ශ්‍රී ලාංකික දේශපාලන භූමියේ මේ වනවිට බල කේන්ද්‍ර තුනක් පවතී. එයින් දෙකක් නිලය. අනෙක නොනිලය. අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතික පක්ෂය හා ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල බල කේන්ද්‍රයයි. තුන් වැන්න නම් ඒකාබද්ධ විපක්ෂය විසින් මෙහෙයවනු ලබන්නයි. මෙම බල කේන්ද්‍රවල එකිනෙකට ප්‍රතිවිරෝධී ක්‍රියාකාරකම් නිසා මේ වනවිට මෙරට දේශපාලනයට එල්ලවී ඇත්තේ විසල් බලපෑමකි. නිල බල කේන්ද්‍ර දෙක අතර ඇත්තේ විරසකයකි. ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස්ය. ජනාධිපතිවරයා සිටින්නේ ඒ විරසකය ගැන ප්‍රසිද්ධියේ කතා කරමිනි. ඉරි තැලී ගිය නිල බල කේන්ද්‍ර දෙක නිසා ආණ්ඩුව ද අස්ථාවරය. එය ප්‍රකාශයට පත්වන්නේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ලෙසිනි.
මෙහිදී නිල බල කේන්ද්‍ර දෙක අතර ඇති එකිනෙකට නොපෑහෙන ප්‍රතිපත්තිමය වියවුල වැදගත්ය.

ආර්ථික පිළිවෙත වශයෙන් ගතහොත් අප දකින්නේ අගමැතිවරයා ප්‍රමුඛ එජාපය අනුගමනය කරන නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළය. එහෙත් ඊට මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙන් සහායක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටු​ෙපාළ හා වරාය නගර ව්‍යාපෘතිය ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මෙම ආර්ථික පිළිවෙත ගැන පහසුවෙන්ම අපට අදහසක් ඇතිකරගත හැකිය. මෙහිදී මෙම ව්‍යාපෘතිවලට ජනාධිපති ප්‍රමුඛ බල කේන්ද්‍රයෙන් දක්වන ප්‍රතිචාර කලාපීය බලවතුන් විසින් පාවිච්චියට ගනු ලබන අයුරු අපට දැකගත හැකිය. නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යම් යම් ප්‍රතිරෝධ මතු වුවද ඒවා සංයුක්තව දේශපාලනික විරෝධයක් හැටියට ප්‍රකාශ වන බවක් නොපෙනේ. ඊට එක් හේතුවක් වන්නේ නිල නොවන බල කේන්ද්‍රය හැටියට අප හැඳින්වූ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් පවා එවැනි විරෝධයක් ගොනු කරන තැනට නොයෑමය. ඇත්තවශයෙන්ම මේ ආණ්ඩුවෙන් අනුගමනය කෙරෙන්නේ ද පැවැති ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතේම දිගුවකි. මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඊට ප්‍රතිපත්තිමය විරෝධයක් නොදක්වන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය බලය අතට ගෙන එම මාවතේම යෑම පමණක් නිසාය.

මෙම දේශපාලන ක්‍රියාකාරකම්වලදී චීනයේ විදේශ පිළිවෙත ද අපගේ අවධානයට ලක්විය යුත්තේය. චීනය කරන්නේ මෙම බල කේන්ද්‍ර තුනටම අත දිග හැර වියදම් කිරීමය. මා කියන්නේ රාජ්‍යතාන්ත්‍රිකමය ප්‍රාග්ධන යෙදවීම් ගැන නොවේ. එම බල කේන්ද්‍ර ඉලක්ක කරගත් දේශපාලනික ව්‍යාපෘතිය ගැනය. මෙම පාර්ශ්ව තුනේම නායකයන්ට චීනය විසින් මුදල් විය පැහැදම් කරනු ලබන්නේය යන්න මේ වනවිට රටට රහසක් නොවේ. චීනයේ විදේශ පිළිවෙතට කලාපීය වශයෙන් විරෝධයක් දක්වන බලවතා වන්නේ අප අසල්වැසි ඉන්දියාවය. එහෙත් චීනයට මෙන් අත දිග හැර මුදල් වියදම් කිරීමේ හැකියාවක් ඉන්දියාවට නැත. අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් චීන රාජ්‍ය පාලන පිළිවෙතත් විදෙස් පිළිවෙතත් එකිනෙකට පටහැනිය. අල්ලසට එරෙහිව දරුණු ලෙස රට තුළ ක්‍රියාත්මක චීන රජය ජාත්‍යන්තරයේදී සිය ආර්ථික ආධිපත්‍යය වෙනුවෙන් අල්ලස් දෙන්නේ ගණන් නොබලාය. මෙරට තුළ රාජ්‍යමය මර්දනයක් දියත් වෙනවාද නැද්ද යන්න චීනයට අදාළ නැත්තේ එහෙයිනි. තමන්ට දේශපාලන හා ආර්ථික වශයෙන් වාසි සැලසේ නම් ඕනෑම මර්දන යාන්ත්‍රණයකට සහාය දැක්වීමට චීනය සූදානම්ය. උතුරේ ප්‍රශ්නය වැනි දෑ ඔවුන්ට රටක් හැටියට තරම් නොවන තරම්ය. නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන්නේ නම් නිසැකයෙන්ම මේ රටේ මර්දනයක් දියත් කළ යුතුවේ.

