IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රටම ගඳගස්සන ඌවේ සෙල්ලම

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

‘‘මාගේ දුරකතනයට ....... යන අංක සහිත දුරකතනයෙන් පස්වරු පස්වරු 1.37ටත්, 1.47ට හා පස්වරු 1.50ට ලැබුණු දුරකතන ඇමැතුම් සම්බන්ධවයි. එම දුරකතන ඇමතුම් ලබා දුන්නේ ඌව පළාත් සභාවේ........ විසිනි. පළමු දුරකතන ඇමතුම යෝජිත තොග පොළ ආශ‍්‍රිතව සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් වන අතර එමගින් යෝජිත ඉදි කිරීම නතර කරන ලෙස තර්ජනාත්මකව උපදෙස් දෙන ලදී.....’’

රාජ්‍ය නිලධාරීන් සිටිය යුත්තේ දේශපාලකයන්ගේ පයට පෑගෙන දූවිලි ගාණට බව ඇතැම් දේශපාලකයෝ සිතති. ඔවුන් මත්වතුර ටිකක් තොලගෑ විට නිලධාරීන්ට ඇමතුම් ගෙන අම්මා මුත්තා මතක් කර බනින්නේ ඒ නිසා විය හැකිය. දේශපාලනඥයන්ගේ පීඩනයට ලක් වන නිලධාරීන් ගැන කතා අප කොතෙකුත් අසා ඇත. යළිත් එය ඉස්මතු වී කරළියට ආවේ ඌව පළාතේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වී යැයි කියන සිද්ධියකින් පසුවය.

ඌව පළාත දිස්ත‍්‍රික්ක දෙකකින් සමන්විතය. ඒ බදුල්ල සහ මොණරාගලයි. පසුගිය වකවානුවේ බොහෝ සෙයින් කතාබහට ලක් වූ පුවත් මැවූ බදුල්ල පළාත් සභා ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත‍්‍රික්කයේය. 2014 වසරේ සැප්තැම්බර 20 වැනිදා පැවැත්වූ පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල අනුව පිහිටවූ ඌව පළාත් සභාවේ එදායින් පසුව මහ ඇමැතිවරු තුන් දෙනෙක් කටයුතු කළහ.

ඌව පළාත් සභාව නියෝජනය කරන ප‍්‍රබල දේශපාලකයකු නිලධාරීන්ට බලපෑම් කරන බවට තොරතුරු අපට ලැබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. නිලධාරීන්ට එම දේශපාලකයා බලපෑම් කරන බවට වූ ලියැවිලි කිහිපයක් අප අතට පත් වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය. ඒවායේ නිවරද්‍යතාව පරීක්ෂා කිරීමට සහ වැඩිදුර සොයා බැලීම සඳහා කාලයක් ගත වූ අතර ඌවේ විදුහල්පතිනියක දණගැස්වී යැයි කියන සිද්ධියක් ගැන වාර්තා වූයේ ඌවේ නිලධාරීන්ට එන බලපෑම් ගැන ‘සත්‍ය ගවේෂණ’ විශේෂාංගයෙන් අනාවරණය කිරීමට සිටියදීය.

විදුහල්පතිනියගේ සිද්ධිය ගැන මේ වන විට පරීක්ෂණ කිහිපයක්ම ආරම්භ වී ඇති නිසා ඒ ගැන වැඩිදුර කතා බහ නොකරමු. මේ කියන්නට යන්නේ ඌවේ තවත් සෙල්ලම් ටිකක් ගැනය.

කතාව ආරම්භ කළේ බණ්ඩාරවෙල නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් ඞී එම් එන් දිසානායක මහතා   ලොග් සටහනකිනි. එම ලොග් සටහන යොදා තිබුණේ 2015 වසරේ ඔක්තෝබර් 16 වැනි දා ය. අද වන විට බණ්ඩාරවෙල සිටින්නේ වෙනත් නාගරික කොමසාරිස්වරයෙකි. ඔහු නීතීඥ එස් පී උඩෝවිටය. උඩෝවිට මහතා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකි. බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් ලෙස පත් වීමට ප‍්‍රථම ඔහු බදුල්ල නාගරික කොමසාරිස්වරයා විය.

