සුප්‍රකට ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථයක් වූ මහාවංශයට අනුව ලංකාවේ සිංහල වර්ගයේ ඉතිහාසය ඇරඹෙන්නේ ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ලක්දිවට ගොඩබට විජය ප්‍රමුඛ ඉන්දු ආර්යයන්ගෙනි.

දේශගවේෂක වීරයකු වූ විජයගේ ලංකාගමනය සිදුවූයේ මීට වසර දෙදාස් පන්සිය ගණනකට පෙරය. ඒ යුරෝපාදී බටහිර රටවල දේශගවේශක වීරයකු වූ කොළොම්බස් කියුබාවට ගොඩබසින්නට අවුරුදු දෙදහස් ගණනකට ඉහතදීය.

ඉන්දියාව සොයා බටහිරට යාත්‍රා කළ ස්පාඤ්ඤ ජාතික කොලොම්බස් කියුබාවට ගොඩබැස්සේ ක්‍රිස්තු වර්ෂ 1492දීය. කියුබා, ඩොමිනිකාදි ලතින් ඇමෙරිකානු දූපත් බටහිර ඉන්දියා දූපත් ලෙස හඳුන්වන ලද්දේ ඉන්දියාව සොයා බටහිරට යාත්‍රා කළ ගමනේදි එම දූපත් හමුවූ නිසාය.

කොලොම්බස් ගිය මාවතේ බටහිරට යාත්‍රා කළ ඇමෙරිකන් වෙස්පුසි ඇමෙරිකා මහාද්වීපය සොයාගත් හෙයින් එය ඇමෙරිකාව ලෙස හඳුන්වනු ලැබිණි. එහෙත් ඇමෙරිකන් වෙස්පුසිටත් මගපෑදූ කොළොම්බස් යුරෝපයේ දේශගවේශක මහාවීරයා ලෙස සැලකේ. යුරෝපය තමන්ගේ කලාපයෙන් බිහිවූ දේශගවේෂකයන් වීරයන් ලෙස සැලකුවත් ලංකාවේ ඇතැම් බටහිර අනුකාරකයින් විසින් විජය දේශගවේශක වීරයකු ලෙස පිළිගන්නවා වෙනුවට ඔහු දුරාචාරයට යොමුවූ අකීකරු සාහසිකයකු ලෙස පහත් ආකාරයෙන් සලකනු ලැබේ.

විජය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොසඟවා ප්‍රකාශ කරන මහාවංශය විජය සිය පියා වූ සිංහබාහු රජුට ද කීකරු නොවූ ප්‍රචණ්ඩ තරුණ නායකයකු වුවත් පසුව ඔහු ලක්වැසි ප්‍රජාව එකමුතු කළ රාජකීය නායකත්වයක් බවට පත්වූ බවත් පෙන්වා දී තිබේ.

මහාවංශයේ කියැවෙන විජයාගමනය ඉන්දියාවේ අජන්තා සිතුවම්වලට ද නැගී ඇත්තේ ඉන්දුආර්යයන් ලංකාවට පැමිණීම ජාත්‍යන්තර වැදගත්කමකින් යුතු ප්‍රවෘත්තියක් වන හෙයිනි.

විජයගේ ප්‍රබල පෞරුෂයට වසඟවූ දේශීය යක්ෂ ගෝත්‍රික නායිකාවක වූ කුවේණියගේද සහාය ඇතිව ලංකාවේ බලය තහවුරු කරගත් විජය සිරිසවස්තුපුරයේ පැවැති මහා මංගල උත්සවයකට කඩා පැන යක්ෂ නායකයින් විනාශ කළද යක්ෂ ගෝත්‍රික ජනතාව විනාශ කළේ නැත.

