(මහාචාර්ය කේ.කේ.අයි.යූ. අරුණකුමාර විසිනි)

 

පාසල් අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගත්විට හඳුනා ගත හැකි ගැටලූ බොහෝය. ඒවා බොහොමයක් පසුගිය වසර දෙක තුළදී පමණක් ඇති වූවා නොවූව ද ගැටලූ නිරාකරණයේදී වත්මන් රජය ද අසමත් ගණයට අයත් වන බව කිව යුතුව ඇත. පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේ සිට උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා එකිනෙකට වෙනස් අර්බුද රැසකට පාසල් අධ්‍යාපනය මුහුණ දෙමින් සිටියි.

ජනප‍්‍රිය යැයි සැලකෙන පාසල් 55ක් පමණක් වටා ගොඩනැගී ඇති ඉල්ලූම ඒ අයුරින්ම පවතී. ඒ නිසාවෙන්ම පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූවකි. දේශපාලන නායකයන් හා ඔවුන්ගේ සහචරයන්ගේ අවශ්‍යතාව පරිදි ජනප‍්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ සම්ප‍්‍රදායට කිසියම් නැවතීමක් තැබීමට යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයා සමත් වී ඇත. ඇගයීමට ලක් කළ යුතු ධනාත්මක තත්ත්වයකි.

පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් වත්මන් රජය කිසියම් ප‍්‍රගතියක් අත්කර ගෙන ඇති බවක් පෙනී යයි. එසේ වුවද යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මය වැඩි කළ නොහැකි බව රජය මේ දක්වා වටහාගෙන නොමැත. අධික ගුරු හිඟය මැඬපැවැත්වීම සඳහා කිසිදු සාධනීය පිළියමක් මේ දක්වා ගෙන නොමැති වීම මගින්ම එය වටහා ගත හැකිය. විද්‍යා අංශ පවතින ගුරු පුරප්පාඩු මෙහි කැපී පෙනෙයි.

ගුරු හිඟය නිසාම පාසල්වල විද්‍යා අංශයන් ක‍්‍රමයෙන් වැසීයාමේ තර්ජනයකට මුහුණ දී ඇත. දක්ෂ ගුරුවරුන් බඳවා ගැනීමට මෙන්ම රඳවා ගැනීමට ද ආණ්ඩුවට ක‍්‍රමෝපා නොමැත. විශේෂයෙන්ම විද්‍යා අංශයේ ගුරුවරුන් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීමේ දී මෙම තත්ත්වය වඩාත් කැපී පෙනේ. විද්‍යා උපාධිධාරීන් සඳහා සැලකිය යුතු ඉහළ ඉල්ලූමක් රැකියා වෙළෙඳපොළ තුළ දක්නට හැකිය.

එවන් පසුබිමක් තුළ ගුරුවරුන් ලෙස විද්‍යා උපාධිධාරින් බඳවා ගැනීමට නම් කිසියම් ආකර්ශණීය පැකේජයක් ලබාදිය යුතුව තිබුණ ද, එවැනි දිරි ගැන්වීමක් රාජ්‍ය පාර්ශ්වයෙන් දැකිය නොහැකිය. ගුරුවරුන් ලෙස තම ජීවිකාව අරඹන තරුණ විද්‍යා උපාධිධාරීන් කාලයක් සමග වෙනත් රැකියා සොයා ඇදී යන්නේ ඔවුන් ගුරු වෘත්තිය තුළ රඳවා ගැනීමට අසමත්වීම නිසාය.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා හඳුන්වා දෙන මොඩලය වන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන හරහා තරුණ තරුණියන්ට උපාධි ලබා දීමත්, අනතුරුව ඔවුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමත්ය. මෙම අතිශය අදුරදර්ශී ක‍්‍රියාමාර්ගය ඔස්සේ ගරා වැටීමට ලක්වන්නේ පාසල් අධ්‍යාපනය පමණක් නොව විශ්වවිද්‍යාල ද ඇතුළත් සමස්ත රාජ්‍ය අධ්‍යාපනයම වේ.

පාසල් ගුරුවරුන් අවශ්‍යයෙන්ම මනා පුහුණුවක් ලත් පිරිසක් විය යුතුමය. මෙතෙක් මෙම වගකීම ප‍්‍රධාන වශයෙන්ම දරන ලද්දේ ගුරු විද්‍යාලය. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ඉතිරිය සපුරන ලදී. විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා අංශ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලත් විද්‍යා උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කරන ලදී. මේ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට විද්‍යාපීඨ එකොළහක් පමණ ඇත. එසේ වුවද ඒවායේ ධාරිතාව අනුව බඳවා ගත හැකි සිසුන් ප‍්‍රමාණය බඳවා ගන්නා ආකාරයක් පෙනී නොයයි.

