පේසාලෙන් තෙල් එනතුරු ආණ්ඩුව විසුරුවන්න එපා යැයි කියමින් පෙළපාළි ගිය පිරිසක් එදා විසූහ. මැයි පෙළපාළිවල “මැතිනිය (සිරිමාවෝ බණ්ඩාරනායක) කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්” යැයි වෙරිමතින් සටන් පාඨ කීවෝ ද මේ ගනයේම අය වූහ. එහෙත් පේසාලෙන් අද වනතුරුම තෙල් ආවේ නැත. සිදුවූයේ වසර දෙකකින් මැතිවරණය කල් දැමූ බණ්ඩාරනායක මැතිනියගේ 1970 සමගි පෙරමුණු රජය 1977 දී අන්ත පරාජයකට පත්වීමය. මැතිවරණ කල් දමන අයට අදටත් මෙය හොඳම පාඩමකි.

එදා එහෙම වුව ද මන්නාරම් ද්‍රෝණියේ අපට අයත් කලාපයේ ඛනිජ තෙල් නිධි ඇති බව මේ වනවිට විද්‍යාත්මක පර්​යේෂණ මගින් තහවුරු වී තිබේ. ඒවා හාරා අවුස්සා තෙල් ලබාගන්නා දිනය කවදා කෙසේ උදාවන්නේ දැයි අද දවසේ පැවැසිය නොහැක.

ඒ දවස උදාවන තුරුම අපට ඇවැසි සෑම තෙල් බිඳුවක්ම පිටරටින් ගෙන ඒමට සිදුවේ. ගෑස් ද එසේමය. මේ නිසා කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද තෙල් හා ගෑස් පිටරටින් ගෙන්වීම අනිවාර්යයෙන්ම කළ යුතු කටයුත්තකි. ‘සියරට දේ සිරි සැප දේ’ යනුවෙන් අන්තවාදීව බෙරිහන් දෙන අය වුව ද තෙල් මගින් හෝ ගල් අඟුරු ඇසුරින් නිපදවන විදුලිය වෙනුවට ‘කැකුණ ඇට එළියෙන්’ රැය පහන් කිරීමට සූදානම් නැත. මේ නිසා විදුලිය නිපදවීම වෙනුවෙන් ද ඛනිජ තෙල්, ගෑස් හා ගල් අඟුරු පිටරටින් ආනයනය කළ යුතු අත්‍යාවශ්‍ය භාණ්ඩ බවට පත්ව තිබේ. එසේම ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඒවායේ දේශීය මිල තීරණය කිරීමට ද අපට සිදුවේ. මෙය සිහිබුද්ධියක් ඇති ඕනෑම කෙනෙක් පිළිගන්නා සත්‍යයකි. ඛනිජ තෙල් ආනයනයේ දී ඒ සඳහා බදු එකතු කිරීම ද සාමාන්‍යයෙන් ඕනෑම රටක සිදුවන්නකි. ඉන් රටේ සංවර්ධනය සඳහා ද යම් මුදලක් එකතු වේ. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතුය. මේ ආණ්ඩුව නොකරන්නේම ඒකය.

වැදගත් වන්නේ මෙම බදු මුදල සාධාරණ මට්ටමකට ගෙන එමින් කටයුතු කිරීමය. ඛනිජ තෙල් මිල වැඩි වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීට පසුගියදා සොයා බැලීමට සිදුවූයේ මේ සම්බන්ධයෙන් පැවැති හිතුවක්කාර ප්‍රවේශය නිසාය. මෙවන් කාර්යයකදී මිල සූත්‍රයක් අත්‍යවශ්‍යය. එය ජනතාව දැනගත යුතුය. මේ වනවිට ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට රජය එළැඹ තිබේ. එහෙත් මිල සූත්‍රය තවමත් ජනගත වී නොමැත.

 මේ වනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිලේ මධුසමය අවසන් වෙමින් පවතී. 2014 දී බොරතෙල් බැරලය (බ්‍රෙන්ට්) රු. 99.68 හා 104.53ට අලෙවි වූ මට්ටමේ සිට පසුගිය සමයේ 2015 ඇ.ඩො. 53.75ට, 2016 දී 32.23ට, 33.63ට හා 2016 ජුනි 49.82ට අලෙවි වූ අවස්ථා ද දක්නට ලැබේ. (2015, 2016 මහ බැංකු වාර්තා) පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මෙ. ටොන් 1ක් 2015 ඇ. ඩොලර් 542.61ට අලෙවි වූ අතර 2016 වනවිට ඇ. ඩොලර් 434.62 දක්වා අඩුවෙන් අලෙවි වූ අවස්ථා ද දක්නට ලැබුණි. එහි වාසිය ජනතාවට නොලැබුණා නොවේ. එහෙත් මිල සූත්‍රයක් පැවැතියේ නම් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය වන චිත්‍රය මීට වඩා වෙනස්ය. එය යහපාලනයට ද වැදගත්ය. කොතරම් මුදලක් සංවර්ධනයේ නාමයෙන් ආණ්ඩුව උපයාගත්තා ද යන්න ද පැහැදිලි වනු ඇත.

