දේශපාලන වශයෙන් රට තිබෙන්නේ අස්ථාවර තත්ත්වයකය. එය කවුරුත් පිළිගන්නා ඇත්තකි. අප හේතු විමසිය යුත්තේ මෙකී අස්ථාවර තත්ත්වයට රට පත්වුණේ ඇයිද යන ප්‍රශ්නයටය. මීට සති කීපයකට පෙර පැවැති පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය නිසා මේ අස්ථාවර තත්ත්වය උදා වී යැයි කෙනකුට කිවහැකිය. ආසන්නතම හේතුවක් හැටියට දැක්විය හැකි වුවද වත්මන් අරාජික දේශපාලන පරිසරයට එය එකම හේතුවවත් ප්‍රධාන හේතුවවත් නොවේ.

මෙම අරාජිකත්වයට හේතුව මේ රටේ ප්‍රධානතම නීතිමය ලියැවිල්ල වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩුවකි. දේශපාලන ප්‍රතිසංස්කරණ අරමුණු කරගනිමින් පාලකයන් විසින්ම සිදුකරන ලද ව්‍යවස්ථාමය වෙනසකි.
1978 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙන එන ලද දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ වනවිට දශක හතරක් පමණ වයසය. දශක හතරක් තිස්සේ රට පාලනය කළ මූලික නීතිමය ලියැවිල්ලේ පදනම වුණේ විධායක ජනාධිපති පදවියයි. විධායක ජනාධිපති පදවිය පිහිටුවීම සඳහා ජේ.ආර්.ජයවර්ධන මහතා 1977 දී ලබාගත්තේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක ජනවරමකි.

එනිසා එය කාටවත් ප්‍රශ්න කරන්නට බැරිය. 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා ද පොදු අපේක්ෂකයා ලෙසින් හංසයා ලකුණෙන් ජනාධිපතිවරණයට තරග කළ අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ රැසක සහාය ඔහුට හිමි විය. අවසානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර තීරණාත්මක ජයක් ලබාගත්තේය.

එහෙත් 1978 ට වෙනස්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළේ තම ජයග්‍රහණයෙන් සති කීපයක් ගෙවෙද්දී විධායක ජනාධිපති ධූරයට හිමි වැදගත්ම බලතලයක් වූ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ඔහුට හිමි බලතලය ඉවත් කිරීමය. අද උද්ගතව ඇති දේශපාලන වියවුලට ප්‍රධාන හේතුව මේ බලතල කප්පාදුවයි. තම ධූර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් අර්ථ නිරූපණයක් ලබාගැනීමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව 2020 දී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට අදහස ලැබිණි. එසේ නම් ජනාධිපතිවරයාට තවත් ඇත්තේ වසර එකහමාරක් වැනි කාලයකි. 

සැබැවින්ම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයක් මත පාර්ලිමේන්තුවක් වෙනස් විය යුතු නැත. ජනාධිපතිවරයා අස්විය යුතු ද නැත. එවැනි නීතියක් කොහේවත් නැති අතර එවැන්නක් කිසිවකුත් අපේක්ෂා කරන්නේ ද නැත. එහෙත් පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයේ යථාර්ථය කුමක් ද? රට කරවන ඇත්තන් ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබීමය. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොහොට්ටු පක්ෂයට ලැබුණේ 45% ක ඡන්ද ප්‍රමාණයක් පමණකැයි කියා කෙනකුට තම වාසියට තර්ක කළ හැකිය.