ඌව පළාත් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්, ඌව පළාතේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම්, ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ සහකාර ලේකම්, මධ්‍යම පළාතේ නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ පාලන අධ්‍යක්ෂ ඇතුළු තනතුරු රැසක් දරා ඇති උඩෝවිට මහතා බදුල්ල නාගරික කොමසාරිස් ලෙස පත්වීම් ලබන්නේ 2017 අපේ‍්‍රල් 07 වැනි දා ය.
 
එතැන් සිට එම ධුරයේ කටයුතු කළ උඩෝවිට මහතා නගරයේ වැඩ කිහිපයකට අත ගැසීය. බදුල්ල උද්භිද උද්‍යානයේ 1815 දී ආරම්භ කර ඇති සංචාරක නිවාසය අලූත්වැඩියා කිරීම, බදුල්ල මහ නගර සභාව බදුල්ල තානායම් ගොඩනැගිල්ලට රැගෙන ගොස් පැරණි ගොඩනැගිල්ල තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස අලූත් වැඩියා කිරීම, නගරයේ දෛනික කසල එකතු කිරීමේ කටයුතු විධිමත්  කිරීම, පදික වේදිකා ආරක්ෂිත වැටවල් යොදා ප‍්‍රතිසංස්කරණය කිරීම, මහ නගර සභා කාර්යාලවල විධිමත් පරිපාලනයක් ඇති කිරීම ආදී රාජකාරි රැසකට අත ගැසීය. ඒවා කරගෙන යෑමට ඔහුට හැකිවූයේ ටික දිනක් පමණි. දිනපතා බලපෑම් එන්නට විය.

මේ අතර නගරයේ ඉතා වැදගත් හිස් භූමි තම හිතවතුන්ට නිත්‍යනුකූල නොවන ලෙස අත්පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස ඌව පළාත් සභාවේ ප‍්‍රබල දේශපාලනඥයෙක් බලපෑම් කළේය. බදුල්ල ගඟබඩ පාරේ නාගරික කොමසාරිස් නිල නිවස ආසන්නයේ රක්ෂිත ඉඩමක් එක්තරා පුද්ගලයකුට ලබා දෙන උඩෝවිට මහතාට බලපෑම් කළේ පෙර කී දේශපාලකයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු මාර්ගයෙනි. නගරයේ උදයරාජ මාවතේ පෞද්ලික කඩයක හිමිකරු ඉවත් කර බදුකරුට කඩය ලබා දෙන ලෙස ඊළඟට බලපෑම් ආවේය. සේනානායක පිට්ටනියේ වෙළෙන්දන්ට කඩ ලබා දීමේදී හිතවතුන්ට විශේෂයක් කරන ලෙස බලපෑම් එන්නට විය.

 

ඒ සෑම අවස්ථාවකම එවැනි නීතිවිරෝධී නියෝග ප‍්‍රතික්ෂේප කිරීමට නාගරික කොමසාරිස්වරයා කටයුතු කළේය. නීති විරෝධී නියෝග ඉටු නොකරද්දී තම හිතවතුන් ඉදිරිපිට තබා ගන්නා දේශපාලකයා නාගරික කොමසාරිස්ට දුරකතන ඇමතුමක් ගෙන අම්මා මුත්තා මතක් කර බනියි. ඒ බැනුම් නෑසු කන්ව සිටි නාගරික කොමසාරිස්ට නරක කාලය උදා වුයේ නීති විරෝධි කඩ කාමරයකට සීල් තබන ලෙස දුන් උපදෙසකිනි.

එම කඩ කාමරය පිහිටියේ බදුල්ල බස් නැවතුම් පොළේය. කඩ කාමරය අයත්ව තිබුණු පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ එම කඩය කරගෙන ආ අතර ඔහුගේ අභාවයෙන් පසු එම කඩකාමරය කරගෙන ගියේ අදාළ හිමිකකරු කඩය කරන අවධියේ එහි සේවය කළ පුද්ගලයෙකි. ඔහුට වෙනත් කඩයක හිමිකාරිත්වය ද තිබිණි.

