ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලබා ඇති මුල්‍ය සමාගම්වල සහ එවැනි බලපත්‍ර නැතිව මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගත් ඇතැම් සමාගම් යන දෙවර්ගයටම සමාගම්වල මුදල් තැන්පත් කළ පුද්ගලයන්ට සිය තැන්පතු මුදල් නොලැබී යාමේ අවදානම විවිධ කාලවල දී අප දැක ඇත. පසුගිය දශක ගණනාවකදීම මෙම තත්ත්වය අප රටේ දක්නට ලැබුණු අතර තමන්ගේ තැන්පතු මුදල් ඉල්ලා වැළපෙන සහ උද්ඝෝෂණ කරන ජනතාවට තම තැන්පතු මුදල් ආපසු ලබා ගැනීමට හැකිවේ ද? එසේ නම් ඒ කෙසේ ද? ඒ සඳහා කොපමණ කලක් ගතවේ ද? එම තැන්පතු මුදල් ආපසු ගෙවීමේ වගකීම ඇත්තේ කාට ද? අධිකරණමය ක්‍රියාමාර්ගවලින් ලබාගත හැකි පිළියම කුමක් ද? යනාදී ප්‍රශ්න ගණනාවක් තිබේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර නොමැතිව මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබා ගන්නේ නම් එවැනි සමාගම් නීති විරෝධී ක්‍රියාවක නිරත වන බැවින් ඒ අයට දඬුවම් කිරීමට නීතියේ ප්‍රතිපාදන තිබේ. එහෙත් එසේ දඬුවම් කළ පමණින් මුදල් තැන්පත් කළ අයට ඔවුන්ගේ මුදල් ආපසු ලැබෙන්නේ නැත. බලපත්‍ර නොමැතිව තැන්පතු මුදල් ලබා ගන්නා සමාගම්වල යම් කෙනකු මුදල් තැන්පත් කරන්නේ නම් එහි ඇති අවදානම ද එම තැනැත්තා විසින්ම බාරගත් බව පෙනී යයි. එසේනම් තම තැන්පත් මුදල් නැතිවීමේ පාඩුව ද එම තැනැත්තා විසින්ම දරාගත යුතුය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකට හෝ බැංකුවකට හෝ සිය තැන්පත් හිමියන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි වන්නේ නම් තත්ත්වය කෙබඳු වේද? මහ බැංකුවේ බලපත්‍රයක් ලබා තිබූ මුල්‍ය සමාගමක හෝ බැංකුවක මුදල් තැන්පත් කළ අයකුට සිය තැන්පත් මුදල් අනිවාර්යයෙන්ම ආපසු ලබාගත හැකි ද? අදාළ මුල්‍ය සමාගම හෝ බැංකුව යථා පරිදි කළමනාකරණය කරමින් පවත්වාගෙන යමින් ඒවායේ කෙටිකාලීන සහ දිගුකාලීන ද්‍රවශීලතාව ඉතා යහපත් මට්ටමක පවතිනවා නම් තැන්පත් හිමියන්ට ඒ අයගේ තැන්පතු මුදල් ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවේ. යම් හෙයකින් එවැනි මුල්‍ය සමාගමක් හෝ බැංකුවක් අයථා කළමනාකරණය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ අර්බුදයකට පත් වී තැන්පතු හිමියන්ට ඒ අයගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමට නොහැකි වුවහොත් ඇති වන තත්ත්වය කුමක් ද? 

මුල්‍ය සමාගම හෝ බැංකුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද ව්‍යාපාරයක් බැවින් මෙවැනි සමාගම්වල කටයුතු සඳහා අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ සමාගම් පනතයි. තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට නොහැකි නම් එයින් අදහස් කරන්නේ සමාගම බංකොලොත් (බුන්වත්) වී ඇති බවකි. සමාගමක් බංකොලොත් වූ විට සමාගමේ වත්කම් සියල්ල විකුණා ලැබෙන මුදල්වලින් සමාගමේ වගකීම් ගෙවා දැමිය යුතුය. මහජනතාවගෙන් ලබාගත් තැන්පතු මුදල් ද ගෙවීමට හැකිවන්නේ ඒ ආකාරයටමය. 