එහෙත් යථාර්ථය ගැන මඳක් සිතා බලමු. මෙවර පළාත් පාලන ඡන්දයට අදියර දෙකකින් නාමයෝජනා බාරගැනිණි. මුල් අදියරේදී මහරගම, වැලිගම, පානදුර, අගලවත්ත, බදුල්ල, මහියංගනය ආදී ප්‍රධානතම ආයතන හයක පොහොට්ටු පක්ෂය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය. දෙවැනි අදියරේදී ප්‍රතික්ෂේප වුණේ ලැයිස්තු පිටිනි. නාමයෝජනා ප්‍රතික්ෂේප වන්නේ තාක්ෂණික කාරණා මතය. එහෙත් එවැන්නක් මැතිවරණයකදී ක්‍රියාකරන්නේ බලවේග දුර්මුඛ කරවන සාධකයක් හැටියටය. සුවිශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 45% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ එවැනි පසුබිමක වීමෙනි. අනුරාධපුරේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව ද එසේ පොහොට්ටුවට නාමයෝජනා අහිමි වූ පළාත් පාලන ආයතනයකි.

එහිදී පොදුජන පෙරමුණේ නායකයන් කළේ අභාවප්‍රාප්ත නාත් අමරකෝන් මහතාගේ නායකත්වය හිමි වූ නාගයාගේ සලකුණෙන් යුත් එක්සත් ලංකා මහා සභාව පක්ෂයට සහාය දක්වන්නැයි පාක්ෂිකයන්ට කීමය. මහරගමදී කළේ යතුරුපැදියට සහාය දක්වන්නැයි කීමය. මහියංගණයේදී සහාය දක්වන්නැයි කීවේ රයිනෝසිරස්ගේ ලකුණෙන් තරඟ කළ ස්වාධීන කණ්ඩායමටය. පාක්ෂිකයන් නායකයන්ට කන් දුන් අතර නාගයාටත් යතුරු පැදියටත් රයිනෝසිරස්ටත් ජය හිමි වූයේය. මේ ස්ථාන තුනේදීම මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම් ආමන්ත්‍රණය කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ හඬට කන් දී විකල්ප කණ්ඩායම්වලට පවා ජයග්‍රහණය හිමි වූ තත්ත්වයක මේ ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින්ම තරග කළේ නම් ජයගනු ඇත්තේ මීට වඩා වැඩි ඡන්ද ගණනකිනි. මෙයින් කියැවෙන්නේ කුමක් ද? ප්‍රධාන නගර කීපයක් හා සුළු ජන ඡන්ද පදනමක් ඇති ප්‍රදේශ හැරුණු විට වව්නියාවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් අම්පාර් සිට මීගමුව දක්වාත් ලංකාවේ සිංහල ජන කොටස් ජීවත් වන හතර දිග් භාගයම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය ලබා දී ඇති බවය. 

ප්‍රතිඵලය ලැබීමත් සමඟ වතුරකරයේදී තවත් දෙයක් සිදුවිය. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක තොණ්ඩමාන් මහතා පැවැසුවේ සිය පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දී ආයතන 11 ක බලය සහයෝගයෙන් පිහිටුවන බවය. එම තත්ත්වය පසුව වෙනස් වුවද කරුණ නම් මෙම ප්‍රතිඵලය සුළු ජාතිකයන් ද පිළිගැනීමය. විශේෂයෙන්ම සිංහලයන් අතර වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතිකයන් නියෝජනය කරන කම්කරු කොංග්‍රසය වැනි පක්ෂ මෙන්ම වෙනත් සුළු ජාතිකයෝ ද ඒ අතර වූහ.

උදාහරණයකට 2015 ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී මාවනැල්ල ප්‍රදේශය ජයගනු ලැබුවේ පිළිවෙළින් පොදු අපේක්ෂකයා හා එක්සත් ජාතික පක්ෂයයි. මාවනැල්ල යනු මුස්ලිම් ජාතිකයන් සැලකිය යුතු පිරිසක් ජීවත් වන පෙදෙසකි. එහෙත් මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි විය. මෙයින් කියවෙන්නේ 2015 රට තිබූ තත්ත්වයට වඩා විශාල වශයෙන් අද වෙනස් වී ඇති බවයි. මුස්ලිම් ඡන්ද බහුතරයක් නොවූව ද සැලකිය යුතු ප්‍රතිශතයක් මහින්ද චින්තනය පිළිගෙන ඇත.

