IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මංගල - ගෝඨා ගැටුම

මංගල සමරවීර ඇමැතිවරයා අලුත් දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ ලබන 2020 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වන අතර එම මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ විවේචනය කිරීමය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට වසරකට පමණ ඉහතදී වියත්මඟ නමින් නව සංවිධානයක් ගොඩනැගූ අතර එහි සංවත්සරය දින ඔහු කළ කතාව විවේචනය කිරීමට මංගල සමරවීර ඇමැතිවරයා භාරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව එම ව්‍යාපෘතිය මංගල සමරවීරගේ සංකල්පයක් වන අතර ඔහු අනෙකුත් එජාප ප්‍රබලයන්ගෙන් ඊට සහාය අපේක්ෂා කර තිබේ. මුලින්ම මංගල සමරවීර ඇමැතිවරයා ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් තනතුරේ කටයුතු විවේචනය කරමින් හා රාජපක්ෂවරුන්ට දොස් නගමින් පිටු ගණනාවක නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනය ජනමාධ්‍යයේ පළවී දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් නැවතත් ඔහු හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් වන චෝදනා කිහිපයක් සහිත ලියවිල්ලක් මාධ්‍යයට නිකුත් කළේය. 

“එක්සත් ජාතික පක්ෂය දැන් තියාම බයවෙලා. මීළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය එන එක එජාපයට ප්‍රබල තර්ජනයක්. ඒ නිසා මංගල ලවා ඔහුට මඩ ගහනවා. අපි මේක බලාගෙන ඉන්න හොඳ නැහැ. අපිත් මංගලට ඇටෑක් කරන්න ඕනේ” යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීන්දුකර තිබේ. “හැබැයි ප්‍රවේශම් වෙන්න ඕනේ. ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න කරලා අපි අමාරුවේ දාන්න පුළුවන්. අපි ගෝඨා බේරාගන්න ගියොත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඔහුමයි කියලා වැරැදි ප්‍රවෘත්තියක් යන්න පුළුවන්. අපි කියන්න ඕනේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන කියන්න තාම දුර වැඩියි. අපි මේ වෑයම් කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළ බවට නැගෙන චෝදනාවලට පිළිතුරු දෙන්නයි. ගෝඨාභය කියන්නේ අපේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා. එතුමාට මඩ ගහන එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිට මඩගහනව වගේ වැඩක් යැයි අපිට කියන්නම වෙනවා. නැත්නම් එක අවුලක් බේරාගන්න ගිහින් තව අවුල් වියවුල් රැසක් අපට හදා ගන්න වෙනවා” යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ මංගල සමරවීරගෙන් ගෝඨාභයට එල්ලවන චෝදනාවලට පිළිතුරු දීමට ඉතා ළඟදීම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය යුතු බවය. රාජගිරිය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද හෙටම එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රති සංවිධාන යටතේ ජාතික සංවිධායක ධුරයට පත් ඇමැති නවීන් දිසානායකට පෞද්ගලික කරුණු කාරණා කිහිපයක් නිසා ධුරයේ රාජකාරී භාර ගැනීම කල් දැමීමට සිදු වූයේය. නවීන් දිසානායක ඊයේ පෙරවරු 8.56ට යෙදුන සුබ මොහොතින් සිරිකොත එජාප මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කළේය. නවීන් වැඩ භාර ගන්නා අවස්ථාවට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද පැමිණි අතර තවත් මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගිවී සිටියහ. ඇමැති නවීන් දිසානායක මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණේ “මට මේ වගකීම හොඳින් කරන්න පුළුවන්. අපට තව ටික කාලයයි තියෙන්නේ ඡන්දයක් එනවා දැන් ඉඳලම වැඩ පටන් ගන්න වෙනවා” කියාය.
ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව සිදුකරන මෙහෙයුම් වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මාතර සිට ගාල්ල දක්වා පා ගමනක් පැවැත්වීමට ද නියමිතය. “ආණ්ඩුව ගෙදර යැවීම තමයි අරමුණ අපි මේ පා ගමන සාර්ථකව කරනවා. ජනතාව දහස් ගණනින් කොළඹට ගේනවා” යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර ඇත. 

මීට අමතරව ‘ජන අරගලයක ඇරැඹුම’ නමින්ද රටපුරා සෑම දිස්ත්‍රික්කයකම සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ද ඒකාබද්ධ විපක්ෂය පිඹුරුපත් සකස් කරමින් තිබේ. ‘ජීවන වියදම අඩු කරනු වහාම මැතිවරණයක් පවත්වනු’ ආදී වශයෙන් සටන් පාඨ සහ තේමාවන් සහිතව එම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇති බව ද වාර්තා වේ.

ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් දහසය දෙනා ඉකුත් බදාදා පස්වරුවේ හිටපු ජනාධිපතිවරයා හමුවූහ. හිටපු ජනාධිපතිගේ කොළඹ විජේරාමහි පිහිටි නිවසෙහිදී එම හමුව පැවැත්විණ. විදේශගතව සිටින හෙයින් අනුර යාපාට පමණක් ඊට සහභාගිවීමට හැකිවූයේ නැත. අනිත් පහළොස් දෙනාම ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කළහ. “අපිට ඊළඟ ඡන්දය දිනන්න පුළුවන්. අපි සුළු ජාතික ඡන්ද පදනම ශක්තිමත් කළ යුතුයි. අපට සුළු ජාතික ඡන්ද දිනාගන්න එක මැතිවරණ ජයග්‍රහණයට ඉතාම වැදගත්ය. සුළු ජාතික ඡන්ද පදනම හදාගන්න වැඬේ අපට කරන්න පුළුවන්” යැයි දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත. ඊට හිටපු ජනාධිපතිවරයාගෙන්ද හොඳ ප්‍රතිචාරයක් හිමිවී තිබේ. මීට අමතරව ඉතා වැදගත් දේශපාලන තොරතුරුද එම මන්ත්‍රීවරුන් හා හිටපු ජනාධිපතිවරයා අතරේ හුවමාරුවී තිබිණ. දහසයේ කණ්ඩායම හා හිටපු ජනාධිපතිවරයා අතර හමුවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගිවනු ඇතැයි මුලදී ප්‍රකාශවී තිබිණ. එහෙත් හිටපු ජනාධිපතිවරයා හැරෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම සාකච්ඡාවට සම්බන්ධ වූයේ නැත. “ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දහසයේ කල්ලියට කැමැති නැහැ. ඒ අය ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳලා අන්තිම මොහොතේ ආවේ. පළාත් පාලන මැතිවරණය දිනන්න අපියි ඔක්කොම වැඩ ටික ගොඩදාගත්තේ” යැයිද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබිණ. තවත් අදහසකින් ප්‍රකාශවී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිතාමතාම එම හමුව වර්ජනය කළ බවය. එසේ කර ඇත්තේ දහසයේ කණ්ඩායමට විරෝධයක් දැක්වීමේ අදහසකින් වන බවය. කෙසේ වෙතත් එහි සත්‍ය අසත්‍ය පිළිබඳව කරුණු කාරනා තහවුරුවී තිබුණේ නැත.

ඒකාබද්ධ විපක්ෂය ද හිතාමතා හිටපු ජනාධිපතිවරයාගේ හමුව තරමක් කල් දැම්මේය. හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද ඔවුන් තමන් වෙත කැඳවාගෙන ඒමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. මෙම මන්ත්‍රීවරුන් පිරිස ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණ අතර හිටපු ජනාධිපතිවරයාට ප්‍රයෝජනවත් දේශපාලන අදහසක් ඇතිව යාමට තීන්දු තීරණ ගෙන තිබිණ “මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුළු ජාතික ඡන්ද නැහැ. අපට ඒ අදහස ගෙනයන්න පුළුවන් අපි සුළු ජාතික ඡන්ද පදනම ශක්තිමත් කිරීමේ වගකීම භාරගන්නා බව කියමු” යැයි ඔවුන් තීන්දුකර තිබිණ.
මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ‘හෘද සාක්ෂියේ නිදහස’ මැයෙන් තවත් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එහි පළමු සාකච්ඡාව හෙට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය. එය සංවිධානය කරනුයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය අලුතින් පත් කරන බවට ජනාධිපතිවරයා පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම්දී තිබිණ. ඇමැති දුමින්ද දිසානායක මහලේකම් ධුරයේ කටයුතු කිරීම හා ඔහු එක්සත් ජාතික පක්ෂය හිතවත්කම් පාන බවට චෝදනා කරමින් වහාම මහලේකම්වරයා ඉවත් කරන්නැයි කියමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් මතවාදයක් පක්ෂය තුළ ගොඩනැගූහ. ඒ අනුව ශ්‍රීලනිපයේ මහලෙක්ම් ධුරය ලබා ගැනීම සඳහා හිටපු මහලේකම්වරයකු වන එස්.බී. දිසානායක උත්සාහයක නිරත වෙමින් තිබෙන බව ද පැවසේ. ඒ වෙනුවෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මේ වනවිටත් පක්ෂය තුළ ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ද පැවසේ. මේ අතර ආරංචි මාර්ග සඳහන් කළේ දහසයේ මන්ත්‍රී කණ්ඩායම තුළ ඒකමතික තීන්දුවක් නැති බවය. “අපේ කිහිප දෙනකු කියනවා කෙලින්ම මහින්ද ළඟට යමු. ගිහින් පොදුජන පෙරමුණට එකතු වෙමු කියලා. ඒත් තවත් පිරිසකගෙ තත්ත්වය වෙනස් ඒ අය ශ්‍රීලනිපය අතහරින්න සූදානම් නැහැ. පක්ෂය තාවකාලිකවත් අත් නොහරිමු කියලයි ඔවුන් කියන්නේ” යැයි එම මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබිණ. 

