යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේ 2015 දීය. ඉන්පසුව මහ මැතිවරණයක් පවත්වා වර්තමානයේ පවතින ආණ්ඩුව පිහිටුවා ගත්තේය. එම ආණ්ඩුවට වසර තුනක් ගෙවී ගොසිනි. 2015 දී යහපාලනය පිහිටුවා ගත්තද කරන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් හෝ එකඟතාවක් පැහැදිලිව පෙනෙන්නට නොතිබුණි. එයට හේතු ද තිබේ. යහ පාලනය පිහිටුවීමට පෙර ගතවූ කාලය තුළ එසේ නැතිනම් 2009 දී යුද්ධය අවසන් වූ දා සිට මේ රටේ ආර්ථිකය වේගවත් ඉදිරි ගමනකට සූදානම්ව සිටියේය. වේගවත් යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ කරුණු දෙකකි. සියයට අටක දහයක පමණ ආර්ථික වර්ධන වේගයක් වසර දහයක් විස්සක් වැනි දිගු කාලයක් පවත්වා ගැනීමේ තත්ත්වය ඉන් එක් කරුණකි. රට මුහුණ දෙමින් තිබූ ආණ්ඩුවේ අය වැය ප්‍රශ්නය, ණය බර සහ ගෙවුම් ශේෂ ප්‍රශ්නය යන ප්‍රශ්න තුන සමථයකට පත්වීමේ තත්ත්වය දෙවැනි කරුණය. මේ කාරණා දෙක එකිනෙකට බැඳුණකි. යුද්ධයේ අවසානය යනු මේ කාරණා දෙකට රට සූදානම් වී තිබූ අවස්ථාවය.

එහෙත් පසුව මේ කාරණා දෙක වඩ වඩාත් උග්‍ර තත්ත්වයට පත්වුණි. යහපාලන ආණ්ඩුව පිහිටුවා ගත්තේ පැහැදිලි වැඩ පිළිවෙළක් ලබාගෙන නොවේ. නැතිනම් එම වැඩ පිළිවෙළ සඳහා අවශ්‍ය කරන එකඟතාව ඇතිව යහපාලන ආණ්ඩුව පිහිටුවේ නැත. ගෙවුණු වසර තුනක කාලයේදී දුටුවේ එහි ප්‍රතිඵලය. මේ කාලයේ විවිධ හොඳ දේ සිදුවුණි. ඒ වගේම රට ආපස්සට ගෙනයන විවිධ දේ සිදුවුණි. මේ සියල්ලේ එකතුව ගත් විට වේගවත් ආර්ථික ගමනක් සම්බන්ධයෙන් තිබූ බලාපොරොත්තුව කඩ වූ ස්වරූපයක් දකින්නට පුළුවන. ඉතිහාසයේ විචර වූ ලොකුම ඉඩ ප්‍රස්ථාව ඇහිරී ගොසිනි.

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් බලනවිට එම අගය සියයට අටක දහයක වේගවත් මට්ටමකට ගෙනා යුතුය. එය ලංකාවට කළ නොහැකි දෙයක් නොවේ. ඒ වගේම එය දිගු කාලීනව පවත්වා ගත යුතුය. මේවා ලංකාවට අපහසු නැත. ආසියාවේ අපට අසල්වාසී රටවල් සමඟ බලන විට මේ කාරණා උදෙසා ලංකාවට තිබෙන්නේ බෙහෙවින්ම හිතකර පරිසරයකි. එහෙත් මේ සම්බන්ධව අප දුටු තත්ත්වයක් තිබේ. ඇතැම් වසරවල ආර්ථික වර්ධන වේගය වැඩි වුවද අවශේෂ කාරණා හේතුවෙන් එය දිගුකාලීනව රඳවාගත හැකි තිරසාර වර්ධනයකට ලංකාවේ ආර්ථිකය එළැඹුණේ නැත. ආර්ථික වර්ධන වේගය එන්න එන්නම දුර්වලවන ස්වරූපයක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. ඒ වගේම දැනට ආර්ථික වර්ධන වේගය පවතින්නේ සියයට තුනක හතරක පමණ ප්‍රතිශතයකය. මේ වසරේදී ද එම අගය සියයට හතර පහ ඉක්මවා යාමට නොහැකි තත්ත්වයක් තිබේ. මේ අනුව බලන විට ආර්ථික වර්ධන වේගය ඉහළට ගෙනඒම පමණක් නොව එය දිගටම පවත්වා ගැනීම යන කරුණු දෙක සම්බන්ධයෙන් රටේ තිබූ බලාපොරොත්තු කඩ වී ඇති බව දකින්නට පුළුවන.

