මිලින්ද මොරගොඩ 

රටට ගැළපෙන නායකයා ගැන අලුත් ආකල්පයක් වශයෙන් පවතින මෙකී ස්වභාවය නිර්මාණය කරන පසුබිම අධ්‍යයනය කළ යුතුය. රටේ පවතින බෙදීම එයට බලපා තිබේ. පැහැදිලිවම පන්ති අතර ගැටුමකි. යටත් විජිත පාලනයෙන් රට නිදහස් කරගැනීම සඳහා එක්සත්ව ක්‍රියා කරන ලද පන්ති පරතරයක් නොතිබුණ ලාංකික ජන සමාජය අද නැත. ලංකා ජාතික කොන්ග්‍රසය නිදහස උදෙසා රටට විශාල දර්ශනයක් ලබා දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි. එහි නායකයෝ පතාක යෝධයන් වූ අතර පටු වාද භේද පසෙක ලා එක අරමුණකින් ක්‍රියා කළහ. කාලයාගේ ඇවෑමෙන් ජාතික කොන්ග්‍රසය බෙදී, කොටස්වලට කැඩී දේශපාලන මුහුණුවරක් ගත් ආකාරයටම මෙරට ජන සමාජය ද දරුණු බෙදීම් හා ඉරිතැලීම් ගණනාවකට මුහුණ දී ඇත. එක්සත් ජාතික පක්ෂය සහ එයින් වෙන්වී නිර්මාණය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව වාමාංශික අදහස්, ජාතිකත්වය හා අවසානයේ දී ආගම ද පදනම් කරගෙන දේශපාලන පක්ෂ බිහිවී තිබේ. මේවා සමාජය බෙදා වෙන් කර අරගලකාරී මත අවුලවන්නට හේතුවී ඇත. 

සමාජය එකතු කරන වෑයම අනියමින් වළකන ගෝත්‍රවාදී පක්ෂ දේශපාලනයක් රට තුළ බිහි වී තිබේ. එම දේශපාලනය තුළ සමාජයේ ඉහළ පැලැන්තියේ නියෝජනය යටි පෙළක් වශයෙන් පවතී. පක්ෂ මාරු වන නමුත් පැලැන්තියේ වෙනස්කමක් සිදුවූයේ නැත. නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ සමාජයේ වරප්‍රසාද රහිත පැලැන්තියෙන් නායකත්වයට පත් වූ අවස්ථා ඇත. එකී අවස්ථා දේශපාලන පක්ෂ අතර බරපතළ අරගලයකට පසු ඇති වූ තත්ත්ව පමණක් නොව අභියෝග මැද පැවැත්ම ආරක්ෂා කරගන්නට සිදුවූ බව ද සඳහන් කළ යුතුය. දේශීය ඉහළ සමාජ ස්ථරය, නිලධාරිවාදය හා බටහිර යන අංශවල උපායශීලී මැදිහත්වීම යුග පරිවර්තනයට සියුම් බලපෑමක් කළේය. එවැනි පසුබිමක් හමුවේ මෙරට දේශපාලන පක්ෂ දේශජ අනන්‍යත්වයක් ඇති කිරීමෙහි ලා සහමුලින්ම අසමර්ථ බව පිළිගත යුතුය. රට තුළ විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ සමාජ පන්ති වශයෙන් වන බෙදීම් තුරන් කර එක දැක්මක් වෙනුවෙන් ක්‍රියා කරන්නට පක්ෂ දේශපාලනයට පුළුවන්කමක් ලැබී නැත. 