කඩ කාමරය ගැන ගැටලූ සහගත තත්ත්වයක් උදාවීමෙන් පසු නගර සභා ආඥා පනතේ 266 වැනි වගන්තිය යටතේ බදු කාලය අවසන්ව එවකට බාරකරු ලෙස පෙනී සිටි පෙර කී පුද්ගලයාට එම කාමරයෙන් ඉවත් වන ලෙස 2017 ජුනි 28 වැනි දා දැන්වීම් බාර දුන්නේය. නාගරික කොමසාරිස්ගේ නියෝගය ප‍්‍රකාරව ඔවුන්ට ඉවත් වීමට මාසයක පමණ කාලයක් ලබා දුන් අතර එම කාලයේ ඔවුන් ඉවත් වූයේ නැත.  

ඒ වෙනුවට අදාළ කඩයේ වර්තමාන හිමිකරු බව කියන පුද්ගලයා පළාත් සභාවේ පෙර කී දේශපාලකයා හමුවීමට ගියේය. මේ කාලය වන විට බදුල්ල නගර සභාවේ ආදායම් පරීක්ෂක ලෙස සේවය කළේ ලලිත් ඉන්දික මහතාය. එම දේශපාලකයා උඩෝවිට මහතාට කතා කර අදාළ කඩය සම්බන්ධයෙන් කිසිවක් නොකරන ලෙස බලපෑම් කළේය. නීතීඥවරයකු වූ නාගරික කොමාසරිස්වරයා එම නීති විරෝධී නියෝග ක‍්‍රියාත්මක නොකළ තැන දේශපාලකයා එම කඩයට කිසිත් නොකරන ලෙස ආදායම් පරීක්ෂකට බලපෑම් කළේය. ආදායම් පරීක්ෂක ද නීති විරෝධී නියෝගය ක‍්‍රියාත්මක කළේ නැත.

2017 ජූලි හතර වැනි දා කඩයේ වර්තමාන හිමිකරු කියන පුද්ගලයා අදාළ දේශපාලකයාට ලිපියක් යොමු කළ අතර ඊට දේශපාලකයා සටහනක් යොදා නාගරික කොමාසරිස්ට එවීය. සටහනේ යොදා තිබුණේ මෙම කඩ කාමරයෙන් නගර සභාවට අය විය යුතු බදු මුදල් ලබා ගෙන නීත්‍යනුකූලව කඩය ඔහුට දෙන ලෙසයි. නමුත් දුරකතන ඇමැතුම් දෙමින් නීත්‍යනුකූල භාවය ගැන කිසිත් නොකී අතර දිගින් දිගටම බලපෑම් කළේ කඩ කාමරය අදාළ පුද්ගලයාට ලබා දෙන ලෙසයි. නීත්‍යනුකූල රාමුව ඇතුළේ එවැන්නක් සිදු කිරීමට බැරි බැවින් නාගරික කොමසාරිස් එම නියෝග ඉවත දැමීය.

ඒ අනුව කඩ කාමරයෙක් ඉවත් වීමට දී තිබූ කාලය අවසන් වූ පසු 2017 ජූලි මස 27 වැනි දා නාගරික කොමසාරිස් උඩෝවිට මහතා නගර සභාවේ ආදායම් පරීක්ෂක ලෙස සේවය කරමින් සිටි ඉන්දික මහතාට නියෝගයක් ලබා දුන්නේය. ඒ අදාළ කඩ කාමරයේ පිරිස ඉවත් කර අගෝස්තු හතර වැනිදා හෝ ඊට පෙර දන්වන ලෙසයි. ඊට අදාළ බලපත‍්‍රයද නිකුත් කළේය. මේ නියෝගයත් සමඟ අදාළ දේශපාලකයා තවත් කිපුණේය. දිගින් දිගටම ආදයම් පරීක්ෂකට සහ නාගරික කොමසාරිස්ට බලපෑම් කරන්නට විය.

