දේශපාලන වශයෙන් කිසියම් අර්බුදකාරී පරිසරයක් මේ වනවිට රට තුළ නිර්මාණය වී තිබේ. එය තනිකරම ජනවාරි 8 වෙනසට පිටුපාමින් පැමිණි ගමනක් විසින් නිර්මාණය කරනු ලැබූවකි. ආණ්ඩුවේ නායකයන් දෙදෙනා අතර විරසකය කැබිනට් සංශෝධනයකින් පිරියම් කරන තැනකට තල්ලු විය. එහෙත් අවසානයේදී කන්දක් විළිලා වැදූ මී පැටියකු ලෙසින් එකී සංශෝධනයෙන් හෙළිදරව් වෙමින් තිබෙන්නේ මේ නායකයන්ගේ පටු දෘෂ්ටිවාද පෙරමුණු කරගත් බලලෝභී දේශපාලනයයි. 

කැබිනට්ටුව පත්කරන විට පාලකයන් සිතන්නේ රටේ ප්‍රගතිය ගැන නොවේ. සෑම ආණ්ඩුවකටම පාහේ මේ රෝගය පැවැතියේය. නායකයන් සිතන්නේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැතිකම් දෙන්නේ කොහාමදැයි කියාය. හිතවතුන්ට ඇමැතිකම් දෙන්නේ කොහොමදැයි කියාය. මහජනතාව අපේක්ෂා නොකරන මෙම ක්‍රමවේදයේදී ඇමැතිකම් ප්‍රදානයට කිසිදු නිර්ණායකයක් අවශ්‍ය නොවේ. ඊට විද්‍යාත්මක පදනමක් ද නැත. අධ්‍යාපන හා මහාමාර්ග විෂය, වයඹ දිසාව සංස්කෘතිය විෂය ඒකාබද්ධ වන්නේ ඒ ලෙසිනි. ඇමැතිකමක් ප්‍රදානය කිරීමේදී මූලිකවම සැලකිය යුත්තේ අදාළ තැනැත්තා විෂය හැසිරවීමට තරමේ උද්‍යෝගයකින් පසුවෙනවාද යන්නයි. 

එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක් ද? ඇවිදගැනීමටවත් පණ නැති, වාක්‍ය දෙක තුනක් කතා කිරීමට නොහැකි මිනිසුන්ට ඇමැති තනතුරු ප්‍රදානය කිරීමයි. ඒ අතින් බලද්දී ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් නමැති පිරිසක් නම් කර වෙනම කාර්යාලයක් පිහිටුවා දී ඔවුන් පසෙකට කිරීම මහින්ද රාජපක්ෂ කළ හොඳ වැඩකි. 

එක්සත් ජාතික පක්ෂයෙහි අතිශය දක්ෂ තරුණ මන්ත්‍රීවරු ගණනාවක්ම වෙති. එම පිරිස අනාගතයේදී පක්ෂයේ ඉහළට එන්නට නම් නියෝජ්‍ය ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හැටියට වැඩ කර අත්දැකීම් තිබිය යුතුය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙස එම පිරිසට එවන් අත්දැකීමක් ගැනීමට අවස්ථාව දෙන්නේ නැත. ඊට හොඳම උදාහරණය වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණ ජය ලබා අංක එකට පත් වූ බුද්ධික පතිරණ නමැති තරුණ මන්ත්‍රීවරයාගේ කතාවයි. 

බුද්ධික පතිරණට අංක එකට එන්නට හැකිවුණේ තම හැකියාවෙන් ප්‍රදේශවාසීන් වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් කළ නිසාය. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකයාට ඔහු සමඟ ඇති පෞද්ගලික ආරෝව නිසා ඔහුට නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නට තරම් වත් කාරුණික වන්නේ නැත. අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු වූ අවස්ථා දෙකේදීම බුද්ධිකගේ නම කැපුණේ එහෙමය. බුද්ධික  උගත් දක්ෂ කාර්යශූර තරුණයෙකි. එවැන්නෙකුට තැනක් නොදෙන්නේ ඇයි? සාගල රත්නායක යනු ඇත්තවශයෙන්ම දේශපාලනිකව ගතහොත් අවලංගු කාසියකි. 

