යම් සිදු වීමක් කලාතුරකින් හෝ ඉඳහිට අහඹු ලෙස හෝ ඇති වන විට එය අසාමාන්‍යකැයි කියනු ලැබෙයි. නැතහොත් ව්‍යතිරේකයක් ලෙස හැඳින්වෙයි. නිදසුනකට ඉඩෝරයක් මැද වැස්සක් හෝ ගිම්හානයෙහි හිම පතනයක් හෝ ගත හැකි ය.

වර්තමාන ඇමැති මණ්ඩලය තුළ බොහෝ විට වමත කරන දේ දකුණත නොදන්නා තත්ත්වයෙකි. නිදසුනකට එක් ඇමැත්තෙකු ග්ලයිෆොසෙට් රසායනයෙහි තහනම ඉවත් කැර ඇතැ යි පවසන කල වෙනත් ඇමැත්තෙක් හෝ ඇමැත්තන් දෙදෙනෙක් එසේ නැතැ යි කියත්. අලි මදිවාට හරක් කීවාක් මෙන් මෙවන් අවස්ථාවල ජනාධිපති කාර්යාලයෙන් ද වියවුල් පුවත් නිවේදනයක් ඇතැම් විට නිකුත් වෙයි.

පාලනයේ මුදුන් මහලෙහි සාමාජිකයන් අතර ඇනුම්පද සහ චෝදනා හුවමාරුව ද අප්‍රසන්න ය. එහි දී රාජ්‍ය නායකයා පවා අත්හරින්නේ නැත. ඇමැති ෆොන්සේකා ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා දැඩි විවේචනයකට ලක් කැරීම නිදසුනකි. විවේචනයෙහි ඇත්ත නැත්ත හොඳ නරක පසෙක තිබිය දී ගෙදර කිළිටි රෙදි මහ පාරේ සේදීමට වඩා ගෙදර ඇතුළත ම සේදුවෙහි නම් කෙතරම් අගේ ද?

වඩාත් අසෝබන ජාතික යැයි, සම්මුතික යැයි කියා ගනිමින් ඒ නාමයෙන් සිය ගණනකට ඇමැති පට්ටම් පුදා ජන්මයක් ජාතකයක් නැති සේ ආණ්ඩුවෙහි හවුල්කාර මහ පක්ෂ දෙක කුළල් කා ගැනීමත්, ඇමැති මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමත් ය. විටෙක දෙපාර්ශ්වය ම වෙන් වෙන් ව කියන්නේ දැන් පවතින්නේ එජාප ආණ්ඩුවක් බව යි. එහෙත් ඇමැති වරප්‍රසාද භුක්ති විඳීමෙහි දී එය ජාතික ආණ්ඩුවකි. සම්මුති ආණ්ඩුවකි.

පරිපාලන යාන්ත්‍රණය මළ බැඳී ඇති සැටියෙක් ද දිස් වෙයි. කැබිනෙට්ටුවෙහි තීරණ ව්‍යවස්ථානුකූල අධිකාර මගින් ක්‍රියාවට නැගෙන්නේ ද ඉබි ගමන් වේගයෙනි. බාලවයස්කාර දරුවන් ගේ ඉතුරුම් බැංකු ගිණුම්වලින් අයබදු ගැනීම නතර කළ වග නොබෝදා මුදල් ඇමැතිවරයා නිල වශයෙන් කීව ද ඒ පිළිබඳ නිල ගැසට් පත්‍රයක් හෝ මහා භාණ්ඩාගාරය හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෝ නිල දැනුම්දීමක් නොකළ හෙයින් වෙළෙඳ බැංකු ප්‍රකාශ කැරැ සිටින්නේ එම බද්ද දැනට තවමත් අඩු කරන බව ය.

