පළාත් පාලන මැතිවරණයේ කටයුතු තවමත් නිමවී නැත. ඡන්ද ප්‍රතිඵලයට මෙන්ම පශ්චාත් මැතිවරණ කටයුතු ද රජයට ගැටලු ගණනාවක් නිර්මාණය කර තිබීම ඊට හේතුවය. පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු පළාත් සභා අමාත්‍යාංශය මගින් කළ යුතුය. ඊට පෙර මැතිවරණ කොමිසමට නිල කාර්යයක්  ඉතිරිව තිබේ.

ඒ ඒ පළාත් පාලන ආයතනවලට පත්වන  මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් පත්‍රයේ පළ කිරීම එම කාර්යයයි. මැතිවරණ කොමිසමට එය කළ හැක්කේ ඒ ඒ දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ සමානුපාතික ලැයිස්තුවෙන් තෝරාපත් කෙරෙන  මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිසමට එවීමෙන් පසුවය. මැතිවරණ කොමිසම ඒ සඳහා කාලයක් ලබාදී තිබිණ. මේ සතිය හෝ ලබන සතිය ඇතුළත පක්‍ෂ ලේකම්වරුන් ඒ අභියෝගයට විසඳුමක් දිය යුතුය. 

සමානුපාතික ලැයිස්තු සකස් කිරීමේදී අපේක්‍ෂකයන් සංවිධායකයන් මෙන්ම මැති ඇමැතිවරුන් ගහමරා ගන්නා තත්ත්වයක් ඉකුත් සතියේ නිර්මාණය වී තිබිණ. ඒ තත්ත්වය මේ වනවිට තව තවත් උග්‍ර අතකට හැරී ඇත. ඉකුත්දා කැලණිය ආසනයේ එක්තරා දේශපාලන පක්‍ෂයක සංවිධායකවරයෙක් දැඩි අපහසුතාවකට පත්වූයේය.

සාමානුපාතික ලැයිස්තුවෙන් නම් කර සිටි අපේක්‍ෂකයකු සංවිධායකවරයාගේ නිවසට ගොස් හොඳට දෙහි කැපුවේය. දෙස් දෙවොල් තිබ්බේය.

සංවිධායකවරයාගේ බිරිඳ හා දරුවන්ට ද ඒ නිසා අපහසුතාවකට පත්වන්නට සිදුවීය. කෙසේ හෝ තමාට බෝනස් මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි බල කළේය. මේ අතර කොළඹට ආසන්න ප්‍රාදේශීය සභාවකට කාන්තාවන් පත් කිරීමේදී ගැටලුවක් මතුව ඇත. ආසන සංවිධායකවරයාට අවශ්‍ය අපේක්‍ෂිකාවන් පත් කිරීමට යන බව කියමින් අනෙක් අපේක්‍ෂිකාවෝ සංවිධායකවරයාට චෝදනා කරන්නෝය. තවත් කතාවක් පැතිර යන්නේ ඇතැම් සංවිධායකයන් කලදුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවටය. රුපියල් ලක්‍ෂ පහකට දහයකට බෝනස් මන්ත්‍රී අලෙවි කරන්නට සූදානම් වන  බවට ද චෝදනා එල්ල වෙමින් පවතී.

තවත් පැත්තකින් මන්ත්‍රීන් පත් කිරීම විහිළුවට ලක්වී ඇති බවට ද චෝදනාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ ඇපයක් රාජ සන්තක වූ ස්වාධීන කණ්ඩායමක සාමාජිකයකුට මන්ත්‍රී ධුරයක් හිමිවන බවය. මේ කතාවේ සත්‍යයක් තිබේනම් මෙය ලෝකයම හිනස්සන සිද්ධියකි. මෙවැනි අඥාන අනුචිත ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදයට නිගාවකි. බාල්දු කිරීමකි. කාන්තා නියෝජනය පිළිබඳව ද උද්ගතවී ඇති තත්ත්වය ශෝචනීය වෙයි. තවත් තැනක ඡන්ද 400ක් පමණ ගත් කෙනකුට ද මන්ත්‍රී ධූර  හිමිවන අවස්ථා නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි. 

ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීන් - ගැසට් කිරීම තවමත් පේනතෙක් මානයක නැත. මේ සම්බන්ධයෙන් මේ අණ පනත් ඉදිරිපත් කළ දේශපාලකයන් මෙවැනි තත්ත්වයක් උද්ගතවේ යයි උපකල්පනය කිරීමට තරම්වත් සවිඥානයෙන් සිටියා දැයි විමසිය යුත්තකි. 
මේ අතර පළාත් සභා අමත්‍යාංශය තීරණය කර ඇත්තේ මාර්තු මස 06 වැනි දින පළාත් පාලන ආයතන ස්ථාපිත කර මංගල රැස්වීම් පැවැත්වීමටය. ආරංචි මාර්ග සඳහන්  කරනුයේ එදිනට එය කළ නොහැකි තත්ත්වයක් ඉස්මතුව තිබෙන බවය. බොහෝවිට පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම් පැවැත්වීම මාර්තු මස මැද හෝ අග සතිය දක්වා කල්යනු ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් මැතිවරණයට තරග වැද ජයග්‍රහණය කර සිටින අපේක්ෂකයන් පවා මේ වනවිට වික්ෂිප්තව සිටින්නේ පළාත් පාලන ආයතනවල කටයුතු ආරම්භ නොවීම නිසාය. කාන්තාවන් මෙන්ම සමානුපාතික ලැයිස්තුවේ සිටින්නෝ දෙළොවක් අතර තනිවී සිටිති. තමන්ට මන්ත්‍රී ධුරයක් හිමිවනු ඇත්දැයි හෝ නැද්දැයි සිතමින් ඔවුහු පසුවෙති. කෙසේ වෙතත් ආණ්ඩුවේ විපක්‍ෂයේ මෙන්ම සුළු දේශපාලන පක්‍ෂවල නායකයන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ නව මැතිවරණ ක්‍රමය ඉතාම අවුල් සහගත බවය. නව මැතිවරණ ක්‍රමය නිසා ඡන්දදායකයන් පවා අවුල් සහගත තත්ත්වයකට පත්වූ බව ද ඔවුහු කීහ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ අදහස ඊට වඩා වෙනස් එකකි. “මේ පාර ප්‍රශ්න ඇතිවුණේ මැතිවරණ ක්‍රමය නිසා නොවෙයි මිනිස්සු ඡන්දය ප්‍රකාශ කරපු රටාව නිසයි. එක පක්‍ෂයකට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනකොට යම් යම් ගැටලු මතුවෙනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියන්නේය.

 මේ අතර රටේ  පවතින අනෙකුත් දේශපාලන ගැටලුව ආණ්ඩුවේ අස්ථාවරත්වයයි. ජාතික ආණ්ඩුව අගමැති ධුරය වෙනස්වීම, අලුත් ආණ්ඩුවක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉකුත් දිනවල පැවැති මහත් ආන්දෝලනාත්මක තත්ත්වය මේ වනවිට පහවගොස් ඇතත් එය සම්පූර්ණයෙන්ම ඉවත්වී නැත. ඇතැම් ඇමතිවරුන් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින්නේ දෙගිඩියාවකිනි. තවත් කිහිප දෙනකුට අවශ්‍යව ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමටය. මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ඇමැතිවරුන් තනි ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ අදහසින්  තවමත් කටයුතු කරමින් හා උපක්‍රම සොයමින් පසුවන බවය.

මහින්ද රාජපක්‍ෂ පිල හා ශ්‍රීලනිප ඇමැතිවරුන්  අතර විටින් විට සිදුවන රහස් සාකච්ඡාවලත් පෞද්ගලික හමුවීම්වලත් අඩුවක් නැතැයි පැවසේ. තවමත් එවැනි දේ දේශපාලන කරළියේ සිදුවන බවක් පැහැදිලිය. මේ අතර ඉකුත්දා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ජනපතිවරයාට නැවත මතක් කර ඇත්තේ අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන  ලෙසය. එවැන්නක් සිදුකරන බවට වාර්තා පළ වුව ද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේද නැද්ද යන්න පිළිබඳව අලුත් වාර්තා පළවූයේ  නැත.