අහෝසි වූ චරිතයකි. දේශපාලන වශයෙන් විවේචන රැසක් ලැබූවෙකි. එහෙත් කැබිනට් සංශෝධනයේදී ඔහුට ලබාදුන්නේ කුමක්ද? තරුණ කටයුතු අමාත්‍යාංශයයි. තරුණ කටයුතු අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයේ සිටින දක්ෂ තරුණයකුට දිය නොහැක්කේ ඇයි? අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන්නේ රටේ අවශ්‍යතාවකට හෝ රටේ දියුණුවකට නොවන බව පෙනී යන හොඳම උදාහරණ මේවාය. මේ අමාත්‍ය මණ්ඩල සංශෝධන තනිකරම සිදුවන්නේ නායකයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර මතය. මෙය අතිශයින්ම පිළිකුල්සහගත තත්ත්වයකි. 

බලයට පත් වූ ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ දූෂිතයන්ට හා අපරාධකරුවන්ට දඬුවම් දීමය. එහෙත් නීතිය හා සාමය විෂයෙහිත් අධිකරණය විෂයෙහිත් රාජ්‍ය පාලනය ගෙවී ගියේ ප්‍රගතිශීලී ජනයා අපේක්ෂා කළ වෙනස දකිමින් නොවේ. මට බලයක් තිබේ නම් ඇමැතිවරුන් පස් දෙනෙකු ගෙදර යවන්නේ යැයි මීට වසර එකහමාරකට පමණ පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මේ යථාර්ථය ගැනය. 

මේ ඇමැතිවරුන් කවුදැයි කරුණු සහිතව ලිඛිතවම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් දැන්වීමි. එහෙත් ඒ දෙපළම අප කළ අවධාරණ ගැන ඒ තරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. ඔවුන් ඒ වෙනුවට තෝරාගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සමඟ එකතු වී අපට අපහාස උපහාස කිරීමේ මාවතකි. අධිකරණ ඇමැතිවරයාගේ කාර්යභාරය කුමක්දැයි අවබෝධ කරගෙන ඔහුව ධුරයෙන් ඉවත්කිරීමට අගමැතිවරයාට ගත වූ කාලය වසර තුනකි. නීතිය හා සාමය විෂයයෙහි විශාල පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටි රටක් හමුවේ පළමුවෙන්ම එම විෂය බාරදුන්නේ තිලක් මාරපනටය. ඇවන්ගාඞ් ආයතනයේ නීති උපදේශකයා රටේ නීතිය හා සාමය භාර ඇමැතිවරයා වූ පසුබිමක බැරිම තැන දී යෂ්ටිය බාර කළේ සාගල රත්නායකටය.

 එහෙත් වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන්නට වූ අතර සාගල රත්නායක ඇමැතිවරයා හා පොලිස්පතිවරයා අතර සිදු වූ කුප්‍රකට නිලමේ දුරකථන ඇමතුම විසින් එය සභා සම්මත කරනු ලැබීය. අදාළ නිලමේවරයා අදටත් අත්අඩංගුවට ගෙන නැත. අනෙක් අතට ඊට පෙර නීතිය හා සාමය ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම ද අතිශය උත්ප්‍රාසජනක සිදුවීමකට පාර කැපීය. ඊ ළඟට සිදුවූයේ ඔහු හොර පාරෙන් විදේශ ඇමැති ධූරයට ගෙනඒමය. රනිල් වික්‍රමසිංහ මහතාට තම ගජ මිතුරන්ගෙන් තොරව ඇමැති ධූර ප්‍රදානය කිරීමට කෙනෙකු නොමැතිවීම පුදුම කාරණයකි. 

පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එක හේතුවක් උඩය. ඒ අන් කවරක්වත් නොව, දූෂිතයන්ට දඬුවම් නොකිරීම හා අපරාධකරුවන් නීතිය හමුවට නොපැමිණවීමය. දූෂිතයන්ටත් මිනීමරුවන්ටත් එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදීම ජනවාරි 8 දේශපාලන වෙනසට පාර කැපූ ප්‍රමුඛම සටන් පාඨයකි. වසර තුනක රාජ්‍ය පාලන කාලය පුරාම ජනතාව බලාසිටියේ පාලකයන් දුන් පොරොන්දු ඉටුකරන තෙක්ය. අවසානයේදී ජනතාව තීරණය කළේ පාලකයන් බොරුකාරයන් බවය. තවදුරටත් ජනතාව රවටන්නට පාලකයන්ට බැරිය. 