මෙයට අමතරව රජයට ගෙවිය යුතු බදු මුදල්, සේවකයන්ට ගෙවිය යුතු මුදල් සහ වෙනත් ණය හිමියන්ට ගෙවිය යුතු මුදල් ද සමාගමක වගකීම්වලට අයත් වේ. සමාගමක් ඈවර කිරීමේ දී බාහිර පාර්ශවවලට ගෙවිය යුතු වගකීම් ගෙවා දැමීමේ අනුපිළිවෙළක් නීතියේ සඳහන් වේ. ඒ අනුව රජයට ගෙවිය යුතු බදු සහ සේවකයන්ට ගෙවිය යුතු වගකීම්වලට ප්‍රමුඛතාව ලබාදිය යුතු වේ. මහජනයාගේ තැන්පතු මුදල් ගෙවීම කළ හැක්කේ ඉන් අනතුරුවය. ඒ සඳහා මුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය ගෙවිය යුතු වගකීම් අතර සමානුපාතිකව ගෙවිය යුතු වේ. 

එයින් අදහස් කරනුයේ තැන්පතු හිමියාට ලැබෙන්නේ මුළු තැන්පත් මුදල නොව ඉන් කිසියම් ප්‍රතිශතයක් පමණක් බවයි. ඉතිරිය නොලැබීමේ පාඩුව තැන්පතු හිමියා විසින් දරාගත යුතු වේ. 

අර්බුදයට පත් වූ මුල්‍ය සමාගම්වලින් තම තැන්පත් මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඔවුන් තැන්පතු හිමියන්ගේ සමිති පිහිටුවා ගනිමින් සාමූහිකව කටයුතු කරන බවක් ද වර්තමානයේ දකින්නට ලැබුණි. එවැනි සමිති විසින් හෝ තැන්පතු හිමියන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් මුල්‍ය සමාගම්වලට විරුද්ධව නඩු පවරා ඇති අවස්ථා ද දක්නට ලැබේ. මෙසේ නඩු පැවරීමේ දී එකිනෙකට වෙනස් විවිධ අධිකරණවල නඩු පවරා ඇති බව ද දක්නට ලැබේ. එවැනි නඩුවල දී ඇතැම් මුල්‍ය සමාගම්වල අධ්‍යක්‍ෂවරුන් සහ නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද අවස්ථා ද දක්නට ලැබුණි. එසේම ඒ අය ඇපමත නිදහස් වූ අවස්ථා ද දක්නට ලැබුණි. කෙසේ වුවද වර්ෂ ගණනාවක් ගත වී ඇතත් එවැනි ඇතැම් නඩු අවසන් වී නැති අතරම තැන්පත් හිමියන්ට ඒ අයගේ මුදල් ආපසු ලැබී ද නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව මහජනතාවගෙන් තැන්පත් මුදල් ලබාගත් සමාගම් සම්බන්ධයෙන් ද තත්ත්වය එසේම වේ. මෙයට අමතරව බලපත්‍ර නොමැතිව තැන්පතු මුදල් ලබාගත් යම් යම් සමාගම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා කොමිසමක් පත් කරන ලද අවස්ථා ද තිබුණි. ඇතැම් බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අධිකරණය මැදිහත් වූ අවස්ථා ද තිබේ. එහිදී එවැනි මුල්‍ය සමාගම් සඳහා නව ආයෝජකයන් සොයා ගැනීමට ද උත්සාහ කර තිබේ. මෙවැනි මුල්‍ය සමාගම්වල මුදල් ආයෝජනය කරන්නට කැමති ආයෝජකයන් තමන්ගේ මුදල්වලින් තැන්පත් හිමියන්ගේ තැන්පත් මුදල් ගෙවනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැක. එවැනි ආයෝජකයන් මුදල් යොදවන්නේ අර්බුදයට පත් වූ මුල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මිස තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොවේ. 

