වසන්ත ප්‍රිය රාමනායක

ශ්‍රී ලංකාවේ අධිකරණය කොතරම් ස්වාධීන ද යන්න අපේ නඩු විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණවල පිහිට පතන අයටත් දෙමුහුන් අධිකරණ යෝජනා කරන අයටත් මේ දිනවල පැහැදිලි වනු ඇත. එය දෙමළ සන්ධානයට හා සුමන්දිරන්ලාට ද වඩාත් වැදගත් වනු ඇත. මේ නිසා ජනාධිපති මෛත්‍රී අපේ නඩු විභාග කිරීමට පිටරට විනිසුරුවරුන් ද සහභාගීවන දෙමුහුන් අධිකරණ ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරය නැවත නැවතත් නිවැරැදි වෙමින් පවතී. එසේම කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාවේ තර්කයට තවදුරටත් ජාත්‍යන්තර තලයේ වුවද ඉඩක් නොලැබෙනු ඇත. 

මොන දේශපාලන අර්බුද පැවතිය ද මේ රට තවමත් නිවැරදි දිසාවට ගමන් කරන එසේම 2015 ජනවාරි 8 පුරුෂාර්ථවලට ගරු කරන හා ඒවා අනුගමනය කරන රටක් බවට පත්ව තිබේ. මේ අර්බුද මැද්දේ මතුවෙමින් පවතින රිදී රේඛාව එයයි. ඊට 2015 ජනවාරි 8 පෙරළියේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙන ජනාධිපති මෛත්‍රීගේ දායකත්වයද කිසිවකුට බලහත්කාරයෙන් අමතක කරවිය නොහැක. 
එසේම මෙවන් දේශපාලන අර්බුදයකදී රට හා රටේ නීතිය ආරක්ෂා කිරීමට පමණක් සීමාවෙමින් ආරක්ෂක හමුදා දක්වනු ලබන විනයගරුක බව දකුණු ආසියාවේ පමණක් නොව මුළු ලොවටම ආදර්ශයකි. අධිකරණ ක්ෂේත්‍රය කොතරම් විවෘතව හා ස්වාධීනව කටයුතු කරනවාද යන්න මේ මොහොතේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පවා රිමාන්ඩ් භාරයට පත්කර තිබීමෙන් වුවද පසක් වනු ඇත. 
ව්‍යවස්ථාමය පැත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙවැනි තැනට වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව අයත් පාර්ලිමේන්තු කණ්ඩායමයි. එහි නායකයා ජනාධිපති මෛත්‍රීය. එම කණ්ඩායම ගත් දේශපාලන තීන්දුවක් මත එතෙක් පැවැති රජයෙන් ඉවත් විය. මෙහි අගමැති වූයේ රනිල් වික්‍රමසිංහය. මේ සමඟම එම රජයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. මේ නිසා පාර්ලිමේන්තුවේ පසුගිය ඔක්තෝබර් 26ට පෙර පැවති සංයුතිය අහෝසි විය. ඊට අනුරූපව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව නව අගමැතිවරයකු පත් කර ගැනීමේ අවස්ථාව උදා වූ බව කවුරුත් මේ වනවිට දැනගෙන සිටින පොදු සත්‍යයයි. 

ඒ අනුව කිසිවකුට තනි බහුතරයකින් රජයක් පිහිටුවිය නොහැකි පරිසරයක ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයට රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම මෙන්ම ලබාගැනීමක් ද සිදුකර ඇත. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන්නේ ජනාධිපතිවරයා සතු එම ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන යටතේය. 