 මේ අතර තවත් දේශපාලන ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් අර අඳිමින් සිටින බවය. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ “අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ඉතා ඉක්මනට අපි අවශ්‍ය කටයුතු කරනවා” කියාය.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි  සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් හෝ හැකියාවක් නැතැයි ඇතැම් නීති විශාරදයෝ පෙන්වා දෙති. ඔවුන්ගේ අදහස වී තිබුණේ අගමැතිවරයා ඉවත් කරන්නේ නම් ඒ සඳහා ඇති එකම ක්‍රමවේදය පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම පමණක් බවය. ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අන්තිම තුරුම්පුව ලෙස එවැනි පියවරක් ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මිළඟට පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. පළාත් සභා මැතිවරණය බොහෝවිට මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ අදහසවී තිබේ. 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත ඇමැති ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එම පනතට අනුව ක්‍රියාත්මක වුවහොත් පළාත් සභා මැතිවරණය ද  පැවැත්වෙන්නේ මිශ්‍ර ක්‍රමයටය. ඒ අනුව කේවල ඡන්ද ක්‍රමය හා සමානුපාතික ක්‍රමය සහිත මිශ්‍ර ක්‍රමය ක්‍රියාත්මක වේ. එම පනතට අනුව ඡන්දයෙන් සියයට 50ක්ද සමානුපාතික ක්‍රමයෙන් සියයට 50ක්ද වශයෙන් මන්ත්‍රීධුර හිමිවේ. 

ඊට අදාළව මේ වනවිට කොට්ඨාසවල සීමා නිර්ණයන් පවා අවසන් කර තිබේ. අදාළ සීමා නිර්ණ වාර්තාව මේ වනවිටත් පළාත් සභා ඇමැතිවරයා අතට  පත්කර තිබේ. පළාත් පාලන කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමට වසර කිහිපයක්ම ගතවිය. එහෙත් පළාත් සභාවල සීමා නිර්ණ කටයුතු මාස හතරක් ඇතුළත නිමකර ඇත. 

ජනාධිපතිවරයා විසින් පළාත් සභා සීමා නිර්ණ කමිටුවක් පත්කර තිබිණ. එහි සාමාජිකයන් සංඛ්‍යාව පස්දෙනෙක් වූහ. සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු මිනුම්පතිවරයකු වූ ආචාර්ය කේ. තවලිංගම්ය. මහාචාර්ය එච්.එස්. හිස්බුල්ලා, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, පී.එම්.සිරිවර්ධන, එස්. විජයසන්දිරන් එම කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වූහ. ඔවුහු ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මකවී පළාත් සභාවල සීමා නිර්ණය කටයුතු නිම කළහ. එහෙත් ඒවායේ ප්‍රායෝගික ගැටලු තිබේදැයි තවමත් හඳුනාගෙන  නැත. මේ අතර  දේශපාලන විචාරකයන් පිරිසකගේ අදහසවී ඇත්තේ පළාත් සභා මැතිවරණය කිසි ලෙසකවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ කැමති නොවනු ඇති බවය. පළාත් පාලන ඡන්දයේදී මතුවූ ගැටලු හේතුවෙන් පළාත් සභා සඳහා ද එම ගැටලු  පටලවා ගතයුතු නැතැයි දේශපාලන පක්‍ෂ නායකයන් කල්පනා කරනු ඇතැයි  ඔවුන්ගේ අදහසය.

 මේ  අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ද ප්‍රකාශයක් කර තිබුණේ පුංචි ඡන්දයේ ප්‍රායෝගික ගැටලු ගැන අවධානය යොමුකරමිනි.

