IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී.ල.නි.ප කොයිබටද

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බව පක්‍ෂයේ තීරණයක් උපුටා දක්වමින් පුවත්පත් පසුගියදා වාර්තා කළේය. ඒ අනුව පසුගිය තුන්වැනි ඉරු දිනයේදී පක්‍ෂය ප්‍රතිසංවිධානයකට යොමුකරමින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ. දැන් ඔවුන්ගේ වගකීම වන්නේ පක්‍ෂයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමටත් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමත්ය.

එසේ නොවුණ හොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් සිදුවන්නේ ලංකාවේ වාමාංශික පක්‍ෂවලට සිදුවූ දෙයමය. පසුගිය පළාත් පාලන මැතිවරණය තෙක් ප්‍රබලයකුව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වනවිට දේශපාලන තත්ත්ව ලයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. එවැනි අසරණ තත්ත්වයකට පක්‍ෂය ඇද වැටුණේ පක්‍ෂයේම අනුශාසකවරයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විරෝධී ක්‍රියා හේතුවෙනි. ඒ බව රටම දනිති. පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන විටදී එය ද විශේෂයෙන්ම අවධානයට යොමු කිරීම ඉතාමත්ම වැදගත් බුද්ධිමත් ක්‍රියාවකි. 

ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයකටම පොහොට්ටුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කරන බව පොදුජන පෙරමුණේ නාමික නායකයා වූ ජී.ඇල්. පීරීස් මහතා මාධ්‍ය හමුවකදී පවසා තිබේ. තවත් මාධ්‍ය හමුවකදී ඔහු කියා ඇත්තේ පොහොට්ටුවට එක්වන ඕනෑම අයකු මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගත යුතු බවය. එම ප්‍රකාශ දෙකම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කරන ලද පූර්ව දේශපාලන අනතුරු හැඟවීමකි. ජී.ඇල්. පීරිස් මහතාගේ එම ප්‍රකාශ ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් නිසොල්මනේ සිටියහොත් සිදුවන්නේ පක්‍ෂය සහ බණ්ඩාරනායක මහතා විසින් පක්‍ෂයට ඇතුල් කළ බණ්ඩාරනායක ප්‍රතිපත්ති සියල්ලක්ම විනාශ වී යෑමය. ප්‍රමාද වී හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට ගත් ක්‍රියාමාර්ගය වැදගත්ය. එහෙත් එය සැබෑ ප්‍රතිසංවිධානයක් විය යුතුය. 

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටවූයේ ලංකාවට තවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂයක ඇති අවශ්‍යතාව අවබෝධ කරගත් හෙයිනි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමට මුල් වූ කුරුණෑගල ආසනයේ මන්ත්‍රීවරයා වූ රාජනීතිඥ එච්. ශ්‍රී නිස්සංක මහතා ද බණ්ඩාරනායක මහතාව ඒ සඳහා පොළඹවා ගනු ලැබූවේ ඔහු ද දැඩි ප්‍රජාතන්ත්‍රවාදියකු වූ නිසාය. 1947 සිට 1951 දක්වා වූ කාලපරාසය තුළ එක්සත් ජාතික පක්‍ෂය හැරුණු විට දේශපාලන භූමියේ අයෝමය නායකයන් වී සිටියේ මාක්ස්වාදී පක්‍ෂ වීම ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමේදී එහි නායකයන්ගේ අවධානයට ලක්වී තිබේ. නිදහසින් පසුව ලංකාව වරින්වර පාලනය කරනු ලැබුවේ ද එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසිනි. ඒ නිසා එම පක්‍ෂ දෙකටම රට පිළිබඳව ඇත්තේ විශාල වගකීමකි. එබැවින් මෙම පක්‍ෂ දෙකම ආරක්‍ෂා කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ජනතාව සතු යුතුකමක් වී තිබේ. 