රටේ සාර්ව ආර්ථික ප්‍රශ්නය දෙවැන්නය. ආණ්ඩුවේ අයවැය, ගෙවුම්ශේෂ තත්ත්වය සහ ණය බර එයට ඇතුළත්ය. ආර්ථික වර්ධනය වේගවත් වූවා නම් මෙම ප්‍රශ්න තුනටම තිරසාර විසඳුම් ලැබෙන්නේ එතැනිනි. ආර්ථික වර්ධන වේගය වැඩි වනවිට රටේ නිෂ්පාදනය සහ ආදායම් වැඩිවනු ඇත. එකී වැඩිවීම හමුවේ ආණ්ඩුවේ බදු ආදායම ද වැඩිවනු ඇත. ඒ වගේම ණය බර ප්‍රමාණය අඩුවී යාමට එය හේතුවකි. ආර්ථික වර්ධනයෙන් අදහස් කෙරෙන තවත් කාරණයක් වන්නේ අපනයන ප්‍රවර්ධනයක් ද සිදුවන බවය. ආර්ථික වර්ධනයක් සිදුවන්නේ නිර්යාත ප්‍රවර්ධනයෙනි. මේ දෙක එකට සිදුනොවන්නේ නම් එතැන විශාල ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය නොමැති නම් ගෙවුම්ශේෂ තත්ත්වයත් යහපත් වනු ඇත. එවන් පරිසරයකදී ඩොලරයේ අගය ආරක්ෂා කර ගැනීම ද අපහසු වන්නේ නැත. මේ කාරණා තුනටම අවශ්‍ය තිරසාර විසඳුම් ආර්ථික වර්ධනයෙන් නොලැබුණු නිසා අසීරු ආකාරයට සහ සමහර වෙලාවට කරගත නොහැකි මට්ටමට පත්ව තිබේ. යම් යම් පැලැස්තර අලවමින් ණය ගෙවා ගැනීමටත් අයවැය තත්ත්වය පාලනය කර ගැනීමටත් ඩොලරයේ අගය ආරක්ෂා කර ගැනීමටත් බෙහෙවින්ම අමාරු මට්ටමකින් කටයුතු කරමින් සිටී. ඒ වගේම ඉදිරි වසර දෙකේදීත් මේ අමාරුව තව තවත් වැඩි වන බව පෙනෙන්නට තිබේ.

ණය ගැනීම් පසුගිය කාලයේදී වැඩි කෙරිණ. ණය ගත්තා පමණක් නොව විශාල ව්‍යාපෘති ද ආරම්භ කෙරිණ. වරාය, ගුවන් තොටුපොළ ආදී ව්‍යාපෘති එයට උදාහරණය. ආර්ථික වර්ධනය වේගවත් වූවා නම් යටිතල පහසුකම්වලට කළ ආයෝජන ඒ වෙනුවෙන් යොදා ගැනෙනු ඇත. මේවා අපට තිබෙන ප්‍රාග්ධන සම්පත්ය. ධනය ඉපැයීමට භාවිත කළ හැකි ප්‍රාග්ධන සම්පත්ය. වත්මන් පාලනය බලය ලබාගන්නා විට මේ යටිතල පහසුකම් ගොඩනැඟී තිබුණි. ඇතැම් විට මේවා තවත් වසර දහයකින් පමණ අපට අවශ්‍ය වන දෑ විය හැකිය. එහෙත් අප කළේ එම දේවල් භාවිතයට අවශ්‍ය කෙරෙන ආර්ථික කටයුතු සම්පාදනය නොවේ. ඒ වෙනුවට කළේ වෙනත් දේවල්ය. ගුවන් තොටුපොළක් භාවිත කළේ වී ගබඩාවක් වශයෙනි. වරායත් නාන තටාකයක් වශයෙන් පාවිච්චි වූවාදැයි දන්නේ නැත. මේවා යම් තරමකට හෝ භාවිතයට ගත හැකි ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පසුගිය කාලයේ සිදුවූයේ නැත. ඒ නිසා එම සම්පත් විකුණා හෝ එයින් ගැලවීමට සිදුවුණි.

