය කිරීමටය. එහෙත් අද වනවිට පළාත් සභාව කෙළින්ම බද්ධ වී තිබෙන්නේ ජාතික දේශපාලනයටය. පළාත් සභාවේ කතා කරන්නේ ජාතික දේශපාලනයේ මාතෘකාය. උතුරු පළාත් සභාව ද සෙසු පළාත් සභාවලින් වෙනස් නොවී කරන්නේ මේ වැඩේය. සී.වී විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමැතිවරයා ද එහිම ගොදුරකි. මා සිතන්නේ එසේ නම් ඔහු යා යුත්තේ පාර්ලිමේන්තුවටය. පළාත් සභා සීමාවේ ජනතාවගේ භෞතික ප්‍රශ්න අමතක කර ජාතික දේශපාලන ප්‍රශ්න කතා කිරීමට පළාත් සභාවත් එහි කාලයත් පාවිච්චි කිරීම අපරාධයකි. සී.වී විග්නේෂ්වරන් මහතාට ලංකා සමසමාජ පක්ෂයෙන් කළ ආරාධනය ගැන ඇතැම්හු පුදුම වෙති. එහෙත් එය සැලකිය හැක්කේ බරපතළව සිතිය යුතු කරුණක් හැටියට නොවේ. එය කාලයක් තිස්සේ අතරමං වී සිටි පිරිසක් ඊයේ පෙරේදා අතරමං වූ පිරිසකගෙන් පාර ඇසීමක් වැනිය. දකුණේ දේශපාලනය කරන ඕනෑම අයෙකුට උතුරේ දේශපාලනය කරන පිරිස්වලට මේ පරිද්දෙන් ආරාධනා කළ හැකිය. එහෙත් වඩා වැදගත් වන්නේ ඔවුන්ට දකුණේ දේශපාලනයෙහි කොයිතරම් දේශපාලන බලයක් තිබේදැයි කියාය. දකුණේ ජනතාව අතර දේශපාලනික වශයෙන් ස්ථාවර නොවී සිදුකරන දෑත් දිගු කිරීමේ දේශපාලනයට ප්‍රායෝගිකව කිසිදු වෙනසක් කළ නොහැකිය. 

උතුර මත මිලිටරිමය ආධිපත්‍යයක් පවත්වාගෙන යන්නේ යැයි පැවැති රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල වූ නමුත් වත්මන් ආණ්ඩුවට එල්ලවෙන චෝදනාව වන්නේ උතුරේ හමුදා කඳවුරු අඩු කරමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන්නේය යන්නයි. එහෙත් මෙම චෝදනා හුදු චෝදනා වශයෙන් ගෙන සැලකීමෙන් දේශපාලන චිත්‍රය නිවැරැදිව අවබෝධ කරගැනීමට අපට හැකිවන්නේ නැත. මේ චෝදනා නැගෙන්නේ පාර්ශ්ව දෙකකිනි. යුදමය තත්ත්වයක් නැති පරිසරයකදී හමුදා කඳවුරු අඩු කිරීම ස්වාභාවික තත්ත්වයකි. යුද්ධයක් පවතිද්දී සකස් කළ යාන්ත්‍රණ යුද්ධයක් නිමා කළ පසුව නඩත්තු කිරීමට කිසිදු ශිෂ්ටසම්පන්න රාජ්‍යක් කටයුතු කරන්නේ නැත. අනෙක් අතට රටක ජාතික ආරක්ෂාව තීරණය වන්නේ හමුදා කඳවුරු සංඛ්‍යාව මත නොවේ. හමුදා කඳවුරු සංඛ්‍යාව තර්කයක් ලෙස භාවිත කරන්නෝ බොහෝවිට උතුරේ ප්‍රශ්නය ජාතිවාදී ප්‍රවේශයකින් ආමන්ත්‍රණය කරන්නෝය. එහෙත් එම තර්කයෙහි කිසිදු හරයක් නැත. හමුදා කඳවුරු අවම කළ පමණින් හමුදාවට යෙදිය හැකි ආරක්ෂක විධි විධාන අවම වන්නේ නැත. එයින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ ද නැත.

