පෙබරවාරිමස 10 වන දින මෙරට පැවැත්වුණු ජන්ද විමසීම කුමක්ද යන්න, බොහෝ දේශපාලන ක්‍රියාකාරීන්ට මේ වන විට අමතකය. රටේ පහළම මට්ටමේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ආයතනවන පළාත්පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා ගැනීමට පැවැති මෙම මැතිවරණය දේශපාලන පක්ෂවල හා ඒවායේ නායකයන්ගේ ජනප්‍රියතාවමැන බැලීමටත්, ඒ මත තම දේශපාලනඅරමුණු සක්ෂාත්කර ගැනීමටත්යොදා ගැනීමට තරම්පහත් තත්ත්වයකට ඇද වැටීම පිළිබඳව ඇතැමුන්ට ලැජ්ජාවක් නොමැති බව මේ වනවිට ඉතාපැහැදිලිය.

මෙම තත්ත්වයටපසුබිම සකස් වූයේ 1977 න්පසු,දේශපාලන ක්‍රියාකාරීන්ට මෙරට කිසිදු කොටසකට නැති වරප්‍රසාද පිරිනමා ඔවුන්ව ඉහළට ඔසවා තැබීමට එකල රටේ දේශපාලන නායකත්වය ගන්නා ලද තීරණයක් නිසා බව අද වනවිට ඉතා පැහැදිලිය. සිංගප්පූරු අගමැතිවරයා දේශපාලනඥයන් දූෂණයට යොමුවීම වළක්වා ගැනීමටත් දැන උගත් පිරිස දේශපාලනයට එකතුකර  ගැනීමටත් දේශපාලනයට එන අයට යහපත් ජීවන මට්ටමක් සහතික කිරීම සඳහා ඉහළ වැටුප් හා දීමනා ලබාදීම සිදු කළ අතර එය අනුගමනය කරමින් දේශපාලඥයන්ට ඉහළ වරප්‍රසාද දීමටමෙරට එදා නායකයන් ගත් තීරණය මෙරට දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස්කිරීමට දායක වී ඇති බව මේ වන විට පැහැදිලිය.

විවිධ දේශපාලන පක්ෂ හරහා වෘත්තීය පදනමක් නැති බොහෝ පිරිස් දේශපාලනයට ආකර්ෂණය කර ගැනීමට මෙම වරප්‍රසාද හේතුවී ඇති අතර, බලයට පැමිණි පසු විවිධ ක්‍රමෝපා යොදා ගනිමින්මහජන මුදල් අවභාවිත කිරීමේ කටයුතුවල යේදීමට මේ අයගෙන් බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. දේශපාලන බලය කෙසේ හෝ ලබා ගැනීමටබොහෝ දේශපාලන ක්‍රියාකාරීන් යුහුසුලු වන්නේ ප්‍රධාන වශයෙන්ම මෙම හේතුව  නිසාය.

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵල මත ජාතික තලයේ දේශපාලන පෙරළියක් සඳහා කැස කවනදේශපාලන ක්‍රියාකාරීන් මෙරටබාල  පරපුරට උගැන්වීමට උත්සාහ කරන දේශපාලනය කුමක්ද? පාර්ලිමේන්තුව හා පළාත්පාලන ආයතන අතර ඇති වෙනස පාසල් වල සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නා අවුරුදු 10-15 වයසේ ළමයින් පවා දන්නා අතර, තම මහජන මුදලින් යැපෙන මෙම දේශපාලන නායකයන්ගෙන් ඔවුන් ලබා ගන්නා ආදර්ශය කුමක්ද? පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් අතරතුර පැවැත්වෙන අනෙකුත් ජන්ද විමසීම් වලින් රටේ ජනතාවගේ වෙනස්වන ජනමතය පිළිබිඹුවුවත්, එය රටේ සමාජ ආර්ථික අස්ථාවරභාවය ඇති කරන දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කිරීම කෙතරම් තර්කානුකූල ද?

ජාතික මට්ටමේ දේශපාලනයේ යෙදෙන දේශපාලන නායකයන් අවධානය යොමු කළ යුතුව ඇත. මහජනතාවට දැඩිසේ බලපාන ප්‍රධාන ප්‍රශ්න මොනවාද? අවාසනාවකට මේවා මහජන මුදලින් යැපෙන විවිධ වරප්‍රසාද භුක්ති විඳින ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්ට ප්‍රශ්න නොවේ.

මෙරට ජනතාවගේ වර්තමාන හා අනාගත අභිවෘද්ධිය කෙරෙහි බලපාන ප්‍රශ්න රැසක් මේවනවිටත් නොවිසඳී, ගොඩගැසී ඇති බව මෙරට මහපොළොවේ පය ගසා සිටින අයට පෙනේ.

