තිස්ස ජයවර්ධන

කෘතහස්ත ලේඛකයෙකු ග්‍රන්ථ කර්තෘවරයෙකු සහ පුවත්පත් කතවරයෙකු වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ 20 වැනි ගුණ සමරුව අදට (12) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගුණදාස ලියනගේ නහයට අහන්නැති මිනිහෙක්. ඉක්මන් කේන්තිකාරයෙක්. හිතුවක්කාර මිනිහෙක්. සමකාලීනයෝ වැඩිදෙනෙකු ඔහු හැඳින්වූයේ එලෙසිනි. ඒ හැඳින්වීම එක් අතකින් නිවැරදිය. එහෙත් ඒ සියලු ගති සිරිත් ඔහු තුළත් දක්නට ලැබුණේ කිසිවෙකුට යටත් නොවී හරියට වැඩ කරන්න ඔහු ගත් උත්සාහය නිසාය.

1930 අප්‍රේල් 22 වැනිදා පස්දුන් කෝරළේ දිවලකඩ නම් පිටිසර ගමක ඉපදී පෙරළිකාර පත්තරකාරයකු බවට පත්වූ ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ බෝතලේගම ගමේ පාසලෙනි. අනතුරුව ඉංගිරියෙ ගාමිණී විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලි විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබු ගුණදාස ලියනගේ ටික කලක් ගුරු වෘත්තියේ නියැලී සිටියේය.

පාසල් යන අවදියේ සිට ලේඛන කලාවට මහත් අශාවක් දැක්වූ ඔහු සිය පත්‍ර කලා ජීවිතය ආරම්භ කරනු ලැබුවේ ලංකාදීප පුවත්පතේ ගෝවින්න වාර්තාකරු ලෙස පත්වීමක් ලබා ගනිමිනි. එතැන් සිට පත්තර කලාවේ කැපී පෙණුනු ලේඛකයකු වූ ඔහු මහා පත්‍රකලාවේදී ඩී.බී. ධනපාල මහතාගේ සෙවන ලබමින් ඉතා සුළු කලකින් පුවත්පත් කතුවරයෙකු බවට පත්විය.

ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස පත්තර රස්සාව පැමිණි ගුණදාස ලියනගේ පසු කලෙක ටයිම්ස් ආයතනයේ ලංකාදීප ඇතුළු සියලුම සිංහල ප්‍රකාශනවල ප්‍රධාන කර්තෘවරයා බවට පත්වූයේ ඔහු තුළ තිබූ ලේඛන කුසලතාව නිසාය.

ලංකාදීපයෙන් පසු දවස පුවත්පත් ආයතනය මගින් පළ කළ රිවිරැස පුවත්පතේ කතුවරයා බවට පත්වූ ගුණදාස ලියනගේ මහතාගේ ස්වර්ණමය යුගය එය යයි මම සිතමි. කර්තෘ පදවියට පත්වූ පසු ලිවීමේ කාර්යයට බොහෝ කතුවරුන්ට කාලය අඩුවීම සාමාන්‍ය සිරිතය. එහෙත් ගුණදාස ලියනගේ ලිපි ලිවීම නතර නොකළේය. විසින් වෙත, කවුද මේ ආදී වශයෙන් විවිධ මාතෘකා යටත් රිවිරැස මැද පිටුවට සතිපතා ලියූ දැවැන්ත ලිපි පාඨකයන්ගේ ගෞරවාදරයට පත්විය.

වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවූ සුළු සිදුවීමක් මහා දැවැන්ත ප්‍රවෘත්තියක් බවට පත්කිරීමේ දක්ෂ ප්‍රවෘත්ති ඉවක් ඔහුට තිබිණි. දේශපාලනඥයන් සිය ගණනක් ඔහු ඇසුරු කළත් ඒ කිසිවකුට ඔහු හිස නමන්නට නොගියේය.

කිසිවෙකුගේ ආධාර ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු නොවු මෙම ප්‍රකට ලේඛකයා සිය දූ දරුවන් සමග කොළඹ කුලී නිවසක ජීවත් වූයේ ඒ නිසාය.

පත්තර රස්සාව කරන විටදී ඇතිවන විවිධ බාධා සියල්ල මැඩ පවත්වා ගනිමින් හරියට වැඩ කරන්නට ඔහුට තිබුණෙ පුදුමාකාර ආත්ම ශක්තියකි. තම සිතැගි පරිදි නිදහසේ වැඩ කරන්නට බැරි හැමවිටම ඔහු ඉල්ලා අස්වී ගෙදර ගියේය. ඉල්ලා අස්වීමේ ලියුම අතේ තියාගෙන වැඩ කළ අයෙකු ලෙස ඔහු හඳුන්වාදීම නිවැරදි යයි සිතමි. පත්තර කර්තෘ පදවියට හැර වෙනත් රැකියා කීපයකම ඔහු නියැලී සිටියේය. ඒ හැමතැනකදීම ඔහුගේ සුපුරුදු ඉල්ලා අස්වීම සිදුවූ බැව් ඔහුගේ ජීවිත සටහන් අතර දක්නට ලැබේ.