අභිමානවත් අතීතයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වර්තමානය වනවිට විසඳුමක් නොමැති බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටි. පක්‍ෂයේ ප්‍රථම නායකයා වූ බණ්ඩාරනායක මහතා හැරෙන්නට අනෙකුත් නායකයන්ට මුහුණ දීමට සිදුනොවූ අර්බුද රාශියක් වත්මන් නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා ගොනු වී ඇත. ඒවා සියල්ලක්ම පක්‍ෂය තුළ මතු වී ඇති අර්බුදයි. මේ අර්බුද විසඳීමකින් තොරව එකපිට එක ගොඩ ගැසීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දේශපාලන මඩ ගොහොරුවක් බවට පත්වී තිබේ. පක්‍ෂයේ නිල නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වුවත් පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය එක්වී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සැබෑ නායකයා කවුදැයි යන්න පාක්‍ෂිකයන්ට ප්‍රශ්නයකි. ඒ බව වැඩියෙන්ම පැහැදිලි වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දෙස බලන විටදීය. එවැනි තත්ත්වයක් ඇති වූයේ ද වත්මන් පක්‍ෂ නායකත්වයේ ඇති දුර්වලකම් හේතුවෙනි. ආරම්භයේදීම නියපොත්තෙන් කැඩීමට තිබූ ප්‍රශ්න පොරොවෙන් කැපීමට ද නොහැකි තත්ත්වයක් දක්වා දුරදිග ගියේ පක්‍ෂය තුළ විනයක් නොතිබීම හේතුවෙනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු වුවත් ඔහු පක්‍ෂය තුළ තිබිය යුතු විනය ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව තැකීමක් නොකිරීම නිසා පක්‍ෂය අද වනවිට දෙකට තුනට කැඩී ගොස් තිබේ. පක්‍ෂයට අයත් මන්ත්‍රීවරුන් බහුතරයක් තීන්දු තීරණ ගන්නේ ද ප්‍රකාශ නිකුත් කරන්නේ ද පක්‍ෂයට ඕනෑ පිළිවෙළට නොව ඔවුන්ට ඕනෑ ආකාරයටය. 

මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ නායකත්වයටත් ජනාධිපති ධුරයටත් පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කරනු ලැබුවේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ද සහිතවය. එහෙත් ශ්‍රීලනිපයේ හිටපු නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් එම තීරණයට එරෙහිව විපක්‍ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයට පක්‍ෂ නායකත්වය විරුද්ධ නොවීම නිසා මතු වූ තත්ත්වය අද ඔඩු දිවූ පිළිකාවක් බවට පත්වී තිබේ. එතැනින් ආරම්භ වූ පක්‍ෂ නායකත්වයට විරුද්ධව නිර්මාණය කළ සටන ඉදිරියේ අද ඇත්තේ පිළිතුරු නොමැති ගැටලු රාශියකි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව පක්‍ෂයේ අනුශාසකවරයකු වශයෙන් ද පත් කළේය. ඔහු තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයෙකි. එහෙත් මේ වනවිට ද ඔහු පොහොට්ටුව ලකුණෙන් යුත් පොදුජන පෙරමුණට නායකත්වය දෙන නායකයා බව මුළු රටම දන්නා කරුණකි. මන්ත්‍රීකම් සහ වරප්‍රසාද රැකගැනීම් සඳහා පමණක් පාර්ලිමේන්තුව තුළදී ඒකාබද්ධ විපක්‍ෂය නමින් පෙනී සිටින එම කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් පිටතදී පෙනී සිටින්නේ පොදුජන පෙරමුණේ නායකයන් ලෙසින්ය. මේ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තවමත් නොදන්නා සේ සිටීම නිසා පක්‍ෂය තුළ අර්බුද උත්සන්න වී තිබේ. ඒ අර්බුද සියල්ලම නිර්මාණය වන්නේ මහින්ද රාජපක්‍ෂගේ වාසියට හේතුවන ආකාරයෙනි. ඒ පක්‍ෂයේ සභාපතිවරයාගේ නිහඬ බව නිසාය. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේබලයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස සිටියත් වැඩ කරන්නේ ජනාධිපති මෛත්‍රීපාලගේ ආණ්ඩුවට එරෙහිවය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම්මේලනයට හෝ රැස්වීම්වලට සහභාගී නොවන එම පිරිස පොහොට්ටුවේ රැස්වීම් නියෝජනය කරති.