එතකොට 2015 ජනවාරි 8 වැනිදා මේ ජනාධිපතිවරයා බලයට පත් කළ යහපාලන ප්‍රතිපත්තියට මොකද වෙන්නේ? 
ඔය කියන යහපාලන ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආරක්ෂා කළාද? මහ බැංකුව ගිනි දවල් බින්දේ ඊට එකඟවද? කවුරුත් විරුද්ධ වූ එහි හිටපු අධිපතියා පත් කර ඔහු අතින් බරපතළ වරදක් සිදු වූ පසු ද ඔහු ආරක්ෂා කළේ කව්ද? රටට අවාසිදායක කොන්දේසි මත පොදු දේපළ විකිණීම යහපත් පිළිවෙතද? මේ ආදී වශයෙන් කාරණා රැසක් පෙළගැස්විය හැකිය. ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් ජාත්‍යන්තරය ජයගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම, 19 වැනි සංශෝධනයේ සමහර යහපත් ප්‍රතිපාදන රටට හඳුන්වාදීම හැරෙන්න යහපාලනය ගැන කතාකිරීම ලැජ්ජා සහගත වෙමින් පැවතිණ. ඊට එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් හෝ ඊට ඡන්දය දුන් ජනතාව වගකිවයුතු නැත. එම වගකීම පැවරෙන්නේ 19 වැනි සංශෝධනය මඟින් විකෘතියක් ලෙස ගොඩනැඟූ පුද්ගලයා ඇතුළු කුඩා කණ්ඩායමකටය. 

අගමැතිවරයා වැරැදි කරන විට ඔහුට එරෙහිව ඍජු මැදිහත්වීමක යෙදීම ජනාධිපතිවරයා සතු බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සටකපට ලෙස පැහැරගෙන ඇත්තේද මේ කණ්ඩායම මඟින් බව පෙනේ. එය එදා සිදුවූයේද යහපාලන පුරුෂාර්ථවලට මුවාවී බව පැහැදිලිය. 

සමස්තයක් ලෙසින් ගත් කල සිදුවී ඇති පෙරළිය 2015 ජනවාරි 8 ජනවරමට පිටුපෑමක් නොවේද? 

මේ රටේ වර්තමාන රාජ්‍ය නායකයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහවත් පසුගියදා අධිකරණය මඟින් අතුරු තහනමකට ලක් කළ මහින්ද රාජපක්ෂවත් නොවේ. වත්මන් ජනාධිපති මෛත්‍රීය. මේ නිසා තමන් බලයට පත්කළ ජනතාව බලාපොරොත්තු වූ යහපාලන ප්‍රතිපත්ති රැකදීමේ වගකීම බැරවන්නේ ජනාධිපතිවරයාටය. පසුගියදා ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාපිත බලය උපයෝගී කරගනු ලැබුවේ ඒ සඳහාය. 

එහෙත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ සමහර චෝදනාවලට ලක්වූවන් වර්තමානයේ විවිධ ආයතනවලට පත්වෙනවාය කියන චෝදනාව ගැන කියන්නේ කුමක්දැයි සමහරු ප්‍රශ්න කරමින් සිටිති. 

එවන් පත්වීම්ද වහා ඉවත් කරවා ගැනීමට ජනාධිපති මෛත්‍රී සමත් වී තිබේ යැයි නොකියන්නේ මන්ද? ඒ නිසා ව්‍යවස්ථානුකූලව වත්මන් ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුවත් යන දෙකම මෛත්‍රීගේය. හිටපු අගමැතිවරුන් ඉවත් වන්නේද, නව අගමැතිවරුන් පත්වන්නේද මෛත්‍රීගේ ආණ්ඩුවේය. එසේ පත්වන අගමැතිට හා මැති ඇමැතිවරුන්ට ක්‍රියාත්මක වීම පෞද්ගලිකව ඔවුන්ට බලපාන අයුරින් අතුරු තහනමකට ලක්වන්නේද අධිකරණයේ ස්වාධීනත්වය කරණකොටගෙනය. ඒ නිසා විනිසුරුවරුන්ගේ නිවෙස් අතීතයේ මෙන් ගල්මුල් ප්‍රහාරවලට ලක්වන්නේද නැත. 

