ශ්‍රීලනිප 67 වැනි සමරුව, ඒකාබද්ධයේ ජන බල රැලිය, සීමා නිර්ණය කමිටු වාර්තාව, ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා, කෝකිලායි ඉඩම් ප්‍රශ්නය, ගම්පෙරළිය, පිබිදෙන පොළොන්නරුව හා රුපියලේ කඩාවැටීම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ මහවැලි රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක මහතායි.

ප්‍රශ්නය - ශ්‍රීලනිප 67 වැනි සැමරුම ආගමික වතාවත්වලටම සීමා වුණා නේද?

පිළිතුර - පක්ෂ සැමරුම ඉදිරි මාසය ඇතුළත උත්කර්ෂවත් අයුරින් සැමරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ මූලික සැලසුම් සාකච්ඡා කෙරෙනවා. තියෙන්නේ දිනයක් යොදාගැනීම පමණයි. යම් පමාවක් වුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුත් ඒ අතරේ ආපු නිසයි.

ප්‍රශ්නය - පක්ෂ ප්‍රතිසංවිධානය දැන් කාලයක් තිස්සේ සිදුවෙනවා. හැබැයි තාමත් පක්ෂෙට දේශපාලන ස්ථාවරයක් නැත්තේ ඇයි?

පිළිතුර - පක්ෂෙ පැහැදිලි දේශපාලන ස්ථාවරයක ඉන්නවා. ඊට පිටින් මත දක්වන පිරිසකුත් ඉන්නවා. ආසනවල මධ්‍ය බලමණ්ඩල කැඳවා තිබෙනවා. ප්‍රාදේශීය බලමණ්ඩල වෙනම හදලා තියෙනවා. ශාඛා සමිති හදමින් යනවා. සැප්තැම්බර් වෙනකොට ඒ කටයුතු සම්පූර්ණයෙන් ඉවර කරනවා.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ ‘ජන බලය කොළඹට’ රැලියට ශ්‍රීලනිප පාක්ෂිකයන්ටත් ආරාධනාවක් තිබෙනවා. ශ්‍රීලනිපය කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ?

පිළිතුර - ශ්‍රීලනිපය විදියට ඒකට සහභාගීවීමට තීන්දුවක් ගෙන නෑ. එවැනි තීන්දුවක් ගැනීමට හේතුවකුත් නෑ. ජන බලය කොළඹට ගෙනැල්ලා ශ්‍රීලනිපයට දිනාගැනීමට දෙයකුත් නෑ. මේ රටේ නායකයා ශ්‍රීලනිප නායකයා නිසාත් පක්ෂය ආණ්ඩුව වගේම කැබිනට්ටුවත් නියෝජනය කරන නිසාත් රටේ සියලු ප්‍රශ්න විසඳීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්.

ප්‍රශ්නය - එතකොට ජන බලය කොළඹට ගෙන ඒම වැලැක්වීමට ආණ්ඩුවේ ඇමැතිවරු වගකීම් බෙදාගෙන වැඩ කරන බවට ඔවුන් නගන්නෙ බොරු චෝදනාවක්ද?

පිළිතුර - ආණ්ඩුවේ අඩුවක් තිබෙනවා නම් නිවැරැදිව ඒක දකින්න ඔවුන්ට පුළුවන්. ආණ්ඩුවෙන් ඉල්ලීම් කිරීමට සාකච්ඡා කිරීමට හැකියාව තිබෙනවා. ඉන් එහාට උද්ඝෝෂණ කරන්න පුළුවන්. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. වැඩේ කරන්න කලින් මෙහෙම කියන්නේ ඒකට ජනතාව නාවොත් කඩාකප්පල් කළාය කියන චෝදනාව නගන්න ඉඩ හදාගන්නදැයි මම දන්නේ නෑ.

ප්‍රශ්නය - විශේෂ මහාධිකරණ ඒකාබද්ධ විපක්ෂයෙන් හඳුන්වා දුන්නේ පලිගැනීමේ ආයතන හැටියටයි. මේ නීතිමය පියවර ඇමැතිවරයෙකු හැටියට ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - වැරැදිකරුවන් ආණ්ඩුවේ හිටියත් පිට හිටියත් ඒ සියලු දෙනාට දඬුවම් කරනවා යැයි ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තිබෙනවා. ඒ සියලු දෙනාට නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනෙනවා. විශේෂ අධිකරණය විපක්ෂයට විතරක් නෙවෙයි. ආණ්ඩුවටත් අදාළයි. පෙර වැරදි, අද වැරැදි, හෙට වැරැදි සියල්ලට අදාළයි. බැඳුම්කර ප්‍රශ්නවලටත් නීතිය ක්‍රියාත්මක කිරීම මේ අධිකරණයට ගේනවා නම් ඒක තමයි සාධාරණය.