ඔහු කියා තිබුණේ “හොඳම මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමය බව මගේත් අදහසයි. හැබැයි අලුත් ක්‍රමය ද පරණ ක්‍රමය ද කියලා කොමිසමට ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව සම්මත කරන යෝජනා කරන ඕනෑම ක්‍රමයකට ඡන්දය පවත්වන්න අපට පුළුවන්” යැයි දේශප්‍රිය කීවේය.

 මේ අතර මැතිවරණ කොමිෂන් සභාව තවත් කාර්යයකට අත ගසා තිබේ. ඒ පුංචි ඡන්දයේ ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාවක් සකස් කිරීමටය. “ප්‍රතිඵල පිළිබඳ සවිස්තර වාර්තාවක් පොතක් ලෙස සකස් කරනවා. මේ දිනවල ඒකට බරටම වැඩ. එතකොට ජනතාවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අඩුවක් නැතිව බලා කියා ගන්න පුළුවන්” යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 මැතිවරණ ප්‍රතිඵල බාධාවකින් තොරව ජනමාධ්‍යවලට නිකුත් කිරීමට නොහැකිවූ නිසා මුදල් ආපසු ගෙවීමට ද කොමිසම තීරණය කර තිබේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විද්්‍යුත් මාධ්‍යවලින් පමණක් මුදල් අයකර තිබිණ. ප්‍රතිඵල නිකුත් කිරීමේ අවුලෙන් පසුව විද්්‍යුත් මාධ්‍ය කොමිසමට දොස් පවරා තිබුණේ මුදල් අයකළ ද නිසි ක්‍රමවේදයකට ප්‍රතිඵල නිකුත් නොවූ බව කියමිනි.

ඒ අනුව රූපවාහිනී ගුවන්විදුලි හා වෙබ් අඩවිවලට නැවත ඉල්ලන්නේ නම් මුදල් ආපසු ලබාදෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබිණ. ආරංචි මාර්ග සඳහන් කළේ රුපියල් මිලියනයක පමණ මුදලක් ආපසු ගෙවීමට මැතිවරණ කොමිසම සූදානමින් පසුවන බවය.  

කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳව කතාබහක් ඇති වූයේ ඉකුත් සතියේ සිටය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙකුම ඉකුත් සතියේ ප්‍රකාශ කර තිබුණේ ඉතා ඉක්මනින්ම එවැන්නක් බලාපොරොත්තු විය හැකි බවය. සතියක් ගෙවී ගිය ද කැබිනට් සංශෝධනය දිනෙන් දිනම කල් ගියේය. ඊයේ පස්වරුව වන විට ආරංචි පැතිර ගියේ අද දිනයේදී බොහෝ දුරට කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවිය හැකි බවය. මෙවර සිදුවන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී බොහෝ දුරට ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පරිදි සකස් කිරීම මීට ඉහතදී සිදු කෙරිණ. එහෙත් මෙවර එජාපයේ යම් යම් ඇමැති ධුර හා විෂය වෙනස් කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද මැදිහත් වී ඇතැයි පැවසේ.

එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කළේ තරුණ ඇමැතිවරුන්ට ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ ලබාදීමට නායක රනිල් වික්‍රමසිංහ තීන්දු කර තිබෙන බවය. ඒ අනුව හරීන් ප්‍රනාන්දු, ලකී ජයවර්ධන, සුජීව සේනසිංහ, බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රධාන පෙළේ කැබිනට් ඇමැති ධුර සඳහා යෝජනා වී තිබුණු බවට ද වාර්තා පළ විය. මේ වනවිට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ලෙස කටයුතු කරන ඇමැතිවරුන් දෙදෙනෙකුගේ විෂය කප්පාදුවක් වීමටත් දැනට අධ්‍යාපන අමාත්‍යාංශයට එක්කර තිබෙන සංස්කෘතික හා පුරාවිද්‍යා විෂයන් එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමටත් යෝජනා වී තිබුණු බව ද එජාප ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව ජාතික ලැයිස්තුවෙන් පත්ව ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ දෙකක් බාරව සිටින ඇමැතිවරුන් දෙදෙනෙකුට අමාත්‍යාංශ අහිමි වනු ඇතැයි ද එජාප ආරංචි මාර්ග සඳහන් කළේය. එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ විෂයන් තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට බාරදීමට ද නියමිතය.