දේශීය අනන්‍යතාව ගොඩනැඟීමේ වුවමනාවේ අසාර්ථකත්වයට පසු මෙරට බිහිවී ඇති ස්වභාවය කුමක්ද? පැහැදිලිව පෙනෙන කඳවුරු දෙකක් නිර්මාණය වීමය. එකක් බටහිරට නැඹුරු, ඉංග්‍රීසියෙන් කතාකර එම භාෂාවෙන් හිතන, ලිබරල් කොටසකි. සුළු ජාතිකයෝ ද සාමාන්‍යයෙන් එම කඳවුරට ළැදිය. අනෙක් කඳවුර සිංහල බෞද්ධ පාර්ශවයයි. ස්වදේශිකත්වය ගැන හිතන යම් ආකාරයකට බටහිර මතවාදය ප්‍රතික්ෂේප කරන පිරිසකි. බටහිර චින්තනය ගුරු කරගත් ඉංග්‍රීසි කතා කරන පැලැන්තියේ ආර්ථික සහ සමාජ වැඩ පිළිවෙළ අසාර්ථක එකක් වී තිබේ. අලුත් ක්‍රමකට යා යුතු බව සිංහල ජාතිකවාදී පාර්ශවයේ අදහසයි. ආගමික හා ජාතික නායකයන් ගෙන් සැදුම්ලත් සිවිල් සමාජය මෙරට පාලන ව්‍යුහය සම්බන්ධයෙන් වෙනස්කම් යෝජනා කරන්නේ එකී අරමුණ සාක්ෂාත් කරගනු සඳහාය. රාමුව තුළ තැනින් තැන කරන ලද වෙනස්කම් හා එම වෙනස්කම් සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ පසුබිම තුළ විකෘති පාලන ක්‍රමයක් නිර්මාණය වී තිබේ. තමන්ගෙන් ගිලිහෙන බලය ආරක්ෂා කරගැනීම සඳහා අනුගමනය කරන උපාය හෙයින් පොදු අපේක්ෂකයා වැනි සිංහල බෞද්ධ තාවකාලික ප්‍රතිරූපයකින් පංති පැලැන්තියේ අවශ්‍යතා ආවරණය කරගන්නට ද පුළුවන්කම ලැබී තිබේ.

සමාජය අතෘප්තියට පත්කරන උපායශීලී පාලනය, එය ඇතිකරනු සඳහා රට තුළ නිර්මාණය කරන ලද මතවාදය අද වන විට සහමුලින්ම අසාර්ථක වී ඇත. එම අසාර්ථකත්වය පදනම් කරගෙන පොදු ජනතාව රට වෙනස් කරන තද පාලනයක අවශ්‍යතාව ඉල්ලා සිටින බව සඳහන් කළ යුතුය. ජන සම්මතවාදී, සංවාදශීලී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා තද තීරණ ගන්නා නායකයකුගේ සම්ප්‍රාප්තිය වැදගත්ද? ජාත්‍යන්තරයේ පවතින උදාහරණවලින් එය තේරුම්ගත හැකිය.

ලෝකයේ නොයෙක් රටවල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අනුගමනය කරයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ ගැළපෙන පරිදි සකස් කරගෙන තිබේ. එය එකී රටවල ජනතාවගේ කැමැත්තයි. එසේ තිබිය දී පවා ඇමරිකාව, බි්‍රතාන්‍ය, ප්‍රංශය ඇතුළු බටහිර රටවල ප්‍රජාතන්ත්‍රවාදය එක්තරා අර්බුදයකට ලක්ව තිබේ. අනන්‍යතාව ප්‍රශ්න කරන්නට පටන් ගෙන ඇති අතර ගෝලීයකරණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මතුවන ජන සංක්‍රමණයට විරුද්ධත්ව ජාතික බලවේග පැන නැඟී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථික ක්‍රමය දැනට පවතින සාධාරණ ක්‍රම වශයෙන් ගැනෙන අතර ඒවා වෙනුවට විකල්ප සුදුසු ක්‍රම බිහි වන තෙක් වෙනත් ප්‍රවාහයක් නැත. ලාංකික ජන සමාජය, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ එක්තරා ආකාරයක අධිපතිවාදී පාලකයකු ඉල්ලන්නේ වෙනත් රටවල ද නැඟෙමින් පවතින අර්බුදවල එක කොටසක් වශයෙන් බව ද සඳහන් කළ යුතුය. එවැනි නායකත්වයක ප්‍රායෝගික ස්වභාවය කුමක්ද?