වසර 2010 සිට 2015 දක්වා කාලයේ පමණක් මෙම විද්‍යාපීඨවල පැවති පුරප්පාඩු ප‍්‍රමාණය 5000 ඉක්මවා යයි. උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ සුදුසුකම් සහිත දරුවන් දහස් ගණනක් ගෙදර සිටියදී මෙලෙස පුරප්පාඩු නොපිර වීම ජාතික අපරාධයකි.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ උසස් පෙළ සමත් දරුවන්ගේ ඊළඟ අරමුණු අතර ගුරු විද්‍යාලවලට ඇතුළත් වීම ප‍්‍රධාන තැනක් ගනී. එසේ වුවද ගුරු විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සිදු කරන්නේ ඇල්මැරුණු ස්වභාවයකිනි.

2014 වර්ෂයේ උසස් පෙළ සමත් දරුවන් ද මේ දක්වා නිසියාකාරව ගුරු විද්‍යාලවලට ඇතුළත් කර ගෙන නොමැත. එනම් වසර කිහිපයක දිගු පෝලිමක් මේ සඳහා ඇත. උසස් පෙළ සමත් වීමෙන් අනතුරුවත් එතරම් දිගු කාලයක් නිකරුනේ තම තරුණ දිවිය ගෙවා දැමීමට කැමති වන්නේ එහෙමත් දරුවෙකු පමණි. මෙම ප‍්‍රමාදය මගින් ගුරුවරුන් ලෙෂ පුහුණුවීමට දරුවන් ගුරු විද්‍යාලවලට ඇතුළත් වීම අධෛර්යට පත්කර ඇත. පාසල් ගුරුවරු නිෂ්පාදනය කිරීමේ රාජ්‍ය යාන්ත‍්‍රණය මෙසේ අකාර්යක්ෂමව තිබියදී එය කාර්යක්ෂම කරලීම පසෙකලා ගුරුවරුන් නිෂ්පාදනය කිරීමේ යාන්ත‍්‍රණය පෞද්ගලික අංශයට ක‍්‍රමයෙන් ලබා දීම යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවට පත් වී ඇත.

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ගුරුවරුන්ගේ ගුණාත්මය සම්බන්ධයෙන් බරපතළ ගැටලූ මතු වේ. මන්ද හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන බිහි වුවද ඒවායේ ගුණාත්මය යාමනය කිරීමේ පිළිගත හැකි කිසිදු වැඩ පිළිවෙළක් රජය සතුව නැති බැවිනි. 1978 දී ස්ථාපිත විශ්වවිද්‍යාල පනත යටතේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මය තීරණය කිරීමේ හෝ යාමනය කිරීමේ බලයක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට නැත. ඒ නිසාම එම භාරදුර වගකීමෙන් ඉවත් වී සිටීමට ද ප‍්‍රතිපාදන කොමිසමට නොහැකිය.

තමන් හට ගුණාත්මය යාමනය කිරීමේ බලයක් නැති කල්හි ”විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අනුමත කරන ලදි” යන සහතිකය යටතේ පාඨමාලා පැවැත්වීමට පෞද්ගලික ආයතනවලට ඉඩ හැරීම මගින්ම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ කාර්යභාරය ප‍්‍රශ්නාර්ථයකට බඳුන්ව පවතී. එවන් පසුබිමක් යටතේ පාසල් ගුරුවරුන් නිෂ්පාදනය කිරීමේ කාර්යභාරයට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ජනප‍්‍රිය කරලීමේ ක‍්‍රියාවලියට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටීම ද කනගාටුදායකය.

මෙහිලා වඩාත්ම ප‍්‍රශ්න කළ යුතු අංශය වන්නේ උක්ත ක‍්‍රියාවලිය සඳහා ජනතා බදු මුදල් යොදා ගැනීමයි. මෙලෙස පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළුවන සිසුන් සඳහා රුපියල් ලක්ෂ අටක පමණ ණය මුදලක් සපයා දීමට ද ආණ්ඩුව සූදානම්ය. ගුණාත්මය නොදත් ගුණාත්මය තහවුරු නොකළ පාඨමාලාවක් හැදෑරීම සඳහා ආණ්ඩුව මගින් ණය මුදල් සපයාදීම ද ගැටලූ සහගතය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල දහස් ගණනක් පුරප්පාඩු පවතිද්දී ඒවා පිරවීමට නිසි පියවර නොගන්නා අතරම මෙලෙස පෞද්ගලික විශ්වවිද්‍යාලයට ආකර්ෂණීය පැකේජ ලබාදීම මගින් සිදු කරගෙන යන ක‍්‍රියාවලියේ අරමුණු වටහා ගතයුතුව ඇත. අර්බුදයකට පත්වී ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල ආණ්ඩුවේ මෙම  ක‍්‍රියාවලිය ඔස්සේ තවදුරටත් අර්බුදයටම ලක් වන බව නම් පැහැදිලිය.

