(වසන්තපි‍්‍රය රාමනායක)

වර්තමාන පළාත් සභා බිහිවූයේ 1987 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. 13 වැනි සංශෝධනය ඉන්දු - ලංකා ගිවිසුමේ ප‍්‍රතිඵලයකි. ඉන්දු ලංකා ගිවිසුම ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම උදෙසා සිදු වූ ඉන්දියානු මැදිහත්වීමේ ප‍්‍රතිඵලයකි. එම ගිවිසුම මඟින් එල්.ටී.ටී.ඊ.ය හැර ශී‍්‍ර ලංකාවේ උතුරුකරයේ බෙදුම්වාදය වෙනුවෙන් සටන් කළ සංවිධාන සියල්ල අවි බිමතබා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්විය. එසේම ඔවුහු පළාත් සභා ක‍්‍රමයක් මඟින් ඒකීය රටක බලය බෙදාගැනීම සඳහා එකඟ වූහ.

මේ නිසා පළාත් සභා එක්තරා විධියකින් ශී‍්‍ර ලංකාව තුළ බෙදුම්වාදී ද්‍රවිඩ අභිලාෂ වෙනස් කළ බලය බෙදාහදාගැනීමේ ප‍්‍රාදේශීය පාලන ව්‍යුහයකි. පළාත් සභා ක‍්‍රමය මඟින් මෙරට තුළ ඒකීය රාජ්‍යයක පරිදි බලය බෙදීමක් සිදුවිය. ඒ නිසාම සමහරු මෙය පෙඩරල් හෝ අර්ධ පෙඩරල් ව්‍යුහයක් ලෙසින් ද හඳුන්වති.

ආරම්භයේ සිටම සමගාමී ලැයිස්තුව අහෝසි කර පවතින පළාත් සභා ව්‍යුහය හෝ ශක්තිමත් කළ යුතුය යන ඉල්ලීම විශේෂයෙන්ම උතුරේ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් විය. මේ අතර පළාත් සභා සතුව පවතින බලතල තාවකාලිකව හෝ පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් ගැන කල්පනා කිරීමටවත් පසුගිය සමයේ ද්‍රවිඩ පක්ෂ සූදානම් නොවුණි. ඊට හේතුව එමඟින් සමහර බලතල අහෝසි කිරීමේ ප‍්‍රවණතාවයක් හෝ ඒ සඳහා අත්හදා බැලීමක් හෝ සිදුවිය හැකිය යන විශ්වාසය නිසාය. එසේම ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කළ යුතුය යන සටන් පාඨය අළුයට ගිනි පුපුරු මෙන් තවමත් දකුණේ ජාතිකවාදී පක්ෂ තුළ ඉඳහිට හෝ මතුවෙමින් පවතී.

මේ අතර වර්ධරාජා පෙරුමාල් මහඇමැතිවරයාගේ උතුරු නැගෙනහිර පළාත් සභාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡුන්දයකින් විසුරුවා හැරීමට එදා රණසිංහ පේ‍්‍රමදාස යුගයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හැකිවිය. එහෙත් කිසිවිටක පළාත් සභා බලතල තාවකාලිකව හෝ පාර්ලිමේන්තුවට පවරා ගැනීමක් මෙතෙක් දක්නට නොලැබිණ. යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් එය සිදුවන්නේ නම් එය පළාත් සභා ක‍්‍රමයට එක්වනු ලබන අලූත් අත්දැකීමක් වන්නේය. එසේම අනාගතේ බිහිවිය හැකි ජාතිකවාදී රජයකට පළාත් සභා සතු යම් යම් බලතල අහෝසි කිරීමට හෝ මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට හෝ මෙම සංශෝධනය පූර්ව ආදර්ශයක් වීමට ද ඉඩ තිබේ. එය එක්තරා විධියකට අන්තවාදී හෝ ජාතිකවාදී චින්තනය ලබන ජයග‍්‍රහණයකි.

මේ රටට පළාත් සභා ක‍්‍රමය හඳුන්වා දෙන ලද්දේ එක්සත් ජාතික පක්ෂ රජයක් මඟිනි. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට යූ.ඇන්.පී.යෙන් එක් වූ ප‍්‍රගතිශීලී සංශෝධනයකි. එසේම මෙම ඓතිහාසික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය සියලූ වාදබේද පසෙකලා යූ.ඇන්.පී.ය හා පැරණි වම එක්වූ අවස්ථාවක් ලෙසින්ද සැලකේ. එදා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට විරුද්ධ විය. පසුව යථාර්ථවාදීව කල්පනා කළ එම පක්‍ෂ දෙක පළාත් සභා ක‍්‍රමය පිළිගෙන තම නියෝජිතයනට එ්වාට පත්වීමට හා විශේෂයෙන්ම ශී‍්‍ර.ල.නි.ප.ය පළාත් සභා බලය ලබාගැනීමට ද සමත්විය.

මේ වනවිට මේ රටේ පළාත් සභාවල (උතුරු නැගෙනහිර හැරෙන්නට) වැඩිම කාලයක් බලයේ රැඳී සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව අමුතුවෙන් කිවයුතු නැත.