තවද 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී සිංහල කතෝලික ජන කොටස්වල මනාපය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු බව නිරීක්ෂණය වේ. මහමැතිවරණයේදී එම ආසනවල ජය හිමිවූයේ එක්සත් ජාතික පක්ෂයටය. කටාන, මීගමුව, වෙන්නප්පුව, හලාවත, දෙහිවල ගල්කිස්ස, බේරුවල උදාහරණ කීපයකි. එහෙත් මේ කතෝලික ඡන්ද පදනමින් යුත් ආසනවලින් අතිශය බහුතරය මෙවර ජයගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. ඒ අනුව 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි වූ හැට දෙලක්ෂයෙන් සැලකිය යුතු පිරිසක් නැවතත් ඔහු කෙරෙහි ආකර්ෂණය වී යැයි අපට කිවහැකිය. මා මේ කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජය අහස උසට වර්ණනා කිරීමක් නොවේ. මැතිවරණ විද්‍යාත්මක විශ්ලේෂණයක් මගින් ඡන්දදායක චර්යාව නිරීක්ෂණය කිරීමයි.   
මෙය හුදෙක්ම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයක්ය යන්න ඇතැමුන්ගේ විග්‍රහයයි.

එහෙත් ඇත්ත නම් මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය ස්වභාවයෙන්ම තරමක් වෙනස් මුහුණුවරක් ගන්නා බවය. දිගු කාලයකට පසුව තමන්ගේ කොට්ඨාසයට දන්නා කියන වගකියන්නකු පත්කරගැනීම මෙවර මැතිවරණ ක්‍රමය සංවිධානයේ අරමුණ විය. එහෙත් මැතිවරණයේදී වූයේ එය ද? නැත. බොහෝ මිනිසුන් තවමත් කොට්ඨාසයට පත්වූයේ කවුදැයි දන්නේ නැත. කොට්ඨාසයේ බලවත් ජනප්‍රිය චරිතවලට පවා ඇතැම් තැන්වල ලැබී තිබෙන්නේ අතිශය සුළු ඡන්ද සංඛ්‍යාවකි. එසේ වූයේ ජනතාව දේශපාලන පක්ෂය මූලික කරගෙන ඡන්දය භාවිත කළ නිසාය. එයින් නොකියා කියන්නේ පළාත් පාලන ඡන්දය දීපව්‍යාප්ත ඡන්ද විමසීමකට හැරවුණු බවය.

ජන වරම යන සංකල්පය ඉස්මතුවන්නේ මෙතැනදීය. මෙවැනි පසුබිමක 2015 ආණ්ඩුව ලබාගත් ලක්ෂ 62 ක ජනවරම තවමත් සුරැකිව ඇතැයි යමකු කියන්නේ නම් එය ඉතා බොළඳ තර්කයකි. 2015 දේශපාලන වෙනසේ ප්‍රධාන බලවේගය වූ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමින්ම එය පෙනී යයි. 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට 45% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේය. එහෙත් පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණටම ලැබුණේ 32% කි. ඒ, රාවුෆ් හකීම්, දිගම්බරන්, මනෝ ගනේෂන්, රිෂාඞ් බදියුදීන්, පාඨලි චම්පික ආදී තවත් නායකයන් ගණනාවකගේ නායකත්වයෙන් යුත් පක්ෂ කීපයක්ම පෙරමුණු කරගත් සන්ධානයක් සහිතවය.

මහමැතිවරණයට සාපේක්ෂව බැලුව ද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමේ හටගෙන තිබෙන්නේ සුළුපටු පසුබෑමක් නොවේ. මේ තත්ත්වය අනුව තනි එක්සත් ජාතික පක්ෂයට 25% ට වඩා ඡන්ද පදනමක් හිමි යැයි කියන්නට බැරිය. එසේ නම් රටෙන් 75% කගේ මනාපයක් නොමැති තත්ත්වයක් තුළ අනාගතයේදී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සිහිනයක්ම වනු ඇත. 