ඉවක්බවක් නොමැතිව මෙරටට ගෙන්වන ලද වාහනවලින් මහාමාර්ග අතුරු සිදුරු නැතිව පිරී ඇති අතර පොදු ප්‍රවාහන සේවා අඩාල වී සාමාන්‍ය ජනතාව මහා ඛේදවාචකයකටමුහුණ දී සිටි. මීටවිසඳුම තවතවත්අධිවේගී මාර්ග ඉදිකිරීම බව සිතන දේශපාලනඥයන් මෙරට බහුල වීම ඉතාශෝචනීය වේ. මෙරට ග්‍රාමීය, වතු හා නාගරිකව ජීවත්වන බොහෝ ශ්‍රමිකයන් ඉහළ වැටුප් ලබා ගැනීම සඳහා මැදපෙරදිග, කොරියාව ආදී රටවලට යාමට දශක කිහිපයක සිට පෙළඹී ඇත.

ඉහළ යන වැටුප් හමුවේ කෘෂිකර්මය, නිෂ්පාදන කර්මාන්ත, වතු ආර්ථිකය ආදිය අඩාල වෙමින් පවතී. නාගරික පාසල්, ජාත්‍යන්තර පාසල් ආදියට තම දරුවන් ඇතුළත් කිරීමට බොහෝ මවුපියන් පොරකන අතර ග්‍රාමීය පාසල් ක්‍රමයෙන් පිරිහීමට භාජනය වී ඇත. සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රශ්න ද බොහෝසේ නොවිසඳී පවතී. දේශීය හා වීදේශීය ප්‍රාග්ධනය නාගරික මධ්‍යම පාන්තික මහල් නිවාස හා වාණිජ ගොඩනැගිලි සඳහා බෙහෙවින් යොදවන අතර, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික අතිරික්තය ඇතැම් නවීන පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා බෙහෙවින් යොදවමින් සිටින අතර, ඔවුන් වැල්පොලියට ණය දෙන මූල්‍ය ආයතනවල ගොදුරු බවට පත්වී ඇත.

ඉහත සඳහන් කරනු ලැබුයේ මෙරට ජාතික තලයේ දේශපාලනඥයන් දිවා රෑ වෙහෙසී සාකච්ජා කොට විසඳුම් ලබාදිය යුතු ප්‍රශ්න අතරින් කිහිපයක් පමණි. මීට අමතරව ලෝක මට්ටමින් අප මුහුණ දෙන දේශගුණික විපර්යාස, විදේශණයගොඩගැසීම, ආදිය ඊටත් වඩා ගැඹුරු හා සංකීර්ණ ප්‍රශ්න වන අතර, ඒ සඳහා ද මෙරට දේශපාලනඥයන් දැඩිසේ අවධානය යොමු කළ යුතුව ඇත. අද වන විට, රටේ බොහෝ ප්‍රදේශ දැඩිනියඟයකට ද, මුහුණ දී ඇති අතර, ඒ මගින්බොහෝ ග්‍රාමීය පවුල් ඉතා ශෝචනීය තත්ත්වයකට පත්ව ඇත.


මේවා  අපගේ ජාතිහිතෛෂී දේශපාලකයන්ට ප්‍රශ්න නොවිය හැකිය. අපි ඔවුනට අවශ්‍ය යානවාහන, සෞඛ්‍ය පහසුකම්, කෑමබීම, නොමසුරුව සපයා ඇත්තෙමු. ඔවුන් කළයුත්තේ තම සුපුරුදු දේශපාලන ක්‍රීඩාවේ යෙදෙමින් කාලය ගත කිරීමද?. පළාත්පාලන මැතිවරණය පවත්වා තෝරාපත්කර ගනු ලැබූ පුද්ගලයන් එම ආයතන ප්‍රකෘතිමත් කිරීම සඳහා පෙළගැස්වීමටත් ඒ මත ඒ ඒ ප්‍රදේශවල මහජන ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන් මෙහෙයවීමත් සඳහා කටයුතු කිරීම කාගේ වගකීමද? එය දේශපාලන පක්ෂවල හා ඒවායේ නායකයන්ගේ වගකීමක් ලෙස ඔවුන් සලකන බවත් පෙනෙන්නට නැත. එසේ නම් විශාල මහජන මුදලක් නාස්තිකර මෙම මැතිවරණය පැවැත්වූයේ ඇයි? පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලය ජාතික දේශපාලන තලය තුළ බලය ලබා ගැනීම සඳහා පදනමක්කර ගැනීම අද වනවිට ඇතැම් දේශපාලන කණ්ඩායම්වල ප්‍රධානම අරමුණ වී ඇති අතර, බලය ලබා ගන්නේ කුමක්සඳහා ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.