ඕනෑම මුල්‍ය ආයතනයක් ලබා ගන්නා මහජන තැන්පතු මුදල් විචක්‍ෂණ ලෙස ආයෝජනය කරමින් ලාභ ඉපැයීමට කටයුතු කිරීමේ වගකීම ඇත්තේ එම මුල්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලයට සහ එහි කළමනාකරණයටයි. ශ්‍රී ලංකා මහ බැංකුව මුල්‍ය ආයතනවල නියාමන ආයතනය වශයෙන් සිදු කරන්නේ රටේ මුල්‍ය ආයතන පද්ධතිය නියාමනය කිරීම මිස තනි තනි මුල්‍ය ආයතනවල කළමනාකරණයට මැදිහත්වීම නොවේ. වර්තමාන ලෝකයේ මුල්‍ය ආයතන නියාමනය කිරීමේ දී අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්‍රමිති තිබේ. ඒවාට අනුව මේ රටේ මුල්‍ය ආයතන පද්ධතිය නියාමනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් කාර්යයක් වේ. 

කරුණු එසේ වුවද, රටක කිසියම් මුල්‍ය ආයතනයක් නියාමන ප්‍රමිතිවලින් බැහැරව දැන හෝ නොදැන ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නම් නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි මුල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් යම් යම් ආරක්‍ෂාකාරී පියවර ගත යුතුය. එසේ නොකරන්නේ නම් මහ බැංකුව එහි වගකීම පැහැරහැරියා වන්නේය. අර්බුදයට පත් වී තිබෙන ඇතැම් මුල්‍ය සමාගම් මහජන තැන්පතු මුදල් විචක්‍ෂණ ලෙස ආයෝජනය කරනවා වෙනුවට ඒවායේ අධ්‍යක්‍ෂවරුන්ට අයත් වෙනත් සමාගම්වල (මුල්‍ය ආයතන නොවන) කටයුතු සඳහා යොදාගෙන ඇති බව මෑත කාලයේ අර්බුදයට පත් වූ මුල්‍ය ආයතන දෙස බැලීමේ දී පෙනී යයි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නට ඉඩ හැර එම මුල්‍ය සමාගම් තව තවත් මහජන තැන්පතු මුදල් ලබා ගැනීමට ක්‍රියාකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ද වගකීමක් පැවරේ. 

තැන්පතු හිමියන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් අදාළ මුල්‍ය සමාගම සතුව නැත්නම් ඒ සඳහා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂවරුන් එයට වගකිව යුතුය. මෙවැනි සමාගම්වල කොටස්හිමියන් (අයිතිකරුවන්) ඊට වගකිවයුතු ද යන්න තවත් ගැටලුවකි. කලින් සඳහන් කළ පරිදි මෙම මුල්‍ය සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද “සීමාසහිත වගකීමකින්” යුතු සමාගම් බැවින් අදාළ තැන්පත් මුදල් වගකීම් සම්බන්ධයෙන් කොටස් හිමියන් වගකීමට බැඳෙන්නේ නැත. එයින් අදහස් කරනුයේ එවැනි සමාගම්වල කොටස් හිමියන්ගේ පෞද්ගලික වත්කම් විකුණා තැන්පතු හිමියන්ට මුදල් ගෙවීමට එම කොටස් හිමියන් බැඳී නැති බව ය. එසේ වුවද, ඇතැම් විශේෂිත අවස්ථාවල දී කොටස් හිමියන්ගේ පෞද්ගලික වත්කම්වලින් මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පොදු නීතියේ (Common Law) දැක්වේ. එය ඉතා දීර්ඝ අධිකරණමය ක්‍රියාවලියක් මගින් සිදු කළ යුතු වේ.

