ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ යෑම්, ගංගා පිටාර ගැලීම්, වාන් දොරටු විවර කිරීම් හා අවතැන්වීම් ගැන නැවත කතාවක් ආරම්භ වී තිබේ. දිවයිනේ පළාත් ගණනාවකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව මේ කතාවේ කර්තෘය. ගං වතුර හා නායයෑම් අවදානම් සමඟ බොහෝ දෙනා විමසිලිමත් වන්නේ උදාවන්නේ අරණායක, මීරියබැද්ද ආදී පැරැණි මතක සිහි කරන සමයක්ද කියාය. ආපදාපන්න කාලයේදී රටම කතා කළ ද ඉතාම ඉක්මනින් අපි බොහෝ දේ අමතක කරමු. මතකය තිබෙන්නේ ඊළඟ ව්‍යසනය එනතුරු නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ආපදාවකදී වැඩිම ජන කොටසක් වින්දිතයන් වන්නේ අවතැන්වීම යන කාරණය මුල් කරගනිමිනි.

එනිසා නිතර කතා කරන්නට සිදුව ඇති ආපදාපන්න තත්ත්වය යට ඇති ප්‍රතිපත්තිමය යථාර්ථය ගැන කතා කිරීම මේ මොහොතේ කාලෝචිත යැයි සිතමි. 

ආපදාවලදී අවදානම අවම කිරීම සඳහා නැවත පදිංචි කිරීම විකල්පයක් සේ සැලකුණි. එහෙත් එය දිගින් දිගටම කළ හැක්කක්ද? ගං වතුර ආදිය ස්වාභාවික ආපදා හැටියට සැලකුව ද ඒවාට මුල් වන ඇතැම් හේතු මනුෂ්‍ය ක්‍රියාකාරකම්ය. 1990 මුල් කාලයේ ඇති වූ කොළඹ ගං වතුර ගැන පත්කළ කමිටුවේ නිර්දේශ ඊට හොඳ උදාහරණයකි. වැල්ලවත්ත හා බම්බලපිටිය ප්‍රදේශයේ ඇළවේලි අසල පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් හේතුවෙන් ඇළවේලි නිසියාකාරව නඩත්තු නොකිරීම ගං වතුරට බල පෑ එක් හේතුවක් විය. ඇළ වේලි මාර්ග සංවර්ධනය මඟින් පරිසරය සුරකිමු යන තේමාව සමඟ ඇළවේලි දෙපස වෙසෙන අනවසර පදිංචිකරුවන් වෙනත් තැනක පදිංචි කළ යුතු බවට අදහස ආවේ එමගිනි. අවදානම අවම කිරීමේ උපායමාර්ගයක් හැටියට නැවත පදිංචි කිරීම ගැන කතාවට ද තරමක දිගු ඉතිහාසයක් ඇති බව පැහැදිලිය. 

ආපදා කළමනාකරණය යන විෂයය ගැන දැඩි අවධානයක් ලැබුණේ 2004 සුනාමි ඛේදවාචකයෙන් පසුවය. සුනාමිය යනු කුමක්දැයි එතෙක් නොදැන සිටි ජනතාවට ආපදා ගැන ගැඹුරු දැනුමක් ලබා ගන්නා පරිසරයක් සුනාමිය විසින් නිර්මාණය කරනු ලැබිණි. සුනාමියේදී ජීවිත 40,000 ක් පමණ අහිමි වූ අතර තවත් විශාල පිරිසක් අවතැන් වූහ.