මෙවැනි විශාල පරතරයකින් යුතු ඡන්දයක් ප්‍රකාශයට පත්වීම ගැන ඇතැමුන් සිටින්නේ විමතියෙනි. එහෙත් මහ පොළොවේ යථාර්ථය අනුව නම් එසේ විමතියට පත්වීමට තරම් දෙයක් මෙහි නැත. ශ්‍රී ලංකාවේ අදටත් වැඩි වශයෙන් ජීවත් වන්නෝ පොල් විශාල වශයෙන් ආහාරයට ගන්නා මිනිස්සුය. ඉතිහාසයේ නොවූ විරූ ලෙස පොල් ගෙඩියක් රුපියල් සියය ද ඉක්මවා ගිය කල රටෙන් සැලකිය යුතු පිරිසකට එයින් ඇති කරන බලපෑම අතිවිශාලය.

අනෙක් අතට මුළු රටටම හොඳින් සන්නිවේදනය වූයේ මහ බැංකුවේ හොරකමක් වී ඇති බවය. හොරු අල්ලන්නෙමියි කියමින් බලයට පත් වූ ආණ්ඩුවකට මේ චෝදනාව එල්ල වනවිට ඊට ඇති බර සාමාන්‍ය ආණ්ඩුවකට වඩා වැඩිය. ආණ්ඩුවට අස්වැන්න ලෙස ලැබුණේ වැපිරූ දෙයයි. අංක ගණිතය මගින් ඡන්දයේ සියයට ප්‍රතිශත පෙන්වමින් හිත හදාගන්නට අවශ්‍ය නම් ආණ්ඩුවකට හැකිය. එහෙත් ඡන්දයේදී තීරණාත්මක වන්නේ ජනතා කැමැත්තයි. 

ආණ්ඩුව මෙවන් ජන අප්‍රසාදයකට පත්වන්නට සෘජුවම බලපෑවේ පසුගිය අවුරුදු තුනේදී තමන්ම කළ කී දෑය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ආණ්ඩුවේ මූලික කටයුත්තක් විය. එහෙත් ආණ්ඩුව ගෙනෙන්නට උත්සාහ කළේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ. විශේෂයෙන්ම එම ව්‍යවස්ථා ක්‍රියාවලියම අවුල්සහගතය. යුද්ධය පැවැති සමයේ යුද්ධයට සෘජුවම සම්බන්ධ වූ රණවිරුවන් ද යුද්ධය මෙහෙය වූ හමුදා නායකයන් හා ආණ්ඩු දෝෂදර්ශනයට ලක් කරමින් ලේඛනයෙහි දේශනයෙහි නියැළුණු පිරිස් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි මුල් පුටුවලට පත්වූහ.

එසේ තෝරාගත් කණ්ඩායමක අදහස්වලින් සමන්විත ව්‍යවස්ථා සම්පාදන යෝජනාවලියක් සකස් කර එය පාර්ලිමේන්තුවට රිංගෙව්වේ ආණ්ඩුවේ කාරියක් හැටියටය. මෙය සිදුකළේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දිෂ්ට මාර්ගයට පිටිනි. මෙය ද මහජනතාවගේ මනාපය ආණ්ඩුවෙන් ඈත්වීමට බලපෑවේය. ආණ්ඩුව කරන්නේ කුමක්දැයි ජනතාවට හොඳින් වැටහේ. ආණ්ඩු සිතනවාට වඩා මහජනතාව බුද්ධිමත්ය. විදෙස් ආධාර ලබන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන බලාසිටින්නේ දේශීය සංස්කෘතියට සභ්‍යත්වයට එරෙහිව අවි අමෝරන්නටය.