ඛනිජ තෙල් හා ගෑස් පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපොළ විවිධ හේතූන් නිසා මිල මට්ටමේ වෙනස්කම්වලට භාජන වෙමින් පවතින බව අපේ රටේ දේශපාලනය කරන අය නොදන්නවා නොවේ. එසේම මෙය ලොවින් තුරන් වී යෑමට නියමිත දිනෙන් දින සංචිත අඩුවෙමින් පවතින බලශක්ති විශේෂයකි. මේ නිසා විකල්ප බලශක්ති කෙරෙහි වසරින් වසර ලොවේ අවධානය වැඩිවෙමින් පවතී. මීට අදාළ පර්යේෂණ කලක සිටම සිදුවන්නකි. සෑම වසරකදීම මේ පිළිබඳව පැවැත්වෙන විවිධ සමුළුවලට සහභාගී වන අපේ රටේ දේශපාලනඥයන් හා නිලධාරීන් මේ වනවිට වැයකර ඇති ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණනකි. එම මුදලේ තරමටවත් වැඩ නැත. තවමත් කැපී පෙනෙන යමක් සිදුවන බවක් නොපෙනේ. ගිනිසීරියා ගස් පන්තියකින්, හුදකලා සූරිය කෝෂ කීපයකින් මෙහි ඇති බොරුව වසා තැබිය නොහැක. ශ්‍රී ලංකාව තවමත් ගැම්මකින් යුතුව විකල්ප බලශක්ති ක්ෂේත්‍රයට යොමුවී නොමැති රටකි.

ආනයනික බොරතෙල් ප්‍රමාණය වසරින් වසර ඉහළ අගයක් ගැනීමෙන්ම මෙය පැහැදිලි වේ. මේ වනවිට අපේ රටේ ඉන්ධන ආනයනය සමස්ත අපනයනයෙන් 15%කි. මෙය සිදුවෙමින් පවතින්නේ විදේශීය ආයෝජන හා අපනයන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට නොලැබෙන පසුබිමකය. තෙල් මිල අඩුවෙමින් පවතින පසුබිමකය. මිල අඩුවීමේ වාසිය ද තෙල් හා වෙනත් ආනයනය වැඩිවීම නිසා වාෂ්පවෙමින් පවතී.

මේ අතර පොදු ප්‍රවාහන සේවයේ දක්නට ලැබෙන්නේ ද කඩාවැටීමකි. ජනතාව තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගැනීමට කුඩා වාහන සමඟ මාර්ගවලට පැමිණෙති. 2013 මෙරට පෙට්‍රල් භාවිතය ලීටර් මිලියන 825කි. එහෙත් 2017 එය ලීටර් මිලියන 1700 දක්වා වැඩි වී තිබේ. 2013 දී පෙට්‍රල් වාහන කි. මීටර් මිලියන 1524ක් ධාවනය වනවිට 2017 දී එය කි. මීටර් මිලියන 3100 වැඩි වී තිබේ. 2017 වසරේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් වාහන ආනයනය සඳහා විදේශ විනිමය ලෙසින් අප වැයකර තිබේ. මෙය රජයේ ආනයන වියදමින් 10%ක ප්‍රතිශතයකි. පොදු ප්‍රවාහනය බිඳ වැටී ඇති පසුබිමක ජනතාවගේ පෞද්ගලික ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් වැඩි වැඩියෙන් ඉන්ධන ආනයනය කිරීමට රජයට සිදුවී තිබේ.

මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පිළිගත් පරිදි රටේ ජනගහනයෙන් හතරෙන් එකක් (1/4) දුප්පතුන් වෙමින් පවතින පරිසරයකය. රටේ ආර්ථික වර්ධනය (2017) සියයට 3.1 දක්වා අඩුවී තිබෙන පරිසරයකය. ‘ග්‍රාමශක්ති’, ‘ගම්පෙරළිය’ හා ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා’ වැඩසටහන් ලහි ලහියේ ක්‍රියාවට නැඟෙමින් පවතින්නේ ග්‍රාමීය දරිද්‍රතාවේ ප්‍රශ්නයට විසඳුමක් ලෙසින් බව පෙනේ.

රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වනවිට දේශීය මිලේ වෙනස්කම් ඇතිකර අප තවමත් පසුගිය පාලනයට වඩා අඩුවෙන් තෙල් සපයනවා යැයි පම්පෝරි ගැසීමට නොවේ. දේශපාලන වශයෙන් එහි තර්කයක් තිබිය හැකිය. කතාවත් ඇත්තය. මීට වසර දෙකකට පෙර බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 45කි. වසරකට පෙර ඇ.ඩො. 49කි. අද නම් ඇ.ඩො. 74කි. 2014 දී පැවැති මිල 109කි. ඒ නිසා පැරැණි පාලනයට ද තර්කයක් තිබේ. මේ තර්කවලින් ඵලක් නැත. රටට ආනයනය කරන ඉන්ධන ප්‍රමාණය අඩු කරන, විකල්ප බලශක්ති සොයා යන, අධික වාහන භාවිතය පාලනය කරන, පොදු ප්‍රවාහන ක්‍රමය ශක්තිමත් කරන, ජාතික ප්‍රතිපත්තියකට අප යා යුතුය. එවන් දීර්ඝකාලීන සැලැස්මක් රටකට තිබිය යුතුය. මේ කලාපයේ අනෙක් රටවල් සූදානම් වන්නේ එවන් වැඩපිළිවෙළකටය. අප තවමත් එම රටවල් හා සැසඳීමේ දී පසුගාමීය. ‘එදාවේල ටුවර්ස්’ ක්‍රමයක නිරතවෙමින් සිටින බව පෙනේ.