ඔවුන් නැවත පදිංචි කිරීම ඇතුළුව විශාල ක්‍රියාවලියක් වසර ගණනක් තිස්සේ දිග්ගැස්සෙමින් සිදුවිණි. සුනාමියක් නොපැමිණිය ද ඉන් පසුව ගත වූ කාලය ආපදා විෂයයෙහි යහපත් කාල වකවානුවක් නොවීය. ගංවතුර, නායයෑම් වැනි දේ වාර්ෂිකව කැලැන්ඩර අයිතම තරමට සුලභ වූ අතර ඒවායෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි ද ඊට සාපේක්ෂව ඉහළ ගියේය. අවදානම් කලාප හඳුනාගෙන ඔවුන් ඒවායෙන් පිටත පදිංචි කරන්නේ කෙසේදැයි විශාල සාකච්ඡාවක් පැවැතියේ මෙවන් පසුබිමකය. අහිමිවීම් (Lost) හානි (damage) හා යථාවත් කිරීම (recovery) යන ක්‍රියාවලියේදී විශාල මුදලක් වැය වේ. දේශපාලන තර්කවලින් තොරව සිතන්නේ නම් සැබැවින්ම මෙවැනි විශාල මුදලක් රජයකට දැරිය හැකි ද යන ප්‍රශ්නය මතුව තිබේ. 

මීට පෙර අප කතා කරමින් සිටියේ වසර විසි පහකට වරක් පැමිණෙන ගං වතුරක් ගැනය. තවමත් අපි අවුරුදු පනහකට සියයකට වරක් පැමිණෙන ගං වතුරක් ගැන කතා නොකරමු. යම් හෙයකින් එවැන්නක් පැමිණියහොත් කළයුත්තේ කුමක්දැයි කියාවත් අපට සිතාගත නොහැකි වනු ඇත. සිදුවන්නේ කුමක්ද හා සිදුවන්නේ කොතැනද යන්න ගැන වෙනදාට වඩා අවබෝධයක් ජනතාවට තිබේ. තව ද කළයුත්තේ කුමක්ද යන්න ගැනත් දැනුමක් තිබේ. දැන් අවධානය යොමුකළ යුත්තේ එම කළයුත්ත රජයටත් සාමාන්‍ය ජනතාවටත් යන දෙපාර්ශ්වයටම වාසිසහගත ලෙස කඩිනමින් ක්‍රියාවට නඟන්නේ කෙසේදැයි කියාය. එහිදී ගං වතුර අවම කිරීමට අප ගෙන ඇති පියවර මොනවාද කියා විමසිය යුතුය. ගං වතුර අවම කිරීමේ ව්‍යාපෘති ගැන වෙනදාට වඩා වැඩියෙන් දැන් කතාබහ කෙරේ.

උදාහරණයකට කැලණි ගඟ දෙපස අවදානම් කලාපවල සිටින මිනිසුන් නැවත පදිංචි කිරීම ගතහැකිය. ගංවතුර අවදානම් කලාපවල විවිධ ජන කොටස් ජීවත් වෙති. ඒ අතර ව්‍යාපාරිකයෝ, සාමාන්‍ය ජනතාව, මධ්‍යම පාන්තිකයෝ වෙති. එහෙත් හානියක් සිදුවෙද්දී ඊට පන්ති භේදයක් නැත. රජයෙන් රුපියල් දහ පහළොස් දහස ආදී වශයෙන් දෙන ආධාර වුවද වාර්ෂිකව ප්‍රදානය කිරීමට සිදුවන්නේ නම් එය සරල කරුණක් නොවේ. ඇතැමුන් ආපදාවකදී සිදුවන හානි ගණනය කිරීමේදී සිතන්නේ ජීවිත හා දේපළ හානි ගැන පමණය. එහෙත් ආපදාපන්න ජනතාව කඳවුරුගත කර ඔවුන්ට අවශ්‍ය කළමනා ලබාදීමට ද වැයවන්නේ සුළුපටු මුදලක් නොවේ. ඔවුන්ට අවශ්‍ය කෑම බීම, සෞඛ්‍යාරක්ෂක පහසුකම් සැපයීමෙන් නොනැවතී බිඳවැටුණු ජීවනෝපාය මාර්ග නඟාසිටුවීම ආදියේදී පවා මුල්තැන ගැනීමට සිදුවන්නේ රජයටය. 

ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් මේ වනවිට දැඩි, මැදි හා අඩු අවදානම් වශයෙන් කලාප හඳුනාගනු ලැබ තිබේ. එහෙත් අප කළ බොහෝ අධ්‍යයනවලදී දැකගත හැකි ලක්ෂණයක් වූයේ සිය වාස භූමි හැරපියා යන්නට මේ පෙදෙස්වල ජනතාව දක්වන අකැමැත්තයි. ඇතැම්හු දැඩි අවදානම් කලාපවල ජීවත් වුවද සිය උපන් භූමියෙන් පිටවන්නට කැමැති නැත්තාහ. ඇතැමුන් සිතන්නේ මරාගෙන මැරී හෝ වාසභූමියේම සිටිය යුතු බවයි. එවැනි පිරිස්වලට සිය වාසස්ථාන සකස් කරගැනීමට සුදුසු පරිදි භූමිය සකස්කරගැනීම සඳහා තාක්ෂණික ආධාර කිරීමට කටයුතු සිදුවෙමින් පවතී. තවද මැදි හා අඩු අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට අවශ්‍ය අධ්‍යාපනික වැඩපිළිවෙළක් මගින් එම පෙදෙස්වලම ජීවත්වීමට අවශ්‍ය පරිසරය සැකසේ. ගංගා අවට ජීවත් වන ජනතාව ගං වතුර දකින්නේ සාමාන්‍ය දෙයක් හැටියටය. එපමණක් නොව ජීවිත හා දේපළ යථාවත් කිරීමට රජයෙන් වැය කරන ප්‍රතිපාදන සලකන්නේ ද සාමාන්‍ය දෙයක් හැටියටය. එහෙත් මේ ආකල්පය අප වැනි තුන් වැනි ලෝකයේ රටක් සම්බන්ධයෙන් ගත් කල හොඳ එකක් නොවේ. වන්දි ප්‍රදානයට බාහිර සංවිධානවලින් මුදල් ලැබෙන්නේ නැත. මේ නිසා වන්දි ප්‍රදානයට ශුද්ධ පිරිවැය රජයෙනි. එහි අදහස නම් ඒවා ද මහජන මුදල්ම වන බවයි. 

ආපදා තත්ත්වයක් ඇති වූ විටදී මුළු රටම ඒ දෙස දැඩි අවධානයක් යොමු කරයි. අනතුරු ඇඟවීමේ නිවේදනවලටත් කාලගුණ නිවේදනවලටත් දැඩි අවධානයක් ලැබේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මුල් කරගෙන සියලු ආයතන ක්‍රියා කරන බවක් පෙනී යයි. ප්‍රශ්නය එන්නේ ආපදා නිසා අවතැන් වන ජනතාව ආපදා අවම කිරීමේ ක්‍රමයක් ලෙස නැවත පදිංචි කිරීමේදීය. ඇතැම් තැන්වල වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේය. තවත් තැනක ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගිනි. ඒ නිසා ඒකාබද්ධ වැඩපිළිවෙළකට යෑමේ අවශ්‍යතාව අවධාරණකටයුතුය.

උදාහරණයකට මේ ආයතන වෙනම වැඩ කරනවා වෙනුවට එකට වැඩ කිරීමේදී නිවාස ඉදිකිරීම මෙන්ම ජීවිකා සරිකිරීම හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ආදිය ගැන දැනුම හුවමාරුවක් සිදුවේ. එය සාමූහික අධ්‍යාපනයකි. එසේ නොවන තත්ත්වයකදී සිදුවන්නේ එකම ප්‍රශ්නාවලියක් නැවත නැවතත් වාර්ෂිකව මතුවීම පමණි. 