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවතින ලෝකයේ විශාලතම රට ඉන්දියාවයි. නිදහස් ඉන්දියාවේ පළමු නායකයා වූ ජවහල් ලාල් නේරු අසීමිත ජන වරමකින් අති විශාල ජනතා විශ්වාසයක් සහිතව ඉන්දියාවේ නායකත්වයට පත් විය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැවැතිය යුතු විපක්ෂ, නොඑසේනම් විකල්ප මතවාදයට ඉඩක් නැති තරමට ප්‍රබල නායකත්වයක් විය. සුවිශේෂී පුද්ගලයකු වශයෙන් කේන්ද්‍රීය, අසීමිත බලය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවිය හැකි අනතුර ඔහු හඳුනාගත්තේය. චානක්‍ය නමින් පුවත්පත්වලට ලිපි ලියන නේරු අගමැතිවරයා වෙනස් මත ජනතාව හමුවේ තැබීය. එක්තරා අවස්ථාවක ඒකාධිපති පාලනයක හැඩය “රෝමයේ සීසර්” නමින් හඳුන්වන හෙතෙම දරදඬු තද පාලනයකින් කෙටි කාලයකට ආර්ථිකය දියුණු කළ හැකි නමුත් එමගින් ජනහිතකාමී පාලනයකට වඩා සමාජය විකෘති වන අතර ජනතාවගේ සැබෑ නිදහස ප්‍රමාද වන බව අනාවරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ තද පාලකයන් ගෙන් සිදුවිය හැකි අනතුර ජවහල් ලාල් නේරු වැනි පරිණත දේශපාලනඥයන්  නිරීක්ෂණය කළේ එසේය. එසේ නමුත් චීනය වැනි රටවල් ඉදිරියට පැමිණීමට හේතුව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තනි නායකත්වයට ලැබුණ අවස්ථාව බව අවධානයට ගත යුතුය. තනි පක්ෂ ව්‍යුහය තුළ ක්‍රමානුකූලව ඉදිරියට එන නායකත්ව ගොඩනැගීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් චීන කොමියුනිස්ට් පක්ෂය තුළ බිම් මටට්මින් පවතී. ශ්‍රී ලංකාවට අවශ්‍ය නායකත්වය කෙබඳු මුහුණුවරක එකක් දැයි තීරණය කිරීම ඉතාම වැදගත්ය.

බටහිර ලිබරල් අදහස්වලින් පෝෂණය වූ රදළ කඳවුරේ න්‍යාය පත්‍රය තවදුරටත් වලංගු නොවේ. පැලැන්තිය ආරක්ෂා කරගැනීම සඳහා ඇතිකරන ලද සංශෝධනවලින් සමාජය හෙම්බත්වී ඇත. පොදු අපේක්ෂක නායකත්වයක් මගින් තත්ත්වය සමනය කරගන්නට කරන ලද පියවර නිවැරැදි කරගැනීමේ දෙවැනි අත්හදා බැලීමකට සමාජය සූදානම් නැත. පක්ෂ අතර නොසන්සුන් මතවාද හමුවේ කෝලාහලයක් මතු වී තිබේ. එය කිසියම් ආකාරයකට  1956 මහ මැතිවරණ අවස්ථාවේ දී ද මෙරට සමාජය තුළ පැවැති බලවත් නොසන්සුන් භාවයට සමාන කළ හැකිය. ජෝන් කොතලාවල ප්‍රමුඛ කණ්ඩායම මාර යුද්ධයක බව ඇඟවෙන සුප්‍රකට කාටුන් නිර්මාණය එකල එහි සංකේතයකි. මාර යුද්ධය කාටුන් චිත්‍රයෙන් පිළිබිඹු කරන ලද්දේ ජෝන් කොතලාවල අගමැතිවරයා ප්‍රමුඛ පිරිස අලියකු පිට නැඟ රැස් විහිදන බුදු පිළිමයක් අසලට පැමිණ ඝෝෂා කරන අන්දමය. එවකට සිටි අගමැතිවරයාගේ ක්ෂණික තීරණ, ඒවායෙන් ඇති වූ ප්‍රතිඵල සහ බෞද්ධ වටිනාකම් කෙරෙහි නොසැලකිල්ල මෙහි අඟවා තිබිණ. සමාජයේ බිම් මට්ටමේ පවතින සංකල්ප, ජනතා හැඟීම් සහ බෞද්ධ පදනම කොතරම් බලවත් ද යන්න පෙන්වන එකී කාටුන් චිත්‍රය අදට ද එක්තරා උදාහරණයකි.