පසුගිය සෙනසුරාදා (19) ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩාංගණයට ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් රැස් වුණේ මහින්ද රාජපක්‍ෂ නිදහස් කුසලානය සඳහා වන මහා ක්‍රිකට් ගැටුමටය. මේ තරගය සංවිධානය කර තිබුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරන මුහුණු පොතේ පිරිසක් විසිනි. විමල් වීරවංශ, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ වැනි මන්ත්‍රීවරු මේ සඳහා සහභාගී වූහ. මුලින්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා මුහුණු පොත් සාමාජිකයන් කණ්ඩායම් 8කට බෙදුනි.

   තරගය ආරම්භ වීමෙන් පසු තරගයේ විස්තර ප්‍රචාරය භාර ගත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය. විටින් විට ප්‍රේක්‍ෂකාගාරය මෙන්ම ක්‍රීඩකයන්ද විමල්ගේ විස්තර ප්‍රචාරය හමුවේ බඩ අල්ලාගෙන සිනාසෙනු දක්නට ලැබුණි. තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය උඩින් හෙලිකොප්ටරයක් ගමන් කරන විට විමල් කීවේ “ඒකාබද්ධය දෙපිල බෙදී තරග කරන ආකාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා උඩු ගුවනේ සිට නරඹමින් සිටින බවය”. තවත් විටෙක තවත් හෙලිකොප්ටරයක් යද්දී විමල් කීවේ එහි යන්නේ අගමැතිවරයා බවය. 

 එක් කණ්ඩායමකට තරග කරමින් සිටි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දුවද්දී දැවී යාමකට හසුකර ගත්තේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාය. “ආ ඒක ගම්පහ ප්‍රශ්නයක්. ඒක ඒ අය විසඳ ගනීවි” විමල් කීවේය.

අවසානයේදී තරගය ජයග්‍රහණය කළේ දෙහිවල නගරාධිපතිවරයාගේ කණ්ඩායමය. අනුශූරතාව හිමි වුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා නායකත්වය දුන් කණ්ඩායමටය. තරගාවලියේදී විමල් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක් වූ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි.

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 18 හා 19 දෙදින ඉතා කාර්යබහුල වූයේය. ඒ විජයග්‍රහණය සැමරුම් උත්සව ගණනාවකට සහභාගීවීමට තිබූ නිසාය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණේ රණවිරුවන්ට පින් පැමිණවීම හා විජයග්‍රහණය සැමරීම සඳහා සියක් නමක් විෂයෙහි පැවැති සංඝගත දක්‍ෂිණාවකටද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූයේය. එය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතාය. ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලාන්සා, දුලීප් විජේසේකර යන මන්ත්‍රීවරු ඒ සඳහා එක්ව සිටියහ.

“මේ ආණ්ඩුව රණවිරු උත්සව පවත්වන එක සීමා කරලා කරන්නේ ලොකු අපරාධයක්. ආණ්ඩුවට ඕනෑ මේ යුද ජයග්‍රහණය මිනිස්සුන්ට අමතක කරවන්න. සංහිඳියාවට මුවාවෙලා ආණ්ඩුව මේ කරන්න හදන්නේ ඒකයි.” ප්‍රසන්න කීවේය.

“ඔව් ඒක ඇත්ත. අපි මේ සැමරුම දිස්ත්‍රික් මට්ටමින්, සංවිධානය කරන්න ඕනෑ. ආණ්ඩුව මේක අමතක කරවන්න මොන දේ කලත් අපි ඒකට ඉඩ තියන්න හොඳ නෑ” මහින්ද කීවේය.