ප්‍රශ්නය - පළාත් සභා මැතිවරණය තවත් කල් යන විදියට සීමා නිර්ණය කමිටු වාර්තාව පරාජය කෙරුණා. ශ්‍රීලනිපය ඇයි ඒකට හවුල් වුණේ?

පිළිතුර - සීමා නිර්ණය සම්බන්ධයෙන් අපි අතරේ තිබුණේ විසංවාදයක්. එය නිරවුල් කරගැනීමට සාකච්ඡා කරමින් හිටියේ. ශ්‍රීලනිපයට ඒ සම්බන්ධයෙන් නිවැරැදි ස්ථාවරයකට එන්න බැරිවුණා. ඉදිරි කාලයේදී ඊට අදාළව පොදු එකඟතාවයකින් කටයුතු කිරීමට බලනවා.

ප්‍රශ්නය- සීමා නිර්ණ වාර්තාව ගැන තමන්ට ඇති විවේචන කල්තියා ප්‍රකාශ කර එය සංශෝධනයට කටයුතු නොකළේ ඇයිදැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ශ්‍රීලනිපයට චෝදනාවක් එල්ල කළා. ඇයි එහෙම වුණේ?

පිළිතුර - ඔය කවුරු මොනවා කිව්වත් ඒ මොහොත වනවිට අවසන් තීන්දුවකට ඇවිත් තිබුණේ නෑ. අනෙකුත් දේශපාලන පක්ෂ මේ ගැන දැක් වූ විවිධ ස්ථාවර තිබුණා. අවශ්‍ය නම් එය කල් දැමීමට තිබුණා. නමුත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය ඇතුලේ ඉඩ නොතිබූ නිසා විවාදයට ගත්තා.

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවෙන් පරාජය කළ වාර්තාව ගැන කටයුතු කරන අගමැති කමිටුවේ සෙසු සාමාජිකයන් පාර්ලිමේන්තුවෙන් බාහිර පුද්ගලයන් වීම ගැන විවේචන එල්ල වෙනවා. ඔබේ අදහස මොකද්ද?

පිළිතුර - පංච පුද්ගල කමිටුව පත්කළේ පනතට අනුවයි. හැබැයි ඒක පාර්ලිමේන්තුවට වඩා බලවත් යැයි මම හිතන්නේ නෑ. ඒ නිසා එයින් මතුවන අදහස් ගැන නැවත පාර්ලිමේන්තුවට සාකච්ඡා කිරීමට පුළුවන්.

ප්‍රශ්නය - මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කෙරෙන නව සන්ධානයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වුණා. මෙවැනි කතාබහක් යනවාද?

පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම එහෙම සාකච්ඡාවකට අවතීර්ණ වී නෑ. අවතීර්ණ වීම සම්බන්ධයෙනුත් ගැටලුවක් නෑ. එවැනි සාකච්ඡාවකට ඉඩ විවෘත වීම හොඳයි. පක්ෂෙ වගේම රටේ අනාගතයටත් හොඳයි.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපයට එකතු වීමට නොදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දුර්වල කෙරෙන යම් කුමන්ත්‍රණයක් තිබෙනවා යැයි ඒකාබද්ධයේ සිටින කාලයේ ඔබ කීවා. එවැනි සාකච්ඡාවක් තවම නැතැයි කියන්නේ ඒ කුමන්ත්‍රණ තාම ක්‍රියාත්මක ද?

පිළිතුර - සමහර කණ්ඩායම්වලට මානසික ප්‍රශ්න තිබෙනවා. රටේ විධායකයට වඩා තමන් බලවත් යැයි ඔවුන් හිතනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දුන් බලයට වඩා තමන් බලවත් යැයි හිතා ක්‍රියාකිරීම මෝඩකමක්. ඒ වගේම ජනබලය ගැන අධිතක්සේරුවත් මෝඩකමක්. ඒකාබද්ධ විපක්ෂයේ සමහර කණ්ඩායම් මේ මෝඩකම් දෙකේ ඉන්නවා. බලය රඳාපවතින්නේ මහජන සුබසිද්ධිය අරමුණු කරගැනීම තුළයි. මාධ්‍යයට දෙන සම්මුඛ සාකච්ඡාවකින් ජාතික ප්‍රශ්න උපායමාර්ගිකව විසඳන්න බෑ. හැබැයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ කට කැඩිච්ච කතා කිය කියා ඉන්න විතරයි. ඒ ගොඩක් අයට ඔළුවක් නෑ.