කඩ කාමරයේ හිමිකරුයි කියන පුද්ගලයා සම්බන්ධයෙන් තිබූ සැකය වැඩිවීමත් සමඟ නගර සභාවේ නිලධාරීහු ඔහු ඉදිරිපත් කර ඇති කඩ පැවරුම්පත‍්‍රය පරීක්ෂා කළහ. ඔවුන්ට බැලූ බැල්මට පෙනී ගියේ එය කූඨ ලෙස සකස් කරන ලද ලියැවිල්ලක් බවයි. එම දිවුරුම් ප‍්‍රකාශයේ සඳහන් කර තිබුණේ 2012 ජූලි 24 දිනැති බදු ගිවිසුම අනුව ඇති කඩ කාමරය අදාළ පුද්ගලයාට පවරා දෙන බවයි.

එම පැවරුම් පත්‍රයේ ඇති මුද්දර වෙනත් ලේඛණයක අලවා තිබී ගලවා නැවත අලවා ඇති ආකාරයක් බැලූ බැල්මට පෙනී ගිය අතර මුද්දර දෙකෙහි අත්සන් දෙකේ වෙනස්කම් ද නිරීක්ෂණය විය. ඒ අනුව කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් කඩ කාමරයේ වර්තමාන හිමිකරුයැයි කියන පුද්ගලයාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට නගර සභාව තීරණය කළේය. ඒ වෙනුවෙන් නාගරික කොමසාරිස්වරයා බලය පැවරුවේ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයාටය.  ඒ 2017 ජූලි 31 වැනි දා ය.

‘‘...... මා වෙත ඉදිරිපත් කරන ලද දිවුරුම් ප‍්‍රකාශය කූට ලේඛනයක් බවට නිරීක්ෂණයේදී හ`දුනා ගැනීමට හැකි වී ඇත. එහි ඇති මුද්දර වෙනත් ලේඛණයකට අලවා තිබී ගලා නැවත අලවා ඇති අතර එම මුද්දර දෙකෙහි එකිනෙකට වෙනස් අත්සන් දෙකක් ඇති බව නිරීක්ෂණය වේ. ........ යන අය විසින් ඉදිරිපත් කර ඇති කූඨ ලේඛණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අධිකරණමය කටයුත්තක් ආරම්භ කිරීමට හැකි වන පරිදි පොලිසියට  පැමිණිලි කිරීම සඳහා මෙයින් බලය පවරමි.’’

එම බලය පැවරීම අනුව නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා 2017 අගෝස්තු පළමු වැනි දා බදුල්ල මූලස්ථාන පොලිසියට අදාළ පැමිණිල්ල කළේය. ඒ සීඅයිබී 3 22/12 අංකයෙනි.  පැමිණිල්ල සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස අදාළ දේශපාලකයාගේ පාර්ශ්වයෙන් පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණු අතර මේ වන තෙක් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නැත.

මේ අතර මම කඩය මුද්‍රා නොතබන ලෙසත්, ගැටලූව විසඳන තෙක් කඩ කාමරයේ වෙළෙඳාම් කටයුතු කරගෙන යෑමට අවසර ලබා දෙන ලෙසත් නාගරික කොමසාරිස් දැනුම්වත් කරන ලෙසත් ඌව මහ ඇමැතිවරයා පළාත් පාලන කොමසාරිස්ට ලිඛිතව දැනුම් දුන්නේය. ඒ 2017 ජූලි මස 31 වැනි දාය. එම ලිපියේ අවසානයට ඇත්තේ ‘‘ඌවට පැහැබර අනාගතයක් ගොඩනගමු.’’ යන තේමා පාඨයයි. ඌවේ පැහැබරවීම කෙසේ වෙතත් දිගින් දිගටම සිදුවන සිදුවීම් නිසා ඌවේ නිලධාරීන් රැසක් සිටිනුයේ සෝබරිනි.

දිගින් දිගටම එල්ල වූ නීති විරෝධී නියෝග සහ බලපෑම් ගණනකට නොගත් බදුල්ල නාගරික කොමසාරිස්ට එම තනතුරේ රාජකාරි කිරීමට හැකි වූයේ මාස හතරක පමණ කාලයකි. 2017 අගෝස්තු 20 වැනි දා ඔහුට මාරුවක් ලැබුණු අතර වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඔහු බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් ලෙස පත් කරනු ලැබීය.