අනෙක් අතට බලයේ සිටින සභාග රජය පිළිබඳව දැඩි කල කිරීමක් ඇති කරන නායකයන් රැසක් මෙරට ජනතාවට පසුගිය වසර කිහිපය තුළ දැකගත හැකිවිය. විද්‍යාත්මකව ඇමැති මණ්ඩලයක් පත්කිරීම, සියලු  රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීම, තර්කානුකූල ප්‍රතිපත්ති මගින් රටේ ප්‍රශ්න විසඳීම සඳහා ක්‍රමානුකූලව පියවර ගැනීම, ආදී විවිධ බලාපොරොත්තු 2015 මැතිවරණ සමයේ මහජනතාවට ලැබුණු අතර, ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීමක් පසුගිය වසර තුන තුළ දැක ගත නොහැකි විය. දුෂණය මර්දනය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් ලෙස 2015 දී ඉදිරිපත්වුවත්, සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි.

ව්‍යවස්ථාමය කරුණක් ඉදිරිපත්කර විශාල ඇමැති මණ්ඩලයක් පත්කළ අතර එය මහජන ප්‍රසාදයට හේතු  වූවායැයි සිතීම උගහටය. එපමණක් නොව ඇමැතිවරුන්ගේ වැටුප් හා වෙනත් වරප්‍රසාද ද වැඩිකර ගන්නා ලදී.


රටේ අවශ්‍යතාව පැහැදිලිය. මහජනතාව මුහුණදී සිටින ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් සහගතව, ප්‍රමුඛතා පදනමක් මත ප්‍රතිපත්තීමය හා වෙනත් වැඩසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීම එම අවශ්‍යතාවයි. මෙය පහසුකරුණක් නොවූවත්, ඒ සඳහා කැපවීම හා සුදානම රටේ ජනතාවට පැහැදිලිවිය යුතුය. රටේ විවිධ අංශ භාර ඇමැතිවරුන් රට විවිධ දිසාවලට ඇද ගෙන යාමට පසුගිය කාලයේ දැකගත හැකිවූ අතර, යම් පොදු අරමුණු කිහිපයක් වටා රාජ්‍ය පාලනය ගොනු කිරීම ජාතික අවශ්‍යතාව වේ.

ඒ සඳහා රජය පොදු අරමුණු හඳුනා ගතයුතු අතර, ඒ සඳහා සියලු ශක්තීන්හා සම්පත් මෙහෙයවීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි වැඩපිළිවෙළක් කිසිම ක්‍ෂෙත්‍රයක දැකිය නොහැකිය. මෙම තත්ත්වය වෙනස්කර ගැනීම හදිසි අවශ්‍යතාවක් වන අතර, ඒ සඳහා සෑම කෙනකුම කැපවිය යුතුව ඇත. රජය මුහුණ දී ඇති අභියෝගයට මුහුණ දිය හැක්කේ එවැනි යොමුවීමකින් පමණි.

එසේ නොවුනහොත්, රටේ ඉදිරි අනාගතය සුබදායක නොවනු ඇත. ජාතික සමඟිය යටපත්වී, සමාජ ආර්ථික ප්‍රශ්න වර්ධනය වී, දුෂණය හා අවනීතිය නැවත හිස එසවීමක් සිදුවුව හොත්, සාමකාමී හා සමෘද්ධිමත් රටක ජීවත්වීමේ අයිතිය හා අපේක්ෂාව රටේ ජනතාවට අහිමිවීම වැළැක්විය නොහැකිවනු ඇත.  

දැන උගත් පිරිස් විශාල පිරිසක් පසුගිය කාල වකවානුව තුළ මෙරට හැර ගියත්, තවමත්, විවිධ ක්‍ෂෙත්‍රවල හසල දැනුමක් ඇති විශේෂඥයන් පිරිසක් තවමත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය, පර්යේෂණ ආයතන හා බොහෝ රාජ්‍ය ආයතන වල මෙන්ම පෞද්ගලික අංශය තුළ ද දැකගත හැකිය. කෘෂිකර්මය, කර්මාන්ත, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, ජල කළමනාකරණය, සමාජ සැලසුම්කරණය, ආදී විවිධ ක්‍ෂෙත්‍ර ක්‍රමවත්ලෙස ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය දැනුම ඔවුනට ඇත.

මේවාට සම්බන්ධ ආයතන නිර්දේශපාලනික පදනමක් මත ප්‍රතිසංවිධානය කොට, ඒ මගින් රටේ ආර්ථික හා සමාජ  සංවර්ධනය සඳහා ඉතා ඉක්මනින් පියවර ගැනීම රාජ්‍ය නායකයන්ගේ ප්‍රධාන වගකීම වේ. ඔවුන් අතර, මතවාදීමය හා වෙනත් නොගැළපීම් තිබිය හැකි වුවත්, රටේ ප්‍රධන ගැටලු ප්‍රමුඛතා පදනමක් මත විසඳීම සඳහා සියලු භෞතික හා මානව සම්පත් යොදාගැනීම නොවලහා කළයුතුව ඇත. මේ සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් මත සාමූහිකව කටයුතු කිරීම සඳහා හැකිතාක් පිරිස් ඊට සම්බන්ධකර ගැනීම අවශ්‍යවේ.