මෙවන් සිද්ධියක් ප්‍රංශයේ සිදුවූයේ ඊට අවුරුදු දෙදහසකට පසු වැසීහිදීය. ප්‍රංශයේ රාජ්‍ය උරුමය සහිත දෙපාර්ශ්වයක නායකයින් සහභාගි වූ මහාමංගල උත්සවයකට කඩාපැන කළ රාජ්‍ය උරුමක්කාරයින් ඝාතනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මහා ඒකාධිපතියෙකු වූ බුර්බෝන් වංශික දාහතර වැනි ලුවිගේ පාලනයට මගපෑදිණි. යුරෝපා දේශපාලන විචාරකයින් දාහතර වැනි ලුවීගේ ඒකාධිපති පාලනය හඳුන්වන ලද්දේ එක් ටැඹක් මත ගොඩනැගු පාලනයක් ලෙසිනි.

කුවේණියගේද සහාය ඇතිව යක්ෂ නායකත්වය වනසා යක්ෂ ගෝත්‍රික සාමාන්‍ය ජනතාව තම නායකත්වය යටතට ගත් විජය කෲර ඒකාධිපතියකු වූයේ නැත. විජය රට කරවුයේ අනුරාධ, විජිත, උපතිස්ස, උදේනි ආදි ඇමැතිවරුන් සමග සහයෝගයෙන් සමගියෙනි.

ඒ නිසාම විජයගේ අභාවයෙන් පසු පඬුවස්දෙව් කුමරා සිංහපුරයේ සිට ලංකාවට පැමිණ සිංහලයින්ගේ රජ බවට පත්වන තුරු අවුරුද්දක් තරම් කාලයක් රට කරවූයේ උපතිස්ස ඇමැතියාගේ ප්‍රධානත්වයෙනි. ලංකාවේ එසේ වුවත් ඊට වසර දෙදහසකට පසු කියුබාවට ගොඩබට කොළොම්බස් කියුබානු ස්වදේශීය ජනයාගෙන් සියයට අනූවක් තරම් පිරිසක් සමූහ වශයෙන් ඝාතනය කර ඉතිරි සුළු පිරිස ද වහළුන් බවට පත්කරගෙන කියුබාවේ ස්පාඤ්ඤ ආධිපත්‍යය පිහිටුවීම දියුණු යයි කියන යුරෝපීයයන්ට ආදර්ශයක් විය. කොළොම්බස්ගේ ආදර්ශය අනුව ගිය යුරෝපීය යටත් විජිතවාදීහු මුළු ලතින් ඇමෙරිකාවම ස්පාඤ්ඤ හා පෘතුගීසි ආධිපත්‍යය යටතට ගත්හ.

මෙක්සිකෝව, පැනමාව, කොළොම්බියා, වෙනිසියුලා, බොලීවියා, චීලී, ආර්ජන්ටිනා, උරුගුවේ, පැරාගුවේ ආදි ලතින් ඇමෙරිකානු රටවල් ස්පාඤ්ඤ ආධිපත්‍යය යටතට ගනු ලැබූ අතර ඒ රටවල විසූ මායා, ඉන්කා, ඇස්ටෙක් හා මෙස්ටිසෝ ආදි ස්වදේශීය ජන කොටස් ස්පාඤ්ඤ ආධිපත්‍යය යටතට ගැනීමේ ප්‍රතිඵලය වූයේ සුවිසාල බ්‍රසීලය හා බී්‍රටින් ගයනා සහ පෙන්ච් ගයනා යන කුඩා රටවල් හැර මුළු ලතින් ඇමෙරිකාවම ස්පාඤ්ඤ භාෂාව කථාකරන කතෝලික ආගම අදහන කලාපයක් බවට පත්වීමය. ලංකාව මෙන් හැත්තෑ දෙගුණයක් තරම් විශාල වූ බ්‍රසීලය අවුරුදු විස්සක් ගතවන්නට කලින් යටත් කර සියවසක් ගත වෙන්නට කලින් බ්‍රසීලය පෘතුගීසි භාෂාව කථාකරන කතෝලික ආගම අදහන රටක් බවට පත් කළ හැකි විය.

