(ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්)

නීලහරිත අයවැය, රටේ ණය ආර්ථිකයේ තත්ත්වය, මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අයවැය ඉදිරිපත් කළා යැයි චෝදනා කරන්නේ ඇයි යන කාරණා සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.

ප‍්‍රශ්නය:- යහපාලන ආණ්ඩුවේ නීලහරිත අයවැය සම්බන්ධයෙන් ඔබේ අදහස් කෙබඳුද?

පිළිතුර:- ඉතාමත් අර්බුදකාරී පැහැදිලි දැක්මක් නොමැති අයවැයක් හැටියට මේ අයවැය හඳුන්වන්න පුළුවන්. එහෙම කියන්න කාරණා කීපයක්ම තිබෙනවා. යන දිශාවක් ගැන කිසිම ඉඟියක් නෑ. ඉලක්ක මොනවාද කියා පෙන්නා දීලත් නැහැ. සාමාන්‍යයෙන් මුදල් ඇමැතිවරයෙක් අයවැයක් ඉදිරිපත් කරද්දී පසුගිය වසරෙවලදී කළ දේවල් ගැන කතා කරනවා. ලබාගෙන ඇති ජයග‍්‍රහණ, දී ඇති සහන යනාදිය ගැන කියනවා. ඒවගේ එක වචනයක්වත් මේ අයවැයේ දකින්න නැහැ. එහෙම කියන්න දේවල් නැති නිසා කට වහගෙන සිටියා කියලයි මට නම් සිතෙන්නේ.

එහෙම බැලූවාම මේ අයවැයේ තිබෙන්නේ එකම එක දිශාවක් පමණයි. ඒක තමයි බදු ගැසීම, කොහොමහරි බදු ආදායම වැඩිකර ගන්න, බදු ප‍්‍රතිශතය වැඩිකර ගන්න, බදුවල පුළුල් බව වැඩිකර ගන්න පමණක් මේ අයවැයේ කතා කර තිබෙනවා. 2014 දී සියලූම බදු ආදායම්වල එකතුව රුපියල් ටි‍්‍රලියන එකයි.

2018 දී එය රුපියල් ටි‍්‍රලියන දෙකක් බවට පරිවර්තනය කර ගැනීමට යනවා. අයවැයේ සාරාංශය එතැනම තිබෙනවා. කෙරිල තියෙන්නේ ඔච්චර තමයි. කරන වැඩක් ගැන කියලා නැහැ. අලූත් ව්‍යාපෘති ගැන කතාවක් නැහැ. නීල හරිත කියා කියන්න පුළුවන් එකම එක හේතුවක් තිබෙනවා. කොළපාට පක්ෂයකුයි නිල්පාට පක්ෂයකුයි එකතුවී රටට ගේම් එකක් දෙන අයවැය කිව්වොත් නම් හරි.

ප‍්‍රශ්නය:- මේ අයවැයේ අඩංගු දිගුකාලීන වැඩ පිළිවෙළ ඔබලාට පේන්නේ නැතිද? විචාරකයන් පවා එවැනි වැඩ පිළිවෙළක් ගැන කියනවා?

පිළිතුර:- එහෙම එකක් මේ අයවැයේ තිබෙනවා යැයි කවුරු හෝ කියනවා නම් ඒක හොඳට හංගලා තිබෙන රහසක්. මේ අයවැයෙන් එවන් වැඩ පිළිවෙළක් පේන්න නැහැ. රට ගෙනියන්නේ කොතැනටද කියා අයවැයෙන් කියන්න  ඕනෑ මේ මේ ක්්ෂේත‍්‍රවල මේ මේ අරමුණු තිබෙනවා කියා කියන්න  ඕනෑ. විචාරකයන් කොහොම මේ පිළිබඳ විග‍්‍රහයක් ගත්තද කියන්න දන්නේ නැහැ. වෙන වෙන දේවල් එකතු කිරීමත් පමණක් නම් තිබෙනවා. මේ එකක්වත් ඒකරාශී කිරීමක් නැහැ. අතන අරක කරනවා මෙතන මේක කරනවා කියා කියනවා හැරුණුකොට මේ සියල්ල එකට යන ගමනක් නැහැ.

ප‍්‍රශ්නය:x ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ නමින් මේ රටේ අර්ථිකය නංවාලීමට ගෙන ඇති වැඩ පිළිවෙළ පැහැදිලිව තිබෙද්දී එය ඔබලා දකින්නේ නැතිද?