ප්‍රශ්නය - පක්ෂය හා සන්ධානය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි කියමින් ඔබ ශ්‍රීලනිප සාමාජිකත්වය ගත්තා. ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දියුණු ද?

පිළිතුර - අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා පුළුල් ඇසකින් රට දිහා බලලා තීරණ නොගැනීමක් එතැන තිබුණේ. අනාගතේ ලියන්නෙ කවුද කොහොමද කියන ප්‍රශ්නවලට උත්තරයක් නැතිව කොහොමත් ගමනක් නෑ. ශ්‍රීලනිපය නායකත්වය වටා පෙළගැහිලා ගමනක් යනවා. පක්ෂෙකින් සීයට හැට හැත්තෑවක් ගලවලා ගියාම අඩුවක් පේනවා. අවුරුදු පනස් ගාණක් එකට ඇවිත් භේදබින්න වෙලා විසිරුණාම ඒ අඩුව පේනවා. ඒ අඩුව නිවැරැදි කිරීමට පක්ෂය අභ්‍යන්තරයේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරලා මධ්‍යම කාරක සභාව අනුමත කළ තීන්දු අනුව ඉස්සරහට යමින් ඉන්නවා.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා දුර්වල කර ආණ්ඩුව අර්බුදයට යැවීමේ කුමන්ත්‍රණයක් ගැන කියමින් ඔබ ආණ්ඩුවට එක් වුවත් පැවැති ආණ්ඩුවට එරෙහිව කැරැලි ගසමින් මේ ජනාධිපතිවරයා ශක්තිමත් කළ අතුරලියේ රතන හිමි ජනපති කෙලින් තීන්දු නොගන්නා බව කියමින් උපදේශකකමටත් පයින් ගහනවා. මේ පරස්පරය මොකද්ද?

පිළිතුර - රතන හාමුදුරුවෝ හරි කවුරු හරි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව පත්කරගත්තේ කලින් අයගේ ඍජුභාවය වැඩිය ඔක්කොම අතරට අරන් මෙහෙයවනවා කියලනෙ. ප්‍රජාතන්ත්‍රවාදය වැළලුවා කියලනෙ. ඒ විවේචනවලට සාවධානව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවශ්‍ය ඉඩ දීලා යනකොට මෙහෙම චෝදනා කිරීම අමන ක්‍රියාවක්. අනෙක් පැත්තෙන් විධායක බලය වැඩිය කියලා ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා. තමන්ට ලාභ ප්‍රයෝජන ලැබෙනවාද නැද්ද යන්න අනුව හිතෙන හිතෙන වෙලාවට කරන ප්‍රකාශ හැටියට තමයි මම නම් මේවා දකින්නේ.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂෙන් එළියට බහිද්දිත් ඔබ අනුගමනය කළේ ඔය පියවරම ද?

පිළිතුර - නිසැකයෙන්ම. මම ආවට පස්සේ ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ සිදුවන පිපිරීම් ඔබ බලන්න. බැසිල් ගෝඨා ගැටුමක් ගැන කතා කරනවා. එතකොට වෙල්ගමලා තව එකක් කියනවා. මහින්දානන්ද තව එකක් කියනවා. මේ ප්‍රශ්න මම කලින්ම දැක්කා. ඒකයි නිසි නායකත්වයක් යටතේ ඉලක්කයකට පෙළගැසිය යුතු යැයි කිව්වේ. අළු යට පුපුර පුපුර ගිනි තිබුණා. බලය නැති කාලෙට අපි ඔක්කොම එකයි. හොඳ යාළුවො කියාගෙන ඉන්නවා. බලය ඒකරාශි වෙනකොට තමයි ප්‍රශ්න එන්නේ. පොඩ්ඩක් හරි බලය ලැබෙනකොට බලය ලැබෙන අයත් මත් වෙනවා. ලැබෙන්නේ නෑ කියල හිතන පාර්ශ්ව කලබල වෙනවා. විමල් වීරවංශ බලන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරගත්තොත් තමන්ට හොඳයි කියලයි. ඒ තම තමන් ආශ්‍රය කරන විදිය අනුව දේශපාලනය රටට විග්‍රහ කරනවා. හැබැයි රටට ඕනෑ මේ රට හරි තැනකට මෙහෙයවාගත හැකි නායකයෙක්.

ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ අති බහුතරය ශ්‍රීලනිප වන දේශපාලන පරිසරයකදී එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා කෙලින්ම බලපාන්නෙ නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම නේද?