එසේ වුවත් කාලතුවක්කුවෙන් ලොව හෙල්ලූ ලෝක බලවතෙක් වූ පෘතුගීසීන්ට එරෙහිව අවුරුදු සියයකට වැඩි කාලයක් සටන් කළ සිංහල ජනතාවගෙන් සියයට දහයක් වත් කතෝලික ආගමට හරවාගත හැකිවූයේ නැත.

කතෝලික වූවන්ද සාදරයෙන් සිංහල කථා කරති. ශත වර්ෂයක කාලයක් තිස්සේ කළ සමූහ ඝාතන ප්‍රයත්න පදනම් කරගත් ආක්‍රමණවලින් සිංහල ජනගහණයෙන් තුනෙන් පංගුවක් විනාශ වුවද පෘතුගීසීන්ට මුහුදකරයෙන් ඔබ්බට බලය පතුරුවාගත නොහැකි විය.

ඌව, වෙල්ලස්ස, සබරගමුව, වන්නිහත්පත්තුව, මහනුවර, මාතලේ හා දකුණේ දෙනියාය, රන්මල්කන්ද, මුල්කිරිගල ආදි ප්‍රදේශත් බස්නාහිර පළාතේ රයිගම, පස්දුන්රට, පැළෑඳ ආදි ප්‍රදේශත් සිංහල බලය පැවතිණි. ලන්දේසීන්ද සිංහල රාජධානිය යටත් කර ගන්නට දැරූ උත්සාහයන් අසාර්ථක වූ පසු වානිජවාදීන් ලෙස සිංහල රජු සමග ගිවිසුමක් අත්සන් කර වාර්ෂිකව රජුට කප්පමක් ගෙවා කුරුඳු, කරාබු ආදී කුළුබඩු වෙළෙඳාම කරගත හැකි විය. ඉර නොබස්නා ලෝක අධිරාජ්‍යයක් ගොඩනැගූ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පළමුවන උඩරට ආක්‍රමණය අවසන් වූයේ සමූලඝාතන පරාජයකිනි.

විජය රජුගේ පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා වූ සියලු සිංහල රජවරුන් විදේශ කුමන්ත්‍රණයකට මුහුණදී සිංහලේ ජාතික, ආගමික, සංස්කෘතික උරුමය රැක ගැනීමට තරම් වීරෝදාර වූහ. ද්‍රවිඩ සම්භවයක් ඇති නායක්කාරවංශික රජවරුන් පවා සිංහල බෞද්ධ දේශප්‍රේමී ජාතික නායකයෝ බවට පත්වූහ. ලන්දේසීන් සමග පැවැති ගිවිසුම් උපයෝගී කරගෙන කැලණිය, බෙන්තරගලපාත, වැලිගම අග්‍රබෝධි හා දෙවුන්දර රජමහා විහාර ප්‍රතිසංස්කරණය කර ලක්වැසි ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා සලස්වා දෙන්නට කටයුතු කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු බෝධිසත්ව ගුණෝපේත රජකු ලෙස සිංහල බෞද්ධයන්ගේ සම්මානයට පත්විය.