අර්බුදයට පත් වූ මුල්‍ය සමාගම්වල තැන්පතු හිමියන්ට රජයේ මුදල්වලින් තැන්පතු ආපසු ගෙවීමට හැකි ද යන්න තවත් ගැටලුවකි. මෙම ගැටලුවට ඉතා සරල සහ ඍජු පිළිතුරක් ඇත. එනම් එවැනි මුල්‍ය සමාගම්වල මහජන තැන්පත් මුදල් ආපසු ගෙවීම සඳහා මහජන මුදල් යොදාගත නොහැකිය. එනම් රජයේ නැතහොත් මහජන මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන මුල්‍ය සමාගම්වල තැන්පතු වගකීම් ගෙවා දැමීම කළ නොහැකිය. රජයට අයත් මුල්‍ය ආයතන ඒවායේ ප්‍රචාරණ කටයුතුවල දී “රජයේ ආරක්‍ෂාව සහිත” මුල්‍ය ආයතන යනුවෙන් භාවිත කරන්නේ නම් එය එක්තරා ආකාරයක නොමග යවන සුළු ප්‍රකාශයකි. රාජ්‍ය බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් අර්බුදයට පත්වුවහොත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන ඒවායේ තැන්පතු හිමියන්ට මුදල් ගෙවන්නේ නැත. යම් මුල්‍ය සමාගමක් රජයට අයත් එකක් වුවද එවැනි සමාගම් සීමාසහිත සමාගම් බැවින් ඒවාට අදාළ වන්නේ ද ඉහතින් සඳහන් කරන ලද සමාගම් පනතම වේ. එසේනම් රජයේ ආරක්‍ෂාව යනු කුමක් ද? මෙහිදී රජයට අයත් මුල්‍ය සමාගම් හෝ බැංකුවල අයිතිකරුවා මහා භාණ්ඩාගාරය බැවින් එවැනි මුල්‍ය සමාගම් හෝ බැංකුවල කළමනාකරණය සම්බන්ධයෙන් විචක්‍ෂණ ලෙස කළමනාකරණය මෙහෙයවීම සඳහා මැදිහත්වීමක් සිදු කරයි. 

රාජ්‍ය බැංකු වෙනමම පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත කරන ලද “රාජ්‍ය සංස්ථා” ගණයට අයත් වේ. ඒවා සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ බලධාරියා වන්නේ රජයයි. ඒ රජය ඒවායේ අයිතිකරුවා වන නිසා ය. ඒවායේ වාර්ෂික විගණනය සිදු කරන්නේ රජයේ විගණකාධිපතිවරයා විසින් වන අතර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. එහෙත් පෞද්ගලික අංශයේ සීමාසහිත සමාගම් ලෙස සංස්ථාපනය කර ඇති මුල්‍ය සමාගම්වල සහ බැංකුවල මුල්‍ය වාර්තා විගණනය කරනු ලබන්නේ රජයේ විගණකාධිපතිවරයා විසින් නොවේ. එසේම එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් ද නැත. 

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ඇතැම් මුල්‍ය සමාගම් පවුලේ සාමාජිකයන්ට අයත් ඒවා (Family Companies) වේ. මෑත කාලයේ අර්බුදයට පත්ව ඇති මුල්‍ය සමාගම් කිහිපයක් ද මේ ගණයට අයත් වේ. එසේ හෙයින් තවදුරටත් පවුලේ අයට පමණක් අයත් මුල්‍ය සමාගම් පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු ද යන ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එළඹ තිබේ. අර්බුදයට පත්වන මුල්‍ය සමාගම්වල අයථා කළමනාකරණය සම්බන්ධයෙන් ඒවායේ අධ්‍යක්‍ෂවරුනට සහ කළමනාකරණයට නීති මගින් කටයුතු කළ යුතු බවට තර්කයක් නැත. එහෙත් එවැනි සමාගම්වල ව්‍යාපාර කටයුතු තවදුරටත් කරගෙන යාමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් එවැනි තත්ත්වයක් යටතේ තැන්පතු හිමියන්ට මුදල් ගෙවා දැමීමේ හැකියාවක් ඇති නොවේ. 

එවැනි සමාගම්වල ව්‍යාපාර කටයුතු මුළුමනින්ම නවතා දැමූ විට සමාගම්වලට කිසිදු ආදායමක් ඉපැයීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. මෙවැනි සමාගම්වල ව්‍යාපාරික කටයුතු නව කළමනාකරණයක් යටතේ හෝ කරගෙන යාමට ඉඩ ලබා දීමෙන් කලක් ගත වී හෝ ඒවායේ තැන්පත් හිමියන්ට තැන්පත් මුදල් ආපසු ගෙවා දැමීමට හැකිවනු ඇත. අනෙක් අතට මෙවැනි සමාගම් සම්බන්ධයෙන් විවිධ අධිකරණවලින් විවිධ නියෝග ලබා ගැනීම නිසා ද ඒ සමාගම්වල ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වේ. අධිකරණයට යාම මගින් මුල්‍ය සමාගම්වල අධ්‍යක්‍ෂවරුන්ට දඬුවම් ලබා දීමට හැකි වුව ද තැන්පතු හිමියන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් සියල්ල ආපසු ලැබී නැති බව ඉතිහාසය සාක්‍ෂි දරයි.