අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2014 සිට මෙතෙක් ලැබුණු පැමිණිලි 8000ක් ගොඩ ගැසී තිබෙන බව අනාවරණය වෙයි.

කොමිසමේ ප්‍රගති වාර්තාවෙන් අනාවරණය වන ඒ තොරතුරු රටට හෙළි කළේ 2018 නොවැම්බර් 20වැනිදා ලංකාදීප යයි. කොමිසමේ ඒ ප්‍රගති වාර්තාවට අනුව 2014 සිට 2018 ඔක්තෝබර් දක්වා කොමිසමට ලැබී තිබෙන පැමිණිලි ගණන 14,768කි. ඉන් 8,479ක් විමර්ශනය කළයුතු පැමිණිලි ලෙස තෝරාගෙන තිබේ. දැනට නඩු පවරා තිබෙන්නේ විමර්ශනය කළයුතු බවට තෝරාගත් පැමිණිලිවලින් (8,479න්) 368කට පමණකි. නඩු පැවරිය යුතුව තිබෙන පැමිණිලි සංඛ්‍යාව 8,111කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 95.66කි. දැනට නඩු පවරා තිබෙන සංඛ්‍යාවේ ප්‍රතිශතය සියයට 4.34කි.

පැමිණිලි එතරම් සුවිසල් සංඛ්‍යාවක් නඩු පවරාගත නොහැකිව ගොඩගැසී තිබෙන්නේ අවශ්‍ය තරමට විමර්ශන නිලධාරීන් නොමැතිකමින් බව ඒ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නොවැම්බර් 20 වැනිදා අප පුවත්පතට පවසා සිටියේය. ඒ මහතා කියා තිබෙන ආකාරයට මුළු කොමිසමටම සිටින්නේ විමර්ශන නිලධාරීන් 200ක් පමණකි. එයින් ද දූෂණ විමර්ශන සඳහා සුදුස්සන් සිටින්නේ 20කි. විගණන, ඉංජිනේරු, රාජ්‍ය පරිපාලන වැනි ඒ ඒ කේෂ්ත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත විමර්ශන නිලධාරීන් කොමිසමේ නැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. හෙතෙම කියන හැටියට එය බරපතළ තත්ත්වයකි. ලක්ෂ 60ක ජනගහනයක් සිටින හොංකොං රාජ්‍යයේ අල්ලස් දූෂණ විමර්ශනයට අවශ්‍ය නිලධාරීන් 1000ක් සිටියත් ලක්ෂ 222ක ජනගහනයක් සිටින ලංකාවේ අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට විමර්ශන නිලධාරීන් 200ක් පමණක් සිටීම සැබැවින්ම ඛේදවාචකයක්මය.

එය එසේ වී තිබෙන්නේ විමර්ශන නිලධාරීන් ලෙස නවකයන් බඳවා ගැනීම සහ එසේ බඳවා ගන්නන් පුරුදු පුහුණු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අවශ්‍යතාවක් හෝ වුවමනාවක් නොමැති නිසා නොවේ. කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාම කියන හැටියට ඒ අවශ්‍යතාව, වුවමනාව, ගාය, කැක්කුම, රුදාව නැත්තේ මෙරට ආණ්ඩු සහ ඉහළ පරිපාලන නිලධාරීන්ටය. ඒ බව සනාථ කිරීමට ඉවහල්වන කදිම කතාවක් 2018 ජුලි 10 වැනිදා ලංකාදීපයට හෙළිකර තිබුණේද මේ අධ්‍යක්ෂ ජනරාල්වරයාමය. කොමිසමේ දූෂණ විරෝධි යාන්ත්‍රණය සකස් කර සවිමත් කිරීමේ වැඩ පිළිවෙළට රුපියල් ලක්ෂ 160ක් ලබාදීමට පැවැති යහ පාලන රජයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. එහෙත් ඒ මුදල ලබාදීම ප්‍රතික්​ෙෂ්ප කර අැත්තේ මහා භාණ්ඩාගාරයේ සිටි එක් නිලධාරියෙකි. ඒ මුදල නිදහස් කර ගැනීමට එවකට සිටි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවා මැදිහත් වූවත් සිදුවී ඇත්තේ ලිපි හුවමාරුවක් පමණකි.