ඒ හා තරමක් සමාන වෙනත් සිදුවීමක් වයඹ මහ ඇමැති ප්‍රකාශයකින් අනාවරණය වෙයි. ඉඩමක් මුදා ගැනීමට මහ ආණ්ඩුවෙහි අනුමැතිය දීර්ඝ කාලයක් නොලැබුණු හෙයින් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමෙහි අවස්ථාව අහිමි වූ වගත්, ආයෝජකයා එය වෙනත් රටක පිහිටුවීමට ගිය බවත් ඔහු පවසා ඇත. පළාත් ඉඩම් භාවිතය ව්‍යවස්ථානුකූල ව පළාත් සභාවලට අයිති විෂයයක් වුව මහ ආණ්ඩුව එය තවමත් තමන් යටතේ ම තබා ගෙන ඇත්තේ උන්මත්තක ජාතිවාදීන් ගේ පදනම් විරහිත විරෝධය හේතුවෙනි. පවත්නා ව්‍යවස්ථාවෙහි ඇතැම් වගන්තිවල අනුලංඝණීයත්වය ගැන දිවි පුදන්නට ඉදිරිපත් වන්නවුන් පමණක් නොව පැවැති හැම ආණ්ඩුවක්ම බලය බෙදීම පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිපාදන (13 වැනි සංශෝධනය) උල්ලංඝණය කරන්නේ අමු අමුවෙනි ය. එහෙත් සියල්ලෝම ව්‍යවස්ථාව රකින්නට දිවුරුම් දුන්නෝ වෙත්.

ඇතැම් කාරණා දෙස බලන කල ආණ්ඩුව ප්‍රශ්න විසඳනු වෙනුවට ප්‍රශ්න වවා ගන්නා බවක් පෙනේ. සයිටම් අර්බුදය කදිම නිදසුනකි. විධායක ජනාධිපති ක්‍රමයෙහි ඊනියා කාර්යක්ෂමතාවයෙහි තරම එයින් ම පෙනේ.

අල්ලස දූෂණය මහජන දේපල අවභාවිතය කෙතරම් ඔඩු දුවන තත්ත්වයකට පත් ව ඇත් දැයි යන්න ජනාධිපති ලේකම්වරයෙකු දක්වා එය පැතිරීමෙන් ම පෙනේ. එය හිස් මුදුනට ම කෙතරම් සමීප දැයි සිහිපත් වන විට රටෙහි අනාගතය මතකයට ඒමෙන් ඇඟ කිළි පොළා යයි.

මානව සහ භෞතික සම්පත් මෙන්ම කාලය කළමනාකරණය අතින් අපේ ආණ්ඩු ඉතා පසුගාමී වන්නේ මන්දැ යි සොයා බැලිය යුතු ය. එයින් රටට වන පාඩුව ඉමහත් ය. අකුරුගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීම කදිම නිදසුනකි. වසර 2011 දී රුපියල් බිලියන 8ක් වැය වෙතැ යි ඇස්තමේන්තු කළ එය සඳහා දැනට බිලියන 64ක් වැය ව ඇතැ යි  කියනු ලැබෙයි. තවත් බිලියන 100ක් වැය වනු ඇති බව ද සැළයි. 

ව්‍යවසාය නඩත්තු අතින් ද දුර්වලකම් බොහෝ ය. නොරොච්චෝලෙයි විදුලි බලාගාරයෙහි පෙරහන් පද්ධතිය අක්‍රිය වීමෙන් විශාල පරිසර හානියක් සිදු වෙතැයි අනතුරු හැඟවීම් කළ ද එය තවමත් හදිසි කටයුත්තක් සේ සලකා ඉටු කර නැත. මේ හා සමාන සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වෙයි. බොහෝ රෝහල්වල ශල්‍යාගාර නඩත්තුව දුර්වල ය. ගරා වැටෙන්නට ආසන්න රජයේ නිවාස සංකීර්ණවල නිවැසියන් මරුවා සමග වාසේ කරන අයුරු රූපවාහිනී තිරවල නොබෝදා දකින්නට ලැබිණි.

අසු පැන ගිය පසු ඉස්තාල දොරටුව වැසීමට ද අපේ පාලකයෝ දක්ෂය හ. බොහෝ විට මෙරට කෘෂි අස්වැන්න අලෙවියට පහසුකම් සපයනු වස් ආනයන සීමා කරන විට වෙළෙඳුන් ලාබතර ආනයන භෝග ගෙන්වා ගොඩගසා හමාර ය.