ඔහු ලංකාදීප කර්තෘවරයා ලෙස සේවය කරද්දී ඔහුව විරුද්ධව ක්‍රියාත්මක වූ බලවේග නිසා ටයිම්ස් ආයතනය රජයට පවරා ගැනීමත් සමගම එදා ඔහු කර්තෘ පදවියෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. ප්‍රධාන බැංකු තුනක් සම්බන්ධවී ආරම්භ කළ කල්පනා සඟරාවේ කර්තෘ පදවිය ද ඉතා සුළු කලකින් අතහැර දැමූ ගුණදාස ලියනගේ ඉල්ලා අස්වීම භාරදී ගෙදර ගියේ ඒ වන විට ඔහුට දී තිබූ නවීන මෝටර් රථය සහ ඉහළ වැටුපද ඉවත දමාය. ඒ හැම විටම ඔහුගේ මුවින් පිටවන වදන වූයේ “නිදහසේ වැඩ කරන්න බැරි නිසා මම ඉල්ලා අස්වුණා” යනුවෙනි.

ආන්දෝලනාත්මක පුවත් පළකිරීමේ රුසියකු බවට පත්ව සිටි මෙම කතුවරයා වරක් ඉතිහාසගත උපහාර උළෙලක් සංවිධානය කරවීය. හැත්තෑවේ දශකයේදී දේශපාලනඥයන් සඳහා නිතර නිතර උපහාර උළෙල සංවිධාන කරනු දක්නට ලැබිණි. එවකට රිවිරැස කර්තෘවරයාව සිටි ගුණදාස ලියනගේ හොරණ වෙළෙඳ පොළේ මුට්ට කර ගැසූ කම්කරුවකුට උපහාර උළෙලක් සංවිධාන කරවීය. “ජොනී උපහාර උළෙල” යනුවෙන් සංවිධාන කළ එම උපහාර උළෙට මහත් ප්‍රසිද්ධයක් ලබාදී දැවැන්ත රැස්වීමක්ද සංවිධානය කරවීය.

හොරණ නගරය අතුරු සිදුරු නැති තරම් දැවැන්ත ජනකායක් රැස්වූ එම උපහාර උළෙලෙන් පසු දේශපාලන උපහාර පැවැත්වීම තරමක් අඩුවී ගියේය. පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොතෙකුත් දැන හඳුනාගෙන තිබුණත් පොලිසිය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු විසින් ලියන ලද දැවැන්ත ලිපි පත්තර පිටු ගණනක් පළ කළේය.

පත්තර රස්සාවේදී කොතරම් දරදඬු ක්‍රියාමාර්ග ගනු ලැබූවත් කාරුණික හදවතක් ඇතිව සිටි මෙම කතුවරයා අන් අයට පිහිටවීමට ද නිතර දක්නට ලැබු ගුණයකින් පිරි අයෙකු විය. තමාට සතුරු කම් කළ අයෙකුට වුවද ව්‍යසනයක් සිදුවූ විටදී මුල් තැනගෙන ක්‍රියා කිරීම ඔහුගේ උසස් ගුණයක් විය. රාජකාරී කටයුතුවලදී සිදුවන කිසිවක් නිවසේදී කතා කිරීම ඔහුගේ සිරිත නොවීය. ඇතැම් විට දින දෙක තුනක් යනතුරු ඔහු රස්සාවෙන් අස්වී පැමිණ ඇති බැව් ඔහුගේ බිරිය සහ දූ දරුවන් හෝ නොදැන සිටියහ.

කිසියම් ප්‍රවෘත්තියක් ලැබුණ විට එය වෙනත් ලේඛකයෙකු ලවා ලියවනවාට වඩා ඔහු විසින්ම ලියන්නට උත්සාහ ගැනීම ගුණදාස ලියනගේ මහතාගේ සිරිත විය.  ශ්‍රී ලංකාවේ තෙල් කැණීමක දී සිදුවූ පුවතක් ඇතුළත් කර වරක් ඔහු විසින් ලියන ලද ලිපියකට විරුද්ධව නඩු පැවරුවේය. එහෙත් එම පුවත සත්‍ය බැව් පසු කලෙක ඔහු ඔප්පු කර පෙන්වීය.