අවසානයේ දී මෙරට දූෂණ විරෝධී යාන්ත්‍රණය සැකසීමට මූල්‍යාධාර දී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ඒ හෙළිදරව්වෙන් යළි යළිත් සනාථ වන්නේ මෙරට ආණ්‍ඩුවලටත් රාජ්‍ය පරිපාලනයේ ඉහළින් වැජඹෙන ඊනියා පරිපාලකයන්ටත් රටේ සමාජාර්ථික දේශපාලන දේහයේ පිළිලයක්ව පවතින අල්ලස්, දූෂණ හා නාස්ති අතුගා දැමීමේ අවංක වුවමනාවක් නොමැති බවය.

එහෙත් ඔවුහු නාස්තිය හා දූෂණය තව තවත් ඉහළ යන කටයුතුවලට නොපැකිලිව නොමසුරුව අත හිත දෙති.

ජනතාවගේ කිසිම ඉල්ලීමකින් තොරව හා රටට කිසිදු අවශ්‍යතාවක් නොමැතිව තිබිය දී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4,486 සිට 8,689ක් දක්වා සියයට 94කින් ඉහළ නංවා ඔවුන් නඩත්තු කිරීමේ වැයබර රුපියල් කෝටි 84 සිට කෝටි 162 දක්වා සියයට 93කින් ඉහළ දැමීම ඊට කදිම නිදසුනකි. එය කළෝ යහ පාලන ආණ්ඩුකරුවෝය. මැති ඇමැති වැටුප් සියයට 215 කින් ඉහළ නංවා ගැනීමට සැරසු​ෙණා් ද ඔවුහුමය. එතෙක් ලැබුණු සුවිසල් වරප්‍රසාදවලට අමතරව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම මසකට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද ආණ්ඩු පක්ෂයෙන් තෝරාගත් අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීවරුන් 55 දෙනකුට මසකට තවත් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවුවෝද ඔවුහුමය.

වරප්‍රසාද වැඩිකර ගැනීමට ඇමැති මණ්ඩලයත් ඉහළ පරිපාලකයනුත් එසේ තකට තක ‘‘එකතු’’ වූවද රටේ සහ එහි දිවිගෙවන පීඩිත ජනයාගේ යහපත පතා ඔවුහු එසේ එක් නොවෙති. අල්ලස් කොමිසමට දෙන්නැයි අනුමත කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 160කි. එය කාලයේ හැටියට මහා මුදලක් නොවේ. අධීක්ෂණ මන්ත්‍රීවරුන් 55 දෙනාට මාස දෙකක් සඳහා ගෙවීමට වැය වූ මුදලටත් වඩා අඩු ගණනකි. එහෙත් ඒ සොච්චම් මුදල දී නැත්තේ අප ඉහත කී ගාය, කැක්කුම, රුදාව නොමැති හෙයින් බවට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවේ. ආණ්ඩුවල හා ඉහළ පරිපාලන නිලධාරීන්ගේ ඒ කෙරුවාවේ මහිමයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ දූෂණ දර්ශකයට අනුව දූෂණ මර්දනය අතින් ලංකාව සිටින්නේ 96 වැනි තැනය.

දූෂණ මර්දනයෙන් ලොව පළමු වැනි තැන සිටින්නේ නවසීලන්තයයි. එහිදී ආසියාවේ ඉහළින්ම සිටින්නේ සිංගප්පූරුවයි. දූෂණ මර්දනයෙන් සිංගප්පූරුව සිටින්නේ ලෝකයෙන්ම හයවැනි තැනය. අපේ දකුණු ආසියාවේ භූතානය සිටින්නේ 26 වැනි තැනය. ලංකාව සිටින්නේ භූතානයට වඩා ස්ථාන 70ක් පහළිනි. අපේ රටේ දූෂණය තවදුරටත් මෙලෙසම පැවැතුණොත් ජනතාව මත පැටවෙන බදු, දඩ හා ණය බර තව තවත් ඉහළ යනු නිසැකය. දූෂණ අවම කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වගකීම ඇත්තේ ආණ්‍ඩුවලටය. ආණ්ඩු ඒ වගකීම නිසිලෙස ඉටු කළොත් ජනතාව මත මෙලෙස බදු, දඩ හා ණය බර පැටවීමට සිදු නොවන බව ද තේරුම් ගත යුත්තේය.