යහපාලනය යටතේ ඉල්ලීම් දිනා ගැනීමෙහි දී හාම්පුත්තු වැඩ කරන ජනතාවට වඩා දක්ෂයෝ වෙති. සරසවි සිසුන්ට වඩා ඉදිරියෙන් සිටිති.  දැන් බස් මුදලාලි ලා සටනකට අර අදිත්. ඩීසල් මිල ලීටරයක් සියයට 6කින් පමණ වැඩි වූ හෙයින් බස් ගාස්තු සියයට 20කින් නංවන්නට බල කරත්. ඔවුන් ගේ ගණන් බැලීම අපූරු ගණිතයකි. ඒ සමග ම අවම ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ දැමිය යුතු යැයි බල කරති. ඇත්තට ම අවම ගාස්තු දුර සහ ඊළඟ ගාස්තු දුර ගෙවා යන්නවුන් මුළු මගී සංඛ්‍යාවෙන් බාගයක් හෙවත් සියයට 50ක් සේ ගත හොත් එය ද අඩු තක්සේරුවක් විය හැකි ය. ඩීසල් මිල වැඩි වීම සියයට 6 යැයි ගත්ත ද, ඒ කැටුව ඉන්ධන ලීටරයකින් බසයක් අවම වශයෙන් කිලෝමීටර 10ක් ධාවනය වෙතැයි අඩු ලංසුවෙන් ගත්ත ද වැඩි වීම කිලෝමීටරයකට සියට 0.6කි. පෙට්‍රල් සහ ඩීසල් දෙවර්ගය ම ගතහොත් පොදුවේ ඉන්ධන මිල වැඩි වීම සියයට 10කි. සියයට 20ක් ඉල්ලා සිටින්නේ කවර ගණිත කර්මයක් අනුව ද? මගී ජනතාව ගේ කරුමය ද?

මෙම සියලු සිවීම් එකට පෙළ ගැස්වූ විට දිස් වන්නේ කිමෙක් ද? අපූරු අරාජික සමාජයක් නො වේ ද?
මෙම තත්ත්වය වණ කරන්නට වින කරන්නෝ මූලික ව ම දේශපාලකයෝ ම ය. පක්ෂ අභ්‍යන්තර සහ පක්ෂාන්තර කුළල් කා ගැනීම් ආයෝජකයන් පවා බිය ගන්වයි. එහි ලා ප්‍රධාන සාධකයක් වන්නේ යහපාලනයෙන් හඳුන්වා දී ඇති අලුත් තාලයෙහි “නූතන ප්‍රජාතන්ත්‍රවාදය” යි. ඒ අනුව පක්ෂ විනය අහෝසි ය. දඬුවම් නොලබා සාමාජිකයන්ට එළිපිට කැරැළි ගැසිය හැකි ය. පක්ෂයට විරුද්ධ පක්ෂ පිහිටුවිය හැකි ය.  මෙම පිළිවෙත ආණ්ඩුව සම්බන්ධයෙන් අනුගමනය කරන්නට ඇතැමුන් පෙළැඹීම ඊටත් භයානක ය. 

ආණ්ඩු කරන පක්ෂයක් වන ශ්‍රීලනිපයෙහි සාමාජිකයන් යැයි පිළිගන්නා පිරිසක් වෙනත් පක්ෂයක නමින් විරුද්ධ පක්ෂයක් සේ පෙනී සිටීමෙහි දෙබිඩි (කුහක) නාඩගම හාස්‍යජනක ය. අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කළ රජයෙහි මැති ඇමැති 16 දෙනා පොහොට්ටු පිළිවෙතෙහි ම රැඳෙමින් තමන් ද ශ්‍රීලනිපයේ මැ යි කියමින් වෙන ම කණඩායමක් සේ විපක්ෂයෙහි සිටී ම ද විහිළුවකි. මගඩි නාටකයකි.

මෙම 16 කල්ලියෙහි අලුත් ම වෑයම ආණ්ඩුවෙන් අස් වන ලෙස ශ්‍රීලනිපයට බල කිරීම ය. ඒ සඳහා ඔවුහු එම පක්ෂයෙහි මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ද ඉදිරිපත් කරන බව සැළයි. බලු නගුට විසින් යළි බල්ලා වනන සේ ය.

මෙම අයහපත් තත්ත්වයට වරද කාගේ ද? සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් වග කිව යුතු ය. වඩා වැදගත් වරදකාරයන් සෙවීමට වඩා වරද නිවරද කිරීම ය.

ජයතිලක ද සිල්වා