ඔහු විසින් ආරම්භ කළ සෑම ප්‍රකාශනයකින්ම කුමක් හෝ ආන්දෝලන පුවතක් රටට ඉදිරිපත් කළේය. ඔහු කල්පනා සඟරාවේ කතුවරයාව සිටියදී ලේඛකයෙකු සමග සාකච්ඡා කර සකස් කළ ලිපියකින් ලංකාවේ ඉතිහාසයේ මුල්වරට මුදල් ගෙවීමක් සිදු කළේ ඔහුය. එය සිදුවූයේ අසූවේ දශකයේදීය. ජී.බී. සේනානායක මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඒ මහතාට රුපියල් 300 ක් ගෙවීමක් සිදු කළේය. එම සාකච්ඡාව පිටු ගණනක් පුරා කල්පනා සඟරාවේ පළ කළේය.

මේ අයුරින් ලේඛන කලාවේ පෙරළිකාර ලේඛකයකු වූ ගුණදාස ලියනගේ කර්තෘ පදවි තනතුරුවලට වඩා දැඩි ලෙස ආශා කළේ වාර්තාකාර පදවියටය. දාස් අරඹේගෙදර, දිවලකඩ ගුණදාස, දිවලකඩ ලියනගේ සුරබියෙල් අයියා, දිගුලිය සහ ගුලි යනුවෙන් විවිධ නම්වලින්ද ඔහු පාඨකයන් සඳහා ලිපි ලිව්වේය. වැඩි වශයෙන්ම පසු කලෙක ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ ගුලි යනුවෙනි.

චරිත කතා, නව කතා, කෙටි කතා, විචාර කවි සහ පරිවර්තන රැසක්ම ඔහු විසින් ලියා පළකර තිබේ. සිංහල සහ ඉංග්‍රීසි බසින්ද දක්ෂ ලෙස ලිවීමේ හැකියාව තිබූ මෙම කෘතහස්ත ලේඛකයා විසින් වරක් ලියන ලද දෝන කමලාවතී නම් ග්‍රන්ථය බෙහෙවින් ජනප්‍රියවිය. පසු කලෙක එහි ඉංග්‍රීසි පරිවර්තනයද ලියා පළ කළේය.

‘අගමැතිවරුන් හත්දෙනෙකු සමග‘ යනුවෙන් පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ රහස් හෙළිකරමින් අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුව සිටි බ්‍රැඞ්මන් වීරකෝන් මහතා සමග කළ සාකච්ඡාවකින් පළ කළ ග්‍රන්ථය ද බෙහෙවින් ජනප්‍රිය වීය. ලේ තැවරුණු සල්ලි හංගන ස්විස් බැංකු රහස් නම් ග්‍රන්ථය ද එවකට මහත් ආන්දෝලනයක් ඇති කළේය. චරිත කතා ලිවීමේ අති දක්ෂ ලේඛකයෙකු වූ ගුණදාස ලියනගේ විසින් ලියන ලද චරිත කතා රැසක්ද ග්‍රන්ථ ලෙස පළවී තිබේ.

ගුණදාස ලියනගේ මහතාගේ ආදරණීය බිරිය චන්ද්‍රලතා ලියනගේ මහත්මියද ග්‍රන්ථ රැසක් ලියා පළ කළ ගත් කතුවරියෙකි. ලියනගේ මහත්මිය පසුගිය වසරේදී අප අතරින් වියෝ වූවාය. වරක් ලියනගේ මහත්මිය හමුවූ මම ගුණදාස ලියනගේ මහතා රැකියාවලින් අස්වී පැමිණෙන විට ඇයට ඇතිවූ මානසික තත්ත්වය කෙසේ දැයි විමසුවෙමි.

රස්සාව කරන තැන දී සිදුවන කිසිම දෙයක් එයා ගෙදර කතා කරන්නේ නෑ. රස්සාවට නොගොස් දවසක් දෙකක් ගෙදර ඉන්නකොට මම ඒ ගැන අහනවා. ‘මට නිදහසේ වැඩ කරන්න බෑ. මම අල්ලදාල ආවා යි’ කියනවා. රස්සාවෙන් අස්වී ඇති බැව් අපි දැනගන්නෙ එවිටයි. යනුවෙන් ඇය පැවසුවාය. ලියනගේ මහතාගේ දූ දරුවෝ තිදෙනෙක්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මාධ්‍යවේදීන් ලෙස ප්‍රසිද්ධියට පත්වී සිටිති.

‘ගුලි ගුණ සුවද ගුණ සමරුව’ අද කොළඹ සම්බෝධි විහාරස්ථ බෞද්ධයා රූපවාහිනී පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.