මෙවර සිදුවන කැබිනට් සංශෝධනයේදී විෂයන් වෙනස් කෙරෙන ඇමැතිවරුන් පමණක් දිවුරුම් දෙන්නේද එසේත් නැතිනම් මුළු කැබිනට් මණ්ඩලයම නැවත දිවුරුම් දෙන්නේද යන්න පිළිබඳව ඊයේ පස්වරුව වනතෙක් පැහැදිලි වී තිබුණේ නැත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කර තිබුණේ කැබිනට් සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන බවය. ඉකුත් මැතිවරණ සමයේදී ඉස්මතු වූ පොහොර ගැටලුව නිසා කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය පළ කළ බවට ජනාධිපතිවරයා කල්පනා කරන බව ද එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණ. පොහොර ගැටලුව ඔඩු දුවන්නට පෙර නිසි පරිදි කළමනාකරණය කර ගත්තේ නම් රජරට ඡන්ද ගොඩ මීට වඩා තරමක් හෝ වැඩි කර ගත හැකිව තිබූ බව ද ඔහු කීවේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ තවත් ආරංචි මාර්ගයක් සඳහන් කළේ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පස්වරුව වන විට ස්ථිර තීන්දුවකින් තොරව පසු වූ බවය.

තවදුරටත් කැබිනට් ඇමැති ධුරයක් බාරගන්නේද නැද්ද යන්න පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා තීරණයකින් තොරව පසුවන බවය. එහෙත් අවසානයේදී ඔහු කුමක් කරන්නේද යන්න පිළිබඳව ඊයේ පස්වරුව වන තෙක් තොරතුරක් අනාවරණය වූයේ නැත.

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට තරග කළ ප්‍රබලයන් දෙදෙනෙකු පරාජයට පත්වීම  සම්බන්ධයෙන් ඔවුන් අයත් පක්‍ෂවල ජ්‍යෙෂ්ඨයන් විශේෂ අවධානයක් යොමුකර තිබිණ. දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ අවස්ථා දෙකකදීම නගරාධිපති ධුරය හෙබ වූ ධනසිරි අමරතුංග තරග කළේ ‘උද්‍යාන’ කොට්ඨාසයටය.

ඔහු අභිබවා එම කොට්ඨාසයට තරග කළ එජාප අපේක්ෂක කේ.ඒ. ප්‍රේමලාල් ජයග්‍රහණය කළේය. එහි විශේෂත්වය වන්නේ එජාප අපේක්‍ෂකයා දේශපාලනයට නවකයෙකු වීමය. හිටපු ජනාධිපතිවරයාට ඉතාම සමීපව කටයුතු කළ ධනසිරි අමරතුංග ඉකුත් මැතිවරණවලදී මනාප සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගත්තේය. ඊටත් වඩා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල ජයග්‍රහණයක් හිමිව තිබෙද්දීත් එම පක්‍ෂයෙන් තරග කළ ධනසිරි අමරතුංගගේ පරාජය ගැන එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් කනස්සල්ලකට පත්ව ඇතැයි ද පැවසේ.

එම නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ඇමැතිවරයකු වන කේසරලාල් ගුණසේකර මෙවර තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය. ඔහු තරග කළේ මධ්‍යම පාන්තික උගත් ඡන්දදායකයන් බහුතරයක් වෙසෙන පිරිවෙණ කොට්ඨාසයටය. ඔහු ද පරාජයට පත්වූයේය. ඒ ගැනද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයෝ පශ්චාත්තාපයට පත්ව සිටිති. තවත් ආරංචි මාර්ගයකින් සඳහන් වූයේ ඔවුන් දෙදෙනාම තමන්ට සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදෙන ලෙස නායකයන්ට බලපෑම් කරමින් සිටින බවය.