පිළිතුර:x ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’’ කිව්වාම සාමාන්‍යයෙන් විදේශ ආයෝජකයන්ට ලංකාවට පැමිණ ආයෝජනය කර රටේ ආර්ථිකය නංවා ඒ අයටත් යම් වාසියක් ලබාගන්න පුළුවන් කියන අදහස තිබෙනවා. ඊට අමතරව ලංකාවෙ අයටත් ආයෝජනය කර, ගනුදෙනුකර යම් වාසියක් ආර්ථිකයටත් තමන්ටත් ලබාගත හැකිබව කියැවෙනවා. මුලින්ම අපි ලංකාවෙ ආයෝජකයන් ව්‍යපාරිකයන් ගැන බලමු. ආයෝජකයන් මුලින්ම බලන්නේ මොනවාද? ණයක් ලබාගැනීමේදී පොලී අනුපාතය මොන මට්ටමේද බලනවා. දැන් මේ රටේ පොලී අනුපාතය කීයද?

බැඳුම්කර වංචාව නිසා 2014 තිබූ පොලී අනුපාතයට සාපේක්ෂව අද පොලී අනුපාත සියයට හැටකින් වැඩිවී තිබෙනවා. සියයට දහයක පොලියක් ගෙවූ අයෙක් අද අඩුම වශයෙන් සියයට 16 ක් 17 ක් 18 ක් ගෙවනවා. නිවාස ණය පොලිය සියයට 18 ක් පමණ වෙලා. සමහර තැන්වල සියයට 20 ට පොලිය නැගලා. යතුරුපැදියක් ගන්න ලීසිං පහසුකමක් ගන්නවිට පොලිය තිබුණේ සියයට දොළහට. දාහතරට අද එය සියයට 24 යි. සියයට 26 යි. ණයකාඞ් පොලී අනුපාත සියයට 34 ට 36 ට නැගලා. මේ වගේ වාතාවරණයක් යටතේ කාටද එන්ටප‍්‍රයිස් කරන්න පුළුවන්. ව්‍යපාරයක් කරන්න පුළුවන් කාටද? අවදානම දරුණු ලෙස වැඩිවෙලා.

යම් භාණ්ඩයක් ආනයනය කළ අයකු මුහුණ දෙන තත්ත්වය මොකද්ද? එදා ඩොලරයක මිල රුපියල් 130 යි. අද එය රුපියල් 155 යි. මේ ආකාරයට සෑම පැත්තකින්ම බරපතළ තත්ත්වයක් තිබෙනවා. අලූත් බදු නිසා අලූත් ව්‍යාපාර කිරීම අපහසුවී තිබෙනවා. මේ රටේ සේවා නියුක්තිය 2014 සිට 2016 වනවිට 4,76,000 කින් අඩුවී තිබෙනවා.

රටේ පවතින තත්ත්වය ඒකෙන්ම තේරෙනවා. රටේ යථාර්ථය  ඕක තමයි. එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා කිව්වට දේශීය වශයෙන්නම් ආයෝජනයට යොමුවන වාතාවරණයක් නැහැ. තුන් හතර දෙනෙක් දියුණුවෙලා ඇති. අනෙක් අයනම් දියුණුවී නැහැ.

අනෙක් පැත්තෙන් බලද්දී පිටරටින් එන්නේ කවුද? අද විවෘත කරන සියලූම ව්‍යාපෘති අපේ කාලයේ ආරම්භ කළ ඒවා. ෂැංග‍්‍රිලා විවෘත කළේ කවුද? එක් අලූත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවාද? ඒ නිසා මේ අය කරන බොරුව ජනතාවට වැටහෙනවා. මේ පසුබිම යටතේ ආකර්ෂණීය ලේබල් අලවා ගත්තට මහපොළොවේ එහෙම දෙයක් නැහැ.

ප‍්‍රශ්නය:- ඔබලා මොනවා කිව්වත් මේ අයවැයෙන් ජනතාව මත පීඩනයක් පටවා නැහැනේද?

පිළිතුර:- ඔය කතාව මුදල් ඇමැතිවරයා කියනවා. ඒ වගේම ආණ්ඩුවේ අනෙක් අයත් කියනවා. හැබැයි ජනතාව එහෙම කතාවක් කියන්නේ නැහැ. ජනතාව මත පීඩනයක් නැති බව කියන්න  ඕන ජනතාවයි. අද ත‍්‍රිරෝද රථයක ගියත් බස් රථයක ගියත් දුම්රියක ගියත් ජනතාව කියන්නේ මොකද්ද? ජීවත් වෙන්න අමාරුයි කියලයි කියන්නේ. ජනතාවගෙන් මේ ගැන අහලා බලන්න. එතකොට ඔය පීඩනය සම්බන්ධයෙන් කියාවි. එයට වගකිව යුත්තේ කවුද කියලත් කියාවි. දේශපාලනඥයන්ගෙන් මේ වගේ කරුණු සම්බන්ධයෙන් විමසලා වැඩක් නැහැ. රටේ ජනතාවගේ හද ගැස්ම දන්නේ නැති අයගෙන් විමසුවොත් කියාවි අද ජනතාවට කිසිම පීඩනයක් නැහැ කියලා. රටේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ කියා ඇතැම් අය කියන්නේ ඒ නිසයි. ජනතාව සතුටෙන් ඉන්න බව කියන්නෙත් ඒ නිසයි. මේ අය මොනවා සිතාගෙන සිටියත් ජනතාව මුහුණදී සිටින පීඩනයේ තරම ජනතාව දන්නවා.

