IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නාස්තිකාර වියදම් කැපීම අවශ්‍යම පියවරක්

රජයේ වියදම් දැඩිව සීමා කරන්නැයි මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. මේ බව අපගේ පුවත්පත් පසුගියදා ප්‍රධාන සිරස්තල මගින් හෙළිදරව් කර තිබිණි. විශේෂ චක්‍රලේඛයක් මගින් සිදුකෙරුණු මෙම දැනුම් දීමෙන් ජල, විදුලි, දුරකතන ගාස්තු හැකිතරම් සීමා කළයුතු බවටත් අනෙකුත් වියදම් සිදුකිරීමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු බවටත් උපදෙස් දී ඇතැයි ද සඳහන්ය. මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ලැබ තිබේ.

රජය බරපතළ ආර්ථික අර්බුදයක වෙළීසිටින බවට මේ චක්‍රලේඛය ප්‍රබල සාක්ෂියකි. එසේ නොවන්නට මැතිවරණ රටේ ප්‍රධානම මාතෘකා බවට පත්ව ඇති කාල වකවානුවක වියදම් සීමා කිරීම් පිළිබඳ චක්‍ර ලේඛ නිකුත්වන්නේ නැත. මෙම අර්බුදයට මෑත කාලීනව දැඩිව බලපෑමක් ඇති කර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය බවද චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. එහෙත් අපට හැඟෙන ආකාරයට ආර්ථිකය ඒ වනවිට ද තිබුණේ නූල කැඩුණු සරුංගලයක තත්ත්වයෙනි. මේ නිසා ප්‍රමාද වී හෝ මෙවැනි සීමා පැනවීම් අවශ්‍ය වී තිබේ. එවැනි පියවරකින් තොරව ආර්ථිකය හැඩගස්වා ගැනීමක් ගැන සිතීම පවා අසීරු කරුණක් වී තිබෙන බව පැවසිය යුතුය. 

මහා භාණ්ඩාගාර ලේකම්වරයා සිය චක්‍ර ලේඛයෙන් දැඩිව ලබාදී තිබෙන උපදෙසක් වන්නේ රාජ්‍ය ආයතන සඳහා අමතර වියදම් ලබාදීමෙන් වළකින ලෙසටය. එසේම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන නිලධාරීන්ගේ විදේශ අධ්‍යයන චාරිකා, නිල විදෙස් චාරිකා හැකිතාක් සීමාකිරීමට හෝ අවලංගු කිරීමට පියවර ගතයුතු බවය. රාජ්‍ය ආයතන සඳහා අමතර වියදම් බොහෝ විට සිදුකරන්නේ දේශපාලන කාරණා මත පදනම්ව බව මෙහිදී පෙන්වා දියයුතු කරුණකි. රජයේ කිසියම් කාර්යයක් සිදු කිරීමේදී ඊට අදාළ අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිරූප පුම්බන ප්‍රචාරක ව්‍යාපාර සඳහා අතිවිශාල මුදලක් වැයකරන රටක් වශයෙන් අපි ප්‍රසිද්ධියට පත්ව සිටිමු. මේ ඇතැම් රාජ්‍ය උත්සව සඳහා නිර්මාණය කෙරෙන ආරාධනා පත්‍රවලට යන වියදමින් පමණක් එම මුළු උත්සවයම පැවැත්වියහැකි බව අපට පෙනීගොස් තිබෙන කරුණකි. මෙවැනි නාස්තිකාර වියදම්වලින් තොරව අවශ්‍ය වැඬේ අඩු වියදමකින් කරගැනීමට යොමුවන දේශපාලනඥයන් සහ නිලධාරීන් සිටින්නේ අතලොස්සකි. මේ නාස්තිකාර වියදම් යටින් යමරෙට සිදුවන කොමිස් ගැහිලි හේතුවෙන් බොහෝ දෙනා අඩු වියදමින් වැඩක් කිරීමට පෙළඹෙන්නේම නැත.