රටේ ප්‍රමුඛ ප්‍රශ්නය වංචාව, දූෂණය හා නාස්තිය යැයි කීවෝ ද එවකට විපක්ෂයේ සිටි මේ පාලකයෝය. එම නිසා ඔවුන්ට දඬුවම් දීමට ජන වරමක් ඉල්ලා සිටියෝ ද මේ පාලකයෝය. දැන් එවැනි දේ ගැන කතා නැතිවම කිසිදු දඬුවමක් නොදෙන්නෝ ද මේ පාලකයෝමය. 2015 ජනවාරි 8 දේශපාලන වෙනසට කර උර දුන් පිරිස් ආණ්ඩුවේ කවයෙන් ගැලවෙමින් කලකිරීමට පත්ව තිබෙන්නේ මේ දේශපාලන පසුබිම නිසාය. ඒකාබද්ධ විපක්ෂය නමැති කණ්ඩායමේ දේශපාලන උපාය වන්නේ පළමුව මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සියතට ගෙන දෙවැනි වටයේදී එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරයක් එල්ල කිරීමය. ඒකාබද්ධ විපක්ෂය අද දේශපාලනික වශයෙන් බලවත්ය. එහෙත් ඒ නිසාම 2020 ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට ජයගත හැකි යැයි කීමට ඉක්මන් විය යුතු නැත. සරලව ගතහොත් දකුණ පමණක් කේන්ද්‍ර කරගත් දේශපාලන තරගයකට යෑමෙන් ඔවුන්ට ජය ගැනීම පහසු නොවේ. දේවල් සිදුවන ආකාරය අනුව දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්ද ඔවුන්ට නැවත වටයකින් අහිමිවීමට පවා ඉඩක් ඇත. අනෙක් කරුණ නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාය. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ජනතා විරෝධය හා අප්‍රසාදය තවදුරටත් සැඟවිය හැකි නොවේ. එජාපයේ ප්‍රශ්නය එසේ තිබියදී වුවද සෙසු බල කේන්ද්‍ර දෙකටත් එම ප්‍රශ්නයටම මුහුණදීමට සිදුවන බව දේශපාලන යථාර්ථයයි. එමනිසා 2020 ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක් බවට පත්වනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

ප්‍රාග්ධනය අද්දවා ගැනීමේදී ආණ්ඩුව විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. මේ අතර ආණ්ඩුවේ නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව නැඟ්‍ී ආ තරුණ ශිෂ්‍ය රැඩිකල් සටන් විසින් නිර්මාණය කරන ලද තත්ත්වය හමුවේ ද ආණ්ඩුවට සිදුවුණේ පසුබැසීමටය. ආයෝජන ඇතුළුව නව මූල්‍ය ප්‍රාග්ධනය සමුච්චනයට බාධාවක්වී ඇත්තේ මෙම දේශපාලන පරිසරයයි. මෙවැනි තත්ත්වයක් තුළ අහිමි වන ආණ්ඩු බලය ලබාගෙන මර්දනකාරී යාන්ත්‍රණයකින් හෝ වැඩ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නම් එය නව ලිබරල් ආර්ථික මාදිලියට හොඳය. එහි මොළකරුවන්ට හොඳය. ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් යම් යම් දේශපාලන වෙනස්කම් සිදුවිය. දැන් කිසි බියක් නැතිව උද්ඝෝෂණ කිරීමට පුළුවන. වැඩ වර්ජන කිරීමට පුළුවන. පෙළපාලි යා හැකිය. සුදු වෑන් එන්නේ ද නැත. එවැනි තත්ත්වයක් තුළ පවා ආණ්ඩුව බලයට පත්කිරීමට මැදිහත්වීම් කළ සිවිල් සමාජය වේගයෙන් ආණ්ඩුවෙන් ඈතට ගමන් කර ඇත. ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුව සිය ජනවරමින් ඈත්වීමයි. දෙවැනි හේතුව දැනටමත් දූෂිත තවත් ආණ්ඩුවක් යැයි ඔවුන් ලද සන්නාමයයි. එය කෙතරම් උග්‍ර කලකිරීමක් දක්වා වර්ධනය වීද යත් ඒකාබද්ධ විපක්ෂය නැවත පැරැණි වැරැදි නොකරනු ඇතැයි වැනි විශ්වාසයක් ද ඇතැම් මිනිසුන් අතර පවතී. එහෙත් ඇත්ත නම් එය යථාර්ථයක් නොවන බවයි.
මෙම බල කේන්ද්‍ර තුනටම අනන්‍ය වූ ලක්ෂණයක් තිබේ. එය නම් දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් නැතිකමයි. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය ගෙන යන ප්‍රචාරාත්මක වැඩපිළිවෙළ හා මෛත්‍රීපාල සිරිසේන ද ඊට අනියමින් අනුගතවීම මෙන්ම එයින් ඇති වූ දේශපාලන අභියෝගයට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට මුහුණදීමට නොහැකිවීමෙන් පෙනෙන්නේ ලංකාවේ අස්ථාවරත්වය තවදුරටත් පවතින බවය.

උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් නොදී ලංකාව දේශපාලනික වශයෙන් ඒකාග්‍ර කළ නොහැකිය. ආර්ථික වශයෙන් අර්බුදයක් පවතිද්දී ඇති නැති වශයෙන් පවතින පරතරය එන්න එන්නම වැඩිවෙමින් තිබේ. මෙය උතුර දකුණ වශයෙන් ධ්‍රැවීකරණය වෙද්දී තවත් තීව්‍ර වෙයි. දකුණට ගලා යන මූල්‍ය ප්‍රාග්ධනය උතුරේදී තවත් අඩුය. උතුරේ ජනතාව අදටත් සිටින්නේ යුද්ධයෙන් ජනිත වූ සමාජ, ආර්ථික ප්‍රශ්න සමුදායකින් බැට කමිනි. විශේෂයෙන්ම යුද්ධය නිසා අහිමි වූ ජීවිත නමැති සාධකයේ අතුරු ඵලයක් වන ස්වාමි පුරුෂයන් නැති බිරින්දෑවරු පියකු නොමැති දරුවෝ දස දහස් ගණනින් ජීවත් වෙති. විජයකලාගේ ප්‍රකාශයේ ඇති වැදගත්කම මැනිය යුත්තේ මෙම සමස්ත චිත්‍රය මත එය තැබීමෙනි. විජයකලාට මේ දේශපාලන කතාව විධිමත්ව ඉදිරිපත් කරගැනීමට බැරිය. සිංහල පාලක පක්ෂය එය සුළුවෙන් තැකීමෙන් පෙනෙන්නේ ප්‍රශ්නවල බරපතළකම ගැන ඔවුන්ට ඇති අසංවේදීභාවය මිස අනෙකක් නොවේ. එයින් ප්‍රශ්න දෙකක් පැන නඟී. එකක් නම් සාමාන්‍ය දෙමළ ජනතාව රජය කෙරෙහි කලකිරීමට පත්වීමය. දෙවැන්න නම් දෙමළ අන්තවාදී කණ්ඩායම්වලට තටු ලැබීමය.

උතුරෙන් දකුණට ඒමත් දකුණෙන් උතුරට යෑමත් සංහිඳියාවේ අංගයක් හැටියට ඉතා ප්‍රහර්ෂයෙන් යුතුව අගමැතිවරයා කතා කළ අවස්ථාවක් මම ජනමාධ්‍ය වාර්තාවකින් දුටිමි. මෙවැනිම කතා බොහෝමයක් ආණ්ඩුවේ දේශපාලන නායකයන්ගෙන් අපි ඇති පදනම් පසුගිය කාලයේ අසා ඇත්තෙමු. සැබැවින්ම මෙයින් ප්‍රශ්න කෙරෙන්නේ රටේ ජාතික ප්‍රශ්නය විසඳාගැනීම සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ අවංක දේශපාලන අභිලාෂයයි. සංහිඳියාවේ මූලික ධර්මතාව වන්නේ රටේ සියලුම ජන කොටස්වලට සමාන සමාජ ගරුත්වයකින් යුතුව ජීවත්වීමට ඇති ඉඩ අවකාශයයි. මේ ආණ්ඩුව එවැනි සමාජ අවකාශයක් තවමත් විවර කර නැත.