වර්තමානයේ අපේ රටේ පසමිතුරු ප‍්‍රධාන පක්ෂ දෙක එකට ආණ්ඩු කරති. දේශපාලන ඉතිහාසයේ පෙළ ගැස්මේ හා ප‍්‍රධාන පක්ෂ දෙකේ හැසිරීමේ අපූර්වත්‍වයක් දක්නට ලැබේ. එදා පළාත් සභා නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමටත් එදා පළාත් සභා ක‍්‍රමය පිළිනොගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා පොළඹවා ගැනීමේ උත්සාහයකත් නිරතව සිටී. එසේම තාවකාලිකව හෝ පළාත් සභා බලතල රජයට හෝ පාර්ලිමේන්තුවට පවරා ගන්නවාට අතිශයින් විරුද්ධ වූ උතුරේ ද්‍රවිඩ සන්ධානය ද මේ වනවිට ඊට පක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

පවතින මනාප උදෙසා ඇනකොටා ගන්නා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය වීම යහපත්ය. එහෙත් ශරීර කෘත්‍යයක් නැතිනම් ”එළිබැහීමේ” රුදාව ඇති වූ පසු ඒ සඳහා කඩිමුඩියේ පිට්ටනි සොයන්නාසේ පළාත් සභා 3ක නිල කාලය අහෝසිවී ඡන්ද විමසීම ආසන්න වන විටම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට ඡන්ද කල් දැමීමට සූදානම්වීම ප‍්‍රශ්නකාරීය. මෙය හුදෙක් වසරකින් දෙකකින් හෝ ඡන්දය කල් දමා ගැනීමේ උපක‍්‍රමයක්දෝ යන සැකය මතුවේ. මේ සඳහා නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කරලීමේ ප‍්‍රගතිශීලී යෝජනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මඟින් කරළියට ගෙනැවිත් ඇත. එය යහපත්ය. එවැන්නක් උදෙසා ඡන්දය කල් දැමීමේ වැදගත්කමක් නැත්තේ නොවේ. එහෙත් නව මැතිවරණ ක‍්‍රමයක් උදෙසා පළාත් පාලන ආයතනවල මැතිවරණය කල් දැමීමේ කාලසීමාව දෙස බලන විට මේවා කල්වේලා ඇතිව පටන් ගැනීමට තිබූ ක‍්‍රමවේදයක් මේ තරම් කඩිනමින් ගෙන එන්නේ මන්ද යන ප‍්‍රශ්නයට පිළිතුරක් නොමැත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියලූම පක්ෂවල ප‍්‍රධාන ලේකම්වරුනට යවා ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

”කිසියම් ඡන්දදායක සමූහයක් විසින් නිශ්චිත කාලයක් සඳහා තෝරා පත්කරගනු ලබන මහජන නියෝජිතයන්ගේ නිලකාලය එකී ඡන්දදායක සමූහයාට අයත් සාමාජිකයන්ගේ නිසි එකඟතාවක් නොමැතිව දීර්ඝ කිරීම යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට ඉඳුරාම පටහැනිය යන්න මැතිවරණ කොමිෂන් සභාවේ මතය වන බව මෙයින් දන්වා සිටිනු කැමැත්තෙමි.”

මීට ඉහතදී මැතිවරණ නොපවත්වා කාලය දික්කරගත් ප‍්‍රධාන අවස්ථා දෙකක් අපට හමුවේ. එක් අවස්ථාවක් වූයේ 1975ට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය එදා බලයේ සිටි සමඟි පෙරමුණු රජය මඟින් 1977 දක්වා කල්දමා ගැනීමය. මෙය සිදු වූයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය උපයෝගීකර ගනිමිනි. 1983 ලාම්පු කළගෙඩි ජනමත විචාරණ ඡුන්ද මඟඩිය මඟින් එක්සත් ජාතික පක්ෂ රජයක් ද පාර්ලිමේන්තු කාලය වසර 6කට දීර්ඝ කර ගන්නා ලදී. එදා ඊට අදාළ නීතිමය කි‍්‍රයාදාමය නිවැරැදි බව තහවුරු වී තිබුණි. එහෙත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සදාචාරය එවැන්නක් අනුමත කළේ නැත. අදත් එම සිදුවීම් මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කළුපැල්ලමක් ලෙසින් සටහන් වී තිබේ.

එදා 1977දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආසන 8 දක්වා අන්ත පරාජයක් උරුම වීමට එක්සත් ජාතික පක්ෂයට අදත් නිදහස් මැතිවරණ වාතාවරණයකදී තනි පක්ෂයක් ලෙසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකර ගැනීමටත් නොහැකිවී තිබෙන්නේ මේ කාලවර්ණ ඉතිහාසය නිසා දැයි කියන්න දන්නේ නැත. භීෂණ සමයේ 1989 පැවැති පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් සාධාරණ මැතිවරණයක් ලෙසින් නොසැලකේ. 1994දී ගිලිහුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලය අදත් වසර 23ක් ඇවෑමෙන් වුවද ගෙඩිය පිටින් ලබා ගැනීමට නොහැකිවී තිබේ.

