ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කිරීමේ ශුභාරංචිය අප පුවත්පත මේ නොබෝදා වාර්තා කළේය. එය ශුභාරංචියක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි අන්දමට ඉහළ ගොස් ඇති සමයක මෙයින් කිසියම් සහනයක් ලැබේය යන උපකල්පනය මතය.

ලෝක පරිමාණයෙන් දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඩොලරය ඉහළ යන වේගයට අනුව රුපියල බරපතළ ලෙස අවප්‍රමාණ වී තිබේ. එය සමස්ත ආර්ථික දේහයටම දැනෙන තත්ත්වයකි. මෙම පරිසරය තුළ උද්ධමනය වැඩිවීම වැළැක්විය නොහැකිය. මෙම ආර්ථික ආපදාවේදී බඩු මිල අඩු කිරීමක් සම්බන්ධව විශ්වාස කිරීම නොකළ යුත්තකි. අනෙක් අතට දියුණු ආර්ථික ක්‍රමවේදය වන්නේ බඩු මිල පහත හෙළීම නොව ජනතාවගේ ආර්ථික තත්ත්වය හා හැකියාව ඉහළ නැංවීමය. එහෙත් එබඳු දියුණු ආර්ථික ක්‍රමවේදයක් තවමත් අප රට තුළ ක්‍රියාත්මක නොවේ. විශේෂයෙන්ම සුබසාධන රාජ්‍යයක වැසියෝ ලෙස මෙරට ජනයා ගෙඩි පිටින් සහන බලාපොරොත්තු වෙති. අඩු මිලට ආහාර ද්‍රව්‍ය මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම රට කරවන ඇත්තන්ගේ පරම වගකීමක් යැයි ඔවුහු සිතති. ඉන්ධන මිල පහළ දැමීම ශුභාරංචියක් වන්නේ එම පරිසරය තුළය.

මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණාවක් තිබේ. එනම් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මෙන්ම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන්නේ ක්ෂණිකවමය. උදාහරණය බස් ගාස්තුය. ඉන්ධන මිල ඉහළ දැමූ සැණින් බස් ගාස්තුව ඉහළ නැංවීමේ මෙහෙයුම ඇරැඹේ. ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමඟ අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම බලාපොරොත්තු විය යුත්තකි.

කරුණු කාරණා වැරැදි වූවද ඉන්ධන මිල පහත දැමූ විට ඒ වේගයෙන් ආහාර ද්‍රව්‍යවල හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල පහත වැටීමක් සිදු නොවේ. ඒ සඳහා කෙළවරක් නැති සිහිකැඳවීම් කිරීමට සිදුවේ. විමතිය දනවන තරමේ කාලයක් ගතවේ. එයින් සිදුවන්නේ ඉන්ධන මිල පහත දැමීමේ වාසිය සමාජයේ එක්තරා පිරිසකට පමණක් සීමා වී එම වාසිය සමාජයේ බහුතරයක් වූ පොදු මහජනතාවට අහිමිවීමය. එය නොතකා සිටිය යුතු නැති තත්ත්වයකි.
මෙරට සාතිශය බහුතරයක් ජනයා ආර්ථික පීඩනයෙන් මිරිකෙමින් ජීවත් වෙති. ඒ ජනයාගෙන් බහුතරයකට ඇති ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කාටද, අලුතෙන් එන ව්‍යවස්ථාව ​ෆෙඩරල් ද නැද්ද යන්න නොව වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවාගන්නේ කෙසේද යන්නය. තම දූ පුතුන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේද යන්නය. විදුලි බිල, ජල බිල ගෙවන්නේ කෙසේද යන්නය.

මෙබඳු ප්‍රශ්න ගොඩක සිරවී, එම ප්‍රශ්නවලින් දැවෙමින් ජීවත් වන මිනිසාගේ එකම උරුමය අතෘප්තිය වේ. පුරවැසියා ජීවත් විය යුත්තේ තෘප්තියෙනි. ආත්මාභිමානයෙනි. එම තත්ත්වය තුරන් වූ විට පුරවැසියා තුළින් දිස්වන්නේ ප්‍රචණ්ඩත්වය වේ. සමාජය අභ්‍යන්තරයෙන් ප්‍රදර්ශනය කෙරෙන වියරු බවට සැහැසි බවට ප්‍රචණ්‍ඩත්වයට එයත් එක් හේතුවකි. පවුල් පිටින් නරා වළක වැටීමට තරම් තත්ත්වයකි. එබඳු සමාජයක සන්සුන් සංහිඳියාවක් ඇතිවන්නේ නැත. සාමය සතුට රැඳෙන්නේ නැත. විනාශය මිස අන් කිසිවක් උරුම වන්නේ නැත. මරණ බිය සොර බිය තවාන් කෙරුණ සමාජයක සාමය, සතුට නිර්මාණය වන්නේ ද නැත.

සර්වාලංකාරයෙන්ම සාර්ථක වූ සමාජයක් මිහිපිට නැත. ඕනෑම සමාජයකට කලින් කල විවිධ අර්බුදවලට අභියෝගවලට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් ඒවා මැඬගෙන, පාලනය කරමින් සමාජයක් වශයෙන් ඉදිරියට යා යුතුය. එයට සමාජය තුළ සාමූහිකත්වය ආරක්ෂා වී තිබිය යුතුය. සමගිය තහවුරු වී තිබිය යුතුය. එහිදී ඒ සියල්ලම රැඳී පවතින ප්‍රබලතම සාධකයක් බවට ආර්ථික ස්ථාවරත්වය හා ආර්ථික සමෘද්ධිය පත්වෙයි.

ඉන්ධන මිල පහත වැටීම ශුභාරංචියක් වූවත් ඒ හා බැඳුණු ක්‍රියාකාරීත්වයක් නොවුණහොත් එම ශුභාරංචියෙන් සමාජයට ලැබෙන අලුත් ජවයක් නැත. බලධාරීන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ එයය.