IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ළිං මැඩි න්‍යායට යටවූවෝ

 

රජය යටතේ පවතින විශ්වවිද්‍යාල 17 තුළ සීමිත සම්පත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තරම් ප‍්‍රමාණවත් නොවන බව පැවැති සියලූම ආණ්ඩු විසින් හඳුනාගෙන ඇත. එබැවින් රජය විසින් උසස් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට සහ උපාධි පාඨමාලා පවත්වන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාව සලසා දීම සඳහා පියවර ගෙන ඇත.

දේශීය සිසුන් විදේශ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම නිසා මෙරටින් ගලා යන විදේශ මුදල් ප‍්‍රමාණය අඩු කිරීමටත්, විදේශීය සිසුන් මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමෙන් රටට ගලා එන විදේශ මුදල් ප‍්‍රමාණය වැඩිකිරීමටත් මෙම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ඉතා වැදගත් වේ. (මහබැංකු වාර්තාව - 2016)

පවතින ආණ්ඩුව කුමක් වුවද උසස් අධ්‍යාපනය පිළිබඳ මේ වනවිට රටේ පිළිගත් පොදු ප‍්‍රතිපත්තිය ඉහත සඳහන් මහබැංකු ප‍්‍රකාශනයෙන් පැහැදිලි වේ. මෙම ප‍්‍රතිපත්තියට අනුව 2016 වසර අවසන් වනවිට රජයේ ආයතන 313ක් හා පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන 451කින් සමන්විත කාර්මික, තාක්ෂණික, වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රය පුළුල් විෂය පරාසයක පිළිගත් පාඨමාලා 2656ක් මේ වනවිට පිරිනමා ඇත. මේ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල අහිමි වූවද විවිධ ක්ෂේත‍්‍රවල පාඨමාලා ඇසුරින් ඩිප්ලෝමා හා උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථා ශී‍්‍ර ලාංකීක සිසු දරු දැරියනට මේ වනවිට උදා වී තිබේ.

ගෝලීය ජාත්‍යන්තරය ගත්විට රාජ්‍ය නොවන ක්‍ෂෙත‍්‍රය අපටත් වඩා උසස් අධ්‍යාපනය වෙනුවෙන් විවෘතව පවතී. එය ධනවාදී පමණක් නොව දැනට ඉතිරි වී ඇති සමාජවාදී රටවලද දක්නට ලැබෙන ප‍්‍රවණතාවකි. කෙසේ නමුත් මේ වනවිට අපේ රටේ ජනතාව භූක්ති විඳින නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදය නිසාත්, රාජ්‍ය නොවන ක්‍ෂෙත‍්‍රයට උසස් අධ්‍යාපනය යම් පමණකට හෝ විවෘතකර තිබෙන නිසාත්, ගෝලීය තරගකාරී වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අතින් සමීක්ෂණයට භාජන කළ රටවල් 142ක් අතුරින් 40 වැනි ස්ථානය ලබා ගෙන ඇත.

මේ අතර නවතම වාර්තාවට අනුව 2015-2016 අධ්‍යයන වර්ෂ සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 28,952කි. එහෙත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සම්පූර්ණ කළ ශිෂ්‍ය සංඛ්‍යාව 155,550කි. මේ නිසා 126,598 දෙනකුට සුදුසුකම් සහිතව රජයේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදැරීමේ අවස්ථාව අහිමි වේ.

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ ප‍්‍රධානීන් සඳහන් කරන පරිදි රාජ්‍ය නොවන අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමි කිරීමේ පිළිවෙතක රට පැවතියේ නම් 126,598ක් වූ මේ රටේ පුරවැසියනට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අප පිළිගත් ‘සැමට අධ්‍යාපනයේ අවස්ථා’ සලසා දීමේ පිළිවෙත හා ප‍්‍රඥප්තිය කඩ වනු ඇත.

එහෙත් සයිටම් විරෝධී ජනපවුර නියෝජනය කරන ප‍්‍රධාන බලවේගයක් වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා සමහර අන්තවාදී වෘත්තීය සමිති පසුවන්නේ රාජ්‍ය නොවන අධ්‍යාපනය ප‍්‍රතික්‍ෂෙප කිරීමේ ස්ථාවරයකය.

”අපේ මූලික ගැටලූව සයිටම් ප‍්‍රමිතිය ගැන නොවේ. අධ්‍යාපනය මුදලට විකුණන එකටයි. ආණ්ඩුව සයිටම් ආයතනය ප‍්‍රමිතිගත කරන්න කතා කරනවා. එහෙම කළත් අධ්‍යාපනය විකුණන කිසිම ආයතනයකට එකඟවෙන්න අපට බැහැ.”