නැවත පදිංචි කිරීම් සිදු කළයුත්තේ හුදෙක් නිවසක් ලබාදීම යන්න මත පිහිටා නොව එහි ඇති දීර්ඝකාලීන ක්‍රියාවලිය ගැන අවබෝධයෙනි. විශේෂයෙන්ම නැවත පදිංචි කළයුත්තේ දැඩි අවදානම් කලාපවල සිටින්නන් පමණක්ය යන අදහස මතුව තිබෙන්නේ ද එහෙයිනි. සංවර්ධන ව්‍යාපෘති නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට ජාතික ස්වෙච්ඡා නොවන නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තිය (NIRP) තිබේ. එහෙත් ස්වාභාවික ආපදා නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට ප්‍රතිපත්ති මාලාවක් නැත. තවද සංවර්ධන ව්‍යාපෘති නිසා අවතැන් වන ජනතාව සම්බන්ධයෙන් ද මොන යම් හෝ ප්‍රතිපත්ති වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් සකසන ලද සුරක්ෂා ප්‍රතිපත්ති වේ. දක්ෂිණ සංවර්ධන අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මෙම තත්ත්වය දැකිය හැකි විය.

ඒ අනුව ස්වාභාවික ආපදා නිසා අවතැන් වන ජනතාව සතු නොවන රැකවරණයක් සංවර්ධන ව්‍යාපෘතිවලින් අවතැන් වන ජනතාවට ඇති බව පැහැදිලිය. අනෙක් අතට ජනතාව නැවත පදිංචි කිරීමට නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් නොමැතිව ඔවුන් දිගින් දිගටම නඩත්තු කිරීමේදී රජයට දැරීමට සිදුවන වැය බර ද සුළුපටු නැත. බලහත්කාරයෙන් පදිංචි කරනවාය යන චෝදනාවෙන් ද ගැලවී ප්‍රජා මූලික නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් සැකසිය යුතු යැයි ප්‍රාමාණිකයන් යෝජනා කරන්නේ එබැවිනි. 

ආපදාවට පත් ජනතාවට උපකාර කිරීමේදී සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය මගින් පසුගිය කාලයේදී ජනතාව අතරේ ඇති කළේ මහත් උත්තේජනයකි. ඇතැම් තැන්වලදී එය අතිශය සංවේදීවද ඇතැම් තැනකදී අතිශය ප්‍රාසාංගික ලෙස ද එය ප්‍රකාශයට පත් විය. බොහෝ විට මේ උනන්දුව ගං වතුර බැස යාමත් සමඟම පහව ගිය අතර විපතට පත් වූවන්ගේ සමාජ ජීවිතවලට කුමක් වීද යන්න ගැන සෙවීමට බොහෝ දෙනාට අමතක විය. ස්වාභාවික ආපදා නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් ඉල්ලන්නට වගකිව යුතු සියලු පාර්ශ්ව කටයුතු කළයුත්තේ එහෙයිනි. එහෙත් ජනමාධ්‍ය පවා එම කටයුත්තේ දී ප්‍රාසාංගික පාර්ශ්වයට වැඩි බරක් තැබූ අතර ඒ නිසා අද වනවිට මෙහි ඇත්තේ නියං සමයට ජලය සපයන්නාක් මෙන් චක්‍රීය පැවැත්මකි. අපේ රටේ ආපදා කළමනාකරණය යන විෂයෙහි සංයුක්ත පිළිතුරු සොයනවා නම් ආමන්ත්‍රණය කළයුත්තේ මේ විෂම චක්‍රයටය. සැබැවින්ම ජීවිත හා දේපළ හානි අවම කරගතහැක්කේ එමගිනි. නොඑසේව කරන්නට වෙන්නේ නිරිත දිග මෝසම් කාලයට සුපුරුදු පණිවුඩ ටික යළි යළිත් ජනතාවට සන්නිවේදනය කිරීමටය. සැබැවින්ම එය ප්‍රශ්නයට විසඳුමක් නොව තාවකාලික පැලැස්තරයකි. 

සටහන - බිඟුන් මේනක ගමගේ