ජන සමාජය තුළ බෙදීම් හා මත ගැටුම්, ඉතා ඉක්මන් සමාජ මාධ්‍ය භාවිතාව ඔස්සේ පැතිරීමෙන් ඇති කරන ප්‍රතිඵලය සුළු කොට තැකීම නුසුදුසුය. ජන විඥානය නොසලකා ක්‍රියා කරන ලද අවස්ථා ගණනාවක අත්දැකීම් රටට ඇත. ගෙවන ලද වන්දිය බරපතළය. අප සියලු දෙනාටම එකී අවස්ථා අවසන් වූ ඛේදජනක ආකාරය ගැන හොඳ මතකයක් තිබේ. අන්තවාද මගින් යහපත ඇති කරන්නේ නැත. පීඩනය දරාගත නොහැකි මොහොතක් එන අතර එය කෙළවර වන්නේ නොසිතන අන්දමේ භයානක පිපිරීමකින් බව ඉතිහාසය සාක්ෂි දරයි. පරිණත සමාජයක් වශයෙන් අඩු ලුහුඬුකම් ඉතා මැනවින් ඉවසන බව මතු පිටින් පෙනෙන නමුත් අභ්‍යන්තරයේ පවතින තත්ත්වය කුමක්දැයි ඉහළින් ඉන්නා නායකයන්ට දැනෙන්නේ නැත. මෙයට හේතුව ජාති හෝ ආගම් පරතරය නොව පන්ති පරතරය බව පැහැදිලිය. ඉංග්‍රිීසියෙන් හිතන බටහිර පැවැත්ම අනුව ක්‍රියාකරන පැලැන්තිය සමාජයේ සාමාන්‍ය ස්ථරය ගැන නොසලකා ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි. අධිරාජ්‍යවාදීන්ගෙන් රට භාරගත් පෙලැන්තිය දේශීය අනන්‍යතාවය අඩු තක්සේරුවකට ලක් කර තිබේ. ජනතාවගේ සිතුම් පැතුම් නොසලකන පැවැත්මක් ඇති කර තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ ආභාෂය හා දේශීයත්වය අතර සටනක් අද සමාජය තුළ පවතී. ජාති, ආගම්, භාෂා සහ පන්ති වශයෙන් බෙදීම් මගින් පෙන්වන්නේ එයයි. පාලකයන්ට මෙම ස්වභාවය වැටහෙන්නේ නැත. අවබෝධයක් ඇති කොටස පවා පැවැත්ම අරමුණු කරගෙන ක්‍රමය තහවුරු කරමින් සිටී. මෙහි අවසානය කුමක් විය හැකිද? 

 අධිරාජ්‍යවාදීන්ගෙන් පැවරුණ, රදළ පැලැන්තියේ කණ්ඩායම් අතර බල හුවමාරුවේ අවසාන හුස්ම ආරක්ෂා කිරීමේ ප්‍රයත්නය පරාජය කර රට වෙනස් කරන පියවර උදෙසා තද නායකයකුට බලය දිය යුතු බව ජනතාව හිතන්නට පටන් ගෙන තිබේ. එසේ කල්පනා කරන්නේ ඇයි? එයට හේතුව ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ලැබුණ ආත්ම ශක්තියයි. යුද බිමේ ජය තහවුරු කළේ දන්න ඉංග්‍රීසියෙන් නොවේ. සිංහලෙන් කතා කර සිංහලෙන් වැඩ කරන්නට ලැබුණ අවස්ථාවයි. එය අභිමානයක් විය. එය නිර්මාණය කරගත්තේ සමාජයේ ඉහළ පැලැන්තියේ පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවෝ නොවෙති. සමාජ පසුබිම, පැලැන්තිය, භාෂාව නොසලකා නිර්භීත තීරණ ගැනීමේ හැකියාව ලැබුණ හෙයින් ඉහළට පැමිණි අලුත් පරම්පරාවයි. බටහිර ජාත්‍යන්තර බලවේග අභිබවා යුද්ධය මෙහෙයවූයේ සාමාන්‍ය පැලැන්තියේ ජන කොටසයි. යුද බිමෙන් පැමිණි එකී රාමුව අනුව එවැනිම සැලසුමකින් රට වෙනස් කරන්නට පුළුවන්කමක් ඇතැයි විශ්වාසයක් මෝදු වෙමින් තිබේ. හමුදා අංශ තුළ තහවුරු වූ මෙම ආත්ම ශක්තිය රටේ අනෙක් ආයතන අතර ද තහවුරු කළ යුතුය. ආරක්ෂක සේවාවේ ජයග්‍රහණය හා සමාන තත්ත්වයකින් ඉක්මනින් තීරණ ගන්නා තද නායකයන් රට හොඳ දිසාවකට ගෙන යනු ඇතැයි හිතන්නට පටන්ගෙන ඇත. පාලනය කරන්නට උරුමයක් ඇතැයි උපකල්පනය කර පක්ෂ දේශපාලනය මෙහෙයවූ ජනනායකයන්ගේ අසාර්ථකත්වය එයට අනුබල දී තිබේ. 