පක්‍ෂයේ මැයි දින රැළි ඔවුන් වර්ජනය කරමින් ඔවුන්ගේ මැයි දින රැළි පවත්වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ තඹ දොයිතුවකට මායිම් නොකරති. මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුශාසකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ මහතාම ඔහුගේ පොහොට්ටු පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කිරීම සඳහා ප්‍රසිද්ධියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් අමතති. එවැනි අයකු නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසකවරයකු ලෙස පත්කර තිබීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂගේ නම නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තනිවම පැවැත්මක් නොමැති බවය. මෙවැනි පක්‍ෂ සාමාජිකයන්ටත් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන් වී ඇතත් ඒවා සියල්ලම ව්‍යවස්ථාවට පමණක් සීමා වී ඇත. මේ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිදුවී තිබෙන්නේ පක්‍ෂය තුළ සිදුවන විපර්යාස දෙස බලාගෙන සිටීම පමණකි. අද පක්‍ෂයේ නායකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර කැමැත්ත සහ ආරක්‍ෂාව පක්‍ෂයේ සභාපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇත්තේ නැත. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ක්‍රමක්‍රමයෙන් දියවී යෑමට පටන්ගෙන තිබේ. එවැනි පසුබිමක් තිබියදීත් ප්‍රසිද්ධියේම පක්‍ෂයට ද්‍රෝහිකම් කරන්නවුන්ට ප්‍රතිසංවිධානයේදී පක්‍ෂය තුළ උසස්වීම් ලබාදීම පුදුම සහගතය. 

මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාම මුලින් කියා සිටියේ ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය නියෝජනය කරන බවය. එහෙත් දැන් ඒකාබද්ධ විපක්‍ෂයේ අවශ්‍යතා ඉටුකිරීමට එම කණ්ඩායම පෙරට පැමිණ තිබේ. ඔවුන් ප්‍රසිද්ධියේම කියන්නේ ලංකාවේ ඉදිරි දේශපාලන පැවැත්ම මහින්ද රාජපක්‍ෂගේ පොහොට්ටුව මත රැඳී ඇති බවය. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයකු වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඔහුගේ සහාය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව පසුගිය 12 වැනි දින රත්නපුරයේ පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ඔහු ගොඩකවෙලදී කියා තිබුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ නායකයා විය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයකු ඒ අයුරින් ප්‍රකාශ කරන විට පක්‍ෂයක් ඉතුරුවේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම අලුත් නිලධාරී මණ්ඩලයට අයත් කාර්යයකි. මෙවැනි ප්‍රකාශ නිසා පක්‍ෂයට හිතවත් ඡන්දදායකයන්ට සිදුවී ඇත්තේ කලකිරීමකින් යුතුව මේ ගැටුම් දෙස බලා සිටීමටය. 

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම පසුගිය 16 වැනිදා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී කළ සාකච්ඡාව සම්බන්ධයෙන් ද මතු වී ඇත්තේ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නයට පිළිතුර අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය තුළම ගැබ් වී තිබේ. ඔහු එදා කියා සිටියේ අපි පරාද නෑ, අපේ ගොඩට තවත් මන්ත්‍රීවරුන් 16 දෙනෙක්ම එක්වූවා යනුවෙනි. මෙවැනි දෑ තව තවත් සිදුවන්නට පටන් ගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ දෙතුන් දෙනකු හැර අනෙකුත් සියලු දෙනාම ඒකාබද්ධ විපක්‍ෂය නොහොත් පොදුජන පෙරමුණට එක්වීම වැළැක්විය නොහැකිය. විනයක් නොමැති පක්‍ෂයක් තුළ මෙවැනි දේවල් සිදුවීම ද පුදුමයට කරුණක් නොවේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් තනතුර වෙනස් කළ යුතු බව පවසමින් 16 දෙනාගේ කණ්ඩායම අලුත් සටනත් ආරම්භ කළහ. නව ප්‍රතිසංවිධානයත් සමඟම ඔවුන් එම සටන ජයගෙන තිබේ. හිටපු ලේකම්වරයා ජාතික සංවිධායක තනතුර දක්වා පහත දමා ඇත. ඔහු ඇමැති තනතුර ද අතහැර මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්දගේ ආණ්ඩුවෙන් එළියට පැමිණි අයකු බව ද අමතක කළ යුතු නැත. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අලුත් ලේකම්වරයකු පත්කර තිබේ. ඔහු බුද්ධිමතෙකි. උගතෙකි. මධ්‍යස්ථ මතධාරියෙකි. ඔහුගේ පළමු කාර්යය විය යුත්තේ පක්‍ෂය තුළ දැඩි විනයක් ස්ථාපිත කිරීමය. එසේ නොවුවහොත් ඔහුට ද සිදුවන්නේ පක්‍ෂය දෙස බලා සිටීමට පමණකි. 