වත්මන් පාලනය බලයට පැමිණි වහා කළේ කුමක්ද? රටේ ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාපෘති ගණනාවක් එක්වරම නවතා දැම්මේය. මේවායෙන් කළේ ද රටේ ඇතිවීමට තිබූ ආර්ථික ප්‍රගතියට හානියකි. කළ යුතුව තිබුණේ එතැන නතර වී එතැන් සිට පටන් ගැනීමක් මිස කරගෙන පැමිණි දේ කඩාකප්පල් කිරීම නොවේ. එහෙත් කළේ කඩාකප්පල් කිරීම්ය. මේ හරහා සිදුවූයේ රටට විදේශ ආයෝජන ලැබීමට තිබූ අවස්ථාව, ඉඩකඩ වසා ගැනීමකි. සෘජු විදේශ ආයෝජන මේ නිසා අහිමි වුණි. ආර්ථික වර්ධන වේගය දුර්වල කර ගත්තේ ආයෝජනයට තිබූ ඉඩකඩ අහුරා ගැනීමෙනි. මේ පසුබිම යටතේ ගොඩනැඟී ඇති යටිතල පහසුකම්වලින් ගත හැකි ප්‍රයෝජන ගැනෙන්නේ ද නැත. ආයෝජකයන් පැමිණෙන්නේ ද නැත.

එහෙත් ණය ගෙවීමට සිදුව තිබේ. ආර්ථික වර්ධනය කර ණය ගෙවීමට නොහැකි නම් ණය ලබාගෙන ණය ගෙවීමට සිදුවනු ඇත. ණය ගෙවීමට ණය ගැනීම යනු වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවීමය. ගෙවන්නේ ණය පමණක් නොවේ. පොලිය ද ගෙවිය යුතුය. ඒ වගේම මෑතක් වනතුරුම තෙල් මිල පහළ අගයක තබා ගත්තේය. වැටුප් වැඩි කළේය. රැකියාවලට බඳවා ගත්තේය. තවත් එවැනි දේ වෙනුවෙන් වියදම් කළේය. ණය ගෙවීමට ණය ගන්නවාට අමතරව මෙවන් වියදම් පියවීමට ද ණය ගැනීමට සිදුව තිබේ. මේ නිසා පවතින ණය ප්‍රමාණය වගේම තවත් ණය එකතු වී තිබේ. එනිසා රටේ ණය ප්‍රමාණය වැඩිවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. වර්ධන වේගය හීනවන විට සිදුවන්නේ මෙයයි.

බදු පසුගිය කාලයේ කතා බහට ලක් වූ ප්‍රධාන ආර්ථික කාරණාවකි. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්නයට ලබාදෙන පිළිතුරේ දෙපැත්තකි. කාරණා දෙකකි. ර​ටේ පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාම බදු ගෙවිය යුතු බව මාගේ අදහසයි. එය එක් කරුණකි. අප බදු ගෙවන්නේ ඇයි? ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්වීමට අප ගෙවන බිල වශයෙන් බදු නිර්වචනය කරන්නට පුළුවන. අප ජීවත් වන්නේ අශීලාචාර හෝ ශිෂ්ට සම්පන්න නොවන තැනක නම් එවැනි සමාජයකදී බදු ගෙවීමක් අවශ්‍ය වන්නේ නැත. මේ කාරණා දෙක තේරුම් ගත්විට බදු ගෙවන්නේ ඇයිදැයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබාගන්නට පුළුවන. මෙයින් අදහස් කෙරෙන්නේ රටේ සියලුම ජනතාවට බියකින් සැකයකින් තොරව ජීවත්වීමට, ආරක්ෂා සහිතව මාර්ගවල ගමන් කිරීමට, තවත් කෙනකුගේ තර්ජන ගර්ජනවලින් ආරක්ෂාවීමට, කුණු රොඩුවලින් තොර පරිසරයක ජීවත්වීමට, මහමග ගමන්කරන විට ඇතිවිය හැකි පිස්සු බලු රෝගය වැනි රෝග වලින් ආරක්ෂා වීමට සහ ශිෂ්ට සම්පන්න සමාජයක අපට අවශ්‍ය කරන මූලික සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව පිළිබඳ තත්ත්වය වැඩි දියුණු කිරීමට ආණ්‍ඩුව බදු මුදල් යොදවන බවය. ශිෂ්ට සම්පන්න සමාජයක ජනතාව වෙනුවෙන් මෙම අවශ්‍යතා සැපිරෙනු ඇත. බදු ගෙවිය යුත්තේ ඒ නිසාය.