රදළ පැලැන්තියේ පාලනය අවසන් කරන ප්‍රජාතන්ත්‍රවාදය තද පාලන ව්‍යුහයකට ඇතුළු විය යුතු ද? ශ්‍රී ලංකාවට ගැළපෙන ව්‍යුහයක් ද? අපට ඇති ප්‍රශ්නය එයයි. ඉතිහාසය විමර්ශනය කරන විට අධිරාජ්‍යවාදීන්ගෙන් රට භාරගත් පැලැන්තියේ අරමුණුවල සැර බාල කර මෙරට සමාජ ව්‍යුහය යම් ප්‍රමාණයකට මැද මාවතට කැඳවන්නට මෙරට වාමාංශික බලවේගවලට හැකි විය. රටේ ප්‍රතිපත්ති එක්තරා රාමුවකට ගොනුවීම වළක්වනු සඳහා වාමාංශික දේශපාලනය ඉටු කරන ලද කාර්යභාරය ඇගයීමට ලක් කළ යුතුය. එහෙත් සමාජයේ බෙදීම් තුරන් කර එකමුතු කර දේශීය අනන්‍යතාවයෙන් යුතු පාලනයක් ඇතිකරන්නට වාමාංශික මෙහෙවර ප්‍රමාණවත් වූයේ නැත.

විශේෂයෙන් වාමාංශික දේශපාලනයේ ආර්ථික දර්ශනය ගැටලු සහිතය. වර්තමානයට ගැළපෙන සමාජ දැක්මක් සහිත නමුත් ආර්ථික දැක්මක් වමේ බලවේග තුළ නැත. එහි අවසාන ප්‍රතිඵලය වාමාංශික, විකල්ප දේශපාලනයක් නැති තරමට පත්වීමයි. මෝදු වෙමින් පවතින ස්වභාවය අනුව පන්ති ස්ථර දෙක අතර ඇතිවිය හැකි “මාර යුද්ධය” සුළුවෙන් තැකිය නොහැකිය. රට අන්තවාදයට තල්ලු කිරීම වෙනුවට මැද මාවතේ නායකත්වයක් තෝරා ගැනීම අවශ්‍යය. තද ආකල්ප සහිත නායකයන් ජනතාවට සවන් දෙන, ඉවසිල්ලක් ඇති තැනට කැඳවීම අප සියලු දෙනාගේම වගකීමකි. ජනතාව වෙනුවෙන් කැපවන නායකයන් බලහත්කාරයෙන් බිහිකරගත නොහැකිය. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනය එයට හොඳ උදාහරණයකි. සමාජ අවශ්‍යතා, ආර්ථික වෙනස්කම් සහ ස්වදේශික අනන්‍යතාවේ රාමුව ගැන මැද මාවතේ සංවාදයක් රටට වුවමනා කර තිබේ. ජන නායකයන් පෝෂණය කරන වැඩ පිළිවෙළක් මගින් අවස්ථාව නිවැරැදිව හසුරුවන පියවර ගත යුතුය.