ප‍්‍රශ්නය:- එහෙම නම් ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න මොනවාද කියලා කෙළින්ම කියන්න?

පිළිතුර:- ජනතාවට කිසිම ව්‍යාපාරයක් කරගෙන යන්න බැරි තරමට බදු දෙගුණ කරලා. රුපියලේ අගය සියයට 17 කින් අවප‍්‍රමාණය කරලා. මුලින් කිව්වා වගේ පොලී අනුපාත සියයට හැටකින් වැඩිකරලා. ජනතාවට තිබෙන සියලූ යටිතල පහසුකම් අර්බුදකාරී තත්ත්වයට පත්කරලා. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැහැ. රටේ තිබෙන ප‍්‍රශ්න විසඳන්නේ නැහැ.

භාණ්ඩ හා සේවා මිල ශීඝ‍්‍රයෙන් ඉහළ යනවා. සාලාවේ නිවාස කැඩුණු අයට වන්දි ගෙවා නැහැ. ගංවතුරෙන් පීඩාවට පත්වූ අයට නිසි සහන ලබාදී නැහැ. නියඟයෙන් පීඩා විඳි අයට සහන දුන්නාද? විශ‍්‍රාම වැටුප් දෙනවා කියූ රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් නැහැ. ගොවීන්ට තිබූ පොහොර සහනාධාරය කප්පාදු කරලා. මේ සෑම පැත්තකින්ම ජනතාව පීඩාවට පත්වෙලා. මේ ආණ්ඩුවට මේ ප‍්‍රශ්න විසඳන්න බැරි බව දැන් ජනතාව දන්නවා. ඒවගේම තමන්ට මේවා කළ නොහැකි බව ආණඩුවත් දන්නවා.

අවුරුදු තුනකට ආසන්න කාලයක් පළාත් පාලන ඡන්ද කල්දැම්මා. දැමිය හැකි සෑම වෙට්ටුවක්ම එතැනදී ආණ්ඩුව දැම්මා. දැන් යම් කොළ එළියක් පත්තුවී තිබෙනවා. කොළේ වහලා ගහලා පළාත් සභා ඡන්දයත් කල්දැම්මා. මේවා මෙහෙම කරන්න හේතුවක් තිබෙනවා. මේවාට මුහුණදීමට තමන්ට නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගෙන තිබෙනවා. ජනතා මතය මොකද්ද කියන එකත් මේ අය දන්න කාරණයක්. බැලූමක් වතුරයට තෙරපාගෙන දිගුකාලයක් තියාගන්න බැහැ.

ප‍්‍රශ්නය:- බදුවැඩි කළා කියා ඔබ චෝදනා කරනවා. එහෙත් අයවැයෙන් බදු වැඩි කළේ නැහැනේද?

පිළිතුර:- වැඩි දෙයක් බලන්න  ඕන නැහැ. අයවැයේ සාරාංශය බලන්න. රජය බලාපොරොත්තුවන බදු ආදායම පැහැදිලිව එහි සඳහන් වෙනවා. 2018 වසරේදී රුපියල් බිලියන 2039 ක් බදු ආදායමෙන් බලාපොරොත්තු වන බව පැහැදිලිව එහි කියා තිබෙනවා. රුපියල් බිලියන 1050 සිට රුපියල් බිලියන 2039 ට බදු ආදායම වැඩිකර ගන්න විට එය දෙගුණයකට ආසන්නයි. විවිධ ක‍්‍රමවේදවලින් ගන්නේ මේ මුදලයි. මේ මුදල සම්පූර්ණයෙන් ගන්නේ ජනතාවගේ සාක්කුවෙන්.