ඉහත ගැටලූ හැරුණු කොට අධ්‍යාපන අමාත්‍යාංශය මුහුණ දෙන තවත් බරපතළම අභියෝගයක් වන්නේ පාසල් නඩත්තුවයි. පාසල් නඩත්තුව සම්බන්ධයෙන් අති විශාල බර පැනක් දැනටමත් දැරීමට සිදුව ඇත්තේ මවුපියන්ටය. ගුරුවරුන්ගේ පඩි ගෙවීම  හැරුණු කොට පාසල් නඩත්තුව සම්බන්ධයෙන් අනෙකුත් කිසිම ප‍්‍රධාන වියදමක් දැරීමට ආණ්ඩුව අසමත්ව පවතී. විදුලි බිල, ජල බිල, ආරක්ෂක හා සනීපාරක්ෂක සේවක ගෙවීම්, ක‍්‍රීඩා පුහුණුකරුවන්ගේ ගෙවීම් ඇතුළු අනෙකුත් සියලූම නඩත්තු වියදම් පාහේ පියවා ගැනීම සිදු කරනු ලබන්නේ මවුපියන්ගෙන් එකතු කරන මුදල් වලිනි. ආදි ශිෂ්‍ය සංගම් හරහා අති විශාල මුදල් ප‍්‍රමාණයක් ද පාසල්වලට පොම්ප කරන ආකාරයක් පෙනී යයි. ඒ නිසාම පාසල්වල පරිපාලනය සම්බන්ධයෙන් ආදි ශිෂ්‍ය සංගම් මැදිහත්වන අවස්ථා ද නිරන්තරයෙන් වාර්තා වේ.

ජනප‍්‍රිය පාසල් සම්බන්ධයෙන් මෙම තත්ත්වය වඩාත් කැපී පෙනේ. ආදි ශිෂ්‍ය සංගම්වල බලපෑම් හමුවේ ඇතැම් විදුහල්පතිවරුන් පත්වී ඇති අසරණ තත්ත්වය සම්බන්ධයෙන් සැබෑ කතිකාවක් මාධ්‍යවල පවා දක්නට නොලැබේ. පාසල් නඩත්තුව සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූ නිරාකරණය සඳහා පාසල් මණ්ඩල නම් මොඩලය ඉදිරි පත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටියි. ගැඹුරු සාකච්ඡාවකට බඳුන් නොකර ඉදිරිපත් කරන්නේ නම් පාසල් මණ්ඩල ද තවත් අසාර්ථක මොඩලයක් වනු නියතය.

ජනප‍්‍රිය පාසල් සඳහා ඇති ඉල්ලූම වැඩි නිසාම එවැනි පාසල්වලට තම දරුවන් ඇතුළත් කර ගැනීමට මවුපියන් තුළ ඇත්තේ දැඩි තරගයකි. කූඨ ලේඛන සකස් කර ගැනීමේ සිට විශාල ප‍්‍රමාණයේ මුදල් ප‍්‍රදානයන් දක්වා විවිධ උත්සාහ දැරීමට මවුපියෝ පෙළඹී ඇත. මෙම ඉලක්කය සපුරා ගත නොහැකි වූ මවුපියන්ගේ ඊළඟ පියවර වන්නේ පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගයයි. ඒ නිසාම මෙම විභාගයට දැඩි ඉල්ලූමක් පවතින අතර, දරුවන් අසීමිත පීඩනයට ලක් වන ආකාරයක් ද පෙනී යයි. දරුවන්ගේ ළමා කාලය මවුපියන් උදුරා ගන්නේ මෙම කාලයේදීය. අසීමිත ලෙස කුඩා මනස පීඩාවකට ලක්කර ශිෂ්‍යත්වය ජය ගත්ත ද ඒ සෑම දරුවකු සඳහාම සාධාරණයක් ඉටු නොවීම ද කනගාටුදායකය.

පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම සහ පස් වැන්නේ ශිෂ්‍යත්වය සම්බන්ධ ගැටලූ විසඳීම සඳහා යෝජනා වී ඇත්තේ ‘‘ළඟම පාසල හොඳම පාසල’’ යන සංකල්පයයි. මෙය සංකල්පයක් වශයෙන් ආකර්ෂණීය වූවද ප‍්‍රායෝගික යථාර්ථයක් බවට පත්කර ගැනීම ඉතා අසීරුය. මන්ද ග‍්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් නැංවීම තුළින් පමණක් ඒවාට සිසුන් අද්දවා ගැනීම අසීරු වන බැවිනි. දැනට ජනප‍්‍රිය යැයි සැලකෙන පාසල් තවදුරටත් ජනප‍්‍රිය පාසල් ලෙසින්ම පවතිනු ඇත. මන්ද මෙවැනි ජනප‍්‍රිය පාසල් පදනම් කර ගනිමින් කිසියම් සමාජ ආර්ථික කේන්ද්‍රයයන් බිහිවී ඇති නිසාවෙනි.