රයන් ජයලත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු (12.03.2017)

අපේ රටේ මේ වනවිට පරිණතවෙමින් සිටින වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණද මේ පොල්පොට්වාදී (කම්බෝජයේ මිනීමරු වාමාංශික නායකයාගේ සංවිධානය) දේශපාලන ගුබ්බෑයමේ ලැග සිටීම කනගාටුදායකය. එහෙත් සයිටම් විරෝධී ජන පවුර නියෝජනය කරන බුද්ධිමත් සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය මේ සම්බන්ධයෙන් ප‍්‍රශංසනීය වෙයි. ඉදිරිගාමීය. කනගාටුව ජනාධිපතිවරයා හැරෙන්නට ආණ්ඩුවේ ප‍්‍රබල සමහරු ඔවුනට ඇහුම්කන් නොදීමයි.

මේ වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් පවතින විට රාජ්‍ය නොවන මුදල් ගෙවා තම අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි ඩිප්ලෝමා හා උපාධි පිරිනැමීමේ පෞද්ගලික ආයතන 17ක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතියෙන් කි‍්‍රයාත්මක වේ. මේවා දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත ආයතන ලෙසින් සැලකේ. මේ ආයතන ඇසුරින්, නීති, ඉංජිනේරු, ගණකාධිකාරී, පරිගණක තාක්ෂණය, සිවිල් ඉංජිනේරු, කළමනාකරණ, ගෘහ නිර්මාණ ආදී පාඨමාලා ඇසුරින් ඩිප්ලෝමා හා උපාධි අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 60,000ක් පමණ උසස් අධ්‍යාපනය ලබති.

මේ පිරිසට (60,000) පෞද්ගලික අංශයෙන් මුදල් ගෙවා හෝ ලබාගත හැකි උසස් අධ්‍යාපන අවස්ථා අහිමි කරන්නේ නම් එය මොන තරම් අපරාධයක් දැයි අමුතුවෙන් කිව යුතු නැත. එයම රටේ තරුණ කැරැල්ලකට හේතු විය හැකිය. විවිධ නම්වලින් පාරට බැස සිටින අන්තවාදීන්ට හා පෙරටුගාමීන්ට අවශ්‍ය වී තිබෙන්නේ තවත් එවන් කැරැල්ලක් දැයි කියන්න දන්නේ නැත. එහෙත් කිරි කෑවත් සිරිත්තමට කියා දකුණේ කියමනක් තිබේ. මේ හැමදෙයක්ම සිදුවිය යුත්තේ පිළිගත් ප‍්‍රමිතියකට අනුවය. පෞද්ගලික උපාධි පිරිනැමීමේ ආයතන මුදල් පමණක් මුල්කර ගනිමින් ‘උපාධි කඩ’ විය යුතු නැත. ඊට යම් ඉඩක් ලැබෙන්නේ නම් එමගින් රටට සිදුවන හානිය හා විපත අන්තවාදීන්ගෙන් සිදුවන විපතටත් වඩා වැඩිය.

”ශී‍්‍ර ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඉතා යහපත්. ඒ සමඟම විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඒවා නිසි ප‍්‍රමිතිකරණයකට ලක්විය යුතු බවයි. ප‍්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ ඇති ප‍්‍රශ්නවලට අර්බුද එකතු කරනවා මිස විසඳුම් ලබා දෙන්නේ නැත.”

මහාචාර්ය ඉන්ද්‍රකිර්ති සිරිවීර (12.07.2017) ලංකාදීප

මේ වනවිට ගණකාධිකාරි, කළමනාකරණ, පරිගණක තාක්ෂණය ආදි වශයෙන් පෞද්ගලික උපාධි පිරිනැමීමේ ආයතන මගින් විවිධ උපාධි පිරිනැමේ. එහෙත් විරෝධතාව පැන නගින්නේ ‘සයිටම්’ ආයතනය මගින් වෛද්‍ය උපාධිය පිරිනැමීම කරණකොට ගෙනය. එසේ නම් ඊට අදාළ ප‍්‍රමිතිය තීරණය කරන බලධාරී ආයතනය වියයුත්තේ කුමක්ද? රජයේ වෛද්‍ය සභාවයි. අවසානයේදී වෛද්‍යවරුන් ලියාපදිංචි කරන්නේද රජයේ වෛද්‍ය සභාව මගිනි. මේ නිසා වෛද්‍ය සභාව මඟින් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කර තිබිය යුතුය. කනගාටුවක මහත තවමත් එවැන්නක් විධිමත් ආකාරයෙන් ප‍්‍රකාශයට පත්නොවීමය.