පිළිතුර - නෑ. ඒ කණ්ඩායමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙක නිල වශයෙන් වෙන් නොවුණාට නිල නොවන වශයෙන් වෙන්වෙලා ඉවරයි. දැන් සංස්කෘතික වශයෙන් එකතුවෙන්න බෑ. යාළුකම්වලට එකතුවීමට තිබූ කාලසීමාව පැන්නා. ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවීමට ඉඩක් තිබෙනවා. එහෙම එකතු වෙන්න ඕනෑ. මොකද මේ දෙපාර්ශ්වයට ඛණ්ඩනය වෙලා ඉන්නේ වාමාංශික බලවේග. බටහිරටයි, සී.අයි.ඒ. එකටයි, රෝ එකටයි බැන බැන සමහරු කරන්නේ වම දෙකඩ කිරීමයි. මෛත්‍රීපාල සිරිසේන කියන වාමාංශික බලවේග සමග සිටි නායකයා දේශපාලන තීන්දුවක් ගත්තේ 2015 ශ්‍රීලනිප අභ්‍යන්තර අර්බුදයක් මතයි. එහෙම ප්‍රශ්න පක්ෂවල එනවා. හැබැයි එහෙමය කියලා වාමාංශික බලය සිඳලා පුද්ගලික ටාගට්වලට අරන් යන්න අපට අයිතියක් නෑ. මේ දැන් සිදුකරන්නේ තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට රටේ දේශපාලනය දඩමීමා කරගැනීමක්.

ප්‍රශ්නය- ඔබ කියන්නේ එදා පැවැති ආණ්ඩුව ඇතුලේ ඇත්ත ප්‍රශ්න පුපුරා යාමක් වුණා කියලද?

පිළිතුර - වැඩ සංවිධානය වීම මෙහෙයවීම සම්බන්ධයෙන් පිපිරීමක් තිබුණා. ආණ්ඩුවේ අමාත්‍යවරු තමන්ට තියෙන බලය ගැනත් ඊළඟට බලයට ඒමට අපේක්ෂා කළ අය තමන්ට තිබෙන බලය ගැනත් කල්පනා කළා. විමල් වීරවංශ මහතාට එදා නිවාස අමාත්‍යංශය දෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය දුන්නේ නෑ. එතුමා ඒකට ගැටුම් හදාගත්තා. නමුත් ඒවා කරලියට ආවේ නෑ. 2010 දී අමාත්‍ය මණ්ඩල බෙදනකොට තමයි පිපිරුම ආරම්භ වුණේ. ඒ වගේ ගැටුම් සිය ගණනක් තමයි වර්ධනය වෙලා 2015 දී පිපිරුවේ. දේශපාලන නායකයන්ටත් එල්ලිලා ඉන්න පුළුවන් සීමා තිබෙනවා. එනිසා ඒකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බැනලා වැඩක් නෑ. අපිත් සමුළු තිය තියා පී.බී. ජයසුන්දර මහත්තයාට බී.එම්.අයි.සී.එච්. එකේදි ගැහුවෙ එල්ලිලා ඉන්න පුළුවන් උපරිමේ ඉඳගෙන තමයි.

ප්‍රශ්නය - එ.ජා.පයේ ආර්ථික පිළිවෙත විවේචනය කරමින් ජනපති ජාතික ආර්ථික කමිටුවක් පත්කළා. ග්‍රාමශක්ති කියලා ගමට බර තියද්දී මුදල් ඇමැතිවරයාත් ගම්පෙරළිය කියලා දැන් ගමට බර තියලා. දැන් පක්ෂ දෙකම යන්නෙ එකම ආර්ථික දර්ශනයක නේද?

පිළිතුර - මේ සංවර්ධන ක්‍රියාදාමයේදී ගම්පෙරළියත් ක්‍රියාත්මක වන්නේ අතිගරු ජනාධිපතිතුමා යටතේයි. මුදල් ඇමැති මංගල සමරවීර මහතා තමයි එය ක්‍රියාවට නගන්නේ. ඒක එජාපයේ එකක් නෙවෙයි. ආණ්ඩුවෙ එකක්. ග්‍රාමශක්ති වැඩපිළිවෙලත් ජනාධිපතිතුමා යටතේ ක්‍රියාවට නැගුණාට ඒක ආණ්ඩුවේ වැඩක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩක් නෙවෙයි. මහවැලි ඇමැති පොදුවේ ආණ්ඩුවේ මහවැලි ඇමැති. මුදල් ඇමැතිත් එහෙමයි. සන්ධාන ලේකම් කෘෂිකර්ම ඇමැති වුණාට ඔහුත් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති. එහෙම ප්‍රශ්නයක් නෑ. එක එක්කෙනා ඔළුවෙ හදාගන්න ප්‍රශ්නවලට උත්තර නෑ.

