අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ඉන්දියා අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පළකර තිබූ නොසතුට වඩාත් අවධානයට ලක්විය. 
 
එදිනට නියමිත වූ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සහ මෙහෙයුම් කටයුතු දියත් කිරීම මැයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවයි. දකුණු ආසියාවේ වරාය මධ්‍යස්ථානයක් ලෙස සළකා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ නැගෙනහිර වරාය සංවර්ධනය කිරීමට අනුමැතිය ඉල්ලා තිබූ එහි, පැවැත්මක් ඇති සහ ලාභදායී කර්මාන්තයක් ලෙස එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට උපකාරී වනු ඇති බව ද සදහන් කර තිබිණ. 
 
මේ පිළිබදව ඔක්තෝබර් මස 16 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ සාකච්ඡාවට ගැනුණු අවස්ථාවේ දී සිය නිරීක්ෂණ ඉදිරිපත් කළ හිටපු මුදල් අමාත්‍ය මංගල සමවීර මහතා, නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශවීය එකගතාවයක් යටතේ සංවර්ධනය විය යුතුව තිබෙන බව කියා සිටියේ ය. තීරණයක් ගැනීම එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩල හමුව දක්වා කල්තැබුණ ද, පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී හෝ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් තීරණයක් නොගැනිණ. 
 
2017 අප්‍රේල් මස 19 වැනිදා ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමෙහි ඉන්දියාව සමග නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමක් ගැන සඳහන් වන බව අගමැති වික්‍රමසිංහ මහතා කියා සිටියත්, සන්ඬේ ටයිම්ස් හට ලබාගැනීමට හැකිවූ එම ගිවිසුමෙහි පිටපතක් ප්‍රකාරව සදහන් වන්නේ කොළඹ වරායෙන් ප්‍රතිනැව්ගත කිරීම් බොහෝමයක් සිදුවන්නේ ඉන්දියාවට බව සැළකිල්ලට ගෙන, ඉන්දියානු අයෝජන ද ඇතුළත් කරගනිමින් කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් ඉන්දියාව හා කෙරෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමක් ගැන පමණකි. 
 
ජපානය සමග ඇතිකරගත් එකගතාවයන් වේ නම්, ඒවා ලිඛිතව ඇති කරගත්තේ නම්, ඒ සම්බන්ධයෙන් කිසිවක් පැහැදිලි නැත. නවදිල්ලියේ දී අත්සන් තැබුණු මෙම ගිවිසුමේ ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද සහ ඉන්දියා පාර්ශවය එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියත් නියෝජනය කළහ.
2017 අප්‍රේල් මස 19 වැනිදා ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන එකගතාවයන් කිහිපයක් පහත දක්වා ඇත.
 
මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුතු ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් (එල්එන්ජී). මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අරමුණු ඉන්දියා රජය වෙත හෝ එහි නියෝජිතයන් වෙත දැනුම්දීම 2017 මැයි මස අගභාගයේ සිදුකෙරෙනු ඇත.
 
කොළඹ - කෙරවළපිටියේ පිහිටැවෙනු ඇති එන්එන්ජී පර්යන්තයක් හෝ පාවෙන වායු ගබඩාවක්, වායු බෙදා හැරීම සදහා නල පද්දතියක්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පරිබෝජනය සදහා සම්පීඩිත ස්වභාවික වායු (සීඑන්ජී) සිල්ලර අලෙවි කිරීමේ මධ්‍යස්ථාන, ද්‍රව ඉන්ධන මාධ්‍යයන්ගෙන් ජව ගැන්වෙන බලාගාරයන් එල්එන්ජී බලාගාරයන් බවට හැරවීම යනාදිය. 
 
එල්එන්ජී පර්යන්තය සහ පාවෙන වායු ගබඩාව සම්බන්ධයෙන් සහ එල්එන්ජී පැකේජය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා රජයේ අරමුනු ඉන්දියා රජය වෙත දැනුම්දීම 2017 මැසි මස අගභාගයේ සිදුකෙරෙනු ඇත. 
 
