තරිඳු ජයවර්ධන

අල්ලස හා දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් සිදු වුවද ඒවායේ සාර්ථකත්වය ගැන ප්‍රශ්න කිරීමට සිදු වනුයේ පසුගිය තෙවසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි ගණන දෙස බලන විටය. වසර තුනට ලැබුණු පැමිණිලි ගණන  10182කි. ඒ ලැබුණු පැමිණිලි ගණනය. නොලැබුණු පැමිණිලි තව කොතෙකුත් ඇත.

පැමිණිලි 10,182ක් අතුරෙන් නඩු පවරා ඇත්තේ 268කි. එවැනි අඩු නඩු ප්‍රමාණයක් ගොනු කිරීම ප්‍රධානම හේතුව ලැබුණු පැමිණිලිවලින් ඇතැම් ඒවා අල්ලස් පනත යටතේ නොගැණෙන ඒවා වීමට වඩා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ගේ අඩු කමයි. එය සැලකිය යුතු මට්ටමේ අඩුවක් වන අතර මේ වන විට අලුතින් උපාධිධාරීන් 400ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු එම කොමිසම මගින් සිදු කරගෙන යයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආකාර කිහිපයකි. කොළඹ 07 මළලසේකර මාවතේ (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල) පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. එසේ නැතිනම් ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. එසේ ද  නැතිනම් දුරකතන මාර්ගයෙන් මෙන්ම ඊමේල් මාර්ගයෙන් ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමැතුම් අංකය 1954යි. අල්ලස් පනත 1954 මාර්තු පළමු වැනි දා ඉදිරිපත් කරනු ලැබ ඇති අතර කොමිෂන් සභාවේ  ක්ෂණික ඇමැතුම් අංකය ලෙස යොදා ගෙන ඇත්තේ එම පනත ඉදිරිපත් කරන ලද වසරයි.

අල්ලස් ඉල්ලන හෝ ගන්නා රජයේ සේවකයන්, අල්ලසක් ඉල්ලන හෝ ගන්නා අධිකරණ නිලධාරීන්, ආණ්ඩුවෙන් යම් කටයුත්තක් කර දීමට අල්ලසක් ඉල්ලන හෝ ගන්නා ඕනෑම කෙනකු මෙන්ම අල්ලසක් ලබා දීමට තැත් කරන ඕනෑම කෙනකු ද අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ අය ලෙස සැලකෙයි.  සියලුම රජයේ ආයතනවල සේවය කරන නිලධාරීන් හා සේවකයන්, මැති ඇමැතිවරුන්, සියයට 50කට වැඩි අයිතියක් රජයට ඇති සමාගම්වල නිලධාරීන් සහ සේවකයන් මෙන්ම ආණ්ඩුවේ සංස්ථා හා මණ්ඩලවල උදවිය ද ‘රජයේ සේවකයන්‘ ලෙස සලකයි.

මේ වන විට නඩු පැවරා ඇති පිරිස අතර හිටපු ඇමැතිවරු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු  සහ විවිධ ආයතනවල ප්‍රධානීහු ද වෙති. ගෙවුනු තෙවසරේ පැවරූ නඩු 268ක් අතුරින් අවසන් වී ඇත්තේ නඩු 64ක් පමණි. ඉතිරිය තවමත් විභාග වෙමින් පවතී. එනම් තවමත් චෝදනා ලාභීන් වැරදිකරුවන් වී නොමැත. ඔවුන් තවමත් සැකකරුවන් පමණි.  අල්ලස් ගැනීමේ පැමිණිලි වාර්තා වන ස්වභාවය ගැන ලැබුණු පැමිණිලි කිහිපයක් ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.

  • කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව් ලක්ෂ්මන් මහතාට සහ කාර්යාල කාර්ය සහායක අයි පී සටන්ආරච්චි මහතාට එරෙහිව නඩු පවරා ඇත්තේ අල්ලස් පනතේ 19 (ආ) හා 19 (ඇ) වගන්ති  අනුව සහ 25(2) වගන්තිය අනුවය. ඕපන් ආර්ක් සිස්ටම්ස් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමට අයත් කළුතර නාගොඩ පිහිටි නැදුරහේන නමැති ඉඩමට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම සදහා අනුමැතිය ලබා දීමට රුපියල් 3,000,000ක් අලුත්ගේ දොන් විශාන්ත් සුජීව බෙනඩික්ද අල්විස් යන අය මාර්ගයෙන් දයාපාල කුමාරසිරි හෙට්ටිආරච්චි යන අයගෙන් ඉල්ලා භාර ගැනීම හා අනුබල දීම ඔවුන්ට එරෙහි චෝදනාය.
  • පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ පී ආර් සුභාෂ් ධර්මප්‍රිය හා ජී එම් සේපාල යන දෙදෙනාට එල්ල වී ඇත්තේ බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමීමේ වරදට දඬුවම් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා රුපියල් 50,000ක් ගාල්ල හෙට්ටිආරච්චිගේ සුසන්ත ප්‍රේමලාල් යන අයගෙන් ඉල්ලා භාරගැනීමේ චෝදනාවට සහ ඊට අනුබල දීමේ චෝදනාවයි.
  • ලග්ගල අඩවි වන කාර්යාලයේ වන ක්ෂේත්‍ර සහකාර එච් කේ පී නිරූප මහතාට නඩු පවරා ඇත්තේ ද පරිසරයට අදාල කාරණාවක් හා සම්බන්ධ අල්ලස් ගැනීමකටය. එනම් රක්ෂිතයට අයත් ඉඩමක බලපත්‍ර රහිතව පතල් කපා මැණික් ගැරීමේ වරද වෙනුවෙන් දඩුවම් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා රුපියල් 25,000ක් රත්නායක මුදියන්සේලාගේ යාපාරත්න බණ්ඩා මහතාගෙන් ඉල්ලා ලබා ගැනීමයි.
  • ලක්සල හිටපු සභාපති ඒ කොස්වත්ත, හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ එල් එම් එදිරිවීර පෙරේරා, අධ්‍යක්ෂ මුදල් එස් ආර් මල්කාන්ති පෙරේරා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ උපාලි ධර්මසිරි පෙරේරා යන මහත්ම මහත්මීට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් නඩු පවරා ඇත්තේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය අනුව ‘දූෂණය‘ නම් වරද සිදු කළැයි චෝදනා කරමිනි.  
  • වට්ටප්පල ග්‍රාම නිලධාරීව සිටි කේ එච් එම් තිලකරත්න මහතාට නඩු පවරා ඇත්තේ දීපාංගනී කුමාරී යන අයට රැකියාවක් සඳහා විදේශගතවීමට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තාව ලබා දීමට රුපියල් 15,000ක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවටය.
  • හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ඒ එච් එම් ඩී නවාස්, හිටපු නීතිපති මොහාන් පීරිස් සහ  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් චාල්ස් ෆර්ඩිනැන්ඩු යන මහත්වරුන්ට නඩු පවරා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද පරීක්ෂණයකට එම පරීක්ෂණය අත්හිටුවන ලෙසට නීති උපදෙස් ලබා දීමෙන් කරන ලදැයි කියන දූෂිත තීන්දුවකට එරෙහිවය.

රජයේ සේවකයෙක් තමාට වාසියක් කර ගැනීමට, වෙනත් අයකුට වාසියක් කිරීමට, ආණ්ඩුවට පාඩුවක් කිරීමට හෝ වෙනත් කෙනකුට පාඩුවක් කිරීමට තම නිලය (තත්ත්වය/බලය) යොදා ගැනීමෙන් ‘දූෂණය‘ නම් වරද සිදු කරයි. දැනට ඇති නීතිය අනුව දූෂණය නම් වරදට එරෙහිව නඩු පැවරිය හැක්කේ මහේස්ත්‍රාත් අධිකරණයේය.  පනත අනුව දූෂණය නම් වරද සිදු කරන ලදැයි ඔප්පුවුවහොත් ඔහුට හෝ ඇයට වසර 10ක සිර දඬුවම් ලබා දිය හැකිය.