ජනවාර්ගික ප්‍රශ්නය වනාහි ආණ්ඩුවේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රශ්නයක් නොව සමස්ත රටේම ප්‍රශ්නයකි. අනෙක් අතට දකුණට එය වෙනම ප්‍රශ්නයකි. එනිසා ඊට විසඳුමක් සෙවිය යුත්තේ සමගි සන්ධානයෙන් සාකච්ඡාවෙන් මිත්‍රශීලී ප්‍රවේශයකිනි. නොඑසේව ආණ්ඩුවෙන් දෙන විසඳුමක් දෙමළ ජාතික සන්ධානය පිළිගැනීම ප්‍රශ්නයේ නිමාවක් නොවේ. එසේ සිතීමම වැරැදි දෘෂ්ටියකි. ජනවාර්ගික ගැටලුව යනු යටත්විජිතහරණයත් සමඟ රාජ්‍යක් හැටියට ශ්‍රී ලංකාව විකාශනය වීමේදී හටගත් වාර්ගික ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොදීමෙන් හටගත් ගැටලුවකි. එය දැන් තිබෙන්නේ සංකීර්ණ තත්ත්වයකය. යුද්ධයේ නිමාවත් සමඟ 2009 දී ඊට විසඳුම් සෙවීමට වෙනස් ප්‍රවේශයක් සමග වෙනස් අවස්ථාවක් උදාවිය. එහෙත් එය ජාතිකවාදී දේශපාලන සටන් පාඨ හමුවේ යටපත් වූයේය. පැවැති රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම දෙමළ දේශපාලන කණ්ඩායම් ද ඊට වගකිව යුතුය.

යුද්ධයකින් පසුව යුද්ධමය පරිසරය යථාවත් කර එම ජනතාවගේ ජීවිත නඟාසිටුවීම අනිවාර්ය කාරියකි. එයට රාජ්‍යමය මැදිහත්වීමක් අවශ්‍යයය. මෙම භෞතික සංවර්ධන කාර්යයත් ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමත් එකක් නොව වැඩ දෙකකි. මෙම කාරණා දෙක පටලවා ගත යුතු නැත. පාලම් බෝක්කු හැදිය යුත්තේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් දීමෙන් පසුව යැයි කිව නොහැකිය. එය විකාර කතාවකි. එහෙත් ඇතැම් වාමාංශික කණ්ඩායම් එය අර්ථකථනය කරන්නේ උතුරට ධනවාදය සම්මුඛ කිරීමක් හැටියටය. සැබැවින්ම ධනේෂ්වර ආණ්ඩුවකින් උතුරට සිදුකරන්නේ ද ධනේෂ්වර සංවර්ධනයමය. එය උතුරට පමණක් නොව දකුණටය කියා වෙනසක් නැත. එහෙත් ඒ අතරේම මෙකී භෞතික සංවර්ධනය උපරිම කිරීමෙන් ජනවාර්ගික ගැටලුව විසඳෙන්නේ යැයි කවරෙකු හෝ සිතනවා නම් එය ද මුළාවකි. එනිසා මෙම ප්‍රශ්න අප ආමන්ත්‍රණය කළයුත්තේ තර්ක මත පිහිටා කරන දේශපාලනය ගැන අවබෝධයෙන් යුතුවය. මට හිතෙන හැටියට නම් විසඳුම් දීමට වඩා ප්‍රශ්න කාල්ගාන්නට මේ දෙපාර්ශ්වයම කැමැතිය. භෞතික සංවර්ධනය උපරිම කිරීමෙන් උතුරේ ජනතාවගේ මැසිවිලි නැති වී යනු ඇතැයි පිරිසක් බිය වෙද්දී තව පිරිසක් බිය වන්නේ අළු දූලි ගසා දමා දෙමළ ජනතාව ප්‍රජාවක් වශයෙන් නැඟී සිටීමට එය ඉණිමගක් වනු ඇතැයි කියාය. එසේ බලද්දී නම් මේ මහා තර්ක නඟන බොහෝ දෙනා ගැලී සිටින්නේ චින්තනමය දුගීභාවයක බැව් නොකියා බැරිය.

සටහන - බිඟුන් මේනක ගමගේ