කොළඹ - කෙරවළපිටියේ පිහිටැවෙන එල්එන්ජී පර්යන්තය - පාවෙන වායු ගබඩාව අරභයා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය යන පාර්ශවයන්ගෙන් සැදුම් ලබන ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන කටයුතු 2017 ජූලි මාසයේ අවසන් කෙරෙනු ඇත.
 
ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් වන ඒකාබද්ධ වැඩකිරීමේ සමූහයක් පිහිටැවෙනු ඇති අතර, එය 2017 මැයි මස පළමු භාගයේ දී රැස්වනු ඇත. එල්එන්ජී නල පද්දතිය සහ සම්පීඩිත ස්වභාවික වායු සිල්ලර අලෙවි සැල් - ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක මුල්‍ය වාර්තාවක් ඉන්දියා රජය, ශ්‍රී ලංකා රජය වෙත 2017 අගෝස්තු මස අවසානයේ දී ලබාදෙනු ඇත.
 
මෙගාවොට් 50ක (100ක් දක්වා වැඩිකළ හැකි) සූර්ය බල විදුලි බලාගාරයක් සාම්පූර්හි ඉදි කිරීම. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අරමුණු, ඉන්දියා රජය වෙත 2017 මැයි මස අගභාගය වන විට ලිඛිතව දැනුම්දෙනු ඇත.
 
ත්‍රිකුණාමලය උතුර ටැංකි සංකීර්ණය ඉන්දියා ඔයිල් සමාගම සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඇතිකර ගැනෙන ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ව්‍යාපෘතිය 2017 ජූලි මස අවසන් භාගය වන විට සකස් කර අවසන් කැරෙනු ඇති අතර, එම ව්‍යාපෘතිය සහ වැඩපිළිවෙල යටතේ ව්‍යාපාර සංවර්ධනය සදහා වන නිර්දේශයන් 2017 සැප්තැම්බර් මාසය වන විට සකස් කෙරෙනු ඇත.
 
ව්‍යාපාර සංවර්ධන සැළැස්මේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා රජයට පමණක් භාවිතයට ගැනීම සදහා ඉහළ ටැංකි සංකීර්ණයේ ටැංකි 10ක් සංවර්ධනය කිරීම සදහා ප්‍රමුඛත්වය ලබාදෙනු ඇති අතර, 2003 ඇතිකරගත් එකගතාවය යටතේ ශ්‍රී ලංකා අයිඕසී සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව යටතේ පවතින ඉහළ ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම, ලංකා අයිඕසී - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙන් ඉහත සදහන් කළ ඒකාබද්ධ වැඩපිළිවෙලට බදු දෙනු ඇත.
 
2003 ගිවිසුම යටතේ ලංකා අයිඕසී - ඛනිජ තෙල් නිීතිගත සංස්ථාව යටතේ පවතින පහළ ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම, ලංකා අයිඕසී සමාගමට සෘජුවම බදු දෙනු ඇත.
 
සියලුම බදු එකඟතාවයන් වසර 50ක කාලයකට පමණක් වලංගු වන අතර, අනf්‍යා්න්‍ය එකගත්වය මත එය වසර 99 ක් දක්වා දීර්ඝ කළ හැකිය.
ත්‍රිකුණාමලයේ ඉදිකෙරෙන වරායක්, ඛනිජ තෙල් පිරිපහදුවක් සහ වෙනත් කර්මාන්ත
 
ඉන්දියා අයෝජන යටතේ සංවර්ධනය කෙරෙන මාර්ග, මන්නාරම - යාපනය සහ මන්නාරම - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගයන්, දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය. ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ සංවර්ධනය කිරීමට සුදුසු මාර්ග ව්‍යාපෘතිීන් සම්බන්ධයෙන් වන අරමුණු ඉන්දියා රජය වෙත දැනුම්දීමට ශ්‍රී ලංකා රජය පියවර ගනු ඇත.
 