සමහරවිට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්නොකළ ලෝකයේ එකම වෛද්‍ය සභාව ඇත්තේ සසිරිබර මෙසිරිලකේ වියහැකිය. ඊට රජයේ වෛද්‍ය සභාවේ හිටපු සභාපති අතීත කීර්තියත් විනාශ කරගනිමින් සිටින මහාචාර්ය කාලෝ ෆොන්සේකාද වගකිව යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා මහාචාර්ය කාලෝ ෆොන්සේකා රජයේ වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත්කරන්නේම මේ ප‍්‍රශ්නය විසඳා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කිරීමටය. එහෙත් ඔහු නොකරන්නේම එයමය. මෙවන් වෛද්‍ය සභාවක් තිබෙන රටක සයිටම් විරෝධී ජනපවුරක් නිර්මාණය වීම පුදුම වියයුතු නැත. මේ නිසා වත්මන් අර්බුදයේ අංක එකේ වග උත්තරකරුවා රජයේ වෛද්‍ය සභාවයි. දෙවනුව උසාවි තීන්දුවක් ගැන කතාකරමින් ප‍්‍රශ්නය දිගින් දිගටම රස්තියාදුවේ යැවූ රජයට ද එම වගකීම බැර වේ.

මේ වනවිට සමහරු හේතුවක් ඇතිව හෝ නොමැතිව ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට වාගේ සයිටම් විරෝධී ජනපවුර වටා එක්වෙමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණ හා ඉන් කැඞී ගිය කොටසකින් නිර්මාණය වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ අතර දේශපාලන ගැටුමද සයිටම් අර්බුදයේ වේදිකාවට පැමිණ ඇත.

ජ.වි.පෙ. ලාල් කාන්ත සහෝදරා රජයේ විසඳුම ඉරා දමන්නේ පෙරටුගාමීන්ට වඩා ඔවුන් අරගලයේ සිටින බව පෙන්වීමට දැයි කියන්න දන්නේ නැත. ඊට හේතුව ජ.වි.පෙ. රාජ්‍ය නොවන අධ්‍යාපනයට වර්තමානයේ විරුද්ධත්වයක් නොදැක්වීමයි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතීන්ට යටත්ව එය ලබාගන්නේ රජයෙන්ද පෞද්ගලික අංශයෙන්ද යන්න ප‍්‍රශ්නය මේ වනවිට මාක්ස්වාදී ආණ්ඩු පවා ප‍්‍රශ්නයක් කරගෙන නොමැත. එවන් සමාජවාදී ජාත්‍යන්තරයක් තුළ ජ.වි.පෙ. කටයුතු කරන බව පෙනේ. එහෙත් මේ මොහොතේ ඔවුනට වැදගත්වන්නේ පෙරටුගාමීන් සමඟ දේශපාලනය නම් එය වෙනම විසඳා ගතයුතුය.

ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නයේදී සියල්ල පොදු මතයකට පැමිණීම සාධාරණය. ජනාධිපති මෛතී‍්‍ර රාජ්‍ය නායකයා ලෙසින් වඩාත් උනන්දු වී එම කාරණය තේරුම් කරගනිමින් සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මැදමාවතේ විසඳුමකට මාවතක් විවෘත කරදී තිබේ. එම ස්ථාවරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම්‍යශිලී ප‍්‍රතිචාරයක් දැක්වීම ප‍්‍රසංශනීයය. මේ ප‍්‍රශ්නයේදී ඔවුන් අන්තවාදී තැනක නොසිට රජයේ යෝජනා සාකච්ඡා කිරීමට ඉදිරිපත් වීම අගේ කළ යුතුය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අනුව ‘සයිටම්’ අහෝසි කෙරේ. මස් රත්තලම නොඉල්ලන පාර්ශ්වවලට මෙය ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගතහැකි ස්ථාවරයකි.

රජය පැත්තෙන් එය රටේ පෞද්ගලික ව්‍යවසායක් අහෝසි කිරීමකි. එය රටට ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට හා ඍජු ආයෝජනවලට බලපෑමක් ඇති කරනවා විය හැකිය. මේ වනවිට ශී‍්‍ර ලංකාව පසුවන්නේ පසුගිය දශකයට සාපේක්ෂව අඩුවෙන්ම විදේශ ආයෝජන ලබන අවදියකයි.