එහෙත් නව මැතිවරණ ක‍්‍රමයක් අපේක්‍ෂාවෙන් ටික කලකට හෝ පළාත් සභාවක මැතිවරණ කල් දැමීම කළුවර මැදින් උදාවන රිදී රේඛාවක් වැනිය. මනාප මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුය. ඒ පිළිබඳ විවාදයක් නැත. 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය තුළ වුවද ඊට අදාළ ප‍්‍රතිඥව ජනාධිපති මෛතී‍්‍ර ජනතාව ලබා දී තිබේ. එය ඉටුකිරීම පිළිබඳ විවාදයක් නැත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. මනාප ක‍්‍රමය නිසා මැතිවරණ සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදුවේ. මම මෙය සපුරා වෙනස් කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම මැතිවරණ කොට්ඨාසයකට අනිවාර්යයෙන්ම එක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු හෝ සිටින බව සහතික වීමයි. (මෛතී‍්‍ර පාලනයක් - ස්ථාවර රටක්)

පසුගිය සමයේ මීට අදාළ ප‍්‍රතිපාදනය සාකච්ඡාවට බඳුන්වූයේ යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළය. එහෙත් විසිවැනි සංශෝධනය හිටිහැටියේ පෙරමුණට ගෙන තිබෙන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොඑන නිසා දැයි කියන්න දන්නේ නැත. කෙසේ නමුත් පවතින ජරාජීර්ණ මනාප ක‍්‍රමය අහෝසිවී ආසන මට්ටමේ මැතිවරණ ක‍්‍රමයක් රටට ලැබෙන්නේ නම් ඒ යෝජනාවේ සාධනීය බවක් තිබේ.

එහෙත් රජය පැත්තෙන් ඉදිරිපත්වී ඇති මුල් කෙටුම්පතේ සඳහන් වන්නේ පළාත් සභාවෙ බලය තාවකාලිකව පාර්ලිමේන්තුවට පැවරීමක් ගැනය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ඊට සංශෝධන ඉදිරිපත් වන්නේම ඔවුනගේ සහභාගිත්‍වයකින් තොරව එවන් කෙටුම්පතක් සැකසීම නිසාදැයි කියන්න දන්නේ නැත. මෙය පළාත් සභාවලට බලය බෙදාහැරීමේ මූලික සිද්ධාන්තයටම පටහැනි බව අමුතුවෙන් කිවයුතු නැත. මේ නිසා පළාත් සභා මඟින් මුල්කෙටුම්පත ප‍්‍රතික්ෂේප කිරීමෙන් ආණ්ඩුවට පිළිතුරු ලබා දී තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් තොරව ආණ්ඩුවට කිසිසේත්ම මෙවන් කෙටුම්පතක් සාමාන්‍ය ඡුන්දයකින්වත් සම්මත කරගත නොහැකිය. තුනෙන් දෙකේ අනුමැතිය සඳහා නම් ශී‍්‍ර.ල.නි.ප. කණ්ඩායමේ සහාය අත්‍යවශ්‍යය. මේ නිසා ආසන මට්ටමේ නව මැතිවරණ ක‍්‍රමය සමඟින් නිශ්චිත දිනයක මැතිවරණය තීන්දුකර මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට පැවරෙන සාධනීය සංශෝධනයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පැත්තෙන් (ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම) ඉදිරිපත්වී ඇත. තුනෙන් දෙකක අනුමැතිය මත වුවද 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට හැකිවන්නේ ශී‍්‍ර.ල.නි.ප. ආණ්ඩුවේ කණ්ඩායම ගනු ලබන තීරණය මතය.

මේ සමඟම ඒකාබද්ධ විපක්‍ෂයට ළඟ එන පළාත් සභා තුනෙන් විශේෂයෙන්ම සබරගමුව හා උතුරුමැදින් ලබාගැනීමට තිබෙන ජයග‍්‍රහණය පසුබැස්සීමේ උපක‍්‍රමයක්ද ගුප්තව 20 වැනි සංශෝධනය තුළ ගැබ්ව තිබෙනවාසේ පෙනෙයි. මේ නිසා පැහැදිලිව ඡන්ද ගොඩ දෙකට තුනට බෙදීයන මැතිවරණයක් වෙනුවෙන් වසරකට වැඩි කාලයක් බලා සිටීමට ඔවුනට සිදුවේ.  එසේම වැරදිලාවත් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් එය ආණ්ඩුව ලබන එක්තරා පරාජයක් මෙන්ම ළඟ ළඟ පැවැත්වෙන පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට අභියෝගයක් විය හැකි ගල උඩ සටනක් වනු ඇත. මේ නිසා 20 වැනි සංශෝධනය ආණ්ඩුවටත්, ඒකාබද්ධ විපක්ෂයටත්, රජය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමටත්, තීරණාත්මකය.