දුම්රිය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම, නව ව්‍යාපෘති සහ දුම්රිය මාර්ග යාවත්කාලීන කිරීම ඇතුළුව, සැලකිල්ලට ගත යුතු දුම්රිය ක්ෂේත්‍රයේ ව්‍යාපෘතිීන් පිළිබද වාර්තාවක් ශ්‍රී ලංකා රජය, 2017 ජූනි මාසය වන විට ඉන්දියා රජයට ලබාදෙනු ඇත.
 
තාක්ෂණික - ආර්ථික සහයෝගීතාවයක් යටතේ කෘෂිකර්ම සහ පශු සම්පත් ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම. කෘෂිකර්මය පදනම් කර්මාන්තයන් හා අදාළ ජල කලමණාකරනය සහ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් දැනුම, යනාදිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වා 2017 ජූනි මාසය අවසන් භාගයේ දී ඉදිරියේ දී ක්‍රියාත්මක කළ හැකි සංකල්පයක් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීම.
 
ඉහත සදහන් කළ ව්‍යාපෘතියේ දැක්වෙන පරිදි ඇතිකරගත් එකඟතාවයන් බොහෝමයක් ඒ අයුරින් ක්‍රියාත්මකව නොමැත. එම වගකීම දැන් පැවරෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ජයග්‍රහණය කළ හැකි වුවහොත්, අගමැති රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් නව රජයටය.
 
පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයේ වාතාවරණය සාමාකාමී වුවත්, ගැටුම් ඇතිවූ අවස්ථා තිබිණ. එයින් එකක් වූයේ හිටපු මුදල් අමාත්‍යවරයා ඊට පෙර අවස්ථාවක කොළඹ හිල්ටන් හෝටලය ජනසතු කිරීම සදහා අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකි. 
 
හිල්ටන් හෝටලය ජනසතු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනපති සිරිසේන මහතා අවධාරණය කර තිබිණ. න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබූ කරුණු සැළකිල්ලට ගත් පසු වෙනත් කරුණු යටතේ සාකච්ඡාව ඇදී ගිය අවස්ථාවේ, හෝටලය සම්බන්ධයෙන් ලංසු ඉදිරිපත් කිරීමට සති දෙකක් වැනි කාලයක් ලබා දී ඇත්තේ මන්දැයි, එයට වගකිව යුත්තේ කවුරුන්දැයි, ජනපති සිරිසේන මහතා මුදල් ඇමතිවරයාගෙන් විමසුවේ ය. සමරවීර මහතා පිළිතුරු දෙමින්, එවන් කාල රාමුවක් වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය - පෞද්ගලික සබඳතා පිළිබද ජාතික ඒජන්සියේ සභාපති තිලාන් විජේසිංහ මහතා බව කීවේ ය.
 
එය කිසිසේත්ම පිළිගත නොහැකි බව පෙන්වා දුන් ජනපතිවරයා, මේ සම්බන්ධයෙන් තමන් වෙත ලංසුකරුවන් කිහිපදෙනෙකුගෙන්ම පැමිණිලි ලැබී තිබෙන්නේ යැයි ද කීවේ ය. ඔවුන් බොහෝ දෙනෙක් ඉල්ලා ඇත්තේ සති 6ක කාලයක් ලබාදෙන ලෙසය. ලංසු ඉදිරිපත් කිරීම සදහා මෙසේ කෙටි කාලයක් වෙන්කර තිබීමෙන් හෝටලය භාරදීම සදහා සුදුසු ලංසුකරුවා දැනටමත් තෝරාගෙන ඇතිය යැයි වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය. 
 
