කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවක් ඉවත් කරගැනීමට පසුගිය සතියේ කටයුතු කළ තවත් අමාත්‍යවරයකු වූයේ සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් අමාත්‍ය මලික සමරවික්‍රම මහතාය. පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කෙරුණු ආකාරයට, අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වන නඩු කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් බැහැරව පෞද්ගලික නීතිඥයින් යොදවා ගැනීමට සහ ඔවුන්ගේ බරපැන දැරීමට රජය මැදිහත්විය යුතු බව ඔහුගේ යෝජනාවේ දැක්වින. මෙය කිසිසේත්ම පිළිගත නොහැකිය. මෙම තීරුවෙන් පසුගිය සතියේ කළ කරුණු දැක්වීම, මේ අවස්ථාවේදී පහත පරිදි අනාවරණය කරන්නට යෙදෙන කරුණු හා සැළකීමේ දී අතිශය නිවැරදිය.

සමරවික්‍රම මහතා පෞද්ගලික මට්ටමින් නීතිඥයින් ඉල්ලා සිට ඇත්තේ ඔහුගේ කටයුතු වෙනුවෙන් පෙනී සිටීමටය. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමටය. 

සිංගප්පූරුව සමග මෙම ගිවිසුම අරබයා වන සියලු කටයුතුවල යෙදුනේ ඔහුය. එයට එරෙහිව අඩුම තරමේ පාර්ශවයන් 4ක් වත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම පාර්ශවයන් අතරින් ප්‍රධානය. තමන්ගේ දෙපාර්තමෙන්තුවෙන් බැහැර නීතිඥයින් යොදවා ගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධයක් නැතැයි සදහන් කර නීතිපති ජයන්ත ජයසූරිය එවා තිබූ ලිපියක් කැබිනට් මණ්ඩල හමුවේ කියවමින්, තම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සමරවික්‍රම මහතා කටයුතු කළේ, නීතිපතිවරයාගේ ලිපියෙන් තම සැබෑ අරමුණ ආවරණය කරගනිමිනි. 
කෙසේ වෙතත් නීති කටයුතු සම්බන්ධයෙන් තම දෙපාර්තමෙන්තුවේ නීතිඥයින් යෙදවීමේ ගැටළුවක් නැතැයි නීතිපතිවරයා තමාට පෞද්ගලිකවම දැනුම්දුන් බව ජනපතිවරයා එම අවස්ථාවේ දී කියා සිටියේ ය. ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡා ආරම්භ වූයේ 2016 ජූලි මස සිංගප්පූරුවේදීය. කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාට අනුව, ගිවිසුමේ අවසන් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ මෙම වසරේ ජනවාරි මස 17 වැනිදාය.

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, රේගු අධ්‍යක්ෂවරයා, කැබිනට් අමාත්‍යවරු සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට පෙත්සම්කරුවන් පියවර ගෙන තිබේ. සිංගප්පූරු ගිවිසුම අත්සන් තැබීමේ දී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා තීරණ ගෙන තිබෙන්නේ සහ කටයුතු කර තිබෙන්නේ එම ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමට පෙර බව පෙත්සම්කරුවෝ චෝදනා කරති. 

ගිවිසුම ක්‍රියාත්මකව ඇත්තේ 2018 ජනවාරි මස 23 වැනිදා සිටය. ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ නම් එය නීතිවිරෝධී සහ රටේ නීතියට නොගැළපෙන මට්ටමේ දෙයක් බව පෙත්සම්කරුවෝ සදහන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගොනු කර තිබෙන පෙත්සමට සහායක කරුණු දැක්වීම සදහා දින නියමව තිබෙන්නේ ලබන ඔක්තෝබර් මස 5 වැනිදාටය.

නමුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහි අධිකරණමය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඇත.
“අප එය කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබෙන නිසා. එම කමිටුවට අදහස් යොමුකරන්නට අපි බලාපොරොත්තු වෙනවා වගේම සංශෝධන අදාළ පරිදි සිදුවනු ඇතැයි විශ්වාස කරනවා” යයි  නීතිඥ සංගමයේ ප්‍රධානී යූ.ආර්.ද.සිල්වා මහතා පැවසුවේ ය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට එරෙහිව මතුවෙමින් තිබෙන විවේචන මධ්‍යයේ එම ගිවිසුම අරබයා අධ්‍යනයක් සිදුකිරීම සදහා විශේඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනපතිවරයා පියවර ගත්තේය. විවිධ සේවා ලබාදෙමින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආයතනවලට, රටේ සමාජ සහ ආර්ථික තත්ත්වයට හා ජනතාවගේ ජීවන තත්ත්වයට, සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම කෙසේ බලපානු ඇතිදැයි මෙම කමිටුවෙන් විමසුමට ලක්කැරෙනු ඇති බව ජනපති කාර්යාලය පැවසුවේ ය.

පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ ප්‍රධානියා වන්නේ විශ්‍රාමික ආර්ථික මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ඩබ්ලියු. ඩී. ලක්ෂමන් මහතාය. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආර්ථිකය විෂයෙහි විශ්‍රාමික මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථිකය විෂයෙහි විශ්‍රාමික මහාචාර්ය අජිත් තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ හිටපු සහායක මහබැංකු අධිපති ආර්.ඒ.ජයතිස්ස යන විද්වත්හු එහි අනෙක් සාමාජිකයෝ වෙති. 