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යනු මේ රටේ පැවැති යුද්ධය අවසන් කිරීමට කැප වූ යුද හමුදාපතිවරයාය. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට ඔහු ඉමහත් කැපකිරීමක් කළේය. එවැනි අයෙකුට නීතිය හා සාමය අමාත්‍යාංශය බාරදීමට අකැමැති ඇයි? ඊට පැහැදිලි හේතුවක් තිබේ. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කරනු ලැබ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත නඩු කීපයක් සම්බන්ධයෙන් ඉහළම දේශපාලකයකු මැදිහත් වී තිබීමය. එම නඩු ඉදිරියට යන්නේ නම් නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු පවා අත්අඩංගුවට ගැනීමට සිදුවන්නේය. 

තවද රණවිරුවන්ගේ නාමයෙන් කප්පම් ගැනීමෙහි හා මිනී මැරුම්වලට සම්බන්ධ වූ පුද්ගලයෝ දහ දොළොස් දෙනෙක්ම වෙති. මේ සාහසික වළල්ල නීතියේ රැහැනට හසුවෙද්දී එවකට ආරක්ෂක අමාත්‍යාංශවල ඉහළම පුටු හෙබ වූවන්ගේ නම් ගම් ද හෙළිදරව්වීම නොවැළැක්විය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට ද අධිකරණය හමුවේ ඇත්ත කියන්නට සිදුවීමය. එහෙත් මේ සිදුවීම් හමුවේ ජනාධිපතිවරයාගේ ආස්ථානය සම්බන්ධයෙන් දැන් අපට ඇත්තේ පැහැදීමකින් යුතු ස්ථාවරයක් නොවේ. අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද මේ වනවිට සිටින්නේ තමන් ලද ජනවරම අපහරණය කරමිනි. මෛත්‍රිපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයා 2015 ජනවාරි 8 මේ රටේ ජනතාව විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බේරාගන්නට නොවේ. ඔහුව පරාජය කිරීමට සියලුම වැර යෙදූ ශ්‍රී.ල.නි.පයේ පරාභවයට පත් නායකයන් උපදේශකයන් කරගැනීමට ද නොවේ. නීතියට අනුව රට පාලනය කරන්නටය. එහෙත් තමන් නැගි ඉණිමගට පයින් ගසා ජනාධිපතිවරයා යන ගමන අන්තිම නරකය. සිවිල් සමාජය හැටියට අපි මේ තත්ත්වය පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතරෙන් දක්ෂ තරුණ පසුපෙළක් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර තිහකට ආසන්න  කාලයක් රට පාලනය කළේය. එහි සිටින බහුතරයක් මැති ඇමැති පදවි තනතුරු දැරුවෝය. මේ නිසා අලුත් පිරිසක් එකතු වුණේ එක්සත් ජාතික පක්ෂයටය. එහෙත් ඒ අලුත් පිරිසකට තැනක් දෙන්නට එක්සත් ජාතික පක්ෂ නායකයා කැමැති නැත.

 රනිල් වික්‍රමසිංහ රාජ්‍ය පාලන න්‍යාය පත්‍රයට අනුව මේ රට පාලනය කිරීමට හැකියාව තිබෙන්නේ ඔහුගේ ගජ මිතුරන්ට විතරය. මේ නිසා මැති ඇමැතිකම් දැරිය හැක්කේ ද ඔවුන්ට පමණි. එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ දේශපාලන සංස්කෘතියට විසල් බලපෑමක් කළ දේශපාලන කේන්ද්‍රයකි. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකයාගේ පටු සීමාන්තික වැඩ නිසා අද වනවිට එය තිබෙන්නේ අන්තයටම පිරිහුණු තැනකය. තම ගජමිතුරන් සමඟ වූ පැවැත්මක් මිස රටේ හෝ පක්ෂයේ අභිවෘද්ධිය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතක නැත. 

අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිත්වය දීමට විරෝධතා එල්ලවෙද්දී ඔහු අතින් යම් වරදක් වුවහොත් එහි වගකීම තමා බාරගන්නේ යැයි එදා ජනාධිපතිවරයාට පොරොන්දු දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය. ඒ අර්ථයෙන් බලද්දී සදාචාරයක් ඇතිනම් අද ඔහුට නීතිය හා සාමය තියා කිසිදු ඇමැති ධූරයක් දැරිය නොහැකිය. අගමැතිවරයා දැන් වහ වහා ක්‍රියාකළයුත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ව යළි ලංකාවට කැඳවාගැනීමටය. එය කරන්නට නොහැකි නම් රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධූරයෙන් මතු නොව අගමැති ධූරයෙන් ද ඉල්ලා අස්විය යුතුය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව යනු අද වනවිට සමස්ත එක්සත් ජාතික පක්ෂම පිළිකුලට බඳුන් කළ සිදුවීමකි. අගමැතිවරයා දිගින් දිගටම අනුගමනය කරන්නේ මෙවැනි පිළිවෙතක් නම් එක්සත් ජාතික පක්ෂය මීළඟ මහමැතිවරණයේදී නිසැකයෙන්ම වැටෙනු ඇත්තේ දේශපාලන කුණු කූඩයටය. 