  “ආණ්ඩුව විවිධ මාතෘකා දාලා බැඳුම්කරය වගේ ඒ අයට  විරුද්ධ චෝදනා අමතක කරවන්න හදනවා. වෙලාවකට අපිත් ඒවට අහුවෙනවාද කියලා හිතෙනවා.” සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කීවේය.

“ඒකයි ඇත්ත අපි සමහර වෙලාවට ගන්න ඕන ආණ්ඩුවේ බෝලවලට ගහන්න යනවා. කරන්න ඕනෑ ආණ්ඩුවේ බෝලවලට ගහන එක නෙවෙයි. ආණ්ඩුව ගෙදර යවන්න අපේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන එකයි.” මහින්ද කීවේය.

 20 වෙනි ඉරිදා සවස මහින්ද පානදුරයට ගියේය. ඒ බස්නාහිර පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මන්ත්‍රීවරයාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගී වීම සඳහාය. මහින්ද සමඟ රෝහිත, කුමාර වෙල්ගම, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු ද ඒ අවස්ථාවට එක්ව සිටියහ. ඇද වැටුණ මහ වැසි නොතකා විශාල පිරිසක් මේ උත්සවයට පැමිණ සිටියහ. රැස්වීම අවසානයේ තේ පැන් සංග්‍රහයේදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුවේ සෞඛ්‍ය පිරිහෙන බව දැන් හොඳින්ම පෙනෙන බවයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෙහිදී සුප්‍රසිද්ධ ආප්ප සිද්ධිය නැවත සිහිපත් කළේය. ඔහු කීවේ පක්‍ෂයේ හිටපු ලේකම්වරයා ආප්ප කෑවාක්  මෙන් පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිවරුන් ද ආප්ප කෑ බවයි. ජගත් අංගගේ ඉවත් කරන ලෙස බලපෑම් කළ පුද්ගලයා ජනාධිපතිවරණයෙන් පසු පොළොන්නරුවට ගිය බවත් ජගත් මැදමුලනට ආ බවත් මහින්ද කීවේය.

 පානදුර රැස්වීම අවසන් වූ වහාම මහින්ද ගියේ විජේරාමයේ පිහිටි සිය නිල නිවසටය. මහින්ද එන විට එහි මහින්දගේ නෑදෑ හිතවතුන් පිරිසක් රැඳී සිටියේ මහින්දගේ පැමිණීම අපේක්‍ෂාවෙනි. නාමල්, යෝෂිත හා රෝහිතගේ සංවිධායකත්වයෙන් එහි පුංචි සාදයක් සංවිධානය වී තිබුණි. සාදය මහින්දගේ හා ශිරන්තිගේ විවාහ සංවත්සරය වෙනුවෙනි. මහින්ද හා ශිරන්ති දෙදෙනා එක්ව විවාහ සංවත්සරය සමරමින් මෙහිදී කේක් කැපුවෝය. කේක් කැපූ මහින්ද හා ශිරන්ති සිය පුතුන් තිදෙනාට මුලින්ම කේක් කැව්වේ ඔවුන්ගේ සුභ පැතුම් මධ්‍යයේය. ජී.එල්, වාසු, පවිත්‍රා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

   “දැන් ඉතින් ඔයාගේ වයසත් හරි.....” පවිත්‍රා නාමල්ට කීවේය.

නාමල් උත්තර නොදී සිනාසෙනු දුටු මහින්ද කීවේ “මම නම් දැන් මේ හාදයාට කියන එක නවත්වලා තියෙන්නේ.” කියාය.

   සඳුදා උදෑසන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මීගමුව බන්ධනාගාරයට ගියේ එහි සිටින සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ දුක සැප බැලීමටය. ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව යටතේ සනත් මේ වන විට මාස 3කට ආසන්න කාලයක් සිටින්නේ මීගමුව බන්ධනාගාරයේය. එහි ගිය ප්‍රසන්න “මොකද වුණේ මල්ලී” යැයි සනත්ගෙන් ඇසුවේය. මට තියෙන්නෙත් අනුරුද්ධ පොල්ගම්පලට තියෙන ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවමයි. “ආණ්ඩුව එක්ක ඉන්න පොල්ගම්පල දවසින් එළියේ. ආණ්ඩුවට විරුද්ධ මම ඇතුළේ” සනත් කීවේය.