එසේම රටක සුබසිද්ධිය උදෙසා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුන ගැටුමකින් තොරව එකිනෙකට සහසම්බන්ධව ගමන් කළ යුතුය. එසේ නොවන්නේ නම් රටේ අවුලක් ඇතිවේ. පසුගිය සමයේ පාකිස්තානයේ සිදුවූයේ එයයි. මෙය වගකිවයුතු බලධාරීන් කාගේත් අවධානයට ලක්විය යුතුය. මේ සියලු තත්ත්වයන් යටතේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ධුරයට පත් කිරීම හෝ ඒ සමඟ සිදු වූ පාර්ලිමේන්තුව කල් දැමීම අධිකරණයේ අභියෝගයට ලක් වී නොමැත. ඒ සම්බන්ධයෙන් කිසිවෙක් අධිකරණයට පැමිණිල්ලක් කර නැත. අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභංග යෝජනාවට අනුව ඉදිරිපත් වූ පෙත්සමකි. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුවය. දෙවනුව අභියෝගයට ලක්ව ඇත්තේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ සම්මත වූවා යැයි සැලකෙන විශ්වාසභංග යෝජනාවයි. විත්ති පාර්ශ්වයේ අභියෝගය විධිමත්ව සම්මත නොවූ බවයි. අතුරු තහනමක් ලැබී ඇත්තේ එම විශ්වාසභංග යෝජනාවට අදාළව පත්ව ඇති අගමැති හා මැති ඇමැතිවරුන් ක්‍රියාත්මකවීම අඩපණ කරමිනි. 

මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේත්, රටේත් අවධානය යොමුවී තිබේ. ඉන් අධිකරණය මඟින් දෙනු ලබන තීන්දු ප්‍රධානය. දෙවැන්න පාර්ලිමේන්තුවේ 225 අත්සන් කර ලියැවිල්ලක් ගෙනැවිත් බාරදුන්නත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය පවරන්නේ නැත යන ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. පෙරේදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුවේදී ද ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළේ මෙම ස්ථාවරයයි. 

මේ වන විට විධායකය හා ව්‍යවස්ථාදායකය අතර විසඳාගත යුතුව තිබූ ප්‍රශ්නය ප්‍රථමයෙන්ම කතානායකවරයාගේ මැදිහත්වීම නිසා අවුල් විය. 

“ඇත්තටම පාර්ලිමේන්තුව අවුල් කළේ කතානායකවරයායි. මම නම් දැක්කෙ නෑ මේ වගේ කතානායකවරයෙක්. මුළු පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම කතානායකවරුන් දුන් තීන්දු තීරණ මම අධ්‍යයනය කරලා තියෙනවා. ඔහුගේ (වත්මන් කතානායකවරයාගේ) පළ වූ මාධ්‍ය නිවේදනයේ කිව්වා නව අගමැතිවරයා පිළිගන්නා බවත්, අවශ්‍ය ආසන පහසුකම් සලසන බවත්. පස්සෙ මොකද වුණේ? සුමන්දිරන් ස්ථාවර අණපනත් අත්හිටුවන්න යෝජනාවක් ගෙනාවා. අන්න එතැනින් තමයි වැරැද්ද වුණේ. පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු දිනෙක ස්ථාවර නියෝග අත්හිටුවීමක් විපක්ෂයෙන් සිදුවී නැහැ.”

(ඩිව් ගුණසේකර 2018.12.02 මාධ්‍ය) 

දැන් සමස්ත ප්‍රශ්නය හා අර්බුදයම අධිකරණය දෙසට යොමුවී තිබේ. සියල්ලටම අධිකරණ තීන්දු එනතුරු බලා සිටීමට සිදුවී තිබේ. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ප්‍රශ්නයක් මේ තරම් සංකීර්ණ අයුරින් අධිකරණයේ තීන්දු තීරණ මත විසඳෙන තත්ත්වයක් මෙතෙක් නිර්මාණය වී නොතිබුණි. 

මේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු, වාමාංශික නායකයකු  මෙන්ම ප්‍රවීණ දේශපාලන විශාරදයකු වන හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර වත්මන් දේශපාලන අර්බුදය අළලා ඉදිරිපත් කර ඇති විචාරයට අපේ අවධානය යොමු කිරීම වැදගත්ය. 

එය නොබෝදා සති අන්ත පුවත්පතක පළවිය (2.12.2018) 

හිටපු අමාත්‍ය ඩිව් සඳහන් කරන කරුණ බරපතළය. ඔහුගේ අත්දැකීම් පරිපූර්ණ නිර්භීත මතයට වගකිවයුතු කාගේත් අවධානය යොමුවීම වැදගත්ය.