විදේශ ආයෝජනවලින් තොර සංවර්ධනයක් යනු අන්තවාදී මහලූ වාමාංශික සටන් පාඨයක් පමණකි. මේ නිසා සයිටම් විරෝධී ජනපවුර රටට ලැබෙන ආයෝජනවලට ප‍්‍රශ්නයක් නොවන ආකාරයට මේ ප‍්‍රශ්නය විසඳා ගැනීම වැදගත් වේ. ඊට නායකත්වය සැපයීමට ජනාධිපතිවරයා සූදනමින් සිටි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊට නම්‍යශීලී ප‍්‍රතිචාරයක් දැක්වීම ඔස්සේ ප‍්‍රශ්නය විසඳා ගත හැකි තැනකට තල්ලූවෙමින් පවතී.

වැදගත්වන්නේ ප‍්‍රමිතියක් සහිත රජයේ වෛද්‍ය සභාවේ හා රාජ්‍ය වෛද්‍ය අධිකාරි ආයතනවල අධීක්ෂණයට යටත් ව්‍යුහයකින් ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමයි. අද රජයේ නොවන රජයේ ආයතනයකින් ‘සයිටම්’ ප‍්‍රශ්නය විසඳාගැනීමේ අවස්ථාවක් උදාවී තිබේ. සයිටම් ජනපවුර තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට සුදානම් අයට මේ කිසිවකින් පලක් නොවේ. ඔවුහු මස් රත්තල ගෙඩිය පිටින් ඉල්ලා සිටිති.

 

වසන්තපි‍්‍රය රාමනායක



අදහස් (8)

ළිං මැඩි න්‍යායට යටවූවෝ

Upali Thursday, 09 November 2017 07:23 AM

වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති අති විශාල සංඛ්‍යාවක් විදේශීය විශ්ව විද්‍යාල වලට ඇතුල් වී අධ්‍යාපනය ලබති. මේ සඳහා අති විශාල ධනස්කන්දයක් (මේවා විදේශ විනිමය වේ) ඔස්ට්‍රේලියාව, චීනය, රුසියාව, ඉන්දියාව, බංගලිදේශය හා නේපාලය ඇතුළු විදේශ රටවලට ඇදී යයි. ඒ හැරෙන්නට විදේශ රටවල විශ්ව විද්‍යාල උපාධිය ලබා දෙන දේශිය පෞද්ගලික ආයතනත් එන්එස්බීඑම් ස්ලීට් වැනි රජයේ ආයතනත් මුදල් අයකරමින් විශ්ව විද්‍යාල උපාධි ලබා දෙමින් මේ රට තුල කි‍්‍රයාත්මක වේ. එමෙන්ම චීනය හා රුසියාව වැනි අති වාමාංශික රටවල්වල පවා පෞද්ගලික විශ්ව විද්‍යාල කි‍්‍රයාත්මක වේ.

:       73       315

Viraj Thursday, 09 November 2017 08:16 AM

පුද්ගලික රෝහල්වල ක්ෂණික / කෙටිකාලීන පුහුණුවලත් හෙද හෙදියන්ගේ රසායනාගාර සේවකයන්ගේ ප්‍රමිතිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නොපෙනෙන්නේ ඔවුන් නැත්නම් පෞද්ගලික රෝහල් අඩපනවී තමන්ගේද CHANELLING වලට කෙළවෙන බව දන්නා නිසයි! රෝගීන්ට කුමක් උවද එය ප්‍රශ්නයක් නොවේ?

:       53       378

naradha Thursday, 09 November 2017 11:47 AM

මේ සියල්ල පසු පස තිබෙන තව කරුණක් නම් රැකියා හිඟ වීමේ අවදානමයි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන් රාශියක් රටේ බිහි වුනොත්, ලංකාව වැනි කුඩා රටක ඔවුන්ට රැකියා සොයා ගැනීම අපහසු විය හැක. නමුත්, ඇතිවිය හැකි රැකියා හිඟය හේතුවක් ලෙස සලකා, රටේ අධ්‍යාපන අවස්ථා වසා දැමීම තරුණ අසහනය ඇති කිරීමට තුඩු දෙන මෝඩ අදහසකි. සමහරවිට ඉදිරි කාලයේදී වෛද්‍යවරුන්ට වැටුප් ගෙවන ආකාරය වෙනස් කිරීමට සිදු විය හැක. අප මේ දේවල් ගැන අප යතාර්තවාදීව බැලිය යුතු අතර, එට්කා වැනි ගිවිසුම්, අනිත් ආසියාතික රටවල් සමග ඇති කර ගැනීම රටට හිතකර දෙයක් විය හැකියි. එවැනි ගිවිසුම් තුලින්, අපගේ තරුණ තරුණියන්ට ලංකාවේ පමණක් නොව, අනිකුත් ආසියාතික රටවත් සේවය කිරීමේ හැකියාව ලැබෙයි.