විදේශ අධ්‍යයන චාරිකා, නිල චාරිකා සම්බන්ධව ද පවතින්නේ මේ හා සමාන තත්ත්වයකි. පාර්ලිමේන්තුවේ වාදවිවාද සඳහා පැමිණ සහභාගීවන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඇතැම් විට බොහෝ සෙයින් අඩුය. එහෙත් එවැනි අවස්ථාවල පිටරට සවාරියේ යෙදෙන මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව සොයා බැලිය හැකිනම් පවතින කටුක යථාර්ථය තේරුම් ගැනීමට අමාරු නැත. ඇතැම් මැති ඇමැතිවරුන් පිටරට ගොස් සිටින්නේ තනිව නොවේ. තමන්ගේ දරු පවුල්වල කිහිපදෙනෙක් ද නිලධාරීහු ද ඔහු හෝ ඇය සමඟ එම ගමනට සහභාගී වෙති. විදෙස් රටකින් ලැබෙන නිල ආරාධනාවකට වුවද ගුවන් ටිකට්පත ඇතුළු සියලු වියහියදම් දරන්නේ අදාළ ඇමැතිවරයාට පමණි. සෙසු සියලු දෙනාගේ වියහියදම් දැරිය යුත්තේ මෙරට භාණ්ඩාගාරයෙනි. එනම් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලිනි. මුදල් අහේනියක් නොමැති කාලයක වුවද මෙවැනි වියදම් රටේ භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතු වන්නේ ඇයි? මේ ප්‍රශ්නයට කවදාවත් පිළිතුරක් නැත. මෙවැනි වියදම් තාවකාලිකව නොව ස්ථිර වශයෙන්ම කපාදැමිය යුතුය. 

බොහෝ දුරට විදෙස් රටවලින් ලැබෙන ආරාධනා සඳහා අදාළ රටවල සිටින ශ්‍රී ලංකාවේ තානාපති දූත මණ්ඩලවල නිලධාරීන්ට යාහැකිය. එය ඔවුන්ගේ රාජකාරියේම කොටසකි. මෙවැනි නාස්තිකාර වියදම් නීතියෙන්ම අහෝසි කළ හැකිනම් එය රටේ ආර්ථිකයට විශාල සහනයක් වනු ඇත. එහෙත් අත්‍යවශ්‍යම නිල රාජකාරී සහ විදෙස් ශිෂ්‍යත්ව, පුහුණු වීම් වෙනුවෙන් සුදුසු නිලධාරීන් යැවීමට එවැනි නීති හරස් නොවිය යුතු බව ද කිව යුතුය. මැති ඇමැතිවරුන්ගේ අත්‍යවශ්‍යම විදෙස් ගමන්වලදී වුවද හැකිතරම් වියදම් සීමා කිරීමද සිදුවිය යුතුය. වියදම් අධික සුපිරි හෝටල්, සාප්පු සවාරි නැතිවම බැරි පිරිසක් ඕනෑම ආණ්ඩුවක සිටින විට මේ වියදම් වැළක්විය නොහැක. ඒ සියලු දෙනා එයින් වළක්වා ගතහැක්කේ නීති පැනවීමකින්ම පමණි. චක්‍රලේඛයකින් පමණක් මෙවැනි සීමා පැනවිය හැකිද යන්න සොයා ගැනීමට ද මෙය හොඳ අවස්ථාවකි. 

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සියලු නාස්තිකාර වියදම් අහෝසි කර දමන බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් ඒ බව රජයේ වැඩපිළිවෙළින් පෙනෙන්න තිබුණේ නැත. අනවශ්‍ය වියදම් කපාහැර සකසුරුවම් ආර්ථිකයක් ගොඩනැඟීම පිළිබඳව සැබෑ වුවමනාවක් බලධාරීන්ට නොතිබිණි. එසේ තිබුණා නම් වියදම් කැපීමට සීමා පැනවීම සඳහා ආර්ථිකය මෙසේ කරමුලට හිරවන තුරු සිටින්නේ නැත. මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අවසානය වනවිට රජයේ ගෙවීමට තිබෙන විදෙස් ණය ප්‍රමාණයේ එකතුව අමෙරිකානු ඩොලර් මිලියන 52,310ක් බවය. මේ අනුව පාස්කු ප්‍රහාරයේ බලපෑමට කලින් සිටම රටේ ආර්ථිකය තිබී ඇත්තේ අවදානම් අඩියක බව පැහැදිලිය. ඒ අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ මේ විශේෂ චක්‍රලේඛය “ලෙඩා මිය ගියාට පසුව ලැබුණ විදුලිපුවතක්” වීමට ද ඉඩ තිබේ.



අදහස් (1)

නාස්තිකාර වියදම් කැපීම අවශ්‍යම පියවරක්

ආනන්ද Friday, 26 July 2019 03:23 AM

එතකොට "ඉන්න හිතෙන රටක්" "සංවේදී අයවැය" වගේ ඒ වලින් කරන ප්‍රචාරණ වියදමත් නවත්තනවද නැත්තං ලයිට් නිවල, වතුර නොබී. ටෙලිෆෝන් නොකර විතරක් ඉන්නවද

:       6       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 168 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 124 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 205 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 211 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 699 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 958 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site