එම නීති විරෝධී ස්ථාන මාරුවට එරෙහිව නීතීඥ උඩෝවිට මහතා   ඌව පළාත් ප‍්‍රධාන ලේකම්ටත් අභියාතනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනා ලිපියේ ශීර්ෂය වූයේ ඉල්ලීමකින් තොරව ස්ථාව මාරු කිරීමට කටයුතු කිරීම යන්නයි.

‘‘ඉහත නම සඳහන් මා බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස 2017 අපේ‍්‍රල් හත් වැනි දිනැතිව වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගරු ආණ්ඩුකාරතුමන් විසින් පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා අදාල තනතුරේ කාර්යය හා කර්තව්‍ය සාධාරණව, නීත්‍යනුකූලව හා කාර්යක්ෂමව ඉටු කර ඇත. එසේ තිබිය දී මාගේ ඉල්ලීමකින් හෝ කැමැත්තකින් තොරව, මාගේ පූර්ව එකඟතාවය විමසීමකින් තොරව, විනයානුකූල හේතුවකින් තොරව සහ සේවා අවශ්‍යතාවයක් ද පැන නැගී නොතිබිය දී දේශපාලන අධිකාරියේ ඉල්ලීමක් හෝ බලපෑමක් මත හෝ වෙනත් සාධාරණ නොවන හේතුවක් මත මා බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් ලෙස ස්ථාන මාරු කිරීමට ඔබ විසින් ආණ්ඩුකාරතුමා වෙත නිර්දේශ කර ඇති බව මා හට දැන ගන්නට ඇත.

මේ වන විට බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් තනතුර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුප‍්‍රාප්තියක නිලධාරියකු නම් කර, ඌව ගරු ආණ්ඩුකාරතුමා විසින් ඔහුගේ අංක 01/05/01/03 හා 2017 ජූලි 25 දිනැති ලිපියෙන් සී ඒ හේරත් මිය පත් කර ඇති අතර ඇය තවම අදාල තනතුරේ රාජකාරි සඳහා වාර්තා කර නොතිබිය දී මෙම තනතුර සඳහා මාගේ නම නිර්දේශ කර යැවීමෙන් මා හට අප‍්‍රතිහත අගිතියක් සිදුවී ඇත.’’ ආදී වශයෙන් දීර්ඝ විස්තරයක් උඩෝවිට මහතාගේ අභියාචනයේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ ලිපිය ලියන මොහොත දක්වා එම සිදුවීම ගැන විමර්ශනයක් කර උඩෝවිට මහතාට සාධාරණයක් කිරීමට ඌව පළාත් ප‍්‍රධාන ලේකම්වරයා හෝ ආණ්ඩුකාරවරයා කටයුතු කර නැත. මේ හා සම්බන්ධ ඊළඟ බරපතල කාරණය වනුයේ මෙම සිද්ධියේදී නාගරික කොමසාරිස්වරයාගේ නියෝගය අනුව පොලිසියට පැමිණිලි කළ ආදායම් පරීක්ෂකවරයා ද ස්ථාන මාරු කිරීමයි.

ඒ සඳහන් කළේ ඌව පළාත් සභාවේ ප‍්‍රභල දේශපාලකයා නිලධාරීන් කිහිප දෙනකුට කළ බලපෑම් පමණි.

බදුල්ලේ උමං මාර්ගයේ කඩයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉතා අඩු මුදලකට තම හිතවතකුට ලබා දෙන ලෙස එම දේශපාලකයා බලපෑම් කර තිබුණේ උඩෝවිට මහතාට පෙර බදුල්ලේ සිටි නාගරික කොමසාරිස්ටය. එම නාගරික කොමසාරිස්වරයා ද මම දේශපාලකයාගේ නීති විරෝධී නියෝගය එනම් ටෙන්ඩර් මුදල වන ලක්ෂ 29 වෙනුවට රුපියල් ලක්ෂ 5කට එම කඩ කාමරය ලබා දෙන ලෙස කළ දැනුම් දීම නොතකා හැරියේය. අවසානයේ ඔහු ද දේශපාලකයාගේ උදහසට ලක්විය. ඔහුට ස්ථාන මාරුවක් ලැබුණි. උඩෝවිට මහතා නාගරික කොමසාරිස් වූයේ ඉන් පසුය.