:       4       90

ජනිත් Friday, 10 November 2017 12:38 PM

එක පැනයක් අසන්නම්.. අද ලක් සතොස සහ කාගිල්ස් ෆුඩ් සිටි, කීල්ස් සුපර් මාර්කට් තිබෙන මට්ටම කාටහරි සංසන්දනය කරලා කියන්න පුළුවන් ද? මෙහි අදාලත්වය තේරුම්ගත හැක්කන් තේරුම් ගනීවි.

:       0       627

Lal Friday, 10 November 2017 05:27 PM

අධ්‍යාපනය මුලික අයිතිවාසිකමකි. එය ලැබෙන්නේ හෝ ලබාගන්නේ පෞද්ගලික අංශයෙන්ද රාජ්‍ය නොවන අංශයෙන්ද අදාළ නොවේ.

:       1       618

dingirala Friday, 10 November 2017 11:10 PM

වසන්ත ප්‍රිය රාමනායක මහතා ඉදිරිපත් කර ඇති ගැඹුරු විශ්ලේෂණාත්මක ලිපිය මොලයක් තියන ඕනෑම කෙනෙකුට නිවැරදි මග පෙන් වීමක් ලබා දෙනු ඇත. එහෙත් එම ලිපියේ අන්තර්ගතය "අන්තරේ" සහ "පෙරටුගාමියේ" ඉන්න සෝබන වාමාංශික වලිප්පු කාරයන් තේරුම් ගනීදැයි මටනම් සැකයි. අප රටේ අධ්‍යාපනය අන්තර් ජාතික මට්ටමට ඔසවා තබනවා තියා විශ්ව විද්‍යාලයන් තුල සමහර විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම පවා වැළැක්වීමට වලිකන මේ වලිප්පු කාරයන් හට රාමනායක මහතාගේ ලිපිය හලා හල විෂක් ලෙස පෙනෙනු ඇත.

:       1       367

ජගා Saturday, 11 November 2017 06:16 AM

කැම්පස් වල කලා උපාධි මෙන්ම සමහර වෙලාවට විද්‍යා උපාධි එහෙම ගන්න ළමයින්ට උපාධිය නිම කිරීමෙන් පසුව රස්සා නැතිව ගෙදරට වෙලා බලාගෙන ඉන්න වෙලා තියන තත්වයක් තියෙන්නේ. ඒකට එකම හේතුව ඒ ළමයින්ගේ වැරදිද? අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් ඇත්තෙම නැද්ද? ඒවා ගැන ලියන්න පන්හිඳ එසවෙන්නේ නැද්ද? පෞද්ගලික අධ්‍යාපනය ලබන දරුවන් ගැන විතරද කැක්කුම? ඇයි ඒ දරුවනුත් අපේ දරුවන් නෙමේද? ඒ අය විඳින දුක් කම්කටොලු ගැන හොයන්න වුවමනාවක් නැද්ද? බොහෝ දෙනෙකු සිතන්නේ තම දරුවා ගැන පමණි.

:       0       8

Chanaka Saturday, 11 November 2017 07:00 PM

රාමනායක මහත්මා ලියලා තියන විදියට නම් මොකුත්ම දන්නේ නැති මිනිස්සු මේවා අැත්ත කියලා හිතයි. හැබැයි හිතන්න ඔබ ඉගෙන ගන්න අැත්තේ නිදහස් අධ්‍යාපනයෙන්... මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කියපු අාකාරයට රටේ ඉහලම 20% ජාතික ධනයෙන් 53% භුක්ති විඳිනකොට පහළම 20% ජාතික ධනයෙන් 4.4% භුක්ති විඳිනවා කියලා.... එතනොට ඔය කියන පෞද්ගලික අංශ දුප්පත් ළමයිට නිකන් උගන්නයිද? හැබැයි රාජ්‍ය විශ්ව විද්‍යාලවල මුදල් අැති මෙන්ම නැති සියලු දෙනාට එක හා සමාන අධ්‍යාපනයක් ලබන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මහා ලොකුවට සමාජවාදී රටවල් ගැනත් කියනවා කියුබාව තුළ අධ්‍යාපනය මොන අාකාරයෙන්ද රටේ සංවර්ධනයට යොදාගෙන තියෙන්නේ කියලා හොයලා බලන්න. සාක්ෂරතාවය 99.7ක් කළේ ස්කැනේඩියානු රටවලට පමණක් දෙවැනි වෙන, හොඳම වෙෙද්‍යවරු බිහිකරන රට වුනේ කොහොමද?

:       84       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 121 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 240 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 345 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 74 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 523 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 287 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site