විපක්ෂය කැබිනට් සංශෝධනය ගැන කියන කතා දේශපාලන විරුද්ධවාදීන් යැයි කියා සිතා මොහොතකට පසෙකින් තබමු. එහෙත් මේ ආණ්ඩුව හදන්නට මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙක් බිඳී ආ වසන්ත සේනානායක නියෝජ්‍ය ඇමැතිවරයාම මේ කැබිනට් සංශෝධනය අර්ථකථනය කරන්නේ කොමඩියක් කියාය. ආණ්ඩුවක පාර්ශ්වකාර මැති ඇමැතිවරුන් විසින්ම මේ ආකාරයට හෑල්ලු කරන ලද මෙවන් කැබිනට් සංශෝධනයක් ඉතිහාසයේ තිබුණේදැයි මට සැකය. මේ ආණ්ඩුව මෙවන් තත්ත්වයකට පත්වීම ඉතාම කනගාටුදායකය. 

සැබැවින්ම ආණ්ඩුවට මෙවන් ඛේදනීය ඉරණමක් හිමිවුණේ ඇයි? ඒ අන් කවරක්වත් නිසා නොව ජනවාරි 8 වෙනස වෙනුවෙන් වූ අවංක දේශපාලන හැඟීමක් මේ නායකයන් දෙදෙනා තුළම නොවීම නිසාය. ඔවුන් දෙදෙනාගේම අරමුණ සිය පක්ෂ නායකත්වය රැකගන්නටය. මෙය අතිශය බරපතළ දේශපාලන වරදකි. එම දේශපාලන වරදේ අනිටු ප්‍රතිඵලය වන්නේ මේ රටේ නීතිගරුක පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කරන ලද පරාජිත දේශපාලන බලවේගයට යළි දොරටු විවර කරදීමය. සිය විරුද්ධවාදීන් බලයට පත්කරන්නට ක්‍රියා කරන මෙවන් නායකයන් දෙපළක් ලංකා ඉතිහාසයේ කිසිදු දිනෙක සිටින්නට ඇතැයි මම නම් නොසිතමි. 

රාජ්‍ය පාලනයේ හටගෙන ඇති ව්‍යාකූලතා මෙන්ම ජනවාරි 8 ප්‍රතිඥා ඉටුකිරීම වෙනුවෙන් කළ යුතු දෑ ගැන මේ නායකයන් දෙපළම දිගින් දිගටම දැනුම්වත් කිරීමට පසුගිය කාලයේදී සිවිල් සමාජ සංවිධාන කටයුතු කළේය. මේ නායකයෝ දෙපළම පැය ගණනක් තිස්සේ සිවිල් සමාජ හඬට හොඳින් සවන් දුන්හ. එහෙත් අවසානයේදී ගත වූ තෙවසර පුරාම ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කළේ ඒ හඬ එක කනකින් අසා අනෙක් කනින් පිට කළ බවමය. ඇත්තවශයෙන්ම ඔවුන් කළේ සිවිල් සමාජ සංවිධාන මුළාකිරීමය. එය අතිශයින්ම පිළිකුල්සහගත මුළාකිරීමකි. 

සිවිල් සමාජ සංවිධාන නායකයන් සිතන්නේ ජනවාරි 8 ප්‍රතිඥා වෙනුවෙන් ඉදිරි කාලයේදී පවා තවදුරටත් පෙනීසිටින්නට මේ නායකයන් දෙදෙනාට අවස්ථාව තවමත් ඇතැයි කියාය. ඒ වෙනුවෙන් වූ බලපෑම කිසි ලෙසකින් අත්නොහරින්නට අපි කටයුතු කළෙමු. එහෙත් ඊට නායකයන් දෙදෙනා සංවේදී විය යුතුය. මෙපමණ විනාශයක් වී තිබියදීත් ජනපති හා අගමැති තවදුරටත් කටයුතු කරන්නේ සිය පෞද්ගලික න්‍යාය පත්‍ර පෙරටු කරගෙන නම් මේ රටට අවශ්‍ය අලුත් නායකයන් සොයාගැනීම වෙනුවෙන් අපි සංවිධානය වන්නෙමු. 

                                                                                                                                      සටහන - බිඟුන් මේනක ගමගේ