මේ කාරණා නිසි ලෙස ඉටු නොවන්නේ නම් එතැන ප්‍රශ්නයකි. පිළිතුරේ අනෙක් පැත්ත එයයි. ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදලින් තම තමන්ගේ හැකියාව සහ බලපෑම් මත තමන්ට කුට්ටියක් කඩා ගැනීම වගකිවයුත්තන්ගේ බලාපොරොත්තුව නම් ශිෂ්ට සම්පන්න සමාජයේ ඇති ශිෂ්ටවත් බව වියැකී යනු ඇත. සමහරුන්ගේ අතට හැන්ද ලැබී තිබේ. ඔවුහු තමන්ට අවශ්‍ය පරිදි බෙදා ගනිති. තවත් සමහරු හැන්ද නැතිව හැන්දක් හදා ගැනීමට මාන බලති. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් සංවිධානය වී ඒ වෙනුවෙන් කැසකවති. මෙවන් ක්‍රියා ගෙවුණු තෙවසරක කාලයේදී අඩුපාඩුවකින් තොරව දක්නට ලැබුණි. කෙසේ වූවත් ශිෂ්ට සම්පන්න සමාජයක සිදුවිය යුතු කාරණා සිදු නොවන්නේ නම් බදු ගෙවන ජනතාවට මතු වන්නේ ප්‍රශ්නයකි. ඒ තමන් බදු ගෙවන්නේ කුමකට ද යන සාධාරණ ප්‍රශ්නයයි.

බදු සම්බන්ධ කාරණයේදී ඉහත කී දෙපැත්තම තිබේ. ආණ්ඩුව බදු ආදායම වැඩි කර ගැනීම බදු පනතක් ගෙනඒම සම්බන්ධයෙන් විවාදයක් නැත. එහෙත් ඒ තුළ යම් යම් දේ එහාමෙහා කිරීම පිළිබඳව නම් දීර්ඝ වශයෙන් කතා කළ යුතුම සහ ප්‍රශ්න සහගත තැන් තිබේ. මූලික වශයෙන් රටක ජනතාව ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්වීමට බදු ගෙවිය යුතුය. ඒ වගේම එම බදු ගෙවීමේ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුය.

ඩොලරයේ අගය රුපියල්වලින් ඇති අනුපාතය මෑත කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්වූවකි. මේ අගය ආරක්ෂා වන්නේ අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයත් අප වියදම් කරන විදේශ විනිමය ප්‍රමාණයත් යන කාරණා දෙකෙහි ගැළපීම් හා නොගැළපීම් මතය. විදේශ විනිමය ලැබීම තිබුණේ බෙහෙවින්ම දුර්වල මට්ටමකය. මෙම ලැබීම් මාර්ග ප්‍රධාන කොටස් දෙකකි. වඩා වැදගත් වන්නේ රුපියලේ විදේශ අගය දිගුකාලීනව තීරණය වන වඩා ස්ථායී විදේශ විනිමය ලැබෙන මාර්ගයි. අපනයන ප්‍රවර්ධනය කළ යුත්තේ එනිසාය. ජාත්‍යන්තර වෙළෙඳ පොළට භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ඉහළ ආදායමක් ලබන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ අපේ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි දියුණු වන බවය. රුපියලේ අගය දිගුකාලීන වශයෙන් ආරක්ෂා වන්නේ එවන් පසුබිමකය. ගෙවුණු වසර 40 තිස්සේම අපට එම මට්ටමට පැමිණීමට තවම හැකි වී නැත. ඩොලරයක වටිනාකම රුපියල් 160 ඉක්මවා ගොසිනි. එසේ වැඩිවීමට හේතුවක් නැත. මෙයින් පෙන්වන්නේ මෙරට අපනයන ප්‍රවර්ධනය දුර්වල වී ඇති බවය.