   “දැන් මොකද අයියා වෙන්නේ” සනත් ඇසුවේ ශ්‍රී.ල.නි. පක්‍ෂයෙන් ඉවත් වූ 16 දෙනා ගැනය. ඒ අය මහින්ද මහත්තයාව හම්බ වෙන්න වෙලාව ඉල්ලලා තියෙනවා. මම නම් කියන්නේ මේ ගොල්ලෝ ඇත්තටම ආණ්ඩුවට විරුද්ධ නම් ඒකාබද්ධයට එකතු වෙන්න ඕන කියන එකයි. එහෙම නැතිව ශ්‍රී.ල.නි. පක්‍ෂ කණ්ඩායමක් විදියට වෙනම ඉන්නවා කියන්නේ ආණ්ඩුවට කඬේ යනවා කියන එකයි. ප්‍රසන්න කීවේය.

“ඒක නම් ඇත්ත” සනත් කීවේය.

 මේ අතර ප්‍රසන්න හා සනත් කථා කරමින් සිටින තැනට පැමිණි බන්ධනාගාර නිලධාරියෙකු කීවේ සනත් බැලීමට 16 කණ්ඩායමේ සුදර්ශිනී පැමිණෙන බවය. දැන් මම මාස 3ක් මේක ඇතුළේ. එතුමිය ඉන්නේ අල්ලපු වැටේ. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. සනත් කීවේය.

ටික වෙලාවකින් සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය ද සනත් හා ප්‍රසන්න කථා බස් කරමින් සිටි තැනට ආවාය.
“හැමදාම එන්න ඕන කියලා හිත හිතා හිටියට එන්න බැරිවුණා.” සුදර්ශිනී කීවාය.

“කමක් නෑ. මේ වෙලාවේ හරි ආපු එක හොඳයිනේ.” සනත් කීවේ ඇඟට පතට නොදැනීය.

පවතින ආපදා තත්ත්වය ගැන මන්ත්‍රීවරුන් තිදෙනා කථා කළ ද පවතින දේශපාලන තත්වය කථා නොකිරීමට තිදෙනාම ප්‍රවේසම් වූහ.

   ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පසුගිය බදාදා (24) අත්තනගල්ල හොරගොල්ල මන්දාරා හෝටලයට ගියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ ආරාධනයකට අනුවය. ප්‍රියන්තගේ ආධාරකරුවෙකුගේ පාර්ශවය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබීමට ප්‍රසන්නට ආරාධනය කර තිබුණි. මනාලියගේ පාර්ශවයෙන් ඊට අත්සන් තැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහය. විවාහයට අත්සන් තැබීමෙන් පසු අගමැති රනිල්ට හා ප්‍රසන්නට අසුන් පනවා තිබුණේ ද එක මේසයේය. 

   “අගමැතිතුමාලට හෙට අනිද්දා වෙද්දී කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බලන් ඉද්දී රට සංවර්ධනය වෙයි.” ප්‍රසන්න කථා බහට මුල පිරුවේය.

“ඒ මොකද?” රනිල් ඇසුවේය.

ඇයි ජනාධිපතිතුමා කියන විදියට මේ වහින වැහිල්ලට ඨෘඡ එක නගින්නේ  ඉහළටමය. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. රට ස්වංපෝෂිතයිනේ. ප්‍රසන්න කීවේ රනිල් ඇතුළු මේසයේ සිටි පිරිස සිනා ගන්වමිනි.
 



අදහස් (3)

මංගල - ගෝඨා ගැටුම

dd Friday, 25 May 2018 08:47 PM

මංගල මොනවද ඔබ කියවන්නේ? ඇහුණද මේ තොරතුරු ? ඒවාට ඔබේ කන් නැතිද? "තමිල්නාඩු පොලිසියෙන් පාඩම් උගනිමු"

:       246       311

කුමාර් (ගල්ෆ්) Saturday, 26 May 2018 06:13 PM

වෙන මිනීමරු ලෝක හොරෙක් නැද්ද ඔය තරඟෙට ඉදිරිපත් කරන්න?

:       2028       861

Lal Sunday, 27 May 2018 09:11 AM

මංගල කියන පුද්ගලයා උපතින්මම අන් අයට අපහාස කරන්න උපන් කෙනෙක් . අනුන්ට මඞගහාන්න මොහු තරම් දක්ශයෙක් තවත් නැහැ. මොනවද මෙයා මේ රටට කරලතියෙන වැඩ.

:       498       721

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 270 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 219 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 63 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 212 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site