මේ අතර තවමත් මිල සූත්‍රයක් ප්‍රකාශයට පත්කර නොමැති ඉන්ධන මිලේ වැඩි වීමේ බලපෑම සමාජයට දැනෙන්නට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කරන හතරෙන් එකට එය දැඩිව දැනේ. පෙට්‍රල් මිල රු. 8කින් වැඩි වනවිට ත්‍රීවීලර් රියැදුරෝ වෙනදා කිලෝ මීටරයට අය කළ මුදලට රු. 10ක් එක් කරති. මේ නිසා ඔවුන් අමතරව උපයාගන්නා මුදල රු. 300ක් රු. 350ක් පමණ වේ. පාන් හැර සියලුම බේකරි නිෂ්පාදන රු. 5කින් වැඩි කරන බව බේකරි හිමියෝ තර්ජනාත්මක ස්වරූපයෙන් පුවත්පත් සාකච්ඡා පවත්වති. සත්‍ය කතාව දැනටමත් සමහර බේකරි හා කෑම ද්‍රව්‍ය අලෙවි කරන්නන් බේකරි කෑමවලට රු. 5ක් වැඩිකර අවසන්ය. පිටි කිලෝ එකක් රුපියල් 5කින් වැඩි වනවිට බනිස් ගෙඩියක්, වෙනත් බේකරි කෑම ද්‍රව්‍යයක් රු. 5කින් වැඩි කිරීම ගසාකෑමකි. මේ ගසාකෑමෙන් ඔවුන් උපයාගන්නා මුදල අදාළ මිල වැඩිවීමට සාපේක්ෂව විසිතිස් ගුණයකින් යුක්තය. තේ කෝප්පයක මිල රු. 5කින් වැඩි වනවිට සීනි කිලෝ එකකින් සාදාගත හැකි තේ කෝප්ප ගණන හා ගසා කෑම සිතාගත හැකිය. පොළේ හෝ කඩපිලේ වෙළෙන්දියකගෙන් මුකුණුවැන්න මිටියේ මිල විමසන පාරිභෝගිකයෝ, බනිස් ගෙඩියේ, මුළු පාන් ගෙඩියේ මිල නොවිමසති. අපේ අය පුරුදු වී සිටින්නේ එහෙමය. එම සම්ප්‍රදාය ද වෙළෙන්දෝ තම වාසියට හරවාගෙන සිටිති.

ඉන්ධන මිල වැනි සංවේදී විෂයයන් පිළිබඳව තීරණ ගැනීමේ දී සැමවිටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගන්නා මෙන් ද ජනතාව නොසලකා හැරීම නොකළ යුතු යැයි ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා දැඩිව සඳහන් කරන්නේ මේ නිසාය.

මේ කිසිවක් ගැන ජීවන වියදම් කමිටුව හා පාරිභෝගික සේවා අධිකාරිය සොයා බලන බවක් නොපෙනේ. තෙල් මිලට මෙන්ම පාරිභෝගිකයා ගසාකෑම වෙනුවෙන් ද මිල සූත්‍ර කීපයක්ම අවැසිව තිබේ. බුර බුරා නැඟෙන ජීවන වියදම් ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම කටයුතු කරමින් සිටින්නේ ගෑනු ලමිස්සියක් ගෙටවෙලා සිටින ආකාරයට වාගේය. ජනතා ප්‍රශ්න අරබයා සංවේදී නොවන ලෙඩේ ඔවුන්ට ද බෝවෙමින් පවතිනවා දැයි කියන්න දන්නේ නැත. හිටපු ජනාධිපතිවරයා හා සම්බන්ධ ‘නිව්​යෝක් ටයිම්ස් හෙළිදරව්වෙන්’ හා මත්කුඩු වැටලීම්, මරණීය දණ්ඩනය පිළිබඳ කතිකාවකින් මේ සියල්ල වසාගැනීමට ආණ්ඩුව කල්පනා කරන්නේ නම් ඒ සියල්ල කෙටිකාලීනය.
ආණ්ඩු පෙරළි සිදුවන්නේ විපක්ෂයේ තිබෙන හොඳකමටම නොවේ. බලයේ සිටින ආණ්ඩු ඊටත් වඩා ජනතාවට එපාවීම නිසා ඇතිවන විරෝධය නිසාය.