ලාබාල වියේ රජවී රදළ නිලමේවරුන්ගේ වෙනස්කම් මධ්‍යයේ නුවර නගරයට අලංකාරයක් වූ සොබා පරිසරවාදී බෝගම්බර වැව කරවන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි. වර්තමානයේ අපට දකින්ට ලැබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් කරවන ලද වැවෙන් භාගයකි. වැවෙන් හතරෙන් පංගුවක් ගොඩකර ක්‍රිකට් පිට්ටනියක් බවට පත්කර දේශප්‍රේමී කැරළිකරුවන් හිරකිරීම සඳහා වැවෙන් තවත් හතරෙන් පංගුවක් ගොඩකර බෝගම්බර බන්ධනාගාරය කරවන ලද්දේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසිනි. බෝගම්බර වැවෙන් භාගයක් ගොඩකිරීමෙන් පසු ලංකාවට පැමිණි සුප්‍රකට රුසියන් ලේඛක ඇන්ටන් චෙකොප් ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ තමා දුටු සුන්දරම රාත්‍රී දර්ශනය කඳුකර නගරයක් වූ මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දැල්වෙන පහන් ආලෝකය බෝගම්බර වැවේ ජලය මත දිස්වෙන ආකාරය බවයි. එම දර්ශනයට පසුබිම් වන බහිරව කන්දේ සෙවනැල්ල ගැනද චෙකොෆ්ගෝ විස්තරයේ දැක්වේ.

වීර චාරිකාවක යෙදෙමින් ලක්දිවට පැමිණි විජය රජතුමාගෙන් ඇරඹුණු සිංහල රාජවංශය විදේශ ආක්‍රමණ දාසයකට මුහුණදී සිංහලේ උරුමය රැකීමට ජනතාවට නායකත්වය දුන්හ. විජය සමග ලංකාවට පැමිණි අනෙක් නායකයින් වූ අනුරාධ, විජිත, උපතිස්ස, උදේනි ආදීන් අනුරාධගාම, විජිතගාම, උපතිස්සගාම හා උදේනිගාම ආදී ප්‍රධාන ගම් ගොඩනගන්ට මුල්වෙද්දී සාමාන්‍ය ජනතාව තම අභිප්‍රාය අනුව තලාව, රඹෑව, ගිරිබාව, හොරොව්පොතාන, මහකනදරාව, මහගල්කඩවල, පදවිය, වලස්වැව, හල්මිල්ලෑව, වව්නියාව ආදී නියම්ගම් ගොඩ නැගුහ. ක්‍රිස්තු වර්ෂ එක්දහස් තුන්සිය ගණන්වල පටන් උතුරු වන්නිකරයේ දෙමළ බලය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආකාරය කියන්නට අමාරු දෙමළ ජනයාගේ සුඛ උච්ඡාරණය සඳහා වැව්නියාව වව්නියාවක් බවට පත්වුවද වව්නියා දිස්ත්‍රික්කයේ යම් තරමක දේශප්‍රේමී සිංහල ජනතාවක් සිටි නිසා ප්‍රභාකරන්ට හෝ ඔහුගේ ආයුධ සන්නද්ධ අනුගාමිකයින්ට හෝ වව්නියාවට එන්නට නොහැකි විය.

ප්‍රභාකරන් කිලිනොච්චියෝ කඳවුරු බැඳගෙන සිටියදී මේ ලිපිය ලියන මට වව්නියා නගර මධ්‍යයේ පිහිටි බෝධිදක්ෂිණාරාමයේ පැවැත්වුණු දහම්ගුරු සමුළුවකදී රටේ මධ්‍ය කඳුකරයෙන් ඇරඹී ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහවැලි ගඟ නැතිව කන්තලේ, පදවිය හෝ වව්නියා දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුමක් නැති බවත් රට පුරා සේවයේ යෙදෙන දෙමළ වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ඕවර්සියර්වරුන් හා කම්කරුවන් දක්වා සියල්ලන් විසින් මාස්පතා උතුරට එවන මනිඕඩර් නැතිව මෙන්ම උතුරේ නිෂ්පාදනවලට දකුණේ වෙළෙඳපොළ නැතිව අලෙවියක් නැති බවත් පෙන්වා දිය හැකි විය. පැය දෙකෙක් තිස්සේ මාකළ දේශනය දෙමළට පරිවර්තනය කළේ සිංහල මවකගේ හා දෙමළ පියෙකුගේ පුතෙකු වූ භාෂා දෙකම හොඳින් දන්නා පොලිස් පරීක්ෂකවරයෙකි. දේශනය සංවිධානය කිරීමේදී මුල්වූයේ එවකට වව්නියා දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජයවීර මහත්මාය. දෙමළ හින්දු දහම් ගුරු භවතුන් එකසිය තිස් හය දෙනෙකු හා සිංහල බෞද්ධ දහම් ගුරු භවතුන් අසූ දෙදෙනකු සහභාගි වූ එම දහම් ගුරු සමුළුවේ මා ඉදිරිපත් කළ බෙදුම්වාද විරෝධී ජාතික ආගමික සමගි මතවාදය එක හඬින් පිළිගැණින.

“මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව බුද්ධශාසනයේ චිරස්ථිතිය උදෙසා වේ” යයි ප්‍රකාශ කරමින් රට එක්සේසත් කිරීමේ සටන රට මැද මහියංගණයෙන් පටන්ගත් දුටුගැමුණුගේ ආදර්ශය අනුව ගිය වළගම්බා, ගජබා, ධාතුසේන, දෙවැනි සේන, හතරවැනි මිහිඳු, අග්‍රබෝධි හා මහා විජයබාදී ශ්‍රේෂ්ඨ ජාතික වීරයෝ ලොවටම ආදර්ශවත් අභිමානවත් විමුක්තිකාමී ඉතිහාසයක් ගොඩ නැගූහ.

මුළු ඉන්දියාවම තමන් යටතට ගෙන ඉන්දියන් සාගර කලාපය පුරා බලය පතුරුවාගත් රාජරාජගේ මූණ්මඩිචෝල මණ්ඩල අධිරාජ්‍යය බිඳවැටීමේ ක්‍රියාවලිය ඇරඹුණේ කීර්ති කුමාරයාගේ නායකත්වයෙන් රුහුණෙන් පටන්ගත් විමුක්තිකාමී මහ සටන් ව්‍යාපාරය නිසාය. එය දෙමළ චෝල බලයට යටත්ව සිටි උතුරු ඉන්දීය ආර්යයින්ටද ආදර්ශයක් විය.  විජයබාහු නමින් රජ වූ කීර්ති කුමාරයාගේ නායකත්වයේ අගය ඉන්දියානු ඉතිහාසඥ නීලකණ්ඨ ශාස්ත්‍රී විසින් පවා පෙන්වාදී ඇත්තේ විජයබාවන් ජාත්‍යන්තර ආදර්ශයක් බවට පත්වී ඇති නිසාය.

ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ මහ පැරකුම්බාවන්ගේ අභාවයෙන් දසක හතරකට පසු ලක්ෂ සංඛ්‍යාත දෙමළ කුලී සේනාවක් රැගෙන ආ කාලිංග මාඝ පොළොන්නරුව ලේ විලක් බවට පත් කළද විමුක්තිකාමී සිංහල ජනතාව පසුබට වූයේ නැත. නොඑක් ගම්නියම්ගම්වල කඳවුරු බැඳගෙන සතුරු බලයට එරෙහිව නැගී සිටි සියල්ලන්ට නායකත්වය දෙමින් ඉදිරියට ආ තුන්වැනි විජයබාහු මහ සටන් මාලාවක් මෙහෙයවමින් පොළොන්නරුව දක්වා ඉදිරියට යමින් මාඝ පරදවා පලවා හරින්නට සමත් විය.