වෙන කවුරුවත් මේ මුදල් දෙන්නේ නැහැ. තිබෙන සෑම බද්දක්ම වැඩි කරලයි මේ මුදල සොයාගන්න යන්නේ. මෙහෙම බදු එකතු කර රටේ සංවර්ධන වැඩක් කරනවා නම් ප‍්‍රශ්නයක් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව බදු මුදල් ගෙන බලාගාර, වරාය, ගුවන්තොටුපොළ, මාර්ග ඉදිකළා. උතුරු පළාත සංවර්ධනය කළා. මේවා සාධාරණ ද අසාධාරණ ද කියන එක පැත්තකින් තියන්න. හැබැයි ඇහැට පේන්න මේවා කළා.

එහෙත් අද වෙන්නේ මොකද්ද? බදු ආදායම දෙගුණ කළානම් කරන වැඩත් දෙගුණ වෙන්න  ඕනෑ. ඒවුණාට මොකුත් වෙන්නේ නැහැ. එහෙම නම් මේ සල්ලිවලට වෙන්නේ මොකද්ද? බිලියන ගණන් කුලී ගෙවන ගොඩනැගිලිනම් තිබෙනවා. මේවායෙන් ප‍්‍රයෝජනයක් තිබෙනවාද?

ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව ණය, බදු ගන්නේ රාජපක්ෂ කාලයේ ගෙන ඇති ණය ගෙවා රට එයින් නිදහස් කරගන්නයි. ඒ වැරැදිවල පව් ගෙවන්නේ මේ ආණ්ඩුව. වෙනත් වැඩක් කරන්නේ කොහොමද?

පිළිතුර:- ණය, බදු අරගෙන රාජපක්ෂලාගේ ණය ගෙවනවා නම් ඒ ණයවලට වෙන්නේ මොකද්ද? ඒ ණය ඉවර වෙනවා. අවුරුදු තුනක් තිස්සේ එහෙම දෙයක් වෙලා නම් නැහැ. හැබැයි හැමදාම රාජපක්ෂලාගේ ණය ගැන කියනවා. ඒ වගේම ණයත් ඉහළ ගිහින්. රාජපක්ෂලා ගත්ත ණයවලින් කරපු වැඩ තිබෙනවා. මේ අය ගත්ත ණයවලින් කළේ මොනවාද? රාජපක්ෂලා ගත් ණය තවම තිබෙනවා නම් මේ අය ණය අරන් තිබෙන්නේ ඒ ණය ගෙවන්න නෙමෙයි. මේ අයගේ වැඩවලටයි.

එදාගත් ණයත් මේ අයගත් ණයත් දෙකම තිබෙනවා නම් කරපු දෙයකුත් නැත්නම් ගත්ත ණයවලට කර තිබෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවට දැන් අවුරුදු තුනක්. දැන් මේ ආණ්ඩුවත් පරණයි. මේ පරණ ආණ්ඩුව කරපු දෙයකුත් නැහැ. ඉතුරු වෙච්ච මුදලකුත් නැහැ. ගෙවපු ණයකුත් නැහැ. කරල තියෙන්නේ හැම දෙයක්ම වැඩි කිරීමයි. හැම දෙයක්ම රාජපක්ෂ පිටේ පටවන්න දැන් බැහැ. දැන් තිබෙන්නේ සිරිසේන - වික‍්‍රමසිංහ ආණ්ඩුවක්. මේ අය ගත් ණයවලට කිසිම ප‍්‍රතිලාභයක් රටට නැහැ කියන එක පැහැදිලිව පේනවා.

ප‍්‍රශ්නය:- රටේ උද්ධමනය යම් ඉහළ යාමකට පත්ව තිබෙනවා. මේ පිළිබඳ ඔබට ඇති පැහැදිලි කිරීම මොකද්ද?

පිළිතුර:- මම මහ බැංකු අධිපති වනවිට උද්ධමනය තනි ඉලක්කමේ තිබූ වැඩිම කාලය මාස 23 යි. කිසිවිටෙක සියයට දහයකට අඩු උද්ධමනයක් දිගින් දිගටම අපට තිබිලා නැහැ. මම අයින්වී යනවිට වසර හයක කාලයක් තිස්සේ උද්ධමනය මැදි තනි ඉලක්කමේ පවත්වාගෙන සිටියා. මේ ආණ්ඩුව බාර ගත්තේ ඒ වගේ ආර්ථිකයක්. බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 28 ත් 60 ත් අතර ගණනකට අඩුවීම මේ ආණ්ඩුවට වාසියක් වුණා. මේ වාසියත් එක්ක 2015 දී උද්ධමනය සියයට 1 ට අඩුවුණා. එය මේ අයගේ හපන්කමක් නිසා නෙමෙයි. ලෝක තෙල්මිල අඩුවීමේ වාසිය ලැබුණා. ඒ ගැන අපට සතුටුයි.