දැනටමත් 30 දෙනෙකු පමණ ලංසු ඉදිරිපත් කර තිබෙන බව ජනපතිවරයාට පිළිතුරු දෙමින් සමරවීර මහතා කීවේ ය. වහාම අනෙක් පසට සමරවීරට පිළිවදන් දුන් ජනපති සිරිසේන මහතා, 30ක් හෝ 100ක් වුවත් ඵලක් නොමැති බවත්, මෙම ගැටලුව දැනටමත් බොහෝ දෙනා අතරට කතාබහට ලක්වෙමින් පවතින බවත්, මෙසේ කටයුතු කිරීම නිසා රජය නිකරුණේ විවේචනයට ලක්වන බවත් අවධාරණය කලේ ය.
 
පසුව එම කාලය මාසයක් දක්වා දීර්ඝ කිරීමට ජනපති සිරිසේන මහතා සහ සමරවීර මහතා එකග වූහ. 
 
ඒ අනුව ඩොලර් ලක්ෂ 370ක පිරිවැයක් යටතේ දියත් කිරීමට නියමිතව තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ දෙවන අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම අත්හිටුවීමට අගමැති වික්‍රමසිංහ මහතා නියෝග කළේ ය. නව පාර්ශවයක් හට එම සංවර්ධන කටයුතු, තමන්ව වුවමනා හැටියට සිදුකරගත හැකි බැවින්, දැන් එසේ මුදල් වැය කිරීම නාස්තියක් බව ඔහුගේ අදහස විය. හිල්ටන් හෝටල ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියේ සාකච්ඡාවල ඉදිරියෙන් සිටින්නේ මෙරට දේශපාලන ක්ෂේත්‍රය සමග ප්‍රබල සම්බන්ධතා ඇති ධනවත් හොං කොං ජාතික ව්‍යාපාරිකයෙකි. විදේශිකයන් ඉදිරිපත් කරන ලංසු පරයා තමන්ට ලංසු ඉදිරිපත් කිරීමට හැකි බව කියන දේශීය ව්‍යවසායකයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුව තිබේ.
 
ජනපතිවරයා සහ වික්‍රමසිංහ අගමැතිවරයා අතර ගැටුම අර්බුදයෙන් අර්බුදයට යන බව තවදුටත් සහතික කළ තවත් අවස්ථාවක් වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක දී ජනපති සිරිසේන මහතා දැක්වූ අදහස් කිහිපයකි.
 
පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධවීමට ආරාධනා ලැබුණු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයින් නිර්මාණය කළ පක්ෂයක් ලෙස තමාට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි මහත් ගෞරවයක් තිබූ නමුත් පොදු අපේක්ෂකයා ලෙස ජයග්‍රහණය කර ජනපති ලෙස වගකීම් භාරගත් පසු, එක්සත් ජාතික පක්ෂයේ එදා ස්වරූපය අද කොහෙත්ම නොමැති බව තේරුම් ගිය බවත්, ජනපතිවරයා කීවේ ය.
 
ජනපතිවරයාගේ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිචාර දැක්වූ අතර, ඒ අතරින් පෙරමුණේ සිටියේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාය.
 
නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමෙන් අනතුරුව ජනපති සිරිසේන මහතා නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එය නව රජයක් වන නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැතිය හැක්කේ අමාත්‍යධූර 30ක් පමණකි. 
 
ව්‍යවස්ථානුකූලව සැළකුවහොත්, රජයේ නායකයා වන්නේ ජනපති සිරිසේන මහතා මිස අගමැති රාජපක්ෂ මහතා නොවේ. නමුත් රට පාලනය කිරීමේ තෝන් ලනුව අතට ගනු ඇත්තේ කවුරුන්ද යන්න ඉදිරියට දැකගත හැකි වනු ඇත. 
 
මේ අතර අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ව්‍යවස්ථානුකූලව තමන් තවමත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බවය. ඔහු ඒ බව කියා සිටියේ රටේ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ සිටම වීම ද, විශේෂයකි.