පසුගිය දිනෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි කාර්යාලයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. එම කණ්ඩායම එහිදී ඒකමතිකව තීරණය කරනු ලැබුවේ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමටය. මෙයින් පැහැදිලි වන්නේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර යාම තවමත් නොනැවතී සිදුවන බවය. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දැනට සිදුවෙමින් පවතින මෙම නාය යෑම තවදුරටත් වර්ධනය වුවහොත් පක්‍ෂය රැකේවි ද එසේත් නැත්නම් නැසේවි ද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. මෙයට පිළිතුර ඇත්තේ පක්‍ෂයේ සභාපති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නව මහලේකම්වරයා සතුවය. සතුරන් සතුරන් සේ දැන හැඳින ගැනීම දේශපාලනයේ මූලික සිද්ධාන්තයකි. එයින් බැහැරවීම විනාශය කරා ගමන් කිරීමේ මූලික පියවරකි. ඒ බව දැනගෙන වැඩ කිරීම වඩා නුවණැති ක්‍රියාවකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු යටතේ ලාංකික දේශපාලන භූමියේ තිබිය යුතු පක්‍ෂයකි. 

 



අදහස් (4)

ශ්‍රී.ල.නි.ප කොයිබටද

ananda Thursday, 07 June 2018 10:12 AM

එවැනි අසරණ තත්ත්වයකට පක්‍ෂය ඇද වැටුණේ පක්‍ෂයේම අනුශාසකවරයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විරෝධී ක්‍රියා හේතුවෙනි. සැබවින්ම ශ්‍රීලනිපයට මෙම තත්වය උදාවූයේ පක්ෂයේ මහලේකම් පක්ෂයට එරෙහිව කල ද්‍රෝහික්‍රියව හේතුවෙන් බව රටම දන්නා සත්‍යයකි

:       153       180

ramaThursday, 07 June 2018 11:56 AM

ඔබ හරි පළමුව පක්ෂය කැඩුවේ සිරිසේන දෙවනුව මහින්ද මැතිවරණයෙන් කිව්වේ නේ අලියාගේ නැට්ටේ එල්ලෙන කතාව.................... දිනුවට පස්සේ අලියාගේ නැට්ටේ එල්ලුන

:       0       7

BamunuarachchiSaturday, 09 June 2018 10:58 PM

ඔබ කියන මහින්ද මහතාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ විරෝධී ක්‍රියාව මොකක් ද? ශ්‍රීලංකා නිදහස් පක්ෂය යන්නේ අගාධයට. හේතුව ඉන්න පක්ෂ නායකයෝ බණ්ඩාරනායක මහතා මෙන් රට ගැන නොසිතීමයි. දැන් ඉතිරිවී ඇත්තේ නම පමණයි ප්‍රතිපත්ති නොමැත...

:       0       0

BamunuarachchiSaturday, 09 June 2018 11:01 PM

ආනන්ද, රාමා ඔබ දෙදනාගේම කතා පැහැදිලි නැත.....

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 180 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 190 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 41 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 290 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 207 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 258 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site