රටට නොගැළපෙන මේ ව්‍යාපෘති උස්සාගෙන යන්නට ආණ්ඩුවක් කටයුතු කරද්දී ජනතාව ඊට කැමැති වන්නේ නැත. සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ ආදී පැරැණි වමේ සම්බන්ධයක් මෙවැනි වැඩවලට නැත. එහෙත් අවාසනාවට මෙන් එම දේශපාලන ව්‍යාපාරවල සිට ඛණ්ඩනය වූ ඇතැම්හු රාජ්‍ය නොවන සංවිධාන යාන්ත්‍රණයෙහි ව්‍යාපෘතිධාරීන්ගේ තැනට වැටී සිටිති. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්දයෙන් ප්‍රකාශයට පත් ජනතා අදහස අනුව නම් මෙම නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට යනු ඇතැයි සිතිය නොහැකිය.

මැතිවරණයෙන් පසුව පවා ආණ්ඩුවේ ගමන කිසියම් වෙනසකට ලක්වීද යන්න සැකයකි. මේ සැකය හටගත්තේ අතුරුදහන්වූවන් සෙවීම සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු කොමිසමට පත්කෙරුණු සාමාජිකයන් දෙස බැලීමේදීය. මෙවැනි කොමිෂන් සභා ඇත්තෙන්ම ඉතා වැදගත්ය. එහෙත් ඒවාට පත්කළ යුත්තේ දේශ හිතෛෂීන්ය. නොඑසේව දේශද්‍රෝහීන් නොවේ. දේශ හිතෛෂීන් ඕනෑම පක්ෂයක සිටිය හැකිය. දේශහිතෛෂීහු යනු සුළු ජාතින්ගේ අයිතින් ද රැකගනිමින් රට ඉදිරියට ගෙනයා හැකි පිරිස්ය.

නොඑසේව බහුතරය නොසලකා හැරීමෙන් බහුතරයට එරෙහිව කටයුතු කිරීමෙන් දේශහිතෛෂීන් විය නොහැකිය. මේ රටේ තවමත් සීයට හැත්තෑවකට වඩා ජීවත් වන්නෝ සිංහල බෞද්ධයෝය. බුද්ධාගම රැකගෙන පෝෂණය කළ යුතු යැයි උඩරට ගිවිසුමේ තිබුණ ද නිදහස ලබද්දී කළු සුද්දන්ගේ අවධාරණවලින් එය ගිලිහී ගියේය. එහෙත් අහිමි වූ උරුමයේ වගකීම 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් යළි පාලකයන්ට පැවැරිණි. මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවා බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය එසේම පවත්වා ගත යුතු යැයි පසුගියදා පැවැසුවේ මේ ඓතිහාසික උරුමය ගැන දන්නා නිසාය. අනෙක් ආගම්වලට ද ආරක්ෂාවක් හිමිවන්නේ බුද්ධාගම රැකුණොත් පමණය.

අපට ගුරු උපදේශ දෙන්නට භාවිත කරන ස්විට්සර්ලන්තයේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා සඳහන් වන්නේ සර්වලබලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන් කියාය. ඇමෙරිකාවේ ජනාධිපති පවා දිවුරුම් දෙන්නේ බයිබලයට අත තබාය. එංගලන්තයේ රජු හෝ රැජින දිවුරුම් දෙන්නේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේය. ලෝක පරිමාණයෙන් දැකිය හැකි මේ ඇත්ත අමතක කර අපේ අනන්‍යතාවලින් ඈත්වීම ආණ්ඩුවකට යහපත් නැත. වර්තමාන යහපාලන ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුදයේ පතුලේ තිබෙන්නේ මේ ඇත්තයි. ආණ්ඩුවට විවිධ කතා කියමින් අවශ්‍ය නම් මේ අවුරුදු එකහමාරක කාලය ද ගෙවා දැමිය හැකිය. එහෙත් එයින් රටටවත් ජනතාවටවත් වන සෙතක් නම් නැත. 

  සටහන - බිඟුන් මේනක ගමගේ