 උඩෝවිට මහතා ද දේශපාලන උදහසට ලක්ව බණ්ඩාරවෙලට මාරු කිරීමට පෙර බණ්ඩාරවෙල සිටියේ ඞී එම් එන් දිසානායක නම් නාගරික කොමසාරිස්වරයෙකි. දිසානායක මහතාට ද දිගින් දිගටම නීති විරෝධී නියෝග පැමිණි අතර ඔහු ද එම නියෝග ක‍්‍රියාත්මක කළේ නැත. බණ්ඩාරවෙල පරණ බස්නැවතුම්පොළ අසල සහ සීවලී පාරේ ඉදි කිරීම් ආරම්භ කිරීමට ගිය අතර ඒවා නතර කරන ලෙස මේ කියන දේශපාලකයා නාගරික කොමසාරිස්ට දිගින් දිගටම බලපැම් කරන්නට විය. අවුරුදු පහක ගිවිසුම් අනුව දුන් ටෙන්ඩර් ද අවලංගු කරන ලෙස දේශපාලකයා නියෝග කළේය. බලපෑම් ඉවසා ගත නොහැකි තැන නාගරික කොමසාරිස්වරයා දේශපාලකයාගේ නීති විරෝධී නියෝග ගැන සටහන් යෙදීය. ඔහුද අවසායේ දේශපාලකයාගේ උදහසට ලක් විය. වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළේය.  ලිපිය ආරම්භයේ දී සඳහන් කළ ලොග් සටහන මෙම නාගරික කොමසාරිස්වරයාගේය.  

අප මෙහි සඳහන් කළේ නාගරික කොමසාරිස්වරුන් තිදෙනකු ගැන පමණි. මෙම පළාත් දේශපාලන ප‍්‍රභලයාගේ උදහසට ලක්වූ නිලධාරීන් අපමණය. දේශපාලකයන් සමඟ හැප්පී ඔලූව ගලේ ගසා ගැනීමට නොහැකිය යන කතාව නිසා ඔවුහු සියලූ දෙනා නිහඬව කරබාගෙන සිටියහ. මේ ගැන සොයා බැලීමට බදුල්ලේ කළ සංචාරයේදී දේශපාලන උදහසට ලක්වූ නිලධාරීන් රැසක් හමු විය. ඇතැමුන් ඔවුන්ගේ නම් ගම් පාවිච්චි කරනවාට බිය වූහ.  තවත් සමහර කතා මේ ලිපියට සම්බ්න්ධ කිරීමට නොහැක්කේ ඒ කතාද ඉතාම දීර්ඝ ඒවා වන බැවිනි.

දේශපාලනඥයන්ගේ නීති විරෝධී නියෝග විසි කරන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු ඇතැම් ඉහළ නිලධාරීන් ද දේශපාලකයන් සම`ග නිදි වදිද්දී නිලධාරීන් අන් කිසිදු සරණක් නැත. ඌවේද එසේමය. සියලූ අසාධාරණකම් වලට උදව් දෙන නිලධාරීහු කිහිප දෙනෙක්   ඌවේ ද සිටිති. එම නිලධාරීන් ගැන මෙම ලිපියේ ස`දහන් කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නැත. අතේ තඹ සතයක් නැතිව දේශපාලනයට පැමිණ සත් මහල් ප‍්‍රාදාස ඉදි කරන, එම සත්මහල් ප‍්‍රාසාද සඳහා වැඩ කරන්නට රාජ්‍ය සේවකයන් යොදා ගන්නා, රජයේ ඉඩම් පෞද්ගලික ප‍්‍රයෝජනයට කොටු කරගෙන සිටින දේශපාලකයන් ගැනත්,  ඒ දේශපාලකයන්ට කත් අදිමින් පහළ නිලධාරීන් තලා පෙලන උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ගැනත් වෙනත් ‘සත්‍ය ගවේෂණයකින්’ අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙමු.