ග්‍රාම නිලධාරියාගේ සිට අමාත්‍යංශ ලේකම් දක්වා ද විවිධ තරාතිරම්වල නිලධාරීන්ට මේ වන විට අල්ලස් පනත යටතේ සහ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

ගෙවුණු වසර තුනට අදාළ පැමිණිලිවලින් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 108ක් ද, මහාධිකරණයේ නඩු 160ක් ද ගොනු කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.   මේ තොරතුරු ලබා ගත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට තොරතුරු පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කරමිනි.

අල්ලස් පනත අනුව සහ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති පළාත් පාලන ප්‍රධානීන් අතර කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව් ලක්ෂ්මන්,  මීගමුව හිටපු නගරාධිපති ආර් ඇන්තනී, පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර් එම් සී එන් බණ්ඩාර රාජනායක,  දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  ඩබ්ලිව් පී එම් එස් ජයතිලක, නුවඑළිය හිටපු නගරාධිපති ඩී ජී මහින්ද කුමාර, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් වර්ණකුලසූරිය, පෑලියගොඩ හිටපු නගරාධිපති ආනන්ද පෙරේරා,  වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රියංග යන මහත්වරු ද වෙති.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,  සිවිල් ගුවන් සේවා හිටපු ඇමැති ප්‍රියංකර ජයරත්න,  අපදා කළමනාකරණ හිටපු අමාත්‍ය එච් එච් එම් ෆවුසි, ක්‍රීඩා හිටපු අමාත්‍ය එම් මහින්දානන්ද අලුත්ගමෙග්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලේ හිටපු සභාපති සරණ ගුණවර්ධන, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන මැති ඇමැතිවරුන්ට විරුද්ධව ද අල්ලස් පනත යටතේ සහ වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ ලේඛනවල දැක්වේ.

හිඟුරාන සීනි කර්මාන්තායතනයේ හිටපු සභාපති ඩී සී එස් ප්‍රේමරත්න,  බඩල්කුඹුර හිටපු ප්‍රාදේශීය ලේකම් ආර් එම් සී රත්නායක, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ඒ එච් එම් ඩී නවාස්, හිටපු නීතිපති පී එම් එම් පීරිස්, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් එම් එච් ෆර්ඩිනැන්ඩු, ලක්සල හිටපු සභාපති ඒ කොස්වත්ත,  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ජේ බී හීන්කෙන්ද,  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ඩබ්ලිව් රූපසිංහ, හිටපු රේගු අධ්‍යක්ෂ කේ රංජන්, මිහින් ලංකා හිටපු ප්‍රධාන විධායක එස් ද වාස් ගුණවර්ධන,  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වරාය අධිකාරියේ හිටපු සභාපති පී බී වික්‍රමගේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති පී එම් ජේ ජයසුමන චන්ද්‍රවංශ සහ ජාතික ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ආර් එම් බිංදුසාර ආදී ආයතන ප්‍රධානීන් රැසකට විරුද්ධව ද නඩු පවරා ඇතැයි ද කොමිසම සඳහන් කරයි.

අල්ලස විහිදී ඇති ක්ෂේත්‍ර ගැන අවබෝධයක් ලබා ගැනීමට මේ තොරතුරු ප්‍රමාණවත්වේ. දැනට පවතින නීතිය අනුව අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පමණි. පසුගිය දිනෙක අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ පෞද්ගලික ආයතනද අල්ලස් පනතට ගැනෙන පරිදි පනත සංශෝධනය කරන බවයි.    

රටේ ධනයෙන් කෝටි ප්‍රකෝටි ගණනක් අල්ලස හා දූෂණය නිසා විනාශ වෙයි. අල්ලස අවම කිරීමට නම් දැනුම්වත් කිරීම මෙන්ම සෑම අවස්ථාවකදීම අල්ලසට එරෙහි වීම ද සිදු කළ යුතුය.

අල්ලස් කොමිසමේ ලිපිනය, දුරකතන අංකය සහ ඊමේල් ලිපිනය පහත දැක්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,

A 36, මලලසේකර මාවත,

කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Email - ciaboc@eureka.lk