2020 ජනාධිපතිවරණය කවරකු විසින් ජයගනු ලැබූව ද රට එක්සේසත් කිරීමේ පූර්ව කොන්දේසිය වන්නේ උතුරේ දේශපාලන ගැටලුව විසඳීමය. අවශ්‍ය නම් පැරැණි ගල් රෝල් නැවත දියත්කොට මර්දනීය යාන්ත්‍රණය නව මුහුණුවරකින් ක්‍රියාවට නැගිය හැකි අතර නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතට ද එය හොඳටම ගැළපෙනු ඇත. එහෙත් එමගින් රට වඩා යහපත් තත්ත්වයකට ගමන් කරන්නේවත් අනාගත පරපුරට ගෞරවනීය ජීවිත ලැබෙන්නේ ද නැත. ඒකාබද්ධ විපක්ෂය ගතහොත් ඔවුන්ට ආණ්ඩුවේ පාලනය ගැන ඇත්තේ විවේචනාත්මක පිළිවෙතක් නොවේ. දුර්වල ආණ්ඩුව කරන සෑම වැඩකටම ඔවුහු විරෝධය පළ කරති. ඇත්තවශයෙන්ම ඔවුන් අද අවතීර්ණ වී සිටින්නේ හුදු විරෝධාකල්ප දේශපාලන මාවතකටය. මේ ආණ්ඩුව පවතින තාක් ඔවුන් යන්නේ එමඟමය. මැතිවරණයකදී තමන් ලබා ගන්නා ජය ගැන ඇති පූර්ව තක්සේරුවකින් යුතුව ඔවුන් දේශපාලනයේ නිරතව සිටින බැව් ඉතාම පැහැදිලිය. තමන්ට හොරුන් යැයි චෝදනා එල්ල කළ ආණ්ඩුව තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අධිකරණයේදී එය ඔප්පු නොකළ බව ඔවුහු කියති. ඇත්තය. ආණ්ඩුවට එවැන්නක් කිරීමට හැකි වුණේ නැත. එය ඒකාබද්ධ විපක්ෂය ලද විසල් දේශපාලන ජයකි. අනෙක් අතට ජාත්‍යන්තරයේ පවා ඔවුන්ට නිල නොවන බලයක් දැන් නිර්මාණයවී ඇත. චීනය මෙන්ම ඉන්දියාව පවා දේශපාලන තීන්දු ගැනීමේදී ගණන් හදන්නේ ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂයට ඇති ශඛ්‍යතාව ගැන සැලකිල්ල යොමු කරමිනි.

ඒකාබද්ධ විපක්ෂය යනු ප්‍රතිපත්තිමය වශයෙන් ගතහොත් පිළිවෙත් එකිනෙකට වෙනස් කණ්ඩායම්වල එකතුවකි. එවැනි තැනක අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උත්සන්නවීම ස්වාභාවිකය. කලාපීය වශයෙන් ගතහොත් සැලකිල්ල යොමුවන්නේ ඊළඟ නායකයා මොන රාජපක්ෂට ද යන්න නොවේ. එම රාජපක්ෂගේ ප්‍රතිපත්තිය කුමක්ද යන්නය. ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ශරීරයෙන් විද්‍යමාන වන්නේ රණකාමීත්වයයි. එහෙත් එසේය කියා ඒකාබද්ධ විපක්ෂයෙන් මතුවන වෙනත් රාජපක්ෂ කෙනෙකු වෙනත් මඟක් ගනී යැයි අපට සහතික විය නොහැකිය. දෙවැන්නා පළමුවැන්නාගේ මඟම වෙනත් මුහුණුවරකින් යා හැකිය. එසේ වූවාය කියා දේශීය වශයෙන් ජන සමාජය මෙන්ම කලාපීය වශයෙන් චීනය හෝ ඉන්දියාව ද එය ප්‍රශ්නයක් කරගනු ඇතැයි මම නොසිතමි. සිය ආර්ථික මෙහෙයුම් සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ලැබේනම් ඔවුන්ට පිළිවෙත කුමක්දැයි ප්‍රශ්නයක් නොවනු ඇත. එනිසා ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඉදිරියේදී තීරණාත්මක වනු ඇතැයි සිතිය නොහැකිය. නිදහස ලැබීමෙන් පසුව ගත වූ කාලය පුරාම ලංකාවේ පැවැතුණේ මහජන පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණයකි. එනිසා මහජනතාවට ද එය ඒ තරම් ප්‍රශ්නයක් නොවුණ ද අප පුදුම විය යුතු නැත.

සටහන - බිඟුන් මේනක ගමගේ