දඹදෙණිය මූලස්ථානය කරගෙන ජාතික සංවර්ධන ක්‍රියාමාර්ගය දියත් කළ තුන්වැනි විජයබාවන්ගේ පුතණුවන් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නමින් රජවී පොළොන්නරුවේදී අභිෂේක උත්සවයක් පැවැත්වුවද දෙමළ කුලී සේනාවන් විසින් විනාශ කරන ලද රජරට වැව් බැඳි රාජ්‍යය වනගත වන්නට විය. රජරට වනගත වෙද්දී දෙමළ කුලී සේනා රැගෙන ආ ආර්ය චක්‍රවර්තිගේ ආක්‍රමණයත් තමන් බෞද්ධයයි කියමින් ජා සේනාවක් රැගෙන ආ ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණයත් නිසා සාහිත්‍ය කලාදියෙන් දියුණු වූ දඹදෙණි යුගය අවසන් වී කුරුණෑගලට රාජ්‍ය බලය ගෙන යන්නටත් චීන ජාතික චෙංහෝගේ ආක්‍රමණයත් සමග රාජ්‍ය බලය රටමැද කඳුකරයේ ගඟසිරිපුරට (ගම්පලට) ගෙනයන්නටත් සිදුවිය.

ගම්පල රජ වූ හතරවැනි වික්‍රමබාහු රජ සමයේ ගඩලාදෙණිය, දෙගල්දොරුව හා ඇම්බැක්කේ විහාරස්ථාන ජාතික සංස්කෘතිය මූර්තිමත් කළ විහාරාරාම බවට පත්වූ අතර දැදිගමින් හා ගම්පහ ප්‍රදේශයෙන්ද බිහිවූ රාජකීය නායක කණ්ඩායම්වල උපරිම අවස්ථාව වූයේ කෝට්ටෙන් බිහිවී රට එක්සේසත් කළ හයවැනි ශ්‍රී පැරකුම්බා රජුගේ ජයග්‍රහණයයි. සිය දියණිය වූ උලකුඩය දේවිය යාපනේ ප්‍රධාන ප්‍රභු පරපුරකට අයත් නන්නූර්තුනෙයියාර්ට විවාහ කර දී යාපනේ රාජකීය උරුමය සහිත සෙම්බගප්පෙරුමාල් කුමරු තම පුතකු ලෙස ප්‍රකාශ කරමින් ඔහුට හමුදාපති ධුරයද ලබාදී යාපනය ජයගන්නට සේනාවන් සමග මෙහෙයවූ හයවැනි ශ්‍රී පැරකුම්බාවන්ගේ ක්‍රියාමාර්ගය සාර්ථක විය. සිංහලයින් අතර සපුමල් කුමරු නමින් ප්‍රකට වූ සෙම්බගප්පෙරුමාල් සිය දෙමළ ඥාතීන්ද සහාය කරගෙන වසර දෙසිය ගණනක් සිංහල රජදහනින් ඈත්ව තිබූ උතුර කෝට්ටේ රාජධානියට එක්කරන්නට සමත් විය. පසුව හයවැනි බුවනෙකබාහු නමින් සිංහලයින්ගේ රජු බවටද පත්විය. තම පුතකු ලෙස උඩරට කුමරෙකු වූ අම්බුළුගල කුමාරයා ද යොදාගැනීම රට එක්සේසත් කිරීමේදී හයවැනි ශ්‍රී පැරකුම්බාවන්ට ශක්තියක් වුවත් ඒ ශක්තිය හයවැනි බුවනෙකබාහු නමින් රජවූ සපුමල් කුමරුට ලැබුණේ නැත. පසුව උඩරට වෙනම රජ දහනක් බවට පත්වුවද විමලධර්මසූර්ය රජතුමාගේ උදාර ක්‍රියාමාර්ගය නිසා මහනුවර රාජධානිය පෘතුගීසි විරෝධී ජාතික මධ්‍යස්ථානය බවට පත්විය. විමලධර්මසූර්ය රජතුමාගේ සොහොයුරු සෙනරත් රජුගේ පුතණුවන් වූ දෙවැනි රාජසිංහ පෘතුගීසි බලයට අභියෝගයක් වූයේ ලෝක ඉතිහාසයට එක්වන ජයග්‍රහණයක් ලබන්නට සිංහල ජනතාවට හැකි විය.

 

මාලේවන ධර්මවිජය හිමි
(කලින් අනගාරික ධර්මසේකර තුමා)