හොයා බලා කියන්නම්-ඌව පළාත් ආණ්ඩුකාර එම් පී දිසානායක

ප‍්‍රශ්නය - බදුල්ල හිටපු නාගරික කොමසාරිස්වරු දෙදෙනෙක් සහ බණ්ඩාරවෙල හිටපු නාගරික කොමසාරිස්වරයෙක් ඌවේ දේශපාලනඥයකුගේ බලපෑම් මත මාරු කළා කියා චෝදනාවක් තිබෙනවා නේද?
පිළිතුර - නෑ නෑ එහෙම එකක් නෑ
ප‍්‍රශ්නය - බදුල්ල හිටපු නාගරික කොමසාරිස් උඩෝවිට මහතා අභියාචනයකුත් කරලා තිබුණා මාස හතරෙන් බලපෑම් නිසා මාරු කළ බවට?
පිළිතුර - පොඞ්ඩක් හොයලා බලලා තමයි කතා කරන්න වෙන්නේ. එයා බණ්ඩාරවෙලට යැව්වා. බදුල්ලට තව නෝනා කෙනෙක් දැම්මා. විශේෂ කරදරයක් නම් ආවේ නෑ. පොඞ්ඩක් හොයා බලා කියන්නම්.
ප‍්‍රශ්නය - ඌවේ රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම් එන බවට චෝදනාවක් තිබෙනවා.
පිළිතුර -මම පොඞ්ඩක් හොයලා බලලා කියන්නම්.
ප‍්‍රශ්නය - දේශපාලකයකුගේ බලපෑම මත මාරු කරනවා කියලයි කියන්නේ.
පිළිතුර - නෑ ඇත්තටම මට එතුමා එහෙම බලපෑමක් කරන්නේ නෑ. බලපෑමක් කළත් මම එහෙම කරන්නේ නෑ. රාජකාරි ප‍්‍රශ්න බලනවා. බණ්ඩාරවෙලට හොඳ නිලධාරියෙක් අවශ්‍ය වුණා. ඉන්න අය යනවා අරයාගෙන් මෙයාගෙන් ප‍්‍රශ්න කියලා. දැන් මෑතකදිත් අභූත චෝදනා එවනවා නිර්නාමිකව. අපි ඒවා ගැනත් පරීක්ෂා කරලා බලනවා. උඩෝවිට මහතා හොඳට වැඩ කරගෙන යනවා. එතන බදුල්ලට වඩා විශාල තැනක්

 

නිලධාරීන් මාරු කරන්නේ මම නෙමෙයි-ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක
ප‍්‍රශ්නය -ඌවේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් නිසා ස්ථාන මාරු කරන බවට චෝදනාවක් තිබෙනවා.
පිළිතුර මම නෙමෙයිනේ නිලධාරීන් මාරු කරන්නේ. ඒක කරන්නේ ආණ්ඩුකාරතුමා සහ ප‍්‍රධාන ලේකම්වරයා.
ප‍්‍රශ්නය බදුල්ල නාගරික කොමසාරිස් ලෙස සිටි උඩෝවිට මහතා මාස හතරක් ඇතුළත මාරු කළේ ඇයි?

පිළිතුර එත-ුමා පරිපාලන පළමු ශ්‍රේණියේ නිලධාරියෙක්. බණ්ඩාරවෙල හිටියේ දෙවැනි පන්තියේ කෙනෙක්. එතනට කාන්තාවක් දමන් බැරි ප‍්‍රශ්නයක් තිබුණා. ඒ නිසා ඔහු බණ්ඩාරවෙලට දාලා පළමු පන්තිය පාස් වුණ කාන්තාවක් බදුල්ල නාගරික කොමසාරිස්තුමිය ලෙස  පත් කරන්න ඇති.
ප‍්‍රශ්නය -ඇත්ත කතාව ඒක නෙමෙයි නේද? බදුල්ල බස්නැවතුම්පොළේ කඩ කාමරයක ප‍්‍රශ්නයක් නේද?
පිළිතුර නෑ එහෙම දෙයක් නෑ
ප‍්‍රශ්නය එහෙනම් ඔබ කඩ කාමරයක් ශීල් කරන්න එපා කියලා ලියුමක් දුන්නේ ඇයි?
පිළිතුර එහෙම දෙයක් නෑ
ප‍්‍රශ්නය බදුල්ල බස් නැවතුම්පොළේ කඩකාමරයක් සීල් තියන්න එපා කියලා ඔබ ලියුමක් දුන්නේ නැද්ද?
පිළිතුර කඩකාමරයක් ප‍්‍රශ්නයක් නිසා ඔහු මාරු කළේ නෑ. ඔහුට අසාධාරණයක් කළෙත් නෑ. උඩෝවිට මහතා වෙනුවට බදුල්ලට ක්ලාස් වන් කෙනෙක් දැම්මනම් තමයි ඔන්න අසාධාරණයක් කළා කියන්න පුලූවන්. නමුත් එහෙම කරලා නෑ. උඩෝවිට මහත්තයා දැන් බණ්ඩාරවෙල හොඳට වැඩ කරගෙන ඉන්නවානේ. එතුමා ගියාට පස්සේ තමයි බණ්ඩාරවෙල හරියට වැඩ සිද්ධ වෙන්නේ.