නගර කරා ඇදෙන ග‍්‍රාමීය ජනතාව බොහෝ විට ස්ථාපිත වන්නේ මෙවැනි කේන්ද්‍රයයන් ආශ්‍රීතවය. කවුරුන් කෙසේ කීවද ද්විතීයික මෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය ද මේ වනවිට ටියුෂන් මගින් ගිලගෙන ඇත. මෙම තත්ත්වයේ වර්ධනයක් මිස ආපසු හැරවීමක් කිසි විටෙක අපේක්ෂා කළ නොහැකිය. පාසල් දරුවන් ටියුෂන්වලින් ගලවා ගැනීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් ද නැත. දරුවන් ටියුෂන් මත රඳා පවතින ආකාරයට අධ්‍යාපන ක‍්‍රමය ද සැකසී ඇත. උසස් පෙළ දරුවන් ටියුෂන් මත රඳා පවතින ආකාරය මෙහිලා කදිම නිදසුනකි.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ විගසම ටියුෂන් ගුරුවරුන් තමන්ගේ උසස් පෙළ පාඨමාලා ආරම්භ කරති. පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට තවත් මාස හයක් අවම වශයෙන් ගතවේ. මෙම මාස හය තුළ දරුවන්ගේ උසස්පෙළ අත්තිවාරම ටියුෂන් මත දමා හමාරය. මාස හය හතකට පසු පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කළ ද දරුවන්ගේ මූලික විශ්වාසය ඒ වන විටත් ගොඩනැගී ඇත්තේ ටියුෂන් මතය. ළඟම පාසල හොඳම පාසල කළ ද හොඳම ටියුෂන් පන්තිය පවතින්නේ නගරයේය. පාසල් අධ්‍යාපනය පෞද්ගලික උපකාරක පන්ති මත රඳවා ගැනීමට තවත් ප‍්‍රධාන හේතුවක් වන්නේ විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක‍්‍රමයයි. ප‍්‍රාථමික පන්තිවල සිටම දරුවන් හුරු කරන්නේ විභාගයෙන් ඉහළ සාමාර්ථය ලබා ගැනීමට මිස අධාපනයේ පුළුල් පරමාර්ථ සපුරා ගැනීමට නොවේ. විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබාගත් විට ඉහළ ඇගයීමකට ලක්වන බව දරුවන් දනී. එසේ හෙයින් කුමන ආකාරයකින් හෝ ඉහළ ලකුණු ලබා ගැනීමට දරුවෝ පෙළඹෙති.

ගුරුවරුන් හට සේවයට සරිලන වැටුපක් නොගෙවීම ද පාසල් පද්ධතියේ කැපී පෙනෙන තත්ත්වයකි. එවන් විටෙක ටියුෂන් වැනි වෙනත් අතිරේක ආදායම් මාර්ගවලට ගුරුවරුන් යොමුවීම නොවැළැක්විය හැකිය. උදේ කාලයේ දී පාසලේ දී හමුවන ගුරුවරයා සවස් කාලයේ දී ටියුෂන් පන්තියේ දී දක්නට ලැබෙන්නේ මේ නිසාවෙනි.  ඇතැම් පාසල් ජාතික පාසල්ය. නම ජාතික වුවද එයට ඇතුළත් කර ගන්නේ අවට පදිංචිකරුවන්ගේ දරුවන්ය. ජාතික ලේඛනය භාවිත කරන්නේ නම් රටේ  ඕනෑම දරුවකුට එවන් පාසලකට ඇතුළත් වීමේ සමාන අවස්ථා තිබිය යුතුය. ජාතික පාසල් රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වුවද බොහොමයක් පාසල් පාලනය වන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේය. මෙවැනි පරිපාලන වෙනස්කම් සහිත ව්‍යුහයක් තුළ ළඟම පාසල යනු තවත් එක් අසාර්ථක මොඩලයක් විය නොහැකිද?

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මය තීරණය කරන මෙවැනි බොහෝ ගැටලූ නොවිසඳා පාසල් දරවන්ගේ නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීම, නිල ඇඳුම වෙනුවට කූපන ලබාදීම, පාසල් දරුවන්ට පරිගණක ලබාදීමට කථා කිරීම ආදීය මගින් විද්‍යාමාන වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අපැහැදිලි දැක්ම හැර අන් කවරක්ද?