හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දි ගෙවීමක් අරභයා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවැති කැබිනට් හමුවේ දී තරයේම ප‍්‍රතික්ෂේප කළේ ය.


”මේ ගැන කතා කරන්නවත් මම ඉඩ තියන්නේ නැහැ” යැයි ඔහු කීවේය. 


කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර තිබූයේ පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය දේවා මනෝහරන් ස්වාමිනාදන් අමාත්‍යවරයාය.


සිවිල් ගැටුමේ දී ජීවිත විනාශ වුනු, තුවාළ ලැබූ සහ දේපළ විනාශ වු අයවලූන් වෙනුවෙන් ඉහළ වන්දියක් ගෙවීම සහ වෙනත් සහන සැළසීම සහ උගත් පාඩම් සහ සංහිදියා කොමිසම් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන පරිදි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දි ගෙවීමේ ක‍්‍රමවේදයක් ඇතිකිරීම, යන්න එහි මාතෘකාව විය.


මෙම නිර්දේශ ප‍්‍රතික්ෂේප කිරීමට තමා කටයුතු කර තිබෙන බවට දෙමළ පුවත්පත් පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් ජනපතිවරයා කණගාටුව පළකළේය. 


එම පුවත්පත් එවැනි වාර්තාකරණයක යෙදී තිබුනේ මීට පෙර සතියේ දී මෙම කැබිනට් පති‍්‍රකාව සාකච්ඡුාවට ගැනුනු අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ලබන සතියට කල්තැබීමට අමාත්‍ය මණ්ඩලයට තීරණය කර තිබූ වාතාවරණයකය. යෝජනාවලියට ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන්නේයැයි එවන් සාවද්‍ය වාර්තාවලින් ජනපතිවරයාට දොස් පවරා තිබිණ.


මේ නිසාවෙන්ම ගෙවුනු සතියේ කැබිනට් රැස්වීමේ දී නැවත වරක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සුදුසු නොවන බව ජනපතිවරයාගේ අදහස වූ අතර, එයට හේතුව වූයේ ඒ හරහා තව තවත් සාවද්‍ය පුවත් වාර්තාවලට ඉඩ සැළසෙන බැවිනි. දැන්, බෙදුම්වාදී අරගලයෙන් පීඩනයට පත්ව සිටින්නවුන්නට ගෙවෙන කුමන හෝ දීමනාවක් වේවා එය තීරණය කැරෙනු ඇත්තේ ඒ සදහාම ඇති කැරෙනු ඇති විශේෂ ව්‍යුහයකිනි.

එම යෝජනාව ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාය.  මේ අනුව සුමන්තිරන්ගේ එකදු හෝ යෝජනාවක් බලාත්මක නොවනු ඇත. එනම් ඒ අරබයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමක් හෝ එම යෝජනා වෙනුවෙන් මුදල් වෙන්කිරීමක් හෝ සිදුකිරීමට, ඇතැම් දේශපාලන ව්‍යුහයන් අදහස් දැක්වූවාක් මෙන්, අවශ්‍ය නොවනු ඇත.

ඉහළ පෙලේ රජයේ ආරංචි මාර්ගයකට අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන්, පෙර සතියේ හෝ ගෙවුනු පසුගිය සතියේ හෝ, එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට හසුව සිය පියවරුන් අහිමි වූ, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් කිසිදු අදහස් දැක්වීමක යෙදී නොමැත.


පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ පියා වූ හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතා 1990 මැයි මස 1 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට හසුව මිය ගියේය. නීතිඥයකු, ගෞරවාන්විත එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු සහ ජනපති අපේක්ෂකයකුද වූ ගාමිණී දිසානායක මහතා 1994 ඔක්තෝබර් මාසයේ දී මරාගෙන මැරෙන බෝම්බකාරිනියකගේ ප‍්‍රහාරයකින් ඝාතනය විය. 2009 මැයි මාසයේ දී එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කැරුනු සටනට නායකත්වය දුන්, දැන් කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සරත් ෆොන්සේකා මහතාද, මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ගෙවුනු සති දෙකහිදීම කිසිදු අදහසක් දක්වා නොතිබීම ද කැපී පෙනේ.


දශක තුනකට ආසන්න කාලයක් දිවූ බෙදුම්වාදී යුද්ධයකට දායකත්වය දුන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම පවුල් වල සාමාජිකයන්ට දීමනාවක් ගෙවීම හෝ නොගෙවීම කෙසේවෙතත්, කණගාටුදායක සහ විශ්වාසකළ නොහැකි කාරණය වන්නේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අනුමැතිය හිමිව තිබෙන බව තහවුරු වී තිබීමය. 


මෙම යෝජනාවලිය, අයිඑස් ත‍්‍රස්තයින්ට, අල් කයිඩා, තලේබාන් හෝ පකිස්තානු තලේබාන් ත‍්‍රස්තයින්ට වන්දි ගෙවීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වනවාක් වැනි විකාරරූපී අමුතු අදහසකි.


ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ යෝජනාවලිය දේශීය මෙන්ම විදේශීය මට්ටමේ යථාර්ථයන් අමතක කැර ඉදිරිපත් කෙරුණකි. 


