හිරාන් ප්‍රියංකර ජයසිංහ                  

          
කලපුවේ පතුල හාරමින් ජීවත් වීමට මට්ටි සොයමින් දුක්ඛිත ජිවිතයක් ගත කරන ලදුන් පිරිසක් පිළිබඳව කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ දී දැකගත හැකි විණි. 


ජූනි මාසයේ ආරම්භ වන වාරකන් සමය දෙසැම්බර් දක්වා පුත්තලම සිට මන්නාරම හරහා මුහුදු කලාපයට දැඩි ලෙස බලපාන්නේ මුහුදේ  රළු වීමත් සමඟය.


මේ කාලය තුළ ධීවරයින් මුහුදු  යාම යම් තරමින් නවතා දමන අතර ඒ හේතුවෙන් බොහෝ පිරිසකට තමන් දෛනිකව උපයා ගත් ආදායම සම්පුර්ණයෙන් අහිමි වී ධීවර රස්සාවෙන් ජීවත් වු පිරිස් වෙනත් විකල්ප රැකියාවන් සොයමින් විවිධ ප්‍රදේශ වෙත යාම සිදුවෙයි. මෙය සෑම වසරකම පවතින තත්වයයි. 


මේ තත්වය කන්දකුලියේ ධීවර රස්සාවේ නිරත වුවන්ටද පොදුය. මේ නිසාම කන්දකුලියේ ධීවර කාන්තාවන්ට එකම පිහිටට ඇත්තේ ඉච්චන්කාඩු කලපුව පමණි. ඉච්චන්කාඩු කලපුව වපසරියෙන් හෙක්ටයාර්  25 කට වැඩි විශාල නොමැති පුංචි කලපුවක් වන අතර මෙය කන්දකුලිය ධීවර ගම්මානයේ සිය කන්දකුලිය මෝය දක්වා කිලෝමිටර් දෙකකට වැඩිදුරක් ඇදී යයි. එසේම මෙහි පළල මීටර් 500 කට ද වැඩි නැත .


මේ කලපුවේ මට්ටි සොයමින් ජීවිකාව කරගෙන යන පවුල් ප්‍රමාණය 100 කට ආසන්නය . තම දරුවන් පාසල් වෙත යවා උදෑසනම කලපුවට පැමිණෙන ධීවර කාන්තාවන් සවස් වන තුරුම කලපුවේ බැස මට්ටි සොයමින් ජීවත් වීම සඳහා දැවැන්ත අරගලයක නිරතව සිටින ආකාරය දුක්මුසුය. මේ ඒ පිළිබඳව අදහස් දක්වන එම කාන්තාවන්ය. 


මේරි මංගලිකා මහත්මිය  තමන් කලපුවේ පතුල හාරමින් මට්ටි සොයන අතර තුර මෙසේ කථාබහට එක්විය.


“ මේ බලන්න මහත්තයේ අපේ අත් ඇගිලි පුරුක් ගෙවිලා ගිහින් කලපුව හාරලාම . මේ කලපුවත් නැත්නම් අපි හාමතේ මැරිලා යනවා ඒ තරමට අපි අසරණයි . අපි උදේම ඇවිත් මට්ටි සොයමින් කලපුව හාරනවා. ඒ මට්ටි භාජනවලට දාලා තම්බලා මස් කිලෝව රුපියල් 350 ත් 400 ත් අතර මුදලට දෙනවා දවසම මහන්සි වුණත් කිලෝ දෙකක් විතර තමා හොයා ගන්න පුළුවන් ඒ ලැබෙන මුදලින් තමයි මේ කාලයේ පවුල් ආරක්ෂා කර ගන්නේ දරුවෝ පාසල් යවා ගන්නත් ඕනෑ. ඒ මුදලින් මොනවා කරන්නද අපි අන්ත අසරණයි ඇය දැස් වලින් ගලා ආ කදුළු බිදු පිස දමමින් පැවසීය.