ඊට පසුව කරගත් දේවල් නිසා විශේෂයෙන් බැඳුම්කර වංචාව, රුපියල අවප‍්‍රමාණ කිරීම හරහා උද්ධමනය වැඩිවී අදවනවිට එය සියයට 8.6 කට වැඩිවෙලා. මේ වසර අවසන් වනවිට ඇතැම් විට සියයට 10 ට උද්ධමනය වැඩි වෙන්නත් බැරි නැහැ. ආර්ථික කළමනාකරණයේ තිබෙන දුර්වලකමයි මෙයින් පේන්නේ. මේ නිසා විශේෂයෙන්ම පොලී අනුපාත තවත් වැඩි වෙනවා. ඒක සැමටම ලොකු ප‍්‍රශ්නයක්. ඒ සමඟම රුපියලේ අගයත් තවත් පිරිහීමේ ඉඩ තිබෙනවා.

‘උද්ධමනය වැඩිවීමේ අපේක්ෂාව’ නිසා උද්ධමනය තවත් වැඩි වෙන්න පුළුවන්. මේ සියලූ අවදානම් මතුව තිබෙන්නේ රජයේ අදුරදර්ශී වැඩ පිළිවෙළ නිසයි. මේ රටේ ආර්ථිකය පිරිහෙනවට මම කැමැති නැහැ. එදා අපි මේවා ගැන සංවේදීව කටයුතු කළා. එහෙත් අද කාටවත් එහෙම අවශ්‍යතාවක් ඇතිබවක් පේන්න නැහැ. මේ අයට අවශ්‍ය එදාවේල ගෙනියන්නයි. වගකිවයුතු කිසිවෙක් මේ කාරණය සම්බන්ධයෙන් කතා කරනවා පේන්න නැහැ. විසඳුම් නැති පසුබිමක මේවා තවත් උග‍්‍ර වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- මූල්‍ය අරමුදලේ කොන්දේසි මත අයවැය ඉදිරිපත් කළා කියන චෝදනාව ඔබ ඉදිරිපත් කරන්නේ මොන පදනමකින්ද?

පිළිතුර:- මූල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට එකඟවන කොන්දේසි සඳහන් ලිපියක් ඉදිරිපත් කරනවා. අදාළ ණය දෙන්නේ ඒ ලිපිය මතයි. අපේ කාලයේත් ඒ ලිපි දුන්නා. ඒ ලිපි මූල්‍ය අරමුදලේ සහ මේ රටේ වෙබ් අඩවියේ තිබෙනවා. රටට අවාසිවන කිසිදු කොන්දේසි ඒ ලිපිවල අපි දුන්නේ නැහැ. මේ ලිපි  ඕන කෙනෙකුට බලන්න පුළුවන්. එහෙත් මේ ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ණය ගන්න විටත් ලිපියක්දී තිබෙනවා. ඒ ලිපියත් මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ තිබෙනවා.

සියලූම කොන්දේසි එහි තිබෙනවා. බදු වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය වාණිජකරණය, රාජ්‍ය බැංකු වාණිජකරණය යනාදී සියල්ල එහි සඳහන්. මේවා නොකළොත් ණය නොදෙන බව මූල්‍ය අරමුදල කියා තිබෙනවා. එනිසා ණය ගන්න මූල්‍ය අරමුදල කියන දේ මේ අය කරනවා. ඒ ගනුදෙනුව සාර්ථකව සිදුවෙමින් පවතිනවා.

වෙන රටක් ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේදී යම් ශක්තියක් තිබෙන්න  ඕන. පිරිහුණු තත්ත්වයක් යටතේ යම් යම් ඉල්ලීම් කරන්න බැහැ. එහෙම වුණාම අනෙක් අය කියන පදේට නටන්න වෙනවා. අද මේ ආණ්ඩුවට සිදුව තිබෙන්නේ එයයි.

ආර්ථිකය තිබෙන්නේ ලෙඩ ඇඳේ. අද සෑම ලෙඩක්ම ආර්ථිකයට වැළඳිලා. විවිධ අංශවලින් විදහා දැක්වෙන්නේ එම ලක්ෂණයි. ප‍්‍රශ්න උග‍්‍රවන විට වෙනත් අයට ඇඟිල්ල දිගු කිරීම ආණ්ඩුව පුරුද්දක් කරගෙන තිබෙනවා. ප‍්‍රශ්න විසඳන්න හදන්නේ ඒ ක‍්‍රමයටයි. එයින් ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප‍්‍රශ්න යටපත් කිරීමයි මේ අය කරන්නේ.

(සාකච්ඡා චමින්ද  මුණසිංහ)