මෙම ගිවිසුම සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත තොරතුරු වාර්තාකරන ලෙස කමිටුවට දැනුම් දී තිබේ.
සිංගප්පූරුව හා එළැඹි වෙළද ගිවිසුම අනුව කටයුතු කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අප්‍රේල් මස 30 වැනිදා දාතමින් යුතු ගැසට් නිවේදනයක් (රේගු ආඥාපණත යටතේ) නිකුත් කළේ ය. එම නිවේදනය හරහා සිංගප්පූරුවෙන් ආනයනය කැරෙන භාණ්ඩ 3539 කට අදාළ පරිදි සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කිරීමක් හෝ බදු සහන ලබාදීමක් හෝ සිදුකර තිබිණ.

එම භාණ්ඩ අතරින් සම්පූර්ණයෙන්ම ආනයන බද්දෙන් නිදහස් කර තිබුණු භාණ්ඩ වූයේ,

බූරුවන්, දිනක් වයසැති කුකුල් පැටවුන්, මී මැස්සන්, හාවුන්, මිනිස් හිසකෙස්, අතුණුබහන්, සතුන්ගේ මුත්‍රාශ සහ ආමාශ, ඉවත දමන මිනිස් හිසකෙස්, ආඳන්, ඌරන්, ඌරන්ගේ පිට මත වැවෙන ලෝම, වියළන ලද පොපි මල්, ඉන්ධන තෙල්, ස්වභාවික වායු, ගෙඹි පාද, උරගයන් (සර්පයින් සහ ඉදිබුවන්), නාගරික අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය අවසාදිත (ස්ලජ්), සායනික අපද්‍රව්‍ය, අසවනාගාර සදහා යන්ත්‍ර, වසර 5කට වඩා පැරණි වරක් භාවිතා කරන ලද ජංගම දුරකතන (රීකන්ඩිෂන්ඞ්), ගොල්ෆ් රථ (විද්‍යුත්), සියලු භූවිෂමතාවයන්වල ධාවනය කළ හැකි වාහන (ඒටීවී), ටැංකි සහ බවුසර හා කසළ ප්‍රවාහනය කැරෙන ට්‍රක් රථ, කාලතුවක්කු අවි (තුවක්කු, මෝටාර්, හොවිට්සර් (කාලතුවක්කු අවි වර්ගයකි) ඇතුලු), රොකට් ලෝන්චර, ගිනි විදුම් අවි (ෆ්ලේම් ත්‍රෝවර්ස්), ග්‍රෙනේඞ් ලෝන්චර, ටෝර්පිඩෝ ටියුබයන්, පතොරම් කොපු, කඩු, කට්ලසයන් (කෙටි, පළලින් වැඩි කඩු වර්ගයක්), අයිස් මත ලිස්සා යන පාවහන් (අයිස් ස්කේට්ස්), පොළව මත ලිස්සා යන පාවහන් (රෝලර් ස්කේස්ට්ස්), බිලීපිති, ආදිය..

ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකිරීමට දැන් කමිටුවක් පත්කිරීම අශ්වයාට පෙර කරත්තය තැබීමක් හා සමානය. එසේ කර තිබෙන්නේ අනෙක් පාර්ශවයේ එකඟතාවය මත ගිවිසුමට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට එක් පාර්ශවයකට හැකියැයි ගිවිසුමෙන්ම අවසරයක් ලබා දී තිබෙන අවස්ථාවකය. 

පසු වී හෝ දැන් මනාව පැහැදිලිව තිබෙන්නේ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම ජනතාවගේ අදහස් විමසීමකින් හෝ අදහස් දැක්වීමකට ඉඩදීමකින් හෝ තොරව කඩිමුඩියේ අත්සන් තබා ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සති කිහිපය පුරාම ගිවිසුම ආරක්ෂා කරමින් අදහස් දැක්වීමට අමාත්‍ය සමරවික්‍රම මහතාට සිදුවූයේ විපක්ෂයේ විරෝධය ක්‍රම ක්‍රමයෙන් නැගෙමින් පැවතියදීය. අධ්‍යනයක් සදහා කමිටුවක් පත්කිරීමට ජනපතිවරයා තීරණය කිරීමෙන්ම පැහැදිලි වන්නේ ගිවිසුමෙහි කටයුතු අවසන් කිරීමට ප්‍රථමයෙන් එවැනි අධ්‍යනයක් ගිවිසුම සම්බන්ධයෙන් සිදුව නොමැති බවය.

නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙරාතුවම ජනපතිවරණ ව්‍යාපාරයන් ක්‍රියාත්මක වෙමින් පවතින වාතාවරණයක එළැඹෙන ඉදිරි සති කිහිපයේ වැදගත් අවස්ථා කිහිපයක්ම සනිටුහන් වනු ඇත. ඉන් ප්‍රධානම වනුයේ ජනපතිවරණයට ආදළ වන ව්‍යවස්ථාමය කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති යෝජනාවයි. එය ඉදිරි දේශපාලන කටයුතුවල ස්වරූපය තීරණය කරනු ඇත. සතිපතාම පාහේ පැවැත්වෙන විරෝධතා හා වැඩවර්ජන මධ්‍යයේ වුවද, සභාග රජයේ පාර්ශවකරුවන්ගේ පැහැදිලි අවධානය මනාප දිනාගැනීම කෙරේ  යොමුව තිබෙන බව සදහන් කළ යුතුය.

වර්තමානය සීඝ්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතින කාලයකි. නමුත් එයින් අකුණු සැරක මෙන් ක්ෂණික ප්‍රතිඵල අත්වනු ඇතිද යන්න, ජනතාවගේ හදවත් දිනාගැනීමට හැකිවනු ඇතිද යන්න, බරපතල ගැටලුවකි.