ප්‍රශ්නය - කෝකිලායි ඉඩම් මුල් කරගෙන සිංහල ජනපදකරණයක් ගැන එක් පසෙකිනුත් සිංහලයන්ට සිදු වූ අසාධාරණයක් ගැන තවත් පසෙකිනුත් විශාල විවේචනයක් කෙරෙනවා. මහවැලි රාජ්‍ය ඇමැතිවරයා හැටියට ඔබ මේකට මැදිහත් වුණාද?

පිළිතුර - එක සිංහල පවුලක්වත් අලුත් පදිංචි කිරීමේ ජාතිවාදී පටු වුවමනාවක් නෑ. මොකද කවුරුවත් පදිංචි වෙන්න කැමැති නෑ. පදිංචි කරනවා නම් ඒකට ඉඩම් හිඟයකුත් නෑ. එහෙම නම් මහවැලි කලාපයේ සිංහල ගම්මාන ආශ්‍රිතව පදිංචි කිරීමට ඉඩ තිබෙනවා. නමුත් එ​ෙහ ජීවත් වන පවුල් විශාල දරිද්‍රතාවයකින් පීඩා විඳිනවා. බොන්න, වගා කිරීමට වතුර නෑ. වියලි කලාපයේ පදනම ජලයයි. උතුරත් නැගෙනහිරත් සිටින්නේ අපේම සහෝදර ජනතාවයි. ඔවුන් කවර ජාතියකට අයත් වුවත් ජනාධිපතිතුමාගේ අරමුණ වන්නේ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදලා දීලා එම ප්‍රදේශ සංවර්ධනය කිරීමයි. ඔවුන් වැරැදි විදියට කවුරු හෝ මෙහෙයවීමක් හැටියටයි මම දකින්නේ. ඔවුන්ට ඕනෑම වේලාවක මා සමග කතා කර අදාළ සියලු සැලසුම් බැලිය හැකියි.

ප්‍රශ්නය - තමන්ගෙ දේශපාලන භූමියට අසීමාන්තිකව මුදල් පොම්ප කරමින් වැරැදි ආර්ථික උපක්‍රමයක් අනුගමනය කළ බවට මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වුණා. ඇතැම් ආර්ථික විද්‍යාඥයන් පුබුදමු පොළොන්නරුව ව්‍යාපෘතියටත් ජනාධිපතිවරයාටත් එලෙසින්ම ඇඟිල්ල දිගු කරනවා. මේ තර්කය පිළිගන්නවද?

පිළිතුර - මේ මුදල් සියලුම අමාත්‍යාංශවලින් වෙන්කර දීපුවා. ඉපදිලා හැදුණු වැඩුණු දිස්ත්‍රික්කය ලෙස ජනාධිපතිවරයා ඊට නායකත්වය දුන්නා. එතකොට උතුරුමැද ඇළ පොළොන්නරුවෙද? අනුරාධපුරේ. වයඹ ඇළ කොහෙද? කුරුණෑගල. අතන කෝටි 6000 යි. මෙතන කෝටි 23 000 යි. මොරගහකන්ද පොළොන්නරුවෙද? වැව් දෙදාස් හාරසීයම පොළොන්නරුවෙද? අනුරාධපුරේ මුළු මුදල් එකතු කළොත් ඊට වැඩියි. ඒක දිස්ත්‍රික්කවල නායකයන්ගේ වගකීමයි. මමත් උතුරුමැද මහජන නියෝජිතයෙක්. විශේෂයෙන්ම ඉදිකිරීම් ත්‍රිවිධ හමුදාවට දුන් නිසා කෝටියක් වියදම් යන ඇතැම් තැන් ලක්ෂ හතලිහෙන් විතර ගොඩ දා ගත්තා. ඇත්තටම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් තමන්ගෙ දිස්ත්‍රික්කය ඒකාබද්ධ වී සංවර්ධනය කරගත හැකි බවට ජනාධිපතිවරයා ආදර්ශයක් දීමයි මෙමගින් සිදුවුණේ. ඔය බොහෝ විවෘත කිරීම්වල ජනාධිපතිවරයාගේ නම නෑ. සමරු ඵලකවල ෆොටෝ ගැහුවා නම් ඒක බලාගන්න පුළුවන්.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