 

 

'



අදහස් (7)

රටම ගඳගස්සන ඌවේ සෙල්ලම

Raveendra Thursday, 01 February 2018 03:32 PM

මේවාට වගකියන්න ඕන ඌවේ සිටින උගත් ඡන්ද දායකයන්ය.

:       0       229

BamunuarachchiMonday, 05 February 2018 07:01 AM

මිනිස්සු මොනවා කරන්නද? මිනිස්සු හිතනවා ඡන්දය දෙන්නම ඕනේ දෙයක් කියලා... එමනිසා ඕනෑම කෙනෙකුට ඡන්දය දෙනවා. මොකද හැම පක්ෂයෙන්ම ඉල්ලන්නේ හොරුනේ.

:       4       39

Shanka Saturday, 03 February 2018 07:54 AM

ඌවේ සෙල්ලමටත්, බැඳුම්කරේ සෙල්ලම වගේ නිසි දඬුවම් දිය යුතුයි.

:       1       155

Sampath Sunday, 04 February 2018 10:18 AM

ස්ථෘන මාරුවීමක් දෙන්න ඕනේ.. 5කින් පස්සේ වසර 5 ගාණේනම් කිසිම හේතුවකට මාරුවීම් නොදෙන ක්‍රමයක් හදන්න ඕනේ.. අනෙක පළාතෙන් පිට ස්ථාන මාරු දැන්වත් නවත්තන්න ඕනේ...

:       0       57

lalithsjm Tuesday, 06 February 2018 01:56 AM

ලංකාවේ ඉහලම පුටුවේ අතකොළුවක් නේ ඒ නිසා මොකුත් වෙන්නේ නෑ. පොලිතින් තහනම වගේ තම. අද පොලිතින් නැද්ද පෙරටත් වඩා ගානත් වැඩි නේ.

:       0       53

KANDEPOLA Wednesday, 07 February 2018 07:37 AM

මේ අය බලෙන් ඔය තනතුරු වලට එන්නේ නැනේ. මේ රටේ ඡන්ද දායකයෝනේ ඔවුන්ව පත් කරන්නේ. ඉතින් මේ වගේ වැඩ වල වගකීමත් ඒ ඡන්ද දායකයෝම බාරගන්න ඕනේ.

:       0       50

Observer Thursday, 08 February 2018 02:52 AM

මේ වගේ රටට ජාතියට හොර කරන, මහජන මුදල් හොරා කා ජීවත්වෙන කාලකන්නි නුගත් දේශපාලුවන් නිසා අපේ ලංකාව දිනෙන් දින විනාශයට යන හැටි..... ! වගකිව යුත්තන්ට මෙය නොපෙනෙන්නේ මන්ද යනු ප්‍රශ්නයකි. කෙසේවෙතත් චන්දය පාවිච්චි කිරීමේදී මෙවැනි හොරුන් පත් නොකිරීමට මහජනතාව බුද්ධිමත්ව තම චන්දය පාවිච්චි කලයුතුවේ. එපමණක්ද නොව සියලු මාධ්‍ය එක්වී මොවුන් පිළිබඳව ජනතාව දැනුවත් කලයුතුය.

:       0       435

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 141 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 183 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 38 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 286 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 204 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 254 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site