තත්ත්වය වඩාත් බරපතල වන්නේ පක්ෂ නායකත්වය, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට දීමනා ගෙවීමේ කිසිදු සූදානමක් නැති බවට මාධ්‍ය දැනුම්වත් කිරීම සදහා කැදවනුයේ අදාළ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා නොව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයකු වීම හමුවේය. එක්සත් ජාතික පක්ෂය ඉතාම දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බවට සැකයක් නොමැති මුත්, මෙවැනි පැහැදිලි කිරීම්වලින් සිදුවනුයේ ජනතාව අතරින් දැනටමත් දියව යමින් පවතින පක්ෂයේ විශ්වසනීයත්වය තවදුරටත් වියැකී යාම පමණකි. එසේ වුවද, පක්ෂය විශ්වාස කරනුයේ නැගෙන චෝදනා ප‍්‍රතික්ෂේප කිරීම හරහා එම චෝදනාවලට පදනම් වූ අවස්ථා කිසිවක් සිදුනොවූ බවට හෝ එවැනි කරුණු නොමැති බවට හෝ තහවුරු වනු ඇති බවය.


මෙවන් වන්දි ගෙවීමක් මේසා වැදගත් ගැටළුවක තත්ත්වයට පත්ව තිබෙන්නේ ඇයි?, ගෙවෙන වන්දිය කුඩා හෝ විශාල හෝ වුවද, එවන් වන්දි ගෙවීමක් හරහා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයින් ගෙන ගිය බෙදුම්වාදී අරගලයට හිමිවන්නේ පදනමක් සහ පිළිගැනීමකි. රජය ඔවුන්ට වන්දි ගෙවීමට සැරසෙන්නේ ඔවුන් කළේ වරදක් බව අමතක කරමින්ද?, 


ඔවුන් අතින්වූ ඝාතන, බෝම්බ පිපිරවීම්, සිවිල් ජනතාව, ආගමික නායකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් මරා දැමීම්, අමතක කැර ද?. ඒ කිසිවක්වත් දෙමළ ඊළම වෙනුවෙන් විමුක්තිකාමී කොටි සංවිධානයේ මතවාදය මත පිහිටා සාධාරණීකරනය කළ නොහැකිය. 


කොටි ත‍්‍රස්තයින් මුල සිටම පෙනී සිටියේ ඊළමක්, නැතහොත් වෙනම රාජ්‍යයක් සදහාය. ඔවුන් වෙනුවෙන් කෙරෙන මෙවැනි වන්දි ගෙවීමක් හමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානයට ශී‍්‍ර ලංකාවේ පනවා ඇති තහනම ඉවත් වන තැනට මාර්ගය සකස් නොවනු ඇති ද?, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ  ඕස්ටේ‍්‍රලියාව වැනි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැනටමත් තහනම් කැර තිබෙන රටවල ප‍්‍රතිචාරය කෙබදු වනු ඇති ද?


ශී‍්‍ර ලංකාවේ නීතියට අනුව අනුමත කරන ලද බලපත‍්‍රයක් නොමැතිව කිසිදු පුරවැසියකුට ගිනි අවි හෝ එම අවි සදහා උණ්ඩ තමන් සන්තකයේ තබාගෙන සිටීමට අවසරයක් නොමැත. නමුත් බෙදුම්වාදී යුද්ධයේ විවිධ අදියරයන්හි දී, එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ ගිනි අවි පමණක් නොව මෝටාර් විදිනයන්, කාලතුවක්කු අවි, යුද ටැංකි නාශක අවි, ආදිය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය, සිය සමුදුරු යාත‍්‍රාවල සවිකැරන ලද බර අවි, ආදිය සමග රිසි සේ නොයෙක් තැන්හි ගියහ. සංවිධානයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශයන්හි කදවුරු අතර තොරතුරු හුවමාරු කරගැනීම සදහා පුළුල් සන්නිවේදන දාමයක්ද ඔවුහු පවත්වාගෙන ගියේ සාමාන්‍ය ශී‍්‍ර ලාංකිකයකුට එවැනි පද්ධතියක් පිහිටුවීම සදහා බලපත‍්‍රයක් ලබාගත යුතුව තිබියදීය.


මෙවන් සාමාජික පිරිසක් හට වන්දි ප‍්‍රදානය කිරීමෙන්, ඔවුන් මෙසේ කළ කී දැ අරභයා පදනම් සහගත බවක් නිර්මාණය නොවන්නේ ද?


අනෙක් ගැටලූව වන්නේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයාට වන්දි ගෙවීමය.
පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට කොටි සංවිධානය උතුරේ බලය තහවුරු කරගැනීමෙන් පසුව, උතුරට යැවුනු ආහාර සහ ඖෂධ බෙදා හැරීමේ දී ප‍්‍රමුඛතාවය හිමිවූයේ එම කොටි සාමාජිකයන්ගේ පවුල්වල අයවලූන්ටය. ඔවුහු මහවිරු පවුල් ලෙස හැදින්විණ. 


මෙම පවුල් අරභයා අමාත්‍යවරයාගේ යෝජනාවලියේ විශේෂ සදහනක් තිබුණද, එල්.ටී.ටී.ඊයට එරෙහිව පෙනී සිට ඒ නිසාම නොයෙක් ආකාරයෙන් පීඩනයට හා දුකට පත්වීමට සිදුවූ, අදටත් කදවුරුවල රැදී සිටින, උන්හිටි තැන් අහිමිව සිටින, සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාවට පළාගොස් සිටින, සාමාන්‍ය සිවිල් වැසියන් ගැන වැඩි සඳහනක් නැත. දේපළ සහ වටිනා දෑ අහිමිවූවෝ ද මේ අතර වෙත්. 


ප‍්‍රමුඛතාවය හිමිවිය යුත්තේ මොවුන් හට බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් ගණනින් ද එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට වඩා අඩුය. නමුත් එවැනි තත්ත්වයක දී පවා අමාත්‍යවරයාගේ යෝජනාවලියෙන් අවධානය යොමු කර තිබෙනුයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ගේ පවුල්වල අයවලූන් කෙරෙහි වීම පැහැදිළි කිරීමට අපහසුය.