දිගුකාලීනව එම තත්ත්වය පවතිද්දී කෙටිකාලීනව විදේශ විනිමයේ එහා මෙහා වීම් වලින් ද බලපෑම් එල්ල වී තිබේ. එය දෙවැන්නය. අපේ කොටස් වෙළෙඳ පොළ, සුරැකුම්පත් වෙළෙඳ පොළ සහ ආණ්‍ඩුවේ ණය ගැනීම් මෙයට ඇතුළත් කළ හැකිය. මේ අංශ තුනට ගලා එන විදේශ විනිමය රුපියලේ අගයට බලපෑම් කරනු ඇත. ස්ථාවර වශයෙන් අපනයන මත විදේශ විනිමය ගලාඒම දුර්වල නම් මෙරට විදේශ විනිමය අනුපාත වැඩියෙන්ම ප්‍රතිචාර දක්වන්නේ ඉහත අංශ තුනට ගලාඑන අස්ථාවර විදේශ විනිමය වලටය. ඇමෙරිකාවේ පොලී අනුපාත වෙනස් කරන විට අපේ රටේ විනිමය එක්වරම අවප්‍රමාණය වන්නේ ඒ නිසාය. මෙයට හේතුව මෙරට කොටස් වෙළෙඳ පොළේ සහ සුරැකුම්පත් වෙළෙඳ පොළේ ඇති විදේශ විනිමය ආපසු ගලා යෑමය. ස්ථාවර විදේශ විනිමය ලැබීම් අඩු නිසා නිතර උච්චාවචනය වන විදේශ විනිමය ගලාඒම් මත යැපීමට සිදුව තිබේ. මෙය දිගුකාලීනව පවත්වා ගෙන යා හැකි තත්ත්වයක් නොවේ. විනිමය අනුපාතය දිගින් දිගටම පිරිහෙන්නා සේම වරින්වර කඩා වැටීමක් පෙන්නුම් කරන්නේ මේ හේතුවෙනි.

රටේ නිෂ්පාදනය වැඩිවීම යනු රටේ ආදායම් වැඩිවීමය. නිෂ්‍පාදනය, ඵලදායීතාව වැඩි නොවී, අනෙක් අංශවල නිමැවුම, කාර්යක්ෂමතාව වැඩි දියුණු නොවී රටේ ආදායම් වැඩි වේයැයි විශ්‍වාස කරන්නේ නම් එය මිථ්‍යාවකි. රටේ නිෂ්පාදනය අවශ්‍ය පමණට වැඩි වන්නේ නැත්නම් ආදායම් වැඩිවීමක් වන්නේ නැත. මේ අනුව මිල ගණන් වැඩිවීමට සාපේක්ෂව ජනතාව බලාපොරොත්තු වන ආකාරයට දරාගැනීමේ තත්ත්වයක් ඇති වන්නේ නැත. මිල ගණන් වැඩි වුවද ජනතාවගේ ආදායම් වැඩි නොවන බව එහි අදහසය. තම ආදායම් වැඩි නොවන බව දැනෙන විට හැකියාව අැති අය වර්ජන කරනු අැත. රාජ්‍ය ආයතන උදාහරණයකි. එහෙත් රටේ බහුතරයට මෙය දරාගැනීමට සිදුවනු අැත. ඒ ඔවුන්ට එය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නැති නිසාය.

තෙවසරක ගමනේ යම් යම් සාධනීය ලක්ෂණ තිබේ. හොඳ අණපනත් දැකගත හැකිය. වංචා දූෂණ ආදිය ගැන ද අවධානය යොමුව තිබේ. ඒවා අපට ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් ආර්ථික සමෘද්ධිය, සංවර්ධනය යන කරුණ ගත්විට ලබාගත හැකි මට්ටමේ තිබූ සංවර්ධන වේගය ලබාගෙන නැත. මීට වඩා වේගයෙන් ඉදිරියට යාමට තිබූ අවස්ථාව අහිමි වූ බව මගේ මතයයි.

සටහන
චමින්ද මුණසිංහ